යසෝදරා මහරහත් තෙරණි අපදානය - 03 වන කොටස

පැවිදි වූ දා පටන් අපගේ යසෝදරා තෙරණින් වහන්සේ සොයා ලාභ සත්කාර ගලා එන්නට විය. පිරිස් ගලා එන්නට විය. දන් කත් කරත්ත තුළ පටවාගෙන ඔවුන් පෝළිම් ගැසී සිටියහ. තෙරණින් වහන්සේ උදෙසා ඒ ඒ තැන අලංකාරවත් මෙහෙණවර ඉඳිකළහ. දහස් ගණනින්, දසදහස් ගණනින් ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව, සියගණන් ගැල් පුරා නොයෙකුත් ආකාරයේ දානෝපකරණ ගෙන ඔවුන් මහමුහුදට ගලා බසිනා ගංගාවන් සේ රැස් කමින් සිටියහ. මේ අයුරින් දිනෙන් දින මෙහෙණවරට ඇදෙන මහ පිරිසෙහි වැඩිවීමක් මිස අඩු වීමක් නොවීය….

දිනක් විහාරයට ගොස් බණ අසා නැවත මෙහෙණවරට පැමිණීමට පෙර අපගේ තෙරණින් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ වන්දනා කරමින් මෙසේ කියා සිටි සේක.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ගෘහ වාසයේ බොහෝ ආදීනව දැක සම්පත් පිරිවර අත්හළ මා හුදෙකලා වාසය කැමැත්තේ මෙහි විසුවෙමි. නමුත් මේ ජනී ජනයා එක්ව ලාභ සත්කාරයෙන් මා පුදන්ට උත්සාහ කරති. මේ සැදහැවතුන් පිරී සිට, පෙර මාගේ රජගෙයි මිදුල සේම අතුරු සිදුරු නැතිව රැස් කමින් සිටිති. ස්වාමීනී එනිසා මම් අනෙක් නුවරකට යන්නෙමි. හුදෙකලා වාසය බොහෝ කැමැත්තෙමි”

අපගේ තෙරණින් වහන්සේ, නැවතත් විශාලාවට වැඩම කොට මහා ප්‍රජාපතී ගෞතමී තෙරණින් වහන්සේ සමීපයේ විසූ සේක.

තෙරණින් වහන්සේ විශාලාවට වැඩම කළ බව ක්ෂණයකින් සියළු නුවර පුරා පැතිරී ගියේය. සත්දහස් සත්සියයක් ලිච්ඡවී රවරුන් ඔවුන්ගේ සත්දහස් සත්සියයක් බිසෝවරුන්ද සමග මාහැඟි මෙහෙණවරක් කරවා එය අපගේ තෙරණින් වහන්සේට පූජා කළහ. ඔවුන් තුන් විටක් වෙහෙරට එළඹෙමින් තෙරණින් වහන්සේ වන්දනා කරමින් බොහෝ පුද සත්කාර කළහ.

තෙරණින් වහන්සේ පිළිබඳ අතිශයින්ම පැහැදුනු ලිච්ඡවී රාජ දියණිවරු සහ කුල ස්ත්‍රීහු දහස් ගණනින් ගෞතම සසුනේ පැවිදි වූහ. අරහත්වය සාක්ෂාත් කරමින් අමා මහ නිවන් සැප සළසා ගත්හ. සසර ඕඝයෙන් සදහටම මිදී ගියහ. ඒ අරහත් තෙරණිවරු අපගේ යසෝදරා මහ රහත් තෙරණින් වහන්සේ පිරිවරා ගනිමින් නිබඳව හැසිරුණහ.

හුදෙකලා වාසය සොයා ආ තෙරණියෝ නැවතත් මහ පිරිස් සහ සයුරක් සේ ගලා එන සිවුපසයෙන් මොනවට පිදුම් ලැබූහ. අසංඛෙය්‍ය ගණන් සසරේ මහ බෝසතාණන් වහන්සේ සමග එක සිතින් දන් දෙමින් සිල් පුරමින් පැමිණි අපගේ යසෝදරා මහ රහත් තෙරණින් වහන්සේ මෙසේ අපගේ භාග්‍යවතුන් වහන්සේට පමණක් ම දෙවැනිව මහා හරසරින් පිදුම් ලැබූහ.

නැවතත්, නැවත නැවතත්, ගඟ ගලන්නා සේ ලාභ සත්කාර ගලා එන කළ හුදෙකළා වාසය කැමැති අපගේ තෙරණියෝ රජගහ නුවරට වැඩි සේක. එහි අටලොස් කෙලක් ජනයාත්, තුන්සියයක් යොදුන් අංග මගධ දෙරට වාසී කෝටි ගණන් ජනයාත්, අසූදහසක් නියම්ගම්වල ලක්ෂ ගණන් ජනයාත්, මහානුභාවසම්පන්න ‘අමිතභෝගී’ මහ ධන සිටුවරුණුත්, රාජරාජාදී සියළු සත්වයෝත් පැමිණ තෙරණින් වහන්සේ පිරිවරා ගත්හ. වැඳුම් පිදුම් කළහ. සිවුපසයෙන් උපස්ථාන කළහ.

රජගහ නුවර එකම මංගල්‍යයක් සේ වී. දවසින් දවස තෙරණින් වහන්සේ සොයා පැමිණෙන ජනයාගෙන් මෙහෙණවර පිරී ගියේ ය. සියළු නුවරවල් අභිබවා වැල නොකැඩී පැමිණි ඔවුන් තෙරණින් වහන්සේවම පිදූහ. තෙරණින් වහන්සේටම සත්කාර කළහ.

මෙසේ අපගේ මහරහත් තෙරණින් වහන්සේ ලාභයෙන්, යසසින් හා පුණ්‍ය සම්පත්තියෙන් අපගේ භාග්‍යවතුන් වහන්සේට පමණක් දෙවැනි වූ සේක. පුද සත්කාර සහ කිත් යසස් මැද වැඩ සිටි සේක. නමුත් ඒවාට නොඇළී වැඩ සිටි සේක. දිය මතින් ඉහළට නැගුනු පියුම දියෙහි නොගෑවී සිටින්නා සේ වැඩ සිටි සේක. දිය බිඳු නොතැවරෙන පියුම් පතක් සේ වැඩ සිටි සේක.

අපගේ මහරහත් තෙරණින් වහන්සේ පිළිබඳ අතිශයින්ම පැහැදී සිටි රජගහ නුවර වාසී කුල ස්ත්‍රීහු දහස් ගණනින් පැමිණ තෙරණින් වහන්සේ සෙවනෙහි පැවිදි වූහ. අරහත්වය සාක්ෂාත් කළහ. සසර දුකින් මිදී ගියහ.

මේ අන් කිසි හේතුවක් නිසා නොව අපගේ මහ බෝසතාණන් වහන්සේ සප්ත ශතකාදී මහ දන් දෙද්දී, සියලු දේපළ වස්තූන් හා රාජ්‍යය දන් දෙද්දී, දරුවන් හා සිය ඇඟ ලේ මස් දන් දෙද්දී, තමා දාසි කොට දන් දෙද්දී ඒ සියළු දාන මසුරු සිතක් නැතිව කල්ප ගණන් සසරේ ඉවසා සිටි නිසාය. දරා සිටි නිසාය. සාධුකාර දෙමින් අනුමෝදන් වූ නිසාය. කිරි වලින් නැහැවූ සංඛය එකම කිරි පැහැයෙකින් බබළන්නා  සේ මහ බෝසතාණන් වහන්සේගේ අදහසේම සිටිමින්, මහ බෝසතාණන් වහන්සේගේ අදහසට අනුවම හැසිරෙමින්, කටයුතු කරමින් සිටි නිසාය. 

අවංක සිතින් අප්‍රමාණ පති භක්තියෙන් මහබෝසතාණන් වහන්සේට නිබඳව උපකාර සදමින් නොවෙනස් ව පැමිණි නිසාය.

මෙසේ ‘රාහුලමාතා’ නම් වූ අපගේ යසෝදරා මහ රහත් තෙරණින් වහන්සේ ලාභයෙන් යසසින් අග්‍රව ගෞතම සම්බුද්ධ ශාසනය නම් විල් තෙරෙහි පිපීගිය සොඳුරු සුදු පියුමක් සේ බොහෝ දෙව් මිනිසුන්ට සෙත සලසමින් පින් පුරාලමින් වැඩ සිටි සේක.

කාලය ගෙවී ගියේය. අපගේ තෙරණින් වහන්සේ අටසැත්තා වියට එලඹුණු සේක. එකල අපගේ භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර නිසා ගිජ්ජකූට පර්වතය පාමුළ එක්තරා රම්‍ය වූ ගුහායෙක වැඩවාසය කළ සේක. දිනක් අපගේ මහ රහත් තෙරණින් වහන්සේ  සවස් කාලයේ හුදෙකලාවේ වැඩසිටි සේක් මෙසේ වූ සිතිවිල්ලෙක් උන්වහන්සේ කරා ආයේය….

‘නන්ද-රාහුල මුනිවරයන් වහන්සේලාද, සාරිපුත්ත-මොග්ගල්ලාන අග්‍රශ්‍රාවකයන් වහන්සේලා ද, සුද්ධෝදන-මහා ප්‍රජාපතී දෙදෙන වහන්සේ ද, අඤ්ඤාකොණ්ඩඤ්ඤාදී උතුමන් වහන්සේලා ද තවත් බොහෝ ප්‍රසිද්ධ  ප්‍රසිද්ධ මහ රහතන් වහන්සේලාද රහත් තෙරණින් වහන්සේලා ද මේ වන විට පිරිණිවන් වැඩ අවසානය.

මම් වනාහි භාග්‍යවතුන් වහන්සේ හා සම වයස් ඇත්තෙමි. සම වූ අදහස්  ඇත්තෙමි. සම වූ අමා නිවන් ලද්දෙමි. අනු වූ රූපශ්‍රී සහ සෘද්ධි බල ඇත්තෙමි. මේ මේ කාරණයෙන් භාග්‍යවතුන් වහන්සේගේත් මාගේත් පරිනිර්වාණය සමව යෑමක් පෙනේ. නමුත් එසේ වූවොත්, එය මේ ලෝකවාසීන්ට දරාගැනීමට අසීරු දෙයක් වනු ඇත. එනිසා පරිනිර්වාණයේ පෙර-පසු බවක් තිබිය යුතුය. මා විසින් තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණය දැකීම සුදුසු නොවේ. පෙර බුද්ධපතිවෘතාවන් ද ඒ ඒ බුදු රජාණන් වහන්සේලාට පළමුව නිවන් පුර වැඩියහ. අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් පිරිනිවී ගියහ.

එනිසා මා ද පළමුව නිවන් පුර වැඩිය මනා ය. තව හවුරුදු දෙකක් ඇවෑමෙන් තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වන්නේය. එහෙයින් මම් අද රාත්‍රියේම අමා පුරයට වැඩිය මනා ය’

අපගේ මහ රහත් තෙරණින් වහන්සේ මෙසේ සිතත්ම මහී තොමෝ ගුගුලා ගියහ. කම්පිත වී ගියහ. සැළී ගියහ. පැළි යන්නාක් තරමට බොහෝ භියජනක දෑ එහි සිදු විය. මහ මෙර කිළි පොළා ගියේ ය. අහස් කුස අනේක විද මේඝ ගර්ජනාවෙන් ගුගුරා යන්නේ එහි වැසි නැතිවම විදුලි කෙටීම් අකුණු ගැසීම් ඇති විය. ඇඟ ලොමු දහ ගැන්වෙන බොහෝ අද්භූත දෑ එහි සිදු විය.

ඒ දුටු මෙහෙණවරෙහි වැඩහුන් අනෙකුත් තෙරණින් වහන්සේලා අපගේ මහ රහත් තෙරණින් වහන්සේ පිරිවරා ගත්හ. ‘මේ කුමන වූ පෙළහරක්දැ’යි විචාලෝය. අපගේ මහ රහත් තෙරණියෝ මෙසේ වදාල සේක.

“පින්වතියනි, මම් සිතූ සිතිවිල්ලක් නිසාය එය සිදු වූයේ. අද රාත්‍රියෙහි මාගේ පරිනිර්වාණය සිදුවන්නේය. දැන් භාග්‍යවතුන් වහන්සේ හමුවට ගොස් ඒ සඳහා අවසර ඉල්ලා ගත යුතුය”

අපගේ යසෝදරා මහරහත් තෙරණින් වහන්සේ, දහසක් පමණ අරහත් තෙරණින් වහන්සේලා සමග මෙහෙණවරින් පිටත්ව තථාගතයන් වහන්සේ වැඩ වසන්නා වූ විහාරයට පැමිණි සේක. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පා කමල් ආදරයෙන් වන්දනා කරමින් මෙසේ කී සේක.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මම් දැන් අටසැත්තෑ වයස් වූයෙම් බොහෝ දිරා ගිය සිරුරු ඇත්තෙමි. ආයුෂයාගේ කෙලවරට පැමිණියෙමි. ස්වාමීනී, මම් තථාගතයන් වහන්සේගේ මහා පරිනිර්වාණයට ප්‍රථමයෙන් නිවන් පුර වඩිනු රිසියෙමි. ස්වාමීනී ඒ සඳහා මට අවසර දී වදාල මැනව.”

“ස්වාමීනී, සසරේ බොහෝ කාලයක් මම් සෙවනැල්ල සේ නුඹ වහන්සේ කැටිවම ආවෙමි. ඒ හැම කල්හිම මම නුඹ වහන්සේට ඉතා පක්ෂපාතීව ආමී. නමුත් ස්ත්‍රීන් නම් ඉතා ළාමක ය, දුර්වලය, දිළිඳු සිත් ඇත්තෝ ය. එනිසා යම් මොහොතක මාගෙන් වරදක් වූයේ නම් ඊට මා හට සමාව දී වදාරන සේක්වා”

“එදා ‘කුස ජාතකයෙහි’ නුඹ වහන්සේ ‘කුස’ රජව මා ‘පභාවතී’ ව වසද්දී රූප මදයෙන් මත්ව සිටි මා නිසා නුඹ වහන්සේ බොහෝ ගැහැට විඳි සේක. නමුත් පෙර දවස පසේ බුදු රජාණන් වහන්සේට කළ අපරාධයාගේ උදහසින් විරූපී මුහුණක් ලැබූ නුඹ වහන්සේ පිළිබඳ මා දැඩි කම් කළේ මා ද එම පසේ බුදු රජාණන් වහන්සේ ඉදිරියේ කළ ප්‍රාර්ථනාවක් නිසා  මිස මාගේම වූ චේතනාවක් නිසා නොවේ.”

“ඒ සත් මස මුළුල්ලේ නුඹ වහන්සේ මහා දුක් අනුභව කරමින් මැටි පොළොවෙහි සැතැපෙන කල මා ද සත් මස පුරා සයනෙහි නොසැතපීමි. නුඹ වහන්සේ දුක් ගන්නා බව දකිමින් මා ළය කකියවද්දී මා හැඬූ බවවත්, එදා බත් කද ගෙන මා පරික්ෂාකරනු පිණිස දොර පඩිය මත වැටී සිටිද්දී ඒ දැකීමෙන්  ළය පැලී යන තරම් ශෝකයෙන් මා හැඬූ බවවත් නුඹ වහන්සේ තබා මා දෙමාපියන් හෝ කුදියවත් දැන සිටියා නොවේ. මා තනිවම ඒ දුක් ගත් බව දන්නෝ මා පමණී. පෙර කර්මයාගේ දඬුවමින් දුක් අනුභව කළ යුතු වූ බැවින් මිසක ඒ කිසිවක් මාගේ අන්‍ය වූ චේතනාවක් නිසා සිදුවූවක් නොවේ.”

“සත් මස පුරාවට මාගේ ස්වාමී වූ කුස නිරිඳුන් පිසූ බත මා අනුභව නොකළෙමි. නීච දාසි බතින් මා යැපී ගත්තෙමි. ඒ දාසි බත කුස රජු අනුභව කළ දංකුඩ බතටත් වඩා සිය ගුණකින් නීරසය. නමුත් මා එය නුඹ වහන්සේ පිළිබඳ ක්‍රෝධ නැති සිතින්, හුදෙක් කර්මයාගේ පෙළඹවිමෙන් උපන් දුකින් යුතුව අනුභව කලෙමි.”

“එසේ රූප මදයෙන් මත්ව කර්මයාගේ බලයෙන් පහර කමින් සිටිද්දී පවා මම් නුඹ වහන්සේගේ පාරමිතා පූර්ණයට උපකාර කළෙමි. මා නිසා කිසිඳු ලෝභ සිතක් නැතිව මෑණියන්ට රාජ්‍ය පවරා දී කුසාවතිය හැර යාමෙන් නුඹ වහන්සේ කළ දෑ ‘දාන පාරමිතාව’ පිරිමෙහිලා උපකාරි වුයේය. මා හැර අන්‍ය ස්ත්‍රියක් ඇසුරු නොකිරීමෙන් පිරූ පංචශීලය’ සීල පාරමිතාව’ පිරීම පිණිස උපකාරී වූයේය. මා ම පතා සකල රාජශ්‍රී හැර ආ හෙයින් ‘නෛශ්ක්‍රම්‍ය පාරමිතාව’ සිද්ධ වූයේය. රාජ සුකුමාලව සිටියදීත් එක දවසින් හාරසියයක් ගවු ගෙවා පැමිණ සත් මසක් මුළුල්ලේ දර දිය අදිමින්, හැළි වළං සෝදමින්, දිවා රෑ වෙහෙසෙමින්, රාත්‍රියේ නොනිඳමින්, තුන් වේලෙහි බත් වෑංජන පිසිමින්, බත් කද කර තියන් යෑමෙන් ඒමෙන් ආදී වශයෙන් ගත් දුක් බොහෝ හෙයින් ඒ හැම කල්හිම ‘වීර්‍ය පාරමිතාව’ සිද්ධ වූයේ ය. මා උදෙසාම විශේෂයෙන් කර්මාන්ත කිරීමෙන් ‘ප්‍රඥා පාරමිතාව’ සිද්ධ වූයේය. මා බලහත්කාරයෙන් ගෙන්වා ගැනීමේ හැකියාව තිබෙද්දීත් එසේ නොකර බොහෝ දුක් අනුභව කිරීමෙන් ‘ක්ෂාන්තී පාරමිතාව’ සිද්ධ වුයේ ය. මා නොපතනුවයි කියද්දීත් ‘පුරුෂ විර්‍ය ඇත්තේ නම් නුඹ මා හට භාර්‍යාව වනවා මිස නුඹට මා හැර ස්වාමියෙකු නැතැයි ‘ කියා පසුව එය සනාථ කිරීමෙන් ‘සත්‍ය පාරමිතාව’ සිද්ධ වූයේ ය. එක් වරක් කැරකූ සක හිරු අස්තානයට යන තෙක් එසේම තිබීමෙනුත්, මා උදෙසා පමණක්ම අදිෂ්ඨාන කරමින් සෑදූ රූ කැටයම් මා හට පමණක්ම දර්ශණය කරවාලීමෙන් ‘අදිෂ්ඨාන පාරමිතාව’ සිද්ධ වූයේ ය. මුළු දඹදිව සත් රජවරුන් මා පතා යුධ වැදී සිටියත්, මා කොතරම් දැඩි වූවත් ඒ හැම කල්හිම මෙත් සිතින් විසුවා වූ හෙයින්  ‘මෛත්‍රී පාරමිතාව’ සිද්ධ වූයේ ය. හැම කල්හිම මහ මෙර සේ අකම්පිතව, නොසෙල් වී සිටි හෙයිනුත් , සියලු දුක් සැප ඉවසා දරා සිටි හෙයිනුත් ‘උපෙක්ෂා පාරමිතාව’ සිද්ධ වූයේ ය.”

මෙසේ, පෙර කුස ජාතකයෙහි ආ පරිද්දෙන් සියලු තතු පිළිබඳ අපගේ යසෝදරා මහ රහත් තෙරණින් වහන්සේ, දෝශයක් නොවීම සිදු වූ දෝශයන්ට භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ සමාව අයැද සිටි සේක

අපගේ භාග්‍යවතුන් වහන්සේ, මහ රහත් තෙරණින් වහන්සේගේ ගුණ කඳ ලෝක සත්වයා හට ප්‍රකට කරන්නේමී’යි සිතා මෙසේ වදාළ සේක.

“යසෝදරා ස්ථවිරීනී, නුඹ වැන්නන් ලෝවාසීන්ට ආනුභාවයන් නොදක්වා අප්‍රකටව නිවන්පුර වැඩීම සුදුසු නොවේ. එහෙයින් සෘද්ධි ප්‍රාථිහාර්‍ය දක්වමින් මේ රැස්ව සිටින පර්ෂද් මධ්‍යයේ දහම් කතා පවත්වමින් සියල්ලෝ සන්තෝෂ කරමින් නිවන් පුර වැඩිය මනාය.”

යසෝදරා මහ රහත් තෙරණින් වහන්සේ එදින රාත්‍රියේ පිරිනිවන් පානා බව භික්ෂු සංඝයා අතරේ පැතිරී ගියේ ය. ‘අහෝ, රාහුල මාතාවන්ගේ පරිනිර්වාණය සිද්ධ වනුයේ නම් අපගේ භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වාණය ද වැඩි ඈතක නොවනු ඇත්තේ ය‘ යි කියමින් ක්ෂීණාශ්‍රව සඟ පිරිස් සංවේගය උපදවා ගත්හ. තවමත් කෙලෙස් සහිත පිරිස් කඳුළු ධාරාවන් වගුරුවමින් හඬන්ට ගත්හ. දහස් ගණන් ශ්‍රාවක සඟ පිරිස් පැමිණ භාග්‍යවතුන් වහන්සේ පිරිවරා ගත්හ. කෝටි ගණන් රජගහනුවර වාසීහු අවුත් පවනින් කඩා වැටුණු තල් රුක් සමූහයක් සේ බිම වැටී එක පැහැර හඬා වැටෙන්ට ගත් හ.

ශ්‍රී පා කමල් නැවත වාරයක් සිරසින් වන්දනා කළ අපගේ යසෝදරා මහ රහත් තෙරණියෝ ධ්‍යානයෙන් ධ්‍යානයට සම වදිමින් අහසට පැන නැගි සේක. නැවත බිමට බැස ශ්‍රී පා කමල් වන්දනා කළ සේක. නැවතත් අහසට නැගී ගිය සේක. මෙසේ නොයෙක් වාරයක් තමන්ගේ නම කියමින් ශ්‍රී පා කමල් වන්දනා කළ සේක.

‘යසෝධරා අහං වීර – අගාරෙ තෙ පජාපති

සාකියම්හි කුලේ ජාතා – ඉත්ථියංගෙ පතිට්ඨතා’

තෙරණි තොමෝ අහසේ පූර්ණ චන්ද්‍රයා සේ දිස් වී……

දස දහසක් සක්වල සියළු සත්වයන්ට ඇසෙන සේ සිංහනාද පැවැත් වූ සේක

තමන් වහන්සේ යසෝදරාවන් බව හඟවමින් අහස් තලයේ සිට නා නා පෙළහර දක්වමින් නොයෙකුත් වේශයන් මවමින්, ඒවා අතුරුදහන් කරමින් සිංහනාද කළ සේක.

ඒ වේලෙහි දස දහසක් සක්වල දෙව් බඹ පිරිස් මොහොතකින් එතැන්හී රොක් වී ගත්හ. අහස් කුස පුරා බඹ ලොව දක්වා අතුරු සිදුරු නැතිව පිරී ගත් හ. ඒ ඒ ගම් දොරවල් වල සිටි මිනිසුන් තමන්ට ඉහල ආකාසේ යසෝදරා තෙරණියෝ වැඩ සිටිතැ යි සිතා මහ හඬින් උස් හඬින් සාධු කාර දෙමින් දෑත් හිස් මුදුනේ තබා වැඳ වැටුනාහ.

එවිට අපගේ තෙරණියෝ ගරුඬ රාජයෙකු සේ දිස් වී, ගුරුළු රාජයෙකු සේ දිස් වී, හස්ථි රාජයෙකු සේ, අශ්ව රාජයෙකු සේ, ඇත් අස් ගුරුළු ගරුඬ මහා සේනාවක් සේ දිස් වී….. මහා මත්ස්‍ය රාජයෙකු සේ දිස් වී….. නැකැත් තරු සේ, හිරු මඩල සේ, හිරු මඩලවල් දහසක් – දසදහසක් සේ, සඳ මඩල සේ, සඳ මඩලවල් දහසක් – දසදහසක් සේ, සක් දෙව් රජ සේ, මහා බ්‍රහ්මයා සේ දිස් වී…..

අපගේ තෙරණියෝ නා නා පෙළහරින් ජනයා විශ්මයට පත්කළ සේක. දෙවියන් බඹුන් සහ සියලු මනුෂ්‍යන් සාධු කාර දෙද්දී පොළොවට බැස තථාගතයන් වහන්සේගේ ශ්‍රී පතුල් වඳිමින් ‘ස්වාමීනී, මම යසෝදරා වෙමි…..ස්වාමීනී මම යසෝදරා වෙමී’ යි  සිංහනාද කළ සේක. පරිනිර්වාණය පිණිස සම්බුදු මුව මඩලින් අවසර ලද්දී දහසක් තෙරණිවරුන් පිරිවරා නැවතත් මෙහෙණවර බලා නික්මුණු සේක. එදින රාත්‍රියේ දී අර්ධ පර්‍යංකයෙන් වැඩ සිටිමින් අපගේ තෙරණියෝ පළවෙනි ධ්‍යානයට සම වැදි සේක. පළවෙනි ධ්‍යානයෙන් දෙවන ධ්‍යානයට, දෙවන ධ්‍යානයෙන් තුන්වන ධ්‍යානයට, තුන්වන ධ්‍යානයෙන් සතරවන ධ්‍යානයට ආදී වශයෙන් පිළිවෙලින් රූප ධ්‍යානයන්ටත් අරූප ධ්‍යානයන්ටත් සම වදිමින් අපගේ තෙරණියෝ එදින රාත්‍රියේදී අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාල සේක.

තෙරණින් වහන්සේගේ ශ්‍රී දේහය දවා ඉතිරි වූ ශාරිරික ධාතූන් ගෙන සියළු රජවරු සිටුවරු සහ දස දහසක් සක්වල දෙව් බඹ පිරිස් එක්වී අලංකාර ධාතු සෑයක් නිමවා ඒ ධාතූන් වහන්සේලා එහි නිධන්ගත කළෝය. බොහෝ දෙවියන් බඹුන් මිනිසුන් යසෝදරා මහ රහත් තෙරණින් වහන්සේගේ උත්තම ධාතූන් වහන්සේලා නිධාපිත ධාතු සෑය දිවමන් තෙරණියෝ යැයි සළකමින් වඳිමින්, උපස්ථාන කරමින්, මල් ගඳ සුවඳ දුමින් පුදමින්, ගුණ ගී කියමින්, භේරි සංඛ නාදයන්ගෙන් උපහාර පුදමින් බෝහෝ පින් රැස් කර ගත්හ. බෝහෝ සත්වයෝ මරණින් මතු සුගති සැප සලසා ගත්හ. තවත් බොහෝ සත්වයෝ අමා මහ නිවන් සැපයෙන් සැනසී ගියහ.