ඛුද්දක නිකාය | විමානවත්ථු
චණ්ඩාලී විමානය
“පින්වත් චණ්ඩාල ස්ත්‍රිය, මේ වැඩඉන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේයි. උන්වහන්සේ මහා කීර්තිමත්. දැන් ඔබ උන්වහන්සේගේ සිරිපා යුග වැඳපුදා ගන්න. කල්ප සියයක් ඇතුළත පහළ වී වදාළ සත්වෙනි ඍෂිවරයාණන් වහන්සේ ඔබ කෙරෙහි අනුකම්පාවෙන්මයි මේ වැඩඉන්නේ. රහතන් වහන්සේ කියන්නේ අටලෝ දහමින් කම්පා නොවන කෙනෙක්. සිත පහදවා ගන්න. ඉක්මනින්ම ඇඳිලි බැඳ වන්දනා කරගන්න. තව බොහෝම ටික වෙලාවයි ඔබට ජීවත් වෙන්න තියෙන්නේ. “
දියුණු කරපු සිතක් ඇති අන්තිම සිරුරක් දරණ උත්තම මුනිඳාණන් වහන්සේ විසින් ඒ සැඬොල් ස්ත්‍රියව පිනට පෙළඹෙව්වා. ඉතින් ඒ සැඬොලියත් මහා කීර්තිමත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ සිරිපා යුග වන්දනා කරගත්තා. මේ ලෝකය අවිද්‍යා අන්ධකාරයෙන් කළුවර වෙලා තියෙන්නේ. චතුරාර්ය සත්‍ය නැමැති හිරු එළියෙන් විතරයි ඒ ලෝකය එළිය වෙන්නේ. ඉතින් ඒ එළිය ලබාදෙන සම්බුදුරජාණන් වහන්සේට වන්දනා කරපු සැඬොලිය ඒ අයුරින්ම වැඳගෙන බුදුරජුන් වඩින මග බලාගෙන හිටගෙන හිටියා. එතකොට ගවදෙනක් ඇවිදින් ඒ ස්ත්‍රියව ඇනල මැරුවා.
“මහානුභාව ඇති බුද්ධ වීරයන් වහන්ස, ඛීණාශ්‍රවයාණෙනි, නිකෙලෙස් මුනිඳුනි, තණ්හා නැති මුනිඳුනි, හුදෙකලාවේම වන මැද භාවනා කරන මුනිඳුනි, මං දෙව්ලොව ඉපදුනා. මං ඔබවහන්සේට වන්දනා කරනවා.”
“පින්වත් දෙව්දුව, ඔබ රන්වන් පාටයි. දිළිසෙනවා. මහා පිරිවර ඉන්නවා. නොයෙක් විසිතුරු දිව්‍ය අප්සරාවන් පිරිවරාගෙන ඉන්නවා. දිව්‍ය විමානයෙන් බැහැලා මට වන්දනා කරන ඔබ කොයි දිව්‍යාංගනාවද?”
“ස්වාමීනී, මම චණ්ඩාල ස්ත්‍රියක්. මහාවීර වූ ඔබවහන්සේ මාව පෙළඹෙව්වා. ඉතින් මමත් කීර්තිමත් ගෞතම නම් වූ අරහත් වූ බුදුරජුන්ගේ පාකමල් වන්දනා කරගත්තා. ඒ මං බුදුරජුන්ගේ සිරිපා යුග වන්දනා කරගෙන සැඬොල් යෝනියෙන් චුත වුනා. නන්දන වනයෙහි දිව්‍යවිමනයක උපන්නා.
මේ විමානය හැම අතින්ම ලස්සනයි.දිව්‍ය අප්සරාවන් ලක්ෂයක පිරිවරක් මට ඉන්නවා. ඒ සියලු දෙනා අතරින් ශරීර සෝභාවෙන්, යසසින්, ආයුෂයෙන් ඒ හැම දෙනාටම වඩා උතුම් කෙනෙක් වුනා. යහපත් දේවල් ගොඩාක් මං රැස්කළා. සිහිනුවණ පිහිටුවාගෙන සිටියා. ඉතින් ස්වාමීනී, ලෝකයෙහි මහා කාරුණික මුනින්ද්‍රයන් වහන්සේ බැහැදැකලා වැඳපුදා ගන්නටයි මං ආවේ.”
ඒ චණ්ඩාලී දෙවඟන කෙලෙහි ගුණ දන්නවා. කෙලෙහි ගුණ සිහිකරනවා. ඉතින් ඇය ඔය විදිහට පවසලා අරහත් මුනින්ද්‍රයන් වහන්සේගේ පා කමල් වන්දනා කරලා එතැනම නොපෙනී ගියා.