යසෝදරා මහරහත් තෙරණි අපදානය - 01 වන කොටස

ඒ දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ යුගයයි. අපට අද ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය සේයි එකල සිටි මිනිසුන්ට දීපංකර බුද්ධ ශාසනය.

එදා රම්‍යවතී නුවර වාසීන්ට බොහොම සුබ දිනයක්. හැම දෙනාම එකා වගේ ලහි ලහියේ නුවර පිරිසිදු කළා. මල් වැල් ගොතා නුවර ප්‍රධාන වීථිය දෙපස අලංකාර කළා. උස් තැන් මිටි තැන් සම කරමින්, ගල් බොරළු රොඩු ඉවත් කරමින් මාවත පිරිසිදු කළා. සුදු වැලි ඇතිරෙව්වා. සුවඳ පැන් ඉස්සා. සුවඳ කල්ක පුරවපු පාත්‍රා විදීය දෙපස තැන්පත් කළා. අලංකාර ධජ පථාක එල්ලුවා. නමුත් ඔවුන් කිසිවෙකුටවත් සම්පූර්ණ කරගත නොහැකි කොටසක් ඒ මාවතේ තැනක තිබුනා. ‘මෙතෙන්ට අපි දැන් කුමක්ද කරන්නේ?’ කියල පිරිස් රැස් වෙලා කථා කරමින් සිටිද්දී අහස් ගමන් ඇති මහා ඉර්ධිමත් තරුණ තාපසීන් වහන්සේ නමක් එතනට ආවා. එතුමා ඒ පිරිසගෙන් මෙසේ ඇසුවා.

“පින්වතුනී, නුඹලා මේ කුමක්ද කරන්නෙ? හැමෝම එකතුවෙලා ජයටම සරසන්නෙ? රජතුමාවත් මේ මාවතෙන් වඩිනවද? නැත්නම් මගුල් තුලාවක්වත්ද?”

“අනේ අපේ පින්වත් තාපසීන් වහන්ස, ඒ භාග්‍යවත් වූ අරහත් වූ අපගේ දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ තව ස්වල්ප මොහොතකින් මේ මාවතෙන් වඩින්ට නියමිතයි. ඒකයි අපි මේ ලහි ලහියේ මාර්ගය සරහන්නෙ”

භාග්‍යවතුන් වහන්සේ නමක් පහළවෙන්නෙ අතිශයින්ම කලාතුරකින් බව තාපසතුමා හොඳින්ම දැන හිටියා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ උදෙසා යමක් කරන්ට ලැබෙන්නෙත් අතිශයින්ම කලාතුරකින් බව ඔහු දැන හිටියා. ඒ වගේම ඒ කරන දෙයින් රැස්වෙන පිනේ ආනුභාවය වචනයෙන් කියල ප්‍රමාණ කරන්ට බැරිබවත් එතුමා හොඳින්ම දැන හිටියා. ඒ නිසා තවත් ප්‍රමාද නොවී යමක් කළ යුතු බව තදින්ම සිතට ගත් එතුමා ඊට අවස්ථාවක් ඔවුන්ගෙන් ඉල්ලුවා. මාවතේ බොරවෙලා මඩවෙලා ගිය කිසිම දෙයක් කරගන්ට බැරිව අසරණ වෙලා තිබුන භූමි ප්‍රදේශය ඔවුන් තාපස තුමාට  දුන්නා. ක්ෂණයකින්, ඒ මඩ කොටසත් සියලු පාරත් වෛරෝඩි මැණිකෙන් කලා වගේ මවන්ට තරම් ඉර්ධි බලයක් එතුමාට තිබුනත් තමන්ගේ ශ්‍රමයෙන් දහඩිය සළා ඒ පින කරගන්ට එතුමා සිතුවා. වේගයෙන් හොඳ පස් ගෙනෙමින්, මඩ මත දමමින්, ඒවා තලමින් එතුමා මාවත සදන්ට උත්සාහ කලා.

නමුත් භූමිය සකසා අවසන් වෙන්ට කලින් දීපංකර භාග්‍යවතුන් වහන්සේ සතලිස් ලක්ෂයක් මහ රහතන් වහන්සේලා පිරිවරාගෙන ඈතින් වඩිනවා එතුමන් දුටුවා. බුදුරජාණන් වහන්සේගේ සොඳුරු මුව මඩල ඈතින් දකිත්ම එතුමාට අන් කලයුතු කිසි දෙයක් සිතාගන්ට නොහැකි වුනා. වහා මඩ ගොඩ මත වැතිරුනා. දෑත් එක්කොට හිස් මුදුනේ තබා ගත්තා. හඬගා මෙසේ කීවා.

“අහෝ මාගේ ස්වාමී වූ, තුන් ලොවට එකම ඇස වූ, ලෝකනාථ වූ මාගේ සම්මා සම්බුදුරජාණන් වහන්ස, මා ගැන අනුකම්පාවෙන් මාගේ පිට මතින් වඩින සේක්වා. ඔය සිරිපතුල් මේ මඩ කළල් මත නොම ස්පර්ශ වේවා. සතලිස් ලක්ෂයක් මහා සඟ රුවනත් මා මතින්ම වඩින සේක්වා. මඩ මතින් නොම වඩින සේක්වා.”

මෙසේ කියමින් දීපංකර බුදුරජාණන් වහන්සේත් මහා සංඝරත්නයත් උදෙසා තම ජීවිතය පූජාකරමින් මඩ මත වැතිරී සිටින ‘සුමේධ’ තවුසාණන් අසලට පැමිණි භාග්‍යවතුන් වහන්සේ සුවඳ මල් මිටක් තවුසාණන් මතට විසුරුවා මහා සඟරුවන අමතා මෙසේ වදාල සේක. 

"පින්වත් මහණෙනි, මා හට දිවි දී මේ වැතිරී සිටින වීර පුරුෂයාණන් දුටුවාද? මොහු සාමාන්‍ය කෙනෙක් බව නොසිතන්න. මොහු මහා පුරුෂයෙකි. බලවත් අධිෂ්ඨානයෙන් යුතුව මඩේ වැතිරී සිටින මොහු මෙතැන් පටන් අසංකෙය්‍ය කල්ප සතරකුත් කල්ප ලක්ෂයක් ඉක්ම ගිය තැන මා සෙයින්ම සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කරයි. ගෞතම නමින් සම්බුද්ධත්වයට පත්වෙයි...."

සුමේ තවුසාණන් මාවත සාදද්දී ගත් වෙහෙස සියළු දෙනාම මැනෙවින් දුටුවා. නියමකලට වැඩ අවසන් කර ගැනීමට නොහැකි වූ විට භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට ජීවිතය පූජා කරමින් මඩේ වැතිරෙනවාත් ඔවුන් දුටුවා. මඩේ වැතිරී සිටින තාපසතුමන් පිළිබඳව දීපංකර සම්බුදුරජාණන් වහන්සේ අනාගත වාක්‍යක් වදාරනවාත් ඔවුන්ට ඇසුනා. ඔවුන් සාධුකාර දිදී ඒ සියල්ල දෙස මහා සතුටකින් බලා සිටියා.

මේ පිරිස අතරේ එක්තරා පරිබ්‍රාජිකාවක් සිටියා. ඈත් සිදු වූ සියල්ල දෙස හොඳින් බලා සිටියා. සුමේධ තාපසතුමන් මාර්ගය සාදා අවසන් කිරිමට ගත් වෙහෙස ඈ විශේෂයෙන් දුටුවා. ඈ ඒ ගැන බොහෝ පැහැදුනා. දීපංකර බුදුරජාණන් වහන්සේ ඇතුළු සතලිස් ලක්ෂයක් මහා සඟ රුවනට දිවිදෙමින් තාපසතුමන් මඩ වගුර මත වැතිරෙද්දී ඈ මහ හඬින් සාධුකාර දුන්නා. බුදුරජාණන් වහන්සේ පිදීම පිණිස ගෙනා මහනෙල් මිටි අටක් ඈ ලඟ තිබුනා. ඈ ඒ ඉන් මිටි පහක් සුමේධ තවුසාණන් දෙසට දිඟු කළා. මෙසේ කීවා.

"පින්වත් තවුසාණෙනි, මේ මහනෙල් මල් මිටි පහ ගන්න. සම්බුදුරජාණන් වහන්සේට පූජා කර ගන්ට. පින්වන්ත තාපසීන් වහන්ස. නුඹ වහන්සේගේ පැතුම ඒ අකාරයෙන්ම ඉෂ්ඨ වේවා! අපගේ දීපංකර සම්බුදුරජාණන් වහන්සේ වදාළ සෙයින්ම සාරාසංකෙය්‍ය කල්ප ලක්ෂයක කාලයාගේ ඇවෑමෙන් නුඹ වහන්සේ ගෞතම සම්මා සම්බුද්ධ රාජ පදවිය ලබත්වා... එය එසේම වේවා!"

පරිබ්‍රාජිකාවක් වීමට පෙර ඇය යම් වංශවත් පවුලක ‘සුමිත්‍රා’ නම් කුලවත් දියණියක්. දිනක් දීපංකර බුදුරජාණන් වහන්සේගේ ගිහිකල පතිනිය වූ ‘පදුමාවතී’ දේවිය ඇයට දකින්ට ලැබුනා. පදුමාවතී දේවියගේ අසාමාන්‍ය රූ වරුණත් අතිශයින්ම සිත් පහදනසුළු මහා ගුණ කඳත් ගැන සුමිත්‍රාවන් බෙහෙවින් සතුටු වුනා. ඇය තමාගේ ධන සම්පත්, භව බෝග, දෙමාපිය ඥාති හිතමිත්‍රාදීන්, දැසි දස්සන් ඇතුළු සියළු සැප අත්හැරියා. පරිබ්‍රාජිකාවක් බවට පත් වුනා. ඇයට වුවමනා කළේ බඹසර සිල් ආරක්ෂාකරමින් සිල් රකිමින් පින් පුරාගෙන පදුමාවතී දේවිය සේ සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ගිහිකල පතිනිය වීමටයි.

එයනම් හරිම අසිරිමත්. ඈ අනාගත බුදුරජාණන් වහන්සේ නමක් ගැන අසා තිබුනේවත් නොවේ. ඈ බෝසතාණන් වහන්සේ නමක් සම්බුද්ධත්වය පිණිස කොතරම් දිර්ඝ කාලයක් පෙරුම් පුරන්නේදැයි දැන සිටියෙත් නොවේ. ඒ දිර්ඝ කාලය තුල බෝසතාණන් වහන්සේගේ දාන වස්තුව වන්නීත්, සියළු දුක් උහුලන්නීත්, සෙවනැල්ල සේ කැප වන්නීත්,  බෝසත්පතිනිය බව ඈ දැන සිටියේත් නොවේ. තමාගේ ලෙයින් මසින් උපන් සිඟිති දරු පැටවුන් දන් දෙන්ට වෙන වග ඈ දැන සිටියේත් නොවේ. ස්වාමියා උදෙසා මිනී මස් බුදින පෝරිසාදයන්ට, දරුණු රාක්ෂසයින්ට, වන මෘගයන්ට ගොදුරු වෙමින් දිවි පිදීමට සිදුවන බව ඈ දැන සිටියේත් නොවේ. කුලවත්ව ධනවත්ව ඉසුරුමත්ව සිට සියළු දේපල අත් හැර වන වැදීමට සිදුවන බව ඈ දැන සිටියේත් නොවේ. තමා දාස බවට දන් දෙන වග, අන්‍ය ස්වාමිවරු හට දන් දෙන වග ඈ දැන සිටියේත් නොවේ. මේ ලෝකයෙහි යම් මනුෂ්‍යයෙකුට සිතින් සිතාගත හැකි තරමේ සියලු දුක් අභිබවමින් මනුෂ්‍යයෙකුට, දෙවියෙකුට තබා බ්‍රහ්ම රාජයෙකුටවත් සිතා ගත නොහැකි තරම් දුක් උහුලන්ට වන්නී බෝසත්පතිනිය වග ඈ දැන සිටියේත් නොවේ. සියලු ලෝකයන් පීරා බැලුවත් සියළු සක්වලයන් පීරා බැලුවත් හැම කල්හිම එතරම් දුකක් උහුලන්නී, එතරම් කැපකිරීම් කරන්නී, එතරම් සෙනෙහසක් තම හිමි සඳු හට දක්වන්නී, එතරම් ලෙන්ගතුබවක් තම නැදි මයිලන් හට පුදන්නී, එතරම්ම දරු දුක් උහුලන්නී වියෝ දුක් උහුලන්නී බෝසත්පතිනිය මිස අන් කවරෙකුත් නොවන බව ඈ දැනහුන්නේ නොවේ. හිමියාණන් බඹසර රකිද්දී සිල් පුරද්දී ඉත සිතින් ඉඩදී අනුමෝදන් වන්නී, සිල් රකිනා හිමිසඳුට ශක්තිය වන්නී, බඹසරට සෙත් පතන්නී බෝසත්පතිනියක මිස අන් කවරෙකුත් නොවන වග ඈ දැන හුන්නා නොවේ. 

මේ කිසිත් නොදැනමය සුමිත්‍රාවෝ තමාගේ දේපල වස්තුව අත් හැරියේ. දෙමාපියන් සහපිරිවර අත්හැරියේ, මිහිරි රූප ශබ්ද ගඳ පහස අරමුණු ආදියෙන් මොනවට ආඪ්‍ය ගිහි ජීවිතය අත හැරියේ, බඹසර රකින්නියක් වූයේ.

සුමිත්‍රා පරිබ්‍රාජිකාව දීපංකර සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රි පා මුල තමා අත තිබූ මල් මිටි තුන පූජා කරගත්තා ය. සිරසින් වැඳ වැටෙමින් මෙසේ ප්‍රාර්ථනා කලාය.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මා විසින් මේ නිල් මාහනෙල් මල් මිටි තුන පිදීමේ අනුහසිනුත්, මා රකිනා බඹසර සීලයේ ආනුභාවයෙනුත් මේ තවුසාණන් සම්බුද්ධත්වය පිණිස වඩිනා ගමනේ උන්වහන්සේ පසුපසින් උපකාර සදමින් සෙවනැල්ල සේ යන පතිනිය මා වෙම්වා! පාරමී ධර්මයන් කුළුගන්වමින් උතුම් සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කරන අවසාන භවයේ ප්‍රිය පතිනිය වන යසෝදරාවන් මා වෙම්වා! රාහුල කුමරුන් කුසින් දරා සිටින්නී, ඒ රාහුල මාතාවන් මා වෙම්වා!”

“මා ප්‍රිය හිමිසඳු සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කොට ශ්‍රි සද්ධර්මය දේශනා කරද්දී, ඒ උත්තම දහම් පද අසා මාද මේ ඝෝරකටුක භව ගමනින් එතෙර දකිත්වා! සසර දුකින් සදහටම මිදී යත්වා!”

එදා අපගේ මහ බෝසත් සුමේධ තවුසාණෝ දීපංකර බුදුරජාණන් වහන්සේගේ සම්බුදු මුවින් නියත විවරණ ලබද්දී, සුමිත්‍රාවෝද ගෞතම සම්බුද්ධ ශාසනයේ ‘යසෝදරා’ නම් මහා අභිඥාලාභී මහා ඉර්ධිමත් මහ රහත් තෙරණින් වහන්සේ වනු පිණිස විවරණ ලත් සේක.

ඇය පදුමා දේවිය දුටුවත්, පදුමා දේවිය පිළිබඳ ඇසුවත්, පදුමා දේවියගේ ගුණ පිළිබඳ විශේෂයෙන් සිත් පැහැදී සිටියත් පදුමා දේවිය අනුකරණනය කරමින් ඈ ඇගේ ධූරය පැතුවා නොවේ. එය පෘථග්ජන සිතකින් නීර්ණය කරගත නොහැකි අසාමාන්‍ය කාරණයකි.

හේතුව, නූතයේ අප දකින්නේ හුදු අනුකරණය කිරීම පමණක් සහ අනුකරණයට උත්සාහ කිරීම් පමණී. ඉන් ඔබ්බට, අහිංසකව ගුණ ධර්ම දියුණු කරගනිමින් අවංක පරාර්ථකාමී හැඟීමකින් යුතුව ප්‍රාර්ථනා සදන පිරිසක් අද නැති තරම්ය. ඔවුන් පතන පැතුම් ඉතා තදින් ආත්ම දෘෂ්ඨියට ග්‍රහනය වී ඇති බව ඔවුන්ටවත් නොතේරෙයි. තමා මුල් කරගෙන තමා වටා යම් දෙයක් ගොඩ නගාගෙන එයින් සතුටක් සාර්ථකත්වයක් ලැබීම අරමුණු කරගත් කෝටියක් එකක් ප්‍රාර්ථනා සහ සිහින මැද අද ස්ත්‍රීන් සහ පුරුෂයන් වෙනසක් නෑර කොටු වී සිටිතී. නමුත් අපගේ සුමේධ තවුසාණන්ගේත් සුමිත්‍රා පරිබ්‍රාජිකාවන්ගේත් ප්‍රාර්ථනා ඊට හාත්පසින්ම වෙනස්ය. පරම පවිත්‍රය. සෝදා පිරිසිදුකළ සංඛයක් සේ පරම පාරිශුද්ධය. එහි දැකීමට හෝ පෙන්වීමට අංශුමාත්‍ර කැලැළක් නැත.

බෝසත් පතිනියක වීමට සුමිත්‍රාවන් කල ප්‍රාර්ථනය තුලම ඇගේ පතිවෘතාවත් ස්වාමි භක්තියත් තිරව මුල් බැස ගත්තේය. බඹසර සීලය සහ  කුමරි බඹසර පිළිබඳ කියනුම කිම. ඒ මොහොතින් ඇරඹුනු සුමිත්‍රාවන්ගේ ගමන ‘රාහුල මාතාවන්’ ලෙස නිමාව දකිනා තෙක් වෙනසක් නොවී. නොසැලෙන හිමාල පර්වත රාජයා සේ ස්ථිරව දෘඩව තිබුණී. තමා මුල්කරගත් ආත්ම දෘෂ්ඨියෙන් කිලිටි වූ අංශුමාත්‍ර සිදුරක් එහි නොවීය.

මහ බෝසතාණන් වහන්සේගේ සම්බුද්ධත්වය පිණිස කෙරෙනා වෑයමේ ප්‍රාණය කවන්නී ඇය විය.

මහ බෝසතාණන් වහන්සේ උදෙසා දිවි පුදමින් දිවිය කැපකරමින් පැමිණි යසෝදරාවන් පිළිබඳව මැනවින් දන්නෝ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේම හැර වෙන කවුරුන්ද? සම්බුද්ධත්වයෙන් පළමු අවුරුද්දේදී ප්‍රථම වරට සිය ඥාතීන්ට ධර්මයෙන් සංග්‍රහ කරනු පිණිස අපගේ බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩි සේක. සුද්දෝධන පිය රජුන්ගේ මාළිගයේ වැඩ සිටි අපගේ භාග්‍යවතුන් වහන්සේ රජ ගෙයිහිදී ම දානය වැළඳූ සේක. දානය වළඳා භුක්ථානුමෝදනාව අවසානයේ රැස්ව සිටි එක්ලක්ෂ සැටදහසක් ශාක්‍ය ඥාතීන් දෙස බලා වදාල අපගේ භාග්‍යවතුන් වහන්සේ එහි යසෝදරාව නොමැතිබව දුටු සේක.භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේත් මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් සමග යසෝදරාවන්ගේ මාළිගයට වැඩිසේක. යසෝදරාවන්ගේ සිරියහන් ගබඩාවට වැඩි සේක. අපගේ භාග්‍යවතුන් වහන්සේ බ්‍රහ්මස්වර විහිදවමින් ‘පින්වත් යසෝදරා’ යි ආමන්ත්‍රණය කළ සේක.

සත් වසරක් පුරාවට නෑසූ හඬ නොසීතූ මොහොතක ඇසෙද්දී, එයද පෙරටත් වඩා අතිශය මිහිරි බ්‍රහ්මස්වරයෙන් ඇසෙද්දී, යසෝදරාවන්ට එය කෙසේ දැනුනාදැයි අපට සිතාගත නොහැකිය.

සත් වසරක් පුරාවට ඉවසාහුන් ඇගේ හදවත වේගයෙන් සැලෙන්ට ගත්තේය. සවනත වැකුණු හඬ අදහාගනු නොහැකිව ඕ මොහොතක් භාග්‍යවතුන් වහන්සේ දෙස බලා සිටියාය. අසංකෙය්‍ය ගණන් සසරේ මහ බෝසතාණන් වහන්සේ උදෙසා ජීවිතය දෙමින්, ලෙයින් උපන් දරුවන් දන් දෙමින්, සත්ත සතකාදී මහා දන් මුළු හදවතින්ම අනුමෝදන් වෙමින් ඈ ආ මගෙහි මේ අවසාන භවයයි. එනිසා  දීපංකර සම්බුදුරජාණන් වහන්සේගේ පාද මූලයේදී විවරණගත් දා පටන් මහ බෝසතාණන් වහන්සේ උදෙසා යසෝදරාවන්ගේ නෙතින් ගලා ගිය කඳුළු, අද එකම මොහොතක ගලා යන්නාක් සේ වී.

ඕ බුදුරජාණන් වහන්සේගේ සිරි පා මුල වැටී ගත්තීය. තථාගතයන් වහන්සේගේ ශ්‍රී පා තදින් වැළඳ ගත්තීය. සසරක් පුරාවට හෙළුු සුසුම් කඳුලත් සමග සිත් සේ දියකර හැරියාය. සිරි පතුල් තෙමී යනතෙක් හැඬුවාය. කිසිවෙකුත් ස්පර්ෂ කිරිමට නොපොහොසත් අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පතුල් යසෝදරාවන් විසින් වැළඳගෙන හඬද්දී සුදෝවුන් නිරිඳු කලබල වූයේ ය. යසෝදරාවන් වළක්වනු පිණිස නිරිඳු ඉදිරියට පැමිණෙද්දී, සසර පුරාවට තමන් වහන්සේ පිළිබඳ යසෝදරාවන්ගේ සිතෙහි පැවැති පිවිතුරු සිතිවිලි එකක් නෑර අතැඹුලක් සේ නොසැඟවී දන්නා මහාකරුණික අප සම්මා සම්බුදුරජාණන් වහන්සේය සුදොවුන් නිරිඳුන් වැලැක්වූ සේක. මෙසේ වදාල සේක.

"මහ රජුනි, යසෝදරාවට රිසි සේ හඬන්ට ඉඩ හරින්න. ඈ දැන් රිසි සේ නොහැඬුවොත් ඇගේ දුක කඳුලත් සමග මුසු වී නොගියොත් ඇගේ ළය පැළී යාවී. එනිසා මහරජුනි, ඈ රිසි සේ හඬත්වා. මා පිළිබඳ දුකින් ඈ මිදී යත්වා. ඈ සුවපත් වේවා."

එවිට සුදොවුන් නිරිඳුන් අපගේ සම්බුදුරජාණන් වහන්සේ ඉදිරියෙහි යසෝදරාවන්ගේ ගුණ කඳ හෙළිකරමින් මෙසේ කියා සිටියේය.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, නුඹ වහන්සේ ගිහි සැප අත්හැර මහභිනික්මන් කළ මොහොතේ නුඹ වහන්සේ හැරගිය රජ සැප තමන්ටත් එපායි කියමින් ඈද අභිනික්මන් කිරීමට උත්සාහ කළාය. මා මුරකාවල් තව තවත් තර කළෙමි. ඈ නුඹවහන්සේ සේම තපසට යෑමට එතරම්ම වෑයම් කළාය.”

“ස්වාමිනී, නුඹ වහන්සේ අභිනික්මන් කළායැයි අසා මේ දඹදිව් තලයේ සියළු රාජ රාජාදීන් ඈ පතා හසුන්පත් එවූහ. නොයෙකුත් වටිනා ධන සම්පත් ආභරණාදිය එවූහ. නමුත් ස්වාමීනී, ඒ හසුන්පත් බලනවා තියා ඈ ඒ දෙස කර ඔසවා බැලීමක්වත් නොකළාය. ස්වාමියා පැවිදි වී විඳිනා දුක් තමනුත් සමසේ අනුභව කරමි’යී සිතා මේ යසෝදරාවෝ රජගෙයිහිම පැවිදි පිළිවෙත් පිරුවා ය. ස්වාමීනී, ඈ ඉඳුනිල් කලඹ වන් කෙහෙ කළඹ කපා හෙලුවාය. හිස මුඩු කළාය. සිනිඳු කසාවත් පිළිකෙව් කරමින් රළු කහවතක් හැන්දාය. මෘදු පලස් ඇති සිනිඳු කොට්ටා ඇතිරිලි ඇති, සැප යහන්හි නොනිඳා ඈ බිම හොත්තීය. සැප උස් ආසන පාවිච්චිනොකළ ඈ හීන මිටි ආසනවල හිඳ ගත්තීය. මල් ගඳ සුවඳ විලවුන් සියල්ල අත් හැරියාය.  මැටි පාත්‍රයේ අහාර ගත්තීය. උදෑසන පමණක් අහාර අනුභව කළාය. මේ ගෙවීගිය සත් හවුරුද්ද මුළුල්ලේ ඕ එසෙයින්ම විසුවාය. නුඹ වහන්සේ සේම බොහෝ දුක් ගත්තීය”

මෙසේ සුදොවුන් මහරජ භාග්‍යවතුන් වහන්සේ හමුවේ එක්ලක්ෂ සැටදහසක් ශාක්‍ය පිරිස් මැද යසෝදරාවන් පිළිබඳ ඉතා පැහැදුණු සිතින් කියා සිටියේය. යසෝදරාවන් පිළිබඳ ගුණ විස්තරය අසද්දී යසෝදරාවන්ගේ දුෂ්කර ප්‍රථිපදාවත් අධිකතර ස්වාමි භක්තියත් ගැන මේතාක් දන්න නොදන්න සියලු දෙනාගේ ඇඟ ලොමු ඩැහැ ගැන්වී ගියේය. දන්නා ශාක්‍යයන්ගේ සිත් තව තවත් පහන් වි ගියෙන් ඔවුන් හඬ නගා සාධු කාර දුන්හ. මුලදී කිසිත් නොදැන සිටි ශාක්‍යයෝ අලුතින් සිත් පහන් වී ගියෙන් ඔවුන්ටත් වඩා වැඩි හඬකින් සාධුකාර දුන්හ. මෙසේ යසෝදරාවන්ගේ ගුණ කඳ අරඹයා සුදොවුන් මාළිගාව දහස් සංඛ්‍යාත සාධු හඬින් ඒක නින්නාද වී ගියේය. හැඬීමෙන් දුක තුනී වී ගියෙන් යසෝදරාව සාධුකාර හඬත් සමග පියොවි සිහි ලැබුවාය. ඕ වහා නැගිට්ටාය. සිරිපතුල් වන්දනා කරමින් පිටුපසට වී ගත්තීය.

අපගේ බුදුරජාණන් වහන්සේ යසෝදරාවන්ගේ ගුණ කඳ ශාක්‍ය ඥාතීන් අතර වඩාත් ප්‍රකට කරමී’යී ‘සඳකිඳුරු ජාතකය’ දේශනාකළ සේක. ඒ ඇසූ සියලු ශාක්‍යයෝ උස් හඬින් මහ හඬින් ප්‍රීති ඝෝෂා කළහ. සාධු හඬ නැංවූහ. තුටු කඳූළු වැගිරූහ. යසෝදරාවන් පිළිබඳ අතිශයින්ම පැහැදුනහ. වඩ වඩාත් පැහැදුනහ.

යසෝදරාවෝ ගෞතම බුදුසසුනේ පැවිදි බව පතන්නී භාග්‍යවතුන් වහන්සේගේ සිරි පතුල් පාමුල වැඳ වැටුනාය. සියළු දෙයට නියම කාලය මනාව දන්නා දකිනා අපගේ බුදුරජාණන් වහන්සේ යසෝදරාවන්ගේ අයැදීම ප්‍රතික්ෂේප කල සේක. සුදොවුන් නිරිඳුන් ද ඊට එකහෙලාම විරුද්ධ වුහ.

ඉන් සත්වෙනි දිනයේ යසෝදරාවන් සිඟිති රාහුල කුමරුන් හට සිය පියාණන් වහන්සේගේ ගුණ කඳ වයමින් ‘නරසීහ ගාථා’ බිනුවාය. ඕ රහල් කුමරු සරහා භාග්‍යවතුන් වහන්සේ වෙතට යැව්වාය. සිඟිති රාහුල කුමරුවාණෝ තථාගතයන් වහන්සේගේ සුලඟිල්ලේ එල්ලී ‘පියාණන් වහන්ස, මට නුඹ වහන්සේගේ සෙවනැල්ලෙහි පවා මහා සැපයක් දැනෙයි’යී කියමින් විහාරයට යනතෙක්ම ගියේය. සිඟිති රහල් කුමරුවාණෝ සිය පියාණන් වහන්සේගෙන් උත්තරීතර ශාසන දායාදය මොනවට ලදින් පසුකලෙක ගෞතම සම්බුද්ධ ශාසනයේ ‘හික්මීමට කැමති භික්ෂූන් අතර අග්‍රස්ථානයට’ පත් වූ සේක.

සිඟිති රහල් කුමරු පැවිදි බව ලැබූවයි යන පණිවුඩය යසෝදරාවන්ගේ කණ වැකෙත්ම ඕ නැවතත් වියෝ දුකින් හඬා වැලපෙන්ට ගත්තීය.

යසෝදරාවන්ගේ ජීවිතය නම් අතිශයින්ම ආශ්චර්‍යය. වියෝ දුක සහ කඳුල යනු ම ඇයගේ ජීවිතයයි; අසංඛෙය්‍ය ගණන් ජීවිතවල ඇයට මුහුණදෙන්ට සිදු වූ ඇයට උරුම වූ දෙයයි. නමුත් ආශ්චර්‍යය නම් ඒ කිසිම මොහොතක ඇගේ දෑසින් හුණු කඳුලැලි ගැලුවේ නොවේ. තරහින් පුපුරුගහන හදවතකින් නැගෙන හුණු කඳුළු උනන්ට ඇගේ හදවතේ කෝපයක් කොයින්ද? ශාපකරන හදවතකින් නැගෙන හුණු කඳුළු නැගෙන්ට ඇගේ හදවතේ ශාපයක් කොයින්ද? සීතල කඳුළු උනන ඇගේ නෙත් තෙත් උනේ මෛත්‍රියෙනි. කරුණාවෙනි. පවිත්‍ර සෙනෙහසිනි. නොකිලිටි ආදරයෙනි. එනිසා අසංඛෙය්‍ය ගණන් සසරේ ඈගේ නෙත් තෙමාලූ සිසිල් කඳුලට හැමවිටම වටිනා අර්ථයක් තිබුනි. ඇගේ නෙතින් ගලාගිය හෑම කඳුළු බින්දුවක්ම අපගේ මහබෝසතාණන් වහන්සේගේ පාරමීදම් එකින් එක පුරවාලමින් පරිපූර්ණත්වයට උපකාර සදාලීය. සම්බුද්ධත්වය ඉක්මන් කරවාලීය. මේ මනුෂ්‍ය ලෝකයට අතිශයින් ම කලාතුරකින් පහළ වන සම්බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම ඉක්මනින් සාදවාලීය.

ඇත්තටම කීවොත් අද, මේ ව්‍යවහාර වර්ෂ 2023 ජීවත් වෙන අප යම් විදිහකින් ගෞතම නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් සරණ යන්නමෝ වෙත්ද ඒ 'ගෞතම සම්බුදු රජාණන් වහන්සේ' අප හට දායාද කොට වදාළෝ අපගේ යසෝදරාවෝම වන්නීය. ඈ එදා ශාපකරමින් කඳුළු සැළුවා නම් , ඈ වෛරය, තරහව, ද්වේශය, පළිගැනීම, ඉරිසියාව, මාන්නය, ලෝභය, මසුරුකම, කුහක බව, ගුණමකුකම, චපලබව ඊට එක් කළානම් අද අපට ඒ ගෞතම සම්බුදුරජාණන් වහන්සේ පිළිබඳ අසන්ට, සරණ යන්ට , පිහිට ලබන්ට සිහිනයෙකිඳු නොලැබෙන්ට තිබුනි…. යසෝදරාවන්ගේ කඳුල තුල කෝටි ප්‍රකෝටි දෙවි මිනිස් සත්ව වර්ගයාගේ විමුක්තිය තීරණය වී තිබුනේය. සැබවින්ම එදා සිට අද දක්වාත්, අද සිට අනාගතයේ ගෞතම සම්බුද්ධ ශාසනය යම් දිනයක මේ තුන් ලෝ තලයෙන් අතුරුදන් වෙත්ද ඒ අවසාන දිනයේ අවසාන මොහොත දක්වාමත් විමුක්තිය ලබන අවසාන සත්වයා තෙක් සියල්ලන්ගේම විමුක්තිය යසෝදරාවන්ගේ කඳුල තුල කැටි වී තිබුනි. අප ඇයගේ කඳුලින් අලෝකය ලැබුවෝ වෙම්හ.  එනිසාය ඇගේ කඳුල එතරම් සුවිශේෂී.

ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙත්ම ය. ගෞතම ශාසනය ද ලෝකයේ පහළවෙත්ම ය. ගෞතම සම්බුද්ධ ශාසනයේ පිහිට උරුම සකල දෙව් බඹ මනුෂ්‍ය පිරිස්ද බුද්ධ ශාසනය ඇති කල්හි ලෝකයේ පහළ වෙත්මය. නමුත් මෙතරම් ඉක්මනට නොවේ, ඒ සඳහා තව බොහෝ කල්ප අසංඛෙය්‍ය ගණනාවක් අපට ඉවසා සිටීමට සිදූවීමට තිබුණී….නමුත් අසංඛෙය්‍ය ගණන් සසරේ වියෝ දුක් දරා මහබෝසතාණන් වහන්සේ පිළිබඳ අප්‍රමාණ සෙනෙහසකින් ගෞරවයකින් සියල්ල සාධු සිතින් අනුමෝදන් වෙමින් පැමිණි යසෝදරාවන්ගේ අසහාය දරා ගැනීමේ ගුණය නිසා අද අප ගෞතම සම්බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ ලබන්ට පින්වන්තයෝ වූවෙමු. යසෝදරාවන්ගේ දෙනෙතින් ගලා ගිය සීතල කඳුළු බිඳුවේ ආශිර්වාදයෙන් ශක්තියෙන් අප ලත් ගෞතම බුදු සසුනේ යෙදෙන්නේ නම් මනාව සිල් ගුණ දම් වඩන්නේ නම් පින් රැස්කරගන්නේ නම් මෙලොව පරලොව යහපත සලසා ගන්නේ නම් එපමණකින් අප යසෝදරාවන්ගේ කඳුළු බිඳුවෙහි අර්ථය සාදාලූවා වෙත්. ණය ගෙවාලූවා වෙත්….