ඛුද්දක නිකාය | විමානවත්ථු

අලෝමා විමානය

“පින්වත් දෙව්දුව, ඔබ ඔය සුන්දර රූපෙන් බැබලෙමින් ඉන්නෙ හැම දිසාවක්ම බබුලුවන ඕසධී තාරුකාවක් වගේ. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුනේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේව ලැබුනේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුනේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව, මිනිස් ලෝකෙ ඉන්න කාලෙදි මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැමදිසාවම බබලනවා.”

මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව් දුව ගොඩාක් සතුටු වුනා. මොන වගේ පින්කම්වලින් ද මේ සැප ලැබුනේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ.

“මං බරණැස් නුවරදී හිරු ගොත් වංශයේ ඤාතිවරයා වන බුදුරජාණන් වහන්සේට පහන් සිතින් යුතුව මගේ දෑතින්මයි වියලි පිට්ටුවක් පූජා කළේ. ඒ පිට්ටුව වියලි එකක්. ලුණු තිබුනෙත් නෑ. එබඳු දානයෙහි පවා විපාකය බලන්න. එබඳු දෙයකට මෙබඳු සැපවත් දෙව්ලොවක ඉන්න මේ අලෝමා දෙව්දුව දැක දැකත් පින් නොකරන්නෙ කවුද? ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුනේ.

ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුනේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුනේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස, මිනිස් ලෝකෙදි ඔය පින තමයි මං කරගත්තෙ. ආනුභාව සම්පන්නව බැබලි බැබලී ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා. “