සලලපුෂ්පිකා රහත් තෙරණින් වහන්සේ
151. (පෙරැ) මම චන්ද්රභාගා නදීතීරයෙහි කිඳුරියක් වූමු. එකලැ දෙවියන්ට දෙවි වූ නරශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේ සක්මන් කරනු දුටුමු.
152. මම් සලල මල් නෙලා “මහාවීරයන් වහන්ස, දිව්‍යමය සුවඳැති සලල මල් සුඹුනා සේක්ව” යි බුද්ධශ්‍රෙෂ්ඨයන් වහන්සේට දුන්මු.
153. එවිට මහාවීර වූ ලෝකනායක විපස්සී සම්බුදුරජාණන් මා බලා සිටිය දී මැ (එමල් ) සිඹ වදාළසේකැ.
154. ද්විපදොත්තම බුදුරදුන් ඇඳිලි බැඳ වැඳ සිය සිත පහදවා ගෙන එතැනින් නික්මැ පර්වතයට නැගුණමු.
155. මෙයින් එක්අනූවන කප්හි යම් මලක් (පූජා විසින්) දිනිම් ද, (එ පිනෙන්) දුගතිය නො දනිමි. පුෂ්පපූජායෙහි මේ ඵල යි.
156. මා විසින් කෙලෙස්හු දවන ලදහ … අනාස්‍රව වැ වාස කෙරෙමි.
157. මට යහපතක් වියැ … බුදුසසුන් කරන ලද යැ.
158. සිවුපිළිසිඹියා ද … බුදුසසුන් කරන ලදී.
මොදකදායිකා රහත් තෙරණින් වහන්සේ
159. මම බන්ධුමතී නගරයෙහි කළදැස්සක් වූමු. දිය අදනා මම මගේ (අහර) කොටස රැගෙන (දිය අදනට) ගියමු.
160. මගැ (වඩනා) ශාන්ත සිත් ඇති සන්හුන්ගමන් ඇති මහණ කෙනකුන් දැක මම් පහන් සිතැති වැ සොම්නස් වැ මොදක (-රසකැවිලි) තුනක් ඔබට දුන්මු.
161. ඒ කුශලකර්‍මහේතුයෙන් ද, චේතනාප්‍රණිධියෙන් ද මම එක්අනු කපක් මුළුල්ලෙහි දුගතියකට (උපත් විසින්) නො ගියමු.
162. ම ඒ කුශලය කොට සියලු සැපත් අනුභව කරමි. මම් මොදක තුනක් දන් දී අචලපදය වූ නිවනට පැමිණියා වෙමි.
163. – 165. මා විසින් කෙලෙස්හු දවන ලදහ … බුදුසසුන් කරන ලදි.
ඒකාසනදායිකා රහත් තෙරණින් වහන්සේ
166. එක්කලෙක මම් හංසවතී නගරයෙහි බාලිකාවක් වූමු. මාගේ මවත් පියාත් කර්මාන්තස්ථානයට ගියාහු යැ.
167. හිර මුදුන් සමයෙහි වීථියෙහි වඩනා මහණ කෙනෙකුන් මම දුටුමු. (මම් ඔබට හිඳුනා සඳහා) අස්නක් පැනවූමු.
168. මම කොඳුපලස්, විසිතුරු එළුලොම් ඇතිරි, ආදියෙන් අසුනක් පනවා පහන් සිත් ඇති වැ සොම්නස් වැ මෙ වදන් කීමි.
169. පොළොව රත්වී ඇත, ක්වථිත (-කැකෑරුණාක් මෙන්) යැ, හිර මධ්‍යාහ්නයෙහි සිටියේ යැ, සුළං ද නො හමයි, වළඳනා කාලය ද එළැඹැ සිටියේ යැ.
170. (මම් මෙසේ කීමි.) “මහමුනිතුමනි, මෙ අස්න ඔබ සඳහා පනවන ලද යැ, මාගේ අස්නෙහි අනුකම්පා කොට වැඩ හිඳිනු මැනැවි.”
171. මොනොවට දැමුණු පිරිසිදු මනස් ඇති ශ්‍රමණයන් වහන්සේ එහි වැඩහුන්හ. ඔබගේ පාත්‍රය ගෙන මම (අහරින්) පුරවා දුන්මු.
172. ඒ කුසලකර්‍මයෙන් ද, චේතනාප්‍රණිධියෙන් ද, මිනිස් කය හැරපියා තව්තිසා දෙව්ලොවැ උපන්මු.
173. එහි මට විමනක් කරන ලදි. (එය) අස්නෙන් යුතු කොට මොනොවට නිමවන ලද යැ. සැට යොත්නක් උස් යැ, පනස් යොත්නක් පුළුල් යැ.
174. මාගේ විවිධ පර්‍ය්‍යඞ්කයෝ රන්මුවා යැ, මිණිමුවා යැ, පිළිමිණිමුවා යැ, රන්මිණිමුවා ද වෙත්.
175. මාගේ පර්‍ය්‍යඞ්කයෝ පුළුන් මෙට්ටයෙන් හා රූ නඟාකළ එළුලොම් ඇතිරියෙන් ද රන්කම් කළ තිහිරි ඇතිරියෙන් හා විසිතුරු එළුලොම් ඇතිරියෙන් ද දෙ දා ඇතිරි එක් දා ඇතිරියෙන් ද මොනොවට අතුරන ලද්දාහ.
176. හාසයෙන් හා ක්‍රීඩායෙන් සමර්පිත වැ යම් විටෙකැ ගමනක් රිසියෙම් ද, වරපර්‍ය්‍යඞ්කය සහිත වැ මා රිසි තෙනට යෙමි.
177. අසූදෙව්රජුනට මෙහෙසිබව කරවූමු. සැත්තෑවක් සක්විති රජුනට ද මෙහෙසි වූමු.
178. කුදුමහත් බෙවෙහි හැසිරෙන මම් මහත් භෝග ලබමි. මාගේ භෝගයන්හි අඩුබවෙක් නැති. එක අසුනක ඵල යි මේ.
179. දෙව් බව යැ මිනිසත් බව යැ යන භව දෙක්හි හැසිරෙමි. අන් භවයෙක් නො දනිමි. මේ එක් අසුනක් පිදීමේ ඵල යි.
180. කැත් කුලෙහි යළි බමුණු කුලෙහි බමුණු කුලෙහි යන දෙකුලෙහි උපදීමි. සැමතන්හි උසස් කුල ඇති වූමු. ඒකාසනදානයේ ඵල යි මේ.
181. දොම්නස නො දනිමි. මාහට, සිත්තැවිල්ලකුදු නැත. විවර්ණ බව නො දනිමි. මේ වූකලි එක් අසුනක් දීමේ විපාක යි.
182. කුදු වූ ද, කෙළතොලු වූ ද බොහෝ උපමවුහු මට උවටන් කෙරෙති, (මම ඔවුන්ගේ) ඇකයෙන් ඇකයට යමි, මේ එක් අසුනක් දීමෙහි විපාක යි.
183. සැම කල්හි මා අන්හු නහවති, අන්හු වළඳවති, අන්හු තුටු කරවති, අන්හු ගඳ විලෙවුන් දෙත්. මේ එකාසනදාන ඵලයි.
184. මණ්ඩපයෙහි වේවයි, රුක්මුලැ වේවයි, ශුන්‍යාගාරයෙහි වේවයි මාගේ සිත්හසර දැන පළඟ එළැඹැ සිටියි.
185. මේ මාගේ අන්තිම (පැසුලු) භවයයි, අද රජය හැරපියා බුදුසසුන්හි පැවිදි වීමි.
186. මෙයින් සුවහස්වන කප්හි යම් දනක් දුනුමු ද, (එතැන් පටන්) දුගතිය නො දනිමි. මේ වනාහි එක් අස්නක් පිදීමේ විපාක යි.
187. – 189. මා විසින් කෙලෙස්හු දවන ලදහ … බුදුසසුන කරන ලදි.
(වෙනත්) පඤ්චදීපදායිකා රහත් තෙරණින් වහන්සේ
190. ඒ සුවහස්වන කප්හි මම හංසවතී නගරයෙහි චාරිකා කරන්නක් වූවා කුසල් කැමැති වැ අරමින් අරමැ හැසුරුණමු.
191. මම (එක්) කළුවර පොහෝ දිනෙකැ උතුම් බෝරුක දුටුයෙම් එහි සිත පහදවා බෝරුක් මුල්හි හුන්නමු.
192. එවේලෙහි බුහුමන් සිත් එළවා ඇඳිලි බැඳ සොම්නස් ලැබ මෙසේ සිතුවෙමි:
193. “ඉදින් (පියුමතුරා) බුදුහු අපමණගුණ ඇතිසේක් නම් අසම වූ අප්‍රතිපුද්ගල සේක් නම් මට පෙළහර දක්වන සේක්වා. මේ බෝරුක බබළාවා” යි.
194. මාගේ ආවර්ජනාව හා සමග එකෙණෙහි බෝරුක දිලුණේ යැ. සියල්ල රනින් කරන ලද මෙන් වියැ. සියලු දිශාවෝ බැබළුණාහ.
195. මම සත්රෑදවාලක් ඒ බෝරුක්මුල්හි හුන්නෙම් සත්වැනි දවස එළැඹි කල්හි පහන් පූජාවක් කළමු.
196. ආසනය පිරිවරා ප්‍රදීප පසෙක් දිලුණේයැ. එදවසැ හිරු උදාවනතෙක් මාගේ ප්‍රදීපයෝ දිලුණ හ.
197. මැනැවින් කළ ඒ කුශලකර්‍ම හේතුයෙන් ද චේතනා ප්‍රණිධි හේතුයෙන් ද මිනිස්කය හැරපියා මම දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියා වෙමි.
198. එහි මට මොනොවට කරනලද විමනෙක් වියැ. සැට යොත්නක් උස් වූ තිස්යොත්නක් පුළුල් වූ ඒ විමන පඤ්චදීපි යි කියනු ලැබෙයි.
199. යම්තාක් දෙව්විමන ප්‍රදීපාලෝකයෙන් දිලියේද (ඒතාක්) අසඞ්ඛ්‍යසඞ්ඛ්‍යාත ප්‍රදීපයෝ හාත්පස දිලෙත්.
200. ඉදින් (මම) පරාම්මුඛ වැ හිඳැ දක්නට රිසියෙම් නම් උඩ ද යට ද සරස ද වූ සියල්ල මසැසින් දකිමි.
201. සුගත – දුර්ගතයන් දක්නට යම්පමණින් කැමැත්තෙම් නම් එහිලා රුක්හි වේවයි පවුහි වේවයි ආවරණයෙක් නැති.
202. දෙව්රජුන් අසූදෙනකුන්හට මෙහෙසි වූමු. සියගණන් සක්විති රජුන්හට ද මෙහෙසි වූමු.
203. දෙව්බව යැ, මිනිස්බව යැ, යන යම්යම් ගතියෙකැ උපදනෙම් ද සියදහස්ගණන් පහන් මා අවට දිලියෙයි.
204. දෙව්ලොවින් සැවැ (මනුලොවැ) මවුකුසැ උපන්නෙම්, මවුකුසට ගියා වූ මාගේ ඇස් නිමිලනය (පිය) නො වෙයි.
205. (මම්) පුණ්‍යකර්‍මසමන්වාගතයෙමි. (එහෙයින්) සුවහස් පහන්හු තිඹිරිගෙහි දිලෙන්නාහ. මේ වූකලී පඤ්චදීපදානයාගේ ඵලයි.
206. පශ්චිමභවය පැමිණිකල්හි මනස කෙලෙසුන්ගෙන් මුදවා ලූමු. ජරා – මරණ රහිත සිහිල් වූ නිවන මම ස්පර්ශ කළමු.
207. ජාතියෙන් සත්හැවිරිදි වූ මම් රහත්බවට පැමිණියෙමු. ගෞතම ගොත්‍ර ඇති බුදුහු ගුණ සලකා (මා) උපසපන් කළහ.
208. මණ්ඩපයෙහි වේවයි, රුක්මුල්හි වේවයි, ශුන්‍යාගාරයෙහි වේවයි වෙසෙන මාහට හැමකල්හි පහනක් දිලෙයි. මේ වූකලී පඤ්චප්‍රදීපදානයාගේ ඵලයි.
209. මට දිවැස විශුද්ධ වියැ, මම සමාධියෙහි දක්‍ෂ වූමු. අභිඥාපාරයට පැමිණියා වෙමි. මේ වනාහි පඤ්චප්‍රදීපදානයාගේ ඵලයි.
210. චක්‍ෂුර්මත් මහාවීරයන් වහන්ස, සකල බ්‍රහ්මචර්යවාස වැස නිම වූ කෘතකෘත්‍ය ඇති අනාස්‍රව වූ පඤ්චදීපා මෙහෙණ (ඔබ) පා වඳියි.
211. මෙයින් සුවහස්වන කප්හි යම් පහන් පූජාවක් කළා වෙම් ද, (ඒ හේතුයෙන්) දුගතිය නො මැ දනිමි. මේ වූකලී පඤ්චදීපදානයාගේ ප්‍රතිඵලයි.
212. – 214. මා විසින් කෙලෙස්හු දවන ලදහ … බුදුසසුන් කරන ලදි.
සාලමාලිකා රහත් තෙරණින් වහන්සේ
215. එක්කලෙක මම චන්ද්රභාගා නදීතීරයෙහි කිඳුරියක් වැ උපන්මු. ඒ (මම්) ස්වයම්භූ වූ විරජ වූ (සිද්ධාර්ථ) බුදුරදුන් දුටුමු.
216. පහන් සිතැති (එහෙයින් මැ) සොම්නස් වූ උපන් ප්‍රීති ඇතියෙම් බදැදිලි වැ සාලමාලාවක් (සල්මල්දමක්) ගෙන එයින් සම්බුදුරදුන් පිදුමු.
217. ඒ කුශලකර්‍මයෙන් ද චේතනාප්‍රණිධියෙන් ද කිඳුරු සිරුර හැරපියා දේවත්වයට ගියමු.
218. සතිසක් දෙව්රජුනට මෙහෙසි වූමු. මනසින් පැතූ යමක් වේද, ඒ සියල්ල මට සිතැඟි සේ උපදියි.
219. (මිනිස් ලොවැ) දසසක්විත්තනට මෙහෙසි වූමු. පෙර පින් රැස්කළ හෙයින් කුදුමහත් බෙවෙහි හැසිරෙමි.
220. මට කුසල් ඇත. බුදුසසුන්හි පැවිදි වූමු. මම් අද ශාක්‍ය පුත්‍රයන් වහන්සේගේ ශාසනයෙහි පූජාර්හ වෙමි.
221. අද පිරිසිදු මනස් ඇති වෙමි. පහවූ චිත්ත සංක්ලේශ ඇති වෙමි. සියලු ආස්‍රවයෝ ක්‍ෂය වූහ. දැන් (මට) පුනර්භවයෙක් නැති.
222. මෙයින් සිවු අනූවන කප්හි යම්හෙයෙකින් බුදුරදුන් පිදුයෙම් ද එහෙයින් දුගතිය නො මැ දනිමි. මේ වූකලී සාලමාලා පූජායෙහි ඵලයි.
223. – 225. මා විසින් කෙලෙස්හු දවන ලදහ … බුදුසසුන් කරන ලදී.
දසදහසක් රහත් තෙරණින් වහන්සේලා
1029. මෙයින් පෙර සාරාසංඛ්‍යකල්පලක්‍ෂයෙහි ලෝකනායක වූ දීපංකර නම් ජිතපඤ්චමාරයෝ උපන්හ.
1030. සත්වයන් විනයනය කරන මහාවීර වූ දීපඞ්කර සර්වඥයන් වහන්සේ සුමේධ ද සුමිත්ත ද යන මොවුන් සමාන සුවදුක් ඇතිබව ප්‍රකාශ කළ සේක.
1031. ඒ ප්‍රකීර්තනයෙහි දී දෙවියන් සහිත ලෝවැසියන් දක්නමෝ සදේවක ලෝකයෙහි හැසිරෙන්නමෝ අපි ඔවුන්ගේ සමාගමයට පැමිණ –
1032. අනාගත සමාගමයෙහි අප සියල්ලන්ට ස්වාමි වුව මැනැව, අප සියල්ලෝ ම ඔබට මනවඩන ප්‍රිය වදන් කියන භාර්‍ය්‍යා වම්හ.
1033. මහාමුනි වූ සර්වඥයෙනි, අප විසින් දාන – සීලමය වූ සියලු කුසල් කරන ලද, භාවනා ද මොනොවට වඩන ලදු. බොහෝ කලක් සියල්ල පරිත්‍යාග කරන ලදි.
1034. මහාමුනි වූ සර්වඥයෙනි, සුවඳ විලෙවුන් මල් හා පහන් ද පතන ලද රුවන්මුවා වූ යම් කිසිවක් ඇද්ද, ඒ සියල්ල පරිත්‍යාග කරන ලදී.
1035. මහාමුනි වූ සර්වඥයෙනි, අන්‍ය වූ ද කුශලකර්ම කරන ලද, මානුෂික වූ පරිභෝග වස්තු ද යන සියල්ල අප විසින් බොහෝ කලක් පරිත්‍යාග කරන ලදී.
1036. නොයෙක් ජාති ඇති සංසාරයෙහි අප විසින් බොහෝ පින්කම් කරන ලදි. ඓශ්වර්‍ය්‍යය වළඳා කුදුමහත් භවයෙහි සැරිසරා –
1037. පශ්චිම භවය පැමිණි කල්හි කැමැති වර්ණ ඇති අප්සරාවෝ නානාකුලයෙහි උපන්නාහු ශාක්‍යපුත්‍ර වූ සිදුහත් කුමරුන්ගේ නිවෙසනයෙහි –
1038. අග්‍ර වූ ලාභයෙන් යුක්ත ව පුදනු ලැබූ සියල්ලන් විසින් සත්කාර කරන ලද හැම කල්හි සම්මානිත වූ අපි ආහාර පාන ලබනසුලු වූම්හ.
1039. ගිහිගෙය හැර ශාසනයෙහි පැවිදි ව අඩමසක් නො පත් කල්හි සියල්ලෝ නිවනට පැමිණියම්හ.
1040. ආහාර පාන ද වස්ත්‍ර හා සෙනසුන් ද ලාභී වූම්හ. සියලු ප්‍රත්‍යයෝ ලැබෙත්. හැම කල්හි සත්කෘත පූජිත වූම්හ.
1041. අප විසින් ක්ලේශයෝ දවන ලදහ, සියලු භවයෝ නසන ලදහ, බැඳුම් සිඳ ඇතින්නන් මෙන් අස්‍රව රහිත වැ වාස කරම්හ.
1042. බුද්ධශ්‍රේෂ්ඨයන්ගේ ශාසනයට ඒකාන්තයෙන් අපගේ මනා පැමිණීම විය, ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ, බුදුසසුන් කරන ලද.
1043. සිවුපිළිසිඹියාවෝ ද … බුදුසසුන් කරන ලදි.
යසවතී රහත් තෙරණින් වහන්සේ ප්‍රමුඛ අටළොස්දහසක් රහත් තෙරණින් වහන්සේලා
1104. මහාමුනිවරය, ඔබට ආරෝචනය කරම්හ. අපගේ සියලු භවයෝ ක්‍ෂය වූහ. භවසන‍්ධිය මුදනා ලදු, අපගේ සියලු ආස්‍රවයෝ නැති.
1105. මහාමුනිවරය, පූර්වකුශලකර්‍ම (ජනිත වූ) මනා කොට පතන ලද යම් කිසි පරිභෝගාර්හ (වස්තුවක් ඇද්ද) එය නුඹවහන්සේ සඳහා දෙන ලද.
1106. මහාමුනිවරය, නුඹ වහන්සේ සඳහා බුදු පසේබුදුවරයන්ට ද බුද්ධශ්‍රාවකයන්ට ද පරිභෝගාර්හ වස්තු දෙන ලද.
1107. මහාමුනිවරය, භික්‍ෂූන්ට (පරිත්‍යාගයෙන්) කුදුමහත් පින්කම් කොට මොනවට පතන ලද උච්චාකුල (උපනට නිසි) වතාවත් කරන ලද.
1108. එ මැ කුශලමූලයෙන් මෙහෙයන ලද කර්‍මසම්පත්තියෙන් මානුෂික (රූපාදිය) ඉක්මවූවාහු කැත් කුලයෙහි උපන්හ.
1109. උපතෙහි ද පින්කම් කරන කල්හි ද ජාතියෙන් ද එක්ව විසුම්හ, පශ්චිම භවයෙහි එක්ව ක්‍ෂත්‍රිය කුලයෙහි උපනුම්හ.
1110. මහාවීරයන් වහන්ස, රූපවත් ව භෝගවත් ව ලාභසත්කාරයෙන් පූජිත ව දෙවියන්ගේ නන්‍දනයෙහි මෙන් අන්තඃපුරයෙහි විසුම්හ.
1111. ගිහිගෙයින් කලකිරී ශාසනයෙහි පැවිදි වූම්හ, කිහිප දවසක් ඉක්මැයෑමෙන් ඇපි සියලු දෙන නිවනට පැමිණියම්හ.
1112. හැම කල්හි අපට සත්කාර පූජා කරන බොහෝ ජනයෝ සිවුරු පිඬුවා ගිලන්පස හා සෙනසුන් ද එළවත්.
1113. අප විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ, බැඳුම් සිඳ ඇතින්නන් මෙන් ආස්‍රව රහිත ව වාස කරම්හ.
1114. බුද්ධශ්‍රේෂඨයන් සමීපයෙහි අපගේ පැමිණීම ස්වාගත විය … බුදුසසුන් කරන ලද.
1115. සිවිපිළිසිඹියා ලබන ලද … බුදුසසුන් කරන ලදී.
සුවාසූදහසක් රහත් තෙරණින් වහන්සේලා
1116. මහාමුනිවරයන් වහන්ස, පෙර නුඹ වහන්සේට (සුළු) අසූදහසක් සියුමැලි අත්පා ඇති බමුණුකුලයෙහි උපන් (කන්‍යාවෝ වූහ.)
1117. මහාමුනිවරයන් වහන්ස, පෙර නුඹ වහන්සේට වෛශ්‍ය ශුද්‍ර කුලයෙහි උපන්නා වූ ද දේව නාග කින්නර වූ ද සිවුමහ දිවයින්හි, වූ බොහෝ කන්‍යාවෝ වූහ.
1118. කිසි කෙනෙක් පැවිදි වුවාහු ඇත, බොහෝ දෙන සිවුසස් දක්නාසුලු වෙති, දෙවියෝ ද කින්නරයෝ ද නාගයෝ ද අනාගතයෙහි සිවුසස් අවබෝධ කරන්නාහ.
1119. සියලු යශස් වළඳා සියලු සම්පතට පැමිණ නුඹ වහන්සේ කෙරෙහි ප්‍රසාදය උපදවා අනාගතයෙහි සත්‍යාවබෝධය කරන්නාහ.
1120. පසැස් ඇති මහාවීරයන් වහන්ස, බමුණු කුලයෙහි උපන් බ්‍රාහ්මණධීතෘ වූ අපි වැලිත් දක්නා වූ නුඹ වහන්සේගේ පාසඟුළුවන් වඳුම්හ.
1121. සියලු භවයෝ නසන ලදහ, තෘෂ්ණාමූලය මුලුසුන් කරන ලද, අනුශයයෝ සිඳින ලදහ, පුණ්‍යසංස්කාරයෝ බිඳින ලදහ.
1122. සියල්ලෝ සමාධි ගෝචර කොට ඇත්තාහ, එසේ මැ සමවත්හි වශී වූහ, හැම කල්හි ඇපි ධ්‍යානය හේතු කොට ධර්‍මරතියෙන් යුක්ත වැ වාසය කරම්හ.
1123. භවනෙත්ති වූ අවිද්‍යාව ද සංස්කාරයෝ ද ගෙවන ලදහ, නායකයන් වහන්ස, සුදුර්දශ වූ නිර්වාණ පදයට යන්නට අනුදැන වදාළ මැනැව.
1124. කළ කිස ඇති තෙපි බොහෝ කළක් මට උපකාර වූවහු යැ, බොහෝ දෙනාගේ සැක සිඳපියා සියල්ලෝ නිවනට යෙත්වා.
1125. මුනීන්ද්‍රයන්ගේ පාසඟුළුවන් වැඳ සෘද්ධිවිකුර්වණ කොට කිසි කෙනෙක් ආලෝකය දක්වති, යළි අන්‍යයෝ අන්‍ධකාරය දක්වත්.
1126. සඳහිරු දක්වති. මසුන් සහිත සයුර ද මහමෙර හා කුලපව් ද පරසතු රුක ද දක්වත්.
1127. තව්තිසා භවන ද යාමය ද තුසිතය ද නිර්මාණරති දෙවියන් ද මහත් ඉසුරු ඇති වසවර්තී දෙවියන් ද සෘද්ධියෙන් දක්වත්.
1128. කිසි කෙනෙක් බඹුන් දක්වති, මාහැඟි සක්මන ද කෙරෙති, බ්‍රහ්මවේශය ද මවා ශුන්‍යත ධර්‍මය දේශනා කෙරෙත්.
1129. නානා විකුර්වණ කොට ශාස්තෘන් වහන්සේට සෘද්ධි දක්වා සියල්ලෝ බලය දැක් වූහ, ශාස්තෘන් වහන්සේගේ පාසඟුළුවන් වැන්දාහ.
1130. මහාමුනිවරය, සෘද්ධියෙහි ද වශී වම්හ, දිව්‍යශ්‍රොත්‍රධාතුයෙහි ද චේතෝපරියඥානයෙහි ද වශී වම්හ.
1131. පෙර විසූ කඳපිළිවෙළ දනුම්හ, දිව ඇස පිරිසිදු කරන ලද, සියලු ආස්‍රවයෝ ක්‍ෂය කරන ලදහ, දැන් පුනර්භවයෙක් නැති.
1132. මහාවීරයන් වහන්ස, නුඹ වහන්සේ සමීපයෙහි අපට අර්ථධර්‍මනිරුක්තීන්හි ද ප්‍රතිභානයෙහි ද ඥානය උපන.
1133. මහාමුනිවරය, පූර්වලෝකනාථයන්ගේ සංගමය අපට දක්වන ලද, නුඹ වහන්සේ සඳහා අපගේ බොහෝ අධිකාරයෝ වූහ.
1134. මුනිවරය, යම් කුශලකර්‍මයක් කරන ලද ද, එය සිහි කළ මැනැව, මහාවීරයන් වහන්ස, නුඹ වහන්සේ සඳහා අප විසින් පින් රැස්කරන ලද.
1135. මෙයින් සියදහස්වන කල්පයෙහි පියුමතුරා නම් මහා මුනිහු වූහ, ඒ සම්බුදුන්ට කුලභවන වූ නුවර හංසවතී නම් විය.
1136. හංසවතී නගරද්වාරයෙන් හැම කල්හි ගංගානදිය ගලයි, නදියෙන් බාධිත වූ ඒ භික්‍ෂුහු (පරතෙර) ගමන නො ලබත්.
1137. ඒ භික්‍ෂූහු දවසක් දෙකක් තුනක් ද සතියක් මාසයක් ද යළි සපුරා සාරමසක් ද (පරතෙර) ගමන නො ලබත්.
1138. එකල්හි සත්ත්‍වසාර වූ බෝසත් ජටිල නම් රැටියෙක් විය, හේ ඇවිරුණු භික්‍ෂූන් දැක ගඞ්ගායෙහි හෙයක් කැරැවී.
1139. එකල්හි සියදහසකින් ගඞ්ගායෙහි හෙයක් කැරැවී සඞ්ඝයාට (ගඟින්) මෙතෙර විහාරයක් ද කැරැවී.
1140. ස්ත්‍රීහු ද පුරුෂයෝ ද උස්පහත් කුලවැසියෝ ද යන ඔහු ඒ හෙයෙහි ද විහාරයෙහි ද සම කොටස් කළහ.
1141. ඇපිදු නගරයෙහි ද ජනපදයෙහි ද වූ අන් මිනිස්සු ද පහන් සිතින් යුක්ත වැ ඔහුගේ කුශලකර්‍මයන්හි හිමිකරු වූම්හ.
1142. බොහෝ ස්ත්‍රීපුරුෂයෝ ද කුමරු කුමරියෝ ද යන ඔහු හෙයට ද විහාරයට ද වැලි විසුළහ.
1143. වීදි හැමදැ රඹගස් පුන්කලස් හා ධජ ද සුවඳ දුම් හා සුණු ද මල්මාලා ද (යන මෙයින්) ශාස්තෘන් වහන්සේට සත්කාර කොට –
1144. හෙය හා විහාරය කරවා විනායක වූ බුදුරදුන් පවරා මහදන් දී සම්බෝධිය ප්‍රාර්ථනා කෙළේ යි.
1145. මහාවීර වූ, සියලු ප්‍රාණීන් (සසරින්) තරණය කරවන පියුමතුරා මහාමුනිහු ජටිල රැටියාට අනුමෙවෙනි කළහ.
1146. කප් සියදහසක් ඉක්මැගිය කල්හි භද්‍රකල්පයෙක් වන්නේ යැ, කුදුමහත් භවයෙහි සුවදුක් විඳ සම්බෝධියට පැමිණෙන්නේ යැ.
1147. යම්කිසි ස්ත්‍රී පුරුෂ කෙනෙක් එහි අත්තම් කළාහු ද, ඔහු සියල්ලෝ අනාගත කාලයෙහි (ඒ බුදුන්ට) හමු වන්නාහ.
1148. ඒ කර්‍මවිපාකයෙන් ද චිත්තප්‍රණිධියෙන් ද ඒ (අපි) දෙව්ලොවට පැමිණියමෝ නුඹ වහන්සේට පිරිවර වූම්හ.
1149. අසංඛ්‍ය වූ දිව සුව ද අසංඛ්‍ය වූ මිනිස් සුව ද විඳිමින් බොහෝ කලක් කුදුමහත් භවයෙහි සැරිසැරූම්හ.
1150. මෙයින් සියදහස්වන කපෙහි මොනොවට කළ යම් කර්‍මසම්පත්තියෙක් වී ද එයින් මිනිසුන් කෙරෙහි ද යළි උතුම් දෙව්ලොව ද සියුමැලි වැ උපනුම්හ.
1151. සුකෘත වූ යම් කර්‍මසම්පත්තියක් ඇද්ද එයින් රූප භෝග යශස් ද යළි කීර්තිය ද සත්කාර ද යන සියල්ල නිරතුරු ලබම්හ.
1152. පශ්චිම භවය පැමිණි කල්හි බමුණුකුලෙහි උපනුම්හ, සියුමැලි අත්පා ඇතියමෝ ශාක්‍යපුත්‍රයන්ගේ මාළිගායෙහි විසූම්හ.
1153. මහාමුනිවරය, සියලු කල්හි මැ නො සැරැසූ පොළොවක් නො දකුම්හ, නො පිරිසිදු මඩබිමක් නො දකුම්හ.
1154. ගිහිගෙයි වසන අපට සාර්වකාලික සත්කාරය විය, පූර්ව කර්‍මබලයෙන් අපට හැම කල්හි සියල්ල එළවත්.
1155. ගිහිගෙය හැරපියා ශාසනයට වැද සසරමහ තරණය කළමෝ වීතරාග වූම්හ.
1156. හැම කල්හි අපට ඒ ඒ තැනින් දහස්ගණන් සිවුරු පිඩුවා ගිලන්පස හා සෙනසුන් එළවත්.
1157. අප විසින් කෙලෙස්හු දවන ලදහ, සියලු භවයෝ නසන ලදහ, බැඳුම් සිඳ ඇතින්නන් සෙයින් ආස්‍රව රහිත වැ වාස කරම්හ.
1158. බුද්ධශ්‍රේෂ්ඨයන් සමීපයෙහි ඒකාන්තයෙන් අපගේ ස්වාගතය විය, ත්‍රිවිද්‍යා ලබන ලද. බුදුසසුන් කරන ලද.
1159. සිවුපිළිසිඹියා ලබන ලද … බුදුසසුන් කරන ලදී.
උප්පලදායිකා රහත් තෙරණින් වහන්සේ
1160. අරුණවතී නගරයෙහි අරුණ නම් රජෙක් විය, එ රජුට භාර්‍ය්‍යා වූ මම් එක් තැනැ සිත් අලවා වෙසෙමි.
1161. එකල්හි මම රහොගත වැ හිඳ මෙසේ සිතීමි; යම් හෙයකින් මා විසින් කළ ගෙනයායුතු කුශලයක් නැද්ද, එහෙයින් –
1162. මහත් තැවුලි ඇති කටුක වූ කැකුළු පියවි ඇති ඉතා දරුණු වූ නිරයට ඒකාන්තයෙන් යෙමි, මෙහි ලා මට සැකයෙක් නැති.
1163. මම මෙසේ සිතා සිත පහදවාගෙන රජු සමීපයට ගොස් මෙවදන් කීමි:
1164. “දේවයන් වහන්ස, ඇපි ස්ත්‍රීහු නම් හැම කල්හි පුරුෂයන් අනුව ගියම්හ, ක්‍ෂත්‍රියය, මට එක් මහණකු දුන මැනැවැ, වළඳවන්නෙමි” යි.
1165. එකල්හි රජ, වැඩූ ශ්‍රද්ධාදි ඉඳුරන් ඇති මහණකු මට දින, ඔබගේ පාත්‍රය ගෙන උතුම් අහරින් පිරැවීමි.
1166. උතුම් අහර පුරවා මම දහසක් අගනා මහත් වස්ත්‍රයකින් වසා සතුටු සිත් ඇති වැ දිනිමි.
1167. මොනවට කළ ඒ පින්කමින් ද චිත්තප්‍රණිධියෙන් ද මම මිනිස්කය හැරපියා තවුතිසා දෙව්ලොවට ගියෙමි.
1168. දහසක් දෙව්රජුන්ට මෙහෙසිබව කළමු, දහසක් සක්විත්තනට මෙහෙසිබව කළමු.
1169. මහත් වූ ප්‍රදේශ රාජ්‍යය ගණනින් අසංඛ්‍ය වෙයි, ඒ කුශලයාගේ එයින් අන්‍ය වූ නන්වැදෑරුම් බොහෝ කර්‍මඵලය විය.
1170. මාගේ පැහැය උපුලකට බඳු වෙයි, අභිරූප වූ දැකුම් කලු වූ සර්වාඞ්ග සම්පන්න අභිජාත වූ සෝභාවත් ස්ත්‍රියක් වෙමි.
1171. පැසුළු භවය පැමිණි කල්හි ශාක්‍යකුලයෙහි උපන්මු, මම ශුද්ධෝදන පුත්‍රයාගේ ස්ත්‍රීන් දහසකට පාමොක් වූමු.
1172. මම ගිහිගෙයි කලකිරී ශාසනයෙහි පැවිදි වූමු, සත්වැනි රාත්‍රියට නො පැමිණ චතුස්සත්‍යාවබෝධයට පැමිණියමු.
1173. සිවුරු පිඬුවා ගිලන්පස හා සෙනසුන් ද පමණ කරන්නට නො හැකි වෙමි, මේ පිණ්ඩපාතයාගේ අනුසසි.
1174. මුනිවරයන් වහන්ස, මාගේ යම් පූර්වකුශලකර්මයක් සිහි කරන්නහු ද මහාවීරයන් වහන්ස, නුඹ වහන්සේ සඳහා මා විසින් බොහෝ දෑ පරිත්‍යාග කරන ලද.
1175. මෙයින් එක්තිස්වැනි කපැ එකල යම් දනක් දුනුමු ද, එයින් දුගතිය නො දනිමි, පිණ්ඩපාතයාගේ මේ විපාක යි.
1176. දෙවිබව ද යළි මිනිස්බව ද යන දෙගතිය දනිමි, අන් ගතියක් නො දනිමි, මේ පිණ්ඩපාතයාගේ විපාක යි.
1177. මහාසාර වූ මහද්ධන ඇති උදිච්‍යකුලයෙහි උපදිමි, අන් කුලයක් නො දනිමි, පිණ්ඩපාතයාගේ මේ විපාක යි.
1178. කුදුමහත් භවයෙහි සැරිසරා කුශලමූලයෙන් මෙහෙයන ලදු වැ අමනාප දැයක් නො දක්මි, සොම්නස් සහගියබැව්හි මේ විපාක යි.
1179. සෘද්ධියෙහි ද දිවසෝධාහි ද වශී වෙමි, මහා මුනිවරය, චේතෝපරියඤාණයෙහි වශී වෙමි.
1180. පෙර විසූ කඳපිළිවෙළ දනිමි, දිව ඇස පිරිසිදු කරන ලද සියලු ආස්‍රවයෝ ක්‍ෂය කරන ලදහ, දැන් පුනර්භවයෙක් නැති.
1181. මහාවීරයන් වහන්ස, නුඹ වහන්සේ සමීපයෙහි අර්ථ ධර්ම නිරුක්තීන්හි ද එසේ ම ප්‍රතිභානයෙහි ද මාගේ ඤාණය උපන.
1182. – 1184. මා විසින් කෙලෙස් දවන ලදහ … බුදුසසුන් කරන ලද.
පේසලා රහත් තෙරණින් වහන්සේ
1323. මේ භද්‍රකල්පයෙහි බ්‍රහ්මබන්ධු වූ මහායශස් ඇති වාදීන් කෙරෙහි උතුම් වූ නමින් කස්සප නම් බුදුහු උපන් සේක.
1324. මම සැවැත්පුරවරයෙහි උවසුකුලයෙක උපන්මු. ඒ ජිනවරයන් දැක දේශනාව ද අසා –
1325. – 1326. ඒ වීරයන් සරණ ගොස් සිල් ද සමාදන් වීමි, කිසිකලෙක ඒ නරාසභ වූ මහාවීරයන් වහන්සේ මහාජන සමාගමයෙහි තමන් වහන්සේගේ අභිසම්බෝධිය ප්‍රකාශ කළ සේක: “දුක්ඛා දි වූ පෙර නො ඇසූ විරූ ධර්‍මයන්හි –
1327. නුවණැස ද ඥානය ද ප්‍රඥාව ද මාගේ විද්‍යාලෝකය ද වී” යයි ඒ අසා ඉගෙන යළි භික්‍ෂූන් විචාළමු.
1328. මොනොවට කළ ඒ කර්මයෙන් ද චේතනා පිහිටුවීමෙන් ද මම මිනිස්කය හැරපියා තව්තිසා දෙව්ලොවට ගියමු.
1329. දැන් පශ්චිම භවයෙහි මහ සිටුකුලයෙහි උපන්මු. බුදුන් කරා එළැඹැ සත්‍යප්‍රතිසංයුක්ත වූ සද්ධර්‍මය අසා –
1330. පැවිදි වැ නොබෝ කලෙකින් මැ සත්‍යාර්ථයන් විමසමින් සියලු ආස්‍රවයන් ගෙවා රහත්බවට පැමිණියමු.
1331. මහාමුනිවරය, සෘද්ධීන්හි ද දිවසෝධායෙහි ද වසී වෙමි, චේතෝපරියඤාණයාගේ ද වසී වෙමි.
1332. පූර්වනිවාස දනිමි, දිව ඇස විශොධිත යැ, සියලු ආස්‍රවයෝ ක්‍ෂය වූහ, දැන් පුනර්භවයෙක් නැති.
1333. බුද්ධශ්‍රේෂ්ඨයන්ගේ අනුහසින් අත්ථ ධම්ම නිරුත්තීන්හි ද එසේ මැ පටිභානයෙහි ද මාගේ ඥානය විමල යැ, පරිශුද්ධ යි.
1334. මා විසින් කෙලෙස්හු දවන ලදහ, සියලු භවයෝ නසන ලදහ, කෙලෙස් බැඳුම් සිඳ ආස්‍රව රහිත වැ ඇතින්නක මෙන් වෙසෙමි.
1335. බුද්ධශ්‍රේෂ්ඨයන් සමීපයෙහි එකැතින් මාගේ ස්වාගතය විය, ත්‍රිවිද්‍යා අනුප්‍රාප්තයහ, බුදුසසුන් කරන ලද.
1336. සිව්පිළිසිඹියා ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥා ද පසක් කරන ලදහ, බුදුසසුන් කරන ලදී.