මහාජනක ජාතකය
අපගේ ශාස්තෘ වු බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වාසය කරන සේක්, නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව අරභයා මේ ජාතකය වදාල සේක
බුදුරජාණන් වහන්සේ මහාභිනික්මන් කළ නියාව ගැන දිනක් දම්සභා මණ්ඩපයේ භික්‍ෂුන් අතර උපන් කථාවක් අරභයා, “මහණෙනි, මේ ජාතියෙහි මෙය පුදුමයක් නොවේ. පෙර නොමේරු නුවණ ඇති සමයෙහි පවා රාජ්‍ය හැර මහභිනික්මන් කළෝ වේදැ” යි ඉකුත් වත වදාල සේක.
අතීතයෙහි වේදේහ රට මිථිලා නුවර මහාජනක නම් රජෙක් රාජ්‍ය කළේ ය. ඔහුට අරිට්ඨ ජනක හා පෝළජනක යැයි පුතුන් දෙදෙනෙක් වූහ. රජතුමා දෙටු පුතුට යුවරජ තනතුර ද කනිටු පුතුට සේනාපති තනතුර ද පිරිනැමීය. පසුකලෙක මහාජනක රජු කළුරිය කළ කල්හි අරිට්ඨ ජනක කුමාරයා රජ වී මළනුවන්ට යුවරජ තනතුර දුන්නේ ය. රජුගේ එක් පාදමූලිකයෙක් (රජු සමග ගමන් යන සේවකයෙක්) රජු වෙත පැමිණ ‘යුවරජු ඔබ නැසීමට සිතන්නේ යැ’ යි ගතු කීවේ ය. ඔහු එසේ නිතර නිතර කියන කල්හි පෝළජනක කුමාරයා කෙරෙහි බිඳුන සිත් ඇත්තේ, පෝළ ජනක කුමාරයා සැකිල්ලකින් බැඳ රජගෙයි අසල එක් ගෙයක සිරකොට රැකවල් ලැවූහ. මෙහිදී පෝළජනක කුමාරයා ‘ඉදින් මා සහෝදරයාට වෛර වූයේ නම්, මේ සැකිලි නොබිඳේවා. දොරවල් ද නොඇරේවා. වෛර නොවූයේ නම් සැකිලි සිඳී ගොස් දොරවල්ද ඇරෙත්වා’යි සත්‍යක්‍රියා කළේ ය. ඒ මොහොතෙහි ම සැකිලි කැඩී බිඳී ගියේ ය. දොරවල් ද විවර විය. ඔහු නික්ම එක් පිටිසර ගමකට ගොස් වාසය කළේ ය. පිටිසර ගම්වැසියෝ ඔහු හැඳින පිරිවරකොට සිටියාහු ය. එහෙත් රාජ්‍ය ගැනීමට තරම් ශක්තියක් තිබුණේ නැත.
පෝළජනක කුමාරයා ක්‍රම ක්‍රමයෙන් ප්‍රත්‍යන්ත ජනපදයත් තම පාලනයට ගෙන, මහත් පරිවාර සෙනගක් රැස්කර ගත්තේ ය. පසුව, මහත් සේනාවක් රැස් කරගත්, පෝළජනක කුමාරයා ‘මම පෙර සොහොයුරාට වෛර නොකළෙමි. එසේ වුවත් දැන් මාගේ වෛරයක් ඇතැ’ යි කියා මිථිලාවට පැමිණ පිටනුවර කඳවුරු ළාගත්තේ ය. නුවර වැසියෝ පෝළජනක කුමාරයා පැමිණි බව දැන ක්‍රමයෙන් ඇත් අස් ආදී වාහන ගෙන ඔහු සමීපයට ගොස් පිරිවරා ගත්තාහු ය. තව තවත් නුවර වැසියෝ ඔහු සමීපයට පැමිණියාහු ය. පෝළජනක කුමාරයා, සොහොයුරාට හස්නක් යවන්නේ ‘මම, පෙර ඔබට විරුද්ධ නොවූයෙමි. දැන් විරුද්ධ වෙමි. මට රාජ්‍යය නොදුනහොත් යුධ වදිමි’ යි කියා යැවීය.
රජු යුද පිණිස යන්නේ අගමෙහෙසිය අමතා ‘සොඳුර යුද්ධයෙහි ජය පරාජයක් කීමට නොහැකි ය. ඉදින් මට අන්තරායක් වුවහොත් ඔබ දරුගැබ රැක ගන්නැ’ යි කියා නික්ම ගියේ ය. ‘යුද්ධයේ දී පෝළජනකගේ සෙබලුන් අතින් රජු මළේයැ’ යි මුළු නුවරම එකම කෝලාහලයක් විය. දේවිය රජු මළේ යැයි දැන, රන් ආදී වටිනා වස්තු පෙට්ටියක දමාගෙන, ඒ මත රෙදි කැබැලි දමා උඩින් සහල් අතුරා කිළුටු රෙදිකඩක් හැඳගෙන, සිරුර විරූප කොටගෙන, පැස හිස තබාගෙන දිවා කල්හිම නික්ම ගියා ය. කවරෙකුවත් ඈ හැඳින නොගත්තේ ය.
ඈ නුවර උතුරු දොරටුවෙන් නික්ම, යා යුතු මග නොදැන, හුදෙක් කාල චම්පා නම් නුවරක් ඇතැයි අසා තිබූ බැවින් කාලචම්පා නුවරට යන අය සිටිත්දැයි අසමින් මහමඟ එක් ගිමන්හලකට වී සිටියා ය. ඇගේ කුස පිළිසිඳගෙන සිටියේ එසේ මෙසේ කෙනෙකු නොවේ. පුරණ ලද පාරමිතා ඇති බෝධිසත්ත්වයෝ ය. බෝසත්හුගේ ආනුභාවයෙන් ශක්‍රභවන කම්පා විය. සක්දෙවිඳු කුමකින් ශක්‍රභවන කම්පා වීදැයි ආවර්ජනා කරන කල්හි බෝසත් තෙදින් එසේ වීයැයි දැන, ‘කුස පිළිසිඳී බෝසත් මහා පුණ්‍යවන්තයෙකි. මා එහි යෑම සුදුසු යැ’ යි සිතා පිළිසන් රථයක් මවාගෙන, එහි ඇඳක් පනවා, මහලු රියදුරෙකු මෙන් රිය පදවාගෙන මෙහෙසිය නැවැතී සිටි ශාලාව වෙත පැමිණ, “කාළචම්පා නුවරට යන අය සිටිත්දැ” යි ඇසීය. “පියාණෙනි, මම යමි’ යි මෙහෙසිය කී කල්හි, දරුව එසේනම් රියට නැග හිඳගනුවයි රියදුරු වෙස්ගත් ශක්‍රයා කීය. “පියාණෙනි, මා පිරිපුන් දරුගැබක් ඇත්තියෙක්මි. රථයට නැගීමට නොහැකිය. රථය පිටුපසින් එමි. මේ මාගේ පෙට්ටියට ඉඩක් ලබා දෙන්නැ” යි මෙහෙසිය කීවාය. “දරුව කුමක් කියන්නීද? රිය පැදවීමට දන්නෝ මා හා සමතෙකු නැත. බිය නොවන්න. රියට නැගී වාඩිවෙන්න” යැයි රියදුරා කීය. ඈ රියට නගිනවිට සක්දෙවිඳු තම ආනුභාවයෙන් පොළොව ඉහළට නංවා රිය කෙළවරට පැමිණවීය. ඈ නැගී යහනෙහි වැතිරෙන්නී මේ නම් දෙවියෙකු විය යුතුයැයි සිතුවාය. ඈ දිවයහනෙහි වැතිරැ ගත් විගසම නින්දට වැටුණා ය.
ඉක්බිති සක්දෙවි යොදුන් තිහක් ගෙවා එක් ගංගාවක් වෙතැ පැමිණ ඈ නින්දෙන් පුබුදුවා, දරුව රියෙන් බැස ගඟට බැස දිය නාගන්න. එක් උතුරු සළුවක් රියෙහි ඇත. එය ගෙන පොරවාගන්න. රියේ ඇතුළු ගැබෙහි ඇති බත්මුල ද ගෙන අනුභව කරන්න’ යි කීය. ඇය ද නහා පිරිසිදු ආහාර අනුභවකොට යහනෙහි වැතිර ගත්තා ය. සවස් වන විට ඔවුහු චම්පා නුවර වෙත පැමිණියෝ ය. නුවර පවුරු-දොර අට්ටාලය දුරදීම දුටු මෙහෙසිය ‘ඒ කුමන නගරයක්දැ`යි විමසුවාය. “දියණිය, ඒ චම්පා නුවර යැ” යි ශක්‍රයා පිළිතුරු දුන්නේය. “පියාණෙනි, කුමක් කියන්නේද? අපගේ නුවර සිට චම්පා නුවරට සැට යොදුනක් ඇත !!! ” (මෙපමණ ඉක්මනට පැමිණියේ කෙසේදැයි මෙහෙසිය විමතිය පළ කළාය.) “දරුව, මම කෙටි මගක් දැන එයින් ආවෙමි” කී සක්දෙවිඳු ඈ නුවර දකුණුදිග දොරටුවෙහි බස්වා, “දරුව, අපේ ගමට තවත් ඉදිරියට යා යුතුය. ඔබ නගරයට පිවිසෙන්න” යැයි කියා, මදක් ඉදිරියට රිය පදවාගෙන ගොස් අතුරුදහන්ව ස්වකීය භවනයට ගියේ ය. මෙහෙසිය නුවරට ඇතුල් වී තනිවම එක් ශාලාවක හුන්නී ය.
එවේලෙහි වම්පා නුවර වැසි මන්ත්‍ර ශාස්ත්‍රය දත් බමුණෙක් පන්සියයක් පමණ වූ තම සිසුන් පිරිවරා දිය නෑමට ඒ අසලින් යන්නේ අභිරූපවත් සෞභාග්‍ය සම්පන්න මෙහෙසිය දුටුවේ ය. කුසෙහි සිටි බෝසත්හුගේ ආනුභාවයෙන් දුටු සැණින් (තම) බාල නැගණියක් කෙරෙහි ඇතිවෙන සෙනෙහසක් බමුණානන්ගේ සිත තුළ ජනිත විය. ඔහු මානවකයන් මඟ සිටුවා තනිවම ශාලාවට පිවිස “නැගණිය, ඔබ කිනම් ගමක තැනැත්තියක්දැ” යි පිළිවිසීය.
“මම මිථිලානුවර අරිට්ඨ ජනක රජුගේ අගමෙහෙසිය වෙමි.”
“කුමක් සඳහා මෙහි ආවේද?”
“පෝළ ජනක කුමරා විසින් රජු මරණ ලද බැවින්, බියට පත් මම දරුගැබ රකිනු පිණිස මෙසේ පැමිණියෙමි.”
“මෙනුවර ඔබගේ කිසියම් නෑයෙකු සිටීද?”
“නැත පියාණෙනි.”
“එසේ නම් නරකක් නොසිතන්න. මම දිසාපාමොක් ඇදුරු වූ මහාසාල උදිච්ච බමුණා වෙමි. මම ඔබ සහෝදරියක කොට සලකා රැකබලා ගන්නෙමි. නුඹ දැන් එකක් කරන්න. සොයුරු සොයුරී වූ අප බොහෝ කලකට පසු අහම්බයෙන් දුටවා සේ මා ළඟ හඬා වැටෙන්න.”
“අනේ මේ මගේ සොහොයුරා නොවේදැ” යි කියා ඈ පා අල්වාගෙන වැලපෙන්නී මහත් වූ ශබ්ද නගා හඬමින් ඔහුගේ පාමුල වැටුනේ ය. දෙදෙනාම ඔවුනොවුන් වැළඳගෙන මහ හඬින් හැඬුහ. අතවැසි කුමාරවරු එහි පැමිණ ‘ඇදුරුතුමනි, ඔබ්ට කුමක් වීදැයි ‘ පිළිවිසීය.
“මේ මගේ බාල නැගණියයි. බොහෝ කලෙක සිට මැයට කුමක් වීදැයි මම නොදැන සිටියෙමි”
“ඇදුරුතුමනි, දුටු වේලෙහි සිට ඈ ගැන නපුරක් නොසිතන්න” යැයි කුමාරවරු කීවාහුය.
බමුණා, ආවරණ කරවන ලද මහත් වූ රියක් ගෙන්වා, ඇය එහි නංවා, බමුණු බිරිඳට මේ මගේ නැගෙනිය බව දන්වා, සියලු පහසුකම් සලස්වන්නැයි කියා තම ගෙදරට පිටත්කර යැවීය. ඉක්බිති බමුණු බිරිඳ ඈ උණුවතුරෙන් නහවා යහනක් සකස්කොට එහි හිඳීමට සැලැස්වී ය.
බමුණා දිය නා පැමිණියේ, මගේ සහෝදරිය කැඳවන්නැයි ඈ කැඳවා ඈ සමග ආහාර අනුභවකොට, තම නිවසෙහි සිටුවා ගෙන ඇයට සැලකුවේ ය.
ඈ නොබෝ කලකින් පුතෙකු බිහි කළාය. මහාජනක කුමාරයා යැයි ඔහුට අත්තාගේ නම දුන්නේ ය. ඔහු වැඩෙන කල්හි අනෙක් දරුවන් සමඟ ක්‍රීඩා කරන්නේ තමා පිරිසිදු ශාක්‍ය කුලයෙහි උපන් බැවින් ද, කාය බලයෙන් හා මානයෙන් ද යුතු වූයේ කිසියම් කුමාරයෙකු රොස් පරොස් වචනයක් කී කල්හි දැඩිසේ පහර දෙන්නේය. ඔව්හු මහ හඬින් හඬන කල්හි කවරෙකු පහර දුන්නේදැයි ඇසූ විට ‘වැන්දඹුවගේ පුතා විසිනැ’ යි කියති. කුමරා සිතන්නේ, ‘මොව්හු මට වැන්දඹුවගේ දරුවා යැයි නිතර කියති. මවගෙන් අසා දැනගනිමි’ යි යැයි සනිටුහන් කර ගත්තේ ය.
කුමරා එක් දවසක, ‘මෑණියනි, මගේ පියා කව්ද’ යි ඇසීය. ‘ඔබේ පියා මේ බ්‍රාහ්මණයා යැ’ යි කියා ඈ පුතු රැවටීය. තවත් දිනෙක තැලුම් කෑවෝ වැන්දඹුවගේ පුතා යැයි අපහාස කළ කල්හි, ‘මේ දිසාපාමොක් බමුණු තෙමේ මගේ පියා බව නොදන්නවුදැ’ යි පිළිවිසීය. ‘බමුණා නුඹේ කවුදැ’ යි ඔව්හු තවදුරටත් අපහාස කළාහු ය. “බමුණා මගේ පියා යැයි කී විට බමුණා නුඹේ කවුදැයි මොව්හු අපහාස කරති. මව මගෙන් සඟවන දෙයක් තිබේ. ඈ සිත ඇති දේ එක එල්ලේ නොකියයි. කෙසේ හෝ අසා ගනිමි” යි කුමරා සිතීය.
ඔහු විටෙක මවගෙන් කිරි බොන්නේ, තන පුඩුව තදින් සපා ගත්තේ ය. එසේ කොට, ‘මගේ පියා කවරෙකුදැයි කියන්න. නැතහොත් තනය සපාකමි’ යි කීවේය. ඇයද කුමරා රැවටිය නොහැක්කී, “දරුව, ඔබ මිථිලා නුවර අරිට්ඨජනක රජුගේ පුතාය. පෝළජනක විසින් පියා මැරූ කල්හි මම ඔබ රැකගෙන මෙම නගරයට පැමිණියෙමි. මේ මහාසාල බ්‍රාහ්මණයා මා සහෝදරියක ලෙස සලකා රැකබලා ගනී “යැයි කීවාය. කුමරා එතැන් පටන් වැන්දඹුවගේ පුතුයැයි නිග්‍රහ කළ කල්හි නිහඬව සිටියේ ය.
කුමරා සොළොස්විය ඉක්මවීමට පෙර ත්‍රිවේදය ඇතුළු සියලු ශිල්ප ශාස්ත්‍ර උගත්තේ ය. සොළොස් විය සපිරෙන විට මනා රූ සපුවෙන් ද හෙබුණේ විය. ඔහු පියා සතුව තිබූ රජය නැවත අල්ලා ගනිමියි සිතා මටගෙන් විමසී ය.
“මෑණියෙනි, පියා සතුව තිබූ රාජ්‍යය අල්වාගනු කැමැත්තෙමි. ඔබ සතුව කිසියම් ධනයක් තිබේද? නැතහොත්, වෙළඳාම් කොට ධනය උපයා ගනිමි” යි කීහ.
“දරුව, මම හිස් අතින් නාවෙමි. මහත් වටිනාකම් ඇති මුතුහර මැණික් පළඳනා, දියමන්ති මාල කීපයක් මා සතුව ඇත. ඒවා රාජ්‍ය ගැනීමට අවශ්‍ය ධනය ලබාගැනීමට මිල කළහැකි ය. එසේ කොට රාජ්‍යය ලබාගැනීමට කටයුතු කරන්න. වෙළඳාම් නොකරන්නැ”යි කීවාය.
“මෑණියනි, ඒ ධනයෙන් භාගයක් ගෙන සුවණ්ණ දේශයට (බුරුම දේශයට) ගොස් වෙළඳාම් කොට ධනය උපදවා ගෙන රාජ්‍ය ගනිමි” යි කුමරා කීහ.
ඔහු එම තීරණයෙහි පිහිටා ධනයෙන් භාගයක් ගෙන එයින් වෙළඳ බඩු ගෙන සුවණ්ණ ප්‍රදේශයට යන වෙළඳ මුලක් සමග එක්ව නැවකට බඩු පටවා මෑණියන් වෙත පැමිණ, “මෑණියනි, සුවණ්ණ දේශයට වෙළඳාමෙහි යන්නෙමි” යි වැඳ අවසර ඉල්ලීය. ” දරුව, මුහුද හුදකලා තැනකි. බොහෝ අනතුරු ඇත්තේය. නොයන්න. රාජ්‍ය ගැනීම සඳහා මේ ධනය ඇති පමණ යැ” යි කීවාය. ඔහු යායුතුම යැයි කියා මවට වැඳ සමුගෙන නැව් නැංගේ ය.
එදින ම පෝළජනක රජුගේ සිරුරෙහි රෝගයක් හට ගැනුණි. හෙතෙම නැගිටගත නොහැකි තරමට අසාධ්‍ය තත්ත්වයට පත්විය.
ඉහත කී නැවට පා ගමනින් ගොස් වෙළඳාම් කරන වෙළඳුන් (පදික වෙළඳුන්) කණ්ඩායම් සතක් අයත් විය. නැව සත් දවසක් යොදුන් සතක් දුර මහ මුහුද තරණය කළේය. ඉන්පසු මුහුද දැඩි සේ රළුව ගියේය. යාත්‍රා කිරීම අපහසු විය. නැව කැඩී මුහුද මැද ගිලෙන්නට විය. එහි ගමන් කළ බොහෝ දෙනා හඬමින් වැළපෙමින් දෙවියන් යැද පිහිට ඉල්ලුවාහු ය. බෝසත්හු නොහැඬුහ. නොවැලපුණාහ. දෙවියන් යැදීමෙන්ද නොකළහ. කල්තබා නැව ගිලෙන බැව් දැන ගිතෙල් සහ සකුරු එකට අනා බඩ පිරෙනතුරු ඒවා අනුභව කොට, සියුම් සළු දෙකක් ගෙන තෙල් ගල්වා අත් පා හා සිරුර එම රෙදි පටි වලින් වෙලාගෙන කුඹ ගස අසල සිටියේය. නැව ගිලෙන්නට ගත්විට කුඹගස මුදුනට නැග, මිථිලාව මේ දෙසයැයි නිගමනය කොට මහත් වීර්ය ගෙන ඉස්බක් පමණ දුර මුහුදට පැන්නේ ය. නැව වටකරගෙන සිටි මසු කැසුබු ආදීන්ගෙන් බේරි ගත්තේ ය. සෙසු ජනයා මසු කැසුබු ආදීන්ගේ ගොදුරු බවට පත්විය. හාත්පස ජලය ලේ විලක් මෙන් විය.
මේ දවස පෝළජනක රජු කළුරිය කෙළේ ය.
බෝසත්හු නිල් පැහැති මුහුදු ජලකඳ මත මහත් වීර්යය ගෙන පිහිනා ගියේ ය. මෙසේ සත් දවසක් මුහුද තරණය කළ කල්හි පුර සඳ දැක ලුණු ජලයෙන් කට සෝදා උපෝසථ සීලය සමාදන් විය.
“මව්පිය උපස්ථානාදී සත්පුරුෂ ගුණයෙන් යුතු අයවලුන් මුහුදෙහි ලිය හැක්කේ ය. එය නොවිය යුත්තකි. එබන්දක් සිදුවීම ලෝක ධර්ම ඉක්මවා යෑමකි. එහෙයින් නුඹ එසේ වෙන්ට නොදී අවධානයෙන් සිටිය යුත්තේ ය.” යැයි සිව්වරම් දෙවිවරු අවධාරණය කොට, මහ මුහුදට අරක්ගත් මණිමේකලා නම් දෙව්දුවට ඒ බව දැන්වීය. ඕ තොමෝ ඒ වනවිට සත්දිනක් තම සම්පත්ති අනුභව කරමින් විනෝද වෙමින් කල් ගෙවමින් සිටියා ය. එබැවින් ඇයට මුහුද ගැන සොයා බැලීමට අවකාශයක් නොලැබිණ. මේ අතර තමන්ට දේව සමාගමට යාමට ඇති බැව් ඇයගේ සිහියට නැගින. මම අදට දින සතක් මහ මුහුද ගැන නොසෙව්වෙමි. කුමක් සිදු වීදැයි නොදනිමි’ සිතා මුහුද ගැන විමසිලිමත් විය. මහබෝසත් මුහුදෙහි වැටී ඇති බැව් දැක, ‘ඉදින් මහාජනක කුමාරයා මුහුදෙහි ගිලී ගියේ නම්, මට දේව සමාගමට යාමටද ඉඩ නොලැබෙයි’ සිතා මහසත් නුදුරෙහි ඉතා විසිතුරු ලෙසින් පෙනී සිට, ඔහු විමසනු සඳහා මේ ප්‍රථම ගාථාව කීවා ය.
“තෙරක් නොපෙනෙන මේ මුහුද මැද කවරෙක් නම් පීනමින් වීර්යය කරන්නේද? කුමන අර්ථයක් ඇතිව මෙසේ වෙර වඩන්නේද?”
ඉක්බිති මහසත්හු ද ‘මුහුද තරණය කරන්නෙමු. මම අදට සත්දවසක් ඉක්මවීමි. වෙනත් දෙවැන්නෙකු මෙතෙක් දවසක් නොදුටුවෙමි. කවරෙකු මට කතා කරන්නේදැ’ යි අහසට දෙස බැලීය. එවිට ඇය දැක මේ ගාථාව කීහ.
“දේවතාවියෙනි, මම ලෝවැසියා පිළිබඳව පවත්නා උත්සාහය ද කටයුතු ද එහි අනුසස් ද දැන වසමි. එහෙයින් මේ මුහුද මැද පරතෙර නොදුටුවත් උත්සාහ කරමි.”
ඈ බෝසත්හුගේ ධර්ම කතා අසනු කැමැතිව නැවතත් ගාථාවක් කීවා ය.
“අපමණ ගැඹුරැති පරතෙරක් නොපෙනෙන (මේ සාගරයෙහි පිහිනෑම) පරතෙර නොදැක මියයෑමට හේතු වන්නේය. එවිට ඔබගේ උත්සාහයෙන් වැඩක් නොවේ.”
ඉක්බිති මහසත්හු ඕහට, “ඔබ කුමක් කියන්නේද මම මරණයට පත්වී සිටියත් වෙර වඩා උත්සාහකොට ගැහැටින් මිදෙන්නෙමි” යැයි ගාථාවක් කීවේය.
“වීර්ය කරන යම් පුරුෂයෙක් වේනම් හේ දෙවියන්ට ද ඤාතීන්ටද දෙව් බමුණාට ද ණය නැත්තකි. මිනිසෙකු වශයෙන් වීර්යයකොට පසුව නොතැවෙන්නෙකි.”
ඉක්බිති දෙව්දුව ද ගාථාවක් කීවාය.
“යම් කටයුත්තක් උත්සාහයෙන් මුදුන්පත් කළ නොහැකිද, ඵල නැත්තේද වෙහෙසම උපදවාද මරණයම එහිලා වේද එබඳු උත්සාහයෙන් කවරනම් වැඩක් වේද?”
මෙසේ කී කල්හි එය නොවැටහුණු ආකාරය දක්වමින් බෝසත් තෙම වෙනත් ගාථාවක් කීහ.
“දේවතාවියනි, මෙලොව සමහර කෙනෙක් තම අභිමතය පරිදි විවිධ කටයුතුවල යෙදෙති. ඇතැම් විට ඒවා ඉටුවන්නේ ද වේ, නොවන්නේ ද වේ. නමුත් යමෙක් අත්‍යන්ත වශයෙන් ම එය මුදුන් පත් නොවන බව දැන, ඒ පිළිබඳ උත්සාහය අත්හරී නම්, හෙතෙම තමන්ගේ ජීවිතය රැක නොගන්නේ යැයි දැනගනු මැනැවි.
වෙළඳ සමූහයෙන් සුවිශේෂී වූ මම උත්සාහයෙන් ම මේතාක් පිහිනා ආවෙමි, දැන් මා සමීපයෙහි සිටින ඔබව දකිමි. මේ මෙලොවදී ම උත්සාහයෙහි විපාක කියාපෑමක් නොවේද?
මුහුදෙහි පරතෙරට යන මම ශක්තිය ඇති පරිදි බලය ඇති පරිදි වීර්යය කරමි. පුරුෂයෙකුට අයත් කාර්යය මම කරමි.”
දේවතාවිය ඔහුගේ එම දෘඪ වචන අසා ප්‍රශංසා මුඛයෙන් මෙසේ කීවා ය.
“මහත් රළපහර ඇති, පමණ නොකළැකි මහ මුහුදෙහි ඔබ යම් පමණකට දැහැමි වූ උත්සාහයෙන් යුක්ත වූයෙහි ද එනිසා ම නොගිලුණේ ය. ඔබගේ සිත යම් තැනෙකට ඇලුණේ ද එතැනට සුවසේ යන්න.”
මෙසේ කියා, “ගෞරවණීය උත්සාහවන්තයාණෙනි, ඔබ යායුතු තැන) කුමක්දැ” යි දේවතාවිය ඇසුවාය. ‘මිථිලා නුවර යැ’ යි බෝසත් කීහ. ඈ මහසත් තෙම මල් කළඹක් මෙන් දෑතින් ඔසවාගෙන උරමත තබාගෙන අදරැති පුතෙකු වඩාගෙන යන මවක මෙන් අහසට පැන නැගුණා ය. සත් දවසක් ලුණු දියෙන් තැවුණු ශරීරය ඇති මහසත් තෙම දිව්‍යමය ස්පර්ශය ලැබීමෙන් නින්දට වැටුණි. ඉක්බිති ඇය (මණිමේකලා දේවතාවිය) ඔහු මිථිලාවට ගෙන ගොස්, අඹ වනයෙහි මංගල ශෛලාසනයෙහි දකුණු පැත්තට හරවා තබා, උයන අධිපති දෙවියාගේ ආරක්‍ෂාව ද සලස්වා ස්වකීය භවනටම ගියා ය.
පෝළජනක රජුට පුතුන් නොවී ය. එක් දුවක් පමණක් සිටියේ ය. ඈ සීවලී දේවී නම් වූවා, පණ්ඩිතය, ව්‍යක්තය. මරණ මංචකයෙහි සිටි පෝළජනක රජතුමාගෙන් “මහරජ, ඔබ දෙව්ලොව ගියකල්හි කවරෙකුට රාජ්‍ය දිය යුතුදැ” යි අමාත්‍යයෝ ඇසුහ.
“මාගේ දියණිය වන සීවලී දේවියගේ සිත් ගැනීමට සමත් කෙනෙකුට හෝ සිව්රැස් යානේ (වෘතාකාර සයනයෙහි) ඉස්දොර (හිස තබන දිශාව) දැනගත් කෙනෙකුට හෝ දහසක් දෙනා අදිනු ලබන මාගේ දුන්න ඇදීමට සමත් වූ කෙනෙකුට හෝ සොළොස් මහා නිධාන තිබෙන තැන් දැන ගැනීමට සමත් වූ කෙනෙකුට හෝ රාජ්‍ය දෙන්නැ” යි කීවේය.
“රජතුමනි, එම නිධානයන් තිබෙන තැන් හඳුනා ගැනීමට සලකුණු දක්වන්නැ” යි ඇමතිවරු ඉල්ලා සිටිය හ. එවිට රජතුමා මෙසේ (සඟවා) කීහ.
“ඉර උදාවන තැන නිධානයැ. බස්නා තැන නිධානයැ. ඇතුළත නිධානයැ. පිටත නිධානයැ. ඇතුළත ද පිටතද නොවූ නිධානයැ. නගින තැන නිධානයයැ. බහින තැන නිධානයයැ. මහ සල්ගස් සතුර තිබෙන තැන නිධාන සතරයැ. හාත්පසින් යොදුනක් තැන නිධානයැ. දළ කෙළවර මහා නිධානයැ. වලග කෙළවර නිධානයැ. දිය ඇති තැන නිධානයැ. ගස මුදුන නිධානයැ ” යන මේ සොළොස් නිධානයෝ වෙති.
එසේම ඉහත කී ලෙස සීවලී දේවිය සතුටු කිරීමෙන් ද, යමෙක් හට සහස්‍රථම දුන්නෙහි දුනුදිය නගාලිය හැකි වේද, සිව්රැස් පර්යංකයෙහි හිස් දොර දන්නේ වේද, ඔහුට රජය දිය යුතු යැයි පෝළජනක රජු මරණ මංචකයේ දී කීහ.
ඇමැතිවරු රජු මියගිය පසු අවසන් කටයුතු කොට සත්වන දිනයෙහි රැස්ව සාකච්ඡා කළාහු ය. රජතුමා තම දියණියගේ සිත් ගැනීමට සමර්ථ වූවෙකුට රාජ්‍ය දිය යුතුයැයි කියන ලදි. කවරෙකු නම් ඇයගේ සිත් ගැනීමට සමර්ථ වන්නේ දැයි විමසුවාහු ය.
සේනාපතියා ස්වාමිත්වයට සුදුසු වන්නේ යැයි කතිකා කොට ඔහුට පණිවිඩ යැවීය. ඔහු ‘හොඳයැ’ යි කියා රාජ්‍ය ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් රාජ කුමාරියගේ මාළිගයට ගොස් තමා පැමිණි බව දන්වා යැවී ය. ඈ ඔහු පැමිණි කාරණය දැන මොහුට සේසතෙහි ආනුභාවය දැරිමට කුසලතාවය ඇත්දැයි විමසනු පිණිස වහාම එන්නැයි කියා යැවීය.
ඔහු එම කැඳවීම ලැබ ඇයගේ සිත් ගැනීමට සිතා පියගැටපෙළ මුල සිට වේගයෙන් දිවගොස් ඈ සමීපයේ සිටියේ ය. නැවත ඔහු විමසනු සඳහා මතු මහලෙහි වේගයෙන් දිවීමට අණ කළේ ය. රජකුමරිය සතුටු කරමි’යි ඔහු වේගයෙන් දිව ගියේ ය. ආපසු එන්නැයි කීවා ය. ඔහු එවර ද වේගයෙන් ආපසු ආවේ ය. ඉන්පසු මගේ පාද මිරිකන්නැයි කීහ. ඔහු ඇගේ සිත දිනාගනිමි’යි පාමුල වැදහෙව පාදැගූම් කළේ ය. ඈ ඔහුට කිසිදු කුසලතාවයක් නැතැයි දැන උරයට පා පහරක් එල්ලකොට ඉහළට ඔසවා බිම හොවා “කිසිම කුසලතාවයක් නැති මෝඩයා තලා බෙල්ලෙන් අල්ලා පිටතට නෙරපා හරිව්” යැයි දාසීන්ට අණ කළා ය. දාසීහු එසේ කළාහු ය. ඇමතිවරු ‛සේනාපති, කුමක් වීදැ’යි ඇසූහ. ‘කතා කරන්ට එපා. ඇය මිනිස් දුවක් නොවේ. යකින්නකැ’ යි සේනාපති කීය.
ඉන්පසු භාණ්ඩාගාරික ගියේ ය. ඔහු ද එසේ ලජ්ජාවට පත්කළා ය. මෙසේ සිටුහු ද, සේසත් දරන්නා ද, ආයුධ දරන්නා ද (අසිග්ගාහක) ආදී සියළු දෙනාම ලජ්ජාවට පත් කළා ය.
ඉක්බිති මහජනයා කතිකා කොට, ” රජදුවගේ සිත් දිනාගැනීමට සමත් කිසිවෙකුත් නැත. දුනුදිය ඇද නගාලීමට සමත් කෙනෙකුට රාජ්‍ය දෙන්නැ” යි කීවාහු ය. කිසිවෙක් දුනුදිය නගාලීමට සමත් නොවීය. “එසේනම් සිව්රැස් පළඟෙහි (යහනෙහි) ඉස්දොර දන්නා කෙනෙකුට දෙන්නැ” යි කීහ. එය දත් කෙනෙකු ද නොවීය. ඉන්පසු “සොළොස් මහා නිධානයන් ගැනීමට සමත් කෙනෙකුට දෙමු” යි කීහ. කිසිවෙකුත් එයද නොදත්හ.
‘අරාජක වූ රටක් පාලනය කළ නොහැක. දැන් කුමක් කරමෝදැ’ යි ඇමැතිවරු සාකච්ඡා කළාහු ය. ඉක්බිති ඔවුන්ට පුරෝහිත බමුණු මෙසේ කීහ. “එසේ නොසිතන්න. මංගල රථය පිටත්කර හැරීම සුදුසු වන්නේය. මංගල රථය ලත් තැනැත්තා මුළු දඹදිව වුවද රාජ්‍ය විචාරීමට සුදුසු වන්නේ යැ” යි කීහ.
ඔව්හු ‘හොඳයැ’ යි පිළිගෙන නුවර අලංකාර කොට සරසා මඟුල් රියට සුදු පැහැති අසුන් සිව්දෙනෙකු යොදා ඇතුළත අසුනෙහි උතුරු සළුවක් අතුරා පංච රාජකකුධ භාණ්ඩ එහි තබා චතුරංගනී සේනාව පිරිවරා සිටවූ හ. ස්වාමියා සහිත වූ රථය ගමන් කරන්නේ පංචතූර්ය නාදය පෙරටුකොට ගෙනය, ස්වාමියා රහිත වූ රථය ගමන් කරන්නේ පංචතූර්ය නාදය පසුපස ඇතිව ය. මේ නිසා තූර්ය වාදනය රථයට පසුපස සිට පවත්වන්නැ යි පුරෝහිත තෙමේ උපදෙස් දුන්නේය. රථයෙහි අසුන් බැඳි වරපොටවල් ද කසය (කෙවිට) ද රන්කෙණ්ඩියෙන් පැන් ඉස අදිටන් කොට “යම් තැනෙක රාජ්‍ය විචාරීමට පිනැත්තෙකු සිටීද ඔහු සමීපයට යන්නැ” යි කීවේය.
රථය, රජ මැදුර පැදකුණු කොට රාජ වීදියට නැගී ගියේ ය. සේනාපති ආදීහු මඟුල් රථය මා සමීපයට එති’ යි, මා සමීපයට එති යි සිතුවාහුය. රථය සියලු ගෙවල් පසුකොට ඇතුළු නුවර පැදකුණු කොට පැසුළු දොරින් නික්ම උයන දෙසට ගමන් ගත්තේ ය. රථය වේගයෙන් යනු දැක බොහෝ දෙනෙක් එය නවත්වන්නැ යි කෑගැසූ හ. රථය උයනට පිවිස මගුල් සල්වට පැදකුණු කොට, බෝසතුන් ලඟට ගොස්, නැග ගැනීමට සුදුසු ලෙස නතර විය. නිදා සිටින මහසත් දැක පුරෝහිත ඇමැතියන්ට මෙසේ කීහ.
“පින්වත්නි, ශිලා තලයෙහි කිසිවෙකු නිදා සිටිනු පෙනේ. ඔහු සේසත් දැරීමට (රජකමට) පින් ඇත්තෙකුදැ යි කුසලතා ඇත්තෙකුදැයි දැන ගනිමි. එක්වරම සියළු පංචතූර්ය නාද පවත්වව්. ඉදින් පිනැතියෙකු නම් කිසිවක් ගණන් නොගෙන සිටී. පින් නැති කාලකණ්ණියෙකු නම් නැගී සිට බියට පත්ව තැතිගෙන බලා සිටී යැ” යි කීහ.
පුරෝහිත කී පරිදි නොයෙක් සිය ගණන් තූර්ය භාණ්ඩ එක්වර හැඬවූහ. එම හඬ සමුදුර මෙන් නැගුණි. මහසත්හු එම හඬින් පිබිදී පොරවාගෙන සිටි රෙදිකඩින් හිස විවර කොට බලන්නේ මහජනයා දැක, සේසත මා කරා පැමිණී වන්නේ යැයි සිතා නැවත ද හිස වසාගෙන වම් අතට හැරි නිදා ගත්තා සේ වැදහොත්තේ ය. පුරෝහිත රෙදිකඩ විවර කොට පා සලකුණු බලා “කියන්න දෙයක් නෑ. මොහු එක් දිවයිනක නොවෙයි. සතර මහා දිවයිනෙහිම රාජ්‍ය විචාරීමට සමත් අයෙකියි” කියා නැවතත් තූර්ය නාද පැවැත්වීමට නියෝග කළේ ය. මහසත් තෙමේ මුහුණ හැර බලා දකුණු පසින් වැදහෙව, මහාජනයා දෙස බැලුවේය. පුරෝහිත තෙමේ මහජනයාට සංඥා කොට ඔවුන් උනන්දු කරවා උක්කුටිකයෙන් සිට ඇඳිලි බැඳ, “දේවයිනි, නැගිටින්න. රාජ්‍යය ඔබ කරා පැමිණියේ යැ” යි කීවේ ය. එවිට මහසත් සත් තෙමේ “තොපගේ රජු කොහිදැ” යි ඇසීය. “කළුරිය කෙළේ යැ” යි පුරෝහිත කීවේ ය. “ඔහුගේ පුතෙකු හෝ සහෝදරයෙකු නැද්දැ” යි ඇසීය. “නැතැයි දේවයිනි” පිළිතුරු දිනි. “හොඳයි, රාජ්‍යය පිළිගනිමි” යි නැගී සිට ශිලා තලය මත පළඟ බැඳ හිඳ ගත්තේ ය.
ඉක්බිති ඔහු එතැනදී ම අභිෂේක කෙරුණි. නමින් ‘මහාජනක රජු’ විය. ඔහු මංගල රථයට නැගී මහත් වූ ශ්‍රී විභූතියෙන් නුවරට පිවිස රජ මැදුරට පිවිසෙන්නේ, සේනාපති ආදීහු ඒ ඒ තන්හි සිටුවා විමසුම් කොට මතුමහලට නැංගේ ය. සීවලිය, පළමු කරුණින්ම රජු විමසනු සඳහා එක් පුරුෂයෙකු කැඳවා ‘යව. රජු වෙත එළඹ, සීවලී දේවිය ඔබ වහන්සේ කැඳවන්නී ය. වහා යහපත් වුව මැනවැ’යි කියා ඉල්ලා සිටීමට අණ කළා ය. මහසත් තෙමේ බුද්ධිමත් නිසා ඔහුගේ වචන නොඇසුනාක් මෙන් “මේ ප්‍රාසාදය කොපමණ ලක්ෂණ දැ” යි ආදී වශයෙන් පහයෙහි විසිතුරු බව වර්ණනය කරමින් සිටියේ ය. එම වැණුම් අසා සිටිමට රුචි නොවූ ඔහු රජු දුව වෙත ගොස් මෙසේ කීවේ ය. “ආර්යාවෙනි, රජතුමා ඔබගේ පණිවුඩය නෑසුණාක් මෙන් සිටිති. ඔබගේ වචන තණපතක් තරම්වත් ගණන් නොගනී. මහා පෞරුෂයක් ඇත්තෙකු වන්නේ යැ” යි කීය. දෙවෙනි තෙවෙනි වරටත් පණිවුඩ යැවීය. රජු තමන්ගේ පියවි ගමනින් සිංහයෙකු සේ වැජඹෙමින් ප්‍රාසාදයට නැංගේ ය.
මහසත් තෙමේ එහි එළඹෙත් ම රජ දුවට සිටි අයුරින් සිටීමට නොහැකි විය. ඈ ඉදිරියට අවුත් අත දී රජු පිළිගත්තා ය. මහසත් තෙමේ ඇගේ අතගෙන මතු මහලට නැගී මැනවින් ඔසවන ලද සේසත යට සිහසුනෙහි හිඳ ඇමැතියන් අමතා රජු මිය යනවිට ඔබලාට කිසියම් අවවාදයක් දුන්නේ දැයි ඇසීය. ‘එසේය. මහරජ’ යි ඇමැතිවරු කීහ. කියන්නැ’යි බෝසත් අණකළ කල්හි, සීවලී දේවිය සිත් ගැනීමට සමත් අයෙකුට රාජ්‍ය දෙන්නැ’යි කී බව පැහැදිලි කළාහු ය. සීවලී දේවියම මා කරා අවුත් අත දී පිළිගත්තා ය. එයින්ම ඇයගේ සිත් ගත් බව වන්නේ ය. රජු කී අනෙක් යමක් ඇද්දැයි ඇසූහ. සිස් යානාවේ හිස්මුදුන දත් කෙනෙකුට රාජ්‍ය දෙන්න කී බව සඳහන් කළාහුය. මේ අමාරුවෙන් දැනගත යුතු දේ උපායකින් දැනගනිමියි සිතා අන් අයට නොපෙනෙන සේ, හිසකෙස් අතර සඟවාගෙන සිටි රන්මය ඉඳිකටුවක් ගෙන මෙය සිව්රැස් යානයෙහි මුදුන් හිස තබන්නැයි සීවලී කුමරියට කීහ. ඈ එය ගෙන කඩුවක් අතට දුන්නා වගේ යැයි හඟවමින් සිව්රැස් යානයෙහි මුදුන්හිස තැබීය. රජතුමා එම සලකුණින්ම එම පැත්ත මුදුන් හිස යැයි දැන, ඇමැතිවරු මුලින් කී දේ නොඇසුනාක් මෙන් හඟවා කිමෙක් දැයි ඇසීය. ඔව්හු නැවතත් එයම කී කල්හි, ‘එය දැන ගැනීම අපහසු නැත. මේ පැත්ත මුදුන් හිස පැත්ත යැ’ යි කියා පෙන්වා රජු කී අනෙක් යමක් ඇද්දැයි විමසීය. ‘දේවයිනි, දහසක් දෙන දුනුදිය නංවා ඇදිය යුතු දුන්න නගාසිටුවා ඇදීමට සමත් අයෙකුට රාජ්‍ය දීමට අණකර ඇතැ’ යි කීහ. ‘එසේ නම් දුන්න ගෙන එව’ යි කියා ගෙන්වාගෙන අසුනෙහි සිටම, ස්ත්‍රීහු කපු පුළුන් පොලන්නට නගන දුන්නක් සේ එය නගාලී ය. ඉන්පසු, වෙනත් රජු කී දෙයක් ඇද්දැයි ඇසූහ. සොළොස් මහා නිධානයත් දැන ඒවා ගැනීමට සමත් කෙනෙකුට රාජ්‍ය දෙන්නැයි කී බව දැන්වූහ. ඒ සඳහා නිධන් ලකුණු දැක්වෙන ගාථාවක් ඇද්දැයි විමසීය. එසේය ඇතැයි කියා ‛සුරියුගගමිනෙ නිඨිති’ යනාදී ගාථාව කීහ. බෝසත්හුට එය ඇසෙන්නාහාම, අහස් ගැබෙහි සඳු මෙන් එහි අරුත් අවබෝධ විය.
‘අද කල්වේලා ඉක්ම ඇති බැවින් හෙට නිධාන ගනිමි ‘ යි මහසත් කීහ. දෙවන දින, ඇමැතියන් රැස්කරවා මෙසේ ඇසීය.
“අපගේ රජතුමා පසේ බුදුවරුන්ට දන් පිළිගැන්වූයේ ද?”
“එසේය දේවයිනි” යි කීවේය.
මහසත් සලකුණු දැක්වෙන ගාථාවේ ඇති සැඟැවුණු අරුත් සිතින් විමසා බැලීය. එහි සඳහන් ‛සූර්යයා ‘ යනු සැබෑ සූර්යයා නොවේ. සූර්යයා සමාන සත්ව කොටසක් විය යුතුය. පසේ බුදුවරු සූර්යය නමින් හඳුන්වති. උන්වහන්සේලා දානයට වඩින විට රජතුමා ඉදිරියට ගොස් පිළිගන්නා තැන නිධානයක් විය යුතු යැයි සිතා, කවර ස්ථානයකදී රජතුමා පසේ බුදුවරු පිළිගන්නේ දැයි අසා, අසවල් ස්ථානයේ දී යැයි කී කල්හි ඒ ස්ථානය හාරා නිධාන ගනුවයි කියා එහි වූ නිධාන ගත්තේය.
පසේ බුදුරජාණන් වහන්සේලා ආපසු වඩින විට පසු ගමන්කොට නතර වන්නේදැයි අසා අසවල් තැන යැයි කී කල්හි එම ස්ථානය කැනවා එහි වූ නිධානය ගනුවයි අණ කොට එයද ගත්තේය. දහස් ගණන් මහජනයා ඔල්වරසන් දෙන්නෝ සූර්යයා උදාවන ස්ථානය යැයි කී තැනට, පසේබුදුන් අහසින් වැඩ බසිනා තැන කැණවීය. සූර්යයා බසින ස්ථානය යැයි කී තැනට, පසේ බුදුන් අහසට නැගෙන තැන කැණවීය. මෙහිදී එම කුසලතාවයම ධනයක් නොවන්නේදැ’යි කියමින් විශ්මය පළකරමින් ප්‍රීතිඝෝෂා කළාහුය.
‘ඇතුළත නිධානය’ යනුවෙන් දක්වා ඇත්තේ රජගෙදර ප්‍රධාන දොරටුවෙහි එළිපත්තේ ඇතුල් පැත්තේ ඇති නිධානයැයි දැන එයද ගත්තේය. ‘පිටත නිධානය’ යනු එළිපත්තේ පිටත නිධානයැයි දැන එයද හරවා ගත්තේය. ‘නැගෙන තැන’ නිධානය යනු මඟුලැතා පිට නැගීමට රන් ඉනිමඟ තබන තැන යැයි දැන එය ද හරවා ගත්තේය. ‘බහිත තැන නිධානය’ යනු ඇතා සිටි තැනින් උගේ සිරුරේ ප්‍රමාණය ඉක්මවා ගිය තැන ඇති නිධානයැයි දැන එයද හරවා ගත්තේය. ‘මහ සල්ගස් සතුර තිබෙන තැන නිධාන සතරය’ යනු සිරියහන තැබීමට මදක් උස්වන ලෙස කළ බිම්කඩෙහි සිරියහනෙහි පා සතර තබා ඇති ගල් සතර යට ඇති නිධාන යැයි දැන එය ද ගත්තේය (සිරි යහන සාදා තිබුනේ සල් ලීයෙනි. එනිසා එය, ‘මහ සල් වෘක්ෂයෝ යැ’ යි වූ බව බෝසත් තෙම දැනගත්තේ ය). ‘හාත්පසින් යොදුනක් තැන නිධානය’ යන තැන්හි ‘යොදුන’ යනු රිය දෙකක් එකට ඈදූ විට ලැබෙන දුර ප්‍රමාණයැයි ද (ගාථාවේ සඳහන්) ‘සමන්තා’ යනු සිරියහන තිබූ තැනින් හාත්පස යැයි ද දැනගෙන සිරියහනත් රිය දෙකත් ඈඳු විට ලැබෙන දුරින් වූ නිධානයද හරවා ගත්තේය. ‘දළ අග නිධානය’ යනු මඟුලැති බැඳ සිටින තැන උගේ දළ කෙළවර කොට ඇති ස්ථානයෙහි වූ මහා නිධාන දෙක යැයි දැන එහි කැණීම් කොට එය ද ගත්තේය. ‘වලිග කෙළවර නිධානය’ යනු අස්හලෙහි මඟුලසුගේ වලිග දික්කළ තැන කෙළවරකොට පිහිටි නිධානයැයි දැන එයද ගත්තේය. කෙබුක යනු ජලයයි. ‘කෙබුකෙ නිධානය’ යනු ජලයෙහි ඇති නිධානය යැයි යන්න මඟුල් පොකුණේ බව දැන මඟුල් පොකුණේ දිය ඉස එහි වූ නිධානය ද ගත්තේය. ‘ගස මුදුන නිධානය’ යනු උයනෙහි මහසල් රුකෙහි මධ්‍යාහ්න සමයෙහි පරිමණ්ඩලාකාර සෙවනැල්ල වැටෙන සීමාවෙහි ඇති නිධානය යැයි දැන එයද හරවා ගත්තේය. මෙසේ සොළොස් මහා නිධානයන් ද ලබාගෙන, වෙනත් රජු කී යමක් ඇද්දැයි ඇසීය. ‘නැත මහරජ’ යි තුටුපහටු වූ සිත් ඇති මහජනයා කීවෝ ය.
ධනය දන් දීමට යොදවන්නෙමියි සිතූ මහසත් නුවර මැද ද සතර දොරටුවෙහි ද මහදන් සැල් පහක් කරවා මහදන් පැවැත්වී ය. කාළචම්පා නුවරින් මවද බමුණාද ගෙන්වා මහත්සේ සත්කාර කළේ ය. මහසත්හු රාජ්‍යත්වයට පැමිණි මුල් කාලයේදී ම ‘අරිට්ඨජනක රජුගේ පුත් කුමරා මහාජනක නමින් රාජ්‍ය කරන්නේ ය. පණ්ඩිත වූ රජතුමා අපිද දකිමු’ යි බොහෝ දෙනා තුළ රජු දැකීමට මහත් කැළඹීමක් ඇති විය.
ඉන්පසු බොහෝ දෙනා මහත් පුද පඬුරු ගෙන මහසත් දැකීමට ගියෝ ය. රජ මැදුර සරසවා, ලදපස්මල් ආදියෙන් විසුරුවා, සුවඳ දුමින් දුම් දී නොයෙක් රස බොජුන් ද පිළියෙල කොට තැබීය. රජුට පඬුරු පිණිස රන්රුවන් ද නොයෙක් ආකාර කැවිලි පෙවිලි ආහාර වර්ගද පලවැලද ගෙන බොහෝ දෙනා ඒ ඒ තන්හි රැස්ව සිටියෝ ය. කොටසක් ඇමතිවරුන්ගේ නිවෙස්වල ද තවත් අය බමුණු ගෙවලද සිටු මැදුරු වලද, නාටක ස්ත්‍රීන්ගේ නිවෙස්වල ද තම වාරය පැමිණෙනතුරු ලැගුම්ගෙන සිටියෝ ය. ආසිරි ගී ගයා සෙත්පතන බමුණු සමූහයා ආශිර්වාද ගීතයන් පැවැත්වූහ. නොයෙක් සියගණන් තූර්ය වාදන කළෝය. මුළු රජ මැදුර බැලූ බැලූ පැත්තේ යුගන්ධර සයුරෙහි ඇතුළත මෙන් එකම ඝෝෂාවක් විය.
මහසත් තෙම සේසත යට සිහසුනේ සිට සක් සැප සමාන මහත් වූ ශ්‍රී විභූතිය දැක තමන් මහ සයුරෙහි කළ වීර්යය සිහි කළහ. ‘වීර්යය නම් කළයුතු දෙයක්ම ය. ඉදින් මම මහ සමුදුරෙහි වීර්යය නොකළේ නම් මෙබඳු සම්පත්තියක් නොලැබිය හැකි වන්නේ ය.’ සමුදුරෙහි දී කළ එම වීර්යය සිහිකරන කල්හි මහත් සොම්නසක් ඇතිවිය. හෙතෙම ප්‍රීති වේගයෙන් උදන් අනන්නේ මෙසේ කීහ.
“නුවණැති පුරුෂ තෙම ප්‍රාර්ථනා කරන්නේම ය. (අරමුණක් කරා ළඟා වීමට දැඩි බලාපොරොත්තු ඇත්තෝමය.) උත්සාහය වැඩීමේදී නොකලකිරෙන්නේය. යම්දෙයක් කැමැති වීද එසේ වූ මම ම දකිමි.
නුවණැති පුරුෂ තෙම ප්‍රාර්ථනා කරන්නේම යැ. උත්සාහ වැඩීමේදී නොකලකිරෙන්නේය. දියෙන් ගොඩ ආ මම ඒ තමන් දකිමි.
නුවණැති පුරුෂ තෙම වෑයම් කරන්නේමය. නොකලකිරෙන්නේය. යම්සේ කැමැති වීද එසේ විය. මම (එබඳු වූ) තමා දකිමි.
නුවණැති පුරුෂ තෙම වෑයම් කරන්නේ මැය. නොකලකිරෙන්නේය. දියෙන් ගොඩ ආ මම එබඳු වූ තමා දකිමි.
නුවණැති මිනිස් තෙමේ දුකට පත් වුයේ ද සුවපත් වීමට ඇති නොකරන්නේය. බොහෝ වූ හිතා හිත දේවල් ( සමග) නොතකන්නෝ මරණයටද පත්වෙති.
නොසිතූ දේ වෙයි. සිතූ දේ වැනසෙයි. ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට සිතීමෙන්ම සිදුවන සම්පත් නැත.”
මහසත් එතැන් පටන් දසරාජ ධර්මයන් නොඉක්මවා දැහැමින් රාජ්‍ය කරන්නෝ ය. පසේ බුදුවරුන්ට ද උපස්ථාන කරන්නේ ය. පසු කාලයෙහි සීවලී දේවිය පින්වත් භාග්‍යවන්ත කුමරෙකු ප්‍රසූත කළා ය. දීඝායු කුමාරයා යැයි ඔහුට නම් තැබීය. කුමරා තරුණ වයසට පත්වූ පසු රජතුමා ඔහුට යුවරාජ පදවිය පිරිනැමී ය.
එක්දිනෙක උයන්පල්ලා විසින් එවන ලද නොයෙක් ඵලාපල හා විසිතුරු මල් දැක, උයන්පල්ලාගේ මෙහෙවරට සලකා, ‘යහළු උයන්පල්ල, උයන දකින්නට කැමැත්තෙමි. එය මනාකොට සකස් කරව’ යි නියෝග කළේය. ඔහු යහපතැයි පිළිගෙන එසේ කොට මහසත් හට දැන්වීය. මහසත් මඟුලැතු පිට නැගී උයන් දොරටුවට පැමිණියහ. එහි නිල් පැහැ අතු පතරින් බබලන එක් අඹ ගසක් ද පලින්බර තවත් අඹ ගසක්ද විය. එහි අඹගෙඩි ඉතා මිහිරි රසයෙන් යුක්ත විය. එහි පළමු ඵලය රජතුමා පරිභෝග නොකළ නිසා කිසිවෙකුත් අඹගෙඩි කෑමට උත්සුක නොවීය. ඇතුපිටින් ගමන්කරන රජතුමා, ඇතුපිට සිටම එක් අඹගෙඩියක් අනුභව කෙළේය. දිව අග තබන්නාහාම එම අඹ ඵලයෙහි රසය දිව්‍ය රසයක් මෙන් දැනුණි. ආපසු එනවිට වැඩිපුර අඹ කඩා කමියි රජතුමා සිතීය. රජු විසින් පළමු ගෙඩිය අනුභව කරනු ලැබුණි. යුවරජ ආදීකොට ඇති ඇත්ගොව්වන් ආදීහුද අඹ කඩාගෙන කෑවාහුය. අඹ නොලත් අය පොලු වලින් අඹගසේ අතුපතර තලාපෙලාලූහ. ගස සිඳබිඳ දැමුවා සේ විය. අනෙක් අඹගස් නිල්මැණික් මෙන් බැබලි බැබලී පැවතුණි.
රජු උයනින් බැහැර එන්නේ එය දැක මේ කුමක් වී දැයි ඇමතියන්ගෙන් විමසූහ. “දේවයන් වහන්සේ පළමු අඹ ගෙඩිය කෑ පසු හැකි හැම කෙනෙක්ම අඹ කඩා කෑහ. මෙම විනාශය කළහ. මහරජ, පල දැරූ වුයේ විනාශයට පත්විය. පල නොදැරූ මේ ගස මනා පළුපත් ඇතිව නිල් පැහැයෙන් බබලන්නේ රැකුනේ විය” යනුවෙන්ද ඔව්හු කරුණු දැක්වූහ. මේ බව ඇසීමෙන් රජතුමාට මහත් සංවේගයක් ඇති විය. ‘මේ ගස පල නොදැරූ බැවින් නිල් පැහැයෙන් බැබලෙමින් තිබේ. මේ ගස පල දැරූ බැවින් සිඳ බිඳ මැඩලන ලද්දේ විය. මේ රාජ්‍යය පලදැරූ ගස මෙනි. පැවිද්ද පල රහිත ගස මෙනි. පල සහිත වූ කල්හි හිරිහැර බිය ඇති වේ. පල රහිත වූ කල්හි එසේ නොවේ. මම පල සහිත ගසක් මෙන් සම්පත් බහුලව වාසය කරමි. පල රහිත ගසක් මෙන් සම්පත්තියෙන් බැහැර වී පැවිදි වන්නෙමියි’ දැඩිසේ අදිටන්කොට නගරයට පිවිස මාලිගා දොරටුවෙහි සිට සේනාපති කැඳවා මෙසේ කීහ.
“මහා සේනාපතිය, අද පටන් මට මේ වඬන සේවකයාද මුව දෝනා ජලය, දැහැටි දඬු ආදිය සපයා දෙන්නාද, උපස්ථායකයන් හැර වෙනත් අයෙකුට මා දැකීමට අවසර නැත. දෙටු නීති විසාරදයන් විමසා රාජ්‍ය පාලනය කරගෙන යන්න. මම අද පටන් මතු මහළෙහි මහණදම් පුරමි” යි කියා ප්‍රාසාදයට නැගී තනිවම ශ්‍රමණ පිළිවෙත්වල යෙදුනෝය. කලකට පසු මහජනයා රාජාංගනයෙහි රැස්ව අපේ රජතුමා පෙර මෙන් නොවේ යැයි මෙසේ ප්‍රකාශ කළාහුය.
“පින්වත්නි, සියළු පොළව හිමි දිසාවලට අධිපති රජ තෙමේ ඒකාන්තයෙන් පෙර පරිදි නොවේ. අද නැටුම් නොබලයි. ගී ගැයීමෙහි සිත් ඇලුම් නොකරයි. මෘග යුද්ධ නොබලයි. උයන් කෙළි නොකෙරෙයි. හංසයන් ද නොබලයි. ගොළුවෙකු මෙන් නිහඬව හුන්නේ අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා නොකරන්නේ ය” යි මහජනයා කීය.
රජතුමා, කාමයන්හි නොඇලුන විවේකයට නැඹුරු වූ සිතින් හිතවත් පසේ බුදුවරු සිහිකර, එබඳු සීලාදි ගුණ ඇති උතුමන් කැමති වන වනසෙනසුනක මාගේ ඇලීමක් නොවන්නේ කෙසේදැයි මෙබඳු උදාන ගාථාවන් කියන්නෝය.
“නිවන්සුව නමැති වැසුණු සීලාදි ගුණ ඇති වධ-බන්ධන නැති තරුණ මහලු පසේ බුදුවරු කවර කෙනෙකුන්ගේ අරමෙහි අද වෙසෙත්ද?
තෘෂ්ණා නැති නුවණැති යම්කෙනෙක් රාගාදි කෙලෙසුන්ගෙන් උත්සන්න බවට පත් ලෝකයෙහි උත්සාහ නැත්තෝ ව වෙසෙත් ද ඒ මහර්ෂී උතුමන්ට නමස්කාර වේවා.
උන්වහන්සේ ඉතා මායාකාරී වූ මරුවාගේ දැඩි දළ සිඳ සුන්කළ කෙළෙස් ඇති බැවින් සසරින් නික්ම යෙති. ඒ උතුමන් වසන තැනට මා පමුණු වන්නේ කවරෙක්ද?”
මෙසේ ඒ පසේ බුදුවරුන්ගේ ගුණ සිහිකරන මහසත් හට ඉමහත් සොම්නසක් ඇතිවිය. ඉක්බිති පර්යංකයෙන් නැගී සිට උතුරු සීමැදුරු කවුළුව, උතුරු දෙස බලාගෙන මුදුනෙහි දොහොත් බැඳගෙන මේ අනඤ්ඤාත වූ ගුණයෙන් හෙබි පසේබුදුරජාණන් වහන්සේලා යැයි හඟිමින් නමස්කාර කරමින් ‘අතික්කන්ත වනථාති ‘ ආදී ගාථාව කීහ.
මෙසේ මාලිගාවේ මතුමහල් තලයේ මහණදම් පුරන්නේ සිව්මසක් ඉක්ම ගියේ ය. ඉක්බිති මහසත් හට ඉතා තදින් පැවිද්දට සිත නැඹුරු විය. ගිහිගෙය ලෝකාන්තරික නිරය මෙන් දුක් ගෙන දේ. තුන් ලෝකය ගිනිගත්තා මෙනි. හෙතෙම, ‘පැවිද්දට නැමුණු සිතින් ශක්‍ර භවනය (තව්තිසා දෙව්ලොව) වැනි සමලංකෘත වූ මේ මිථිලා නුවර හැරදමා පැවිදි වෙස් ගන්නා දවස කවරදා මට උදාවේදැ’ යි සිතා (මෙසේ) මිථිලා නුවර වර්ණනා කිරීම ඇරඹීය.
“කවර කලෙක මම සමෘද්ධ වූ විශාල වූ හාත්පසින් බබලන්නා වූ මියුලු නුවර හැරදමා පැවිදි වන්නෙම්ද එය කවරදා සිදුවන්නේද?
කවර කලෙක මම බෙදා කොටස් වශයෙන් ප්‍රමාණ කළ සමෘද්ධ වූ මියුලුනුවර හැරදමා පැවිදි වන්නෙම් ද? එය කවරදා සිදුවන්නේද?
කවර කලෙක මම මහත් පවුරු දොරටු තොරණින්, දැඩි අටලු දොරකොටු වලින්, මැනවින් කොටස් කළ මහාවීදි ඇති, මැනවින් විභාග කළ සල්පිල් ඇති, ගවයන් අසුන් යෙදූ රථ ගැවසීගත්, පුෂ්පාරාම ඵලාරාම හා උයන් පෙළ ඇති, උයන් හා වනපෙත් ඇති, ප්‍රාසාද හා වන පංති ඇති, නෑයන්ගෙන් යුත් තුන් පවුරකින් පිරිවර වූ සොමනස්ස නම් විදේහ රජු විසින් මවන ලද සමෘද්ධ වූ මියුලු නුවර හැරපියා පැවිදි වන්නෙම්ද? එය කවරදා වන්නේ ද?
කවර කලෙක මම දැහැමින් රැස්කළා ධන ධාන්‍ය ඇති, සතුරන් විසින් නොදිනිය හැකි දැහැමින් රැකුණු සමෘද්ධ වූ විදේහ වැසියන් හැර පැවිදි වන්නෙම් ද? එය කවරදා වන්නේ ද?
කවර කලෙක විභාග කළ කොටස් වශයෙන් ප්‍රමාණයෙන් කළ, සුණු පිරියම් කළ මැටි ආලේප කළ, පිවිතුරු සුවඳින් යුත් මනරම් වූ සිත්කලු අන්තඃපුරය හැර පැවිදි වන්නෙම්ද? එය කවරදා වන්නේ ද?
කවර කලෙක මම විභාග කළ කොටස් වශයෙන් ප්‍රමාණ කළ, සුවඳ ඇති සිත් අලවන, ආලේප කළ රත්සඳුන් ඉස්නා ලද කූටාගාරයන් හැර පැවිදි වන්නෙම්ද? එය කවරදා වන්නේ ද?
කවර කලෙක මම සතරඟුල් පමණ එළු ලොමින් කළ විසිතුරු පළස් අතුළ රන්මුවා, මිණිමුවා පර්යංකයන් හැර පැවිදි වන්නෙම්ද? එය කවරදා වන්නේද?
කවර කලෙක මම කපුපිළී හා කොසෙය්‍ය වස්ත්‍ර ද, කොමු පිළි ද, කෝටුම්බර දේශයෙහි නිපන් වස්ත්‍ර ද, හැර පැවිදි වන්නෙම්ද? එය කවරදා වන්නේද?
කවර කලෙක මම සක්වාළිහිණියන් විසින් පැවැත්වෙන නාද ඇති, මන්දාලකයන්ගෙන් හා පියුම් උපුල් ආදී පස්පියුමෙන් ගැවසී ගත් රමණීය පොකුණු හැර පැවිදි වන්නෙම්ද? එය කවරදා වන්නේ ද?
කවර කලෙක මම සර්වාභරණින් සැරසුණු රන්පොරොදු, රන් ශීර්ෂාභරණයෙන් හා රන්දැලින් ද යුත් තෝමර හා අකුසු ගත් අත් ඇති ඇතරුවන් නැගුණු ඇත් රජුන් හැර පැවිදි වන්නෙම්ද? එය කවරදා වන්නේ ද?
කවර කලෙක මම උපතින් ම අජානීය වූ සර්වාභරණින් සැරැසුණු, සෛන්ධව නම් ශීඝ්‍ර වාහන වූ, කරවාල දුනු දරන අසරුවන් නැගුණු, අශ්ව සමූහයන් හැර පැවිදි වන්නෙම්ද? එය කවරදා සිදු වන්නේ ද?
කවර කලෙක මම මැනවින් සැදුණු එසවුණු ධජ ඇති, අතුළ දිවසම් ද, ව්‍යාඝ්‍ර සම් ඇති ද, සියලු අලංකාරයෙන් සැරසූ දුනු ගත් අත් ඇති, යුද්ධ සැට්ටයෙන් සැරසුණු රියදුරන් නැගුණු රථ පංතිය ද, ස්වර්ණමය රථයන් ද, රිදී රථයන් ද, අශ්වයන්, ඔටුවන්, ගොනුන්, එළුවන්, තිරෙළුවන්, මුවන් යෙදූ රථ ද හැර පැවිදි වන්නෙම්ද? එය කවරදා වන්නේ ද?
කවර කලෙක මම සියලු අලංකාරයෙන් සැරසුණු, සිල්වත්, සැට්ට දරන තෝමර හා අකුසු ගත් අත් ඇති ශූර ඇතරුවන්, අසරුවන්, රියදුරන්, හැර පැවිදි වන්නෙම්ද? එය කවරදා වන්නේ ද?
කවර කලෙක මම සියලු අලංකාරයෙන් සැරසුණු, සිල්වත්, සැට්ට හා ස්වර්ණමය හිස් වෙළුම් ඇති ශූර වූ රාජකුමාරයන් හැර පැවිදි වන්නෙම්ද? එය කවරදා වන්නේ ද?
කවර කලෙක මම වස්ත්‍ර යුත් සැරසුණු රන්වන් සඳුන් ගැල්වූ ශරීර ඇති උතුම් කසී සළු දරන බ්‍රාහ්මණ සමූහයා හැර පැවිදි වන්නෙම්ද? එය කවරදා වන්නේ ද?
කවර කලෙක මම සියලු අලංකාරයෙන් සැරසුණු, සිහින් ඉඟ ඇති, මැනවින් හික්මුණු, කීකරු ප්‍රිය වදන් තෙපලන සත්සියයක් භාර්යාවන් හැර පැවිදි වන්නෙම්ද? එය කවරදා වන්නේ ද?
කවර කලෙක මම සියක් පළමුවෙන් කළ සියගණ විසිතුරු රේඛා ඇති රන්මුවා තලිය හැර පැවිදි වන්නෙම්ද? එය කවරදා වන්නේ ද?
කවර කලෙක සියලු අලංකාරයෙන් සැරසුණු රන් පොරෝදු ඇති, රන්මුවා ශීර්ෂාභරණ ද සැරසුණු වස්ත්‍ර ද ඇති තෝමර හා අකුසු ගත් අත් ඇති ඇතරුවන් නැගුණු, හස්තිරාජයන්ගෙන් යුත් ඇත් සමූහයෝ හුදකලා වනයට යන මා සමග නො යන්නෙහුද, එබඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?
කවර කලෙක සර්වාභරණින් සැරසුණු උපතින්ම ශීඝ්‍ර ගමන් ඇති සෛන්ධව නම් වන කරවාලායුධ හා දුනු දරන අසරුවන් නැගුණු අශ්ව සමූහයෝ වනයට යන හුදකලා මා අනුව නොයන්නාහුද? එබඳු පැවිද්ද කවරදා සිදු වන්නේද?
කවර කලෙක යුදයට සැරසුණු එසවූ ධජ ඇති අතුළ දිවිසම් හා ව්‍යාඝ්‍ර සම් ඇති සර්වාභරණින් සැරැසුණු දුනුගත් අත් ඇති යුද සැට්ට දරන, කවර කලෙක නමුත් යුදයට සැරසුණු, එසවූ ධජ ඇති, අතුළ දිවිසම් හා ව්‍යාඝ්‍ර සම ඇති, සර්වාභරණින් සැරැසුණු දුනුගත් අත් ඇති, යුද සැට්ට දරන රියදුරන් නැගුණු තිරෙළුවන්, මුවන් යෙදූ රථ සමූහයෝ හුදකලා වනයට යන මා අනුව නො යන්නාහුද? එබඳු පැවිද්ද කවරදා සිදු වන්නේද?
කවර කලෙක සියලු අලංකාරයෙන් සැරැසුණු නිල් සැට්ට දරන තෝමර හා අකුසු ගත් අත් ඇති ශූර ඇතරුවෝ, අසරුවෝ, ශූර රථ සේනාවෝ, ශූර ධනුර්ධරයෝ වනයට යන මා අනුව නො යන්නාහු ද එබඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?
කවර කලෙක සියලු අලංකාරයෙන් සැරැසුණු රන් සැරයටි ගත් අත් ඇති ශූර රාජ පුත්‍රයෝ වනයට යන මා අනුව නොයන්නාහු ද එබඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?
කවර කලෙක සියලු අලංකාර වස්ත්‍රයෙන් සැරසුණු රත්හඳුන් ගැල්වුණු ශරීරායව ඇති උතුම් කසී සළු දරන බ්‍රාහ්මණ සමූහයෝ වනයට යන මා අනුව නො යන්නාහු ද එබඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?
කවර කලෙක සියලු සර්වාභරණින් කහ පැහැ ඇඳුමින් සැරසුණු පෙරටුව යන ශූර ඇමති ගණයා වනයට යන මා අනුව නො යන්නාහු ද එබඳු පැවිද්ද කවරදා සිදු වන්නේද?
කවර කලෙක සියලු සර්වාභරණින් සැරසුණු,මනා වූ සිහින් ඉඟ ඇති, ප්‍රිය තෙපුල් ඇති සත්සියයක් භාර්යාවෝ හුදකලා වනයට යන මා අනුව නොයන්නාහු ද එබඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?
කවර කලෙක හිස මුඩු කළ, සඟල සිවුරක් පෙරවූ මම පාත්‍රයක් ගෙන පිඬුසිඟා හැසිරෙන්නෙම් ද? පාංසකූල වස්ත්‍රයත් සඟල සිවුරත් දරන්නෙම් ද? (බැඳගෙන වස්නා) සත්දා වැස්සෙන් තෙත් සිවුරු ඇති මම පිඬු පිණිස හැසිරෙම් ද? ගසින් ගසට වනයෙන් වනයට පැමිණ ඇලුම් නොකොට මුළු දවසම වසන්නෙම් ද? ගිරි දුර්ග ස්ථානයන්හි පහවූ බිය ඇතිව හුදකලාව හැසිරෙන්නෙම් ද? වීණා වාදකයෙකු සත් සතක් ඇති වීණාව යම්සේ මිහිරිකොට හඳවත් ද, මමත් කවදා නම් එසේ මගේ සිත සෘජු කරන්නේ ද? පාවහන් සිදුනා සොම්වරයෙකු මෙන් දිව්‍ය වූ ද මානුෂික වූ ද කාම සංයෝජනයන් බැහැරකොට මසම් ද? එබඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?
ඒ මහාජනක රජ තෙමේ මිනිස් පරමායුෂ අවුරුදු දසදහසක් ඇතිකල්හි මිනිස්ලොව ඉපදුනේ, අවුරුදු සත්දහසක් රජ කොට අවුරුදු තුන්දහසක් ඉතිරිව ඇති කල්හි පැවිදි විය. පැවිද්දට සූදානම්වන කල්හි, උයන්දොර අඹරුක දුටුදා සිට සිව්මසක් ගිහිගෙයි වැස, රජ වේසයට වඩා පැවිදි වේසය ම උතුම් යැයි සිතා පැවිදි වන්නෙමියි අදිටන්කොට උපස්ථායකයාට රහසින් මෙසේ ඇණවීය. ‘දරුව, කිසිවෙකුට නොහැගෙන ලෙස සල්පිලෙන් කෂාය වස්ත්‍ර ද මැටි පාත්‍රයක් ද ගෙන එව’. ඔහු එසේ කෙළේ ය. රජතුමා කරණවෑමියා බනවා කෙස් රැවුළු බාවාගෙන, කරණවෑමියාගේ උදව් ඇතිව එක් සළුවක් හැඳගෙන, එකක් ඒකාංශකොට දමාගෙන, එකක් පොරවා ගත්තේ ය. මැටි පාත්‍රය ඔලොගුවක ලා දසරුවෙහි එල්ලා ගත්තේය. පසුව සැරයටියක් ගෙන මතුමහලෙහි පසේ බුදුවරුන්ගේ ලීලායෙන් එහෙ මෙහෙ සක්මන් කෙළේ ය. එතුමා එදවස එසේම වැස, දෙවැනි දින ඉර නැගෙන කල්හි පහයෙන් බසින්නට විය.
එදා සීවලී දේවිය යෙහෙළියන් සත්සිය දෙනා අමතා අපගේ රජතුමා බොහෝ කාලයකින් නොදුටු විරූ ය. සිව්මසක් ද ගත විය. අද එතුමා බැලීමට යමු යි කියා සියලු දෙනාම අලංකාර ලෙස සරසවා හැකි හැම ආකාරයකින් ස්ත්‍රී මායම් දක්වා කෙලෙස් බැම්මෙන් බැඳගැනීමට උත්සාහ ගන්නැයි කියා තමා ද මනාව සැරැසී, ඔවුන් සමඟ රජතුමා දකිමි`යි පහයට නගින්නී පහයෙන් බසින රජතුමා දුටුවේ වී නමුත් නො හැඳින්නා ය. රජුට අවවාද අනුශාසනා කිරීමට පැමිණි පසේ බුදුන් වහන්සේ නමක් යැයි සිතා වැඳ නමස්කාර කොට එකත්පසෙක සිටියා ය. මහසත්හු ද පහයෙන් බැස ගියහ. ඔව්හු පහයට නැග බලන කල්හි සිරියහන් ගබඩාවේ පුටුව මත රජතුමාගේ අක්බඹරු වී ගිය කළුකෙස් ද, රජතුමා ඇලුම් කළ බඩුබාහිර ද එසේම තිබෙනු දැක ඒ පසේබුදුවරයෙකු නොව අපගේ පිය සැමියා යැයි කියා, එන්න ඔහුට ආයාචනාකොට නවත්වව’ යි කියා මතුමහල් තලයෙන් බැස රජගෙයි මිදුලට බැසෝය. ඈ සමග සියලු බිසෝවරු කෙස්වලු දෙපිට දෑලේ මුදාහැර දෑත්වලින් පපුවට ගසා ගනිමින් මහරජතුමන් කුමක් සඳහා මෙබඳු දෙයක් කරගත්තේදැයි කුළුණුබර හැඟුම් පාමින් අඬ අඬා රජතුමා ලුහුබැඳ ගියාහු ය. මුළු නුවරම මෙපුවත ඇසීමෙන් කැළඹී ගියේ ය. නගර වැසි ජනයා ද අපගේ රජතුමා පැවිදි විය. කෙසේ නම් මෙබඳු දැහැමි රජෙකු ලබාගත හැකිදැයි හඬමින් වැලපෙමින් රජු ලුහුබැඳ ගියාහුය.
එහිදී ඒ ස්ත්‍රීන්ගේ වැළපීමත්, එසේ වැලපෙන්නා වූ ඔවුන් හැරදමා රජතුමා ගේ නික්ම යෑමත් ගෙනහැර දක්වමින් ශාස්තෲන් වහන්සේ මේ ගාථා දේශනා කළ සේක.
“සියලු අලංකාරයෙන් සැරසුණු ඒ සත්සියයක් ආර්යාවෝ කවර හෙයින් අප අත්හරින්නේදැයි දෙඅත් ඔසවාගෙන හැඩූහ.
මනාව හික්මුණ, සිහින් ඉඟසුඟ ඇති ඒ සත්සියයක් ආර්යාවෝ කවර හෙයින් අප අත්හරින්නේදැයි දෙඅත් ඔසවාගෙන හැඩූහ.
කීකරු වූ ප්‍රිය තෙපුල් ඇති ඒ සත්සියයක් ආර්යාවෝ කවර හෙයින් අප අත්හරින්නේදැයි දෙඅත් ඔසවාගෙන හැඩූහ.
සියලු අලංකාරයෙන් සැරසුණු ඒ සත් සියයක් ආර්යාවත් හැර පැවිද්ද විසින් පෙරටු කළ රජ තෙමේ නික්ම ගියේය.
මනාකොට හික්මුණු සිහින් ඉඟ සුඟ ඇති ඒ සත්සියයක් ආර්යාවන් හැර පැවිද්ද විසින් පෙරටු කළ රජ තෙමේ නික්ම ගියේය.
කීකරු වූ ප්‍රිය තෙපුල් ඇති ඒ සත්සියයක් ආර්යාවන් හැර පැවිද්ද විසින් පෙරටු කළ රජ තෙමේ නික්ම ගියේය.
මහණෙනි, ඒ මහාජනක රජතුමා ඔහුගේ සත්සියයක් බිරින්දෑවරු, ‘මහරජ කුමක් නිසා අප හැර යන්නේ ද? අපගේ ඇති වරද කිමදැයි වැළපෙන්නවුන් හැර දමා පැවිද්ද පිණිස යන්නේ දැ’ යි ඔවුන් විසින් චෝදනා කරනු ලබන්නෙකු මෙන් ඔවුන් හැරදමා පෙරටුව ගියේය
ඒ රජු තෙමේ සියයක් පළමකින් කළ සිය ගණන් රේඛා ඇති රන්තලිය හැර දෙවෙනි අභිෂේකයක් මෙන් ඒ මැටි පාත්‍රය ගත්තේය.
මහණෙනි, ඒ මැටි පාත්‍රය ගැනීම දෙවෙනි අභිෂේකයක් මෙන් සලකා ඒ රජතුමා (එයත් රැගෙන) නික්මුණේය”
සීවලී දේවිය කොතරම් වැලපුනත් රජතුමා නැවැත්වීමට නොහැකි වූවා ය. එසේ නැවැත්වීමට උපායක් ඇතැයි සලකා සෙන්පතියාට කතා කොට, “දරුව, රජු ගමන් කරන මඟ ඇති දිරූ ගෙවල්, දිරූ ශාලාවන්ට ගිණි තබව. තණ රඬැල් රැස්කොට ඒ ඒ තන්හි දමා ගිනිතබා දුම් නග්වව” යි අණ කළා ය. ඔහු එසේ කෙළේ ය. ඈ රජු සමීපයට ගොස් පාමුල වැටී මියුලු නුවර ගිනිගත් ආකාරයක් හඟවමින් මෙසේ කිවා ය.
“මහරජ, ඔබගේ නුවර ගෙවල් ගින්නෙන් අතරක් නැතිව දැවෙයි. බඩු ගබඩා කොටස් වශයෙන් දැවෙයි. ඒවායෙහි රිදී, අමුරන්, මුතු, වෙරළුමිණීද බොහෝ වේ. මැණික් ද, සක් මුතු ද වස්ත්‍ර ද රත් හඳුන් ද, අඳුන් දිවිසම් ද දළමුවා බඩු ද තඹ ආදී ලෝහ භාණ්ඩ ද කළු ලෝහ භාණ්ඩ ද වෙයි.
මහරජ, නවතින්න. එනු මැනවි. විනාශ වන ඔබගේ ධනය රැකගනු මැනවි. ධනය විනාශ වීමට ඉඩ නොදෙන්න. එන්න… එම ගින්න නිවාලන්න. ආපසු හැරී යන්න. දැවෙන නගරය ගැන නොබලා ගිහි ගෙයින් නික්මුණේ යැයි ඔබට නිග්‍රහ කරන්නෝ වෙති. ඒ නිසා ඇති වන ලජ්ජාවෙන් ඔබේ සිත විපිළිසර වේ. මහරජ එන්න.”
අනතුරුව ඇමැතියන්ට අණ කොට ගින්න නිවා දමන්නැයි දේවිය කීවා ය.
ඉක්බිති මහසත් තෙමේ දේවියට මෙසේ කීහ. “කුමක් කියව්ද? යම් තැනක යමක් වේ නම් එය එහිම දැවී යන්නේ ය. මා වනාහි කිසිවක් නැති තැනැත්තෙක් වෙමි. යම් කිසිවක් අපට නැත්තේද, ඒ අපි ඒකාන්තයෙන් ඉතා සුවසේ ජිවත් වෙමු. මියුලු නුවර දැවෙන කල්හි මා සතු කිසිවක් නොදැවේ.”
මෙසේ ප්‍රකාශ කොට මහජනක රජතුමා, උතුරු දිග දොරටුවෙන් නික්මුණේ ය. එතුමා සමග භාර්යාවෝ ද නික්මුණාහු ය.
නැවත ද සීවලී දේවිය එක් උපායක් සිතා ගම් නගර නසා රට විනාශ කරන ආකාරයක් පෙන්වීමට අණ කළා ය. මොහොතකින් ආයුධ අතැති පුරුෂයින් එහෙ මෙහෙ දුවමින් ආයුධවලින් පහර දීගන්නා ආකාරයත් සිරුර වල ලාක්‍ෂාරක ගල්වා තුවාල වූ ආකාරයත්, එසේ පහර වැදී මැරුණ වුන් මෙන් සමහරු පලක මත තබා ලහි ලහියේ ඔසවාගෙන යන ආකාරයත් රජුට දකින සේ සැලැස්වීය. මහජනයා, “මහරජ, ඔබ ජීවත්ව සිටියදීම රට විලෝපනය වෙයි. මිනිසුන් මරාදමයි” යි උද්ඝෝෂණය කළාහු ය. දේවියද රජු ඉදිරියෙහි වැඳ වැටී නවතින ලෙස මෙසේ කීවා ය.
“මහරජ, ඔබ ජීවත්ව සිටියදීම වනගත සොරු පැමිණියෝ ය. ඔබ සතු රට වනසති. එනු මැනවි. නවතිනු මැනවි. දැහැමින් රැකි ඔබේ රට නොනසනු මැනව” යි (සීවලී බිසව කීවාය.)
රජ, “මා ජිවත්ව සිටියදී සොරු නැගී සිට රට විනාශ කරන්නේ නැත. සීවලී දේවියගේ වැඩ මෙහෙම නේදැ” යි සිතා වටහා දෙනු සඳහා මෙසේ කීහ.
“යම්බඳු කිසිවක් අපට අයත් නැද්ද, ඒ අපි ඒකාන්තයෙන් සුවසේ ජිවත් වෙමු. රට පහරන කල මගේ කිසිවක් නොනැසේ.
යම්බඳු කිසිවක් අපට අයත් නැත්තේද ඒ අපි ඒකාන්තයෙන් සුවසේ ජීවත් වම්හ. ආභස්සර නම් බඹලෝ වැසි දෙවියන් මෙන් ප්‍රීතිය ආහාර කොට ඇත්තෝ වෙමු.”
මෙසේ කී කල්හි ද මහජනයා රජතුමා ලුහුබැඳ යන්නට වූහ. ඉක්බිති රජතුමාට මෙබඳු අදහසක් පහළ විය. “මේ රට වැසි ජනයා නතර වන්නට නොකැමැත්තෝ ය. කිසියම් හෙයකින් ඔවුන් නවත්වන්නෙමි” යැයි සනිටුහන් කොට අඬ ගව්වක් ගිය කල්හි මහ මග නැවැතී, ඇමැතියන්ගෙන් මෙසේ ඇසීය.
“මේ රාජ්‍ය කාගේ ද?”
“දේවයිනි. ඔබගේ යැ” යි ඔව්හු පිළිතුරු දුන්හ.
“එසේ නම් මේ ලී පතුර ගෙන එසවීමට සමත් වූවෙකු රජ බවට පත් කරව්” යැයි කියා සැරයටියෙන් සරස් අතට ලී පතුරක් ගලවා දුන්නේය. තෙදවත් වූ රජතුමා විසින් ගලවා ගනු ලැබූ එය එසවීමට කිසිවෙකුත් සමත් නොවීය. මහජනයා ලී පතුර හිස මත තබා ගත් නමුත් බලවත් සේ වේදනා හෙවත් පීඩාවට පැමිණ අත්හැර දැමුවාහ. සීවලී දේවිය ද එය එසවීමට අසමත් වූ බැවින් මහමග හරස්කොට දමා, එසේ තිබෙන්නට හැර නික්ම ගියා ය. මහජනයා, ‘රාජ්‍ය සංකේතය හිමි අයම එය අත්හැර දමන ලදැ’ යි දේවිය අනුවම ගියාහු ය.
මහසත් තෙමේ උතුරු හිමවත බලා ගියාහු ය. දේවිය සියළු සේනා වාහන රැගෙන බෝසත්හු අනුවම ගියා ය. රජ, මහජනයා නැවැත්වීමට අපොහොසත් වූයේ සැට යොදුනක්ම ගියේ ය.
එකල්හි නාරද නම් තවුස් තෙම හිමවත්හි රන් ගුහාවෙහි වසමින් පංචාභිඥා ධ්‍යාන සුවයෙන් කල් යවන්නේ සත්දිනක් ඉක්මවා ධ්‍යානයෙන් නැගිට ‘අහෝ සැපයි අහෝ සැපයි’ යනුවෙන් උදන් ඇනීය. හෙතෙම ‘මේ සැපය සොයන තවත් කිසිවෙකු දඹදිව් තලයේ ඇද්දැ’යි දිව ඇස යොමා බැලීය. අභිනිෂ්ක්‍රමණය කළේ වී නමුත් සීවලී දේවිය ප්‍රමුඛ මහජනයාගේ ගමන නැවැත්විය නොහැකිව සිටින්නා වූ බුද්ධංකුර වූ මහාජනක රජතුමා දැක, ඔවුන්ගේ පසුපස ඒම මහාජනක රජතුමාගේ නෛෂ්ක්‍රම්‍ය පාරමිතාවට නපුරක් වේදෝහෝයි සිතා, ‘නෛෂ්ක්‍රම්‍ය කෙරෙහි දැඩි අධිෂ්ඨානය ඇති කරවීම සඳහා ද සොම්නස වඩවනු පිණිසද අනුශාසනා කරමියි’ සිතා, ඍද්ධියෙන් ගොස් රජු අබියස අහස් කුස්හි සිට උනන්දු වඩවනු සඳහා මෙසේ කීහ.
“මේ මහජනයාගේ ඝෝෂාව කුමක් නිසාද? ගමෙහි මෙන් මේ බිලිබිලි ශබ්දය කුමක්ද? ශ්‍රමණ වූ ඔබෙන්ම විචාරමි. කවර හෙයින් මේ මහජනයා රැස්වන්නේ ද ?”
රජතුමා මෙසේ පිළිතුරු දුන්නේ ය.
“මා ඔවුන් හැරයන නිසා මේ මහජනයා මෙහි රැස්වුයෝ ය. කෙලෙස් සීමාව ඉක්මවා යන අනගාරිය මුනි නම් වූ තපසට පැමිණීම සඳහා සතුටින් යන මා දැනගෙන කුමට විචාරන්නේද?”
ඉක්බිති නාරද නම් තවුස් තෙම මෙය වඩාත් තහවුරු කරනු සඳහා නැවත ගාථාවක් කීවේ ය. “මේ පැවිදි සිරුර දරන්නේ කෙලෙස් නැසුවේ යැයි නොසිතව, මේ කෙලෙස් සමූහය මෙපමණකින් තරණය කළ හැකිද නොවේ. උපද්‍රවයෝ බොහෝ ය. එහි පඬු පැහැ කසාවත් සිරුරෙහි දරා මේ පැවිදි ස්වරූපය ගත් පමණින්ම කෙලෙස් සීමාව තරණය කොට ඉක්ම වී යැයි නොසිතව. කෙලෙස් හටගැනීම මෙපමණකින් වන්නේ යැයි තීරණය නොකළ යුතුය. බොහෝ උපද්‍රවයෝ, විමුක්ති මාර්ගය අවුරා සිටියේ වේ. ඔබ තුළ ද බොහෝ කෙලෙස් උවදුරු ඇත.”
ඉක්බිති මහසත් තෙම මෙසේ කීහ.
“යමෙක් දුටු නොදුටු දේවල් ගැන කාම සම්පත් නොපතන්නේ ද, එසේ වෙසෙන මට කවර උවදුරක් වන්නේ ද? මම ප්‍රත්‍යක්‍ෂ වශයෙන් මෙලොවද, නොදුටු විරූ පරලොව ද කාම සම්පත් නොපතන්නේ නම් එසේ තනිව වසන මට කෙබඳු උවදුරෙක් වන්නේ ද?”
ඉක්බිති ඒ තාපස තෙමේ උවදුරු දැක්වීම සඳහා ගාථාවක් කීහ. “නින්දය, අලස බවය, ඈනුම් ඇරීමය, නොඇල්මය, බත්මතය, යන බොහෝ උවදුරු තොපගේ සිරුර ඇසුරු කොට පවතී. ශ්‍රමණය, ඔබ ප්‍රසාදවහ වූ රන් රුවන් මෙන් අගනා රාජ්‍ය හැරදමා පැවිදි වූයෙහි යැයි කීවෙහි ය. ඔබට රස ගුණ පිරි පිණ්ඩපාතය ලැබෙන කල්හි ඔබ ඒවා පාත්‍රය පිරෙන සේ ලබාගෙන ඇති හැටියට බඩ පිරෙනතුරු අනුභව කොට, කොල ඇතිරියෙහි හෙව ගොරවමින් නින්දට එළඹැ, ඒ අතරතුර පිබිදී එහෙ මෙහෙ පෙරළී අත්පා හිරි අරින්නේ, නැගී සිට සිවුරු එකලස් කර පොරවාගෙන අලස බවෙන් වෙලී ඉදගෙන, අමදින්නේ ද නැත, පැන් ගෙන එන්නේ ද නැත, නැවතද වැතිරී නිදාගන්නෙහි නම් කාම විතර්කයන් හෝ පහළ වේ. එකල්හි පැවිද්ද කෙරෙහි උකටලී භාවයක් ඇති වන්නේ ය. මේ බත් මතය නිසා වන විපතය. මේ කියන්නා වූ උවදුරු ඔබගේ සිරුරෙහි පවතින්නේ වේ. සිරුරෙහිම හටගන්නේ ද වේ.”
“පින්වත් බ්‍රාහ්මණය, ඔබ මට යහපත් කොට අනුශාසනා කරන්නෙහි ය. නිදුකාණෙනි, ඔබ කවරෙක්දැයි බ්‍රාහ්මණ වූ ඔබගෙන්ම විචාරමි.”
ඉක්බිති නාරද තපස්හු කීහ.
“නාරද යනු මගේ නමයි. ගෝත්‍ර වශයෙන් කාශ්‍යපයැයි මා දනිති. පින්වත් තොප සමීපයට පැමිණියෙමි. සත්පුරුෂයන් හා සමාගමය යහපති.
ඒ ඔබට සියලු ආකාරයෙන් සතුටු විහරණම වේවා. යමක් අඩුවෙයි නම් එය ඉවසීමෙන් හා සන්සිඳීමෙන් සම්පූර්ණ කළ මැනව.
අවමානය ද බැහැර කළ මැනවි. ප්‍රශංසාව ද බැහැර කළ මැනවි. දශකුසල කර්මයන්හි ද පංචාභිඥා අෂ්ට සමාපත්ති ද, මහණ දම්හි ද සකස් කොට පවතිනු මැනවි.
ඔබට යම් බඳු වූ සීලයෙහි ද, කසිණ භාවනා කර්මස්ථානයෙන් ද ධ්‍යානයෙහි ද අඩුවීමක් පෙනෙන්නේ නම් එවිට එබඳු සීලාදිය කරණකොට ගෙන ඒවා සම්පූර්ණ කරගන්න.
‘මම රජෙකුව සිට පැවිදි වූයෙමි’ යි මානය උපදවා නොගෙන ඉවසීම නම් වූ ශාන්ති ගුණයත්, කෙලෙස් උපසමනයෙහි වීර්යයෙන් ද යුක්ත වන්න.
තමන් ගැන කරන වර්ණනය ද, අවමානය ද, මම කවර කුලයක කෙනෙකුදැයි ඇති කරගන්නා හීනමානයන් ද, මම වනාහි උසස් කුලයක කෙනෙක් වෙමි යනාදි වශයෙන් ඇතිකර ගන්නා අතිමානය දඉවතලන්න.
මේ මේ ගුණයන්හි මනාකොට පිහිටන්න මේ මේ ගුණයන් දැඩිව රැකගනිමින් ගිහි සැප හැර ලබාගත් පැවිද්ද රැකගන්නේ උකටලී නොවන්න.”
ඒ තපස්වීහු මෙසේ බෝසත් හට ඔවා දී අහසින් තමන් වසන තැනටම ගියෝ ය.
ඒ තපස්හු ගියකල්හි වෙනත් මිගාජිත නම් තපස්වී කෙනෙක් එසේම වූ සමාපත්තියෙන් නැගිට දිවැසින් ලොව බලන්නේ මහසත් දැක මහජනයා නවත්වාලීම සඳහා අවවාද දෙමැයි එළෙසම ගොස් අහසෙහි පෙනීසිට මෙසේ කීහ.
“එම්බා මහාජනක රජතුමනි, බොහෝ ඇතුන් ද අසුන් ද නගරයන් හා ජනපදයන් ද හැර පැවිදි වූ ඔබ මැටි පාත්‍රයෙහි ඇළුනාහුය. එම්බා මහාජනක රජතුමනි, කිම, ඒ දනව් වැස්සෝ ද මිත්‍රාමාත්‍යයෝ ද නෑයෝ ද ඔබට කිසි අපරාධයක් කළාහු ද? කවර හෙයින් මේ මැටි පාත්‍රය කැමැති වූයේ ද?
ඉක්බිති මහසත් මෙසේ කීහ.
“එම්බා මිගාජින තවුසාණෙනි, ඒකාන්තයෙන් ම මම කවර කලෙකවත් අධර්මයෙන් කිසි නෑයකු නො දිනුවෙමි. නෑයෝ ද මා නොදිනූහ.
තවුසාණෙනි, ඒකාන්තයෙන්ම මම කිසිම නෑයෙකු කිසියම් කලෙක අධර්මයෙන් නොදිනුවෙමි. ඒ ඤාතීහුද මා අධර්මයෙන් නොදිනුවෝය.
එම්බා මිගාජින තවුසාණෙනි, යම් ක්ලේශ වස්තුවක ඇලුණු පෘථග්ජනයෙක් නැසේ ද, බැඳේ ද, මෙහි කෙලෙසුන් විසින් අනුභව කරන, කෙලෙසුන් විසින්ම මඩ ගොහොරුවක් කරන ලද ලෝකයාගේ පැවැත්ම දුටු මම මේ කාරණයම උපමාකොට පිඬු සිඟන්නෙක් වීමි.
කෙලෙසුන් අනුවම පවතින්නා වූ ජීවත් වන්නා වූ අඥාන වූ ලෝවැසි ජනයින්ගේ එසේ වූ හැමදාම එකාකාර වූ පැවැත්ම දැක මම පැවිදි වූයෙමි. කෙලෙසුන් විසින් කන ලද හා එම කෙලෙස් විසින්ම කෙලෙස් මඩ වගුරෙහි ගිල්වන ලද ලෝකය දැක යම්බඳු වූ කෙලෙස් වස්තූන්හි නිමග්න වූ පුහුදුන් සත්ත්වයා එම ක්ලේශ කාමයන්හි ගිලුනේ වේ. ඇතුන් බඳිනා කඹ වලින් බැඳුනාක් මෙන් කෙලෙස් කාමයන්ගෙන් බැඳුනේ වේ.
ඉදින් මම මේ කෙලෙස් බැඳුම්වලින් බැඳුනේ නම් මේ සෙසු ලෝක සත්ත්වයා මෙන් හිංසාවට ද ගොදුරු වෙමි. එසේම කෙලෙස් හේතුවෙන් ඇති වෙන්නා වූ ලෞකික බැඳුම්වලට ද ගොදුරු වෙමි. එසේම එම කරුණ ම තමන් ගැන ද සලකා පැවිද්දෙකු වුනෙමි.
පින්වත් මිගාජින තවුසාණෙනි, ඒකාන්තයෙන්ම මම කිසිකලෙක කිසියම් ශ්‍රමණයෙකුට හෝ කිසියම් බ්‍රාහ්මණයෙකුට හෝ සත්කාරකොට ඇසීමට නොපැමිණියෙමි. මෙකල්හි වනාහි පසේබුදුවරුන්ගේ හමුවෙහි ධර්මය ඇසුයේ වී නමුත් නියමාකාරයෙන් පැවිද්දෙහි ගුණ ආදිය නොඇසූයෙමි.”
“පින්වත් මිගාජිත තවුසාණෙනි, මනහර ගී ගයන කල, මිහිරි නද ඇති වාද්‍ය භාණ්ඩයන්ගෙන් යුතුව මහත් වූ තූර්යවාදන හඬින් මනාකොට ගයන ගී තාල ඇතිව, මහත් වූ රාජානුභාවයෙන් ද ශෝභාවෙන් ද දිලියෙමින් යන ඒ මම ඵල කැමැති මිනිසුන් විසින් විනාශ කළ එම ඵල දරන අඹරුක උයනෙහි දිටිමි. ඒ මම උයන්සිරි බලා ඇතුපිටින් බැස ඵල දරන වැනසුණු අඹරුක මුලට ගියෙමි.
විනාශ කළ කොළ අතු කඩා වැනසූ ඵලයන් ද විනාශ කළ අඹ රුක දැක ඉක්බිති සිත්කලු නීල වර්ණයෙන් බබළන මේ අනික් ඵල නැති අඹරුක දිටිමි.
යම්සේ ඵල ඇති අඹ රුක වනසන ලද ද එසේම බොහෝ කරදර ඇති ඉසුරුමත් අපට ද, සතුරෝ හිංසා නොකරන්නාහු ද?
හම හේතු කොටගෙන අඳුන් දිවියා නසනු ලැබේ. දළ හේතුකොට ගෙන ඇතා නසනු ලැබේ. ධනය හේතුකොට ගෙන ධනවතා නසනු ලැබේ. වාසස්ථානයක් නැති බැඳීමක් නැති පැවිද්දා කවරෙක් නසාද? ගෙඩි ඇති අඹ රුක ද ගෙඩි නැති අඹරුක ද යන ඒ දෙරුක මාගේ ශාස්තෘවරයෝ වූහ.”
ඒ අසා මිගාජිත තවුසා පමා නොවන්නැයි රජුට අවවාද කොට තමන් වසන තැනටම ගියේ ය.
එම අවස්ථාවෙහි සීවලී දේවිය රජුගේ පාමුල වැඳ වැටී මෙසේ කීවා ය.
“මහරජ, ඔබ පැවිදි වූහයි ඇතරුවෝ ද සේනාවන්හි නියුතු වූවෝ ද රථ සේනාවෝ ද පාබල සේනාවෝ ද යන සියලු මහජන තෙමේ බියෙන් තැතිගනී.
‘ශෝකයෙන් තැවෙන වැලපෙන අපි ගැන රජු නොබලයි යනුවෙන් වැලපෙන මහජනයා අස්වසා, නුවරට ආරක්ෂාව සලසා, ඔබගේ පුතු වන දීඝායු කුමාරයා රාජ්‍යයෙහි පිහිටුවා අභිෂේක කොට, ඉන්පසු පැවිදි වන්නෙහු නම් මැනැවි.”
ඉක්බිති බෝසත්හු මෙසේ කීහ.
“එම්බා දේවිය, මා විසින් දනව් වැසෝ හරන ලදහ. මිත්‍රයෝ ද නෑයෝද හැර දමන ලදහ. විදේහ රට වර්ධනය කරන දීඝාවූ නම් පුත්‍රයෝ ඇත. ඔව්හු මියුලු නුවර රජ කරවන්නාහ.”
දේවිය මෙසේ කීහ. “රජතුමනි, ඔබ එසේ පැවිදිවන කල්හි මම කුමක් කරන්නේද? “
ඉක්බිති රජතුමා කියන්නේ, “මම ඔබට උපදෙස් දෙමි. මා කියන්නක් කරව” කියා මෙසේ උපදෙස් දුන්නේ ය.
“එම්බා දේවිය, මා කියන්නා වූ දේ පිළිගන්ට කැමතනම්, පැමිණ අසන්න. ඔබට අනුශාසනා කරමි. ඔබ රාජ්‍ය විචාරත්නම් කය, වචන, සිත යන යමක් හේතුකොටගෙන දුගතියට යන්නේ ද එබඳු බොහෝ දුසිරිත් කරන්නෙහි ය.
පුතුට සේසත් නංවා රජකොට දැන් මගේ පුතා රජ යැයි අභිමානයෙන්, රාජ්‍ය කටයුතු සඳහා උපදෙස් දීමට යාමෙන් ඔබ බොහෝ පව් සිද්ධ කරගන්නේ ය. කායාදී තිදොරින් කළ බොහෝ අකුසල හේතුවෙන් අපායගාමී වන්නේ ය. එනිසා ඔබ ද පිණ්ඩපාතයෙන් යැපිය යුතුය යන ධීරයන්ගේ (පමා නොවී මහණදම් පුරණ ශ්‍රමණයන්ගේ) ප්‍රතිපදාව අනුගමනය කරව.”
මෙසේ මහසත් තෙම ඇයට උපදෙස් දුන්නේ ය. මෙසේ ඔවුන් කථා කරමින් යන්නේ රෑ බෝ විය. දේවිය සුදුසු වූ කඳවුරෙක ලැගුම් ගත්තා ය. මහසත් තෙම එක් ගසක් මුලට ගොස් විසී ය. එතුමා එදා රෑ එහි වැස දෙවන දිනයෙහි සිරුර පිළිදැගුම් කොට මගට පිළිපන්නෝ ය. දේවියද, සේනාවට පසුපස එන්ට අණ කොට, තොමෝ හේ පසුපසම ගියා ය. ඔව්හු පිඬුසිඟා යන සමය වනවිට ‘පූණ’ නම් නුවරට පැමිණියාහු ය.
එවේලෙහි ඇතුළු නුවර එක් පුරුෂයෙක් මස් කඩයෙන් ලොකු මස් කැබලක් ගෙනවුත් අරක්කැමියා ලවා අඟුරුවල බහා පුළුස්සා නිවීම පිණිස මේස කෙළවර තබා තිබුණේ ය. ඔහු වෙනතක බලා සිටින විට එක් බල්ලෙක් එය ඩැහැගෙන ගියේ ය. ඔහු ඌ දැක පසුපස හඹා යන්නේ නුවර දකුණුපස බිහිදොර තෙක් දිවගොස් නොසතුටුව නැවතුනේ ය. සැණෙකින් රජු හා දේවිය දුටු බල්ලා බියෙන් මස් කැබැල්ල අතහැර පැනගියේ ය. ඒ දුටු මහසත්තෙමේ, ‘මූ මස් කැබල්ලට ආසාවක් නැතිව පලාගියේය. මෙයට වෙනත් හිමිකරුවෙකු ද නොපෙනේ. තවත් මෙබඳු වූ අන්‍යයන් විසින් හැරදමන ලද නිවැරැදි පිණ්ඩපාතයක් නැත. එය අනුභව කරමි’ යි මැටි පාත්‍රය ගෙන ඒ මස් කැබැල්ල පිසදමා පාත්‍රයට දමාගෙන ජල පහසු තැනකට ගොස් එය අනුභව කරන්නට විය. දේවිය එය දැක, ‘ඉදින් මෙය රජෙකු විසින් නොකළ යුතු දෙයකි. මෙබඳු වූ පිළිකුල් සහගත, පස් තැවරුණු, බල්ලෙකු ඉඳුල් කළ මාංශය නොකෑ යුතුම ය. මොහුට අපි දන් නොදෙමු යැයි සිතා, මහරජ, මෙබඳු වූ පිළිකුල් දේ කන්නේදැ’යි විමසීය.
“දේවිය ඔබ අඥාන බැවින් මේ පිණ්ඩපාතයෙහි විශේෂත්වය නොදනිතියි” කියා, එහිම සිට ප්‍රත්‍යවේක්ෂා කොට අමෘතයක් මෙන් ඒ මස් අනුභව කොට මුව සෝදා අත්පාද සෝදා පිරිසිදු කරගත්තේ ය.
එකෙණෙහි දේවිය මෙසේ කීවා ය.
“යමෙක් සිව්වැනි බත් කිස අනුභව නොකරන්නේ ද අනාථව, ක්‍ෂුධාවෙන්ම මිය යන්නේය. වැලි තැවරුණු අයහපත් ආහාර අනුභව කරන්නේ ද කුලපුත්‍ර ස්වභාව ඇති සත්පුරුෂ තෙමේ එබඳු ආහාර අනුභව නොකරන්නේ ය. බල්ලෙකු ඉඳුල් කළ අහරක් ඔබ වළඳන්නේ නම් ඒ වැළඳීම යහපත් නොවේ. ශෝභන නොවේ.”
“එම්බා සීවලී දේවිය, ගිහියෙකු විසින් ද, සුනඛයෙකු විසින් ද හැර දැමූ යමක් වේ නම් ඒ පිණ්ඩපාතය මා නොකෑ යුත්තක් නොවේ. මේ වේලෙහි දැහැමින් ලද භෝගයෝ වෙත්නම් ඒ සියල්ල අනුභව කළ යුතුය. එය වරදක් නොවේ.”
මෙසේ ඔවුහු නොයෙක් දේ කතා කරමින් නුවර දොරටුවට පැමිණියාහු ය. එහි දරුවන් සෙල්ලම් කරන තැන එක් කුඩා දැරියක් කුඩා කුල්ලකින් වැලි පොළමින් සිටියා ය. ඇගේ එක් අතක එක් වළල්ලක් විය. අනෙක් අතේ වළලු දෙකක් විය. එම වළලු දෙක එකිනෙක ගැටීමෙන් හඬ නැගුණි. තනි වූ වළල්ලෙන් හඬක් නොනැගුණි. රජතුමා එය දැක යම් තීරණයකට එළඹ මෙසේ සිතී ය. ‘සීවලී දේවිය මා පසුපස ම එයි. ස්ත්‍රීහු පැවිදි වූවහුට මළකඩකි. මොහු පැවිදි වුවත් බිරිඳ හැර දැමීමට නොහැකි තැනැත්තෙකි කියා ගරහන්නෝ ද වෙති. මේ කුමරිය ඤාණවන්ත බව පෙනෙයි. සීවලී දේවිය මා පසුපස එන ගමන නැවැත්වීමට කරුණු මෑ ලවා කියවිය යුතුය. මැගේ එම වචන සීවලී දේවිය හැරි යනු ඇත’ යි සිතා මෙසේ කීහ.
“නිතර මව්තුරුළේ සයනය කරන ස්වභාව ඇති කුමාරිකාවෙනි, කවර හෙයකින් තිගේ එක් අතක් ශබ්ද කෙරේ ද? එක් අතක් ශබ්ද නොකෙරේ ද?”
කුමරිය කියන්නී, “ශ්‍රමණයන් වහන්ස, මාගේ මේ අත්හි වළලු දෙකක් පළඳා ඇත. ඒවා එකට ගැටීමෙන් ශබ්දය හටගනී. ශ්‍රමණයන් වහන්ස, මාගේ මේ අනිත් අතේ එක් වළල්ලක් පළඳා ඇත. දෙවැන්නක් නැති බැවින් එය නිශ්ශබ්ද ය. කෙළෙස් පහකළ මුනිවරයෙකු මෙන් එය නිහඬව සිටී. දෙවැන්නකු ඇත්තේ විවාදයට පත්වූයේ වෙයි. හුදකලා වූයේ කවුරුන් සමග විවාද කරන්නේ ද, එබැවින් අග්‍ර සැප කැමැති ඔබ හුදකලා බවට කැමැති වන්න. ශ්‍රමණයෝ සහෝදරියක සමග වුවද සැරි සරන්නේ නැත. ඔබ මෙබඳු රූ සම්පත් ඇති බිරිඳක් සමග යන්නේ කිම ද? ඇය ඔබට බාධාවකි. මෑ හැරදමා තනිව මහණදම් පුරන්නැ” යි ඈ බෝසත් හට අවවාද කළාය. මහසත් ඒ බාල දැරියගේ වචන අසා දිරි ලැබ දේවිය සමග මෙසේ කීහ.
“එම්බා සීවලිය, ළදැරිය කියූ ගාථා ඇසුවෙහිය ඔබ. වැඩකාරියක් වන ඕ තොමෝ දෙවැන්නක් ඇත්තහුගේමැ මේ ස්වභාවය විනැයි මට නින්දා කළාය.
සොඳුර, මේ දෙමංසන්ධියකි. මෙයින් තී කැමැති මගක් ගනුව. ඉන්පසු මම අනෙක් මඟ ගනිමි. මින්පසු ඔබ මට ‘මාගේ ස්වාමියා’ යැයි නොකිය ව. මම ද ‘මගේ භාර්යාව’ යැයි නො කියමි.”
ඈ ඔහුගේ වචනඅසා “දේවයිනි, ඔබ උතුම් වූ දකුණු දිග්මග ගන්න. මම වම් මඟ ගනිමි” යි කියා වැඳ අවසර ගෙන දුරක් ගොස් ශෝකය දරාගත නොහී ආපසු හැරී අවුත් රජු සමඟ කතාකරමින් ගොස් ‘ථූණ’ ‘ නම් නගරයට පිවිසියේ ය.
නගරයට පිවිසි මහසත්හු පිඬු සිඟා යන්නෝ ඊ වඩුවාගේ ගෙදොරට පැමිණියෝ ය. සීවලී බිසවද අසල සිටියා ය. ඊවඩු තෙමේ ඊදණ්ඩක් ගිනි අගුරු තුළ බහා රත්කොට කාඩි ජලයෙහි ලා පණ පොවා එක් ඇසක් දල්වා (බාගෙට වසා) අනෙක් ඇසින් බලමින් ඊය ඍජු කරමින් සාදයි. ඒ දැක මහසත්තෙමේ, ‘ඉදින් මොහු ඤාණවන්තයෙකු විය යුතුය. එක් දෙයක් කථා කර බලමි’ යි ඔහු වෙත ගියේ ය.
ඉක්බිති ඔහුට මහසත් මෙසේ කීහ.
“පින්වත් ශ්‍රමණයන් වහන්ස, දෑසින් බලන කල විශාල වූවාක් මෙන් වැටහෙයි. ඇද තැනට නොපැමිණ ඇද නැති කරන්ට සුදුසු නොවේ. එක් ඇසක් හකුළුවාගෙන එක් ඇසකින් ඇද බලන්නහුට ඇද තැන බලා ඍජු කිරීම සුදුසු වේ. දෙවැන්නක ඇතියේ විවාදයට පැමිණියේ වෙයි. හුදකලා වූයේ කවරෙකු සමග විවාද කරන්නේ ද? ස්වර්ගයට යනු කැමැති ඔබට හුදකලා වීම කැමැති වෙව.”
මහසත්හු ද පිඬු පිණිස හැසිරි නොයෙක් ආකාරයෙන් මිශ්‍ර වූ පිණ්ඩාහාර එකතු කරගෙන නුවරින් බැහැරට ගොස් ජලය ඇති තැනක සිට බත්කිස නිමවා පාත්‍රය ඔලොගුවෙහි ලා, සීවලී දේවිය අමතා මෙසේ කීහ.
“එම්බා සීවලී දේවිය, හීවඩුවා කියූ ගාථා ඇසුවෙහි ද? දෙවැන්නෙකු ඇත්තහුගේ මේ ස්වභාවය යැයි කියා හී වඩුවා මට අපහාස කළේ ය.
සොඳුර, මගීන් යන එන දෙමං සන්ධියකි මෙය. මෙයින් තී කැමැති මගක් ගන්න. ඉක්බිති මේ අනික් මඟ මම ගනිමි. ‘මගේ සැමියා’ යැයි මට නොකියව. මම ද ‘මගේ භාර්යාව’ යැයි නැවත නොකියමි.
එම්බා සීවලිය, වෙන්කොට ගත් මුදු තණ ගොබය මෙන් තී හා නැවත එක්වීමක් නොවී මම තනිව වසන්නෙමි. තී ද තනිව වසව” යි ඇයට අවවාද කළහ.
‘මින් මතු ඔබ මාගේ නොවේ’ යැයි මහසත් කීවත් ඇය මහසත්හු ම ලුහුබැඳ ගියා ය. මහසත් තෙමේ ඈ නතර කිරීමට අසමත් විය. මහජනයා ද ඒ නිසාම බෝසතුන් පසුපස ගියෝ ය. ඒ වන විට මහවනය නුදුරෙහි ම දිස්විය. මහසත් තෙමේ නිල් වනරොද දැක ඈ නවතනු පිණිස යමින් ම මඟ අසල වූ මුදු තණ දැක එයින් ගොබයක් ඇද පෙන්වා ‘සීවලිය මෙය නැවැත ගස හා එක්වීමක් නැත. එසේම නැවත මා ඔබ සමඟ එක්වීමක්, සම්බන්ධයක් වන්නේ නැත’ යි කියා මේ ගාථාර්ධයද කීවේය.
“මුදු තණ ගොබය මෙන් සීවලී, තනිව වසන්න”
“සීවලී, මම තනිවම වෙසෙමි. ඔබද තනිව වසන්න”
එය ඇසූ කළ සීවලී දේවී තොමෝ ‘මෙතැන්පටන් මට මහා ජනක රජු හා එක්වීමක් නැතැයි ශෝකය විඳ දරාගත නොහී දෙඅතින් පපුවට ගසා ගනිමින් සිහිසන් නැතිව මහමග ඇද වැටුණි. මහසත්තෙමේ ඇය සිහිසන් නැති වූ බව දැන පා ඉක්මන් කොට වනයට පිවිසුණේ ය. ඇමැතීහු ඇයගේ සිරුරට දිය ඉස අත් පා පිරිමැද සිහිසන් ලබා දුන්හ. ඈ ඉන්පසු ‘රජතුමා කොහිදැ’ යි ඇසුවාය. ‘ඔබ ම දැනගන්නේ නම් මැනවයි’ ඇමැතීහු කීහ. ‘දරුවෙනි, සොයා බලව්’ කියා ඕ තොමෝ එහෙ මෙහෙ දිව ගියා ය. එහෙත් රජතුමා දක්නට නොලැබුණි. ඈ මහත්සේ හඬනගා හඬා වැළප රජු සිටි තන්හි සෑයක් කොට සුවඳ මල් ආදියෙන් පූජා පවත්වා නැවැතී ගත්තා ය.
මහසත්හු හිමවතට පිවිස සත් දිනකින් අභිඥා සමාපත්ති උපදවා ගත්හ. නැවැත කිසිදින මිනිස් පෙදෙසකට නොපැමිණියහ.
දේවියද, හී වඩුවා සමග බෝසතුන් කතා කළ තැන ද, කුමාරිකාව සමග කථා කළ තැන ද, මස් වැළඳූ තැන ද මිගාජින තවුසා සමග සල්ලාපයෙහි යෙදුන තැන ද චෛත්‍ය ගොඩනංවා මල් සුවඳ දුම් ආදියෙන් පුදා සිව්රඟ සෙනග පිරිවරා මියුලු නුවරට පිවිස අඹ වනයෙහි දී පුතු අබිසෙස් කරවා, ඔහු සිව්රඟ සෙනග පිරිවර කොට නුවරට යවා, තමා ඍෂි පැවිද්දෙන් පැවිදිව එම උයනෙහි ම වෙසෙන්නී ය. ඈ කසිණ පරිකර්ම නිමිත්ත කරගෙන බවුන් වඩා ධ්‍යාන උපදවාගෙන බඹලොව ඉපදුනි.
ශාස්තෘස්තෘන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා මෙම අත්බැව්හි පමණක් නොව තථාගතයෝ පෙර අත්බැව්හි ද මහබිනික්මන් කළෝ යැයි මෙ මහා ජනක ජාතකය නිමවා වදාළ සේක.
(එදා මුහුදු දෙව්දුව උත්පලවණ්ණා තොමෝ ය. නාරද තවුසා ශාරිපුත්‍ර ස්ථවිරයෝ ය. මිගජින තපස්හු නම් මෞද්ගල්‍යාන ස්ථවිරයෝ ය. කුමාරිකාව ඛේමා භික්‍ෂුණීය වූවා ය. ඊ වඩුවා නම් ආනන්ද ස්ථවිරයෝ ය. සීවලී බිසව නම් රාහුල මාතා යශෝධරාවෝ ය. දීඝායු කුමරා නම් රාහුල කුමරුවෝ ය. මව්පිය ආදීහු ශාක්‍යරාජ පරම්පරාවේ සුදොවුන් මහමායා දෙදෙනා ය. මහජනක රජහු නම් බුදු වූ මමම වේදැයි ශාස්තෘස්තෘන් වහන්සේ මේ ධර්ම දේශනාව නිමවා වදාළ සේක)