ඛුද්දක නිකාය | විමානවත්ථු
තුන්වෙනි නාවා විමානය
“පින්වත් දෙව්දුව, රත්තරනින් නිම කළ ලස්සන වහලක් ඇති නැවකයි ඔබ ඉන්නේ. දිව්‍ය වූ නෙළුම් මල් පිපුණ පොකුණට බැහැලා අතින් නෙළුම් නෙලමින් නේද ඉන්නේ? ඒ ඔබේ දිව්‍ය විමානයේ සුවිශාල මන්දිර තියෙනවා. හරි අපූරුවට කාමර වශයෙන් බෙදලා තියෙනවා. හාත්පස සතර දිග්භාගයේම ඒ විමානය දිළිසෙනවා. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුනේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුනේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුනේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව, මිනිස් ලෝකෙ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා.”
සම්බුදුරජාණන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුනා. මොන වගේ පින්කම්වලින්ද මේ සැප ලැබුනේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ.
“ඒ කලින් ජීවිතයේ මං හිටියේ මනුස්ස දුවක් වෙලා. එදා මං පිපාසයෙන් කලන්තේ හැදිලා වැටිල හිටිය ස්වාමීන් වහන්සේලා කිහිප නමක් දැක්කා. මං ඉක්මනට නැගිටලා උන්වහන්සේලාට වළඳන්න පැන් ටිකක් පූජා කරගත්තා.
ඉතින් කවුරු හරි කෙනෙක් පිපාසයෙන් කලන්තේ හැදිලා වැටිලා ඉන්න කෙනෙකුට ඉක්මනින්ම වළඳන්න පැන් ටිකක් දුන්නොත් ඒ කෙනාට සීතල දියදහර පිරී ගිය, ලස්සන මල් පිරුන, සුදු නෙලුම් පිපිලා තිබෙන ගංගාවන් පහළ වෙනවා. එතකොට ඒ දිව්‍ය විමානය වටකරගෙන ලස්සන සුදු වැලි තලාව හැදෙනවා. ඒ මතින් තමයි සිහිල් දිය දහරා ඇති ලස්සන ගංගාවන් හැම තිස්සේම ගලාගෙන බසින්නේ.
ඉතින් ඒ හැමතැනම මල් පිපුණු අඹ ගස් තියෙනවා. සල් ගස් තියෙනවා. තිලක ගස් තියෙනවා. දඹ ගස් තියෙනවා. ඇහැල ගස් තියෙනවා. පලොල් ගසුත් තියෙනවා. එවැනි බිම් පෙදෙස්වල තමයි දිව්‍ය විමාන පහළ වෙන්නේ. ඒ දිව්‍ය විමාන පුදුම විදිහේ සුන්දරත්වයෙන් යුක්තයි.
ඉතින් ස්වාමීනී, එදා මා කළ ඒ පින්කමින් තමයි මේ විපාකය ලැබුනේ. පින්කළ අයට තමයි මේ වගේ සම්පත් ලැබෙන්නේ.
ඒ මගේ දිව්‍ය විමානයේ සුවිශාල මන්දිර තියෙනවා. හරි අපූරුවට කාමර බෙදලා තියෙනවා. හාත්පස සතර දිග්භාගයේම ඒ විමානය දිළිසෙනවා.
ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුනේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුනේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුනේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස, මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබළි බැබළී ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා.