ඛුද්දක නිකාය | විමානවත්ථු

ආචාමදායිකා විමානය

“ස්වාමීනී, ඔබවහන්සේ පිණ්ඩපාතේ වැඩලා එක්තරා නිවසක් ළඟ නිශ්ශබ්දව වැඩසිටිද්දී ඒ ගෙදර ස්ත්‍රියක් හිටියා. හරිම දිළිඳුයි. දීනයි. අනුන්ගේ නිවෙස්වලිනුයි යැපෙන්නේ. ඇය ඔබවහන්සේ ගැන සිත පහදවා ගත්තා. ඔබවහන්සේට ඇගේ අතින්ම දන්කුඩ බතක් පූජා කළා. දැන් ඇය මිනිස් සිරුර අත්හැර ගිහින්. ඇය ගියේ කොයි දිශාවටද?”

සක්දෙව් රජුනි, මං පිණ්ඩපාතෙ වැඩලා ගෙයක් ඉදිරිපිට නිශ්ශබ්දව හිටියා තමයි. ඒ ගෙදර ස්ත්‍රියකුත් හිටියා තමයි. ඇය හරිම දිළිඳුයි. දීනයි. අනුන්ගේ නිවෙස්වලිනුයි යැපෙන්නේ. ඇය මා කෙරෙහි සිත පහදවා ගත්තා. මා හට ඇගේ අතින්ම දන්කුඩ බතක් පූජා කළා. දැන් ඇය මිනිස් සිරුර අත්හැර ගිහින්. ඇය චුත වුනේ ඒ දුක්ඛිත මිනිස් ජීවිතයෙන් නිදහස් වෙලයි.”

“මහා ඉර්ධිමත් දෙවිවරු ඉන්න නිම්මාණරතී කියන දෙව්ලොවක් තියෙනවා. දන්කුඩ පූජා කළ ඒ ස්ත්‍රිය දැන් එහි ඉපදිලා සුවසේ සතුටින් ඉන්නවා. ඇත්තෙන්ම හරිම අසිරිමත්! ඒ දුප්පත් කාන්තාව මහාකස්සප මහරහතන් වහන්සේ කෙරෙහි ඉතා හොඳින් දානය පිළිගන්වලා තියෙනවා. ඒ දානය පූජා කරගත්තෙත් අනුන්ගේ නිවෙස්වල හිඟමනේ ගිහින් සොයාගත්තු දෙයිනුයි. ඒ දානය සමෘද්ධිමත් වුනා. හරි පුදුමයි!

සියලු අඟපසඟින් සුන්දර වූ ස්ත්‍රියක් ඉන්නවා. තමන්ගේ ස්වාමියාට ඇගේ දැක්මත් අලාමකයි. ඇය සක්විති රජුගේ අගමෙහෙසිය බවට පත්වෙනවා.

ඒ වුණාට ඒ සම්පත් මේ දන්කුඩ දාන විපාකයෙන් සොළොස්වෙනි කලාවෙන් කලාවක් තරම්වත් වටින්නේ නෑ. ලක්ෂයක් රන් කහවණු, ලක්ෂයක් අශ්වයන්, අශ්ව වෙළඹුන් යොදවපු ලක්ෂයක් අශ්වරථ, සුන්දර මිණිකොඬොල් ආභරණවලින් සැරසුණු ලක්ෂයක් කන්‍යාවන් කියන මේ කිසිදෙයක් දන්කුඩ දාන විපාකයෙන් සොළොස්වෙනි කලාවෙන් කලාවක් තරම්වත් වටින්නේ නෑ.

හේමවත කියන වටිනා ඇත්තු ජාතියක් ඉන්නවා. ඒ ඇත්තුන්ට උතුම් රථරෝදයේ හැඩයට කරකැවී ගිය ඇත් දළ තියෙනවා. රනින් කරපු ආභරණවලින් ඒ ඇතුන්ගේ බෙල්ල සරසලා තියෙනවා.

එබඳු සෝභමාන වූ ඇතුන් සියයක් ලැබුනත් දන්කුඩ දාන විපාකයෙන් සොළොස්වෙනි කලාවෙන් කලාවක් තරම්වත් වටින්නේ නෑ. මේ ලෝකයෙහි කවුරු හරි කෙනෙක් සිව්මහා දිවයිනට අධිපති වෙලා සක්විති රජපදවියට පත්වෙනවා නම් දන්කුඩ දාන විපාකයෙන් සොළොස්වෙනි කලාවෙන් කලාවක් තරම්වත් වටින්නේ නෑ.”