යසෝදරා මහරහත් තෙරණි අපදානය - 04 වන කොටස - පරිනිර්වාණය -

අපගේ යසෝදරා මහරහත් තෙරණින් වහන්සේගේ සාංසාරික ජීවිතය අතිශයින්ම ආශ්චර්‍යහ.

අකම්පිතව, සෘජු අදිෂ්ඨානයකින්, එකම අභිප්‍රායක් හදෙහිලා පැමිණි ඇගේ සාංසාරික ජීවන ප්‍රවෘතිය ජාතක කතාදියෙන් මොනවට ප්‍රකටය. එය අසනා පමාවෙන් හද කිලි පොලා යන්නකි. හද කකියා යන්නකි. ඇඟ හිරි වැටී යන්නකි. සැදැහෙන් සිත පිනා යන්නකි.

සැබවින්ම ඈ බෝසතාණන් වහන්සේ උදෙසාම ස්ත්‍රී ජීවිතයක් ලැබුවා මිසක සර්වප්‍රකාරයෙන්ම සකල ස්ත්‍රී දෝෂයන්ගෙන් මිදී පිරුවටයක් සේ පරම පවිත්‍රව සිටියා ය. සිතින් කයින් හෝ වචනයෙන් එක් මොහොතකුදු ලාමක ස්ත්‍රී දෝෂයක් ප්‍රකට නොකළා ය.

හේතුව, ඈ ඒ දොස් උවමනාවෙන්ම සඟවාගත්තා නොවේ. දොස් නොමැති සේ මායාවෙන් පෙන්වා සිටියාත් නොවේ. සත්තකින්ම ඈ නිදොස් වූවා ය. සියළු දෝෂයන්ගෙන් ඈ පිරිසිදු වූවා ය. අව්‍යාජව අවංකව පරම පවිත්‍රව ඈ දොස් රහිතව විසුවා ය.

එනිසාය ඈගේ ජීවිතය එතරම්ම සුවිශේෂී.

නික්ලේශී නොවීම ඈ එතරම් ගුණ දැරූනම් නිකෙලෙස්ව මහා අභිඥාලාභීව මහා සෘද්ධිමත්ව සම්බුදු ළයමඩලින් උපන් අර්හත් වූ රහල් මවු තොමෝ කොපමණනම් ගුණයන්ට ආකරයක් වන්ට ඇත් ද! කොපමණ ගුණ සුවඳින් තුන් ලෝ සනහාලමින් වැඩ සිටින්ට ඇත්ද!අහෝ අසිරියක්මැයි! අහෝ ආශ්චර්‍යක්මැයි! එතරම් ගුණ දැරූ අපගේ රාහුලමාතා යසෝදරා මහ රහත් තෙරණින් වහන්සේ නවක මෙහෙණක් සේ, කිසිත් නොදන්න මෙහෙණක් සේ, ළදරු මෙහෙණක් සේ, බිමට හරැවූ නෙතින් යුතුව සම්බුදුරජුන් ඉදිරියේ දෑත් නළලත තබා එකත්පස්ව වැඩසිටින සේක.

රාහුලමාතා යසෝදරා මහරහත් තෙරණියෝ අප්‍රකටව පිරිනිවන බලා වැඩම කිරීම යුතු නොවන බව දුටු මහා කාරුණික අප සම්බුදුරජාණන් වහන්සේ අනේකප්‍රකාරයෙන් සෘද්ධි දක්වා දෙව් බඹ පිරිස් සතුටු කරවා නිවන් පුර වඩිනා මෙන් තෙරණින් වහන්සේ අරඹයා වදාළ සේක. ඒ අනුව, අප්‍රමාණ ශාස්තෲ ගෞරවයෙන් හා නික්ලේශී අරහත් හදින් ප්‍රීතිමත් අප මහ රහත් තෙරණියෝ, රැස්වහුන් රජ සිටු ඇමති මහාමාත්‍යාදීන් සහිත කෝටි ගණන් මහ ජනයාත් ඉඳිකටු තුඩකටවත් ඉඩක් නැතිව අහස් තලෙහි රැස්ව හුන් ප්‍රකෝටි ගණන් දෙවු බඹ පිරිසත් අමන්දානන්දයට පත් කරවමින් උස්ව නැගෙන සාදු ඝෝෂා හඬ දස ගුණ – දසදහස් ගුණ කරවමින් නේකවිද සෘද්ධි ප්‍රාතිහාර්‍යන් දක්වා වදාල සේක. දහම් දෙසූ සේක. අනේකස්වරූපයෙන් පැමිණ සම්බුදු සිරිපතුල් සිරසින් වන්දනා කළ සේක. එදා ඕ තොමෝ දැක්වූ ප්‍රාතිහාර්‍යන් අපගේ මනසින් ලඝුකොට සිතා වචනයෙන් කැටි කොට දක්වාලීම කිසිසේත්ම කළ නොහැක්කක් වූවත් දුක්පත් අපගේ පුංචි සිතට අහෝ එය මේ වාගේ වෙන්ට ඇද්දෝහෝයි සිතා සිතිවිලි මාත්‍රයකින් හෝ පූජා පවත්වනු පිණිස ශ්‍රද්ධාව උපදවාගනු පිණිස තෙරණි ගුණයෙන් අප හදවත් සිසිල් කරගනු පිණිස මෙසේ ඒ පිළිබඳ සටහන් කරන්නෙමු.

ඒ යසෝදරා මහරහත් තෙරණින් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ ඇඳිලි බැඳ වන්දනා කරමින් මෙසේ කී සේක.

“ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මතු සත්දිනෙකින් ලැබීමට උරුම සක්විති රාජ්‍යත්, කිසිදා අඩු නොවෙනා සතර මහා නිධානය සහිත සියළු ධන සේසතත්, දෙව් පුරයක් වන් කපිලවස්තු රාජ්‍යත් උදෑසන ලූ කෙල පිඬක් සේ බැහැර කරමින් නුඹ වහන්සේ අභිනිෂ්ක්‍රමණය කොට වදාල සේක. පෙම්බර සුදොවුන් නිරිඳාණන් සහ ගෝතමී මෑණියන් ද සතලිස් දහසක් ක්ෂත්‍රීය නාටක කන්‍යාවන් සහ සයානූලක්ෂයක් ක්ෂත්‍රීය කන්‍යාවන් ඇතුළුව මා හා රාහුල පුතණුවන්ද ඇතුළුව අප සියළු දෙන හැර දමා නුඹ වහන්සේ ඉතා අළුයමින්ම අභිනික්මන් කොට වදාල සේක.

ස්වාමීනී, ඉන් මතු සය හවුරුද්දක් පුරා අප්‍රමාණ වෙහෙස වී මහත් වූ භීම වික්‍රමයෙන් පස්මරුන් පරදා නුඹ වහන්සේ සම්බුද්ධ කිරීටය ජය ගත් සේක. මුළු ලොවෙහි ජනී ජනයාත් සකල දෙව් බඹ පිරිසත් අමා නිවනෙහි හික්මවමින් වඩනා ගමනේ මා ඇතුළු සියළු සත්වයන් ඒ අමා මහ නිවනින් සුවපත් කොට වදාල සේක. ඒ නිසාම ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, නුඹ වහන්සේ මා ඇතුළු සියළු සත්වයන්ගේ නිර්වාන හිමියාණන් වහන්සේ වන සේක, සම්බුද්ධ පියාණන් වහන්සේ වන සේක.

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මම් ද දැන් බොහෝ දිරා ඇත්තෙම් ජරාව විසින් මඩිනා ලද්දේ අට සැත්තෑ වියට පැමිණියෙමි. නුඹ වහන්සේ හා සම වයස් ඇත්තෙම් මේ තාක් සසරෙහි නුඹ වහන්සේගේ පසු පසින් නුඹ වහන්සේට දෙවනුව ආ මුත් මෙවර මා නුඹ වහන්සේට පළමුව නිවන් පුර වැඩීම පිණිස අවසර ඉල්ලා සිටින්නෙමි. අද රාත්‍රියේම එහි යාමට මා රිසියෙමි. ස්වාමීනී, මා හට ඊට අවසර දී වදාල මැනව.
මින් පෙරත් සියළු බුද්ධ පතිවෘතාවන් පිරිනිවන් වඩිනා දිනයේ ධර්මස්වාමීහු කමා කරවා ගැනීම පිළිවෙත වන හෙයිනුත්, මින් මතු නැවත භවයකදී කමා කරගනු පිණිස නුඹ වහන්සේගේ හෝ වේවා මාගේ හෝ වේවා යලි මුණ ගැසීමක් නැති හෙයිනුත් මම් මේ මොහොතෙහි ස්වාමීහූ කමා කරවා අවසර ඉල්ලනු කැමැත්තෙමි.

මම් සසර බොහෝ කාලයක් ස්වාමිදරුවාණන් පසුපස ඡායාවක් සේ ආයෙමි. ඒ එන කල පක්ෂපාතීවම ආයෙමි. එසේද වුවත් ස්ත්‍රී ජීවිතය යනු දොස් බහුල වූ සිදුරු බහුල වූ ජීවිතයක්මැයි. ලාමක වූ ගති ඇති හෙයින් නිතොර වරදින සුළු වූවකි. එසේහෙයින් ඒ එන කල්හි මාගේ සිතින් කයින් වචනයෙන් ස්වාමීහූ හට දොසක් වූයේනම් ඒ සියල්ල පිළිබඳ මම් දැන් කමා අයැදී සිටින්නෙමි.

ස්වාමීනී, බන්ධනාගාර ජාතකයෙහි දී, ස්වාමීහූ අප හැරලා තපසට නික්මෙනු කැමැත්තෙන් සිටිද්දීත් මා එකල කුස දරුව සිටි හෙයින් දරුවා වදාපියන තෙක් සිටීවායි කී වචන අසා නුඹ වහන්සේ ගෙයි නැවතුන සේක.

නැවතත් යාමට තනද්දී දරුවා පිළිවෙලින් උස් මහත් වන කල් සිටිත්වා යී මම් නොයෙක් වර ඇවිටිලිකල කළ ඊට ද අවනතව නුඹ වහන්සේ ගෙයි නැවතුන සේක.

නමුත් මා කුස දෙවන දරුවෙකු ද හොත් කල නුඹ වහන්සේ රහසේම අප හැර දමා හිමාල වනයට තපස් පිණිස ගිය සේක.

එහිලා නුඹ වහන්සේගේ නෛෂ්ක්‍රම්මයට මා බාධා කළා නොවේ. සැබවින්ම දරුවකු කුස හොත් නිසාවෙනුත් තනි මවු වූ මා තනිව දරු දෙදෙනෙකු තනා ගැනීම උස් මහත් කිරීම අතිශය දුෂ්කර කටයුත්තක් වූ නිසාවෙනුත් නුඹ වහන්සේ නිවසෙහි රඳවාගනු පිණිස ඉල්ලා සිටියා මිසක එය නුඹ වහන්සේගේ නෛෂ්ක්‍රම්මයට එරෙහිව සිටියාක් නොවේ.

නමුත් නුඹ වහන්සේ නැතිවම දරුවන්ද පෝෂණය කරමින් මා බොහෝ දුක් ගත් හෙයිනුත්, අන් පුරුෂයන් නොපතා අන් සරණක් නොපතා නුඹ වහන්සේගේ නාමයෙන් පතිවෘතා ධර්මයන් නොයික්මවා සිටි හෙයිනුත්, වචනයකිඳු තබා සිතිවිලි මාත්‍රයකිඳු නුඹ වහන්සේගේ නෛෂ්ක්‍රම්මයට වරදක් නොකී නිසා මා වරදින් නිදොස් බව දකින්නෙමි.

නමුත් සසරේම දෝෂයක් නිසා සිදු වූ ඒ වරදට ස්වාමීනී මා හට කමාකල මැනව.

එසේම මා සහ නුඹ වහන්සේ මැටි වළං සාදනා කුම්භකාර කර්මාන්තයෙන් ජීවිකාව ගෙන යමින් බොහෝ දුෂ්කරව දිවි ගෙවද්දී, එක්තරා දිනකදී පසේ බුදුරජාණන් වහන්සේ නමක් දැක බොහෝ සතුටින් අපි බණ ඇසුවෙමු. ඒ බණ අසා පැවිදි වනු පිණිස නුඹ වහන්සේ සිතූ සිත හැඳින මම් එදා නුඹ වහන්සේට පෙරාතුව ගොස් පැවිදි වීමි.

එකල බිළිඳු වූ රාහුල පුතණුවානෝ නුඹ වහන්සේ අත තබා පැන් ගෙන එන්ට යන මුවාවෙන් ගොස් මා පැවිදි වූවෙමි.

එහිලා නුඹ වහන්සේට වංචාකොට මා පලා ගිය වගක් පෙනෙන්නේ නමුදු පැවිද්දනම් ස්ත්‍රී පුරුෂ කා හටත් සුදුර්ලභව ලැබෙන්නාක් හෙයිනුත් දරු සිඟිති ඇතිව හුන් මා වන් ලඳක් හට එය අතිශයින්ම දුර්ලභව ලැබෙන්නක් වන හෙයිනුත් ස්වාමි දරුවානෝ පුරුෂ වූ කල කිසෙයින්වත් පැවිදි කිස මස්ථකප්‍රාප්ත කරගැනීමෙහිලා සැකයක් නොමැති හෙයිනුත් මම් ඒ කාර්‍යෙහිලා වරදක් නොදක්නෙමි.

එසේම නිවන් දැකීම නම් කා හටත් එක සෙයින් මිහිරිවන කල මා ඒ යෑමෙහි අපරාධී බවක් නොදක්නෙමි. නමුත් මම් නැති කල නුඹ වහන්සේ එකලාව සිඟිති දරු පෝෂණය කරමින් දුක් ගත් නිසාවෙන්ම අවසන් ආත්මයෙහි දී ‘මපුතු ජාලී, මෙහි එනු මැනැවැයි’ කී සැනින් පියාණන් අසලට පැමිණෙන්ට තරම් රාහුලයාණෝ කීකරු වී පියාණන් පිළිබඳ සෙනෙහෙ වැඩූ බව දකිද්දී ඒ මම් කල කාර්‍යයෙන් එහිලා පිටිවහලක් වූ වගක් ද පෙනී යන්නාක් සේයි.

තමා හුදෙකලාවේ දුක් ගනිමින් වැඩූ නියාවට රාහුලයාණෝ නුඹ වහන්සේ විශයෙහි ප්‍රත්‍යුපකාර සෑදුවාක් බඳු හෙයින් එවන් වූ පුතෙකු වදා පිය-දරු ස්නේහයට උපකාර සෑදුවාක් බඳු ඒ මාගේ ක්‍රියාවෙන් නුඹ වහන්සේගේ පාරමිතා පූර්ණයෙහිලා වැඩක්ම සැලසී ගියේය.

දරු පෝෂණය කිරීමෙහිලා උත්සහවත් වීම නිසා වීරිය පාරමිතාවත් අන්තයේදී නෙක්ඛම්ම පාරමිතාවත් සිද්ධ වී ගියෙන් මාගේ පළා යෑමෙන් නුඹ වහන්සේට යහපතෙක්ම විය.

එසේම, මේ අන්තිම ආත්මයේ දී පවා දායාද ඉල්වා නුඹ වහන්සේ පසුපසින් එවාලු මොහොතේදී ‘කුමරුවාගේ හිසකේ කපා පැවිදි කරව’ යි කී පමාවෙන් මා ද මුත්තණුවන් වහන්සේ ගැන ද වගක් නැතිව හිසකෙහෙ කැපීම පිණිස හිස පෑමෙන් ම එදා නුඹ වහන්සේ දරු පෝෂණය කිරීමෙහිලා දුක් ගැනීමට කෙලෙහි ගුණ සලකා හේ කීකරුව සිටියේ ය.

එසේ නමුත් නුඹ වහන්සේට පෙරාතුව පැවිද්ද පිණිස හෝ පළායාමෙන් මාගෙන් වූ වරදට ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස මා හට කමා කළ මැනව.

තවද කුරුධම්ම ජාතකයේ දී මා නුඹ වහන්සේට අග බිසවව සිටිද්දී යුවරජුගේ රූපශ්‍රී දැක මොහොතකට ඒ පිලිබඳ සතුටු සිතක් ඇතිකර ගත්තෙමි. නමුත් ක්ෂණයෙන් පියොවි සිහි ලදින් මොහොතකට නමුත් සිත වක්‍ර වී යාම පිළිබඳ දැඩි සේ විපිළිසරව ගියෙමි. ලජ්ජාවට පත් වුනෙමි. සීල භේදයක් වූයේදැයි සැක කලෙමි. ඊට බිය වූයෙමි. එහිලා වරද ප්‍රකට කළ හෙයිනුත් සිහි නුවණ පැවැත්වූ හෙයිනුත් මම් ඉන් නිදොස් බව දකිමි. නමුත් මොහොතකට නමුත් ඒ වූ මාගේ වරදට ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස මාහට කමා කළ මැනව.

එසේම අභ්‍යන්තර ජාතකයේදීත්, සුසීම ජාතකයේදීත් මා අන්‍ය රජුන්ගේ මෙහෙසි ධූරය හෙබවූවෙමි. මේ සංසාරයනම් එතරම්ම හීනය. අවිනිශ්චිතය ය. ඒ නිසා සසරේ දෝෂයෙන්ම සිදුවූ ඒ වරදට මා හට ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස කමාකළ මැනව.

එකී අභ්‍යන්තර ජාතකයේ දී, අඹ කෑමෙහි දොළක් මා හට උපන. මාගේ දොළ නිසාවෙන් රාජ අඹ උයනෙහි විවේකීව බවුන් වඩමින් සිටි ප්‍රධාන තවුස් තෙමේ ඇතුළු පන්සියයක් සිල්වත් තපස්වීහු රාජ අණින් උයනෙන් පහ කරන ලදී. සක් දෙව් රජුගේ පෙළඹවීමෙන් රජුගේ අණ ඒ ආකාරයෙන් නිකුත් වීම නිසා රාජ සේවකයෝ පැමිණ සිත් සිත් සේ ධ්‍යාන සුව විඳිනා නුඹ වහන්සේ ඇතුළු ඒ තවුස් පිරිස හට බොහෝ ගැහැට කරමින් උයනෙන් පලවා දැමූ මුත් අංශුමාත්‍ර හෝ කිපීම් සිතක් නොමැති නුඹ වහන්සේ ශාන්තව ඉන් පිටවී ගිය සේක. එකළ නුඹ වහන්සේට ඒ මාගේ අඹ කෑමෙහිලා වූ දොළ නිසා එසේ දුක් ගන්ට සිදු වී. නමුත් එහිලා මා අත වරදක් නැති. හුදෙක් එය සක් දෙවිඳුන්ගේ පෙළඹවීමෙන් සිදු වූ දෙයක් හෙයිනුත් මාගේ කිසිඳු සම්බන්ධයෙකින් තොරව සිදු වූ ක්‍රියාවක් නිසාවෙනුත් එහිලා මා නිර්දෝෂී බවම දකිමි. නමුත් මා එකල අන්‍ය වූ රජෙකුට භාර්‍යාව වී සිටීමේ සාංසාරික දෝෂය නිසාත්, දොළ උපන්නේ මා හටම වූ නිසාත් ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස මා හට කමා කළ මැනව.

ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මේ මාගේ අන්තිම උපත බැවින් යලි නුඹ වහන්සේ හමුවේ කමා අයැදීමක් ද නොවන්නේ ය. එහෙයින් ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, යම් ජාතියකදී මා අතින් යම් වූ වරදක් නුඹ වහන්සේ අරඹයා සිදු වූයේද යන්න මා හට නොසැඟවී පෙනෙන්නේය. එය නුඹ වහන්සේට ඊටත් වඩා සත සහස්‍ර ගුණයෙන් පෙනෙන්නේය. එහෙයින් ස්වාමීනී, යම් තාක් මා සිතින් කයින් හා වචනයෙන් ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි වැරදී ගිය දෝෂයක් ඇත් ද ඒ කාරණයෙන් මා හට කමාකොට වදාරන සේක්වා.

මේ අන්තිම දර්ශනය ය. මේ අන්තිම ක්ෂමාවය ය. එහෙයින් නිර්වාන පුරය වෙත වඩිනු කැමති මා හට ඊට අවසර දී වදාල මැනව”

මෙසේ අනේකප්‍රකාර වූ කතායෙන් තමන් වහන්සේ සහ බෝසතාණන් වහන්සේ අතර අසංඛ්‍ය ගණන් දීර්ඝ සසරේ ගොඩ නැංවී තුබූ විශ්වාසය පිළිබඳ ප්‍රකාශ කරමින් එහිලා වූ යම් වරදෙක් ඇත්නම් ඊටද කමා අයැදිමින් අපගේ යසෝදරා මහ රහත් තෙරණින් වහන්සේ නැවතත් පරිනිර්වානය පිණිස භාග්‍යවතුන් වහන්සේගෙන් අවසර ඉල්වා සිටි සේක.

“මේ රාහුලමාතාවන් හා සම හෝ රාහුලමාතාවන් අභිබවා පිනෙන් අග්‍ර, ගුණයෙන් අනූන අන්‍යය වූ ස්ත්‍රියක් මේ තුන් ලොවෙහි නොමැත්තී ය. දැන් පැවිදිව මහා අභිඥාලාභීව සිටින ඕ අසංඛ්‍ය ගණන් කල්පයන්හී ගතකල ජීවිත දකිනා නුවණ ඇත්තී ය. අත්‍යන්තයෙන්ම පිරිසිදු දිවැස් ඇත්තී ය. දිව්‍යය ශ්‍රවණ ඇත්තී ය. සියලු කෙලෙසුන් නසා දමා ත්‍රිවිද්‍යා පරප්‍රාප්තව සිටින්නී ය. මහා සෘද්ධි ප්‍රාථිහාර්‍ය බලයෙන් යුක්ත වන්නී ය. නමුත් තථාගතයන් පිළිබඳ අති මහත් වූ ගෞරව ඇති හෙයින් අරහත්වයේ පටන් මේ තාක් සෘද්ධී බලයක් නොදක්වා අතිශයෙන් නිහතමානී දිවියක් ගත කළා ය. මෝ නිවන් පුර වැඩිය පසු කිසිත් නොදන්න මනුෂ්‍යයෝ මෝ බල සහිතව කෙලෙස් රහිතව පිරිනිවන් වැඩි බව නොදැන වචන පාවිච්චි කලහොත් එය ඔවුන්ට බොහෝ කල් අහිත පිණිස පවතින්නේ ය. සුගති මගින් බැහැරව ඔවුන් දුගති මගෙහි වැටෙන්නෝ ය. නමුත් මෝ පිළිබඳ ඔවුන් අවබෝධයෙන්ම හිත් පහදා ගත හොත් එපමණකින් ඔවුන්ගේ සුගති මග හෙලි වන්නේ ය. නිවන් මග සැකසෙන්නේ ය. එනිසා මේ සත්වයන් හට පසුවට සිදුවෙන සෙත සලසා මෝ ලවා සෘද්ධි ප්‍රාථිහාර්‍ය බල දක්වා සැක සංකා දුරුකරවාලිය යුතුය’ යි සිතූ අප මහා කාරුණික සම්බුදුරජාණන් වහන්සේ රාහුලමාතා මහරහත් තෙරණින් වහන්සේ අමතා සෘද්ධි ප්‍රාථිහාර්‍ය දක්වාම නිවන්පුර වඩිනා ලෙස දන්වා වදාල සේක.

ඒ වෙලේහි ‘අපගේ රාහුලමාතාවෝ අද දින රාත්‍රියේහි පිරිනිවන්පානා සේක්ලූ, එසේනම් නුදුරේම තථාගතයන් වහන්සේගේ ද පිරිණිවීම සිදු වන්නේ ය’ යි සිතා ධර්ම සංවේගප්‍රාප්ත දහස් ගණන් ක්ෂීණාශ්‍රව සහ ක්ෂීණාශ්‍රව නොවූ ශ්‍රාවක මහ පිරිස් පැමිණ අපගේ භාග්‍යවතුන් වහන්සේ පිරිවරා වැඩහුන්හ. රජගහනුවර වාසී කෝටි ගණන් ජනයා ඔවුනොවුන් පරයා දිව අවුත් ආරාම භූමිය පුරා රැස් වූහ. කෙල ගණන් නාග පිරිස් මානවක මානවිකා වේශයෙන් පැමිණ ශෝකයෙන් වැලපෙමින් සිටිය හ. දෙව් බඹ පිරිස් අහස් තල සිසාරා නා නා පූජා භාණ්ඩ ගෙන සුවඳ සුණු වගුරවමින් ඇතැම්හු පෙනීත් ඇතැම්හු නොපෙනීත් රැස්ව ගත් හ.

අපගේ යසෝදරා මහ රහත් තෙරණින් වහන්සේ මෙසේ සිතූ සේක.
‘මේ පිරිසෙහි සරාගී සත්වයන් බොහෝ වෙති. ඔවුන් මා බව නොදැන මාගේ සෘද්ධීන් දැක ස්ත්‍රී වූ මා කෙරෙහි ලෝභ සිත් උපදවා ගතහොත් එය ඔවුන්ට බොහෝ අවැඩ පිණිස වන්නේ ය. ඒ පවින් ඔවුන් අපාගත වන්නා හ. එනිසා මම් මුලින්ම මා වග ප්‍රකට කොට දෙවනුව ප්‍රාථිහාර්‍ය දැක්වුව මනා ය.’

එසේ සිතූ අපගේ අරහත් තෙරණියෝ භාග්‍යවතුන් වහන්සේ දෙසට හැරී වන්දානාභිමුඛව මෙසේ කියා සිටි සේක.

“අවශේෂ බෝසත්වරුන් අටාසංඛෙය්ය කල්ප ලක්ෂයකින්, සොළොසාසංඛෙ‍ය්ය කල්ප ලක්ෂයකින් ගන්නා වූ වීරිය සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකින් පරිපූර්ණත්වයට පත් කරවා සම්බුද්ධත්වය පිණිස පාරමී සාදවාලීමෙහි මම් නුඹ වහන්සේට උපකාරීවම ආවෙම් මෙකල යසෝදරා වීමි. දැන් නුඹ වහන්සේගේම අනුමැතියෙන් සෘද්ධි බල දක්වන්නා වූ මම් අන්‍යයකු නොව ඒ යසෝදරාවම වෙමි. එකල නුඹ වහන්සේ සක් දෙව් ලීලාවෙන් රාජ්‍ය කරන කල, සයානූලක්ෂයක් පුරස්ත්‍රීන්ට නායක ව අග්‍ර මහේශිකා වූ යසෝදරා මම්ම වෙමි.
එකල රූපයෙන්, යෞවනයෙන්, කුලයෙන්, යසසින් හා ආචාරයෙන් අග්‍රව බුදු රදුන්ට පමණක්ම රුවින් දෙටු වූ මා යසෝදරා වෙමි. මම් සම්බුදු සසුන්හි පැවිදිව විදර්ශනා වඩා අමා මහ නිවන් දුටුවෙමි. කෙලෙස් සතුරන් පිටු දැක්කෙමි. සංසාර ඕඝයෙන් එතෙර වූවෙමි. අරහත්වයට පත් වූයෙමි. මතු ඉපදීම් රහිත වූයෙමි. අන්‍ය පුරුෂයන් හට භාර්‍යා නොවී මම් නුඹ වහන්සේ හා සමගම ආමි. මේ අවසන් භවයේ ද නුඹ වහන්සේගේ භාර්‍යාව විමී. යසෝදරාවෝ වීමි.

එනිසා ස්වාමීනී, දැන් මේ මම් දක්වන්නා වූ සෘද්ධි බල පරාක්‍රමයන් දැක වදාල මැනව. ස්වාමීනී, මම් නුඹ වහන්සේගේ ධර්මයෙන් ජීවිතය ලද්දා වූ, ධර්මයෙන් නිර්මිත වූවා වූ, සම්බුදු ළයෙහි උපන් මම් යසෝදරා ථේරී වෙමි. රාහුලමාතාවෝ වෙමි.”

මෙසේ තමන් වහන්සේ පිළිබඳ ප්‍රකටකොට වාදාලා මහපිරිස් හමුවේ තමන් වහන්සේ බව හඟව හඟවා යසෝදරා මහ රහත් තෙරණියෝ සිංහනාද කෙරෙමින් සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පා පද්මයන් වන්දනා කරනා රාජහංසධේනුවක් සේ අහසින් බැස භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පා කමල් වන්දනා කල සේක. නැවතත් ආකාශ තලයට නැගී ගිය සේක. ඉන් බැස නැවතත් සම්බුදු ශ්‍රී පා කමල් වැඳ සිටි සේක. මෙසේ සත් වරක දී සත් තැනෙක සිට අහස් තෙලෙහි නගිමින් බසිමින් සම්බුදු පා කමල් වන්දනා කල සේක.

‘යසෝධරා අහං වීර – අගාරේ තේ පජාපතී
සාකියම්හි කුලේ ජාතා – ඉත්ථියංගේ පතිට්ඨතා’

මෙසේ ගාථායෙන් සත් වරකදී සිංහඝෝෂා කළ සේක. නැවතත්, නැවත නැවතත් සියක් තල, දහස් තල, සුවහසක් තල නැගෙමින් බසිමින් ගාථායෙන් සිහනද පතුරුවමින් තථාගත ශ්‍රී පා කමල් වන්දනා කළ සේක.

අකාශයෙහි සුවහස් තල පමණ නැගී සිට පුන්සඳ මඩළක් සේ දිලිහී දිලිහී ‘සියලු සත්වයෝ මා දකිත්වා’ යී අදිෂ්ඨාන කළ සේක. මෙසේ ද කී සේක.

”දෙවියනි! බඹුනි! ජනයෙනි! මම් යසෝදරා ස්ථවීරී වෙමි! මා විසින් අද දක්වන්නා වූ බුද්ධ පූජාවක් වූ මේ පෙළහර ඔබ සියල්ලෝ දෑස් යොමා දැක ගනිත්වා!”

ඒ වදන් දස දහසක් සක්වල පුරා පැතිරී ගියේ ය. දස දහසක් සක්වල දෙව් බඹ පිරිස් එකෙනෙහිම තෙරණියෝ පිරිවරා ගත්හ. සියුම් සියුම් ආත්ම මාවාගත් ඔවුහු ඉඳිකටු තුඩක තරම් අවකාශයක් හෝ නොතබා සක්වල ගැබ පුරා රොක් වී ගත්හ. බුද්ධ පතිවෘතාවන්ගේ මහා සෘද්ධි ප්‍රාථිහාර්‍ය තම දැසින් දැක ගනු පිණිස එසේ රැස්වූ දෙව් බඹ පිරිසේ ප්‍රමාණය අංක ගණනින් දක්වාලිය නොහැක්කේම ය.

මුළු දඹදිව් තලය පුරා ද ඒ හඬ රැව් පිළිරැව් දෙමින් පැතිරී ගියේ ය. හඬ ඇසූ ජම්බුද්වීපවාසී ස්ත්‍රී පුරුෂ යම්තාක් මනුෂ්‍යයෝ වෙත් ද ඔවුන් ඉහල අහස් කුස දෙස බැලූ වහා අපගේ තෙරණියෝම දිස් වෙන්ට ගත්තේ ය. ඉහල අහසේ චන්ද්‍ර මණ්ඩලය සෙයින් බැබළෙමින් සිටිනා රාහුල මාතාවෝම ඔවුන්ට පෙනී ගියේය. හුන් හුන් තැන් වල සිට ඔවුහු දෑත් නළලත බැඳන් තෙරණින් වහන්සේ දෙසම බලා හුන්හ. ගම් නියම්ගම් රාජධානී සහ ලක්ෂ ගණනින් යුත් ප්‍රත්‍යන්ත දේශයන්ගෙන් සුසැදි ජම්බුද්වීපය පුරා සාධු හඬ ගිගුම් දෙන්ට වන.

අපගේ තෙරණියෝ අහස් ගැබෙහි වැඩ සිටිමින් තේජෝ කසිනයට සමවැදි සේක. ඒ ක්ෂණයෙහි ශරීරයෙන් ගිණි දැල් විහීදී ගියේ ය. සිරුරෙන් විහිදෙන ගිනි දැල් සක්වල පුරා පැතිරී ගියේ ය. නමුත් එයින් එකදු සත්වයෙක් හට පීඩාවක් නොවී ඔවුන්ගේ ගතත් සිතත් සනහාලමින් විහිදී ගියේ ය.

“මේ මම්ය. අනෙකෙක් නොවෙමි. සම්බුදුරජුන් ගිහිගෙයි වසන කල්හි ප්‍රජාපතී වූ මම් රහල් තෙරුන් මවු වූ යසෝදරා වෙමි’ යී අප තෙරණියෝ සක්වල පුරා ඇසෙන සේ කියා පෑ සේක.

ඕ තොමෝ වරක් නොපෙනී සිටී, වරක් පෙනී සිටී, වරක් එක් මෙහෙණක්ව සිටී, වරක් සක්වල පුරා වැඩ සිටින කෙල ගණන් මෙහෙණන් මවා ඒ අතර සිටී.

මහා මේරුව සා විශාල ගෙලකින් යුත්, චන්ද්‍රයා තරම් අක්ෂීන්ගෙන් යුත්, පූර්ව විදේහ දිවයින සා දකුණු පියාපතෙකින් යුත්, අපරගොයාන දිවයින සා වාම පියාපතින් යුත්, ජම්බුද්වීපය සා ශරීරයකින් යුත්, උතුරුකුරු දිවයින සා හිසකින් යුත්, සක්වළගල සා හොටයකින් යුත් මහා ගුරුළු වෙසක් මවාගත් ඕ තොමෝ ජම්බුද්වීපයට නම දුන් මහා දඹ රුක මුලිනුපුටා හොටින් ගෙන සම්බුදුරජුන් වෙත පැමිණ එය සල සලා, දඹ මල් රේණුයෙන් සම්බුදුන් පුදමින් මිහිරි දඹ සුවඳින් දසත කුල්මත් කරවමින් මොහොතක් කල් සිට, මහා ගරුඬ නාදයක් කරමින් තුන් ලොව වෙවුලුවාලී ය.

“මේ මමය. සත්වයෙනි, බිය නොවව්! දිව්‍යනාගයෙනි බිය නොවව්! මේ මම්ය. යසෝදරා ස්ථවීරී වෙම්හ.”

තෙරණියෝ, ගුරුළු වෙසින් මිදී මහා හස්ථි වේශයක් මවා ගත් සේක. දහස් යොදුන් – දස දහස් යොදුන් උසැති අහස් ගැබ දක්වා විශාල දිව්‍යමය හස්ථි රූපයක් මවාගත් සේක. තාවතිංස දෙවුලොවට සොඬ පොවා පාරිච්ඡත්තක දිව්‍යමය වෘක්ෂය මුලිනුපුටා ගෙන සම්බුදු සිරස දෙසට එහි මල් සොලොවමින් බුද්ධ පූජාවක් කල සේක.

දිව්‍යමය අශ්ව රූපයක් මවාගත් සේක. සක්වලගල සිසාරා, යුගන්ධරාදී සත්කුළුපව්වන් සිසාරා දස දහසක් වර ප්‍රදක්ෂිණා කරමින් ගොස් නැවත පැමිණ සක්වල පුරා ඒ එකම අශ්ව රූපය විශාල කොට දක්වා සිටි සේක. සක්වලට ඇසෙන සේ හේෂාරාව කොට එයින් බියපත් සත්වයින් මුදවාලමින්  ‘සත්වයෙනි බිය නොවව්, මේ මම්ය යසෝදරා’ යී ගිගුම් දී වදාල සේක.

සඳමඩල මැවූ සේක. අටක් වූ ග්‍රහ තාරකා, සත්විස්සක් වූ නැකැත් තාරකා මැවූ සේක. තව තව අවශේෂ තාරකාවෝ සක්වල ගැබ පුරා මවාලූ අහස් කුසෙහි දිස් වූහ. මේ උදාරතර සෘද්ධීන් දුටු දිව්‍ය මනුෂ්‍ය සකල ස්ත්‍රීහු ‘අහෝ මා ද මතු බුදුවන්නා වූ බෝසත්හු හට පාද පරිචාරිකා වෙම්නම්!‘ යි සිතද්දී ඒ සිතූ සිතිවිල්ලෙහි ප්‍රමාණයක් දක්වාලිය නොහැක්කේ ය.

අප තෙරණියෝ පනස් යොදුන් හිරු මඩලක් මැවූ සේක. එහි දස දෙසට විහිදෙන දහස් ගණනින් යුතු කිරණයෝ සක්වල ගැබ පුරා විහිදී ගියහ.

එක්ලක්ෂ අටසැටදහසක් යොදුන් උස මහාමේරුව මවා ඒ මේ අත පෙරලමින් සතර අතට සතර දිගට පෙරලමින් එහි ගුණ විශේෂයන් විශේෂයෙන් දක්වා සිටි සේක.

දහසක් රුවන් දොරටුවෙන්, දෙසිය පනසක් රුවන් පවුරෙන්, දහස් ගණන් උයන් පොකුණු ආදියෙන් අලංකාර වූ වෛජයන්ත ප්‍රාසාදය සහිත, සුධර්මා දිව්‍ය සභාව සහිත, කෙල ගණන් දෙව් විමන් සහිත ශක්‍ර පුරය නම් වූ තාවතිංසය පොළොවට ගෙන දක්වාලූ සේක. එකී දෙව්ලොව ඒ අයුරින්ම පොළොවෙහි මැවූ සේක. පාණ්ඩුකම්බල සෛලාසනය මත වැඩසිටිනා තෙරණියෝ සක් දෙව් රූ මවාගත් සේක. අඩු තුන් කෙලක් දෙව් අප්සරාවන් මවාලූ සේක. සුදර්ශන නම් රන්වීථියෙහි මහත් වූ ශ්‍රී විභූතියෙන් ගමන් ගන්නා, තෙතිස් කුඹකින් යුතු, ඊට අදාලව වෙන වෙනමම මැවූ දළයන්ගෙන් යුතු, ඒ දළයන් කෙලවර පස් පියුමින් යුතු දිව්‍යමය පොකුණු වලින් යුතු, ඒ ඒ පියුම් ගැබෙහි – පෙත්තෙහි – පියුම් පත්‍රයෙහි නටනා දෙව් අඟනන්ගෙන් යුතු ඒරාවන ඇත් රජු මැවූ සේක.

උතුම් සක් දෙව් රූ කය මවාගත් සේක. එකෙනෙහි ඒ දුටු දස දහසක් සක්වල සක්දෙවිවරු ‘මේ කුමන නම් සක්වලෙන් ආ සක් දෙවිඳානෝහෝ‘ යී විශ්මයට පත් වූහ. ඒ වේලෙහිත් අප තෙරණියෝ,

“සත්වයෙනි දෙවිවරුනි, සංකා බැහර කර ගනුව. මේ මම් වෙමි. යසෝදරාවෝ වෙමි” යී සිහනද පැතිරූ සේක.

නැවත සක්වළ දහසක් වසා සිටින තරමේ අති මහත් වූ දිව්‍ය ශරීරයක් මවාගත් සේක. එක් පත්ලක් ඔසොවාගෙන දහසක් සක්වල වසා තබමින් අනික් පත්ල තවත් දහසක් සක්වල වසා තබමින් අනේකප්‍රාකාරයෙන් ප්‍රාථිහාර්‍ය දක්වමින් සක්වලින් සක්වල පා නගා ගිය සේක. නැවත ඇසිල්ලකින් අපගේ මේ සක්වලට පැමිණ තමන් වහන්සේගේ නම කියමින් සත්වයන් හට දක්වා සිටි සේක. ‘ඒ මමය යසෝදරා’ යී නැංවූ හඬ නොයෙක් සක්වල පුරා, තුන් ලොව පුරා විහිදී ගියේ ය.

මෙසේත් තවත් බොහෝ දහස් ආකාරයෙනුත් දස දහස් ආකාරයෙනුත් ඊටත් වැඩියෙනුත් ඇඟ ලෝම හර්ෂණය කරවමින් සාදුකාර හඬ දෝංකාර දෙවමින් අපගේ තෙරණියෝ මුවකින් කියා නිමකළ නොහැකි තරමේ, වචනයෙන් ලියා නිම කළ නොහැකි තරමේ බොහෝ ආශ්චර්‍යමත් අත්භූතජනක සෘද්ධි ප්‍රාථිහාර්‍යන් දක්වා සිටි සේක.

අනතුරුව අපගේ තෙරණියෝ, දොළොස් යොදුන් මහබඹ වේශයක් මවාගත් සේක. දෑතෙහි දසැඟිල්ලෙන් රශ්මි කදම්භයන් දස දහසක් සක්වල ඒකාලෝක කරමින් විහිදුවාලමින් මෙසේ පැවසූ සේක.

“අපගේ බුදුරජාණෝ නාරද නම් බ්‍රහ්ම රාජන් වූ කළ ඒ රූපශ්‍රී නොදුටූ සත්වයෝ දැන් මා දෙස බලත්වා”

ඒ දුටු එක්ලක්ෂ පනස් දහසක් වූ බ්‍රහ්මරාජවරු ‘අහෝ! සාදු! සාදූ!’ යී එක පැහැර සාදුකාර නැංවූහ.

අහස්කුස කල්පාන්ත වාතය සේ මහා සුළඟක් මැවූ සේක. පෘථිවියේ සියළු පර්වතයන් පොළොවෙන් ඉගිලී අහසට කැරැකී ගියේ ය. ඒවා සක්වල පුරා දස අතට ඒ වාතයෙන් ගසාගෙන ගියේ ය. ක්ෂණයකින් ඒ කඳු නොපෙනී ගියේ ය.

අහස් ගැබ මහා සමුද්‍රය විය. දහස් ගණන් යොදුන් රළ නැගී ආයේ ය. යොදුන් ගණන් දිගැති සිරුරැති මත්ස්‍යයෝ එහි පීනා ගියහ.

තෙරණියෝ ද එවන් වූ දිව්‍යමය මත්ස්‍ය වේශයක් මවා එහි පිහිනා ගියේය. වරල් ගසමින් රළ මත පිහිනා යද්දී සක්වල පුරා ඒ රළ පහර වැදී ගියේ ය.

එයින් මහා ඝෝෂාවක් නිකුත් විය.

චන්ද්‍ර මණ්ඩලයට අධිගෘහිත දෙව් මහ රජ සේ දිස් වීය. සිසිල් සඳ කිරණ දස අත විහිදාලමින් දස දහසක් සක්වල අමන්දානන්දයට පත් කළ සේක. සඳ දෙවිඳුන්ගේ රූපශ්‍රී මවා ගත් සේක. දස දහසක් සක්වල දෙවියෝ මේ කුමන සක්වලෙන් පැමිණි සඳ දෙවිඳෝහෝයි එබි එබී බලන්ට ගත්හ. චන්ද්‍ර මණ්ඩලයේ ශෝභාවෙන් සියලු සක්වල ආලෝකමත් වී ගියේ ය. මවාලූ චන්ද්‍ර දෙවිඳු සියතින් සඳ පිරිමදින්ට ගත්තේ ය.

අනතුරුව සූර්‍යා බැබලී ගොස් දහස් ගුණයෙන් දස දහස් ගුණයෙන් තව තවත් බැබලී ආයේ ය. සූර්‍ය දෙව්පුත්-ශ්‍රී අහස් ගැබේ මැවී ගියේ ය. හිරුගේ රැස් කදම්බයන් සියලු සක්වල පුරා සිසාරා ගියේ ය. මේ කුමන සක්වලින් පැමිණි සූර්‍ය දෙව්පුත් වේදෝහෝයි’ දස දහසක් සක්වල දෙවියෝ කර ඔසොව ඔසොවා බලන්ට ගත්හ. අපගේ තෙරණියෝ ඒ හැමවිටකදී ම මේ වනාහී අන්‍යවූ දෙවියෙකු හෝ බ්‍රහ්මයෙකු හෝ නොව මේ තමන් වහන්සේම බව සියළු සත්වයන් හට ඇසෙන සේ සිංහනාද පැවැත්වූ සේක.

අපගේ තෙරණියෝ තවදුරටත් මෙසේද සිංහනාද කල සේක.

“ජනයෙනි, දෙවිවරුනි, බඹුනි, අපගේ බුදුරජාණෝ මහා ‘සුදර්ශන’ නම් චක්‍රවර්ති රජව දොළොස් යොදුන් සත් රුවන්මය නුවර අසංඛ්‍යයක් හවුරුදු රාජශ්‍රී වළඳාලූ කල, සූවාසූ දහසක් බිසෝවරුන්ට අධිපති වූ ‘සුභද්‍රා‘ නම් අග්‍රදේවී වූයෙම් ඒ මම්ම වීමි.

‘මණිචෝර ජාතකයෙ හි’ සත්‍යක්‍රියා බෙලෙන් ස්වාමීහුගේ දිවි රැක දී ඒ දිවි ලැබූ නියාවෙන් මුළු දඹදිව්හි අග්‍රරාජන් බවට පත් වූ කළ එතරම් ශීලබල පරාක්‍රමයෙන් යුතුව හුන් අග්‍රදේවී වූ ‘සුජාතාවෝ’ මම්ම වීමි.

‘සුචි ජාතකයෙහි’ ස්වාමීහුගේ ප්‍රඥා පාරමිතා පිරීමෙහිලා අනුබල සැපයූ ස්වාමීහූ ශ්‍රීවන්ත කරවාලූ ඒ ස්වර්ණකාර දුහිතෲ මම්ම වීමි.

‘කුම්මාස්පිණ්ඩ ජාතකයෙහි’ ස්වාමීහු මුළු දඹදිව දසරාජ ධර්මයෙන් රක්ෂා කරන කල්හි ඒ දාන පාරමිතාවන් කුළු ගන්වමින් ඊටම අනුබල සපයමින් හුන් මහේෂිකා දේවී තොමෝ ඒ මම්ම වීමි.

‘ආදිත්‍ය ජාතකයෙහි’ ස්වාමීහු ‘භරත’ නම් රජ කල සත්‍යක්‍රියා බෙලෙන් සමන් මල් අට දෝතක් දූතයන් සේ යවා හිමාලයේ හුන් පසේ බුදුන් වහන්සේ මෙහි ගෙන්වා ස්වාමීහු අතින් මහ දන් දෙවා පින් රැස් කරවාලූ ‘සමුද්‍රවිජයා’ දේවී තොමෝ මම්ම වීමි.

‘චුල්ලබෝධි ජාතකයෙහි’ ස්වාමීහු බ්‍රාහ්මණ මහාසාර කුලයේ උපන් කල ඒ සියළු සැප හැරදා වල් වැද තපස් කරද්දී නුඹ වහන්සේ සමගම වල් වැද මහණව, දස හවුරුද්දක් එකම පන්සලෙහි නුඹ වහන්සේ සමගම මහණ දම් පුරද්දීවත් එක් දවසකදු, එක් මොහොතකදු එළිපිටවත් රහසේවත් සිහිනෙන්වත් සීල භේදයක් නොකරමින් නුඹ වහන්සේගේ සීලයට අනුග්‍රහ කරමින් ශීල පාරමිතා පිරීමෙහිලා වැඩ සාදවාලූ, ශීලයට කිසිඳු අන්තරායක් නොකර විසුවා වූ ‘සම්මිල්ලහාසිනී’ තොමෝ මම්ම වීමි.

‘විසයිහ ජාතකයෙහි’ ස්වාමීහු විසයිහ නම් මහ ධන සිටු වූ කල ඒ සිටුහු මහත් වූ ප්‍රවාහයක් සේ දානයන් පුදද්දී ඊටම අනුගතව සිටිමින් දුකෙහිදීත් සැපතේදීත් උපෙක්ෂාවෙන්ම විසුවා වූ, ස්වාමීහුගේ දාන පාරමිතාව සාධවාලූ සිටු දෙවී වූවා ඒ මම්ම වීමි.

‘උදය භද්ද ජාතකයෙහි‘ ස්වාමීහු උදය භද්ද නම් රජ වූ කල සත්සියයක් හවුරුදු එකම යහනෙහි සැතැපීත් සීල භේදයක් නොකොට බ්‍රහ්මචර්‍යාවෙන් විසූ ස්වාමීහුගේ බ්‍රහ්මචර්‍යාවට ආසිරි පැතුවා වූ, ඊට උපකාරීව විසුවා වූ, එකී ගුණ ධර්මයන්ගේ ආනුභාවයෙන් සක් දෙව් ලවා සාදුකාර දෙවාලූ මහා පින්වත් ‘උදයභද්‍රා’ දෙවී තොමෝ ඒ මම්ම වීමි.

‘දශරථ ජාතකයෙහි’ ස්වාමීහු ‘රාම’ රජ වූ කල සොළොස් දහසක් හවුරුදු දශවිධ රාජධර්මයන්ගෙන් රාජ්‍ය කරන කල ‘ ලෝකයේ ගුණවත්ම ස්ත්‍රී නම් මේ සීතාවෝමැ‘යි තුන් ලෝ සත්වයන් අතරෙහි තුඩ තුඩ ප්‍රකාශ කරවාලූ ‘සීතා දේවී’ වුයේ ඒ මම්ම වීමි.

‘චන්දකින්නර ජාතකයෙහි’ ශීල බලයෙන් සක්දෙව් රජ ගෙන්වා ප්‍රාණය නිරුද්ධව හුන් ස්වාමීහු හට නැවතත් ප්‍රාණය දෙවාලූ ‘චන්ද්‍රා’ නම් නින්නරාවා වූවා ඒ මම්ම වීමි.

‘චම්පෙය්‍ය ජාතකයෙහි’ ස්වාමීහු ‘චම්පෙය්‍ය නාග රාජන්’ වූ කල්හි අහිගුන්ඨිකයා අතින් ස්වාමිහුගේ දිවි ගලවා නැවතත් ස්වකීය නාග සම්පත්තියෙහි අනූභාවය විඳීමෙහිලා උපකාරී වූවා වූ ‘සුමනා දේවී’ තොමෝ මම්ම වීමි.

ජයද්දිස ජාතකයෙහි’ ස්වාමීහු ‘ජයද්දිස’ නම් රජව යක්ෂයකු හට බත් පිණිස වෙද්දී, එදවස මාගේ සීලානුභාවයෙන් නුඹ වහන්සේගේ දිවි රැක දුන්නා වූ රාජ මහේෂිකා තොමෝ වූවා ඒ මම්ම වීමි.

‘චුල්ලසුතසෝම ජාතකයෙහි’ ස්වාමීහු ‘සුතසෝම’ රජව සූවාසූදහසක් හවුරුදු රාජ්‍ය කොට හදිසියෙන් නර කෙහෙ ගසක් දැක රාජ්‍ය අතෑර තපස් කිරීම පිණිස වල් වදිද්දී ඒ රජ හා එක්වම ගොස් වල් වැද පිරිසිදු සීලයකින් යුතුව තපස් කලා වූ ‘චන්ද්‍රා දේවී’ තොමෝ ඒ මම්ම වීමි.

‘මහාජනක ජාතකයෙහි’ ස්වාමීහු ‘මහාජනක’ රජ ව රාජ්‍ය හැර තපස් පිණිස යද්දී ඒ ගිය ගිය තැන්හී චෛත්‍යයන් ඉඳිකරමින් නුඹ වහන්සේ බෝසත් කල්හිම ස්ථූපයෙන් පුදමින් බැතිව හුන්නා වූ ‘සීවලී’ බිසවු වූවා ඒ මම්ම වීමි.

‘ඛණ්ඩහාල ජාතකයෙහි’ ස්වාමීහු ‘සඳ’ නම් රාජ කුමාරව සිටි විටදී යාගයක් හේතුවෙන් මරණ අභිමුඛයෙහි සිටි කල්හි ඒ මාගේ සත්‍යක්‍රියා බලයෙන් දිවි ගලවා දුන්නා වූ, රාජශ්‍රී සාදවා දුන්නා වූ ‘චන්ද්‍රා’ නම් දේවී තොමෝ මම්ම වීමි.

‘විධුර ජාතකයෙහි’ ස්වාමීහු ‘විධුර’ නම් මහ පණ්ඩිත නුවණැති අමාත්‍යහු වූ කල සියළු ස්ත්‍රීන්ට අග්‍ර වූ දේවී තෝමෝ ඒ මම්ම වීමි.

‘අනනුසෝචිය ජාතකයෙහි’ උපේක්ෂා පාරමිතාව මුදුන් පමුනුවාලූ, ඒ පිණිසම උපකාර සෑදුවාලූ ‘සම්මිල්ලහාසිනී’ තවුසිය වූවා ඒ මම්ම වීමි.

එසේම, ‘ මහා වෙස්සන්තර, මනෝජ, ලක්ඛණ, සුපත්ත, චක්කවාක‘ ආදී සත සහශ්‍ර ගුණයෙන් වන ජාතීන්හි දී ස්වාමීහුගේ පාරමිතාවන් කුළු ගන්වමින් මම් ඉතා පක්ෂපාතව ආවෙම් මා නිසා ස්වාමීහු පිරූ පිරුම් ඉක්මන් වී ගියෙන් වේගවත් වී ගියෙන් මාගෙන් වූයේ අනුබලයෙක්ම බැව් මොනොවට ප්‍රකාශ වේම ය. එනිසාම ඒ මම් කල්‍යාණ වූ ස්වාමීන් විසින් සිය ස්ත්‍රීන් අරඹයා කළ යුක්තා වූ,

1. ආදර සහිත වූ තෙපුල් කීමය,
2. අනාදර මිශ්‍ර වූ තෙපුල් නොකීමය,
3. ස්ව භාර්‍යාවන් හැර අන්‍ය භාර්‍යාවන් කරා නොයෑමය,
4. භෝජන සංවිධානයෙහි ස්ත්‍රියම ප්‍රධාන කොට තැබීමය,
5. කලින් කලට තමන් ශක්ති පමණින් වස්ත්‍රාභරණයෙන් සන්තෝශ කිරීමය,

යන පංචවිද කාරණයෙන් නිරන්තරයෙන් ස්වාමීහු විසින් පුදනු ලැබුවා වෙමි.

ඒ මම් ද ස්ත්‍රීන් විසින් ඉටුකළ යුතු වූ,

1. මනාව කර්මාන්ත විධානය කරවීමය,
2. අවශේෂ ජනයන් මනා කොට සිත් ගැනීමය,
3. ස්වාමීහු හැර අන්‍ය පුරුෂයන් කරා නොයෑමය,
4. ස්වාමීහු රැස්කල සම්පත් රැකීමය,
5. සියළු කාර්‍යන්හි අනලස්ව කම්මැලි නොවී දක්ෂව ඉටු කිරීමය,

යන පංචවිද කාරණයෙන් ස්වාමීහු නිරන්තරයෙන්ම පුදනු ලැබුවෙමි.

එසේම, මේ සා අති දීර්ඝ සසරෙහි මම් කිසිම විටෙක ස්වාමීහු හට ‘චෝර භාර්‍යා, ස්වාමි භාර්‍යා, වධක භාර්‍යා’ නොවීමි. ‘මාතු භාර්‍යා, භගිනි භාර්‍යා, සඛී භාර්‍යා හා දාසි භාර්‍යා’ ම වීමි. ඒ පිනෙන් මම් නුඹ වහන්සේ සේම අන්‍ය වූ අභව්‍ය ස්ථානයන්හි නූපදීමි. අකුසලභූමියෙක නූපදීමි. දෙව්ලොව, බඹලොව හා මේ මනුලොව අනේකවිධ සැපයන් අනුභව කළෙමි. සසරෙහි මා ස්වාමීහු හැර අන්‍ය හිමියෙකු නොපැතුවෙමි. සිහිනෙකිඳු නොපැතුවෙමි. ස්වාමීහු ද මා හැරුනු කල අන්‍ය වූ ස්ත්‍රියක් නොපැතූ සේක් මා හටම වල්ලභව ආ සේක. නුඹ වහන්සේ සමගම තුසී පුරයෙහි වැස නුඹ වහන්සේ සමගම තුසී පුරයෙන් බැස නුඹ වහන්සේ සමගම මේ මනුලොව ක්ෂත්‍රීය වංශයේ උපන්නෙමි. මහා සැප සම්පත් අනුභව කළෙමි. දැන් නුඹ වහන්සේ පෙන්වා වදාල මගෙහි ගමන් කොට ඒ ප්‍රණීත වූ අමා මහ නිවන් දැක සසර ඕඝයෙන් සදහටම එතෙර වී ගත්තෙමි.

ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මේ මාගේ අවසන් මොහොතය. යලි මම් නුඹ වහන්සේ හා යෑමෙක් නොවේ. භවයෙන් එතෙර වූයෙමි. කෙලෙසුන්ගෙන් දුරු වූයෙමි.අමා නිවන් දැක පිරිනිවන් පෑම පිණිස අවසර ඉල්වා සිටින්නෙමි. ස්වාමීනී මාහට ඊට අවසර දී වදාල මැනව.

ස්වාමීනී, ගෙවා ආ සසරේ නේක ජාතීන්හි මාගේ ජීවිතය පුදා ස්වාමීහුගේ ජීවිතය රැක දුන් වාර අසංඛ්‍ය ගණන් මම් දකිමි. නුඹ වහන්සේ රජ කල මා බිසවු කල වෙස්සන්තර ජාතකයෙහි මද්දී දුන්නා සේ, යාචකයන් අවුත් මා දන් ඉල්ලූකල කිසිඳු දොම්නසක් නොදක්වා මා නුඹ වහන්සේගේ දාන පාරමිතාවන්ට උපකාර සදනු පිණිස ශෝක නොගෙන උපේෂාවෙන් ඉවසා ඊට අනුව සිටි වග අසංඛ්‍ය ගණන් ජීවිත සාක්ෂි දරත්.

නොයෙක් ජාතීන්හි දී යක්ෂයන් රාක්ෂසයන් අන්‍ය වෙස් ගෙන මාවම දන් ඉල්වා ආ කල, ඒ මා නුඹ වහන්සේ විසින් දන් දුන් කල, නුඹ වහන්සේ ඉදිරියේම ‘මුරු….මුරු….’ අනුකරණයෙන් තලු මරමින් මා කීතු කීතු කරමින් කද්දී නුඹ වහන්සේ උදෙසාම මම් සියළු දුක් දරාගත් ජීවිත අසංඛ්‍ය ගණන් වෙත්. නොයෙක් ජීවිතයන්හි නොයෙක් සතුන්ට ගොදුරු පිණිස මා දන් දෙද්දී එහිලාත් නුඹ වහන්සේගේ දාන පාරමිතාව මුදුන් පමුණුවාලමින් සියල්ල දරාගත් ජීවිත අසංඛ්‍ය ගණන් වග දකිමි.

දුගී බව නිසා මා දාසි බවට විකුණූ කල්හිත්, මා විකොට ජීවිකාව ගෙන ගිය කල්හිත්, අනුනට බැල මෙහෙ කරනු පිණිස මා දුන් කල්හිත්, දරමිටි අදිමින් – වතුර කළ අදිමින් – නොයෙකුත් දුක් ගනිමින් මෙහෙ කරනා කල්හිත් අසංඛ්‍ය ගණන් සසරේ ඒ සියල්ල නුඹ වහන්සේ උදෙසාම ඉවසූ වග මම් දකිමි.

නුඹ වහන්සේ හා මා එක මග යන කල්හි සිංහයන්, ව්‍යාඝ්‍රයන්, දිවියන්, වලසුන්, කිඹුලන්, යක්ෂයන් හා රාක්ෂසයන් ගුගුර ගුගුරා නුඹ වහන්සේ දෙසට දිව එද්දී, නුඹ වහන්සේ පසුකොට පෙරට පැන මම් ඒ මෘගයන් දෙසට දුව ගොස් ඔවුන්ගේ මුඛයට ගොදුරුව නුඹ වහන්සේගේ දිවි ගලවාලූ ජීවිත අසංඛ්‍ය ගණන් වග දකිමි. මාගේ ජීවිතය ගැන නොසිතා මම් නුඹ වහන්සේගේ ජීවිතය ගැන පමණක්ම සිතූ ජීවිත අසංඛ්‍ය ගණන් වග දකිමි. එසේ වූ ජීවිතයන්හි ‘ස්ත්‍රියකගේ දිවි දී මා වැන්නවුන්ගේ දිවි රැකීමෙහි අගය කිම්දැයි’ යි සිතා නුඹ වහන්සේ ද මාම නිසා දිවි දුන් ජීවිත ද අසංඛ්‍ය ගණන් වන බව ද දකිමි.

යක්ෂයන් රාක්ෂසයන් නුඹවහන්සේව අල්වාගෙන නොයෙක් පීඩා කරන කල්හි මාගේ ජීවිතය ඔවුනට බිලියම් කොට දී නුඹවහන්සේගේ ජීවිතය රක්ෂාකල ජීවිත අසංඛ්‍ය ගණන් වග දකිමි.

සාංසාරික දෝෂය නිසා ඒ ඒ ආත්මයන්හි නුඹ වහන්සේ වධ බන්ධනයන්ට ලක් වූ කල්හි මම් මා දිවි උකස් කොට ඒ දුක් මම් අනුභවකොට නුඹ වහන්සේගේ දිවි රැක දුන් ජීවිත අසංඛ්‍ය ගණන් වග මම් දකිමි. එවන් වූ ජීවිත වල මම් එකී වධයන්ට භාර වෙමින් නුඹ වහන්සේ ඒ වධයන්ගෙන් ගලවාලද්දී ඒ පිළිබඳ සතුටු වූ වධකයන් අප දෙදෙනම නිදහස් කොට යැවූ ජීවිතත් මම් අසංඛ්‍ය ගණන් දකිමි. මෙසේ ඒ මාගේ ගුණ බෙලෙන් අප දෙදෙන ගැලවී ගත් ජීවිත අසංඛ්‍ය ගණන් මම් දකිමි.

සසරේ දෝෂ නිසාවෙන්ම, නුඹ වහන්සේ මා හැර අන් ස්ත්‍රීන්ට හසුව නොයෙක් වධයන්ට අසුවෙද්දී ඒ බැවු අසා කිසිඳු කාමක්‍රෝධයෙක් නැතිව, සිය පුත්‍රයාගේ ආපදාවෙන් කැලඹුනු මවක් සේ, මහ හඬින් හඬමින් දිව ගොස් මා පලන් අභරණ ගලවා ඔවුනට අත්ලස් කොට දෙමින් නුඹ වහන්සේ ගලවා ගත් ජීවිත අසංඛ්‍ය ගණන් වග දකිමි. නුඹ වහන්සේ හා මාරුවට මම් දාසි වූ කල්, නුඹ වහන්සේ නිදහස් කල කල්, නුඹ වහන්සේම පතා අභරණ වස්ත්‍රාදිය පරිත්‍යාග කල කල් අසංඛ්‍ය ගණන් වග දකිමි.

මා-පිය ඥාතීන්, දැසි දස්සන් හැර දමා, කුල සන්තක කෝටි ගණන් ධනයන් හැර දමා නුඹ වහන්සේ නිසාම සොර රහසේ නුඹ වහන්සේ හා කැටිව ගිය ජීවිත අසංඛ්‍ය ගණන් දකිමි. එසේ ගොස් සිය අතින්ම මෙහෙ කරමින් නුඹ වහන්සේව රැකි ජීවිත ද, නුඹ වහන්සේ ද එසේ මෙහෙ කරමින් මා රැකි ජීවිත ද අසංඛ්‍ය ගණන් වග දකිමි.

නුඹ වහන්සේ දන් දෙන්නා කල ගෙයි සම්පත් නොසඟවා දුන් ජීවිත අසංඛ්‍ය ගණන් වග දකිමි. මා සතු ගම් සහිත පිරිවර, ගව මහේෂාදීන් දන් දුන් ජීවිත අසංඛ්‍ය ගණන් වග දකිමි. වී පිරුණු භාණ්ඩාගාරයන්, රාජ්‍යයන්, හස්තීන්, අශ්වයන් හා ඔවුන් බැඳි රථයන් ආදී දෑ නුඹ වහන්සේගේ දාන අභිප්‍රාය මුදුන් පමුණුවාලනු වස් අත් හැරි ජීවිත අසංඛ්‍ය ගණන් වග දකිමි.

මාගේ කුසින් වැදූ දරුවන් ජාලිය කෘෂ්ණජිනාවන් දන් දුන්න සෙයින් වරපටින් බැඳ දන් දෙද්දී දරා හුන් ජීවිත අසංඛ්‍ය ගණන් වග දකිමි. එසේ දන් දීමට නුඹ වහන්සේ දරුවන් සොයන කල්හී ඔවුන් ගැලැවී යනු පිණිස ඒ මේ අත දිව යද්දී කිරි පොවනු සේ හඟවා නුඹ වහන්සේ වෙත කැඳවා එමින් නුඹ වහන්සේගේ දාන පාරමිතාව පිණිසම සියළු දුක් ඉවසා සිටි ජීවිත, දරු දුක් වාවා සිටි ජීවිත, කිරි වෑස්සෙන පියවුරු ඇතිව ඒ දුක් දරා සිටි ජීවිත අසංඛ්‍ය ගණන් වග දකිමි. දරුවන් දන් දෙද්දීත් ඒ වග දැන දැනත් තව තවත් දරුවන් මා කුසින් දස එකඩ මසක් ආදරයෙන් දරා කුසින් වදා, දන් දෙනු පිණිස නුඹ වහන්සේ උදෙසාම ඉඩ හැර, ඒ දරුවන් නුඹ වහන්සේ වෙතම පා, දුක් දරා සිටි ජීවිත අසංඛ්‍ය ගණන් වග දකිමි.

සියළු සැපයන් යාචකයන්ට දන් දී මා පලන් ආභරණ පවා ගලවා දන් දෙද්දී සතුටින් ඉපිලෙමින් ඊටම ඉඩ ලබා දුන් ජීවිත අසංඛ්‍ය ගණන් වග දකිමි. සක්විති රාජශ්‍රී හැර දමමින්, මහාසාර භව භෝගයන් සැප සම්පත් හැරදමමින් නුඹ වහන්සේ මහණ වනු පිණිස වල් වදිද්දී මම් ද ඒ සියලු සැප හැර දා නුඹ වහන්සේ හා කැටිව මහණ දම් පිරූ ජීවිත අසංඛ්‍ය ගණන් වග දකිමි.

පන්සලින් පිටතට යා නොදී, අහර පිණිස අමතර වෙහෙසක් ගන්ට ඉඩ නොදී නුඹ වහන්සේ පිණිස මම් ම වල් වදිමින් වන ඵල සොයා ගෙනවුත් නුඹ වහන්සේගේ සීලයට අනුග්‍රහ කරමින් නුඹ වහන්සේව පෝෂණය කළ ජීවිත අසංඛ්‍ය ගණන් වග දකිමි.”

මෙසේ නොයෙකුත් ආකාරයෙන් අපගේ තෙරණියෝ තමන් වහන්සේගේ අභිඥාපාදක ඥානයෙන් දැක වදාරා තමන් වහන්සේ පෙර සසරෙහි අප මහ බෝසතාණන් වහන්සේ හට පක්ෂපාතීව ආ නියාව සියළු සත්වයන් හට ප්‍රකට කරවූ සේක. ඒ සිංහනාදයන් අසා තුන්ලෝ ගුගුරා ගියේ ය. සක්වල වෙව්ලා ගියේ ය. පොළොව සැලී ගියේ ය. සකල දෙවු බඹ මනුෂ්‍යය පිරිස් උස් හඬින් තව තවත් උස් හඬින් සාදු කාර දුන්හ.

තෙරණියෝ මෙසේද කී සේක.

“මම් වනාහී එක් වරක් දිවකුරු බුදුන් සමීපයෙහි කළ ප්‍රාර්ථනය පමණකිම් ම ස්වාමීහු හා කැටිව ආ පතිනියක් නොවන්නෙමි. දුරේ – අවිදුරේ නිධානේ පටන්ම ස්වාමීහූ හා කැටිව ආමි. දීපංකර සම්බුදුන් දවස සිට සාරාසංඛ්‍යය කල්ප ලක්ෂයක් පුරාවට ස්වාමීහු සේම එතැන් පටන් පහළ වූ සියළු සම්බුද්ධයන් වහන්සේලාගෙන් විවරණ ශ්‍රී ලබමින් ආවෙමි. අසූමහ ශ්‍රාවකයන් වහන්සේ කප් ලක්ෂයක් පෙරුම් පුරා එන්නාහ. අගසවු දෙනම වහන්සේ එක් අසංඛ්‍ය කප් ලක්ෂයක් පෙරුම් පුරා එන්නාහ. නමුත් මම් දීපංකර සම්බුදු රජුන් දවසේ සිටත්, ඊටත් පෙර බොහෝ කප් අසංඛ්‍ය ගණන් සසරේ පටන් ස්වාමීහූ සමග ආවෙමි.

එදා දීපංකර සම්බුදුරදුන් දවස මම් ‘සුමිත්‍රා’ නම් මානවිකාව ව සිට ඒ බුදුරදුන්ගේ ගිහි කල පතිනිය වූ ‘පදුමා’ දේවි දැක සිත් පහන් වී ගියෙනුත් බුදුරදුන්ගේ ගිහිකල පුත් වූ ‘උසභක්ඛන්ධ’යන් දැක සිත් පහන් වී ගියෙනුත් මතු සසරේ එවන්වූ බුද්ධපතිවෘතාවක් වන්නෙමී’ යී සිතින් සිතා සියළු ධනස්කන්ධයන් හැර දමා වල් වැද තාපස සීලයෙහි බඹසර හැසිරෙමින් සිටියෙමි. එකල ස්වාමීහු ‘සුමේධ’ නම් වූ මහා තවුස්ව, ඒ බුදුරදුන් පාමුල ‘මතු ගෞතම නම් වූ සම්බුදුරදුන් වන්නේයැ’යි වාග් ප්‍රනිධිය ලත් බව දුටුවෙමි. එහිදී ඒ ස්වාමීහු පිළිබඳ මම් වඩාත් පැහැදී ගියෙමි. ඉන් පෙර ඈත සසරේ පටන් ආ ස්නේහය හේතුවෙන්, විශ්වාසය හේතුවෙන්, පුරුද්ද හේතුවෙන්, මා ස්වාමිහු පිළිබඳ සිතින් ‘ඒ ගෞතම සම්බුදුරදුන්ගේ ගිහිකල පතිනිය වන්නා වූ ‘යසෝදරාවෝ’ මා වෙම්වා, රාහුල මාතාවෝ මා වෙම්වා, ස්වාමීහුගේ පාරමී පූරණයට දිවි දෙන්නී මම් වෙම්වා’ යි පැතීමි. ඒ අනුව ස්වාමීහුගේ මෙන්ම මාගේ ද පළමුවන වාග්ප්‍රනිධිය ස්වාමීහු සමගම සිද්ධ වීය. එතැන් පටන් නිධානයක් රක්ෂා කරන්නියක සේ ස්වාමීහුගේ පාරමී නම් මහා නිධානය රක්ෂා කරමින් ඒට අනුබල සාදමින් පැමිණියෙමි.

කොණ්ඩඤ්ඤ බුදුරජු සමීපයෙහි ස්වාමීහු ‘විජිතාවී’ නම් සක්විති රජව දෙව් විමන් සමාන වෙහෙරක් කරවා තුන්මසක් පුරා අසදෘෂ මහා දානයෙන් පවත්වා ඒ සම්බුදුරජුන් සඳහා විහාරාරාම පූජාව කරද්දී මම් සූවාසූදහසක් බිසෝවරුන්ට නායක ව ඒ සියළු දානයන් මම් අතින්ම පිසවා ඒ මහා පින් රැස් කර ස්වාමීහුම පැතීමි.

මංගල බුදුරජුන් දවස ‘සුරුචි’ නම් බ්‍රාහ්මණව දොළොස් යොදුන් මණ්ඩපයෙක සත් දවසක් මුළුල්ලෙහි බුදුපාමොක් මහා සඟරුවනට අසදෘෂ වූ අතිමධුර රසයෙන් යුත් ප්‍රණීත චතුමධුර දානයෙන් පූජා පවත්වද්දී, ඒ දන් සියතින් සකස් කොට දෙමින් මම් ස්වාමීහුම පැතීමී.

සුමන බුදුන් දවස ‘අතුල’ නම් දිව්‍ය නාග රාජන්ව චන්ද්‍ර මණ්ඩලය සා මණ්ඩපයෙක අසදෘෂ මහ දන් පවත්වද්දී, කෝටි ගණන් නාග කන්‍යාවන්ට අග්‍ර වූ මම් කෙළගණන් කඩුපුල් මල් මිටි වලින් බුදුපාමොක් මහ සඟ රුවන් පුදා දිව්‍යමය නෘත්‍යයෙන් පූජා පවත්වා මම් ස්වාමීහුම පැතීමී.

රේවත සම්බුදුන් දවස ‘අතිදේව’ නම් බ්‍රාහ්මණ ව උතුරුසළුයෙන් පුදා දහසක් ශ්ලෝකයෙන් සම්බුදුරජුන් වර්ණනා කරද්දී ඒ බමුණහුගේ පතිනිය වී බමුණුගේ පින මුළු හිතින්ම අනුමෝදන් වී ඒ පිනෙන් මම් ස්වාමීහුම පැතීමී.

සෝභිත බුදුන් දවස, ‘සුජාත’ නම් මහ බමුණුව තුන් මසක් මුළුල්ලේ අසදෘෂ දන් පවත්වද්දී, ඒහි බැමිණිය වී සියතින්ම දන් උයා දන් පිදීමෙහි සම්මාදන්ව මම් ස්වාමීහුම පැතීමී.

අනෝමදස්සී බුදුන් කල මහේශාඛ්‍ය නාග රාජයෙක්ව සත් දවසක් පුරා මහ දන් දෙද්දී, ඒ නා රජුගේ මෙහෙසිය වී ඒ දිව්‍ය දානය සතුටින් අනුමෝදන් වී එහිලා එක්වී මම් ස්වාමීහුම පැතීමී.

පදුම බුදුරජුන් කල මහා බලැති සිංහ රාජයෙකුව නේත්‍රා පූජා දක්වා උපහාර පවත්වද්දී, සිංහ ධේනුවව කැටිව සිට ඒ පින් හා එක්ව සිට මම් ස්වාමීහුම පැතීමී.

නාරද බුදුන් දවස උග්‍ර තපස් චර්‍යා ඇති තාපසව සත් දිනක් සෘද්ධියෙන් දන් දෙද්දී, පරිබ්‍රාජිකාව ව ඒ පින හා එක්වී අනුමෝදන් වී මම් ස්වාමීහුම පැතීමී.

පදුමුත්තර බුදුරජුන් දවස ‘ජටිල’ නම් මහ සිටුව මහ දන් පවත්වා බුදුපාමොක් මහ සඟනට සියලු පරිෂ්කාරයන් පුදා පූජාවන් පවත්වද්දී ඒ සිටුහුගේ බිරින්දෑව සිට සියතින් දන් උයා ඒ පින් හා කැටිව හිඳ මම් ස්වාමීහුම පැතීමී.

සුමේධ නම් බුදුන් දවස ‘උත්තර’ නම් මානකව, අසූකෙලක් ධනය බුදුන්ටම පුදා පැවිදි වෙද්දී, ඒ හා සමගම පැවිදිව සිල් ආරක්ෂා කරමින් මම් ස්වාමීහුම පැතීමී.

සුජාත බුදුන් දවස සක්විති රජව ඒ සක්විති රාජ්‍ය පුදා පැවිදි වෙද්දී, සූවාසූදහසක් බිසෝවරුනට අග්‍රව සිට එක්ව පැවිදිව සිල් රකිමින් මම් ස්වාමීහුම පැතීමී.

පියදස්සී බුදුන් දවස ‘කාශ්‍යප’ නම් ධන හිමි මානවකයෙකු ව තමන් සතු ධනයෙන් ලක්ෂයක් වියදම් කොට සංඝාරාමයක් කරවා බුදුරදුන්ට පූජා පවත්වද්දී, ඒ පින් හා එක්වෙමින් අනුමෝදන් වෙමින්, උපකාර කරමින් මම් ස්වාමීහුම පැතීමි.

අත්ථදස්සී බුදුන් කල ‘සුසීම’ නම් මහ තවුස්ව සෘද්ධියෙන් ගෙනා දිව්‍ය මදාරා-පරසතු මල් වලින් පූජා පවත්වද්දී, පරිබ්‍රාජිකාවක ව බඹසර සිල් රකිමින් සිට ඒ සියළු පින් ද අනුමෝදන් වෙමින් මම් ස්වාමීහුම පැතීමි.

ධම්මදස්සී බුදුන් කල සක් දෙවිඳුව, නොයෙකුත් දිව්‍යමය පූජාවන් පවත්වා බුද්ධෝපස්ථානය කරද්දී, අඩු තුන්කෙලක් දෙවඟනන් පිරිවරා අවුත් ඒ සියලු පූජාවන් හා එක්වෙමින් මම් ස්වාමීහුම පැතීමි.

සිද්ධාර්ථ සම්බුදුන් දවස ‘මංගල’ නම් මහ තවුස්ව ප්‍රණීත ජම්බු ඵල දානයෙන් පූජා පවත්වන කල පරිබ්‍රාජිකාවකව සිට ඒ දානයන් අනුමෝදන් වෙමින් මම් ස්වාමීහුම පැතීමි.

තිස්ස නම් සම්බුදුන් දවස ‘සුජාත’ නම් මහ තේජස් ඇති රජව සකල රාජ සම්පතිතියෙන් සම්බුදුරජුන් පුදද්දී, අග බිසව්ව සිට ඒ සියළු පූජා අනුමෝදන් වෙමින් සිල් රකිමින් බඹසර හැසිරෙමින් මම් ස්වාමීහුම පැතීමි.

ඵුස්ස සම්බුදුන් දවස ‘විජිතාවී’ මහ රජව මුළු දඹදිව් රාජ්‍යයෙන් ඒ සම්බුදුරජුන් පුදද්දී ඒ සියළු පූජාවන් අනුමෝදන් වෙමින්, පැවිදිව බඹසර සිල් ආරක්ෂා කරමින් මම් ස්වාමීහුම පැතීමි.

විපස්සී බුදුන් දවස ‘අතුළ’ නම් නා රජව පනස් යොදුන් දිව්‍ය මණ්ඩපයක් මවා ඒ මත සත් දවසක් මුළුල්ලේ දිව්‍යමය වූ මහ දන් දෙමින් බුදුපාමොක් මහ සඟරුවන පුදද්දී අගමෙහෙසි නාග කන්‍යාව ව සිට දසදහස් ගණන් නා මෙනවියන් පිරිවරා ඒ දානයන් හා එක් වෙමින් එකට කටයුතු කරමින් මම් ස්වාමීහුම පැතීමි.

සිඛී සම්බුදුන් කල ‘අරින්දම’ නම් රජව මහත් වූ රාජ සෘද්ධියෙන් සම්බුදුන් පුදද්දී, අග බිසව් ව සියතින් ඒ සියළු දන් උයා පිහා දී බුදුරජුන් ප්‍රමුඛ මහ සඟරුවන් පුදා මම් ස්වාමීහුම පැතීමි.

වෙස්සභූ බුදුන් දවස ‘සුදර්ශන’ නම් රජව මහා විහාර දහසක් කරවා සම්බුදුරජුන් හා මහා සඟ රුවන උදෙසා පූජා පවත්වද්දීත් සියලු රජසැප හැරදා මහණව බඹසර හැසිරෙද්දීත්, ප්‍රධාන බිසව ව සිට සියතින් දන් උයා දෙමින් දානය පිණිස කළමණා සකසා දෙමින් රාජ්‍ය හැර මහණව බඹසර සිල් සුරකිමින් මම් ස්වාමීහුම පැතීමි.

කකුසඳ බුදුන් දවස ‘ඛේම’ නම් මහ රජව රාජ්‍ය ඇතුළු සියළු දේපලින් බුදුරජුන් පුදා අනතුරුව පැවිදිව බඹසර හැසිරෙද්දී, ඒ රජුගේ අග්‍ර මහේෂිකාව ව සියතින් දන් උයා, දන් පුදා, රාජ්‍යයෙන් පුදා ස්වාමීහු සමගම පැවිදිව බඹසර හැසිරෙමින් සීලය ආරක්ෂා කරමින් මම් ස්වාමීහුම පැතීමි.

කෝණාගම බුදුන් දවස ‘පර්වථ’ නම් මහා රාජන්ව තුන්මසක් පුරා අසදෘශ මහ දන් දෙද්දී අග මෙහෙසි ව සියළු දාන සංවිධානයන් සියතින්ම කරමින්, සියතින්ම දන් පිසිමින් පුදමින් මම් ස්වාමීහුම පැතීමි.

කාශ්‍යප සම්බුදුන් දවස ‘ජෝතිපාල’ මානවක ව ධන පමණින් සම්බුදු රජුන් පුදා සියල්ල හැර පැවිදිව සසුන් පිළිවෙත් පුරද්දී, බ්‍රාහ්මණ මානවිකාව ව සිට ඒ සියලු පුණ්‍යක්‍රියා හා එක්ව අනතුරුව පැවිදිව විසි දහසක් හවුරුදු පැවිදි බඹසර හැසිර සිල් ආරක්ෂා කොට මම් ස්වාමීහුම පැතීමි.


මෙසේ යම් යම් පිනක් මම් රැස් කලේ නම් ඒ සියළු තන්හි මම ස්වාමීහුම පැතීමි.

එහෙයින් මම් ස්වල්ප වූ පිනක් කල ස්ත්‍රියක් නොවෙමි. සම්බුදුරජුන් හා එකටම සසර සැරිසරද්දී ඒ ඒ බුදුරජාණන් වහන්සේලා හමුවේ මහ දන් දෙමින්, රාජ්‍යයෙන් පුදමින්, බඹසර හැසිරෙමින් ඒ ඒ බුදුරජාණන් වහන්සේලාගෙන් විවරණ ගත්තෙමි. පෙර ස්වාමීහු හට පාරමිතා පූරණයෙහිලා අනුබල සෑදූ මම් දැන් මේ අන්තිම භවයේදී ස්වාමීහුගේ උපකාරයෙන් ස්වාමීහුගේ අනුබලයෙන් ස්වාමීහුගේ මග පෙන්වීමෙන් අමා නිවන් ලැබුවෙමි. සසර ඕඝයෙන් එතෙර වූයෙමි. සියළු භව රැහැන් සිඳ බිඳ දමා සංසාර ගිර තරණය කොට සහමුලින්ම නිදහස් වූවෙක් වූයෙමි”

මෙසේ ද කියමින්, තවත් බොහෝ අකාරයෙන් ද කියමින් සිංහනාද පවත්වමින් අපගේ තෙරණියෝ කල්ප අසංඛ්‍ය ගණන් සසරේ තමන් වහන්සේ බෝසත් පතිනියක ලෙස පින් පුරාගනිමින් පැමිණි ආකාරය මැනැවින් හෙලිකොට වදාල සේක. ඒ වේලාවෙහි තුන් ලෝ සත්වයන්ගෙන් අපගේ තෙරණියෝ ලැබූ වැඳුම්, ලැබූ පිදුම් මෙතැකියි කියා, කියා නිමකල නොහැක්කේ ය. ඒ නැගූ සාදු ඝෝෂාව පමණක් දස දහසක් සක්වල පුරා විසීරී පැතිරී ගිය වග අසද්දී, ඉන් එපිට අප තෙරණියෝ ලද වැඳුම් පිදුම් හා අනේකවිධ පූජාවන් පිළිබඳ කියනුම කිම! නුවණැත්තන් හට එය ගෝචර වන්නේම ය.

නැවත නැවතත් සම්බුදු ශ්‍රී පා කමල් සිරසින් වන්දනා කළ අප තෙරණියෝ තුන් යලක් සම්බුදුරජුන් ප්‍රදක්ෂිණා කිරීමෙන් අනතුරුව දහසක් මෙහෙණන් සමග ආරාමයෙන් නික්ම සම්බුද්ධ දර්ශනය නොපෙනී යන තෙක්ම සම්බුදු රජුන් අභිමුඛව ඇඳිලිබැඳ වන්දනා කරමින්ම සම්බුදු සිරි මුව මඩල දෙස බලමින් යමින් අන්තයේ නැවත වාරයක් සම්බුදු රුව සිරසින් වන්දනා කරමින් තමන් වහන්සේගේ මෙහෙණවර බලා නික්මුණු සේක. බුදුරජාණන් වහන්සේගේ අදහස් ඒ ආකාරයෙන්ම දත් අවශේෂ ශ්‍රාවක සඟ පිරිස් පරිනිර්වානය පිණිස වඩිනා අප තෙරණියන් හට පූජා වශයෙන් විහාරයේ ද්වාරය දක්වා පසුගමන් වැඩියහ.

මෙහෙණවර තුල අර්ධ පර්‍යංකයෙන් වැඩ හිඳි අප තෙරණියෝ එදින රාත්‍රියේදී සන්හුන්ව වැඩ හිඳිමින් පිළිවෙලින් පළමු ධ්‍යානයටත් එයින් නැගී දෙවන ධ්‍යානයටත් එයින් නැගී පිළිවෙලින් තෙවන හා සිව්වන ධ්‍යානයටත් සමවැදුණ සේක. සිව්වන ධ්‍යානයෙන් නැගී සිට ආකාසානඤ්චායතනයට සමවැදුණ සේක. එයින් නැගී පිළිවෙලින් විඤ්ඤාණඤ්චායතනයටත්,  එයින් නැගී ආකිඤ්චඤ්ඤායතනයටටත්,  එයින් නැගී නේවසඤ්ඤානාසඤ්ඤායතනයටත් සමවැදුණ සේක.  නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියෙන් නැගිට සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියට සමවැදුණු සේක.

සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියෙන් නැගීසිට නැවතත් පිළිවෙලින් නේවසඤ්ඤානාසඤ්ඤායතනය, ආකිඤ්චඤ්ඤායතනය, විඤ්ඤාණඤ්චායතනය, ආකාසානඤ්චායතනය යන අරූප සමාපත්තීන්ටත් එයින් නැගී සිට සතරවන ධ්‍යානයටත්, එයින් නැගිට තුන්වන ධ්‍යානයටත්, එයින් නැගිට දෙවන ධ්‍යානයටත්, එයින් නැගිට පළමු ධ්‍යානයටත් සම වැදුන සේක.

නැවතත් පිළිවෙලින් පළමු ධ්‍යානයේ සිට තුන්වන ධ්‍යානයට සම වැදුන සේක. තුන්වන ධ්‍යානයෙන් නැගී සතරවන ධ්‍යානයට සමවැදුන සේක. සතරවන ධ්‍යානයෙන් නැගීසිටිනවාත් සමගම පහන් සිලක් නිවී යන්නාක් සේ අපගේ තෙරණියෝ පිරිනිවන් පා වදාල සේක.

එවිටම මහ පොළොව සෙල්වී සලිත වී ගියේ ය. අහස්කුස අකාල මේඝ ගර්ජනා පැතිරී ගියේ ය. ඇඟ ලොමුදහ ගැන්වෙන තරමේ බොහෝ අද්භූත කාරණා එහි සිදු විය.

සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ අපමණ දුක් ගනිමින්, ගුණයන්ට දිවි පුදමින්, සීලයෙන් බබලමින්, පින් බලයෙන් මුදුන් පැමිණෙමින්, අපගේ මහ බෝසතාණන් වහන්සේ උදෙසාම පැමිණි ‘සුමිත්‍රාවෝ’ මෙසේ අන්තිම ජීවිතය ලබා ‘යසෝදරාවන්’ වී ‘රහල් මාතාවන්’ වී මහා අභිඥාලාභීව මහා සෘද්ධිමත්ව සකලක්ලේෂයන් මුලිනුපුටා දමා, අනාගත භව ගමන මුලිනුපුටා දමා අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවී ගිය සේක. 

සාදූ! සාදූ! සාදූ!

මහා අභිඥාලාභී යසෝදරා මහ රහත් තෙරණින් වහන්සේගේ උත්තම ධාතූන් වහන්සේලා නිධාපිත ලොව එකම මහ සෑ රාජාණන් වහන්සේට අපගේ ගෞරවාදර නමස්කාරය වේවා!!