ඛුද්දක නිකාය | විමානවත්ථු

චතුරිත්ථි විමාන

“පින්වත් දෙව්දුව, ඔබ ඔය සුන්දර රූපෙන් බැබලෙමින් ඉන්නෙ හැම දිසාවක්ම බබුලුවන ඕසධී තාරුකාවක් වගේ. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුනේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේව ලැබුනේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුනේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව, මිනිස් ලෝකෙ ඉන්න කාලෙදි මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක් ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා.”

මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුනා. මොන වගේ පින්කම්වලින්ද මේ සැප ලැබුනේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ.

ඉන්දීවරදායිකා: “ඒසිකා කියන රටේ කඳු පෙදෙසක තමයි පණ්ණකත කියන රම්‍ය වූ නගරය තිබුනේ. එහෙ තමයි මං හිටියේ. දවසක් ස්වාමීන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වැඩියා. මං උන්වහන්සේට ඇහැල මල් කළඹක් පූජා කළා. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුනේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුනේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුනේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස, මිනිස් ලෝකෙ දි ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලී ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා.  “

(උතුම් මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ ආනුභාවයෙන් බබලමින් ඉන්න තවත් සුන්දර දිව්‍යාංගනාවන් තුන් දෙනෙකුගෙන් තමන් කරපු පින් ගැන ඇහුවා. ඒතකොට ඔවුන් මෙහෙමයි කිව්වේ)

නීලුප්පලදායිකා: ඒසිකා කියන රටේ කඳු පෙදෙසක තමයි පණ්ණකත කියන රම්‍ය වූ නගරය තිබුනෙ. එහෙ තමයි මං හිටියේ. දවසක් ස්වාමීන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වැඩියා. මං උන්වහන්සේට නිල්මහනෙල් මල් කළඹක් පූජා කළා……

ඕදතමූලදායිකා: ඒසිකා කියන රටේ කඳු පෙදෙසක තමයි පණ්ණකත කියන රම්‍ය වූ නගරය තිබුනේ. එහෙ තමයි මං හිටියේ. දවසක් ස්වාමීන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වැඩියා. මං උන්වහන්සේට නෙළුම් මල් කළඹක් පූජා කළා. ඒ නෙළුම්වල සුදු මුල් තියෙනවා. කොළ පැහැති පත්‍ර තියෙනවා. විලේ තමයි ඒවා හැදුනේ………

සුමනමකුළදායිකා: මං සුමනා. ඒසිකා කියන රටේ කඳු පෙදෙසක තමයි පණ්ණකත කියන රම්‍ය වූ නගරය තිබුනේ. එහෙ තමයි මං හිටියේ. දවසක් ස්වාමීන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වැඩියා. මං උන්වහන්සේට ඇත්දළ පාටින් යුතු දෑසමන් මල් කැකුළු පූජා කළා………