ඛුද්දක නිකාය | විමානවත්ථු

කේසකාරී විමානය

“මේ දිව්‍ය විමානය හරිම සිත්කළුයි. ප්‍රභාෂ්වරයි. වෛරෝඩි මාණික්‍යවලින් තමයි මේ විමානයේ කණු හැදිලා තියෙන්නේ. සුන්දර නිර්මාණයක්. රනින් කළ වෘක්ෂයන්ගෙන් හැමතැනම සුන්දර වෙලා තියෙනවා. මගේ පුණ්‍ය කර්මයක විපාකයක් හැටියටයි මේ විමානය පහළ වුනේ. කලින්ම මේ විමානයෙහි දිව්‍ය අප්සරාවන් ලක්ෂයක් පමණ පහළ වෙලයි ඉන්නේ. ඒ පිරිවර ඇතිව ඔබත් මෙහි පහළ වුණේ තමන්ගේ පුණ්‍යකර්මයේ ආනුභාවයක්මයි. ඒ කලින් උපන් දිව්‍ය අප්සරාවන් පිරිවරාගෙන ඔබ බැබලෙමින් ඉන්නවා.

සුපුන් සඳ රැස්විහිදා බබලනවා. එතකොට තරු එළියෙන් වැඩක් නෑ. ඒ නැකැත් රාජයා වන සඳමයි බබලන්නේ. ඔබත් ඒ වගේමයි. මේ අප්සරාවන් පිරිවරාගෙන දිළිහි දිළිහී යසසින් බබලනවා. පින්වත් දෙව්දුව, ඔබේ දර්ශනය අලාමකයි. මේ විමානයේ ඔබ පහළ වුණේ කවර ලෝකයකින් චුත වෙලාද? තව්තිසා දෙව්ලොව සක්දෙව් පිරිවරාගත් දෙවිවරුන් බ්‍රහ්මරාජයා දිහා එක දිගට බලාගෙන ඉන්නවා. සෑහීමකට පත්වීමක් නෑ. ඒ වගේමයි සියලු දෙනා ඔබ දිහා කොයිතරම් බලාහිටියත් සෑහීමකට පත්වීමක් නෑ.

” සක් දෙවිඳුනි, දැන් ඔබ මගෙන් ඇසුවේ මේ දෙව්ලොවට මං ආවේ කවර ලෝකයකින් චුතවෙලාද කියලනේ. කසී රට බරණැස කියල නගරයක් තියෙනවා. අන්න ඒ නගරයේ මං කේසකාරිකා නමින් ඉපදිලා හිටියා. බුදුරජාණන් වහන්සේ ගැනත්, ඒ ශ්‍රී සද්ධර්මය ගැනත් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය ගැනත් මගේ සිතේ ලොකු පැහැදීමක් තිබුණා. ඒ ශ්‍රද්ධාව ස්ථිරසාර එකක්. මං සැක රහිතවයි හිටියේ. නොකඩ කොට සිල්පද රැක්කා. සෝවාන්ඵලයට පත්වෙලයි හිටියේ. මං නියත වශයෙන්ම නිවන අවබෝධ කරන කෙනෙක්.

“බුදුරජාණන් වහන්සේ ගැනත් ඒ ශ්‍රී සද්ධර්මය ගැනත් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය ගැනත් ඔබේ සිතේ ලොකු පැහැදීමක් තිබෙනවා. ඒ ශ්‍රද්ධාව ස්ථිරසාර එකක්. ඔබ සැක රහිතවයි ඉන්නේ. නොකඩ කොට සිල්පදත් රැකගෙන තියෙනවා. ඔබ සෝවාන් ඵලයට පත්වෙලයි ඉන්නේ. ඔබ නියත වශයෙන්ම නිවන අවබෝධ කරන කෙනෙක්. පින්වත් දෙව්දුව, ධර්මය නිසාත් පිරිවර නිසාත් ඔබ බබලනවා. අපි ඔබේ මේ පැමිණීම සතුටින් පිළිගන්නවා. මෙය ඔබට සුන්දර ආගමනයකි. “