මහා උම්මග්ග ජාතකය

2 වන කොටස

උදුම්බරා දේවිය වනාහි, ‘අනිත් අය පණ්ඩිතයන් නිසා ප්‍රශ්නය අවබෝධ කරගත් බව සිතා රජු විසින් වෙනසක් නොකරන්නේ, පස් දෙනාට ම සමව සත්කාර කළේ ය. මාගේ කණිටු බෑයාට විශේෂ සැලකිල්ලක් කරන්නට වටනේ ය’ යි සිතා රජු සමීපයට ගොස් විචාළේ ය.

“දේවයිනි! ඔබට කවුරු විසින් ප්‍රශ්නය කියන ලද්දේ ද?”

“සොඳුර, පණ්ඩිතයන් පස්දෙනා විසින්ම ය”

“දේවයිනි! සතරදෙනා ඒ ප්‍රශ්නය පණ්ඩිතයන් නිසා ම දැන ගත්හ”

“සොඳුර, එය මම නොදනිමි”

“මහරජ! ඔබතුමන් කුමක් දන්නේ ද? පණ්ඩිතයෝ වනාහි මේ මෝඩයන් නොනසත්වා’යි ඔවුන්ට ප්‍රශ්නය ඉගැන්වූහ. ඔබතුමා සියල්ලන්ට ම සමාන සැලකිලි දක්වයි. මෙය අයුතු ය. පණ්ඩිතයන්ට විශේෂයක් කළ යුතු ය”

රජු, තමා නිසා ඔවුන් ප්‍රශ්නය දැනගත් බව පණ්ඩිතයන් නොකියූ බව අසා පණ්ඩිතයන් කෙරෙහි සතුටුව අතිරේක ලාභ සත්කාර කරනු කැමැත්තේ මෙසේ සිතී ය.

“වේවා! මගේ පුත්‍රයාගෙන් එක ප්‍රශ්නයක් අසා එය කියන ලද කල්හි මහා සත්කාර කරන්නෙමි”

හෙතෙම ප්‍රශ්නය සිතන්නේ සිරිමන්ද ප්‍රශ්නය ගැන සිතීය. සිතා එක් දිනක් පණ්ඩිතයන් පස්දෙනා සේවයට පැමිණ සුවසේ සිටිය කල්හි ‘සේනකගෙන් ප්‍රශ්නය විචාරමියි’ කීවිට “දේවයන් වහන්ස! අසන්න” යැයි කීය. රජතුමා සිරිමන්ද ප්‍රශ්නයේ පළමු ගාථාව කීය.

“සේනකය! ප්‍රඥාවෙන් යුක්ත වූ සම්පත්තියෙන් තොර වූත්, සම්පත්තියෙන් යුත් ප්‍රඥාවෙන් තොරවූත් යන මේ දෙදෙනා අතුරින්, නුවණැත්තෝ කවරකු උතුම්කොට සලකන්නාහුද?’ යි මෙහි අර්ථය විචාරමි”

මේ ප්‍රශ්නය වනාහි සේනකයන්ගේ පරපුරෙන් ආ එකකි. ඔහු විසින් වහාම මෙසේ කීය.

“මහරජ! නුවණ ඇත්තෝ ද නුවණ නැත්තෝ ද ශිල්ප හදාළ අය ද ශිල්ප නොහදාළ අය ද උසස් ජාති ඇත්තෝ ද හීන ජාති ඇත්තෝ ද සම්පත් ඇත්තාගේ මෙහෙකරුවෝ වෙත්. මේ කරුණ දැක මම නුවණැත්තේ හීන යයි ද සම්පත්තියෙන් යුක්ත වූයේ උතුම් යයි ද කියමි”

රජු ඔහුගේ වචනය අසා ඉතිරි තුන්දෙනා නොවිමසාම පිරිසේ නවකයා ලෙස සිටියා වූ මහෞෂධ පණ්ඩිතයන්ට කීය.

“මහා ප්‍රාඥ වූ සියළු ධර්ම දක්නා වූ මහෞෂධය! තොපගෙන් අසමි. අඥාන වූ එහෙත් සම්පත් ඇත්තා වූ ද ප්‍රඥාවෙන් යුක්ත වූ එහෙත් අල්ප සම්පත් ඇත්තා වූ ද දෙදෙනා අතුරෙන් කවරෙක් උතුම්දැයි නුවණැත්තෝ කියත් ද?”

ඉක්බිති මහා සත්ත්වයන් වහන්සේ “එසේ නම් මහ රජතුමනි, අසන්න” යැයි කීවේ ය.

“මෙලොව සම්පත් උතුම් ය කියා සලකන බාලයා පව්කම් කරයි. මෙලොව දක්නා වූ පරලොව නොදක්නා වූ අඥානයා දෙලොවින්මැ පරාද වෙයි. මේ කාරණය දැක නුවණැත්තේ ශ්‍රේෂ්ඨ යැයි ද යසසින් යුක්ත වූ ඤාණයෙන් හීන වූයේ ශ්‍රේෂ්ඨ නොවේ යැයි මම කියමි”

මෙසේ කී කල්හි රජු සේනක දෙස බලා “මහෞෂධයන් ප්‍රඥාවන්තයා උතුම් යයි කියන්නේ නොවේදැ?” යි කීය.

“මහරජතුමනි! මහෝෂධ තෙමේ බාලයා ය. අදද ඔහුගේ මුවින් කිරි සුවඳ හමයි. මොහු කුමක් දන්නේද?”

“මේ ශිල්ප ශාස්ත්‍රයන්ගෙන් භෝග නොලැබේ. ඤාතීහු ද නොවෙත්. ශරීර අවකාශයෙක් ද නොවේ. කෙළතොලු වැ සුව විඳින ගෝරිමන්ද සිටාණන් බැලුව මැනවි. ශ්‍රී කාන්තාව ඔහුව ඇසුරු කරයි. මේ දැක නුවණැත්තා ශ්‍රේෂ්ඨ නොවෙයි. සම්පත් ඇති අඥානයා උතුම්යයි කියමි”

(මෙහි, ‘ගෝරිමන්ද’ වනාහි ඒ නගරයේ ම අසුකෝටියක් සම්පත් ඇති සිටුවරයා ය. විරූපීය. ඔහුට පුත්‍රයෙක් නැත. දුවක් නැත. කිසි ශිල්පයක් නොදනී. කථා කරන විට ඔහුගේ කට දෙකෙළවරින් කෙළ වැගිරෙයි. දෙවඟනන් බඳු කාන්තාවෝ දෙදෙනෙක් සියළු අබරණින් සැරසී පිපුණු නිලුපුල් ගෙන දෙපසට වී ඒ කෙළ නිලුපුල් වලින් පිසදමා ඒ මල් ඉවත දමත්. සුරා සොඬහු අවන්හළට පැමිණ නිලුපුල් වලින් වැඩක් ඇතිකල්හි ඔහුගේ ගේ දොරකඩට ගොස් “ස්වාමීනි! ගොරිමන්ද සිටුතුමාණනි” යි කියත්. ඔහු ඔවුන්ගේ හඬ අසා සුළං කවුළුව ලඟ සිට “කිම දරුවෙනි?” කියා අසයි. ඉක්බිති ඔහුගේ මුවින් කෙළ වැගිරෙයි. ඒ ස්ත්‍රීහු එය නිලුපුල් වලින් පිසදමා නිලුපුල් ඇතුල් වීදියට විසිකරත්. සුරා ධූර්තයෝ ඒවා රැගෙන ජලයේ දමා සෝදා පැළඳගෙන අවන්හළට පිවිසෙත්. මෙබඳු සිරි සම්පත් ඇත්තේ විය. සේනක තෙමේ ඒ උදාහරණය ගෙනහැර දක්වමින් මේ ගාථාව කීය)

එය අසා රජ තෙමේ, “දරුවෙනි! මහෞෂධ පඬිතුමා කුමක් සිතත් ද?” යි කීය.

පණ්ඩිතයෝ, “දේවයන් වහන්ස, සේනක කුමක් දනීද? බත්ඇට විසුරුවන ලද තැනක සිටින කාකයකු මෙන් ද, දීකිරි බීමට පටන්ගත් සුනඛයකු මෙන් ද, යසසම පතයි. හිසට වදින මහා මුගුර නොදකී. දේවයන් වහන්ස, මෙය අසන්නැ” යි මේ ගාථාව කීය.

“අල්ප ප්‍රාඥයා ඉසුරු සුවය ලැබ එහි ඇලේ. දුක් ස්පර්ශයෙන් අතිශය මුලාවට පැමිණේ. ආගන්තුක සුව දුකින් පහස්නා ලද්දේ අව්වෙහි ලූ මසකු සෙයින් සැලේ, මම මේ කරුණ දැක නුවණැත්තේ ම උතුම් වේ, ඉසුරුමත් බාලයා උතුම් නොවේ යයි සිතමි”

එය අසා රජු “ආචාර්යයෙනි, කෙසේදැ” යි ඇසීය.

සේනක තෙමේ “දේවයන් වහන්ස! මොහු කුමක් දනීද? මනුෂ්‍යයන් පිළිබඳව කවර කථාද? වනයේ හටගත් වෘක්‍ෂය පවා ඵල ඇත්තේ ම පක්‍ෂීහු සේවනය කරත්” යැයි මේ ගාථාව කීය.

“වනයෙහි මිහිරි ඵලයන්ගෙන් යුක්ත වූ වෘක්‍ෂය හාත්පසැ යම්සේ පක්‍ෂීහු හැසිරෙත් ද එසේ ම ආඪ්‍ය වූ ධනයෙන් හා භෝගයෙන් යුක්ත පුද්ගලයා ද ධනය නිසා බොහෝ දෙන සේවනය කරති. මේ කරුණ දැක මම ප්‍රඥා ඇත්තා හීනය. යසස් ඇත්තේ ම උතුම්මැයි කියමි”

ඒ අසා රජු “දරුවෙනි. කෙසේදැ” යි ඇසීය.

පණ්ඩිතයා “මේ මහා උදර ඇත්තා කුමක් දනීද? දේවයනි! අසන්න” යැයි මේ ගාථාව කීය.

“බලවත් වූ බාලයා යහපත් නොවේ. හේ සැහැසිකමින් ධනය ලබයි. වැළපෙන්නා වූ ඒ මෝඩයාව මහා නිරයට පමුණුවත්. මම මේ කරුණ දැක නුවණැත්තේ ම උතුම් වෙයි. ඉසුරුමත් බාලයා උතුම් නොවේ යයි කියමි”

නැවත සේනක තෙමේ, රජු විසින් ‘සේනකය කෙසේදැ’ යි කී කල්හි මේ ගාථාව කීය.

“යම්සේ කුඩා නදීහු මහා ගංගාව කරා ගලාබසිත්ද ඒ සියල්ලෝ පෙර නම්ගොත් හැරදමත්, ගඟ මුහුදට වදනා කල්හි ද කලින් පැවැති නම් නොපැනෙයි. ඒකාන්ත ඇත්තාහ. මම මේ කරුණ උතුම්යැයි කියමි”

නැවත රජු “පණ්ඩිතයෙනි, කෙසේදැ” යි ඇසීය. හෙතෙම “මහරජ, අසන්න” යයි කියා මේ ගාථා දෙක ප්‍රකාශ කළේ ය.

“තෙපි යම් මේ මහා සාගරයක් ගැන කීහුද? එයට අප්‍රමාණ කාලයක් මුළුල්ලේ නදීහු ගලා බසිත්. ඒ සාගරය නිරතුරු මහත් වූ රළ වේග ඇත්තේ ය. එහෙත් මහසයුර වෙරළ නොඉක්මවයි. එබැවින් බාලයාගේ කථා, ප්‍රාඥයා නොඉක්මවයි. කිසි කලෙකත් සම්පත්තිය ප්‍රඥාව ඉක්මවා නොයයි. මම මේ කරුණු දැකැ ප්‍රාඥයා ම උතුම් වෙයි. ඉසුරුමත් බාලයා උතුම් නොවේ යයි කියමි”

ඒ අසා රජු “සේනක කෙසේදැ” යි ඇසීය. හෙතෙම “රජතුමනි, අසන්න” යැයි මේ ගාථාව කීය.

“කාය ආදියෙහි සංයමයක් නැත්තේ ද ඉසුරුමත් තැනැත්තේ අධිකරණයේ සිටියේ අනුන්ගේ අර්ථය ප්‍රකාශ කෙරෙයි. ඤාති මධ්‍යයේ දී ඔහුගේම වචනය පිළිගැනෙයි. එය සම්පත්තිය ම කරවයි. ප්‍රඥාව නොවේ. මම මේ කරුණ දැක නුවණැත්තේ හීනය. යසස් ඇත්තේම උතුම් වන්නේ යැයි සිතම්”

නැවත රජු විසින් “කිම දරුව?” කියා කී කල්හි පණ්ඩිතයෝ, “දේවයන් වහන්ස! අසන්න.  මේ බාල සේනකයා කුමක් දනීදැ” යි කියා මේ ගාථාව කීය.

“මන්දප්‍රාඥ වූ බාලයා තමා හෝ අනුත් හෝ උදෙසා බොරු කියයි. සබා මැද නින්දා ලබන හෝ පරලොවැ දුගතිගාමී වෙයි. මම මේ කරුණ දැක නුවණැත්තේම උතුම් වන්නේ ය. ඉසුරුමත් බාලයා උතුම්
නොවන්නේයැයි කියමි”

ඉක්බිති සේනක මේ ගාථාව කීය.
“සහල් නැළියක් පමණකුදු නැති නිර්ධන දිළින්දා, මහ නුවණැත්තේ මුත් ඉදින් නෑයන් මැද යමක් කියයි ද ඔහුගේ ඒ වචනය නෑයන් නොඅසත්, නුවණ නැත්තේ මුත් සෞභාග්‍යයමත් වූ ඉසුරුමත් තැනැත්තාගේ වචනය සියල්ලෝම අසත්. මම මේ කරුණ දැක නුවණැත්තේ හීනය. ඉසුරුමත් තැනැත්තේ ම උතුම් වන්නේයයි කියමි”

නැවත රජු විසින් “කෙසේද දරුව?” කියා ඇසූ කල්හි පණ්ඩිතයෝ, “සේනකයන් කුමක් දන්නේද, මෙලොව පමණක් බලයි. පරලොව ගැන නොබලයි” කියා මේ ගාථාව කීය.

“තමාගේ හෝ අනුන්ගේ හෝ ප්‍රයෝජනය උදෙසා නුවණැත්තේ බොරු නොකියයි. හේ සභා මධ්‍යයෙහි පූජිත වෙයි. පරලොව ද සුගතිගාමී වෙයි. මම මේ කරුණ දැක නුවණැත්තේම උතුම් වන්නේය. ඉසුරුමත් බාලයා උතුම් නොවන්නේයයි මම කියමි”

ඉක්බිති සේනක තෙමේ මේ ගාථාව කීය.
“ඇත් ගව අස් යන සත්ත්වයෝ ද මාණික්‍ය කුණ්ඩලාභරණයෝ ද සමෘද්ධිමත් කුලයන්හි කාන්තාවෝ ද ඉසුරුමත් නොවූ සියල්ලෝ ද ඉසුරුමත් තැනැත්තාටම උපභෝග පිණිස පවත්නාහ. මම මේ කරුණ දැක ප්‍රාඥයා නිහීනයැ ඉසුරුමත් තැනැත්තේ ම උතුම් වන්නේ යයි කියමි.”

ඉක්බිති පණ්ඩිතයා “මොහු කුමක් දන්නේ ද?” කියා එක් කරුණක් ගෙනහැර දක්වමින් මේ ගාථාව කීය.
“අසංවිහිත කර්මාන්ත ඇති දුෂ්ට මන්ත්‍රණයෙන් යුත් මන්ත්‍රීන් ඇති දුෂ්පාඥ බාලයා, උරගයකු පැරණි හැව හරණා සේ ශ්‍රී කාන්තාව අත්හරියි. මම මේ කරුණ දැක නුවණැත්තේම උතුම් වන්නේය. ඉසුරුමත් බාලයා උතුම් නොවන්නේ යයි කියමි”

ඉක්බිති සේනක තෙමේ රජු විසින් “කෙසේදැ” යි කී කල්හි, “රජතුමනි, මේ ලාබාල තරුණයා කුමක් දනීද, අසන්නයැ” යි පණ්ඩිතයන් නූගතකු කරන්නෙමි’ යි සිතා මේ ගාථාව කීය.

“ස්වාමීනි! පණ්ඩිත වූ අපි පස්දෙන, සියල්ලෝම වැඳගෙන ඔබ වෙත එළඹියෙමු. භූතයන්ට අධිපති වූ ශක්‍ර දේවේන්ද්‍රයා සේ ඔබ අප මැඩගෙන ඉසුරුමත්ව සිටින්නෙහි ය. මේ කරුණ දැක මම ප්‍රාඥයා හීනය. ඉසුරුමත් තැනැත්තේ ම උතුම් වන්නේ යැයි කියමි.”

මෙය අසා රජු, “සේනකයන් විසින් මනා ලෙස කරුණු ඉදිරිපත් කරන ලදි. කිම මාගේ පුත්‍රයා මොහුගේ වාද බිඳ දමා වෙන කරුණක් ඉදිරිපත් කරන්නට හැකිවන්නේද?” කියා සිතා “පණ්ඩිතයෙනි! කෙසේද?” කියා ඇසීය.

මේ කාරණයෙහිලා සේනකයන් විසින් ගෙනෙන ලද වාද කරුණු බිඳ දමන්ට බෝධිසත්ත්වයන් හැර වෙන කෙනෙක් සමත් නොවන්නේ ය. ඒ නිසා මහා සත්ත්වයන් වහන්සේ තමන්ගේ ඤාණ බලයෙන් ඔහුගේ වාද බිඳ හෙළන්නේ,

“මහරජතුමනි! මේ බාලයා කුමක් දනීද? කීර්තියම බලයි. මොහුට ප්‍රඥාවගේ විශේෂත්වයක් නැත. මහරජතුමනි. අසන්න.

නුවණැත්තන් විසින් කළ යුතු යමක් උපන් කල්හි ඉසුරුමත් බාල තෙමේ නුවණැත්තාගේ ගැත්තකු බවට පත්වෙයි. නුවණැත්තා දක්‍ෂ ලෙසින් යමක් සංවිධානය කෙරේ ද එහිලා අඥානයා මහත් සේ මුළාවට පත්වෙයි. මම මේ කරුණ දැක නුවණ ඇත්තේ ම උතුම් වන්නේය. ඉසුරුමත් බාලයා උතුම් නොවන්නේ යයි කියමි”.

මෙසේ සිනේරු පර්වතපාදයෙන් ස්වර්ණමය වැලි මතු කරන්නාක් මෙන්, ගගන තලයෙහි පූර්ණ චන්ද්‍රයාව මතු කරන්නාක් මෙන් කරුණු දැක්වීය.

මෙසේ මහා සත්ත්වයන් ප්‍රඥාවේ බලය පෙන්වා කී කල්හි රජු සේනකගෙන් ඇසීය. “කෙසේද සේනකයිනි! හැකිනම් පිළිතුරක් දෙන්න.

ඔහු ගබඩාවෙහි තබන ලද ධනයක් මෙන් උගත් දෙය අවසන් කර ප්‍රතිභානයෙන් තොර වූයේ නිහඬ වූයේ සිතිවිලි සිතමින් හුන්නේ ය. එසේ නමුත් ඔහු වෙනත් කරුණක් ගෙනහැර දක්වන්නේ ද ගාථා දහසකින්වත් මේ ජාතක කථාව නිමාවන්නේ නැත. යමෙක් ඔහු නොවැටහී සිටිය කාලයෙහි ගැඹුරු ජලකඳක් හෙලන්නාක් මෙන් මහා සත්ත්වයන් වහන්සේ තවදුරටත් ප්‍රඥාවම වර්ණාත කරමින් මේ ගාථාව කීය.

“ඒකාන්තයෙන් සත්පුරුෂයන් විසින් නුවණම පසස්නා ලද්දේ ය. සම්පත්ති අන්ධබාල මනුෂ්‍යයෝ ඇලුණාහු වෙති. එහෙයින් ශ්‍රීකාන්ත තොමෝ ඔවුන් කැමැති වෙයි. බුද්ධිමතුන්ගේ ඥානය අසමාන වන්නේ ය. ශ්‍රී තොමෝ කවර කලෙකත් පුඥා ඇත්තහු ඉක්ම නොයයි”

එය අසා රජු, ප්‍රශ්න විසඳීම පිළිබඳව මහා සත්ත්වයන්ට සතුටුව ඝන වර්ෂාවක් වසින්නාක් මෙන් මහා සත්ත්වයන් වහන්සේව ධනයෙන් පූජා කරන්නේ මෙසේ කීය.

“නිවැරදි සේ ධර්මය දක්නා වූ මහෞෂධ පණ්ඩිතය! අපි යමක් විචාළමෝ නම් අපට එය කීවහු ය. ප්‍රශ්න විසඳීම පිළිබඳව සතුටු වූ මම ගවයන් දහසක් ද හස්තිරාජයකු ද ආජානේය අශ්වයන් යෙදූ මේ රථ දසයද ගම්වර සොළසක්ද තොපට දෙමි”

එතැන් පටන් බෝධිසත්ත්වයන් වහන්සේගේ යසස විශාල විය. ඒ සියල්ල උදුම්බරා දේවියම විචාරයි. ඇය පණ්ඩිතයන්ගේ සොළොස්වන වියේ දී මෙසේ සිතුවා ය.

“මගේ බාල සොහොයුරා තරුණ විය. මොහුගේ යසස ද විශාල ය. මොහුට ආවාහයක් කළ යුතු ය”

ඇය රජුට ඒ බව දැන්වූවා ය. රජු ඒ අසා සොම්නසට පත්වූයේ “යහපති, ඔහුට දන්වන්ත” යැයි කීය. ඕ තොමෝ ඔහුට දක්වා ඔහු විසින් පිළිගත් කල්හි “එසේනම් දරුව, කුමාරිකාවක ගෙනෙමුයි” කීය. බෝධිසත්ත්වයන් වහන්සේ, “කිසි විටෙකත් මොවුන් විසින් ගෙනෙන ලද තැනැත්තිය මට රුචි නොවන්නේ ය. තමන් විසින්ම ඒ ගැන සිතා බලමියි” මෙසේ කීය.

“දේවියනි, දින කීපයක් රජුට කිසිවක් නොකියන්න. මම එක් දැරියක් මම ම සොයා මගේ කැමැත්ත තොපට කියන්නෙමි”

“මලණ්ඩ, එසේ කරන්න”

ඔහු දේවියට වැඳ තමන්ගේ ගෘහයට ගොස් සහායකයන්ට දැනුම් දී වෙනත් වෙසකින්, මැහුම් වැඩට උවමනා කරන උපකරණ ද ගෙන හුදෙකලාව උතුරු දොරටුවෙන් නික්ම උතුරු යව වැදුම්ගමට පිවිසියේ ය.

එකල්හි එහි පැරණි සිටුකුලයක් පරිහානියට ගියේ විය. ඒ කුලයේ අමරා දේවී නම් දියණිය රූමත් ය. සියළු අංග ලක්‍ෂණයන්ගෙන් යුක්ත ය. පුණ්‍යවන්ත ය. ඇය එදිනම උදයේ කැඳ පිසගෙන පියා කුඹුරු වැඩ කරන තැනට යන්නෙමි’ යි නික්ම එම මාර්ගයට ම පිවිසියේ ය.

එන්නා වූ ඇය දැක මහාසත්ත්වයන් වහන්සේ ‘දැකුම්කලු ස්ත්‍රියකි. ඉදින් ඇයට හිමියකු නොමැති නම් ඇය මාගේ බිරිඳ කරගැනීමට සුදුසුය‘ කියා සිතීය. ඇය ද ඔහුව දුටු පමණින් ‘ඉදින් මෙබඳු පුරුෂයකුගේ ගෙයි සිටින්නට ලැබේ නම් මා විසින් පවුල පවත්වාගෙන යන්නට හැකිවේ’ යැයි සිතීය.

ඉක්බිති මහා සත්වයන් වහන්සේ ‘මැයට හිමියකු සිටින හෝ නොසිටින බව නොදනිමි. හස්ත මුද්‍රාවෙන් ඇය විචාරමි. ඉදින් බුද්ධිමත් නම් එය තේරුම් ගන්නී‘ යයි සිතා දුරසිට ම අත මිට මෙළවී ය. ඕතොමෝ ‘මොහු මා සස්වාමික ද අස්වාමික ද යන බව විචාරයි’ සිතා අත දිගු කළේ ය.

ඔහු දැනගෙන ලඟට ගොස් “සොඳුරිය ඔබගේ නම කුමක්දැ?” යි ඇසීය.

“ස්වාමීනි! මම අතීතයේ හා අනාගතයේ හෝ වර්තමානයේ නැති ද එම නම ඇත්තීය”

“සොඳුර, ලෝකයෙහි නොමැරෙන්නාහු නම් නැත්තේය. ඔබ ‘ අමරා ‘ නම් වන්නීය”

“එසේය ස්වාමීනි”

“සොඳුර, කාටනම් කැඳ ගෙනයන්නීද?”

“ස්වාමීනි, පූර්ව දේවතාවන්ට”

“පූර්ව දේවතාවෝ නම් මව්පියවරුය. ඔබගේ පියාට ගෙනයන්නී යයි සිතමි”

“එසේය ස්වාමීනි”

‘ඔබගේ පියා කුමක් කරන්නේ ද?”

“එක දෙකක් කරයි”

“එකක් දෙකක් කිරිම නම් සීසෑමයි. සොඳුර, සීසායි”

“එසේය ස්වාමීනි”

“කවර තැනක ඔබගේ පියා සීසාන්නේද? “

“යම්කිසි තැනකට වරක් ගිය අය නැවත නොඑත්ද එතැනය”

“වරක් ගිය, නැවත නොඑන තැන නම් සොහොනයි. සොඳුර. සුසානය ලඟ සීසාන්නේද?”

“එසේය ස්වාමීනි”

“සොඳුර, අදම එනවාද?”

“ඉදින් ආවොත් නෝඑමි. නොආවොත් එන්නෙමි”

“සොඳුර, ඔබගේ පියා ගංඉවුරේ සීසායි. ජලය එන කල්හි නෝඑයි. නොඑන කල්හි එන්නේ ය”

“එසේය හිමියනි.”

මෙපමණක් කථාබහ කොට අමරාදේවිය “ස්වාමීනි. කැඳ බොන්නේදැ” යි ආරාධනා කළා ය.

බෝධිසත්ත්වයෝ මෙය ප්‍රතික්‍ෂේප කිරීම අමංගලයක් යැයි සිතා “එසේ ය. බොන්නෙමියි” කීය.

ඕ කැඳ කලය බිම තැබුවා ය. මහාසත්ත්වයෝ “ඉදින් අත් සෝදන්නට නොදී කැඳ  දෙන්නේ ද මෙහිම ඇයව අත්හැර යන්නෙමි” යි සිතීය.

ඇය වනාහි පාත්‍රයෙන් ජලය ගෙනැවිත් අත් සෝදන්නට දී හිස් පාත්‍රය අතේ නොතබා බිම තබා කලය සොළවා කැඳ වලින් පිරවීය.

එහි වනාහි බත් ඇට ස්වල්පයකි. ඉක්බිති ඇයට මහා සත්ත්වයෝ මෙසේ කීහ. “සොඳුර, කැඳ මෙතරම් ඝන ඇයි?”

“ස්වාමීනි, ජලය ලැබුනේ නැත”

“ගොවියන් විසින් ජලය නොලබන ලදැයි සිතමි”

“එසේය ස්වාමීනි”

ඇය පියාට කැඳ තබා මහා සත්ත්වයන්ට දුන්නා ය. ඔහු කැඳ බී කට සෝදා “සොඳුර, අපි ඔබගේ ගෙට යන්නෙමු. අපට මාර්ගය කියන්නැ” යි පැවසී ය. ඇය “එසේය”  කියා මාර්ගය කියන්නී මේ ගාථාව කීවා ය.

යෙන සත්තු බිළංගාච – දවිගුණ පලාසොව පුප්පාතො යෙනාදාමි තෙනවදාමි – යෙන නාදාමි න තෙන වදාමි එස මග්ගො යවමජ්ඣකස්ස – එකං ජනනපථං විජාභී

“ස්වාමීනි, යම් තැනක අත්සුණු සල්පිලක් ඇත්ද ඉන් ඔබ්බෙහි කැඳ සල්පිලක් ඇද්ද ඉනුත් ඔබැ සුපිපි කොබෝලීල ගසෙක් ඇත්තේය. එතැන් සිට යම් අතෙකින් අනුභව කරම්ද ඒ අතැ මහැ යන්නට කියමි. මේ යව මැදුම්ගමැ අපගේ ගෘහයට යන මාර්ගයයි. මේ සැඟවුනු මාර්ගය දැන ගන්නෙහිය”

ඕ තොමෝ ඔහුට මාර්ගය කියා පියාට කැඳ රැගෙන ගියාය.

ඔහු ඇය විසින් කියන ලද මාර්ගයෙන් ඒ ගෙදර ගියේ ය. ඉක්බිති ඔහුව අමරාදේවියගේ මව දුටු විට අසුනක් දී “ස්වාමි කැඳ පිළිගන්වමි”යි කීවා ය.

“මෑණියනි ! බාල සොහොයුරිය අමරා දේවිය විසින් කැඳ ටිකක් දෙන ලදී”

අමරාදේවියගේ මව, ‘පණ්ඩිතයෝ තම දියණිය වෙනුවෙන් ආවේ’ යැයි එයින් ම තේරුම් ගත්තා ය. මහා සත්ත්වයන් වහන්සේ ඔවුන්ගේ දුප්පත් බව දැනගෙන “මැණියෙනි! මම ඇඳුම් මසන්නෙක්මි, මැසිය යුතු කිසිවක් තිබේද?”යි ඇසී ය.

“ස්වාමීනි ඇත. නමුත් කුලිය දෙන්නට මුදල් නැත”

“මැණියෙනි! මුදල් වලින් වැඩක් නැත. ගෙනෙන්න. මසා දෙන්නෙමි”

ඇය දිරා ගිය කඩමාලු ගෙනැවිත් දුන්නා ය. බෝධිසත්ත්වයන් ගෙනා ගෙනා එක මසා නිම කළේ ය. පුණ්‍යවන්තයන්ගේ ක්‍රියාව නම් ඉටුවන්නේ ය. ඉක්බිති “මෑණියෙනි ! වීදියේ අන් අයටද කියන්න” යැයි ඔහු කීය.

ඇය මුළු ගමටම දැනුම් දුන්නා ය. මහා සත්ත්වයෝ මහණකම (ඇඳුම් මැසීම) කොට එක දවසින් දහසක් උපයා ගත්තේ ය. මැහැළිය ද ඔහුට උදෑසන බත ද පිස දී සවස “දරුව, කොපමණ ආහාර පිසම්දැයි” ඇසුවා ය.

“මෑණියෙනි! යම් පමණ පිරිසක් මේ ගෘහයෙහි අනුභව කරත්ද, ඒ අයට ප්‍රමාණවත් වනසේ යැ” යි කීය.

ඕ තොමෝ නොයෙක් ව්‍යංජනයන් හා බොහෝ බත් පිසුවා ය. අමරා දේවිය ද සවස හිසෙන් දරමිටියක් ද උකුලෙන් කොළ ද රැගෙන වනයෙන් අවුත් ඉදිරි දොරටුවේ දර දමා පසුපස දොරටුවෙන් ගෙට පිවිසියා ය. ඇගේ පියා ද බොහෝ සවස් වී ආවේ ය. මහාසත්ත්වයෝ බොහෝ රසයන්ගෙන් යුත් ආහාර අනුභව කළහ.

අනික් තැනැත්තිය (අමරා දේවිය) මව්පියන් වළඳවා තමන් පසුව අනුභව කොට මව්පියන්ගේ පා සෝදා මහා සත්ත්වයන්ගේ පා සේදී ය. හෙතෙම එය පරීක්ෂා කොට දවස් කීපයක් එහිම වාසය කළේ ය. ඉක්බිති ඇයව විමසන්නේ එක් දවසක් මෙසේ කීය.

“සොඳුර අමරාදේවිය! අඩනැළියක් පමණ සහල් ගෙන එයින් මට කැඳ ද කැවිලි ද බත් ද පිසන්න”

ඇය යහපතැයි පිළිගෙන ඒ සහල් කොටා ප්‍රධාන සහල්වලින් කැඳ ද, මධ්‍යම ප්‍රමාණයේ සහල් වලින් බත් ද සුනුසාල් වලින් කැවිලි ද පිස එයට ගැලපෙන ව්‍යඤ්ජන ද සපයා මහාසත්ත්වයන්ට බත් ව්‍යඤ්ජන සහිත කැඳ දුන්නේ ය.

කැඳ මුඛයෙහි තබනවාත් සමගම රසනහර පිනාගියේ ය. හෙතෙම ඇයව විමසීම සඳහාම, “සොඳුර, පිසන්නට නොදන්නී කුමක් සඳහා මාගේ සහල් විනාශ කළාදැ” යි කෙළ ගසා බිම හෙළී ය.

ඇය නොකිපී, “ඉදින් කැඳ යහපත් නොවේ නම් කැවිලි කන්න ස්වාමීනි” යැයි කියා කැවිලි දුන්නා ය. එය ද එසේම විය. කැවිලි මුඛයෙහි තබනවාත් සමගම රසනහර පිනාගියේ ය. හෙතෙම ඇයව විමසීම සඳහාම, “සොඳුර, පිසන්නට නොදන්නී කුමක් සඳහා මාගේ සහල් විනාශ කළාදැ” යි කෙළ ගසා බිම හෙළී ය. 

බත්වලට ද එසේම කොට “ඔබ පිසන්නට නොදන්නී මා සතු දේ කුමක් නිසා නැසී ද?” කියා කිපුනාක් මෙන් කෑම වර්ග තුනම එකට අඹරා හිසේ පටන් මුළු සිරුරෙහි තවරා දොරටුවෙහි සිටින්න යැයි කීවේ ය. ඕ තොමෝ නොකිපී “ස්වාමීනි, එසේයැයි” කියා එය කළා ය.

හෙතෙම ඇගේ නිහතමානී බව දැනගෙන “සොඳුර එන්න” යැයි කීය. ඕ තොමෝ එක වචනයෙන්ම ආවා ය. මහා සත්ත්වයන් වහන්සේ නුවරින් එද්දීම කහවණු දහසක් සමග එක් සළුවක් ද බුලත් පසුම්බියෙහි දමාගෙන ආවේ ය. හෙතෙම ඒ සළුව බැහැරට ගෙන ඇගේ අතේ තබා “සොඳුර, ඔබගේ සහායිකාව සමග නා මේ සළුව පොරවාගෙන එන්න” යැයි කීය. ඕ තොමෝ එසේ කළා ය.

පණ්ඩිතයෝ උපයාගත් ධනය ද ගෙනෙන ලද ධනය ද යන සියල්ල ඇගේ මව්පියන්ට දී ඔවුන් සනසා ඇයව ගෙන නගරයට ගොස් විමසීම සඳහා ඇයව දොරටුපාලයන්ගේ නිවසෙහි හිඳුවා දොරටුපාලයාගේ බිරිඳට කියා තමන්ගේ වාස භවනයට ගියේ ය. ගොස් පුරුෂයන් කැඳවා, ‘අසවල් ගෘහයෙහි කාන්තාවක් තබා ආවෝ වෙමු. මේ දහස ගෙන ඇය ගැන විමසා බලන්න’ යැයි දහසක් දී යැව්වේ ය. ඔවුහු එසේ කළහ.

ඕ තොමෝ ‘මෙය මාගේ ස්වාමියාගේ පා දූවිලි තරම්වත් නොවටී’ යැයි කැමැති නොවී ය. ඔවුහු ගොස් පණ්ඩිතයන්ට සැළ කළහ. නැවත ද තුන්වරක් යවා සතර වන වාරයෙහි ‘එසේ නම් අතින් අල්ලාගෙන ඇදගෙන එව’ යි කීය. ඔවුහු එසේ කළහ.

ඔවුහු ඇයව මහා සත්වයන් ඉදිරියට බලාත්කාරයෙන් ඇදගෙන ආහ. එවිට මහබෝසතුන් සියළු ආභරණයෙන් සැරැහී උතුම් අසුනේ වැඩ සිටි හෙයින් ඇයට හේ හඳුනාගත නොහැකි විය. ඇය මහා සත්ත්වයන් මහා සම්පත් ඇත්තකු බව නොදත්තා ය.

පළමුව, බලා සිනාසුනා ය. දෙවනුව හැඬුවා ය. හෙතෙම කරුණු විමසී ය. ඉක්බිති ඕ තොමෝ ඔහුට මෙසේ කීවා ය.

“ස්වාමීනි, මම ඔබගේ සම්පත්තිය බලා ‘මේ සම්පත්තිය අහේතුකව ලබන ලද්දේ නොවෙයි. පෙර භවයෙහි පින්කොට ලබන ලද්දේ වන්නේය. අහෝ! පින්වල පුදුමය’ කියා සිනහසුනෙමි, හඬන්නේ වනාහි ‘මේ අනුන් විසින් රකින ලද වස්තුවෙහි අපරාධකොට නිරයට යන්නේ’ ය කියා ඔබ කෙරෙහි කරුණාවෙන් හඬමි”

හෙතෙම එය විමසා පිරිසිදු බව දැනගෙන “යව, ඇයව එහිම ගෙනයන්න” කියා යවා හවස් යාමයේ නැවත සන්නාසි වේසයක් ගෙන දොරටුපාලයාගේ නිවසට ගියේ ය. එහි රාත්‍රිය ගතකොට පසුදා උදයේ ම රජගෙදරට පිවිස උදුම්බරා දේවියට සැළ කළේ ය.

ඕ තොමෝ රජුට දන්වා අමරා දේවියව සියළු අලංකාරයන්ගෙන් සරසා මහා රථයක හිඳුවා මහත් සත්කාරයෙන් මහා සත්ත්වයන්ගේ ගෙදරට ගෙන ගොස් මඟුල් කරවී ය. රජතෙමේ බෝධිසත්ත්වයන්ට දහසින් බැඳී පියල්ලක් තෑගි ලෙස යැවී ය. දොරටුපාලයා ඇතුළු සියළු නුවරවාසින් ද ත්‍යාග යැවූහ.

අමරා දේවිය, රජු විසින් යවන ලද ත්‍යාග දෙකට බෙදා එක් කොටසක් රජුට යැවී ය. මේ ආකාරයෙන් සියළු නුවර වැසියන්ට ද තෑගි යවා නගරයට සංග්‍රහ කළේ ය. එතැන් පටන් මහා සත්ත්වයෝ ඇය සමග එකට වසන්නේ රජුට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළේ ය.

**************************************************

ඉක්බිති එක්දිනක් සේනක තෙමේ ඉතිරි තුන්දෙනා තමන්ගේ සමීපයට පැමිණිකල්හි ඔවුන් අමතා “අපි දැන් මහෞෂධ ගෘහපති පුත්‍රයාට නොසෑහෙන්නෝ වෙමු. දැන් වනාහි ඔහු විසින් ඉතා දක්‍ෂ භාර්යාවක් ද ගෙනෙන ලදී. කුමක් හෝ කියා ඔහුත් රජුත් අතර භේදයක් ඇති කරමු” යැයි කීය.

“ආචාරිණී, අපි කිසිවක් නොදන්නෙමු. ඔබම දන්නෙහිය”

“වේවා! නොසිතන්න. උපායක් ඇත. මම් රජුගේ චුඩාමාණික්‍යය සොරකම්කොට ගෙනෙන්නෙමි. පුක්කුස, නුඹ ස්වර්ණමය මාලාව ගෙනෙන්න. කාවින්ද, නුඹ ඇතිරිල්ල ගෙනෙව. දේවින්ද, නුඹ රන්මිරිවැඩි සඟල ගෙනෙන්න”

මේ සතර දෙනාම උපායකින් ඒවා ගෙන ආහ. ඉක්බිති “නො දැනෙන ලෙස ගෘහපති පුත්‍රයාගේ ගෙට යවන්නෙමු” යි සේනක තෙමේ පළමුව මැණික, මෝරු කළයට දමා දාසියකගේ අතේ යැව්වේ ය. “මේ මෝරු කළය වෙන අයට ගන්නට නොදී ඉදින් මහෞෂධයන්ගේ ගෙයි අය ගන්නේ නම් කළයත් සමගම දෙව” යි කීය.

ඕ තොමෝ පණ්ඩිතයන්ගේ ගේ දොරකඩට ගොස් “මෝරු ගන්නේ ද?, මෝරු ගන්නේ ද?” කියමින් එහෙ මෙහෙ ඇවිදියි. අමරා දේවිය දොරටුවේ සිටියා ඇගේ ක්‍රියාව දැක “මේ තැනැත්තිය වෙන තැනකට නොයයි. මෙහි කුමක් හෝ රහසක් තිබිය යුතුයැ” යි සිතා ඉඟි සළකුණකින් අන් දාසීන් පසෙකට කර තමාම ඒ දාසියට කථාකොට, “මැණියනි! එන්න මෝරු ගන්නෙමි” යි කැඳවා ඈ පැමිණි කල්හි දාසීන්ට කථා කළ නමුත් නොඑන කල්හි “යන්න, දාසීන්ට කථා කරන්න” යැයි ඇය පිටත්කර කළයට අත දමා මැණික දැක ඒ පැමිණි තැනැත්තියගෙන් විචාළේ ය.

“මෑණියනි! ඔබ කාගේ දාසියක්ද?

“මම සේනක පණ්ඩිතයන්ගේ දාසියක් වෙමි”

ඉක්බිති ඇගේ මවගේ ද නම අසා “එසේනම් මෝරු දෙන්න” යැයි කියා “ආර්යාවෙනි, ඔබලා මිලදී ගන්නා කල්හි මට මුදල් අවශ්‍ය නැත. කළයත් සමග ගන්න” කියා කී කල්හි “එසේනම් යන්න” කියා ඇයව පිටත්කර හැර, ‘අසවල් මාසයේ අසවල් දවසේ සේනක ඇදුරා අසවල් දාසි දියණීය අතේ රජුගේ චුඩා මානික්‍යය එවන ලදැ’ යි ලිපියක ලියා ගත්තා ය.

පුක්කුස තෙමේ රන්මාලය, සමන්මල් සුමුඟක තබා යැවී ය. කාවින්ද තෙමේ කම්බිලිය, කොළ පැසක දමා යැවී ය. දේවින්ද තෙමේ රන්මිරිවැඩි සඟල, ගොයමිටි අතරේ බැඳ යැවි ය. ඕ තොමෝ ඒ සියල්ලම ගෙන ලියුමෙහි නම් සහ රූප හැඳ මහා සත්ත්වයන්ට දන්වා තැබී ය.

ඒ සතරදෙන රජගෙදරට ගොස් “දේවයන් වහන්ස, කුමක් නිසා ඔබවහන්සේගේ චූඩා මාණික්‍යය නොපළඳින්නේදැ?” යි ඇසූහ.

“පළඳිමි. ගෙනෙන්න” යයි කීය.

මාණික්‍යය නුදුටහ. ඉතිරි දේවල් ද නුදුටහ. ඉක්බිති ඒ සතරදෙන “දේවයිනි, ඔබවහන්සේගේ ආභරණ මහෞෂධයන්ගේ ගෙයි ඇත. ඒවා ඔහු පාවිච්චි කරයි. දේවයන් වහන්ස, ගෘහපති පුත්‍රයා ඔබ වහන්සේගේ සතුරෙකියි” භේද කළහ.

ඉක්බිති ඔහුගේ හිතවත්තු ගොස් පණ්ඩිතයන්ට සැළ කළහ. හෙතෙම “රජු දැක දැනගන්නෙමියි” රාජ සේවයට ගියේ ය. රජු ද කිපී “නොදකිමි. මෙහි අවුත් කුමක් කරන්නද?” යැයි කියා තමා දකින්නට අවකාස නුදුන්නේ ය.

පණ්ඩිතයෝ රජු කුපිත වූ බව දැන ගෙදරට ම ගියේ ය. රජු ඔහුව අල්ලා ගෙනෙන්නට යයි අණ කළේ ය. පණ්ඩිතයෝ හිතවතුන්ගෙන් අසා එතනින් නික්ම යායුතු යයි තීරණය කර, අමරා දේවියට සළකුණක් කොට වෙස් වලාගෙන නගරයෙන් නික්ම දකුණු යවමැදුම්ගමට ගොස් කුඹල් ගෙදරක කුඹල් සේවය කළේ ය.

පණ්ඩිතයන් පලාගොස් ඇතැයි නගරයෙහි මහත් කලබලයක් ඇතිවිය. සේනකාදී සතර දෙනා ද පණ්ඩිතයත් පළා ගිය බව දැන, “නොසිතන්න. අපි පණ්ඩිතයෝ නොවෙමුද?” යි ඔවුනොවුන්ට නොදන්වා අමරා දේවියට පණිවිඩ යැවූහ.

ඇය, සිව්දෙනා විසින්ම එවන ලද පණිවිඩ රැගෙන අසවල් අසවල් වේලාවේ පැමිණෙන්න යැයි කියා ඔවුන් පැමිණි කල්හි හිස මුඩුකර, වැසිකිළි වලක දමා මහා දුකට පත්කර රජුට දැනුම් දී ඔවුන් සමග රත්න සතර ද ගෙන්වාගෙන රජ මැදුරට ගොස් රජුට වැඳ සිටියා වූ ඇය “දේවයන් වහන්ස, මහෞෂධ පණ්ඩිතයන් සොරෙක් නොවේ. මොවුහු චෞරයෝ ය. මොවුන් අතර සේනක මැණික් සොරා ය. පුක්කුස රන්මාලා සොරා ය. කාවින්දයා කම්බිලි සොරා ය, දේවින්දයා රන්මිරිවැඩි සඟල සොරාගත් සොරු ය. අසවල් මාසයේ අසවල් දවසේ අසවල් දාසි දියණියගේ අසවල් තැනැත්තිය අත මොවුන් මේවා පණයම් පිණිස එවූහ. මේ ලියුම බලන්න. තමන් සතු දේ ගන්න. සොරකම් කළ බව පිළිගන්න” යි කීවා ය.

සතර දෙනාම මහා විප්‍රකාර කොට රජු වැඳ ගෘහයටම ගියහ. රජ තෙමේ ද බෝසතුන් පැන ගිය බැවින් ඔහු කෙරෙහි සැකයෙන් ඔවුන්ට කිසිවක් නොකියා ‘නා තමන්ගේ ගෙවල්වලට යව්’ යැයි පිටත්කර හැරියේ ය.

ඉක්බිති රජුගේ සේසතෙහි අධිගෘහිත දෙවියා බෝධිසත්ත්වයන්ගේ ධර්ම දේශනා හඬක් නොඇසුණු බැවින් කුමක් නිසාදැයි ආවර්ජනය කර බලන්නේ ඒ කාරණය දැනගෙන ‘පණ්ඩිතයන් පැමිණීමට කටයුතු සළසමි‘ යි රාත්‍රී භාගයෙහි සේසත් පුඬු විවරයෙහි සිට රජුගෙන් ප්‍රශ්න සතරක් විචාළේ ය. රජු නොදන්නේ, “මම නොදනිමි. අන්‍ය පණ්ඩිතවරුන්ගෙන් අසමි” කියා එක් දිනක් කල් ඉල්ලා, ‘පසුවදා පැමිණෙන්න’ යැයි කියා පණ්ඩිතයන්ට හසුනක් යැවුවේ ය.  ඔවුන් විසින් “අපි හිස් මුඩු කරන ලද්දෝ වෙමු. විදියට බසින්නට ලජ්ජාවෙන් සිටිමු” යැයි කීවිට තොප්පි සතරක්, “මේවා හිසේ දමාගෙන එන්න” යි කියා යැවී ය. එකල්හි තොප්පි ලැබුනාහු ඔවුහු අවුත් පැනවූ ආසනයේ හිඳ ගත්හ. ඉක්බිති රජු “සේනකය, ඊ රාත්‍රියේ සේසතෙහි වැඩසිටින දෙවියා මගෙන් ප්‍රශ්න සතරක් විචාළේ ය. මම ඒවා නොදන්නා බැවින් පණ්ඩිතයන්ගෙන් අසමි’ කීවෙමි”

ඔවුන්, “ඒ ප්‍රශ්න කියන්න” යයි කීහ.

යමක් අත්පා වලින් ද ගසයි. මුහුණට ද අනියි. එහෙත් මෙසේ කරන්නා වූ හේ ප්‍රියයෙක් වන්නේ ය. මහරජ, මෙයින් කවරකු දක්නෙහිද?”

සේනක තෙමේ ‘කිං භන්ති – කං භන්ති’ යනාදී ලෙස විප්‍රලාප දොඩවා අර්ථය හෝ එහි කෙළවරක් නුදුටී ය. අන් අය ද නොවැටහුනාහු වූහ. රජු ද විපිළිසර විය.

නැවත රාත්‍රී භාගයේ දී දේවතා විසින් “නුඹලා ප්‍රශ්නය තේරුම් ගත්තේදැ” යි අසන ලදුව රජු, “පණ්ඩිතයන් සතර දෙනාගෙන් ඇසුව ද ඔවුහු නොදන්නාහුය” යි කීය.

දේවතාවා “ඔවුන් කුමක් දන්නේ ද? මහෞෂධ පණ්ඩිතයන් හැර මෙය කියන්නට වෙන සමර්ථයෙක් නැත. ඉදින් ඔහුව කැඳවා මේ ප්‍රශ්න විසඳා නොකියන්නේ නම් මේ දිලිසෙන යකඩහුලෙන් හිස බිඳින්නෙමියි” රජුට තර්ජනය කර, “මහරජ! ගින්දර ඇතිකල්හි කණාමැදිරියන්වත්,  පිසින්නට කිරි අවශ්‍ය වූ විට අඟ දොවින්නටත් යෝග්‍ය නැතැ” යි කියා මේ කණාමැදිරි ප්‍රශ්නය ගෙනහැර දැක්වීය.

“කවරෙක් නම් ඇවිලගත් ගිනි ඇති කල්හි ගිනි සොයමින් ඇවිදින්නේ, රැයෙහි කණාමැදිරියෙකු දැක ගිනියැයි සිතා ද, හෙතෙම වැරදි හැඟීමෙන් ඒ කණාමැදිරියා මත ගොමවැරටි හා තණකොළ රැස්කොට පිඹින්නේ නමුදු ගිනි දල්වන්නට අසමත් වන්නේ ද? එසෙයින් අඥානයා අනුපායයෙන් අර්ථය නොලබන්නේ ය. ගව අඟින් කිරි දොවන්නේ කිරි නොලබන්නාක් මෙනි.
මනුෂ්‍යයෝ අමිත්‍රයනට නිග්‍රහයෙන් ද මිත්‍රයනට සංග්‍රහයෙන් ද විවිධෝපක්‍රමයන්ගෙන් අර්ථ සිද්ධියට පැමිණෙත්. සේනා ප්‍රධානීන්ගේ සිත් ගැනීමෙන් ද හිතවතුන්ගේ උපක්‍රමයෙන් ද පෘථිවි පාලකයෝ මුළු පොළව තමන් සතුකර ගනිති”

ඔබ ද ගිනි ඇති කල්හි කණාමැදිරියන්ට පිඹින්නකු වැනි ය. තරාදිය පසෙක දමා අතින් කිරන්නාක් මෙනි. කිරි අවශ්‍ය වූ විට අගින් කිරි දොවන්නාක් මෙන් සේනකාදීන්ගෙන් ගැඹුරු ප්‍රශ්නයක් අසන්නෙහි, මොවුහු කුමක් දනිත් ද ? මොව්හු කදෝපැණියන් හා සම වෙති. මහෞෂධයෝ මහා ගිනිකන්දක් මෙනි. ප්‍රඥාවෙන් දිළිසෙයි. ඔහුව කැඳවා අසන්න, මේ ප්‍රශ්නය නොදන්නා වූ ඔබගේ ජීවිතය නොමැති වෙයි” කියා රජුට තර්ජනය කර අතුරුදන් විය.

ඉක්බිති රජතුමා මරණ බියෙන් තැතිගත්තේ පසුදා ඇමැතියන් සතර දෙනා කැඳවා “දරුවෙනි! ඔබ සතරදෙන රථ සතරක නැගී නගර දොරටුවලින් නික්ම ඒ මහෞෂධ පණ්ඩිත මාගේ පුත්‍රයාව යම්තැනක දකීද එහිදීම ඔහුට සත්කාර කොට වහා මෙහි කැඳවාගෙන එව්” යැයි පිටත්කර හැරියේ ය.

ඔවුන් අතුරෙන් තුන්දෙනෙක් පණ්ඩිතයන් නුදුටහ. දකුණු දොරටුවෙන් නික්ම යන්නහු වනාහි දකුණු යව මැදුම්ගම දී, මහාසත්ත්වයන් මැටි ගෙනවුත් ප්‍රධාන වැඩකරුවාගේ රෝදය කරකවමින්, මැටි තැවරුණු සිරුර ඇතිව පිදුරු ආසනයක වාඩිවී මිට මිට ගෙන, ව්‍යංජන අඩු යවබත් අනුභව කරමින් සිටිනු දුටුවේ ය. කුමක් නිසා ඔහු මේ කාර්යය කළේද ? රජු වනාහි මහෞෂධ පඬිතුමා නිසැකයෙන් ම රජකම ගන්නේයැයි සැක කරන්නේ ඔහු කුඹල්කම් කිරීමෙන් ජීවත් වන්නේ යැයි අසා සැක දුරුකරගන්නේ යැයි සිතා මෙසේ කළේ ය.

ඔහු ඇමැතියා දැක, තමා සමීපයට ආ බව දැන ‘මාගේ යසස ප්‍රකට වූයේ වන්නේ ය. අමරා දේවිය විසින් සුදානම් කළ නොයෙක් රසයන්ගෙන් යුත් අහර අනුභව කරන්නෙමි’ යි ගන්නා ලද බත්පිඩ ඉවත දමා මුව සෝදා ගත්තේ ය. ඒ මොහොතෙහි ඔහු පැමිණියේ ය. ඔහු වනාහි සේනක පාක්‍ෂිකයෙකි. ඒ නිසා ඔහුව උත්සාහ කරමින් “පණ්ඩිතයෙනි! ඇදුරු සේනකයන්ගේ වචනය නෛර්යාණික ය. ඔබට වනාහි යසස පිරිහුණු කල්හි එබඳු වූ ප්‍රඥාවක් පිහිටන්නට නොහැකි විය. දැන් මැටි තැවරුණේ පිදුරු අසුනක වාඩිවී මෙබඳු වූ බතක් වළඳන්නෙහිදැ” යි කීය.

ඉක්බිති ඔහුට මහා සත්ත්වයන් වහන්සේ “අන්ධබාලය, මම තමන්ගේ ප්‍රඥා බලයෙන් නැවත ඒ යසස ප්‍රකට කරනු කැමැත්තේ මෙසේ කරමි” යි මෙසේ කීය.

“මේ සැඟවී සිට ඇවිදින කාලයයි. මෙසේ කාලය ද අකාලය ද සොයන්නේ රජු කිපුණු කල්හි රහසිගතව හැසිරිය යුතුයැයි දැනගෙන කැමැත්තෙන්, රුචියෙන්, සැඟවී සිටියේ කුඹල් කර්මාන්තයෙන් ජීවත් වන්නේ, තමන්ගේ දියුණුව ඇතිකරන දොරටු විවෘත කරමින් වාසය කරමි, මම ඒ කරුණෙන් යව බතින් සතුටු වෙමි.

තමන්ගේ නුවණින් මාගේ යසස වර්ධනය කොට මනෝසිලා තලයේ සිංහයෙක් මෙන් විජෘම්භමාන වෙමි, මාගේ ඒ ඍද්ධියෙන් නුඹ නැවතත් මා දකින්නෙහි ය.”

ඉක්බිති ඔහුට ඇමැතියා මෙසේ කීය.

“පඬිතුමනි, රජතුමාගේ ඡත්‍රයෙහි වාසය කරන දේවතාවා විසින් රජුගෙන් ප්‍රශ්නයක් විචාරණ ලදී. රජු පණ්ඩිතයන් සතර දෙනාගෙන් විමසී ය. එක් අයෙක්වත් ප්‍රශ්නය කියන්නට අසමත් විය. ඒ නිසා රජු ඔබතුමන් වෙත මා එවීය”

“බලව, මෙසේ ඇති කල්හි ප්‍රඥාවේ ආනුභාවය නොදකින්නෙහි? මෙබඳු කාලයක ශ්‍රියාවගෙන් පිහිටක් නැත. ප්‍රඥා සම්පන්න භාවයම පිහිට වන්නේයැ” යි මහා සත්ත්වයෝ ප්‍රඥාවගේ ආනුභාවයම වර්ණනා කළහ.

ඉක්බිති ඇමැතිවරයා රජු විසින් කියන ලද පරිදි ‘පණ්ඩිතයන් දුටු තැනදීම නහවා සළු හඳවා ගෙනෙව්’ යැයි කියා දෙන ලද දහස ද, දුහුල් සළු යුගල ද මහා සත්ත්වයන්ගේ අතෙහි තැබී ය.

‘මා විසින් මහෞෂධ පණ්ඩිතයන් ලවා කුලී වැඩ කරවන ලදැ’ යි කුඹලා තුළ බියක් ඇතිවිය. මහා සත්ත්වයෝ ඔහුට “ආචාරිය, බිය නොවන්න. ඔබ මට බොහෝ සෙයින් උපකාරි වීයැ” යි ඔහු අස්වසා ඔහුට දහස දී මැටි තැවරුණු සිරුරින් ම රථයෙහි හිඳගෙන නගරයට ගියේ ය.

ඇමැතිවරයා රජුට දන්වා, “දරුව ඔබ කොහේදී පණ්ඩිතයන් දකින ලදදැ?” යි ඇසූකල්හි “දේවයන් වහන්ස! දකුණු යවමැදුම්ගම කුඹල්වැඩ කර ජිවත් වෙයි. ඔබවහන්සේ කැඳවනවා යැයි කී කල්හි ස්තානය නොකොට මැටි තැවරුණු සිරුරෙන්ම පැමිණියේ යැ” යි කීය.

“ඉදින් මගේ සතුරෙක් වන්නේ ද, දෛවයට අනුව හැසිරෙන්නේ ය. මොහු මාගේ සතුරෙක් නොවේ” යැයි සිතා “මගේ පුත්‍රයාට තමන්ගේ නිවසට ගොස් ස්නානය කර සැරසී මා දුන් නියෝගය පරිදි එන්නට කියව්” යැයි පැවසී ය.

ඒ අසා පණ්ඩිතයෝ එසේ කොට අවුත් “ඇතුල්වන්න” යැයි කී කල්හි පිවිස රජු වැඳ එකත්පසෙක සිටියේ ය. රජු ඔහු සමග පිළිසඳර කථාකොට පණ්ඩිතයන් විමසන්නේ මෙසේ කීය.

“සැපයට පත්වූ අසමත් ඇතැම්හු පාපයන් නොකරත්. නුවණ මඳ ඇතැම්හු පරෝපවාද බියෙන් පව් නොකරත්, අතිශයින් දක්‍ෂ වූ විපුල වූ අර්ථයන් සිතන්නා වූ තෙපි කවර හෙයින් මට දුක් ඇති නොකරන්නහුද?”

බෝධිසත්ත්වයෝ මෙසේ කීහ.
“ආත්මසුව හේතුවෙන් නැණවත්හු පව් නොකරත්. සාධු ජනයෝ දුකින් පෙළුණෝ ද සැපතින් පිරිහුණෝ ද ඡන්දයෙන් හෝ ද්වේෂයෙන් හෝ ධර්මය  නොහරිත්”

නැවත රජු ඔහුව විමසීම සඳහා ක්‍ෂත්‍රිය මායම් ගැන කථා කරමින් මෙසේ කීය.

“මෘදු වූ හෝ දරුණු වූ හෝ යම් උපක්‍රමයකින් දීන වූ තමා නගා සිටු වන්නේ ය. පසුව ධර්මයෙහි හැසිරෙන්නේ ය”

ඉක්බිති මහා සත්ත්වයන් වහන්සේ වෘක්ෂයකට සමාන උපමාවක් දක්වමින් මෙසේ කීහ.
“යම් ගසක සෙවනේ සිටින්නේ හෝ නිදන්නේ හෝ වේද එම ගසේ අත්තක් හෝ නොබිඳෙන්නේ ය. එසේ කරන්නේ නම් හේ මිත්‍රද්‍රෝහී පවිටෙක් වන්නේ ය”
මෙසේද කියා “මහරජ, ඉදින් පරිභෝග කළ ගසේ අත්තක් බිඳින්නේ ද මිත්‍ර ද්‍රෝහී වෙයි. යම් හෙයකින් ඔබතුමන් විසින් මාගේ පියාව මහත් වූ භෝග සම්පත්තියෙහි පිහිටුවාලී ය. මම ද මහත් වූ අනුග්‍රහයෙන් උපකාර කරන ලද්දේ වෙමි. එබඳු වූ ඔබ වහන්සේ කෙරෙහි අපරාධයක් කරන්නෙම් නම් කෙසේ මිත්‍රද්‍රෝහී නොවන්නෙම්ද?”

සියළු ආකාරයෙන්ම තමන්ගේ මිත්‍රද්‍රෝහී නොවන බව කියා රජුගේ අපචාරයට චෝදනා කරන්නේ, “යම් කෙනෙකුත් වෙතින් පුරුෂ තෙමේ ධර්මය දැනගන්නේ ද යම් සත්පුරුෂ කෙතෙක් ඔහුගේ සැක දුරු කෙරෙත් ද ඒකාන්තයෙන් හේ ඔහුට පිහිට ද සරණ ද වන්නේ ය. නුවණැත්තේ ඔහු සමග පවත්නා මිත්‍ර භාවය නො නසන්නේය”

“කම්සැප විඳින්නා වූ අලස ගිහියා යහපත් නොවේ. සංයමයෙන් තොර පැවිද්දා ද යහපත් නොවේ. නො විමසා ක්‍රියා කරන රජ යහපත් නොවේ. යම් පණ්ඩිතයෙක් ක්‍රෝධ කරන සුළු නම් හේද යහපත් නොවේ.

මහරජ! ක්‍ෂත්‍රිය තෙමේ විමසා ක්‍රියා කරන්නේ ය. නොවිමසා ක්‍රියා කිරීම යහපත් නොවේ. විමසා ක්‍රියා කරන්නාගේ යසස ද කීර්තිය ද වැඩේ”

මෙසේ කී කල්හි රජතුමා මහා සත්ත්වයන්ව ඔසවන ලද සේසත් ඇති සිංහාසනයේ වඩා හිඳුවා තමා පහත් අසුනක වාඩි වී මෙසේ කීය.

“පණ්ඩිතය, සේසතෙහි නතර වී සිටින දේවතාවා මගෙන් ප්‍රශ්න සතරක් ඇසී ය. මම ඒ නිසා පණ්ඩිතයන්ගෙන් අසා බැලීමි. පණ්ඩිතයෝ සතරදෙන නොදත්හ. දරුව මට ඒ ප්‍රශ්න කියන්න”

“මහරජ, සේසතේ සිටින දේවතාවා හෝ වේවා, චාතුම්මහාරාජිකාදීහු හෝ වෙත්වා කවර ලෙසකින් හෝ අසන ලද ප්‍රශ්නය කියන්නෙමි, මහරජතුමනි, දෙවියන් විසින් අසන ලද ප්‍රශ්න කියන්න”

රජු, දේවතාවා විසින් අසන ලද ආකාරයෙන්ම කියන්නේ පළමු ප්‍රශ්නය කීය.

ප්‍රශ්නය 1: “යමෙක් අත්පා වලින් ගසයි  ද මුහුණටත් අනියි ද මහරජ, හේ ඒකාන්තයෙන් ප්‍රියයෙක් ද වෙයි. ඒ කවරකු ලෙස දක්නෙහිද?”

මහා සත්ත්වයන්ට ගාථාව ඇසුණු විටම ගුවන්තලයේ චන්ද්‍රයා මෙන් අර්ථය පැහැදිලි විය. ඉක්බිති මහා සත්ත්වයෝ “මහ රජතුමනි! අසන්න” යැයි කියා. “යම් කලෙක ඇකයේ සිටින ළදරුවා තුටුපහටු වූයේ ක්‍රීඩා කරන්නේ මවට අත් පාවලින් පහර දෙයි. කෙස් කඩා දමයි. අතේ මිටින් මුහුණට ගසයි. එවිට ඕ තොමෝ ඔහුට සොර පුතේ, ඇයි අපට ගසන්නේ ද? ආදී ලෙස ආදරයෙන් කියා ආදරය දරාගන්නට නොහැක්කේ වැළඳගෙන පපුවෙහි හොවාගෙන සිඹ ගනී. මෙසේ ඔහු ඇගේ මෙබඳු වූ කාලයකදී අතිශයින් ප්‍රිය වූයේ වෙයි. පියාට ද එසේ ය.” යි පිළිතුර විස්තර කොට දක්වාලී ය.

මෙසේ ගුවන මැද සූර්යයා උදාවෙන්නාක් මෙන් ප්‍රකට කොට ප්‍රශ්නය කීවේ ය. එය අසා දේවතාවා ඡත්‍රයේ විවරයෙන් නික්මී සිරුරෙන් අඩක් පෙන්වමින් “ප්‍රශ්නය මනාව කියන ලදැ” යි මිහිරි හඬින් සාධුකාර දී මැණික් සුමුඟක් පුරවා දිව්‍යමය මල් සුවඳ ආදියෙන් මහා සත්ත්වයන්ට පූජාකොට අතුරුදන් විය.

රජතුමා මහා සත්ත්වයන්ට මල් ආදියෙන් පුදා ඉතිරි ප්‍රශ්න කියන ලෙස ඉල්ලා සිටියේ ය.

ප්‍රශ්නය 2: “යමකුට රිසිසේ ආක්‍රොශ කරයි ද ඒ කාරණයාගේ පැමිණීම නොකමැති වෙයි ද මහරජ, හේ ඒකාන්තයෙන් ප්‍රිය වන්නේ ය. ඒ කවරකු ලෙස දක්නෙහිද?”

ඉක්බිති මහා සත්ත්වයන් වහන්සේ, “මහරජ, මවක්, කථා කරන්නට හැකි හත්අට අවුරුද්දක් වයසැති පුතකුට ‘කුඹුරට යන්න. කඩයට යන්න’ ආදිය කියද්දී දරු තෙම ‘ඉදින් මට මේ මේ කන බොන දේ දෙන්නේ නම් යන්නෙමි’ යි කියත්. දුන්කල්හි එය අනුභව කොට ‘මැණියෙනි, ඔබ සීතල වූ ගෙයි සෙවනැල්ලෙහි සිටින්න. මම නුඹට පිටත පණිවිඩ යැවීමක් කරන්නෙමි’ යි ආදිය කියා අත් හා මුව විකාර කොට නොයයි. නොයන ඔහුට කිපුනා වූ මව මුගුරක් ගෙන ‘නුඹ මා සතු දේ අනුභව කොට කුඹුරෙහි කිසිදු වැඩක් කරන්නට අකැමැති වන්නෙහිය’ කියමින් තර්ජනය කොට වේගයෙන් පලායන ඔහු පසුපස ගොස් අල්ලා ගන්නට අපොහොසත් වූවා ‘නිර්ධන වව, සොරු කෑලි කෑලි වලට කඩත්වා’ ආදිය කියා කැමැති පරිදි, සිතැඟි ලෙස ආක්‍රෝශ කරයි. යමක් මුවින් කියයි ද එයින් වන්නට අල්පමාත්‍ර වූත් කැමැත්තක් නැත. ඔහු දවල් කාලයේ ක්‍රීඩාකොට සවස ගෙදර යන්නට නොහැකිව නෑයන් ලඟට යයි. මව් ද ඔහු එන මග බලා සිටින්නී නොඑන්නහු දැක ගෙට පිවිසෙන්නට නොහැකි වේයැයි සිතා ශෝකයෙන් හද පුරවා කඳුළු පිරුණු නෙත් වලින් ඤාති ගෙදර සොයන්නී පුත්‍රයා දැක වැළඳගෙන සිඹ අත් දෙකෙන් දැඩිව අල්ලාගෙන ‘පුත්‍රයාණෙනි! මාව අමතක නොකරන්න’ යැයි කියමින් අධික ලෙස ආදරය කළා ය. එපරිද්දෙන් මහරජ, මව කෙරෙහි පුතා කිපුණු කල්හිත් ප්‍රියම වන්නේ ය”යැයි දෙවෙනි ප්‍රශ්නය ද කීවේ ය.

දේවතාවා එසේම පූජා කළේ ය. රජු ද පුදා තුන්වන ප්‍රශ්නය ඉල්ලා, ‘මහරජතුමනි, කියන්න’ යැයි ප්‍රකාශ කළ කල්හි අනික් ගාථාව කීය.

ප්‍රශ්නය 3: “යමෙක් මුසාවෙන් ගලපා බෙණෙයි ද බොරුවෙන් චෝදනා කෙරෙයි ද, මහරජ, හේ ඒකාන්තයෙන් ප්‍රිය වන්නේය. ඒ කවරකු ලෙස දක්නෙහිද?”

ඉක්බිති මහා සත්ත්වයෝ ඔහුට මෙසේ කීහ. “මහරජ, යම් කලෙක අඹුසැමි යුවලක් රහසිගතව ලෝකාස්වාද රතියෙහි යෙදෙන්නාහු ‘ඔබ මා කෙරෙහි ප්‍රේමයක් නැත…’ යි මෙසේ ඔවුනොවුන්ට අසත්‍ය දෝෂාරෝපණ කරත්. බොරුවෙන් සිහිකරවත්. චෝදනා කරත්, එකල්හි ඔවුහු අමතරවත් ඔවුනොවුන් ප්‍රිය කරත්. මෙසේ මේ ප්‍රශ්නයේ අර්ථය දැනගන්න” යැයි  කීය.

ප්‍රශ්නය 4: “ඇතැමෙක් ආහාරපාන හා වස්ත්‍ර ශයනාසනයන් ද රැගෙන යත්. එහෙත් එසේ ගෙනයන්නා වූ ඔවුහු ඒකාන්තයෙන් ප්‍රිය වෙත්, මහරජ, ඒ කවුරුන් ලෙස දක්නෙහි ද?”

ඉක්බිති ඔහුට “මහ රජ, මේ ප්‍රශ්නය වනාහි ධාර්මික වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් උදෙසා කියන ලදී. ශ්‍රද්ධාවන්ත කුල මෙලොව පරලොව විශ්වාස කොට දෙත්, දෙනු කැමැතිද වෙත්. එබඳු වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉල්ලද්දිත් ලද දෙය අත්හැර වළඳනවා දැක ‘අපගෙන්ම ඉල්වත්. අපම සන්තක වූ ආහාර ආදිය අනුභව කරත්…’ යි ඔවුන් කෙරෙහි අමතර ප්‍රේමයක් ඇතිකර ගනිත්. මෙසේ ඔවුහු අනුන් දුන් දෙය ගෙනියන්නෝ වෙත්. ඒකාන්තයෙන්ම යාචකයෝ ලද දෙය ගෙන යන්නෝ ය. ඔවුහු සමාන ප්‍රිය වූවෝ වෙත්”

මේ ප්‍රශ්නය කියන ලද කල්හි දේවතාවා එසේම පුදා සාධුකාර දී “පණ්ඩිතයෙනි! සත්රුවනින් පිරුණු මාණික්‍යමය කරඬුව ගන්න”යැයි මහා සත්ත්වයන්ගේ පා ලඟ තැබීය. රජු ද පැහැදී සේනාපති තනතුර දුන්නේ ය. එතැන් පටන් මහා සත්ත්වයන්ගේ යසස වැඩිවිය.

********************************************************

නැවත ඒ සතර දෙනා, ගෘහපති පුත්‍රයා දැන් අපට වඩා ලොකු කෙනෙක් විය. කුමක් කරමුදැයි මන්ත්‍රණය කළහ. ඉක්බිති ඔවුන්ට සේනක මෙසේ කීය.

“වේවා! මා විසින් උපායක් දකින ලදී. ගෘහපති පුත්‍රයා වෙත එළඹ රහසක් නම් කාහට කීම වටනේදැ’යි අසන්නෙමු. හෙතෙම කිසිවකුටත් එපායැයි කියයි. ඉක්බිති ‘දේවයිනි ගෘහපති පුත්‍රයා ඔබට සතුරෙක් ය’ කියා රජුව භේද කරවන්නෙමි” යි කියා ඒ සතරදෙනා පණ්ඩිතයන්ගේ ගෙට ගොස් පිළිසඳර කථාකොට “පණ්ඩිතයෙනි, අපි ප්‍රශ්නයක් අසනු කැමැත්තම්හ” යි කියා “එසේනම් අසන්න” යැයි කීකල්හි සේනක තෙමේ විචාළේ ය.

“පණ්ඩිතය, පුරුෂයකු විසින් වනාහි කොහි පිහිටිය යුතු ද?”

“සත්‍යයෙහි” යැයි පිළිතුරු දුන්නේ ය.

“සත්‍යයෙහි පිහිටියහු විසින් කුමක් කළයුතුද?”

“ධනය ඉපදවිය යුතුය”

“ධනය උපයා කුමක් කළ යුතුද?”

“මන්ත්‍ර ලබාගත යුතුයි”

“එය ගෙන කුමක් කළයුතුද?”

“තමන්ගේ රහසක් අනුන්ට නොකිය යුතු” යැයි කීය.

ඔවුහු “යහපති පණ්ඩිතයෙනියි” සතුටු සිතැත්තාහු වී දැන් ගෘහපති පුත්‍රයාගේ පිටුපස බලන්නෙමුයි රජු සමීපයට ගොස් “මහ රජතුමනි! ගෘහපති පුත්‍රයා ඔබ වහන්සේගේ සතුරෙක් වී යැ” යි කීහ.

“මම ඔබව විශ්වාස නොකරමි. ඔහු මාගේ සතුරෙක් නොවන්නේ ය” යි ප්‍රතික්‍ෂේප කළේ ය.

“ඉදින් මහරජතුමනි, විශ්වාස නොකරන්නේ නම් ‘පණ්ඩිතය, තමාගේ රහසක් කාහට කිවයුතු දැයි’ පණ්ඩිතයන්ගෙන් අසන්න. ඉදින් වනාහි සතුරෙක් නොවන්නේ නම් ‘අසවලාට කිවයුතුයයි’ කියයි. ඉදින් වන්නේ නම් ‘කිසිවකුටත් නොකිව යුතුයි. මනෝරථය පිරිපුන් කල්හි කිවයුතු වන්නේ යැ’ යි කියයි. එකල්හි අපව විශ්වාස කොට සැක දුරුකරගත් කෙනෙක් වන්න”

හෙතෙම “යහපතැයි” පිළිතුරු දී එක් දිනක් සියළුදෙනාම රැස්ව සිටි කල්හි මෙසේ කීය.
“මෙහි පැමිණි පංච පණ්ඩිතවරුනි, මට වැටහෙන එක් ප්‍රශ්නයක් ඇත. එය අසවු. නින්දා කටයුතු හෝ ප්‍රශංසා කටයුතු හෝ රහස කවරකුට හෙළිකළ යුත්තේද?”

මෙසේ කී කල්හි සේනක තෙමේ රජතුමාත් අපත් අතර මෙය තබන්නෙමියි සිතා මෙසේ කීය.
“මහරජ! ඔබම අපට එය ප්‍රකාශ කරනු මැනවි. ඔබ අපගේ ස්වාමියා ද බර උසුලන්නා ද වෙයි. පඬිවරු පස්දෙන ඔබගේ අදහස හා කැමැත්ත විමසා පිළිතුරු කියන්නාහ” යි සේනක කීය.

ඉක්බිති රජු තමාගේ කෙලෙස් වසගතාවය ඇති බැවින් මෙසේ කීය.
“යම් ස්ත්‍රියක් ආචාර ශීලයෙන් යුක්ත ද අනුන් වසඟයෙහි නොපවතී ද ස්වාමියාගේ කැමැත්ත අනුව වසන්නේ ද ප්‍රියමනාප වන්නී ද එබඳු බිරිඳට නින්දා කටයුතු හෝ ප්‍රශංසා කටයුතු හෝ රහස හෙළි කරන්නේ ය”

ඉක්බිති සේනක තෙමේ රජු තමන් අතරට වැටුනේ යැයි සතුටුව තමන් විසින් කරන ලද කාරණය ම දක්වමින් මේ ගාථාව කීය.

“යමෙක් දුකට පත් ආතුරයාට සරණවැ පිහිටවැ උපකාරිවැ පවතී ද එබඳු මිත්‍රයාට නින්දා කටයුතු හෝ ප්‍රශංසා කටයුතු හෝ රහස හෙළි කරන්නේ ය”

ඉක්බිති රජතුමා පුක්කුසගෙන් විචාළේ ය. “පුක්කුසය ඔබ මෙය කෙසේ දකින්නෙහි ද? කාහට රහස කිවයුතු ද?” ඔහු මේ ගාථාව කීය.

“ඉදින් යමකු හට ජ්‍යෙෂ්ඨ හෝ මධ්‍යම හෝ කනිෂ්ඨ හෝ සොහොයුරෙක් වේද හේද මනාව ශීලයෙහි පිහිටියේ ස්ථිර සිතැත්තේ නම් එවැනි සොහොයුරාට නින්දා කටයුතු හෝ ප්‍රශංසා කටයුතු හෝ රහස හෙළි කරන්නේය”

ඉක්බිති රජ තෙමේ කාවින්දගෙන් විචාළේය.
“ඉදින් යමෙක් පියාගේ සිතට අනුව ක්‍රියා කරන්නේ ද මහත් ප්‍රඥාවෙන් යුක්ත වූයේ පියාට අනුජාත වේද, එබඳු පුතුට නින්දා කටයුතු හෝ ප්‍රශංසා කටයුතු හෝ රහස හෙළි කරන්නේය”

ඉක්බිති රජතුමා දේවින්දගෙන් ඇසීය.
“දෙපා ඇත්තන්ට නායක මහරජ, යම් මවක් ස්නේහයෙන් ප්‍රිය උපදවමින් සිය පුතු පෝෂණය කරන්නී ද එබඳු මවට නින්දා කටයුතු හෝ ප්‍රශංසා කටයුතු හෝ රහස හෙළි කරන්නේය”

රජු පණ්ඩිතයන්ගෙන් ඇසීය. “පණ්ඩිතයෙනි. කෙසේ දකින්නේද?”

“සැඟවිය යුතු දේ සැඟවීම මැ යහපත් වන්නේ ය. රහස හෙළිකිරීම පැසසිය යුතු නොවේ. නුවණැත්තේ කාර්යය සිද්ධිය නොවේ නම් එතෙක් රහස දරන්නේ ය. සිද්ධ වූ අර්ථ ඇත්තේ රිසි සේ කියන්නේ ය.”

පණ්ඩිතයන් විසින් මෙසේ කීකල්හි රජතෙමේ සතුටට පත් නොවී ය. ඉක්බිති සේනක රජුගේත්, රජු සේනකගේත් මුහුණ බැලී ය. බෝධිසත්ත්වයෝ ඔවුන්ගේ ක්‍රියාව දැකම දැන ගත්තේ ය. මේ සතරදෙනා පළමුවෙන්ම මා රජු සමග භේදකළහ. විමසීම් වශයෙන් ප්‍රශ්නය විචාරණ ලද්දේ වන්නේ ය. කියන්නා වූම සූර්යයා බැස ගියේ ය. පහන් දල්වන ලදහ. පණ්ඩිතයෝ වනාහි ‘වහා යා යුතුය’ යි අසුනින් නැගිට රජුට වැඳ නික්ම යන්නේ මෙසේ සිතීය.

‘මොවුනතුරෙන් එක් අයෙක් (රහස) යාලුවාට කිව යුතුයැයි කියයි. එක් අයෙක් සහෝදරයාට, එක් අයෙක් පුත්‍රයාට, එක් අයෙක් මවට කියන්නට සුදුසු යයි කීහ. මොවුන් විසින් කියන ලද්දම වෙයි. දුටු දෙයම කියත් යැයි සිතමි. වේවා! අදම මෙය දැනගන්නෙමි’ යි අධිෂ්ඨාන කර ගත්තේ ය.

ඒ සතර දෙනා වනාහි වෙන දිනවල රජ ගෙදරින් නික්ම රජගෙදර දොරටුව ලඟ එක් ඔරුවක් පිට හිඳගෙන කළයුතු කටයුතු සාකච්ඡා කොට තම නිවෙස්වලට යත්. ඒ නිසා පණ්ඩිතයෝ ‘මම ද මොවුන්ගේ රහස මේ ඔරුව යට සැඟවී සිට දැනගත හැකිය’ යි සිතා ඒ ඔරුව ඔසවා එහි ඇතිරිල්ලක් අතුරා ඔරුව යටට පිවිස පුරුෂයන්ට සංඥාවක් කළහ. “තෙපි පණ්ඩිතයන් සතර දෙනා සාකච්ඡා කොට ගියකල්හි අවුත් මා රැගෙන යව්” ඔවුහු “එසේයැ” යි නික්ම ගියහ.

සේනක තෙමේ ද රජුට මෙසේ කීය. “මහරජතුමනි, ඔබ වහන්සේ අපව විශ්වාස නොකරන්නාහ. දැන් කෙසේද?”

හෙතෙම භේදකාරීන්ගේ වචන පිළිගෙන ඇහුම්කන් නොදීම බිය වූයේ තැති ගත්තේ, “සේනක පණ්ඩිතයිනි, දැන් කුමක් කරමුදැ” යි ඇසීය.

“මහරජ, ප්‍රමාද නොවී කිසිවක් නොදන්වා ගෘහපති පුත්‍රයාව මැරවිය යුතුය”

“සේනකය ඔබ හැර මට හිතවත් වෙන කෙනෙක් නැත. ඔබම තමන්ගේ මිත්‍රයන් ගෙන දොරටුව අතර සිට උදයෙන් ම රාජ සේවයට එන්නා වූ ගෘහපති පුත්‍රයාගේ හිස කඩුවෙන් සිඳ දමව” යැයි කියා තමන්ගේ මංගල කඩුව දුන්නේ ය.

ඔවුහු “දේවයන් වහන්ස, බිය නොවන්න. අපි ඔහුව මරන්නෙමු” යි කියා නික්මගොස් ‘අපේ සතුරා පිටුදැක්කෙමුයැ’ යි ගොස් බත්ඔරුව මත්තේ හිඳ ගත්හ. ඉක්බිති සේනක තෙමේ මෙසේ කීය.

“අපගෙන් කවරෙක් ගෘහපති පුත්‍රයාට පහර දෙන්නේද?”

අනිත් අය “ඇදුරුතුමනි, එය ඔබම කළයුතු ය” යි ඔහුටම පැවරූහ. ඉක්බිති සේනක තෙමේ ඇසීය.

“තෙපි රහස නම් අසවලාට අසවලාට කිව යුතුයයි කීවාහු ය. කිම තොප මෙය කරන ලද ද? එසේ නැතහොත් දකින ලද ද? නැත්නම් අසන ලද් ද?”

“ඇදුරුතුමනි. තිබේවා! තෙපි යම් රහසක් වේද එය මිත්‍රයාට කිව යුතුයයි කීහ. මෙය කෙසේද? අපට මෙයින් කවර ප්‍රයෝජනයක්ද? ඇදුරුතුමනි කියන්න”

“මේ රහස රජු දැනගතහොත් මාගේ ජීවිතය නැතිවෙයි”

“ඇදුරුතුමනි, බිය නොවන්න. මෙහි ඔබගේ රහස් හෙළි කරන්නෙක් නැත. කියන්න ආචාරිනි”

හෙතෙම තියෙන ඔරුවට තට්ටු කර “මෙහි යට ගෘහපති පුත්‍රයා නෑ නොවේද?”

“ආචාරිනි! ගෘහපති පුත්‍රයා තමන්ගේ ඉසුරෙන් මෙබඳු තැන්වලට නොපිවිසෙයි. දැන් ඔහු ප්‍රමාද වූවා වන්නේ ය. ඔබතුමා කියන්න”

සේනක තෙමේ තමාගේ රහස කියන්නේ මෙසේ කීය.

“මේ නගරයේ ම අසවල් වෛශ්‍යාව දන්නහු ද?”

“එසේය ආචාරීනි”

“දැත් ඇය පෙනෙන්නට සිටී ද?”

“ආචාරිනි නැත”

“මම සල් උයනේ ඇය සමග පුරුෂකෘත්‍ය කොට ඇගේ පළඳනා කෙරෙහි ලොබින් ඇයව මරා ඇගේ සළුවෙන් ම පොට්ටනියක් කොට බැඳ ගෙනවුත් අපගේ ගෙදර අසවල් තැන අසවල් කාමරයේ නාග දත්තයේ (යමක් එල්ලීමට බිත්තියේ සවිකළ කොක්ක) එල්ලුවෙමි. පාවිච්චි කරන්නට නොහැකි ය. එහි පැරණි බව බලමි. මෙබඳු වූද රාජාපරාධයක් කොට මා විසින් එක් මිත්‍රයකුට කියන ලදී. ඔහු විසින් කිසිවකුටත් නො කියන ලදී. මේ කාරණය නිසා මිත්‍රයාගේ රහසිගත බව කිව යුතුයයි මා විසින් කියන ලදී”

පණ්ඩිතයෝ ඔහුගේ රහස මනාව නියම අයුරින් සැළකිල්ලට ගත්තේය.

පුක්කුස තෙමේ ද තමාගේ රහස කියන්නේ “මගේ කලවයේ කුෂ්ටයක් ඇත. මාගේ බාල සොහොයුරා උදෑසන ම කිසිවකුටත් නොදන්වා එය සෝදා බෙහෙත් ගල්වා ඒ මත්තෙහි රෙදිකඩකින් බඳියි. රජු මා කෙරෙහි ඇල්මෙන් “පුක්කුස! එන්න” යැයි මා කැඳවා බොහෝ සෙයින් මාගේ කලවා මත හිස තබා නිදයි. ඉදින් එය දන්නේ නම් මා මරන්නේ ය. මේ කාරණය මාගේ බාල සොහොයුරා හැරෙන්නට වෙන දන්නා කෙනෙක් නම් නැත. ඒ හේතුවෙන් රහසක් නම් සොයුරාට කිවයුතු යැයි මා විසින් පුකාශ කළේය”

කාවින්දයා ද තමාගේ රහස කියන්නේ “මාසේ පෝය දවසට (කලුවර පෝය) නරදේව නම් වූ යක්‍ෂයෙක් මා අල්ලා ගනී. මම උමතු වූ සුනඛයෙක් මෙන් නාද කරමි. ඒ මම පුත්‍රයාට ඒ බව කීවෙමි. හෙතෙම මා යක්‍ෂයකු විසින් අල්ලාගත් බව දැනගෙන මා ඇතුල්ගෙයි බැඳහොවා දොර වසා නික්ම මාගේ හඬ නොඇසෙන සේ දොර ලඟ උත්සව පවත්වයි. මේ හේතුවෙන් රහසක් නම් තම පුත්‍රයාට කිව යුතු යැයි මා විසින් පවසන ලදී”

ඉක්බිති තුන්දෙනා දේවින්දගෙන් ඇසූහ. ඔහු ද තමාගේ රහස කියන්නේ “මා විසින් මැණික් සොරකමක් කරන්නේ රජුට අයිති ශක්‍රයා විසින් කුස රජුට දෙන ලද වාසනාව ගෙන දෙන මංගල මාණික්‍ය රත්නය සොරකම් කොට මාගේ මවට දෙන ලදී. ඇය කිසිවකුටත් නොහඟවා මා රජගෙදරට පිවිසෙන කල්හි මට දෙන්නී ය. මම ඒ මාණික්‍යයෙන් වාසනාව ලබා රජගෙදරට යමි. රජු නුඹලා සමග කථා නොකර පළමුවෙන් ම මා සමග කථා කරයි. දිනපතාම කහවනු අටක්, සොළොසක්, තිස්දෙකක්, හැටහතරක් යනාදී ලෙස මවගේ වියදමට දෙයි. ඉදින් රජු ඒ මාණිකය රත්නය සැඟවුණු බව දන්නේ නම් මට මරණය වන්නේ ය. මේ හේතුවෙන් රහසක් නම් මවට කිවයුතුයැයි මා විසින් කියන ලදැ” යි කීය.

මහා සත්ත්වයන් වහන්සේ සියල්ලන්ගේ ම රහස් අවබෝධ කර ගත්තේ ය. ඔවුහු වනාහි තමන්ගේ උදරය පලා අතුනු බහන් පිටතට අදින්නාක් මෙන් රහස් ඔවුනොවුන්ට කියා “පමානොවී උදෑසනම එන්න. ගෘහපති පුත්‍රයාව මරන්නෙමු” යි කියා අසුනින් නැගිට ගියහ.

ඔවුන් ගිය කල්හි පුරුෂයෝ අවුත් ඔරුව ඔසවා මහා සත්ත්වයන් ගෙන ගියහ. ඔහු ස්තානය කොට සැරසී මනා ආහාර වළඳා “අද මාගේ සොයුරිය උදුම්බරා දේවිය රජගෙදරින් මට පණිවිඩයක් එවන්නීයැ” යි දැන දොරටුව ලඟ විශ්වාස පුරුෂයකු තැබී ය. “රජගෙදරින් ආ තැනැත්තාව වහා ඇතුළට ගෙන මට පෙන්වන්න” යැයි කීය. මෙසේ ද කියා සයනයේ හොත්තේ ය.

ඒ මොහොතේ රජු ද සයනය මත හුන්නේ පණ්ඩිතයන්ගේ ගුණ සිහිපත් කොට ‘මහෞෂධ පණ්ඩිතයෝ සත්වයස් කාලයේ පටන් මට සේවය කරන්නේ මට කිසිදු අවැඩක් කළේ නැත. දේවතාවන් ප්‍රශ්න කළ අවස්ථාවේදී පණ්ඩිතයන් නොසිටින්න මාගේ ජීවිතය ද නැතිවන්නට තිබුණි. වෛරී වූ සතුරන්ගේ වචන භාරගෙන අසම වූ පණ්ඩිතයන්ව මරව් යැයි කඩුව දෙන්නා වූ මා විසින් අයුත්තක් කරන ලදී. හෙට ඔහුව දකින්නට නොලැබෙයි’ කියා ශෝකයට පත්විය. ශරීරයෙන් දහඩිය නිකුත් විය. ශෝකයෙන් මැඩ ගන්නා ලද සිතෙහි පැහැදීමක් නොලැබී ය.

ඔහු සමග සයනයට ගිය උදුම්බරා දේවිය ඒ ස්වභාවය දැක “මේ මොන අපරාධයක්ද? කිසි අපරාධයක් තිබේද? එසේ නැත්නම් රජුට ශෝකය ඇති කරන වෙනත් කරුණක් ඇති වීදැ” යි විචාරන්නී,

“මහරජ, ඔබගේ සිත් පෙරළියට හේතු කවරේද? කවර හෙයින් ඔබෙන් වචනයක් නොඅසම්ද? කුමක් සිතමින් දොම්නස් වූයෙහි ද දේවයිනි. මාගෙන් වූ යම් අපරාධයෙක් හෝ ඇත්ද?” යි විචාළාය.

ඉක්බිති රජු මෙසේ කීය.
“මහා ප්‍රාඥ වූ මහෞෂධ පණ්ඩිතයන් මැරිය යුතු යයි මා විසින් වධයට අණකරන ලද්දේ ය. ඒ ගැන සිතමින් දොම්නස් වූයෙම් වෙමි. දේවිය! ඔබ කළ අපරාධයක් නැත” යි රජතෙමේ කීය.

ඒ ප්‍රකාශය අසා ම මහාසත්ත්වයන් කෙරෙහි පර්වතයක් බඳු මහා ශෝකයක් ඇය තුළ ඇති විය. ඕ තොමෝ මෙසේ සිතුවා ය. “එක් උපායකින් රජු අස්වසා රජු නින්දට වැටෙන කල්හි මාගේ බාල සොහොයුරාට පණිවිඩයක් යවමි”

ඉක්බිති ඔහුට “මහරජ, ඔබ විසින් මෙය කරන ලදී. ගෘහපති පුත්‍රයාව මහත් වූ සම්පත්තියෙහි පිහිටුවන්නා වූ ඔබ විසින් සේනාපති තනතුරේ තබන ලදී. දැන් කිම ඔබගේ සතුරෙක් විය. සතුරා කුඩා වුවත් ඉවත්කළ යුතුයි. ඔබ නොසිතන්න” යි රජු සනසාලීය. ඔහු තුනී වූ ශෝක ඇත්තේ නින්දට වැටුනේය.

දේවිය නැගිට කාමරයට පිවිස “මහෞෂධය, පණ්ඩිතයෝ සතර දෙන ඔහුව භේද කළහ. රජු කිපියේ හෙට දොරටුව ලගදී ඔබව නසන්නට නියෝග කළේ ය. හෙට රජ ගෙදරට නොඑන්න. එන්නේ නම් නගරය අත්පත් කරගෙන දක්‍ෂයෙක්ව පැමිණෙන්න” යි පණිවිඩයක් ලියා රසකැවිල්ලක් තුළට දමා රසකැවිල්ල නූලකින් ඔතා අලුත් බඳුනක දමා වසා සලකුණු තබා මෙහෙවර කාන්තාවකට දුන්නේ ය.

“මේ රසකැවිල්ල ගෙන මාගේ බාල සොහොයුරාට දෙන්න”

ඕ තොමෝ එසේ කළා ය.

(රාත්‍රියේ පණිවුඩකරු කෙසේ නික්මෙන්නෙදැයි නොසිතන්න. රජු පළමුව දේවියට වරයක් දුන්නේ ය. ඒ නිසා ඇයට කිසිවකු වැළැක්වූයේ නැත)

බෝධිසත්ත්වයන්ට පණිවිඩය ගෙන පිටත්කර හැරියා ය. ඇය, ගොස් දුන් බව පැවසී ය. එකෙණෙහි දේවිය ගොස් රජු සමග නිදා ගත්තා ය. බෝධිසත්ත්වයෝ ද රස කැවිල්ල කඩා පණිවිඩය කියවා ඒ කාරණය දැනගෙන කටයුතු දේ විමසා සයනයෙහි හොත්තේ ය.

පණ්ඩිතවරු සතරදෙන උදෑසන ම කඩුව ගත් අත් ඇතිව දොරටුව ලග සිට පණ්ඩිතයන් නොදක්නාහු නොසතුටුව රජු සමීපයට ගොස් “කිම පණ්ඩිතයෙනි! තොප ගෘහපති පුත්‍රයාව ඝාතනය කළහුදැ?” යි කියා ඇසූ කල්හි “දේවයන් වහන්ස, ඔහුව නොදකිමු” යැයි කීහ.

මහාසත්ත්වයෝ ද අරුණ නැගී එනවිට ම නගරය තමන් සතු කරගෙන ඒ ඒ තැන ආරක්ෂාව තබා මහාජනයා පිරිවරාගෙන රථයකට නැගී මහ පිරිවරින් රජුගේ දොරටුව ලඟට ගියේ ය. රජු සීමැදුරු කවුළුව විවෘත කොට බලමින් සිටියේ ය. ඉක්බිති මහා සත්ත්වයෝ රථයෙන් බැස රජුට වැන්දේ ය. රජු සිතීය. “ඉදින් මොහු මාගේ සතුරෙක් වන්නේ නම් මට වඳින්නේ නැත”

ඉක්බිති ඔහුව කැඳවා රජු සයනයෙහි හිඳගත්තේ ය. මහා සත්ත්වයෝ ද ගොස් එකත්පසෙක හුන්නේ ය. පණ්ඩිතයෝ සතරදෙන එහි ම සිටියාහ. ඉක්බිති රජු කිසිවක් නොදන්නාක් මෙන් “දරුව! ඔබ ඊයේ ගියෙහි ය. දැන් එන්නෙහි කුමක් නිසා මා අත්හළේදැයි” කීය.

ඉක්බිති ඔහුට චෝදනා කරමින් මහා සත්ත්වයෝ මෙසේ කීහ.

“මහරජ, නුඹ විසින් පණ්ඩිතයන් සතර දෙනාගේ වචනය පිළිගෙන මා නසන්නට අණ කළේ ය. ඒ නිසා මම නොආවෙමි.

මහරජ, මහෞෂධ පණ්ඩිත මැරිය යුතුයැයි ඉදින් ඔබ විසින් සේනකාදීන් සමග මන්ත්‍රණය කරන ලද ද රැයෙහි හුදෙකලා වූයේ බිරිඳට එය කීහ. ඔබ විසින් හෙළි කළ ඒ රහස මා විසින් අසන ලද්දේ ය.

රජතෙම එය අසා ‘මැය විසින් එකෙණෙහිම පණිවිඩයක් එවන ලද්දේ වන්නේ ය’ කිපුනේ දේවිය දෙස බැලී ය. එය දැන මහා සත්ත්වයෝ,

“කිම දේවයන් වහන්ස! දේවියට කිපෙන්නෙහිද ? මම අතීත, වර්තමාන, අනාගත සියල්ල දනිමි, දේවයන් වහන්ස, ඔබවහන්සේගේ රහස මට දේවිය කියන්නට ඇතැයි සිතුනත් සේනක පුක්කුස ආදීන්ගේ රහස් මට කවරකු විසින් කියන ලදද? මම මොවුන්ගේ ද රහස් දනිමි” යි පළමුව සේනකගේ රහස කියමින් මෙසේ කීහ.

“සේනක තෙමේ සල් උයනේ සිට යම් ලාමක වූ පාපකර්මයක්
කළේ ද, එය මිත්‍රයකුට කීවේය. ඒ හෙළි කළ රහස මා විසින් අසන ලදී. මේ නගරයේ ම අසවල් නම් ඇති වෛශ්‍යාව සල් උයනේ දී මරා ආභරණ රැගෙන ඇගේ ම සලුවෙන් පොට්ටනියක් කොට බැඳ තමන්ගේ ගෘහයෙහි අසවල් තැන තැබුයේ ය. ඉක්බිති ඔහු එක් මිත්‍රයකුට රහසිගතව සිට කීවේ ය. එය ද මා විසින් අසත ලදී. මම දේවයන් වහන්සේගේ සතුරෙක් නොවේ. සේනකයා සතුරා ය. ඉදින් ඔබවහන්සේට සතුරාගෙන් වැඩක් ඇත්නම් සේනකයාව අල්ලා ගන්න”

රජු සේනක දෙස බලා ඇත්තදැයි අසා දේවයිනි, ඇත්තයි කී කල්හි ඔහුව බන්ධනාගාරයට යවන ලෙස අණ කළේ ය. පණ්ඩිතයෝ පුක්කුසගේ රහස කියන්නේ මෙසේ කීහ.

“මහරජ, ඔබගේ පුක්කුස නම් වූ රාජ පුරුෂයාට රජුන් විසින් ළං නොවිය යුතු රෝගයෙක් උපන. හේ රහසිගතව සොහොයුරාට කීය. එසේ රහස හෙළි කිරීම මා විසින් අසන ලදී.
මහරජ, මොහුට කුෂ්ට රෝගයක් සෑදින. ඔහු ලඟට රජු නොයා යුතු ය. ස්පර්ශ නොකළ යුතු ය. ඔබ වහන්සේ ද පුක්කුසගේ දෙවටොර මොලොක්යැයි බොහෝ සෙයින් ඔහුගේ ම වටොර මත හොවින්නේ ය. ඔහු වනාහි ඇස් බඳින රෙදිකඩකින් ස්පර්ශ ලද්දේ ය”

රජු ඔහුව ද බලා සත්‍යදැයි අසන ලදුව එසේය, දේවයන් වහන්ස යැයි කී කල්හි ඔහුවද බන්ධනාගාරයට පිටත්කර හැරියේ ය.

පණ්ඩිතයෝ කාවින්දයන්ගේ රහස හෙළි කරන්නේ,

“කාවින්දයා නරදේව නම් යක්‍ෂයකු විසින් ස්පර්ශ කරන ලද්දේ ය. මේ ආබාධය යෝග්‍ය නොවන ස්වභාව ඇත්තේ ය. හේ එය රහසිගතව පුත්‍රයාට කීවේ ය. එසේ රහස හෙළි කිරිම මා විසින් අසන ලදී.
හෙතෙම යම් ආබාධයකින් ස්පර්ශ කරන ලද්දේ උමතු වූ සුනඛයකු මෙන් කෑගසයි. ඒ නරදේව යක්‍ෂාබාධය අසභ්‍ය ස්වරූපී ය. ලාමක ය. මහරජතුමනි, එයින් ස්පර්ශ වූ තැනැත්තා රජගෙදරට පිවිසීමට සුදුසු නැත”

රජු කාවින්දය, එය සත්‍යදැයි අසා සත්‍යයයි කීකල්හි ඔහුවද බන්ධනාගාරයට යවන ලදී. පණ්ඩිතයෝ දේවින්දගේ රහස කියන්නේ,

“සක්දෙව් රජ ඔබගේ මී මුත්තණුවන්ට මහඟු අෂ්ටවංක මාණික්‍යය දුන්නේ ය. ඒ මිණිරුවන දැන් දේවින්දයා අතට පත්ව ඇත. හේ ඒ බව මවට රහසේ කීය. රහස හෙළි කිරීම මා විසින් අසන ලදී.
ඔබගේ මීමුත්තා වූ කුසරජුගේ ඒ මංගල සම්මත වූ මාණික්‍ය රත්නය අද දේවින්දගේ අතට පත්ව ඇත”

රජු එයද සත්‍යදැයි අසා සත්‍යයැයි කී කල්හි ඔහුවද බන්ධනාගාරයට යැවීය.

මෙසේ බෝධිසත්ත්වයන් මරන්නෙමු යයි කියූ උන් සියල්ලෝ ම බන්ධනාගාරයට පිවිසියාහ. බෝධිසත්ත්වයෝ ද මේ හේතුවෙන් “මම තමන්ගේ රහස අනුන්ට නොකිව යුතු යයි කියමි. රහස කිවයුතු යැයි ප්‍රකාශ කළ අය මහා විපතකට පත්වී ඇතැයි” කියා මත්තෙහි ධර්ම දේශනා කරන්නේ මේ ගාථාවන් ප්‍රකාශ කළහ.

“සැඟවිය යුත්ත සැඟවීමම මැනවි. රහස හෙළි කිරීම ප්‍රශස්ත නොවේ. නුවණැත්තේ කාර්ය නිෂ්පත්තිය නොවූ රහස දරන්නේ ය. කාර්ය සංසිද්ධියෙන් පසුවැ රිසි සේ කියන්නේ ය.

සැඟවිය යුත්ත හෙළි නොකටයුත්තේය. එය නිධානයක් සේ ආරක්ෂා කළ යුතුයි. නුවණැත්තහු විසින් රහස් හෙළිකිරීම උචිත නොවේ.

නුවණැත්තා, ස්ත්‍රියට ද හතුරාටද යමෙක් ආමිෂ හේතුවෙන් පෙළඹේනම් ඔහුට ද කෛරාටික සිතැත්තාටද රහස් හෙළිනොකරන්නේය. යම් මිනිසෙක් අනුන් විසින් නොදතයුතු රහසක් යමකුට කීයේ නම් රහස් හෙළිවේය යන බියෙන් හෝ ඔහුගේ දාසයකු සෙයින් සියල්ල ඉවසයි.

මන්ත්‍රණය කළවුන් අතර යම්තාක් දෙනා ඔහුගේ රහස් දනිත් ද ඔහුට එපමණ තැති ගැනුම් ඇතිවේ. ඒ නිසා රහස නොහළ යුත්තේ ය. හෙළි නොකළ යුත්තේ ය.

රහස දවල් කාලයෙහි විවේකවැ කිය යුත්තේ ය. රැයෙහි සීමාව ඉක්මවූ වචන නොකියන්නේ ය. අසල සිටින්නෝ ඒකාන්තයෙන් මන්ත්‍රණය ශ්‍රවණය කරන්නාහ. එයින් මන්ත්‍රණය භේදයට පැමිණෙයි.”

රජතුමා මහා සත්ත්වයන්ගේ කථාව අසා මොව්හු තමන්ම රජුගේ වෛරකාරයන් බවට පත්ව මාගේ පණ්ඩිතයන්ට වෛර කරයි කියා කිපී “යව්, ඔවුන් නගරයෙන් පිටත්කර උල්වල හිඳවව්. නැතහොත් හිස් ගසා දමවු” යැයි අණ කළේ ය.

ඔවුන් පසුපසට අත්බැඳ සතර සතර බැගින් පහර සියයක් දී ගෙනයන කල්හි පණ්ඩිතයෝ, “දේවයන් වහන්ස! මොව්හු ඔබවහන්සේගේ පැරණි ඇමැතිවරු ය. ඔවුන්ගේ වරදට සමාව දෙන්න” යැයි රජුට කීය.

රජු යහපතැයි කැඳවා ඔහුගේ ම දාසයන් කොට දුන්නේ ය. හෙතෙම ඔවුන් එහිම සේවකයන් කළේ ය. රජු “එසේනම් මාගේ රාජ්‍යයෙහි වාසය නොකරත්වා” යි රටින් පිටුවහල් කිරිමට නියෝග කළේ ය. පණ්ඩිතයෝ, “දේවයන් වහන්ස, මේ අන්ධ බාලයන්ට සමාව දෙන්න” යැයි සමා කරවා ඔවුන් තනතුරු පෙර පැවැති පරිදිම ලබා දුන්නේ ය.

රජු මෙසේ සිතීය “තම සතුරන් කෙරෙහි මොහුගේ මෛත්‍රී භාවනාව මෙබඳු නම් අන් අය කෙරෙහි කෙබඳු වන්නේ ද?”  කියා පණ්ඩිතයන් කෙරෙහි අතිශයින් ප්‍රසාදයට පත්විය.

එතැන් පටන් පණ්ඩිතයෝ සතරදෙන දළ ගැලවූ සර්පයන් මෙන් බලරහිතව කිසිවක් කියන්නට අපොහොසත් වූහ.

එතැන් පටන් පණ්ඩිතයෝ ම රජුට අර්ථයෙන් ද ධර්මයෙන් ද අනුශාසනා කරයි. ඔහු මෙසේ සිතීය. “මම රජුගේ සේසත සමග වූ රාජ්‍යය විචාරමි. මා අප්‍රමාදී විය යුතුය”

හෙතෙම නගරය වටා මහා ප්‍රාකාරයක් තැනවී ය. එපරිද්දෙන්, අප්‍රධාන ප්‍රාකාර ද දොරටුවල අට්ටාල ද අභ්‍යන්තර අටලු ද දියඅගල ද මඩඅගල ද වියලි අගල ද යන අගල් තුනක් ද කරවී ය. නගරාභ්‍යන්තරයේ පැරණි නිවාස ප්‍රතිසංස්කරණය කරවීය. මහා පොකුණු සාදවා ඒවායේ ජල උල්පත් කරවී ය. නගරයේ සියලු ගබඩා ධාන්‍යයෙන් පිරවී ය. හිමවත් ප්‍රදේශයෙන් මඩ සහ නෙලුම් ඇට ගෙන්වා ගත්තේ ය. ජලාපවාහන මාර්ග ද පිරිසිදු කරවා නගරයෙන් පිටත ද දිරාගිය ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කරවී ය. ඒ ඒ තැනින් ආවා වූ වෙළෙඳුන් අතින් ‘කොහේ සිට ආවේදැ’ යි විචාරා අසවල් තැනින් යැයි කීවිට ‘තොපගේ රජතුමා කවර දෙයක් වඩාත් ප්‍රිය කරන්නේදැ’ යි, අසා අසවල් දේ යැයි කීවිට ඒ ඒ අයට සැළකිලි දක්වා තමන්ගේ එකසිය එකක් යෝධයන් කැඳවා ‘මා දුන් පණිවිඩ ගෙන එක්සියයක් රාජධානිවලට ගොස් මේ ලිපි තමන් කැමති අයුරින් ඒ රජවරුන්ට දී ඔවුන්ට උපස්ථාන කොට ඔවුන්ගේ කටයුතු හෝ සාකච්ඡාවන් දැනගෙන මා හට එවමින් එහිම වාසය කරව්. මම තොපගේ දූදරුවන් පෝෂණය කරන්නෙමි’ යි කියා සමහර අයට කුණ්ඩලාභරණ ද ඇතැමුන්ට රන්මිරි වැඩි ද සමහරුන්ට කඩු ද සමහරුන්ට ස්වර්ණමාලාවන් ද කරවා ‘මහෞෂධ පණ්ඩිතගෙන් ත්‍යාගයකි’ යනුවෙන් අකුරු ලියවා ‘යම් විටක මට අවශ්‍ය වුවහොත් පෙනෙත්වා’ යි අධිෂ්ඨාන කොට ඔවුන් අත යැවී ය. ඔවුහු ඒ ඒ තැන්වල ගොස්, ඒ ඒ රජවරුන්ට පණිවිඩ ලිපි භාර දී රජුට සහාය සඳහා පැමිණි බව කියා, කොහෙන්දැයි විචාළ විට ආවා වූ තැන්වලට වෙනස් තැන් කියා, ඔවුන් විසින් යහපතැයි පිළිගත් කල්හි සේවය කරන්නාහු ඔවුන්ගේ හිතවත්තු වූහ.

එකල්හි ඒකබල රටෙහි සංඛපාල නම් වූ රජු ආයුධ පිළියෙල කරයි. සේනාව එකතු කරයි. ඔහු සමීපයෙහි යොදන ලද පුරුෂයා පණ්ඩිතයන්ට හසුනක් යැවී ය. “මෙහි තොරතුරු මේවා ය. මෙ මේ දේ කරයි. වැඩි දෙයක් නොදනිමු. සුදුසු කෙනෙකුන් යවා ඇති තතු දැනගනිත්වා! “

ඉක්බිති මහා සත්ත්වයන් වහන්සේ ගිරාපෝතකයාට කථාකොට, “හිතවත, ගොස් ඒ ඒකබල රටෙහි සංඛපාල රජු මෙය කරන්නේ යැයි දැනගෙන සියළු දඹදිව ඇවිද මට තොරතුරු දන්වන්න” යි කියා මීපැණි සහිත විළඳ කවා මී පැණි පොවා සියවර දහස්වර පිසින ලද තෙලෙන් පියාපත් පිරිමැද පෙරදිග සීමැදුරු කවුළුවේ සිට පිටත් කළේ ය. ඒ ගිරවා එහි ගොස් ඒ පුරුෂයා වෙතින් රජු පිළිබඳ තොරතුරු ඇති පරිදි දැනගෙන දඹදිව පුරා සංචාරය කරන්නේ කම්පිල්ල නම් රටෙහි උත්තර පංචාල නගරයට ලඟා විය.

එකල්හි එහි චූලනී බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කළේ ය. ඔහුගේ කේවට්ට නම් බ්‍රාහ්මණයෙක් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කරයි. ඔහු දක්ෂ ය, පණ්ඩිත ය.

ඔහු අළුයම් වේලෙහි පිබිද, ප්‍රදීපාලෝකයෙන් අලංකාර වූ සිරියහන් ගැබ බලා මහත් වූ යසස දැක ‘මාගේ මේ යසස කවුරුන් සතුදැයි සිතන්නේ අනිකකුගේ නොවේ, චුලනී බ්‍රහ්මදත්ත රජු සතු ය. මෙබඳු වූ යසසක් දෙන්නා වූ රජුව මුළු දඹදිව රජු කරවන්නට වටනේ ය. මම ද අග්‍ර පුරෝහිත වන්නෙමි’ යි සිතුවේ ය.

ඔහු උදෑසනම රජු සමීපයට ගොස් සුවසේ සැතපුනේ ද යනාදිය විමසා රජුට මෙසේ කීය.“දේවයිනි, සාකච්ඡා කළයුතු දෙයක් ඇත”

“ආචාරිනි, කියව”

“රජතුමනි, නගරාභ්‍යන්තරයේ රහසක් කථා කරන්නට නොහැකිය. උයනට යමු”

“යහපති ආචාරිනි”

රජු ඔහු සමග උයනට ගොස් බල සේනාව පිටත තබා ආරක්ෂා යොදා බ්‍රාහ්මණයා සමග උයනට පිවිස මඟුල් ගල්තලාවේ හිඳ ගත්තේ ය. ගිරා පෝතකයා ඒ ක්‍රියාව දැක ‘මෙහි යම් කිසිවක් සිදුවිය හැකි ය. අද පණ්ඩිතයන්ට දැනුම් දිය යුතු යම්කිසිවක් අසන්නෙමි’ යි උයනට පිවිස මගුල් සල් ගසක පත්‍ර අතර සැඟ වී සිටියේ ය.

රජු, “ආචාරිනි දැන් කියන්න” යැයි පැවසී ය.

“මහරජතුමනි, ඔබ වහන්සේගේ කන් මා වෙත ළං කරන්න, කන් සතරකින් ඇසූ දෙය පමණක් රහසක් වන්නේ ය. ඉදින් මහරජතුමනි, මගේ වචනය කරන්නේ නම් සියළු දඹදිව ඔබ වහන්සේව අගරජ කරමි”

හෙතෙම මහත් වූ තණ්හාවකින් ඔහුගේ වචනය අසා සතුටට පත්වූයේ වී “කියන්න ඇදුරුතුමනි, මම කරන්නෙමියි” කීය.

“දේවයිනි! අපි සේනාව රැස් කරවා පළමුව කුඩා නගරයක් වටකර අල්ලාගනිමු. මම වනාහි කුඩා දොරටුවෙන් නගරයට පිවිස රජුට කියමි,’ රජතුමනි! ඔබට යුද්ධයෙන් වැඩක් නැත. හුදෙක් අප සතු වන්නේ ය. ඔබ වහන්සේගේ රාජ්‍යය ඔබටම වන්නේ ය. යුධ කරන්නේ වනාහි අපගේ බල සේනා විශාල බැවින් ඒකාන්තයෙන් පරාජය වන්නේ ය. ඉදින් මාගේ වචනය කරන්නෙහි ද ඔහුට සංග්‍රහ කරමි. ඉදින් මා කියන ලෙස නොකළෝ නම් යුද කොට ජීවිතක්‍ෂයට පත්කරන්නෙමි’යි කියමි.

මෙසේ සේනාව ගෙන වෙනත් නගරයකට, එතනින් වෙන නගරයකට, යන උපක්‍රමයෙන් සියළු දඹදිව රාජ්‍යය ගෙන ජයපැන් බොමු’ යි කියා එක්සියයක් රජවරු අපගේ නගරයට ගෙනවිත් උයනෙහි මධුපාන මණ්ඩපයක් සූදානම් කර එහි සිටියවුන් විෂ මිශ්‍ර සුරාපානය කොට ඔවුන් සියල්ලන්ව ජිවිතක්‍ෂයට පත්කර ගඟට දමා එක්සියයක් රාජධානිවල රාජ්‍යය අපගේ අතට පත්කර ගන්නෙමු. මෙසේ යි කියමි සියළු දඹදිව අගරජ වන්නෙහිය”

හෙතෙම, “ආචාරිය, එසේය. කරන්නෙමියි” කීය.

“මහරජතුමනි! මේ රහස වනාහි රහසකි. මෙය වනාහි වෙන කෙනෙකු විසින්
දැනගත නොහැකි ය. ඒ නිසා ප්‍රමාද නොවී වහා නික්ම යන්න”

රජු සතුටුව යහපතැයි පිළිතුරු දුන්නේය.

ගිරා පෝතකයා එය අසා ඔවුන්ගේ රහස් මන්ත්‍රණය අවසානයේ ,එල්ලා තිබෙන දෙයක් පහතට හෙළන්නාක් මෙන් කේවට්ටයාගේ හිසෙහි වර්චස් පිඬක් හෙළා, මේ කුමක්දැයි මුව විවර කොට උඩ බලන්නහුගේ මුවෙහි තවත් පිඩක් හෙළා අත්තෙන් උඩට පැන, “කේවට්ටය! නුඹ ඔබගේ රහස මන්ත්‍රණයක් යැයි සිතන්නෙහි ද? දැන්ම කන් සයකට ගියේ ය. නැවත කන් අටකට ගොස් නොයෙක් සියදහස් කන්වලට යන්නේයැ” යි කීය.

“රාජපුරුෂයනි, ගිරවා අල්වව්, අල්වව්” කියා කියද්දීම වාත වේගයෙන් මිථිලා නුවරට ගොස් පණ්ඩිතයන්ගේ නිවෙස්නට පිවිසියේ ය.

ඔහුගේ වනාහි මේ චාරිත්‍රයයි. එනම්, ඉදින් යම්තැනකින් ගෙනෙන ලද ආරංචියක් පණ්ඩිතයන්ට ම කිව යුතු වන්නේ නම් ඉක්බිති පණ්ඩිතයන්ගේ දසරුවට බසියි. ඉදින් අමරා දේවිය ද ඇසීමට යෝග්‍ය නම් උකුලෙහි ලගී. ඉදින් මහජනයා විසින් ඇසිය යුත්තක් නම් බිමට බසී.

ඔහු පණ්ඩිතයන්ගේ දසරුවෙහි ලැගුම් ගත්තේ ය. ඒ සළකුනෙන් රහසක් විය යුතු යයි සිතා මහජනයා නික්ම ගියේ ය. පණ්ඩිතයෝ ඔහුව (ගිරවා) රැගෙන උඩුමහල් තලයට නැග “දරුව, ඔබ විසින් යමක් දකින ලද්දේ ද? අසන ලද්දේදැ” යි විචාළේ ය.

ඉක්බිති ඔහු “දේවයන් වහන්ස! මුළු දඹදිව වෙනත් රජකුගෙන් කිසි බියක් නොදකිමි. උත්තර පංචාල රටෙහි චූලනී බ්‍රහ්මදත්ත රජුගේ පුරෝහිත වූ කේවට්ට නමැත්තා රජුව උයනට ගෙන ගොස් සිව්කන් මන්ත්‍රණයක් කරන ලදී. මම අතු අතර සිට ඔහුගේ මුවෙහි වර්චස් පිඩක් හෙළා ආවෙමි” යි කියා අසන ලද සියල්ල, දකින ලද සියල්ල පණ්ඩිතයන්ට කිවේ ය. ‘රජු විසින් පිළිගන්නා ලදදැ’ යි ඇසූකල්හි’ දේවයිනි, පිළිගන්නා ලදැ’ යි කීවේ ය.

පණ්ඩිතයෝ ඔහුට කළයුතු සියළු සත්කාර කොට ඔහුව (ගිරවා) මෘදු වූ ඇතිරිල්ලක ස්වර්ණමය මැදිරියේ හොවා “කේවට්ටයා මා මහෞෂධ බව නොදනියි සිතමි. දැන් ඔහුගේ කරන ලද කුමන්ත්‍රණය මස්තකප්‍රාප්ත වන්නට ඉඩ නොදෙමි” යි සිතා නගරයෙන් දුප්පත් පවුල් බැහැර කොට පිටත වාසය කරවී ය. රටේ ජනපද, දොරටුගම්වල සමෘද්ධිමත් පොහොසත් පවුල් කැඳවා නගරයෙහි වාසය කරවී ය. බොහෝ ධනධාන්‍ය රැස්කරවී ය.

චූලනී බ්‍රහ්මදත්ත රජු කේවට්ටයාගේ වචනය පිළිගෙන සේනා පිරිවරාගෙන ගොස් එක් නගරයක් වටකළේ ය. කේවට්ටයා කියන ලද ආකාරයට එහි පිවිස ඒ බව රජුට දැනුම් දී තමන් සතු කොට සේනා දෙකක් එකට එකතුකර වෙනත් රජකෙනෙක් යනාදී ලෙස චූලනී බ්‍රහ්මදත්ත රජු කේවට්ටයාගේ අවවාදයෙහි පිහිටියේ, වේදේහ රජු හැර දඹදිව සියළු රජවරු තමන් යටතට ගත්තේ ය.

බෝධිසත්ත්වයන්ගේ යොදන ලද පුරුෂයෝ ‘බ්‍රහ්මදත්ත රජු විසින් මෙපමණ නගර අල්ලා ගන්නා ලදී, මෙපමණ අල්ලා ගන්නා ලදී අප්‍රමාදී වන්න’ යැයි නිතරම පණිවුඩ එවත්, ඔහු ද ‘මම මෙහි අප්‍රමාදීව කටයුතු කරමි. නුඹලා නොකලකිරි අප්‍රමාදීව වාසය කරන්න’ යැයි කියා යැවී ය.

බ්‍රහ්මදත්ත රජු සත්දවස් සත්මස් අධික කොට ඇති අවුරුදු සතකින් වේදේහ රාජ්‍යය හැර දඹදිව සෙසු රාජ්‍යයන් අල්වාගෙන කේවට්ටයාට මෙසේ කී ය. “ඇදුරුතුමනි, වේදේහ රජුගේ මිථිලා නුවර රාජ්‍යය අල්ලා ගනිමු”

“රජතුමනි! මහෞෂධ පණ්ඩිතයන් වාසය කරන නගරයේ රාජ්‍යය අල්ලා ගැනීමට නොහැක. ඔහු වනාහි මෙබඳු දක්ෂතාවයකින්, උපාය කුසලතාවයකින් යුක්ත කෙනෙකි”

මෙසේ ඔහු විස්තරකොට සඳමඬලෙහි පහර දෙන්නාක් මෙන් මහෞෂධයන්ගේ ගුණ ප්‍රකාශ කළේ ය.

මොහු වනාහි, තෙමේ ද උපායෙහි දක්‍ෂයෙකි. ඒ නිසා “මිථිලා රාජ්‍යය වනාහි සුළු එකකි. සියළු දඹදිව රාජ්‍යය අපට සෑහේ. මෙයින් අපට කවර ප්‍රයෝජනයක්ද?” යැයි රජුට වටහා දුන්නේ ය. ඉතිරි රජවරු ද අපි මිථිලා රාජ්‍යය අල්ලාගෙන ම ජය පැන් බොන්නෙමු යැයි කියත්. කේවට්ටයා ඔවුන්ව ද වලකා “විදේහ රාජ්‍යය අල්ලාගෙන කුමක් කරන්නෙමු ද? ඒ රජු අප සතු ය. නවතිව්” යි ඔහු උපායයෙන් වටහා දුන්නේ ය.

ඔව්හු ඔහුගේ වචනය අසා නතර වූහ.

පුරුෂයෝ බෝධිසත්ත්වයන්ට පණිවිඩ එවූහ, “බ්‍රහ්මදත්ත රජු එක්සියයක් රජුන් පිරිවරා මිථිලාවට එන්නේ, නතරවී තමන්ගේ නගරයටම ගියේ ය”

හෙතෙමේ ද ඔවුන්ට “එතැන් පටන් ඔහුගේ ක්‍රියාව දැනගනිත්වා” යි හරවා යැවීය.

බ්‍රහ්මදත්ත රජු ද කේවට්ටයන් සමග දැන් කුමන කාර්යයක් කරන්නෙමුදැ’ යි සාකච්ඡා කොට අපි ජයපැන් බොන්නෙමු’ යි උයන සරසා “හැලි දහසක සුරාව තබව්. නන්වැදෑරුම් මත්ස්‍යමාංශ ආදිය ද තබව්” යැයි සේවකයන්ට අණ කළේය.

ඒ පුවත ද පණ්ඩිතයන් යොදන ලද පුරුෂයෝ ඒ යැවූහ. ඔව්හු වනාහි විෂ යොදා රජුවරුන් මරනු කැමැත්තේයැයි නොදනී. මහා සත්ත්වයෝ වනාහි ගිරාපෝතකයාගේ සමීපයෙන් අසන ලද බැවින් දනියි. ඔහු ‘සුරාපානාදිය නියම අයුරින් දැනගෙන මට දන්වා එවන්යැ’ යි හසුනක් යැවී ය. ඔව්හු එසේ කළහ.

ඒ අසා පණ්ඩිතයෝ, ‘මා වැනි පණ්ඩිතයකු ජීවමාන කල්හි මෙපමණ රජුන්ගේ මරණය සිදුවීම යුක්තියුක්ත නොවේ’ යැයි සිතා සහජාත යෝධයන් දහස කැඳවා, “හිතවතුනි, චූලනී බ්‍රහ්මදත්ත රජු උයන සරසවා එක සියයක් රජුන් පිරිවරා සුරාපානය කරනු කැමැත්තේ ය. තෙපි එහි ගොස් රජවරුන්ට ආසන පැනවූ කල්හි කිසිවකුත් අසුන් නොගත් කල්හි බ්‍රහ්මදත්ත රජුට අනතුරුව ඉතා වටිනා ආසනයක් අපගේ රජතුමාට යැයි ගෙන, ඔවුන්ගේ පුරුෂයන් විසින් නුඹලා කාගේ පුරුෂයෝදැයි විචාළ කල්හි වේදේහ රජුගේ යයි කියව්. ඔව්හු, ‘සත්දවස් සත්මස් අධික කොට ඇති වර්ෂ හතක් රාජ්‍යයන් අල්ලා ගන්නාහු එක් දිනක්වත් වේදේහ කියා රජකු නුදුටුවෙමු. මේ කවර නම් රජෙක්ද? යව්, අවසානයේ ආසනයක් ගනිව්’ යයි තොප සමග කෝලාහල කරත්, තෙපි ‘බ්‍රහ්මදත්ත රජු හැර අපේ රජුට වඩා උසස් කෙනෙක් නැතැ’ යි කෝලාහලය වැඩිකොට ‘අපගේ රජතුමාට ආසනයක්වත් නොලැබ තොප සුරාපානය කරන්නට හෝ මස්මාළු අනුභව කරන්නට හෝ නොදෙන්නෙමු’ යැයි කෑගසමින් කණ්ඩායම් ලෙස කෑගසමින් ඒ හඬින්ම ඔවුන්ට සන්ත්‍රාසය ඇතිකොට විශාල මුගුරුවලින් සියළු හැළි බිඳවා මත්ස්‍යමාංශ විසුරුවා දමා අනුභව කළ නොහැකි සේ කොට වේගයෙන් සේනාව තුළට පිවිස කලබලයක් ඇතිකොට, දෙව්ලොවට පිවිසි අසුරයන් මෙන්, අපි මිථිලා නගරයේ මහෞෂධ පණ්ඩිතයන්ගේ පුරුෂයෝ වෙමු. හැකිනම් අපව අල්ලා ගනිව්’ යැයි තොප ගිය බව හඟවා ආපසු එව” යි කියා යැවී ය.

ඔව්හු යහපතැ’ යි එතුමන්ගේ වචනය පිළිගෙන, පංචායුධයෙන්
සන්නද්ධව නික්ම එහි ගොස් නඳුන් උයන මෙන් සරසන ලද උයනට පිවිස ඔසවන ලද සේසත් ඇති එක්සියයක් රාජාසන මුල්කොට පිළියෙල කරන ලද ශ්‍රී විභූතිය දැක මහා සත්ත්වයන් විසින් කියන ලද ආකාරයෙන්ම සියල්ල කොට මහජනයා කළඹවා මිථිලා නුවර දෙසට නික්ම ගියහ.