කුම්භකාර ජාතකය

අප මහ බෝසතාණන් වහන්සේ පෙර බරණැස් නුවර ප්‍රධාන දොරටුව සමීපයෙහි එක්තරා කුඹල් පවුලක උපත ලැබුවේ ය. නිසි වයසට එළැඹි හේ විවාපත් ව දියණියක සහ පුතෙකු ලැබුයේ ය. එක්තරා දිනෙක නන්දමූලක පර්වත ප්‍රාන්තයේ වැඩහුන් පසේ බුදුරජාණන් වහන්සේලා සතර නමක් පිණ්ඩපාතය පිණිස බරණැස් නුවර වාසල් දොර සමීපයට වැඩි සේක. අනුක්‍රමයෙන් පිඬුසිඟා වඩිද්දී, අපගේ බෝසත් කුඹල් කරුගේ නිවෙස වෙත ද වැඩිසේක් එහි ඉදිරිපිට මොහොතක් නතර වී සිටි සේක. ඒ දුටු කුඹල්කරු වහා පැමිණ ඉතා සතුටු සිතින් යුතුව පසේ බුදුරජාණන් වහන්සේලා සිව් නම නිවස තුලට වඩමවා සිය බිරින්දෑ ද සමගින් මනාව සැකසූ ආසනයන්හි පසේ බුදුරජාණන් වහන්සේලා වඩා හිඳුවා මිහිරි දානයන් පූජා කර ගත්තේ ය. දානය වළඳා අවසන් වූ කල බිරිඳ ද සමගින් පසේ බුදු රජාණන් වහන්සේලා අසල බිමින් හිඳ මෙසේ ඇසුවේ ය.

“ස්වාමීනී කවර කාරණයක් දැක නුඹ වහන්සේලා ගිහි සැප හැරදා පැවිදි වූයේ ද? ස්වාමීනී, මම් එය දැනගනු රිසියෙමි. මා හට වදාරනු මැනවි”

එවිට එක් එක් පසේ බුදුරජාණන් වහන්සේලා තමන් වහන්සේලා පිළිබඳව මෙසේ ප්‍රකාශ කර සිටි සේක.

පළමු පසේ බුදුරජාණන් වහන්සේ: “පින්වන්ත පුරුෂය, එකල මම් කලිඟු පුරවරයේ ‘කරණ්ඩු’ නම් රජ වූයෙමි. දිනක් උද්‍යාන ක්‍රිඩාව පිණිස පිටත් වූ මා එක්තරා ඉදී ඵල බර වූ අඹ රුකෙක් දැක ඉන් අඹ ඵලයක් කඩා ගත්තෙමි. මා අනුව ගිය අවශේෂ ජනයා ද ඉන් ඵල කඩා කා තැන තැන ඉති අතු අඹ ඇට විසුරුවා දමා ගියෝ ය. ඒ බව නොදත් මා උද්‍යාන ක්‍රීඩා කොට නැවත පැමිණෙද්දී විනාශව විකෘතිව ගිය අඹ ගස දැක්කෙමි. ඉන් ඔබ්බෙහි වූ ඵල රහිත අඹ ගස පිරිපුන්ව සුන්දරව තිබෙනාවත් දැක්කෙමි. එවිට මට මෙසේ වූ සිතිවිල්ලක් ආයේ ය.

‘අහෝ මේ ගස විනාශය වෙත පැමිණියේ අන් කිසිවක් නිසා නොව තා නිසා හටගත් තමාගේ ම අඹ ඵල නිසා ය. ඵල හට නොගත් අනෙක් ගස යහතින් තිබෙන්නේ එහි තවමත් ඵල හට නොගත් නිසා ය. අහෝ මේ ගිහි දිවිය යනු ඵල හට ගන්නා රුකක් බඳු ය. නමුත් පැවිද්ද යනු ඵල රහිත රුකක් වැන්න. ඵල නිසා හට ගන්නා බිය එහි දකින්ට නැත්තේ ය. කරදර එනුයේ ඵල ඇති රුකට ය. එසේම බිය ඇති වන්නේ යමක් කමක් ඇති පුද්ගලයාට ය. ධනය නැත්තෙකුට බියක් කොයින් ද? කුමක් නිසා කුමකින් ඔහුට බිය ඇති වෙන්ට ද? මා ද ඵල නොමැති රුකක් විය යුතු යි. මම් පැවිදි විය යුතුයි’

මෙසේ සිතත්ම, අනිත්‍ය සම්ප්‍රයුක්ත සිතිවිල්ලෙන් තවදුරටත් සිතත් ම මා තුල විදර්ශනා මනසිකාරය බලවත්ව වැඩී ගියේ ය. මා එහිදී ම පසේ බුද්ධත්වය සාක්ෂාත් කළෙමි. ඉර්ධියෙන් පහළ වූ පාත්‍රා හා සිවුරු සහිත මා නන්ද මූලක පර්වතය වෙත ගියෙමි.

දෙවන පසේ බුදුරජාණන් වහන්සේ: මම් ගන්ධාර රට තක්ෂිලා නුවර ‘නග්ගජී’ නම් රජු වූයෙමි. දිනක් ප්‍රාසාදයේ උඩුමහල් තලයේ මාහැඟි අස්නක වාඩි වී හුන්නෙමි. මා අසල එක්තරා සේවිකාවක් පරිසරය සුවඳ කවනු පිණිස සඳුන් අඹරමින් හුන්නී ය. ඇගේ එක් අතක වළල්ල බැගින් විය. පසුව ඈ එක් අතකින් වළල්ල ගලවා අනෙක් අතෙහි පැළැඳ, ඇඹරූ සඳුන් කැටි කරන්ට පටන් ගත්තී ය. එවිටම ඇගේ අතෙහි වූ වළලු එකිනෙක ගැටී ඉන් හඬක් පිට වූයේ පෙරදී වූ නිහඬ බව එයින් ම මැකී ගියේ ය. එවිට මට මෙසේ සිතුනි.

‘මෙ තැනැත්තියගේ අතෙහි වළලු දෙකක් එක් වූ පමණින් ගැටෙන්ට පටන් ගත්තේ ය. එයින් නාදය උපන. වළලු දෙක වෙන් වෙන්ව තිබිය දී ඒවා නොගැටුනේ එයින් නාදයක් ද නොඉපදුනේ ය. එපරිද්දෙන් ම මෙලොව සත්වයෝ වෙන් වෙන්ව සිටින තාක් ගැටීමෙක් නම් නොම වෙයි. එක් වූ කල්හි ම සියලු ගැටීම් හට ගන්නේ ය. කලහ කරන්නේ ය. ඝෝෂා කරන්නේ ය. මම් වනාහී කාශ්මීර සහ ගන්ධාර යන දෙරටෙහි ම රජ වෙමි. මම් දැන් ම මේ සියල්ල අත් හැර දමා හුදෙකලා වාසයට යා යුතු යි. එවිට මේ ආකාරයේ ගැටුම් මා ඉදිරියට නොපැමිණේ. ඒ හේතුවෙන් මාගේ සැනසීම අතුරුදන් නොවී යෙයි. ‘

මෙසේ සිතත් ම මා සියලු පරිෂ්කාර සහිතව පසේ බුද්ධත්වයට පත් වූයෙමි. මා ද ඉන් පිටව නන්ද මූල පර්වතයට ගියෙමි.

තුන්වන පසේ බුදුරජාණන් වහාන්සේ: මම් විදේහ රට මියුලු නුවර ‘නිමි’ නම් රජෙක් වූයෙමි. දිනක් උඩු මහල්තලයේ සී මැදුරු කවුළුවෙන් එපිට බලා සිටි මා මෙවන් වූ දෙයක් දිටිමි. එක්තරා උකුසු පක්ෂියෙක් මස් කැබැල්ලක් ඩැහැ අහසේ පියාඹා ගියේ ය. ඒ දුටු තව බොහෝ උකුසු පක්ෂියෝ වේගයෙන් පැමිණ ඔහුට කොටන්ට ගත්හ. පියාපත් වලින් පහරන්ට ගත්හ. පාවලින් පාගන්ට ගත්හ. තමාට ඇති වූ වධයෙන් බේරීමට හේ මස් කැටිය අතහැරියේ ය. එවිට උකුසු පක්ෂීහු ඒ බිමට වැටෙන මස් කැටිය දෙස එක පැහැර පියාඹා ගියහ. ඒ මස් කැටිය තවත් එකෙකු ඩැහැ ගත්තේ ය. ඔහුට ද පෙර ඉරණමම අත් වූයෙන් ඔහු ද මස් කැටිය දමා පළා ගියේ ය. එවිට මම් මෙසේ සිතුවෙමි.

‘අහෝ මේ මස් කැටිය තුබූ නිසා මේ පක්ෂි තෙම කරදරයට පැමිණියේ ය. වධයට පැමිණියේ ය. දුකට පැමිණියේ ය. පීඩාවට පැමිණියේ ය. නමුත් හේ එය අත් හල වහා ඔහු කරා සැපය පැමිණියේ ය. මේ පංචකාම සම්පත්තියත් එසේමැයි. යමෙක් යමෙක් එය ගනී ද ඔහුටම දුක ලැබෙයි. මිදුණු තැනැත්තාට සැපය ලැබෙයි. සැනසීම ලැබෙයි. මෙය හැමෝටම සාධාරණ දහමකි. මා හට ස්ත්‍රීන් පමණක් සොලොස්දහසකි. එබැවින් උකුස්සා අත්හළ මස් කැබැල්ල මෙන් මේ සියලු පංචකාම ගුණයන් බැහැරකොට සැපවත් වෙන්ට මේ කාලයයි. මීට වඩා සුදුසු කාලයක් ආයෙ කිසිදා නො පැමිණෙයි.’

මෙසේ ත්‍රිලක්ෂණය මෙනෙහි කරන මා එහිදී ම පසේ බුද්ධත්වයට පත් වූයෙමි.

සතරවන පසේ බුදුරජාණන් වහන්සේ: මම් උත්තර පංචාල රටෙහි කම්පිල්ල නුවර ‘දුම්මුඛ’ නම් රජෙක් වීමි. දිනක් සී මැදුරු කවුළුයෙන් රජගේ මිදුල දෙස බලා සිටියෙම් මෙවැන්නක් දිටිමි. රජ ගෙදර ගොපල්ලෝ සරකුන් නිදහස් කරවූ හ. ගාලෙන් නික්මෙත් ම ඉන් එක් තියුණු අං ඇති ගොනෙක් එක්තරා වැස්සියක් අසළින් ඈ ගැන ස්නේහයෙන් ගියේ ය. ඉන් මෑත එකී වැස්සියට ම ආසායෙන් තවත් ගොනෙකු ඈ දෙස බලා සිටියේ ය. ඒ දුටු තියුණු අං ඇති ගොනා ඊර්ෂ්‍යාවෙන් අන්ධව වහා දිවගොස් ඒ ගොනු හා පොරයට ආවේ ය. ති‍යුණු අං සහිත ගොනුගේ එක අං පහරින් අනෙක් ගොනුගේ කලවයන් පුපුරා ඇතුලත වූ මස් වැදැලි ද සමගින් පිටතට පැන්නේ ය. හේ එතනම මරණයට පත් වී. ඉන් මහත්සේ තැති ගත් මා මෙසේ සිතීමි.

‘තිරිසනුන්ගේ පටන් මේ සත්වයෝ ඇල්ම නිසාම දුකට පත් වෙතී. මේ ගොනා කාමය නිසා දිවි අහිමි කරගත්තේ ය. වැනැසී ගියේ ය. කාමයෙන් මුලාවට පත් සත්වයෝ ඒ නිසාම කම්පනයට පත් වෙති. එනිසා සත්වයා කම්පනයට පත් කරවන මේ කාමයන් දුරුකිරිම ම වටී.’

ඒ මොහොතේ දහම් මනසිකාරයෙන් යුතු මා පසේ බුද්ධත්වයට පත් වූයෙමි. ඉර්ධියෙන් මැවුනු පාත්‍රා හා සිවුරු ගෙන නන්දමූලක පර්වතයට ගියෙමි.

මෙසේ වදාල පසේ බුදුරජාණන් වහන්සේලා බෝසත් කුඹල් කරුවාගේ නිවසින් නික්ම ගිය සේක. ඒ වහා තම බිරිඳ ඇමතූ කුඹල්කරු මෙසේ කීවේ ය.

“සොඳුර. මේ පසේ බුදුරජාණෝ අන් කවරෙකුත් නොව මහා තෙද ඇති බල ඇති මහ රජවරු වෙත්. නමුත් ඒ සියළු කම් සැපයන් ඇසිල්ලෙකින් බැහැර ලා සියලන්ගෙන් මිදී පැවිදි බවට පත් වූවෝ වෙත්. සොඳුර, අප වනාහී රජුන් නොවන්නෙමු. සිටුවරුන් හෝ ධනවත් ගෘහපතීන් ද නොවන්නෙමු. යාන්තම් කුලී වැඩෙක් කොට දිවි සරි කරගන්නා අපි කුමටනම් තවත් මෙහි වසන්නමෝ ද? පැවිදි නොවන්නමෝ ද? කාමය අත් හැර නොදමත් ද? සොඳුර, මා පැවිදි වන්නෙමි. නුඹ අපගේ දරුවන් බලාගෙන සිටුව”

එවිට ඔහුගේ බිරිඳ මෙසේ කිවා ය.

“මා ප්‍රිය ස්වාමි පුත්‍රය, ඒ පසේ බුදුරජුන්ගේ වචන ඇසූ මොහොතේම මා වෙතිනුත් ගිහි ගෙයි පිළිබඳ ඇල්ම පහවී ගියේ ය. මනුෂ්‍යයෙකු අතින් මිදී ගත් කිරිල්ලක මෙන් මම් ද පැවිදි වන්නෙමි. ගිහි ගෙය අත් හරින්නෙමි”

බෝසත් තෙමේ නිහඬ විය.

ඒ මොහොතේ ම ඇය දිය ගෙන එනු පිණිස කළයත් ගෙන එලිපත්තෙන් පිටට ගියා ය. ස්වාමියාට මෙසේ කීවා ය.

“හිමියනි, මා දිය ගෙනෙන්ට යමි. මා එනතෙක් අපගේ දරුවන් බලාගනු මැනව”

ඈ ව්‍යාජයෙන් නිවසින් පැන ගොස් තාපස පැවිද්දෙන් පැවිදි වූවා ය. යලි නිවසට නො ආවා ය.

බිරිඳ එනතෙක් හේ මග බලා සිටියේ ය. ඈ පෙරළා නො එන බව දැන ස්ව උත්සායෙන් දරුවන් පෝෂණය කරන්ට පටන් ගත්තේ ය. පසු කලෙක දරුවන් ටිකෙන් ටික වැඩෙද්දී, ඔවුන්ගේ දැනුම් තේරුම් ඇති නැති බව පරික්ෂාකරනු පිණිස හේ උපායෙක් යෙදී. හේ බෙරි වූ බතක් පිසුයේ ය. වරෙක අඩුවෙන් ඉදුණු බතක් පිසුයේ ය. වරෙක යහපත් බතක් පිසුයේ ය. වරෙක ලුණු වැඩි කොට පිසුයේ ය. තවත් වරෙක ලුණු නැතිව පිසුයේ ය. ලුණු පදමට යොදා ද පිසුයේ ය. ඒ හැම අවස්ථාවකදී ම දරුවන්ගෙන් ආහාර පිළිබඳ විවේචන එල්ල වූයේ ය. දරුවන් දැන් නිසි අයුරින් වැඩී ඇති බව වටහාගත් බෝසත් තෙමේ සිය ඥාතීන්ට දරුවන් බාර දී ගිහිගෙන් නික්ම පැවිදි වූයේ ය.

දිනක් පින්ඩපාතයේ යෙදෙද් දී පරිබ්‍රාජිකා තොමෝ තවුස් තෙම දිටී. ප්‍රදක්ෂිණා කොට වැඳ ඕ තොමෝ මෙසේ කීවා ය.

“උතුමාණනි, ම දරුවන් හැර දා නුඹ වහන්සේ පැවිදි වූ සේක්ද?”

“මම් දරුවන් අතරමං කොට පැවිදි නොවූයෙමි. දරුවන් ඥාතීන් සමීපයේ මනාව සිටිති. නුඹ දරුවන් පිළිබඳ නොසිතව. නොපමාව පැවිදි කිස කරව”

සතුටු සිත් ඇති පරිබ්‍රාජිකා තොමෝ බොසත් තවුසාණන් නැවත වාරයක් වන්දනා කොට විරුද්ධ පසින් වූ මාවතෙන් නික්මී ගියා ය. ඔවුන් යලි කිසි දිනක මුණ නොගැසුනෝ ය. මියෙනා තෙක්ම මුණ නොගැසුනෝ ය. දෙදෙන ම ඉතා හොඳින් පැවිදි කිස කරමින් බඹසර වසමින් සිට මරණින් මතු බඹ ලොව ඉපදුනෝ ය.

මෙහිලා කිව යුතු කාරණයෙක් ඇත. එනම්, යසෝදරාවන් සිය සැමියා සහ දරුවන් අත්හැර පැවිදි වීමට ගියේ ඔවුන් පිළිබඳ සෙනෙහස මද නිසාවත් පැන යාමට අවස්ථාවක් බලමින් සිටි නිසාවත් නොවේ. එය ස්වාමියාට සහ දරුවන්ට ද්‍රෝහි වී ගිය ගමනක් ද නොවේ. චපල ආත්මාර්ථකාමී සිතකින් ගිය ගමනක් ද නොවේ. ස්වාමියා රිදවනු පිණිස හෝ තමන් ස්වාධීන කාන්තාවක් බව හෝ එවැනි තීරණ ගැනීමට අයිතියක් ඇතිබව හෝපෙන්වීමට ගිය ගමනක් නොවේ.

ඕ තොමෝ සැබවින්ම ගිහි ගෙය පිළිබඳ කලකීරී සිටියා ය. ඒ අන් කිසිවක් නිසා නොව එහි ඇති අනිත්‍ය බව මනාව තෙරුම්ගත් නිසා ය. එහි ඇති, සසර ගමනක් පිණිස බීජ වපුරන ස්වභාවය ඕ මැනැවින් දුටු නිසා ය. පැවිද්දේ ඇති කරදර අඩු බව නුවණින් තෙරුම් ගත් නිසා ය. ගිහි ගෙයි ඇති වියවුල් ස්වභාවය නුවණින් තේරුම් ගත් නිසා ය.

ඕ තොමෝ නුවණින් සිතා, නුවණින් මැන බලා, නුවණින් ගලපා, නුවණින් විමසා, නුවණින් ම කටයුතු කළ බැවින් සැමියාට පෙර ඕ නිවසින් පිට වූවා ය.

හේතුව; පුරුෂයා ස්වභාවයෙන්ම පින්වන්තය හ. එඩිතරය. වීරියවන්තය. නොපසුබස්නා උත්සාහයෙන් යුක්තය හ. හේ කවරාකාරයේ බාධක ආවත් ස්වකීය අරමුණ කරා යන්නේ ය. හදිසි නොවන්නේ ය. එනිසා බෝසත් කුඹල් තෙමේ කෙසේ නමුත් කවදා නමුත් ඒකාන්තයෙන් ම ගිහිගෙය හැර ප්‍රවෘජාව ලබනා බව ඕ දැන සිටියා ය. ඒ පිළිබඳ සැක රහිතව ම දැන සිටියා ය.

නමුත් ස්ත්‍රිය තුළ ස්වභාවයෙන්ම පවතින ලාමක බව නිසාත්, දැන් වටහා ගත් දේ ඊළඟ මොහොතේ අමතක වී යෙයි. දැන් සිතනා දේ ඊළඟ මොහොතේ අම්තක වී යන ස්වභාවය නිසාත්, දරුවන් සහ ස්වාමිවරු පිළිබඳවත් ගේ දොර වගකීම් පිළිබඳවත් ඈ මත ම බර පැටවී ඇති නිසාත් නෛශ්ක්‍රම්‍යය යනු කාන්තාව විශයෙහි කෙරෙනා පැත්තට වඩා නොකෙරෙනා පැත්තට බර දෙයකි. ස්වභාවයෙන්ම සංවේදී ඇයට ‘ගිහි බන්ධන’ නම් වර පට කඩා දමා කායික සහ මානසික හුදෙකලා බව ලැබීමට, පැවිදි සිතක් ඇතිකර ගැනීමට, බඹසර සීලයක් සමාදන් වීමට අමුතුවෙන් විශේෂ වෙහෙසක් දැරිය යුතු ය.

තත්වය එසේ හෙයින් සුදුසු දේ සුදුසු කළ සුදුසුම ආකාරයෙන් ඕ කළා ය.

අනෙක් අතට ඈ සාමාන්‍ය ස්ත්‍රියක් නොවූවා ය. ඈ බෝසත් පතිනියක් වූවා ය. ඇයගේ ස්වාමියා ද සාමාන්‍ය පුරුෂයෙක් නොවූයේ ය. සම්බුද්ධත්වය පිණිස පාරමීදම් පුරා යන බෝසතාණන් වහන්සේ නමක් වූයේ ය.

එනිසා නුවණැත්තන්ට පමණක් ගෝචර මෙවන් වූ කාරණා අපගේ මතයන් හා මුසුකර නොගනිත්වා! නොනුවණින් නොව නුවණින්ම විමසා හැම සිත් පහන්කර ගනිත්වා!