ඛුද්දක නිකාය | විමානවත්ථු

විසාලක්ඛී විමානය

“ලොකු ඇස් ඇති සුන්දර දෙව්දුව, ඔබේ නම මොකක්ද? දිව්‍ය අප්සරාවන් පිරිවරා ගෙන මේ රම්‍ය වූ චිත්‍රලතා වනයෙහි ඔබ ලස්සනට ඇවිදිනවා. තව්තිසාවැසි දෙවිවරුන් මේ චිත්‍රලතා වනයට එනවා. එතකොට ඒ දෙවිවරු තමන්ගේ යානාවන් දිව්‍ය රථ ඒ සෑම දෙයක්ම සමග විචිත්‍ර වෙලා යනවා. මේ චිත්‍රලතා වනෝද්‍යානයෙහි හැසිරෙන ඔබගේ ශරීරයෙහි රන්මල් ආදී විසිතුරු දේවල් පිහිටලා නෑ. ඔබේ සිරුර මෙතරම්ම සුන්දර වුනේ කොහොමද? පින්වත් දෙව්දුව, අපි අහන්නෙ මේකයි. මේ ලැබුනේ කවර පින්කමක විපාකයක්ද?”

“පින්වත් දේවේන්ද්‍රය, මගේ මේ සොඳුරු රූ සපුවත් මගේ මේ සොඳුරු උපතත් මේ ඉර්ධියත් මේ ආනුභාවයත් ලැබුනේ යම්කිසි පිනක් නිසයි. සක් දෙවිඳුනි, ඒ ගැන මැනවින් අසනු මැනව.

මං ඉස්සර හිටියේ රම්‍ය වූ රජගහ නුවරයි. මං උපාසිකාවක්. මගේ නම සුනන්දා. මට හොඳ ශ්‍රද්ධාවක් තිබුනා. හොඳ සිලයකුත් තිබුනා. හැම තිස්සෙම ආසා කළේ දන් දෙන්ටමයි. සෘජු සිත් ඇති ආර්යයන් වහන්සේලා ගැන මගේ හිතේ තිබුනේ බලවත් පැහැදීමක්. ඉතින් මම වස්ත්‍ර දන් දුන්නා. ඒ වගේම ආහාරපාන, සේනාසන, තෙල්පහන් පූජා කරගත්තා.

චාතුද්දසී දවසට, පුන්පොහෝ දවසට, අටවක පොහොයට, පාටිහාරීය පක්ෂයේ පොහොය දවස්වලට මං අටසිල් සමාදන් වෙලා හොඳින් ආරක්ෂා කළා. මං හොඳින් උපෝසථ සිල් රැකගත්තා. හැමදාම සිල්පදවල සංවර වුනා. ඉඳුරන් සංවර කරගත්තා.

කාට ත් දන්පැන් බෙදා දුන්නා. මං ඒ විදිහටයි ගෙදර ජීවත් වුනේ. සතුන් මැරීමෙන් වැළකුනා. බොරු කීමෙනුත් වැළකිලා වචනය සංවර කරගත්තා. හොරකම් කළේ නෑ. ස්වාමියා ඉක්මවා දුරාචාරයේ හැසිරුනේ නෑ. මත්පැන් පානය කළෙත් නෑ. සිල්පද පහ රැකගත්තේ කැමැත්තෙන්මයි.

චතුරාර්ය සත්‍ය ධර්මය තේරුම් ගන්න තරම් මා තුළ දක්ෂකමක් තිබුනා. ඒ නිසාමයි පැතිරුණු යසස් ඇති සදහම් ඇස් ඇති ගෞතම බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි ශ්‍රාවිකාවක් වුනේ.

මට දිනපතාම නෑදෑයෙකුගේ දාසියක් මල්මාලා අරගෙන එනවා. මං ඒ මල්මාලා සියල්ලම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ස්ථූපයට ශ්‍රද්ධාවෙන් පූජා කළා. උපෝසථ දවසටත් මං ස්ථූප වන්දනාවට යනවා. පහන් සිතින්ම මේ දෑතින්ම මල් සුවඳ විළවුන් ස්ථූපයට පූජා කළා.

පින්වත් දෙවිදුනි, මගේ මේ සොඳුරු රූ සපුවත් මගේ මේ සොඳුරු උපතත් මේ ඉර්ධියත් මේ ආනුභාවයත් ලැබුනේ මං කරගත්තු මේ මල් මාලා පූජාව නිසයි. මං සිල්වත් තැතැත්තියක්ව සිටියා. තවම ඒ පින විපාක දීල නෑ. පින්වත් සක්දෙවිඳුනි, මගේ හිතේ ලොකු ආශාවක් තියෙනවා. ඒ සකදාගාමී වීම ගැනයි. “