යසෝදරා මහරහත් තෙරණි අපදානය - 02 වන කොටස

රාහුල කුමරු පැවිදි වූ විට යසෝදරාවෝ නැවතත් පැවිද්ද පිණිස සුදොවුන් නිරිඳුන්ගෙන් අවසර ඉල්ලා සිටියේය. එවිට නිරිඳු මෙසේ කීය.

“පුත, දැන් නුඹ පැවිදි වූවොත් දරු නැති ශෝකයෙන් පැවිදි වූවයි කියමින් අනාගතයේදී මිනිසුන් නුඹගේ පැවිද්දට දොස් කියනු ඇත.

නමුත් සිහිකරව මපුත, එදා ජාලිය කන්හජිනා දන්දෙද්දී මද්දී වූ නුඹ එය ඉවසා සිටියා නොවේද? නුඹ කුසින් වැදූ දරුවන් දන්දෙද්දී උන්ගේ දෑත් බැඳී වර පට පමණක් මේ සිනේරු පර්වත රාජයාට වඩා වැඩි නොවේද? ඒ කිසිකලකත් නුඹ දොම්නස් නොවුනු වග බුදු මුවින්ම වදාලා නුඹට අමතකද?

දැන් මාගේ සිද්ධාර්ථ කුමරුවාණෝ සම්බුද්ධත්වය ලබා අර්ථ සිද්ධියට පැමිණ සකළ ලෝවාසීන් සිය දරු කොට සලකද්දී, තමන්ගේම ලෙයින් උපන් දරුවාණෝ ද මහණ කරගත් තැනේ දී මම් කෙසේ නුඹවත් අහිමි කර ගන්ටද?

මපුත, මේ එයට කාලය නොවේ. නුඹගේ පැවිද්ද නිසි කාලයේදී සිදුවන තෙක් නුඹ ඉවසා සිටිය මැනව.”

ඉන් මෑත බාගයේදී සුද්ධෝදන නිරිඳුන් දළපුඩු සේසත් නංවා තිබෙද්දීම ධවල ඡත්‍රය යට දී අමාමහ නිවන් ලැබ පිරිනිවන් පෑ සේක.

එකල ප්‍රජාපතී ගෝතමී දේවී තොමෝ නැවත නැවතත් තමන්ගෙන් පැවිද්ද පිණිස අනුදනුවයි ඉල්ලා ඇවිටිලි කරනා යසෝදරාවන් හට මෙසේ කීහ.

“පුතන්ඩ, නුඹ අප පුතණුවෝ මාළිගයේ සිටිද්දීත් නුඹට අතිශයින්ම වල්ලභව සිටිද්දීත් මුහුණ බලා වචනයකට දෙකකට වැඩියෙන් කතා නොකළ කල්හී දැන් නුඹ ඒ තුන් ලොවක් දිනා වදාල ධර්ම රාජන් වූ මපුතණුවන් ඉදිරියේ කෙසේනම් පැවිද්ද ඉල්ලා සිටින්ටද? නුඹ ගිහිකළ දී පවා එතරම්ම ගෞරවයක් දක්වද්දී දැන් නුඹ කෙසේනම් පැවිද්ද ඉල්ලා මාගේ බුදු පුතුන් ඉදිරියේ පැවිද්ද ඉල්ලා සිටින්ටද? මම් තෙවරක් ඉල්ලාත් කාන්තාවන් උදෙසා පැවිද්ද මපුතණුවන් විසින් ප්‍රතික්ෂේප කොට වදාල කල්හී, දැන් නුඹ විසින් පැවිද්ද ඉල්ලා සිටියහොත් ඇඹේණියට විශේෂයෙන් සළකා භික්ෂුණී බව දුන්නැයි ගරහා මනුෂ්‍යයෝ බොහෝ පවු කරගන්නවා ඇති. එනිසා පුත මොහොතක් ඉවසා සිටිය මැනව. මම් ප්‍රථමයෙන් ගොස් මපුතුගෙන් පැවිද්ද ඉල්ලා සිටින්නම්. මා පැවිද්ද ලත් කල නුඹ දෙවනුව පැමිණ පැවිද්ද ඉල්ලා සිටිනු මැනව”

මෙසේ යසෝදරාවන් මාළිගයෙහි නතර කරවා ප්‍රජාපතී ගෝතමී තොමෝ පන්සියයක් ශාක්‍ය කුල කතුන් සමග විශාලාව බලා පිටත්ව ගියහ. බුදුරජාණන් වහන්සේගෙන් අෂ්ඨ ගරුධර්ම ලද්දී ගෞතම සම්බුද්ධ ශාසනයේ ශික්ෂුණී පැවිද්ද ලදින් කල්යාමෙන් ‘අභිඥ්ඥාලාභී භික්ෂුණීන් අතර අග්‍ර බාවයට පත් වී වදාල සේක.

ප්‍රජාපතී දේවියගේ අභිනිෂ්ක්‍රමණයත් සමග යසෝදරාව මාළිගයේ තනි වූවාය. අප මහ බෝසතාණන් වහන්සේගේ අභිනික්මණින් රම්‍ය, සුරම්‍ය, සුභ මාළිගා ත්‍රිත්වයත්, එහි සතලිස් කෙලකට අධික නලු පිරිසත් සේවකාදීනුත් සහිත සියළු රජ සැපයන්ගේ උරුමය යසෝදරාව කරා ආයේය. පසුව සුදොවුන් නිරිඳුන්ගේ සියළු රාජ සම්පත්තීනුත්, මහාමායා දේවීන්ගේ සහ ප්‍රජාපතී ගෞතමියගේ සියළු ආශ්චර්‍යයනුත්, නන්ද රාහුල කුමාරවරුන්ගේ සියළු ආශ්චර්‍යයනුත් තම සොයුරු දෙව්දතුන්ගේ සකල ආශ්චර්‍යයනුත් මහා සයුර වෙත ගලා බස්නා ගංගාවෝ සේ යසෝදරාවන් වෙතම ගලා ආවේය. ඒ සා මහත් සියළු ආශ්චර්‍යයන් ගෙලෙහි බන්දාලූ සර්ප කුණක් සේ බැහැර කළ ඕ තොමෝ දියෙහි උපන් පියුම දියෙහි නොතැවරී ඉහලින්ම පිපී ගන්නා සේ සියළු රාජශ්‍රීන්ගෙන් උදම් නොවී ඒවායේ නොබැස ගනිමින් සියල්ල මොහොතින් අත් හරිමින් දහසක් ශාක්‍ය කතුන් හා කිඹුල්වතින් විශාලාව බලා පියවර තැබුවෝ ය.

යසෝදරාවන් ගිහි සැප අත්හරිමින් පැවිදි සැප සොයා යන බව අසා ශාක්‍ය කෝලිය දෙනුවර වැසියෝ ඝෝෂා කරන්ට වන්හ. ඉවුර ඉක්මවා කඩා බසිනා සයුරු රළ ගෙඩි සේ ඔවුහු යසෝදරාවන් හා දහසක් කතුන් පිටුපස දිව එමින් හඬා වැලපෙන්ට ගත්හ. ඇතැම්හු ‘ අනේ දේවීනී අපේ රථයෙන් වඩිනු මැනව… අපේ රථයෙන් වඩිනු මැනවයි’ යි ඇත් අස් වාහන රැගෙන හඹා ආවෝය. තවත් පිරිස් නා නා ඛාද්‍ය භෝජනයෝ රන් බඳුන්හි ලාගෙන ඈ එන පෙරමගට දිව ආවෝය. තවත් පිරිස් කෙහෙ පිට මැද කඩා හෙලා ළෙහි අත් පැහැර හඬා වැටෙමින් යසෝදරාවන්ගේ පා අල්ලා හඬමින් ඈ වළක්වා ගන්ට උත්සාහ කළෝය. පැවිදි නොවී සිටිද්දීම, අරහත්වයට පත් නොවී සිටිද්දීම යසෝදරාවන් උදෙසා මහ දන් සැකසින. වෙහෙර විහාර ගොඩ නැගින. මහ පිරිස් ඈ පිරිවරා ගත්හ. මනුලොව පසුකරමින් සදෙවු ලෝ පසුකරමින් බඹ ලෝ දක්වා ඇගේ යසෝරාවය ඒක නින්නාද වී ගියේය. සැබවින්ම එහි ඇති අමුතු අසිරියක් නැත්තේය. අසංඛෙ‍ය්‍ය කල්ප  සතරකුත් කල්ප ලක්ෂයක් පුරාවට මහ බෝසතාණන් වහන්සේ අසල නිඹඳ සරනා සෙවනැල්ල සේ එක සිතින් පැමිණී යසෝදරාවන් උදෙසා එවන් වූ පෙළහරක නොවුනානම් ය පුදුමය.

මහ බෝසතාණෝ මහ දන් දෙද්දී ඒ දන් උයා දුන්නී ඇය ය. දන් දෙන්ට පරිෂ්කාර මදි වෙද්දී තමා සතු සියළු ආභරණත් සකල සේසතත් අබ ඇටයක තරමින්වත් නොසඟවා සියල්ල දන් දුන්නී ඈ ය. දරු දන් දෙද්දී, අන්‍ය හිමි හට තමා දන් දෙද්දී, භාර්‍යා කොට දන් දෙද්දී, දාස කොට දන් දෙද්දී සාධුකාර දුන්නී ඈය. සිය හිමි බඹසර සිල් රකිද්දී වනයේ බවුන් වඩද්දී උපස්ථාන කෙරුවෝ, තමා ද සිල් රකිමින් ගුණදම් වැඩුවෝ ඈය. හිමිසඳු තමා හැරදා වන වදිද්දී පතිවෘතා ධර්මයන් රකිමින් පෙහෙවස් රකිමින් හිමිසඳු පිදුවෝ ඈය. සපත්නී රොෂ්ණයට හසු නොවී ඊර්ෂ්‍යා ක්‍රෝධ විරහිත සිතින් විසුවෝ ඈය. ඉදින් මෙවන් පිදුම් ඈ හැර අන් කවරෙක්නම් ලබන්ට සුදුසු වෙත්ද?

යසෝදරාවන් හා දහසක් ශාක්‍ය කුමාරියන් ප්‍රජාපතී තෙරණින් වහන්සේ ලඟ පැවිදි බව ලැබූහ. මහා ප්‍රජාපතී තෙරණින් වහන්සේ යසෝදරා මෙහෙණ භාග්‍යවතුන් වහන්සේ ලඟට ගැඳවා ගිය සේක. බුදුරජාණන් වහන්සේ මෙසේ වදාල සේක.

“පින්වත් රාහුල මාතාවෙනි, බුද්ධෝත්පාදය දුර්ලභයහ. ක්ෂණ සම්පත්තිය දුර්ලභයහ. බුද්ධ දර්ශනය දුර්ලභයහ. මනුෂ්‍යත්වය දුර්ලභයහ.  ප්‍රව්‍රජ්‍යාව දුර්ලභයහ.  සද්ධර්ම ශ්‍රවණය දුර්ලභයහ. එනිසා අප්‍රමාදීව ත්‍රිවිද ශික්ෂාවන්හි හැසිරෙව”

බුද්ධාවවාදයන් ඒ ආකාරයෙන් සාධුකාර දී පිළිගත් යසෝදරා තෙරණියෝ විදසුන් වැඩුවාය. ධර්මයට දිවි පුදමින් දහමෙහි හැසිරුණා ය. සකලක්ලේෂයන් ප්‍රහාණය කරමින් දෙපෝයක් ඇතුළත උතුම් අරහත්වයට පත්වී, අභිඥ්ඥාලාභී භික්ෂුණීන් අතර අග්‍රස්ථානයට පත් වෙමින් ගෞතම සසුන් ගගන තලයේ ඕෂධී තාරකාව වූහ.