මහා උම්මග්ග ජාතකය
අතීතයෙහි මිථිලා නුවර වේදේහ නම් රජු රාජ්‍යය කරන කල්හි ඔහුට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නා වූ පණ්ඩිතයෝ සතර දෙනෙක් වූහ. සේනක, පුක්කුස, කාවින්ද, දේවින්ද යන සතර දෙනා ය. එකල්හි රජතෙමේ බෝධිසත්ත්වයන් පිළිසිඳ ගන්නා දිනයේ උදෑසන මෙබඳු සිහිනයක් දුටුවේ ය.
‘රජගෙදර මිදුලෙහි සිව් කොණෙහි ගිනිකඳු සතරක් මහා ප්‍රාකාරයක ප්‍රමාණයෙන් පැන නැගී දිළිසෙයි. එහි මැද කනාමැදිරියෙකු ප්‍රමාණ වූ ගින්නක් භටගෙන ඒ මොහොතේදීම ගිනිකඳු සතරම මැඩගෙන බඹලොව තෙක් පමණ නැගීසිට මුළු සක්වල බබුලුවා සිටියේ, බිම වැටුනු අබ ඇටයක් පවා පෙනෙයි. දෙවියන් සහිත ලෝකයා මල්මාලා සුවඳ වර්ගාදියෙන් පුදත්, මහජනයා ගිනිදැල් අතරෙන් ඇවිදිති. රෝම කූප මාත්‍රයකුදු උණුසුමක් නොදැනේ.’
රජු මේ සිහිනය දැක බිය වී තැතිගත්තේ නැගිට කුමක් නම් වන්නේදැයි සිතමින් සිටින අතර අරුණාලෝකය උදාවිය…….
උදුම්බරා දේවිය වනාහි, ‘අනිත් අය පණ්ඩිතයන් නිසා ප්‍රශ්නය අවබෝධ කරගත් බව සිතා රජු විසින් වෙනසක් නොකරන්නේ, පස් දෙනාට ම සමව සත්කාර කළේ ය. මාගේ කණිටු බෑයාට විශේෂ සැලකිල්ලක් කරන්නට වටනේ ය’ යි සිතා රජු සමීපයට ගොස් විචාළේ ය.
“දේවයිනි! ඔබට කවුරු විසින් ප්‍රශ්නය කියන ලද්දේ ද?”
“සොඳුර, පණ්ඩිතයන් පස්දෙනා විසින්ම ය”
“දේවයිනි! සතරදෙනා ඒ ප්‍රශ්නය පණ්ඩිතයන් නිසා ම දැන ගත්හ”
“සොඳුර, එය මම නොදනිමි”
“මහරජ! ඔබතුමන් කුමක් දන්නේ ද? පණ්ඩිතයෝ වනාහි මේ මෝඩයන් නොනසත්වා’යි ඔවුන්ට ප්‍රශ්නය ඉගැන්වූහ. ඔබතුමා සියල්ලන්ට ම සමාන සැලකිලි දක්වයි. මෙය අයුතු ය. පණ්ඩිතයන්ට විශේෂයක් කළ යුතු ය”……
…… රාජ පුරුෂයෝ ද ඒ රජවරුන්ට ඒ පුවත සැළ කළහ. බ්‍රහ්මදත්ත තෙමේ ‘මෙබඳු වූ මේ විෂ යෙදීමකට බාධා කළේ ය’ යි කිපියේ ය. රජවරු ද ‘අපට ජයපැන් බොන්නට ඉඩ නුදුන්හ’ යි කිපුනාහ. බලසේනාවෝ ද ‘අපට නොමිලේ ලැබෙන්නට තිබුණු සුරාව බොන්නට නොලැබිනැ’ යි කිපියහ.
බ්‍රහ්මදත්ත රජතෙමේ ද අනිත් රජවරුන් අමතා, “එන්න, ඔබලා ‘මියුළු නුවරට ගොස් වේදේහ රජුගේ හිස කඩුවෙන් සිඳ පාදයෙන් මැඩගෙන ජයපැන් බොන්නෙමු’ යි සේනාවට ගමන් සුදානම් කරන්නැ” යි කියා නැවත රහසිගතව කේවට්ටයා ද ඒ කාරණය කියා “අපගේ මෙබඳු වූ සැලසුමකට හානිකරන සතුරා අල්ලා ගන්නෙමු’ යි එක්සියයක් රජදරුවන්ට දහඅට අක්ෂෞභිණීයක් සේනාව පිරිවරාගෙන ඒ නගරයට යන්නෙමු. ඇදුරුතුමනි. එන්න” යැයි කීය……..
….. එය අසා මහා සත්ත්වයෝ මෙසේ සිතූහ. “මා අකමැති වුවත් රජු යන්නේ ය. ගොස් ද වහා විනාශයකට පත්වන්නේ ය. ඉක්බිති මට මෙබඳු වූ යසඉසුරු සම්පත් දෙන රජුගේ වචනය සිතේ තබාගෙන ඔහුට උපකාරයක් නොකළේ යැයි නින්දාවක් වන්නේ ය. මා වැනි පණ්ඩිතයන් සිටින කල්හි කුමක් නිසා මොහු නැසෙන්නේ ද? රජුට පළමු ගොස් චූළනී රජුව දැක මනාව කොටස්කර වේදේහ රජුට නතරව සිටින නගරයක් මවා ගව්වක් පමණ සුළු උමඟක් ද අඩ යොදුනක් පමණ මහා උමඟක් ද කරවා චූළනී රජුගේ දියණිය අභිෂේක කොට, අපගේ රජතුමාට බිරිඳ කොට අටළොස් අභිණීයක් බලසේනා හා එක්සියයක් රජුන් පිරිවරාගෙන සිටිනා වූ අපගේ රජතුමාව රාහු මුඛයෙන් චන්ද්‍රයාව මෙන් මුදවා ගෙන ඒම නම් මට භාර ය”……
පංචාලචණ්ඩි දේවිය රජුට ප්‍රියමනාප වූවා ය. ඕ දෙවන වර්ෂයේ දී පුතකු බිහිකළා ය. ඔහුගේ දසවන වසරේ දී වේදේහ රජු මිය ගියේ ය. බෝධිසත්ත්වයෝ ඔහුට සේසත ඔසවා “දේවයන් වහන්ස, මම ඔබගේ මුතුන් රජ්ජුරුවන් වන චූළනී රජු ලඟට යන්නදැ” යි විචාළේ ය.
“පණ්ඩිතය, වයසින් බාල වූ මා අතහැර නොයන්න. මම ඔබව සතුටු කර සත්කාර කරන්නෙමි” කීය.
පංචාලචණ්ඩිය ද “පණ්ඩිතයෙනි! ඔබ ගියකල්හි අපට වෙන පිළිසරණක් නැත. නොයන්න” කීය………