ඛුද්දක නිකාය | විමානවත්ථු

දාසී විමානය

“පින්වත් දෙව්දුව, ඔබ ඉන්නෙ මේ සොඳුරු චිත්‍රලතා වනයේ. දිව්‍යාංගනාවන් පිරිවරාගෙන ඉන්නවා. ඕසධී තාරුකාව වගෙයි. හැම දිශාවක්ම බබලවනවා. ඔබ දේවේන්ද්‍ර වූ ශක්‍රයා වගෙයි. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුනේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුනේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුනේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව, මිනිස් ලෝකෙ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. “

මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුනා. මොන වගේ පින්කම්වලින්ද මේ සැප ලැබුනේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ.

” මං අතීත ජීවිතයේ මිනිස් දුවක් වෙලා හිටියේ. මං ඒ කාලෙ දාසියක්. අනුන්ගේ ගෙවල්වල බැලමෙහෙවරකම් කළා.

සදහම් ඇස් ඇති මහා යශෝරාවයක් ඇති ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් බවට මං පත්වුනා. අටලෝ දහමින් කම්පා නොවන ඒ බුදුරජුන්ගේ ශාසනයෙහිම සසරෙන් නිදහස් වෙන්නයි මට ඕන වුනේ. ඒකාන්තයෙන්ම මේ කය බිඳිල ගියාවේ. මේ ධර්මය අවබෝධ කරගන්න මං ගන්න උත්සාහය ලිහිල් කරගන්නේ නෑ. ලොව්තුරු සැප සලසන සුන්දර වූ නිවනට ඇති මාර්ගය මේ පන්සිල්වලින් යුක්තයි. මේ මාර්ගයේ කෙලෙස් කටුකොහොල් නෑ. කෙලෙස් පඳුරු නෑ. ඍජුයි. බුද්ධාදී සත්පුරුෂයන් වහන්සේලා විසිනුයි මේ නිවන් මග පෙන්වා දෙන්නේ.

මං ස්ත්‍රියක්. නමුත් යම් මාර්ගයකින් මේ දහම් මාවතේ ගමන් කරනවාද, ඒ මගේ උත්සාහයේ ප්‍රතිඵල ඔබටත් දකින්න පුළුවනි. සියල්ල මැඬලන සක්දෙව් රජිඳුන්ගේ මධුර අල්ලාප සල්ලාපයන්ට මාවත් කැඳවනවා.

මාව සතුටින් පුබුදුවන්න හැට දහසක් තූර්ය භාණ්ඩ වාදනය වෙනවා.

ආලම්බ දිව්‍යපුත්‍රයා, ඒ වගේම ගග්ගර, භීම, සාධුවාදී, සංසය, පොක්ඛර, සුඵස්ස යන දිව්‍යපුත්‍රයන්ද, වීණාමොක්ඛා දිව්‍යාංගනාවද, ඒ වගේම නන්දා, සුනන්දා, සෝණදින්නා, සුචිම්භිතා, අලම්බුසා, මිස්සකේසී, පුණ්ඩරීකා, අතිදාරුණී යන දිව්‍යාංගනාවන්ද, ඒණිඵස්සා, සුඵස්සා, සුභද්දා, මුදුවාදිනී යන දිව්‍යාංගනාවන්ද, සංගීතයෙන් මාව සතුටු කරවන අය අතර ප්‍රශංසනීයයි. ඒ දේවතාවෝ මා කැමැති වෙලාවට මා ඉදිරියට පැමිණෙනවා. අපි දැන් නටමු. අපි සිංදු කියමු. අපි ඔබව සතුටු කරනවා කියලා කියනවා.

පින් නොකළ උදවියට මේ වගේ දිව්‍ය විමාන ලැබෙන්නේ නෑ. පින් කරපු අයටමයි සෝක නැති තව්තිසා දෙවියන්ගේ මේ රම්‍ය වූ නන්දන මහ වනය ලැබෙන්නේ. පින් නොකළ උදවියට මෙලොව සැපයකුත් නෑ. පරලොව සැපයකුත් නෑ. එනමුත් පින්කළ උදවියට නම් මෙලොව වගේම පරලොවත් සැප ලැබෙනවා. තව්තිසා දෙව්ලොව දෙවියන් හා එක්වෙන්න කවුරු හරි කමැති නම් බොහෝ සෙයින්ම කුසල් රැස්කරගන්න ඕන. පින්කළ උදවියමයි දෙව්ලොව ඉපදිලා සැප සම්පත් ලබලා සතුටු වෙන්නේ. ”