ඛුද්දක නිකාය | විමානවත්ථු

පීත විමානය

“ඔබට රන්වන් දිවසළු තියෙනවා. රන්කොඩි ලෙල දෙනවා, රන් ආභරණවලින් සැරසිලා ඉන්නවා. රන්වන් පාට සඳුන්වලින් ගත තවරාගෙන ඉන්නවා. රන්වන් පාට මහනෙල් මල් පැළඳගෙන ඉන්නවා.  ප්‍රාසාදයත් රන්වන්. සයනාසනත් රන්වන්. රන්බඳුන් තියෙනවා. රන්වන් කුඩ තියෙනවා. දිව්‍ය රථත් රන්වන්. ඒ අශ්වයනුත් රන්වන් පාටයි. ඒ විජිනි පතුත් රන්වන් පාටයි. සුන්දරී, ඔබ ඉස්සර මනුස්ස ලෝකෙදි මොන වගේ කුසල කර්මයක්ද කළේ. පින්වත් දෙව්දුව, අපි මේ ඔබෙන් අහන්නෙ මෙවැනි පුණ්‍ය විපාකයක් ලබන්ට හේතු වුන පුණ්‍ය කර්මය ගැනයි.”

“සක් දෙවිඳුනි, වැටකොළු නමින් වැල් ජාතියක් තියෙනවා. මං ඒ වැලෙන් මල් හතරක් කඩාගත්තා. මට ලොකු බලාපොරොත්තුවක් තිබුනෙ නෑ. මං ඒ මල්ගෙන බුදු රජුන්ගේ ස්ථූපය කරා ගියා. ශාස්තෘන් වහන්සේ ගේ උතුම් බුදු සිරුර ගැන හිතද්දී මගේ හිතට පුදුමාකාර සතුටක් දැනුනා. මං ඒ ස්ථූපය ගැනමයි සිත සිතා හිටියේ.

ඒ ගවදෙන එනවා මං දැක්කෙ නෑ. මට ස්ථූපය ළඟට ගිහින් මල් පූජා කරගන්නා අදහස ඉටුකර ගන්න බැරි වුනා. ගව දෙන ඇනලා මං මැරුනා. ඉතින් මට ඒ පින රැස් කර ගන්න පුළුවන් වුනා නම් මීටත් වඩා උතුම් සැප ලැබෙනවා කියලයි මට හිතෙන්නේ. පින්වත් දේවේන්ද්‍රය, මඝවා නම් වූ උතුම් දෙවිඳ. මං ඒ පුණ්‍ය කර්මයෙන් තමයි මිනිස් ශරීරය අත්හැරලා ඔබ අතරට පැමිණුනේ. “

තව්තිසා දෙව්ලොවට අධිපති මඝවා නම් වූ ඒ උතුම් දෙවිදුන් තව්තිසා දෙවිවරුන්ව පැහැදෙන විදිහට මාතලී දිව්‍ය පුත්‍රයාට මෙහෙම කිව්වා.

“පින්වත් මාතලී, මේ පුණ්‍ය විපාකය දිහා බලන්න. හරි අසිරිමත් නේද? දිය යුතු දේ ඉතා යන්තම් දෙයක් වුනත් ඒ පින මහත්ඵල ඉපදෙව්වා නෙව. තථාගත වූ බුදුරජාණන් වහන්සේ ගැන වේවා, තථාගත ශ්‍රාවකයන් ගැන වේවා සිත පහදවා ගෙන සුළු දෙයක් දුන්නත් ඒ දක්ෂිණාව අල්ප වෙන්නෙ නෑ. පින්වත් මාතලී, එන්න අපිත් තථාගතයන් වහන්සේගේ ධාතූන් වහන්සේලා වඩ වඩාත් පුදමු. පින් කිරීමමයි සැපය කියන්නෙ.

බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දීත්, උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සෙත් සම සිතින්ම යම් පූජාවක් කරනවා නම් සම විපාක ලැබෙනවා. මේ සත්වයන් සුගතියේ උපදින්නෙ සිත පිහිටුවා ගන්නා වූ යහපත් දේ අනුවමයි. යම් කෙනෙකුට පූජා සත්කාර කරන දායකයන් සුගතියේ උපදිනවා නම්, ඒ තථාගතයන් වහන්සේලා ඒකාන්තයෙන්ම ලෝකයට පහළ වන්නේ බොහෝ දෙනාට යහපත උදාකරන්ටමයි.”