උදයභද්ද (උදය) ජාතකය

එක්තරා උකටලී භික්ෂුවක් අරඹයා ශාස්තෘන් වහන්සේ මෙම ජාතක දේශනය වදාළ සේක. ඒ භික්‍ෂුව අමතා ශාස්තෘන් වහන්සේ, “මහණ, තොප උකටලී වූයේ සැබෑදැ” යි විමසා “ස්වාමීනි, සත්‍යයයි” කී කල්හි, “මහණ කුමක් හෙයින් මෙබඳු නෛර්යාණික සාසනයෙහි දී කෙලෙස් වශයෙන් උකටලී වූවෙහිද? පැරණි පණ්ඩිතයෝ සමෘද්ධිමත් වූ දොළොස් යොදුන් පමණ වූ සුරුන්ධන නගරයෙහි රාජ්‍යය කරන්නෝ දිව්‍ය අප්සරාවක් හා සමාන වූ ස්ත්‍රියක සමඟ අවුරුදු සත් සියයක් එක් කාමරයෙක්හි වසන්නාහු ඉඳුරන් බිඳ ලෝභ වශයෙන් නොබැලුවාහු ය” යි කියා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.

අතීතයෙහි කසීරට සුරුන්ධන නගරයෙහි කසී රජු රාජ්‍යය කරවී ය. ඔහුට පුතෙක් නොවී ය. දුවක ද නොවූවා ය. ඔහු සිය දේවියට පුතුන් පතවයි කීවේය. අගමෙහෙසිය ද රජුගේ වචනය පිළිගෙන එසේ කළේ ය. එකල්හි බෝධිසත්‍වයෝ බඹලොවින් චුත වී ඒ අගමෙහෙසියගේ කුසෙහි උපන්නේ ය. ඉක්බිති මහජනයාගේ සිත් වඩමින් උපන් බැවින් ‘උදයභද්ද’ යයි නම් කළාහු ය. කුමාරයා පයින් ඇවිදින කල්හි අන් සත්ත්‍වයෙකු ද බඹලොවින් චුත වී ඒ රජුගේ ම අන් දේවියකගේ කුසෙහි කුමාරියක වී උපන්නා ය. ඇයට ‘උදයභද්දා’ යයි නම් කළාහු ය.

කුමාරයා සුදුසු වයසට පැමිණියේ සියළු ශිල්පයන්හි නිමාවට පැමිණියේ ය. උපතින්ම බ්‍රහ්මචාරි විය. සිහිනෙන් ද මෙවුන්දමක් නම් නොදනී. ඔහුගේ සිත කෙලෙස්හි නොඇලුනේ ය. රජු පුතාව රාජ්‍යයෙහි අභිශේක කරනු කැමැත්තේ “දැන් කුමාරයාගේ රාජ්‍ය සැප සෙවුනා කාලයයි. නළඟනන් ඔහු වෙත එළඹ වන්නෙමි” යි හසුනක් යැවීය.

බෝධිසත්ත්ව තෙමේ, “මට රාජ්‍යයෙන් වැඩක් නැත. මගේ සිත කෙලෙස්හි නො ඇලේ ය” යි කියා ප්‍රතික්‍ෂේප කොටත් නැවත නැවත කියන හෙයින් දඹරන් මුවා ස්ත්‍රී රූපයක් කරවා “මෙබඳු වූ ස්ත්‍රියක ලබන්නේ නම් රාජ්‍යය පිළිගන්නෙමි” යි මව්පියන්ට දන්වා යැවී ය. ඔවුහු ඒ රන් රුව මුළු දඹදිව පුරා ගමන් කරවා එබඳු වූ ස්ත්‍රී රූපයක් නොලබන්නාහු උදයභද්‍රා කුමරිය අලංකාර ලෙස සරසා, දඹරන් මුවා ස්ත්‍රී රූපය ඇගේ සමීපයෙහි තැබුවාහු ය. ඇය ඒ රන්රුව අභිබවා සිටියේ ය. ඉක්බිති ඔවුන්ගේ නොකැමැත්තෙන්ම භින්න මාතෘක උදයභද්‍රා කුමරිය අගමෙහෙසිය කොට බෝධිසත්ත්වයන් වහන්සේ රාජ්‍යයෙහි අභිෂේක කළාහු ය. ඔවුන් දෙදෙනාම බඹසර විසීමෙන් ම විසූහ.

මෑත කාලයෙහි මව්පියන් ඇවෑමෙන් බෝධිසත්ත්‍ව තෙමේ රාජ්‍ය කරවී ය. දෙදෙනා එක් යහන් ගැබක වසන්නාහු නමුත් ලෝභ වශයෙන් ඉඳුරන් බිඳ ඔවුනොවුන් නොබැලුවාහු ය. එතකුදු වුවත්, ‘යමෙක් අප අතරින් පළමුව කළුරිය කරයිද ඔහු උපන් තැනින් අවුත් අසවල් තැන උපන්නෙමි’යි දන්වයි ගිවිසුම් කළහ. ඉක්බිති බෝධිසත්ත්‍වයෝ අභිෂේකයෙන් සත්සියයක් අවුරුදු ඇවෑමෙන් කළුරිය කළේ ය. අනිකෙක් රජ නොවී ය. උදයභද්‍රාවගේ ම අණ පැවතුනි. ඇමතියෝ රාජ්‍යය අනුශාසනා කළාහු ය.

බෝසත් තෙමේ තව්තිසා භවනයෙහි ශක්‍ර බවට පැමිණ යසසෙහි මහත් බව නිසා දින හතක් යන තෙක් සිහි කරන්නට නොහැකි විය. හෙතෙම මෙසේ මිනිස් ගණනින් සත්සියයක් අවුරුදු ඇවෑමෙන් ආවර්ජනා කර, ‘උදයභද්‍රා රජදුව ධනයෙන් විමසා සිංහනාද කරවා ධර්මය දේශනා කර, ගිවිසුම මුදවා එන්නෙමි’ යි සිතීය. එකල්හි මිනිසුන්ට අවුරුදු දසදහසක් ආයුකාලය විය.

රජදුව එදවස රාත්‍රී කාලයෙහි දොරවල් මනාව වසා ආරක්ෂාව තබා ඇති කල්හි සත්මහල් ප්‍රාසාදයෙහි මතුමහල් තලයෙහි අලංකාර කරන ලද සිරියහන් ගැබ හුදකලා වූවා නිසසලව තමාගේ සිල් ආවර්ජනය කරමින් හුන්නී ය. ඉක්බිති ශක්‍රයා රන්මසු පිරුණු එක් රන් පාත්‍රයක් ගෙන අවුත් යහන් ගැබ් පහළවී එකත්පස්ව සිටියේ ඇය සමඟ සල්ලාපයේ යෙදෙන්නේ පළමු ගාථාව කීවේ ය.

“හුදකලාව හුන්නී වූ පිරිසිදු ඇඳුම් හැඳි, පා කෙළවර සිට කෙස් අග දක්වා ප්‍රශස්ත සිරුර ඇත්තී, ඉතාමත් ශෝභා සම්පන්න සිරුර ඇත්තී, කින්නරාංගනාවකගේ ඇස් මෙන් වූ ඇස් ඇති තැනැත්තිය. පහයට නැග ඔබගෙන් මෙසේ ඉල්ලමි. මේ එක් රාත්‍රිය අද මේ අලංකාර කරන ලද යහන් ගැබ එක්ව වසන්නෙමුයි ඉල්ලමි.”

ඉක්බිති රජදුව ගාථා දෙකක් කීවා ය.

“ඇතුලත දියඅගල්වලින් ගැවසී ගත්, ස්ථීර වූ අට්ටාල වලින් ද, දොර කොටු වලින් ද, දසදහසක් යෝධයන්ගෙන් ද ආරක්‍ෂා කරන ලබන මේ මුළු නගරය ද, ඒ මැද ඉදිකරන ලද මගේ වාසස්ථානය ඇති නගරය ද යන දෙකටම කිසිවෙකුට පිවිසිය නොහැක.”

“මේ වේලාවෙහි දරුවෙකුට හෝ යොවුන් වියට පත් වූවෙකුට හෝ බලසම්පන්න යෝධයෙකුට හෝ අනිකෙකුට හෝ මහත් වූ අල්ලසක් ගෙන එන්නෙකුට හෝ පැමිණීමක් නම් නැත. ඔබ කවර කරුණකින් මේ වේලාවෙහි මා සමග එක්වීමක් කැමති වන්නෙහිද?”

ඉක්බිති සක් දෙවිඳු සතර වන ගාථාව කීය.

“කල්‍යාණි. සොඳුරු දැකුම් ඇති තැනැත්තිය, මම එක් දිව්‍ය පුත්‍රයෙක් වෙමි. දිව්‍යානුභාවයෙන් මෙහි පැමිණියේ වෙමි. එම්බා කල්‍යාණිය. තී මා සතුටු කරව. සොඳුරිය ඔබට මේ පිරුණ රන්තලිය දෙමි.”

ඒ අසා රජදුව පස්වන ගාථාව කීවා ය.

“දෙව්රජතුමනි, මම උදයභද්‍ර රජු ඉක්මවා දෙවියෙකු හෝ යක්‍ෂයෙකු හෝ නොපතමි. ඒ ඔබ දැන් යායුතුම ය. ඔබ යව, මෙහි නොසිටුව. මට ඔබ විසින් ගෙන එන ලද අල්ලසින් වැඩක් නැත. ගොස් යළි මෙහි නොගැවසෙ ව.”

ඔහු ඇයගේ සිංහනාදය අසා ඉවත ගියාක් මෙන් එහිම අතුරුදහන්ව සිටියේ ය. හෙතෙම දෙවන දවස්හිද ඒ වේලාවෙහිම රන්මසු පිරුණු රිදී තලියක් ගෙන ඇය සමග කථා කරන්නේ සවන ගාථාව කීවේ ය.

“සොඳුර, රජ දුවණියනි, කාමභෝගී සත්වයන්ට ඇලීම් අතර උසස්ම ඇලීම වූ යම් මේ මෙවුන්දම් නම් වූ කාමයෙහි ඇලීමක් වේද, යම් ඇලීමක් හේතුවෙන් සත්‍වයෝ කාම දුශ්චරිතාදී විෂමාචාරයෙහි හැසිරෙත් ද ඒ ඇලීම, සොඳුරිය, ප්‍රියමනාප වූ සිනහ ඇත්තිය, එය මම නොදිනුවෙමි. එනිසා මට එය ලබා දෙව. මම ද පැමිණෙන්නේ හිස් අතින් නොවේ. ඊයේ රන්කාසි පිරුණු රන් පාත්‍රයක් ගෙන පැමිණියෙමි. අද රන් පිරුණු රිදී පාත්‍රයක් ගෙන ආවෙමි. මම ඔබට රන්පිරුණු රිදී පාත්‍රය දෙමි”

උදභද්‍රාව මෙසේ සිතුවා ය, ‘මෙතෙම කථාබහ ලබන්නේ නැවත නැවත පැමිණෙන්නේ ය. දැන් ඔහු සමග කථා නොකරන්නෙමි’ යි ඇය කිසිවක් නො කීවේය. ශක්‍රයා ඇය කථා නොකරන බව දැන එහිම අතුරුදහන් වී සිට දෙවන දවස්හි ද ඒ වේලාවෙහි ම කහවනු පිරුණු ලෝහ පාත්‍රයක් ගෙන ‘සොඳුර, මා කාම රතියෙන් සතපුව. ඔබට මේ කහවනු පිරුණු ලෝහ පාත්‍රය දෙන්නෙමි’යි කීවේ ය. එදවස රජදුව සත්වන ගාථාව කීය.

“එම්බා පුරුෂය, ඔබ මෝඩ පුරුෂයෙකි (දෙවියෙකි). ස්ත්‍රිය කෙලෙස් රතිය සඳහා ධනයෙන් පොළොඹවන්නේ, සන්තර්පණය කරන්නේ, යම් කරුණක් විෂයෙහි ස්ත්‍රිය ඇලීම් කරයිද එය ඉස්මතු කරයි. වර්ණනා කොට ස්තුතිකොට බොහොමයක් වූ ධනයෙන් පොළඹවයි. තොපගේ මේ දිව්‍ය ක්‍රමය විපරීත වූ සෙයකි. ඔබ වූ කලී මා විසින් ප්‍රත්‍යක්‍ෂයෙන් විරුද්ධ බව දන්නේ, දිනක් දිනක් පාසා ආ යුතුව තිබුනේ මහත් මහත් වූ ධනයක් සමගයි. නමුත් ඔබ දිනක් දිනක් පාසා ස්වල්ප වූ ධනයක් සමග පැමිණෙන්නෙහි. පළමු දිනයෙ රන්පිරුණු රන් තලියක් ගෙනවිත්, දෙවන දවස්හි රන් පිරුණු රිදී තලියක් ද තෙවන දවස්හි කහවනු පිරුණු ලෝහ තලියක් ද ගෙන එන්නෙහි”

ඒ අසා මහා සත්ත්ව තෙමේ,

“සොඳුරු රාජකුමරියනි, මම දක්ෂ වෙළෙන්දෙක්මි. නිරර්ථක දෙයින් ධනය නොනසමි. ඉදින් ඔබ ආයුෂයෙන් හෝ වර්ණයෙන් හෝ වැඩෙන්නෙහි ද මම තොපට අල්ලස වැඩිකොට ගෙන එන්නෙමි. ඔබ වූ කලී පිරිහෙන්නෙහිම ය. එහෙයින් මම ද ධනය පිරිහෙලාලමි’ යි කියා ගාථා තුනක් කීවේ ය.

“යහපත් සිරුර ඇති තැනැත්තිය, මිනිස් ලොව සත්ත්වයෝ ජිවිතයෙන් ද වර්ණයෙන් ද චක්ඛුප්‍රසාද ආදී ඉඳුරන්ගෙන් ද, දිනයක් දිනයක් පාසා පිරිහෙත්ම ය. පෙරහනෙහි වත්කරන ලද ජලය මෙන් පිරිහෙයි. එහෙයින් තොපට දෙන ධනය ද පැහැයත් සමග පිරිහේය. මා පළමුව ආ දිනයෙහි පැවති තොපගේ ආයුෂය හා පැහැය, ඊයේ දවසේ පිරිහී ගියේ වී. පොරොවෙන් සිඳ දැමුවාක් මෙන් නිරුද්ධ වූයේ, අද වැඩිමනත් දිරා ගියේ වී.”

“කීර්තිමත් වූ රජ දියණියනි. මෙසේ මා බලා සිටියදීම දිවා රෑ ඇවෑමෙන් ඔබගේ පැහැය ඒකාන්තයෙන් පිරිහෙන්නේම ය. රෑ දවල් ඇවෑමෙන් අනිත්‍යය පිළිබඳව ස්ථිර බවට ම යන්නේ ය”

“මනා බුද්ධි ඇති රාජ පුත්‍රිය, එහෙයින් සොඳුර, ඉඳින් මේ වයසෙහිදී ම, මේ රන්වන් සිරුර ජරාවෙන් නොනැසූන කල්හි ම, ශ්‍රේෂ්ඨ වූ චර්යාවෙහි (බඹසර) හැසිරෙන්නෙහි, පැවිදි වී මහණදම් කරන්නෙහි, බෙහෙවින් පැහැ ඇත්තී ය (බොහොම තරුණ වියේදී පටන්ම ඔබ බඹසර හැසිරුන නිසා, දැන් මෙතරම් කලක් ගිහිනුත් ඔබෙ සම රන්වන් පැහැයෙන් බබලයි)”

අනතුරුව රාජ දියණිය වෙනත් වූ ගාථාවක් කීවා ය.

“මිනිස්සු යම් සේ දිරත් ද එසේ දෙවියෝ නොදිරත් ය. ඔවුන්ගේ ශරීරයෙහි රැලි නොවෙත් ය. මහානුභාව ඇති යක්‍ෂය, ඒ කරුණ ඔබගෙන් විමසමි. දෙවියන්ගේ දේහය කවර හෙයින් නොදිරාද?”

ඉක්බිති ඇයට කියන්නා වූ ශක්‍රයා වෙනත් ගාථාවක් කීවේ ය.

“මිනිස්සු දිරන්නාහු රූපයෙන් ද වර්ණයෙන් ද භෝගයෙන් ද ඇස ආදී ඉන්ද්‍රියන්ගේ ශක්තියෙන් ද දිරත්. දෙවියෝ එසේ නොවෙත්. ඔවුන්ගේ ශරීර වල රැළිද නොවෙත්. ඔප දැමූ රන්පටක් හා සමාන ශරීරයක් වෙයි. ඔවුන්ගේ දිව්‍යමය වර්ණය ද භෝගයෝ ද (සම්පත් ද) මහත් වෙති. මිනිසුන් අතර රූපයේ පිරිහීම, ඉපිද කල්ගිය බවට සාක්‍ෂිය. දෙවියන් අතර, අතිරේක රූප සම්පත්තිය ද අතිරේක පිරිවර සම්පත්තිය ද ඉපිද කල්ගිය බවට සාක්‍ෂිය. දවසක් දවසක් පාසා දෙවියන්ගේ දිව්‍යමය වර්ණය ද මහත් වූ භෝගයෝ ද අතිශයින් වැඩෙත්. මෙසේ නොපිරිහෙන ස්වභාව ඇත්තේ දෙව්ලොව නම් වේ. එහෙයින් ඔබ ජරාවට පැමිණෙන ගිහිගෙන් නික්මී පැවිදි වෙන්න. මෙසේ පිරිහීම ස්වභාව කොට ඇති මිනිස්ලොවින් මිදී නොපිරිහීම ස්වභාව කොට ඇති මෙබඳු වූ දෙව්ලොවට යන්න.”

ඇය දෙව්ලොවට යන මාර්ගය විමසන්නී වෙනත් වූ ගාථාවක් කීවා ය.

“මේ ක්‍ෂත්‍රිය ආදී භේදයන්ගෙන් යුත් බොහෝ ජනයෝ කවරකට බිය වූවාහු, කවරකුට බියෙන් පිරිහීම් ස්වභාවකොට ඇති මේ මිනිස් ලොවින් දෙව්ලොව නොයයි ද? නොයෙක් පණ්ඩිතයන් විසින් කියන ලද දෙව්ලෝ මාර්ගය කවරක් ද? කෙබඳු වූවක් ද? මහතෙද ඇති යක්‍ෂය, ඔබගෙන් එය විමසමි. කොතැනක සිටියේ පරලොවට බිය නොවන්නේ ද? පරලොව යන්නෝ කවර මාර්ගයක සිටියේ බිය නොවේ ද?”

ඉක්බිති ඇයට කියන්නා වූ ශක්‍රයා වෙනත් වූ ගාථාවක් කීවේ ය.

“සොඳුර උදය භද්‍රාවනි, වචනයත් මනසත් මනාව පිහිටුවා, කයින් පවු නොකරන්නා වූ ශ්‍රද්ධාවත් වූ තැනැත්තා මේ දශ කුසල කර්මපථයන් සමාදන් වී පවතින්නේ, බොහෝ ආහාරපාන ආදී වූ බොහෝ දෑ දන් දෙමින් ගිහිගෙයි වසන්නේ, දානයෙහි විපාක ඇතැයි යන ඇදහීමෙන් යුක්ත වූයේ, මොළොක් සිත් ඇත්තේ, දන් දීමෙහි ඇළුනේ වෙයි. පැවිද්දන්ට, පිඬු පිණිස හැසිරෙන්නන්ට බොහෝ දෙන්නේ වෙයි. සතර සංග්‍රහ වස්තූන්ගෙන්  සංග්‍රහ කරන සුළු ප්‍රියවචන ඇත්තේ, මටසිළුටු වචන ඇත්තේ වෙයි. මෙපමණක් වූ ගුණ රාශියෙහි සිටි තැනැත්තා පරලොව යන්නේ බිය නොවෙයි”

අනතුරුව රජදුව ඔහුගේ වචනය අසා ස්තූති කරන්නේ වෙනත් ගාථාවක් කීවා ය.

“මහත් වූ ශෝභා ඇති දිව්‍යරාජය! යම්සේ මව්පියවරු පුතුන්ට අනුශාසනා කරත්ද එසේ ඔබ මට අනුශාසනා කරන්නෙහි ය. ශෝභාවෙන් අගතැන්පත් රූපයක් දරන තැනැත්ත, ඔබ කවරෙක් වෙහිද?”

අනතුරුව බෝසත් තෙමේ වෙනත් ගාථාවක් කීවේ ය.

“යහපත් දැකුම් ඇත්තිය, මම පෙර භවයෙහි ඔබගේ සැමියා වූ උදය රජු වෙමි. තවුතිසා භවනයෙහි ශක්‍රයා වී උපන්නේ මෙහි පැමිණියේ වෙමි. කෙලෙස් වශයෙන් ආවේ නොවෙමි. පෙර ගිවිසුමක් කළ හෙයින් මේ ආකාරයෙන් ඔබ විමසා ගිවිසුම මුදවන්නෙමියි’ ආවේ වෙමි. දැන් ඔබ අමතා යමි. එහෙයින් ඔබගේ ගිවිසුමෙන් මම් මිදුනේ වෙමි.”

රජදුව අස්වැසී, ‘ස්වාමීනි, ඔබ උදයභද්‍ර රජු වෙත් ද? සැමදා කඳුළු සලමින් වසන්නෙම්, මම ඔබ නැතිව වසන්නට නොහැක්කෙමි. යම්සේ ඔබ සමීපයෙහි මා නැවත වසම්ද, එසේ වූ දේ ලැබුමට මාහට අනුශාසනා කළ මැනව’ යි කියා   කීවා ය.

“ඉදින් ගිවිසුමෙන් මිදීමට මෙහි පැමිණි ඔබ උදය රජ වේ නම් රාජපුත්‍රය, යම්සේ නැවත එකතුවීමක් වේනම් එසේ මට අනුශාසනා කරව.”

ඉක්බිති ඇයට අනුශාසනා කරන්නා වූ මහසත් තෙම මේ ගාථා  කීවේ ය.

“වයස වහා ඉක්ම යයි. ක්ෂණය ද එසේම වේ. සිටීමෙක් නැත. සත්ත්වයෝ ඒකාන්තයෙන් මරණයට පත් වෙති. දිරාපත් වෙයි. සිරුර අස්ථිරය. සත්ත්වයන්ගේ ආයු සංස්කාරය නම් වහා ගලන්නා වූ නදිය මෙන් නොනැවතී ඉක්මවා යයි. මේ රන්වන් වූ සිරුර දිරා යයි. මෙසේ දනුව. උදයභද්‍රාවෙනි, ප්‍රමාද නොවව. ධර්මයෙහි හැසිරෙව. ‘මරණය ඒකාන්තය. ජීවිතය නිත්‍ය වූවක් නොවේ’ යි මෙසේ මරණය පිළිබඳ සිහිය වඩව

ධනයෙන් පිරුණු මුළු පොළව එකෙකුටම අයත් වුවත් අනිකෙකුට අයත් නොවූවත් පහවූ ආශා ඇති හෙතෙම එයද අත්හරී. තෘෂ්ණාවට වසඟ වූ පුද්ගලයා මෙපමණක් වූ යසසින් අතෘප්තිමත් වූයේ මරණ කාලයෙහි ප්‍රහාණය නො කරන රාග ඇත්තේම එය අත්හරී. මෙසේ තෘෂ්ණාවෙහි පිරවිය නොහැකි බව දනුවඋදයභද්‍රාවනි, ප්‍රමාද නොවෙව. ධර්මයෙහි හැසිරෙව. ‘මරණය ඒකාන්තය. ජීවිතය නිත්‍ය වූවක් නොවේ’ යි මෙසේ මරණය පිළිබඳ සිහිය වඩව

මව ද පියා ද සහෝදරයෝ ද යම් භාර්යාවක් ධනයෙන් මිලදීගත් සේවකයෝ ද යන ඒ සියල්ලෝම ඔවුනොවුන් අත්හැර යති. මව් පුතු ද පුතා මව ද පියා පුතු ද පුතා පියා ද සොහොයුරා සොහොයුරිය ද සොහොයුරිය සොහොයුරා ද බිරිඳ සැමියා ද සැමියා බිරිඳ දැයි මොවුහු ඔවුනොවුන් අත්හරිත් වෙන් වෙන් වෙති. මෙසේ සත්ත්‍වයන්ගේ වෙන්වීම දනුව. මෙසේ ඒකාන්තයෙන් භාග්‍යවත් බුදුන් ආදී කොට සියළු සත්ත්වයෝ ව්‍යුත වෙත්. උදයභද්‍රාවෙනි, ප්‍රමාද නොවව, ධර්මයෙහි හැසිරෙව. ‘මරණය ඒකාන්තය. ජීවිතය නිත්‍ය වූවක් නොවේ’ යි මෙසේ මරණය පිළිබඳ සිහිය වඩව

ශරීරය අනුන්ට ආහාරයක් වන බව දැන, සංසාරයෙහි සුගතියෙහි හා දුගතියෙහි කෙටිකලක් වාසය ඇති බව දැන උදය භද්‍රාවනි, පමා නොවව. අප්‍රමාදී වී දසකුසලපථයෙහි හැසිරෙව. ධර්මයෙහි හැසිරෙව. ‘මරණය ඒකාන්තය. ජීවිතය නිත්‍ය වූවක් නොවේ’ යි මෙසේ මරණය පිළිබඳ සිහිය වඩව.”

මෙසේ මහාසත්ත්‍ව තෙමේ ඇයට අවවාද දුන්නේ ය. ඇයද ඒ ධර්ම කථාවෙහි පැහැදී ස්තුති කරන්නී අවසාන ගාථාව කීවා ය.

“මේ දෙව්රජු මනාව කියයි. ඒ කුමන කරුණක් ද යත්, ‘මේ ජීවිතය වූ කලී දුක් සහිතය. ආශ්වාද රහිතය. බොහෝ කාලයක් නොපවත්නේ ය. ස්වල්ප කාලයක් පවත්නේ ය. ඉදින් දුක් සහිතව දීර්ඝ කාලයක් පවත්නේ  ද ස්වල්ප වූ හෝ සැපක් ඇත්තේ ය. සියලු සංසාරික දුකින් යුක්ත වූයේ ද වන්නේ ය. ඒ මම සුරුන්‍ධ නගරය ද කසී රට ද හැරදමා හුදකලාව පැවිදි වන්නෙමියි”

බෝසතුන් ඇයට අවවාද දී සිය වාසස්ථානයටම ගියේ ය. ඇය ද දෙවන දවස්හි අමාත්‍යයන්ට රාජ්‍යය පවරා දී ඇතුල් නගරයෙහිම තවුස් පැවිද්දෙන් පැවිදි වී ධර්මයෙහි හැසිර ආයු කෙළවර තවුතිසා භවනයෙහි බෝධිසත්ත්‍වයන්ගේ පාදපරිචාරිකාව වී උපන්නී ය.

ශාස්තෘන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා චතු සත්‍යයන් ප්‍රකාශ කර ජාතකය ගලපා වදාළ සේක. දේශනාවසානයෙහි උකටලී වූ භික්‍ෂුව සෝවාන් ඵලයෙහි පිහිටියේය.

‘එකල්හි රජදුව රාහුල මාතාව වීය. ශක්‍රයා වනාහි මම ම වීමි ය’ යි ශාස්තෘන් වහන්සේ  වදාල සේක.