ඛුද්දක නිකාය | විමානවත්ථු

ලඛුමා විමානය

“පින්වත් දෙව්දුව, ඔබ ඔය සුන්දර රූපයෙන් බැබලෙමින් ඉන්නේ හැම දිශාවක්ම බබුලුවන ඕසධී තාරුකාවක් වගේ. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුනේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුනේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුනේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව, මිනිස් ලෝකෙ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. “

මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුනා. මොන වගේ පින්කම්වලින්ද මේ සැප ලැබුනේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ.

” මගේ නිවස තිබුනේ මාළු අල්ලන මිනිසුන් ගම් දොරින් නික්මෙන තැන. ඒ පැත්තට මහා ඉසිවර බුදුරජුන්ගේ ශ්‍රාවකයන් වහන්සේලා පිණ්ඩපාතයේ වඩිනවා. ඉතින් මං උන්වහන්සේලාට බත් වෑංජන, පැණිපිට්ටු, පලාකොළ, ලෝණසෝවීරක පූජා කරනවා.

නිවන් මගෙහි සිත ඍජු කරගෙන සිටින උන්වහන්සේලාට මං පූජා කරන්නෙ බලවත් පැහැදීමෙන් යුක්ත සිතින්මයි.

චාතුද්දසී දවසට, පුන්පොහෝ දවසට, අටවක පොහොයට, පාටිහාරිය පක්ෂයේ පොහොය දවස්වලට මං අටසිල් සමාදන්වෙලා හොඳින් ආරක්ෂා කළා.

මං හොඳින් උපෝසථ සිල් රැකගත්තා. හැමදාම සිල්පදවල සංවර වුනා. ඉඳුරන් සංවර කරගත්තා. කාටත් දන්පැන් බෙදා දුන්නා. මං ඒ විදිහටයි ගෙදර ජීවත් වුනේ.

සතුන් මැරීමෙන් වැළකුනා. බොරු කීමෙනුත් වැළකිලා වචනය සංවර කරගත්තා. හොරකම් කළේ නෑ. ස්වාමියා ඉක්මවා දුරාචාරයේ හැසිරුනේ නෑ. මත්පැන් පානය කළෙත් නෑ. සිල්පද පහ රැකගත්තේ කැමැත්තෙන්මයි.

චතුරාර්ය සත්‍යය ධර්මය තේරුම්ගන්න තරම් මා තුළ දක්ෂකමක් තිබුනා. ඒ නිසාමයි පැතුරුණු යශෝරාවය ඇති සදහම් ඇස් ඇති ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් වුනේ.

ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුනේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුනේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුනේ ඒ නිසාමයි.

මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස, මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලී ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා.

පින්වත් ස්වාමීන් වහන්ස, මාගේ වචනයෙනුත් ඒ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සිරිපා කමල් සිරසින් වන්දනා කළ මැනැව. ස්වාමීනී, ලඛුමා නම් වූ උපාසිකාව භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සිරිපා කමල් වන්දනා කරන්නී කියා. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ මා පිළිබඳව යම්කිසි මාර්ගඵලයක් වදාළ සේක් නම් ඒ ගැන මං පුදුම වෙන්නේ නෑ. ස්වාමීනී, මං සකදාගාමී ඵලයට පත් වූ බව භාග්‍යවතුන් වහන්සේ මට වදාළා. ”