පටාචාරා මහ රහත් තෙරණින් වහන්සේ

මෙයින් සුවහස්වන කප්හි සියලු ධර්‍මයන්ගේ පරතෙරට ගිය ලෝකනායක වූ පදුමුත්තර නම් ජිනේන්ද්‍රයන් වහන්සේ ලොවැ පහළ වූ සේකැ. එකලැ මම් හංසවතී නුවරැ නොයෙක් රුවනින් දිලෙන සිටුකුලෙකැ උපන්නෙම්, මහත් සුවයෙන් සමර්පිත වීමි. ඒ මහාවීරයන් වහන්සේ වෙතැ එළැඹැ දම් දෙසුම් ඇසුවෙම් එයින් පහන් වූ මම් බුදුන් සරණ ගියෙමි.  ලෝක නාථයන් වහන්සේ, ලජ්ජා ඇති තාදී ගුණ ඇති කප්පිය අකප්පිය දෙක්හි විශාරද වූ මෙහෙණක විනයධර මෙහෙණන්තරැ අග්‍ර කොට වර්ණනා කළසේකැ. එකල්හි ප්‍රමුදිත සිත් ඇති මම් ඒ තනතුර කැමැති වන්නෙම් සඞ්ඝයා සහිත වූ ලෝකනායක දශබලධාරීන් වහන්සේ නිමන්ත්‍රණය කොට සත්දිනක් මුළුල්ලෙහි වළඳවා තුන්සිවුරු ද පුදා සම්බුදු රජුන් පාමුල සිරසින් වැඳ වැටී මෙවදන් පැවැසීමි.

 “වීරයන් වහන්ස, මෙයින් අටවැනි දින ඔබ වහන්සේ විසින් යම් මෙහෙණක් වර්ණිත වූවා ද, නායකයන් වහන්ස, ඉදින් මාගේ ප්‍රාර්ථනා සමෘද්ධ වේ නම් මම් ඇය බඳු වන්නෙමි.”

එකල්හි ශාස්තෲන් වහන්සේ මට මෙසේ වදාළ සේක.

“භද්‍රාවනි, නොබව, සන්හුන් වව, මතුකල්හි ඒ අදහස ලබන්නෙහිය. මෙයින් සියක්දහස්වන කප්හි ඔක්කාක කුලය සම්භව කොට ඇති ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෲහු ලොවැ පහළ වන්නාහ.

ඒ ශාස්තෘ ධර්‍මයට හිමි වූ ඖරස පුත්‍රී වූ ධර්‍මයෙන් නිර්මිත වූ නමින් පටාචාරා යි ප්‍රසිද්ධ ඒ බුදුරජුන්ගේ ශ්‍රාවිකාවක් වන්නෙහිය තෙපි.”

එකල්හි මම් ප්‍රමුදිත වැ මෙත් සිත් ඇතියෙම් සඞ්ඝයා සහිත වූ ලෝකනායක ජිනේන්ද්‍රයන් වහන්සේට දිවිහිමියෙන් උපස්ථාන කළෙමි.

ඉක්බිති ඒ කුශලකර්‍ම හේතුයෙන් ද චේතනාප්‍රණිධි හේතුයෙන් ද මිනිස්කය හැරපියා මම තව්තිසා දෙව්ලොවට ගියෙමි.

මේ භද්‍රකල්පයෙහි බ්‍රාහ්මණවංශික මහායශස් ඇති ගෝත්‍රයෙන් කාශ්‍යප නම් වූ සර්වඥයන් වහන්සේ ලොවැ පහළ වූ සේකැ. එසමයෙහි මහර්ෂින් වහන්සේට උපස්ථායක වූ නරපති වූ කිකී නම් කසීරජෙක් බරණැස් පුරවරයෙහි වූයේ යැ. මම් ඒ රජුහට භික්‍ඛුනී යයි ප්‍රසිද්ධ තෙවැනි දූ වීමි. ජිනේන්ද්‍රයන් වහන්සේගේ දහම් අසා මමත් මා සොහොවුරියෝත් පැවිද්ද රිසි වීමු. නමුත් පිය තෙමේ අපගේ පැවිද්ද නො අනුදත්තේ යැ. එකල්හි අපි ගිහිගෙහි මැ වෙසෙමින් හවුරුදු විසිදහසක් මුළුල්ලෙහි අනලස් වූවමෝ කුමරි බඹසර සැරූම්හ.  ඒ කුශලකර්‍ම හේතුයෙන් ද චේතනාප්‍රණිධි හේතුයෙන් ද මිනිස්සිරුර හැරපියා තව්තිසාවට ගියෙමු.

මේ අන්තිම බවයෙහි මම් සැවත් පුරව‍රයෙහි සමෘද්ධිමත් මහත් ධන ඇති සිටු කුලයෙකැ උපන්මි. යම් කලෙකැ යොවුන් බැවින් යුතු වූ මම් කාම විතර්කයාගේ වසඟයට පැමිණියේ, දනවුවැසි මිනිසකු දැක ඔහු සමග පලා ගියෙමි. ඔහු නිසා එක් පුතකු ප්‍රසූත කළෙමි. දෙවනුවද ඔහු නිසා මාගේ කුසෙහි පුතෙක් විය. එකල්හි මම් මවුපියන් දක්නෙමැ යි දැඩි නිශ්චය ඇති වූවෙම් මාගේ සැමියා එය රුචි නො කෙළේ යැ. ඔහු බැහැරක ගිය කල්හි උතුම් සැවැතට යනු පිණිස එකලා වැ නික්මුණෙමි. ඉක්බිති මාගේ සැමියා අවුත් මඟ දී මා හමු වූයේ යැ, එවිටැ ඉතා දරුණු කර්‍මජවාතයෝ මට උපන්හ. මාගේ ප්‍රසූති සමයෙහි මහාමේඝය නැඟී සිටියේ යැ. මහ වැසි ඇද වැටෙන්ට ගත්තේ යැ. එකල්හි මාගේ සැමියාණෝ දැව සඳහා ගොස් සර්පයකු දෂ්ඨකිරීමෙන් මරණයට පත් වුහ. එකල්හි ප්‍රසුත දුඃඛයෙන් අනාථ වූ බැගෑ වූ මම සිය මාපිය නිවසට යන්නෙම් කුඩා නදියක් පිරිතිබෙනු දැක ප්‍රථමයෙන් බාලයා රැගෙන ගඟ තරණය කළෙමි. ඒ බාල පුතු පරතෙරැ එකලා කොට හොවා අනෙක් පුතු එතෙරැ කරවනු පිණිස මම හැරී ආවා වෙමි. එකල්හි උකුස්සෙක් කුඩා දරුවා වැලපෙන්නාහු පැහැර ගෙන ගියේ යැ. අනෙක් පුතු ගඟෙහි සැඬ පහර හැරගෙන ගියේ යැ. උකුස්සා පළාහරිනු වස් මම් අත්පොළ හඬ නැගුවෙමි. එකල මාගේ වැඩිමහල් පුතු මවු තොමෝ තමාට අමතන්නේ යැයි සලකා ගඟට බට දෑය. චන්ඩව ගලා ආ රළ විසින් උහු රුදුරු රකුසෙක් ඩැහැගෙන යන්නා සේ ගං පහළට ගසාගෙන ගියායැ. මම් දෙදරුවන්ගෙන් වියෝ වීමි. මුලින්ම සැමියණන්ගෙන් වියෝ වීමි. දැන් දෙදරුවන්ගෙන් ද වියෝ වීමී. මා ළය පැලී යන තරම් වේදනා දෙද්දී මාපියන් පිළිබඳ බලාපොරොත්තුවෙන් පමණක් මා පණ ඉතිරි වීයැ.  ඒ මම් ශෝකයෙන් මුසපත් වූවා සැවැත්නුවරට ගොස් මළ සියනෑයන් ගැන ඇසීමි. එවිටැ ශෝකයෙන් පෙළුණෙම් මහසොවින් මුසපත් වූයෙම් මෙසේ කීමි.

“දෙපුත්හු කලුරිය කළහ, මාගේ ස්වාමිපුරුෂ තෙමේ මහමගැ මෙළේ ය. මවත් පියාත් බෑයාත් එක් දරසෑයෙකැ දැවෙත්”

සිහි විකල් වූ මම් පිස්සියක් සේ වීථියක් වීථියක් පුරා දිව ගියෙම් ශරීරයෙන් සළුපොට ගිලිහී ගිය වගවත් නොදැන සිටියෙමි. නිරුවතින් හඬාවැලපෙමින් අගුපිල්හි සයනය කරමින් මා ගෙවූ දිවිය අතිශයින්ම කර්කෂ එකක් වීයැ. ජනපද වාසීහු කැට කැබැලිති දඬු මුගුරින් මා වෙත දමා ගැසූහ. බොහෝ බැගෑ දිවියක් ගතකළ මම් දිනක් ලෝකනාථයන් වහන්සේ දම් දෙසමින්  වැඩ සිටින දම් සභා මණ්ඩපයට ඉදිරියට දිව ගියෙමි. කෘශ වැ පඬුවන් වැ අනාථ වැ බැගෑ මනස් ඇති වැ ඔබ මොබ දිවැ ඇවිදින මම් නරසාරථි වූ මුනිරජුන් දුටිමි.

ඉක්බිති ශාස්තෲන් වහන්සේ මට මෙසේ වදාළසේක.

“දියණියනි, ශෝක නොකරව. සැනසෙව. තමා ගැන සොයව. කුමක් හෙයින් නිරර්ථක සේ පෙළෙන්නෙහි ද? මරහු විසින් මඬනා ලද සත්‍වයාහට ආරක්‍ෂා පිණිස පුත්තු නො වන්නාහ. පියා ආරක්‍ෂා පිණිස නො වන්නේ යැ. සෙසු නෑයෝ ද ආරක්‍ෂා පිණිස නො වන්නාහු යැ. නෑයන් කෙරෙහි පිහිටෙක් නැත්තේ යැ”

මම් මුනි රජුන්ගේ ඒ දේශනාව අසා පළමු වැනි ඵලය අවබෝධ කළෙමි. ලෝකනාථයන් වහන්සේ ලඟ මම් පැවිදි බව ලැබුවෙම් පැවිදි වැ නොබෝ කලකින් රහත්බවට පැමිණියෙමි.

ශාස්තෲන් වහන්සේගේ අනුසසුන් කරන මම් සෘද්ධියෙහි ද දිබ්බසෝතධාතුයෙහි ද වශී වෙමි. පරසිත් දනිමි. පෙර විසූ කඳපිළිවෙළ දනිමි. දිවැස පිරිසිදු කරන ලද යැ. සියලු ආස්‍රවයන් ක්‍ෂය කොට මොනොවට කෙලෙස් මල රහිත වැ විශුද්ධ වූවා වෙමි. සියල්ල දක්නා බුදුරදුන් වෙතැ සියලු විනය උගත්මි. ඇති සැටියෙන් සියල්ල විස්තර කොට දේශනා ද කළෙමි. ඒ ගුණයෙහි සතුටු වූ ජිනේන්ද්‍රයන් වහන්සේ මම් විනයධර මෙහෙණන් අතරැ අග්‍ර යයි ඒතදග්‍රහයෙහ් තබා වදාළසේක.

මා විසින් ශාස්තෘන් වහන්සේ ගෞරවයෙන් ඇසුරු කරන ලද යැ. බුදුසසුන් කරන ලද යැ. කෙලෙස්බර බහා තබන ලද යැ. තෘෂ්ණාව නසන ලද යැ. යම් අර්ථයක් පිණිස ගිහිගෙන් නික්මැ බුදුසසුන්හි පැවිදි වූවා නම් සියලු සංයෝජනයන්ගේ ක්‍ෂය වීම වූ ඒ අර්ථය මා විසින් අනුප්‍රාප්ත යැ. මා විසින් කෙලෙස්හු දවන ලද යැ. බුදුසසුන් කරන ලද යැ.