ගාථා තිහ බැගින් වදාළ කොටස
ජීවක අඹ වනයේ සුභා තෙරණියගේ ගාථා
එදා සුභා තෙරණිය ලස්සන ජීවක අඹ වනය ඇතුලේ යමින් සිටියා. එතකොට සල්ලාල මිනිහෙක් ඇවිත් ඇගේ ගමන් මාර්ගය හරස් කරල හිටගත්ත. සුභා තෙරණිය ඔහුට මෙහෙම කිව්වා.
ආයුෂ්මත, මං ඔබට මොකක්ද කරපු වැරැද්ද? මං යන ගමන් මාර්ගය අවුරාගෙන ඉන්නෙ ඇයි? මහණ වෙච්ච තැනැත්තියක් විසින් පිරිමියෙක් ස්පර්ශ කිරීම කැප දෙයක් නම් නොවේ.
මං ශාස්තෘ ශාසනය ගැන ඉතා ම ගෞරවයෙන් ඉන්න කෙනෙක්. සුගතයන් වහන්සේ අපට සිල් පද කියා දීල තියෙන්නෙ. මං ඒ සිල්පද පිරිසිදු විදිහට ආරක්ෂා කරනවා. මං ගෙවන්නෙ නිකෙලෙස් ජීවිතයක්. ඉතින් මං යන මාර්ගය අවුරා ගෙන ඉන්නෙ ඇයි?
ඔබට තියෙන්නෙ කැළඹුණු සිතක්. මට තියෙන්නෙ නොකැළඹුණු සිතක්. ඔබ කෙලෙස් සහිත කෙනෙක්. එහෙත් මං කෙලෙස් රහිත, කෙලෙස් තියෙන හැම දේකින්ම නිදහස් වුණ කෙනෙක්. ඉතින් එබඳු මං යන මාර්ගය අවුරා ගෙන ඉන්නෙ ඇයි?
(සල්ලාලයා) නෑ. ඔයා තවමත් තරුණ යි. ලාමක නෑ. ඔය මහණ ජීවිතෙන් මොනවා කරන්ට ද? පැත්තකට දමන්න ඔය කසාවත. එන්න, මේ මල් පිපී ගිය වනාන්තරේ අපි කම් සැප විඳිමු.
හැම තැන ම හමා යන්නෙ මිහිරි සුවඳ තියෙන සුළඟ. මේ රුක් පඳුරු තියෙන්නෙ මල් රේණුවලින් හැදුණා වගේ. තව ම මේ වසන්ත සෘතුවේ මුල් කාලෙ. හරි ම සනීප දේශගුණයක්. ඉතින් එන්න, අපි මේ මල් පිපී ගිය වනාන්තරේ කම් සැප විඳිමු.
අතු අග ලස්සනට මල් පිපිලා. සුළඟින් තාලෙට සෙලවි සෙලවි තියෙන්නෙ සිංදු කියනවා වගේ. ඉතින් තනිපංගලමේ වනාන්තරයට ආපු ඔයා ආස කරන්නෙ මොනවට ද?
මෙහෙ වන සතුන් ඉන්නව. මද කිපුන ඇත්තු ඉන්නවා. ඇතින්නියො ඉන්නවා. මිනිස්සු කවුරුත් නෑ. ඉතින් මේ භයානක වනාන්තරේ තනිපංගලමේ යන්න ද ඔයා කැමැති?
ඔයා ගැන උපමා කියන්ටත් බෑ. සිනිඳු කසී සළුවෙන් සරසපු රත්තරන් රූපයක් වගෙයි. චිත්‍රරථ වනයේ සරසපු රත්තරන් රූපයක් වගෙයි. චිත්‍රරථ වනයේ ඉන්න දිව්‍ය අප්සරාවක් වගේ.
ඇත්තෙන් ම මං ඔයාට වශී වුණා. අපි මේ වනාන්තරේ එකතු වෙලා ඉඳිමු. ඔයාට තියෙන්නෙ ලස්සන කිඳුරියක ගේ මඳලස බැල්මක්. ඔයා තරම් මගේ සිත බැඳිල ගිය වෙන කෙනෙක් මට නෑ.
ඉතින් ඔයා මං කියන දේ කරනවා නම්, අපේ ගෙදර යමු. අපි සතුටින් ඉඳිමු. හොඳට ජනේල තියෙන සුන්දර ගෙයක් ලැබෙනවා ඔයාට. ඔයාට උපස්ථාන කරන්න කාන්තාවෝ ත් ඉන්නවා.
එතකොට ඔයාට පුළුවන් සිනිඳු කසී සළු පොරවන්ට. මල් සුවඳ විලවුන්වලින් සිරුර සරසන්ට. රන් මුතු මැණික්වලින් කරපු ආභරණවලින් සැරසෙන්ට.
ඒ නිවසෙ තියෙනව හොඳට සෝදල දූවිලි ඉවත් කරපු උඩු වියන් තියෙන, අලුත් ලොම්වලින් කරපු ඇඳ ඇතිරිලි දාලා, හරිම සනීප මෙට්ටයක් දාල සඳුන් ලීයෙන් කරවපු ඇඳක්. ඔයාට පුළුවන් ඒ ඇඳේ සනීපෙට නිදාගන්ට.
දැන් මේ මොකක් ද? දැන් ඔයා ගේ ජීවිතේ රාස්සයෙක් අරක් ගත්ත, මහනෙල් මල් පිපිච්ච විලක් වගේ. ඔයා ගේ ඔය බ්‍රහ්මචාරී සීලෙ නිසා ඔය ශරීරය කවුරුවත් පරිභෝග නොකර ම ජරාවට පත්වෙලා යාවි.
(සුභා) කුණු ගොඩවල් පිරිල තියෙන මේ ශරීරය ගැන, අමු සොහොන ම පුරවන මේ ශරීරය ගැන, ඔබ ඔය විදියට සාර වශයෙන් දකින්නෙ කොහොම ද? බිඳී යන ස්වභාවයෙන් යුක්ත මේ ශරීරය ගැන දකින කොට මට නම් ඇතිවෙන්නෙ කලකිරීමමයි.
(සල්ලාලයා) ඔයා ගෙ ඇස් දෙක මුව අඟනක ගේ වගේ ලස්සනයි. කඳු අතරේ ඉන්න කිඳුරියකගේ වගේ ලස්සනයි. ඔයා ගෙ ඔය ඇස් දෙක දිහා මං බලාගෙන ඉන්න කොට, මගේ හිතේ ඇති වෙන්නෙ ආශාව ම යි.
ඔයා රත්තරනින් කරපු රූපයක් වගෙයි. ඔය මුහුණේ තිබෙන ලස්සන ඇස් දෙක රතු මහනෙල් පෙති වගෙයි. ඔයා ගෙ ඔය ඇස් දෙක දිහා මං බලාගෙන ඉන්න කොට, මගේ හිතේ ඇතිවෙන්නෙ ආශාව ම යි.
දිගු දෑස් ඇති ඔයා, ලස්සනට පෙනෙන ඔයා, කිඳුරියක ගේ වගේ මඳක් පිබිදුණු ඇස් ඇති ඔයා, කොයිතරම් දුර ගිය ත් මට ඔය ඇස් දෙක මතක් වෙනවා. මං ඔය ඇස් දෙකට තරම් වෙන කිසි දේකට ආස නෑ.
ආයුෂ්මත, ඔබ වැරදි පාරකයි යන්ට හදන්නෙ. ඔබ සඳමඬල යි කෙළි බඩුවක් කරගන්ට හදන්නෙ. ඔබ මහමේරු පර්වතේ උඩින් පැනල යන්ට යි හදන්නෙ. මාව තේරුම් ගන්න. ඔබ ඔය පතන මං බුදුරජාණන් වහන්සේ ගේ දියණියක්.
මං තුළ රාගයක් ඇති කරවන්ට පුළුවන් කිසි ම අරමුණක් මේ දෙවියන් සහිත ලෝකයේ නෑ. රාගය කියන්නෙ මොන වගේ දෙයක් ද කියලවත් මං දැන් දන්නෙ නෑ. නිවන් මාර්ගයේ ගමන් කරපු මං රාගය මුලින් ම නැති කරල දැම්මා.
ගිනි අඟුරු වලක් සුළඟින් නිවිල යනවා වගේ, විෂ භාජනයක් වනසල දමනවා වගේ, රාගය නැති කරපු මං දැන් ඒ රාගය මොන වගේ දෙයක් ද කියලවත් දන්නෙ නෑ. නිවන් මාර්ගයේ ගමන් කරපු මං රාගය මුලින් ම නැති කරල දැම්මා.
නුවණින් කල්පනා නොකරන ගැහැණියක් ව නම්, ශාස්තෘන් වහන්සේව ධර්මය තුළින් නොදැකපු ගැහැණියක්ව නම්, අන්න එබඳු ගැහැණියක්ව නම් පොළොඹවා ගන්ට පුළුවන් වේවි. නමුත් ජීවිතය අවබෝධ කරපු මාවයි ඔබ වෙහෙසවන්නෙ.
මට නින්දා අපහාස කළත්, මට වන්දනා කළත්, ඒ සැප දුක් දෙක අභියස මං සිහියෙන් ඉන්නෙ. මේ හේතූන්ගෙන් සකස් වෙච්ච දේවල් මං අසුභ වශයෙන් අවබෝධ කරගෙන යි ඉන්නෙ. ඔය කිසි තැනක මගේ සිත ඇලෙන්නෙ නෑ.
මං සුගතයන් වහන්සේගේ ශ්‍රාවිකාවක්. මං ගමන් කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නමැති යානයෙන්. මං රාග හුල් උදුරල දැම්මා. ආශ්‍රව නැති කරල දැම්මා. මගේ හිත ඇලෙන්නෙ හිස් අවකාශය ඇති කුටියෙ විතරයි.
මං දැකල තියෙනවා දර ලීවලින් හදපු ලස්සනට කැටයම් කරපු රූකඩ. නූල් වලින් බැඳපු ඒ රූකඩ එක එක විදිහට නටනවා.
ඒ නූල්, දර කැබලි ඔක්කොම කෑලි වලට කඩල දාල තැනින් තැන විසිරුවල දැම්මට පස්සෙ, ආයෙමත් ඒ රූකඩ දකින්ට ලැබෙන්නෙ නෑ. ඒ රූකඩවල කොයි කෑල්ලට ද සිත පිහිටුව ගන්නෙ.
මේ ශරීරයත් රූකඩයක් වගේ තමයි. උපකාරක ධර්මයන් ගෙන් තොර ව පවතින්නෙ නෑ. උපකාරක ධර්මයන් නැතිව නොපවතින මේ ශරීරයේ කවර දෙයකට සිත පිහිටුවා ගන්ට ද?
කලාකාරයෙක් බිත්තියක ඇඳපු චිත්‍රයක් වගෙයි. ස්ත්‍රී රූපයක් බිත්තියක ඇඳල තියෙනවා. ඉතින් ඒක, ඇත්ත මිනිස් ස්ත්‍රියක් හැටියට පිළිගන්නෙ වැරදි විදිහට හඳුනගන්න නිස යි.
ඔබ අන්ධ කෙනෙක්. විජ්ජාකාරයෙකු ගේ මායාවට හසු වුණා වගේ, සිහිනෙකින් රන් රුවක් දැක ගත්ත වගේ, ජනතාව මැද ඉන්ද්‍රජාලිකයෙක් මවා පෙන්නපු කැඩෙන බිඳෙන රුපයක් දැක්ක වගේ හිස් දෙයකට යි අහුවෙලා ඉන්නෙ.
ගහක බෙනයක තියෙන ලාටු වගේ, මේ ඇස්වල තියෙන්නෙ කඳුළු සහිත බුබුලක්. කබ කඳුළු ත් එක්ක එකට මිශ්‍ර වෙලයි තියෙන්නෙ.
ලස්සනට පෙනෙන ඒ සුභා තෙරණිය කිසි ම දෙයකට ඇලුණෙ නෑ. නිකෙලෙස් සිතකින් යුක්ත සුභා නිමේෂයකින් ඇගේ ඇසක් උපුටා ගත්ත, “මෙන්න ඔබේ ඇස, අර ගෙන යන්න!” යි ඒ මිනිහට දුන්නා.
ඒ ක්ෂණයෙහි ම ඔහුගේ රාගය දුරුවෙලා ගියා. එතැන ම වැඳ වැටුණා. සුභාගෙන් සමාව ගත්ත. “බ්‍රහ්මචාරී පින්වතිය, ඔබ සුවපත් වේවා! ආයෙත් නම් මෙහෙම දෙයක් සිද්ධ වෙන්නෙ නෑ.”
මෙවැනි උතුම් කෙනෙක් එක්ක ගැටෙන්ට ගියොත් ඒක දැල්වෙන ගින්න වැළඳගන්නව වගේ වැඩක්. විෂ ඝෝර සර්පයෙක් අතින් අල්ලනවා වගේ වැඩක්. සැපක් නම් ඇති වෙන්නෙ නෑ. අනේ අපට සමාව දෙන්න.
ඒ භික්ෂුණිය ඒ සල්ලාලයා ගෙන් නිදහස් වුණා. ශ්‍රේෂ්ඨ වූ බුදු සමිඳාණන් සමීපයට පැමිණුනා. උත්තම පුණ්‍ය ලක්ෂණ වලින් යුක්ත බුදු සමිඳුන් දකින විට ම ඇගේ ඇස කලින් වගේ ම ප්‍රකෘතිමත් වෙලා සුවපත් වුණා.
ගාථා හතළිහ බැගින් වදාළ කොටස
ඉසිදාසි තෙරණියගේ ගාථා
කුසුම් පුරය නමින් යුතු පාටලී නගරය මේ මහ පොළොවට ආභරණයක්. ශාක්‍ය කුලයේ උපන් ගුණවත් භික්ෂුණීන් දෙනමක් ඒ නගරේ ඉන්නවා.
එක් භික්ෂුණියක ගේ නම ඉසිදාසී. දෙවැනි සිල්වත් තැනැත්තිය ගේ නම් බෝධි තෙරණිය. ඒ දෙන්න ධ්‍යාන සැපයෙන් වාසය කරන්නෙ. බුදු සමිඳුන් ගේ ධර්මය ගොඩාක් අහල තියෙනවා. ඒ වගේ ම නිකෙලෙස්.
දවසක් ඒ භික්ෂුණීන් දෙනම පිණ්ඩපාතෙ වැඩියා. දන් වැළඳුවා. දෙපා සෝද ගෙන විවේක තැනක සුවසේ සිටිද්දි තමයි මේ කතාබහ ඇති වුණේ.
ආර්ය වූ ඉසිදාසී, ඔයා හරි ම ලස්සන කෙනෙක්. තව ම ඉන්නෙ තරුණ වයසේ. ඔයා මහණ වෙන්ට කල්පනා කළේ ගිහි ගෙදර කොයි ආකාරයේ දෝෂයක් දැකල ද?
විවේක තැනක දී මේ විදිහට අසද්දී දහම් දෙසීමෙහි දක්ෂ වූ ඉසිදාසී භික්ෂුණිය මේ විදියට පිළිතුරු දුන්නා. “එහෙම නම්, පින්වත් බෝධි, මං මහණ වෙච්ච විදිය අහගන්න.”
මගේ තාත්තා සිල්වත් කෙනෙක්, එයා උදේනි නගරයේ සිටුවරයෙක්. මං ඒ ගොල්ලන් ගෙ එක ම දුව. ඒ ගොල්ලන් ගෙ හැම ආදරයක් ම ලැබුණෙ මට.
සාකේත නගරයේ උසස් කුලයකින් මට මංගල යෝජනාවක් ආවා. ඒ සිටුවරයාට ත් ගොඩාක් වස්තුව තිබුණ. ඒ සිටුතුමා ගේ ලේලිය හැටියට මාව, මගේ තාත්තා ඒ ගෙදරට පාවා දුන්නා.
ඉතින් මං නැන්ද යි මාම යි ළඟට උදේ සවස ගිහින් ඒ ගොල්ලන් ගෙ දෙපා වැන්දා. ඔවුන් කියන දේ විතරක් ම කෙරුවා.
මං මගේ ස්වාමියා හරි, සහෝදර සහෝදරියන් හරි, ඒ කවුරු හරි දැක්කොත් මං පුටුවෙන් නැගිටිනවා. මං ඒ ගොල්ලන්ට වාඩි වෙන්න දෙනවා.
කෑමෙන් බීමෙන් වුණත්, කැවිලි පෙවිලිවලින් වුණත් ඒගොල්ලො කැමැති දේවල් හදල දීල සතුටු කරනවා. මං ඒ ගොල්ලන්ට හොඳට සැලකුවා.
අවශ්‍ය දේවල් වෙලාවට හොයල බලල උපස්ථාන කරනවා. මං මගේ අතින් සැමියා ගේ පා සෝදල යි ගෙට ගන්නෙ. ස්වාමියා ළඟට මං යන්නෙත් වැඳගෙන යි.
මං පනාව ත්, සුවඳ විලවුන් වර්ග ත්, වෙනත් දේවලුත්, කන්නාඩිය ත් අරගෙන සැමියා ළඟට යනවා. මගේ අතින් ම යි මං එයා ව සැරසුවේ.
මගේ අතින් ම බත් ඉව්වා. හැලි වලං හේදුවා. අම්ම කෙනෙක් එක ම දරුවෙකුට සලකනවා වගෙයි මං සැමියට කටයුතු කළේ.
එයාට මං කොයිතරම් ආදරෙන් වැඩකාරකම් කරගෙන හිටියත්, නිහතමානී ව සොයා බලා කටයුතු කරගෙන සිටියත්, කම්මැලි නැති සිල්වත් ජීවිතයක් ගෙවන මට ම යි එයා බණින්නෙ.
අන්තිමේ දී එයා ඒ ගොල්ලන් ගෙ දෙමාපියන්ට මෙහෙම කිව්වා. “මං යනවා මේ ගෙදර අත්හැරල, මට මේ ඉසිදාසී ත් එක්ක පවුල් කන්ඩ ඕන කමක් නෑ.”
“පුතේ එහෙම කියන්න එපා. ඔය ඉසිදාසී ඤාණවන්ත කෙනෙක් නේ. වාසනාවන්ත කෙනෙක් නෙ. වීරියවන්ත යි නෙ. කම්මැලි නෑ නෙ. ඉතින් පුතේ, ඔයා මොකද ඉසිදාසීට මේ තරම් අකැමැති?”
“ඔව්! ඇය මට වරදක් කළේ නෑ. නමුත් මට ඉසිදාසී ත් එක්ක ඉන්ඩ ඕන කමක් නෑ. මට ඈ ව අප්පිරිය යි. මට ඇගෙන් වැඩක් නෑ. මං එහෙනම් ඕගොල්ලන්ට ත් නොකියා ම මේ ගෙදරින් යන්ඩ යනවා.”
නැන්ද යි මාම යි එයා ගෙ වචනෙ පිළිගත්තා. ඉතින් ඒ ගොල්ල මගෙන් ඇහැව්වා, “දරුවො, ඔයා මොකක් ද අපේ පුතාට කරපු වැරැද්ද? සැක නැතිව කියන්න”
මං එයාට කිසි ම වරදක් කළේ නෑ. හිංසාවක් කළේ නෑ. වැරදි වචනයක් කියල නෑ. ආර්යාවෙනි, ඉතිං එයා මේ තරම් මාත් එක්ක තරහ වුණාට මං මොකද කරන්නෙ?
“අපේ පුතා ව රැක බලාගෙන හිටිය ලස්සන ලක්ෂ්මී ව අපේ පවුලට නැති වුණා” කියල ඒ දෙමාපියන් මාව ආයෙමත් අපේ තාත්ත ළඟට ඇරලුවා.
ඒ වතාවේ මගේ තාත්තා, අපට වඩා බදු ආදායම භාගයක් ලැබෙන ධනවත් පවුලකට මාව බන්ඳල දුන්නා.
මාසය යි මං ඒ ගෙදර හිටියේ. මං කීකරු දාසියක් වගෙ උපස්ථාන කරද්දී, ද්‍රෝහිකම් නොකරද්දී, සිල්වත් ව සිටිද්දී, ඒ ගෙදරිනුත් මාව අයින් කළා.
අන්තිමේ දී මගේ තාත්තා, සිඟමනේ ඇවිදගෙන ගිය ඉඳුල් කකා ඉන්න මිනිහෙක් එක්කගෙන ආවා. “ළමයෝ, ඔය රෙදි කඩමාල්ල යි, ඔය තැටිය යි වීසි කරපන්. මගේ දියණිය ගේ ස්වාමිය බවට පත් වෙයන්” කියල කිව්වා.
ඒ මනුස්සයා මම ත් එක්ක ටික කලක් හිටියා. එයත් මාව අත්හැරල ගියා. එයා යන දවසේ තාත්තට මෙහෙම කිව්වා. “මගේ රෙදි කඩමාල්ල යි, මගේ තැටිය යි, මට ආපහු ඕන. මං ආයෙමත් සිඟා කන්ඩ පටන් ගන්නවා.”
එතකොට අම්ම යි තාත්ත යි එයාට මෙහෙම කිව්වා. “මේ ගෙදරින් ඔයාට මොනව ද ලැබෙන්නෙ නැත්තෙ? ඕන දෙයක් කියන්න, හරි ගස්සල දෙන්නම්.”
එහෙම කියද්දි ත් එයා මෙහෙම යි කිව්වෙ. “නෑ, මට ජීවත් වෙන්ඩ තාම හයිය තියෙනවා. මට මේ ඉසිදාසී ගෙන් වැඩක් නෑ. මට ඉසිදාසී ත් එක්ක පවුල් කන්ඩ ඕනකමක් නෑ.”
ඒ ඉඳුල් කන මනුස්සය ත් මාව දාල ගියා. මං තනියම හිතන්ට පටන් ගත්තා. එක්කෝ මං කාටවත් නොකියා දිවි නසා ගන්නවා. එක්කෝ මං මහණ වෙනවා.
විනයධර, බහුශ්‍රැත, සිල්වත් භික්ෂුණියක් හිටියා. ආර්ය වූ ඒ ජිනදත්තා භික්ෂුණිය පිණ්ඩපාතෙ වඩින ගමන් අපේ ගෙදරට ත් වැඩියා.
එතුමිය දැකල අපි සිටිය ආසනේ වාඩිවෙන්ට පිළියෙල කළා. එතන හිඳගත්ත ඒ භික්ෂුණී ගේ දෙපා වැඳල දානෙ පූජා කරගත්තා.
දන් පැන්වලිනුත්, කැවිලි පෙවිලිවලිනුත් ඇයට සැලකුවා. “ආර්යාවෙනි, මාත් කැමැති යි මහණ වෙන්ට.”
එතකොට තාත්ත මට මෙහෙම කිව්වා. “දුවේ, ඔයා මේ ගෙදර ඉඳගෙන ම ධර්මයේ හැසිරෙන්න. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දාන මානවලින් සලකන්න.”
මං තාත්ත ළඟ වැඳ ගෙන හඬා වැටුණා. “නෑ, මං කරගත්තු පව් තමයි මේ. මම් ම ඒ පව් දිරවල අවසන් කරල දානවා.”
ඊට පස්සෙ තාත්ත මෙහෙම කිව්වා. “නර ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේ යම් උතුම් ධර්මයක් අවබෝධ කළා නම්, ඔය ත් ඒ උතුම් ධර්මයට පැමිණිලා අවබෝධය ලබාගන්න. නිවනට පත්වෙන්න.”
මං දෙමාපියන්ටත්, නැදෑ පිරිසටත් වන්දනා කළා. ඔන්න ඉතින් මාත් මහණ වුණා. මහණ වෙලා හත් දවසින් මා ත් ත්‍රිවිද්‍යාව ලබාගත්තා.
මට අතීත ජීවිතේ ආත්මභාව හතක් සිහි කරන්ට පුළුවන්. මං මේ ජීවිතේ විපාක වින්දේ ඒ කාලේ කරපු පවක්. මං ඔයාට ඒක කියන්නම්. හොඳට අහගෙන ඉන්න.
මීට ආත්මභාව හතකට කලින් ඒරකච්ඡ නගරයේ ගොඩාක් ධනය තියෙන රන්කරුවෙක් වෙලා මං හිටියේ. මං තරුණකමින් මත්වෙලා හිටියා. මං නොයෙක් කාන්තාවන් පස්සෙ ගියා.
මනුස්ස ලෝකෙන් චුත වෙලා මං කෙලින් ම ඉපදුණේ නිරයේ. මං ගොඩාක් කල් නිරයේ දුක් වින්දා. නිරයෙන් චුත වුණාට පස්සෙ උපන්නෙ වැඳිරියක ගේ කුසේ.
එතකොට මං ඉපදිලා දවස් හතයි. ඒ වඳුරු රැළේ නායක වඳුරා මගේ පුරුෂ ලිංගය හූරල දැම්මා. පරස්ත්‍රීන් සේවනය කරපු කර්මවිපාක තමයි මං ඒ වින්ඳේ.
මං එතැනින් චුත වුණා. සින්ධව වනයේ හිටියා එක ඇහැක් අන්ධ වෙච්ච කුදු ගැහිච්ච බූරු දෙනක්. ඒ ගමන මං උපන්නෙ ඇගේ කුසේ.
මං කුඩා කාලේ අරඅඹවල මගේ රහසඟේ ඇට තැලුවා. දොළොස් අවුරුද්දක් දරුවන් පිටේ තියාගෙන ඇවිද්දා. නමුත් අර ඇට තලපු තැන තුවාල වෙලා තිබුණේ. ඒ තුවාලෙට පණුවො ගහල මං ලෙඩ වුණා. පර ස්ත්‍රීන් සේවනය කරපු එකේ විපාක තමයි.
මං එතනින් චුත වුණා. හරක් වෙළෙන්දෙක් ළඟ හිටපු ගව දෙනක ගේ කුසේ ඉපදුණා. මං රතුපාට වහු පැටියෙක්. දොළොස් වෙනි මාසෙ දී අර විදිහට ම මගේ ලිංගේ ඇට තැලුවා.
මං නගුල් උස්සගෙන ගියා. ගැල් බර කර තියාගෙන ගියා. අන්ධයෙක් වගේ මං පරස්ත්‍රීන් සේවනය කළ නිසා මං අන්ධ වෙලා, ලෙඩ වෙලා ගියා.
මං එතනින් චුත වුණා. නගරේ වීදියේ දාසියක ගේ කුලයේ තමයි ඊළඟට උපන්නෙ. පරස්ත්‍රීන් සේවනය කිරීමේ විපාක බලන්න. ඒ වතාවෙ මං ගැහැණියෙකුත් නොවේ, පිරිමියෙකුත් නොවේ. නපුංසකයෙක්!
මං අවුරුදු තිහේ දී මැරුණා. මං ගොඩාක් දුක් වින්දා. ණය බරින් මිරිකිලා ගිය ගැල් බර ගෙනියන පවුලක යි මං ඊ ළඟට ඉපදුණේ. ඒ ගමන මං ස්ත්‍රියක්.
අපේ ගෙදරට ණය ගෙවා ගන්ට බැරි වුණා. ගැල් නායකයා අපේ ගෙදරට ඇවිදින් මං හඬද්දී ම බලාත්කාරයෙන් මාව අරගෙන ගියා.
එතකොට මට වයස දහසයයි. මං තරුණයි. ඒ ගැල් නායකයා ගේ පුතෙක් හිටිය ගිරිදාස කියලා. එයා මාව තමන් ගෙ ගෙදරට කැඳව ගත්තා.
එයාට හිටිය හොඳ සිල්වත්, ගුණවත්, ස්වාමිභක්තිය තියෙන බිරිඳක්. මට ඈ ගැන ඉරිසියා හිතුණා. ඉතින් මං කළේ ඒ බිරිඳ ගැන කිපෙන විදිහට එයාට කටයුතු කිරීම යි.
මං දාසියක් වගේ ස්වාමියා ට උපස්ථාන කරද්දී. ස්වාමියා මාව අත්හැරල යන්නෙ, ඒ අකුසල කර්මයේ විපාක වශයෙන්. මං දැන් ඒ කර්මය ත් අවසන් කළා.
මහා නිපාතය
ඉසිදාසි තෙරණියගේ ගාථා
මන්තාවතී නගරේ, කොඤ්ච රජ්ජුරුවන් ගේ අගමෙහෙසියට දුවක් හිටියා. එයා ගෙ නම සුමේධා. එයා බුද්ධ ශාසනය ගැන ගොඩක් පැහැදිලා හිටියේ.
ඇත්තෙන් ම එයා සිල්වත්. ලස්සනට කතා කරන්න දන්නවා. ඒ වගේ ම බහුශ්‍රැත යි. බුදු සසුනේ හික්මිලා ඉන්නෙ. ඉතින් එයා දෙමාපියන් ළඟට ගිහින් මෙහෙම කීවා. “ඔයාල දෙන්න ම මං කියන දේ අහන්න.”
“මං කැමති නිවනට විතර යි. දෙව් ලොව ඉපදුණත් ඒ භවය ස්ථීර නෑ. මිනිස් ලෝකෙ කාම සම්පත් ගැන කතා කරන්න දෙයක් නෑ. ඒවා තුච්ඡ යි. පුංචි ආශ්වාදයක් තියෙන්නෙ. ආදීනව ම යි වැඩි.”
මෝඩ ජනතාව කාමයෙන් මුසපත් වෙලා හිටියත්, කාමයන් හරි ම කටුක යි. භයානක සර්ප විෂ වගෙ යි. මෝඩ ජනතාව කාමයන් පස්සෙ ගිහින් අන්තිමේ දී නිරයේ වැටිල අනන්ත දුක් විඳිනවා.
පාප බුද්ධි ඇති කරගෙන පව් කරල, සිත, කය වචන යන තුන් දොරින් ම පව් කරල නිරයේ ඉපදිලා ශෝක කරනවා.
ප්‍රඥාවක් නැති, සිතීමේ හැකියාවක් නැති ඒ මෝඩ ජනතාව දුක්ඛ සමුදයේ බැසගෙන සංසාරෙට අහුවෙලා ඉන්නවා. ආර්ය සත්‍ය ධර්මයක් දේශනා කරල තිබෙද්දී ත් ඒව තේරුම් ගන්නෙ නෑ. අවබෝධ කරගන්නෙ නෑ.
අම්මේ, ශ්‍රේෂ්ඨ වූ බුදු සමිඳුන් දේශනා කොට වදාළ චතුරාර්ය සත්‍ය නොදන්න ජනතාව ම යි වැඩියෙන් ඉන්නෙ. ඔවුන් ගොඩාක් කැමති දෙව් ලොවක ආයෙමත් උපදින්ට යි.
භවයට අයිති හැම දෙයක් ම අනිත්‍ය යි. ඉතින් දිව්‍ය ලෝකවල උපත ත් අනිත්‍යය යි. නමුත් අඥාන ජනතාව ආයෙ ආයෙමත් උපදින්ට කිසි ම බයක් නෑ.
සතර අපායකින් යුක්ත මේ ලෝකෙ දෙව්-මිනිස් ලෝකවල ඉපදීම ත් දුක සේ ම යි ලැබිය යුත්තේ. අපායේ, නිරයේ ඉපදුණු කෙනෙකුට එහෙදි මේ වගේ උතුම් පැවිද්දක් නෑ.
ඉතින්, ඔයාල දෙන්න ම මට අවසර දෙන්ට, දසබල ඇති බුදු සමිඳුන්ගේ සසුනේ මහණ වෙන්ට. මේ ඉපදෙන මැරෙන සංසාරෙ නැති කරන්ට මං ගොඩාක් මහන්සි ගන්නම්.
මේ ශරීරය කියන්නෙ අසාර දෙයක්. මේ භවය පිළිගැනීමෙන් සිද්ධ වෙන යහපත මොකක් ද? භව තෘෂ්ණාව නිරුද්ධ කිරීමට ම යි මං මහණ වෙන්නෙ. ඉතින් ඒකට මට අවසර දෙන්ට.
දැන් මේ තියෙන්නේ බුද්ධෝත්පාද කාලයක්. ධර්මය අවබෝධ කරගන්ට බැරි අවස්ථාවන්ගෙන් මං මිදිල ඉන්නෙ. උතුම් අවස්ථාවක් උදාවෙලා තියෙන්නෙ. සිල්වත් බව ත්, බ්‍රහ්මචාරී ජීවිතය ත් දිවි තිබෙන තුරා ම ආරක්ෂා කරගන්නම්.
සුමේධා මව්පියන්ට මේ කාරණෙත් කියා හිටියා. ඉතින්, මට මහණ වෙන්ට අවසර දෙන්නෙ නැත්නම්, මං කෑම කන්නෙත් නෑ. මං මැරිල යනවා.
සුමේධා ගේ අම්මා දුකින් හඬන්න ගත්තා. තාත්ත ත් කඳුළු පිරුණු මුහුණින් යුක්ත ව සුමේධාට ගිහි ජීවිතේ ගැන කැමැත්ත ඇති කරන්ට ගොඩාක් මහන්සි වුණා.
දුවේ, ඉතින් නැගිටින්නකො. ඔය විදියට දුක් වෙලා ඇති ඵලේ මොකක් ද? අනික මං ඔයා ව “වාරණවතියේ රජතුමාට දීලා තියෙන්නෙ. ඒ අනීකදත්ත රජු ත් හරි ලස්සන යි. ඔයා ව දුන්නෙ ඒ රජතුමාට යි.”
අනීකදත්ත රජ්ජුරුවන් ගේ බිරිඳ වුණාට පස්සෙ අග්‍රමහේසිකාව වෙන්නෙ ඔයා. දුවේ, ඔය කියන සිල් රැකීම, බ්‍රහ්මචාරී බව, මහණකම ගොඩාක් දුෂ්කර යි.
ඔයාට පුළුවන් අනීක රජ්ජුරුවන් ගේ රාජ්‍ය තුළ ඔයා ගේ අණසක පතුරුවන්ට. පතිකුලයට යි ධනයට යි අධිපති වෙන්ට. එතකොට ඔක්කොම සැප ඔයාට. දුවේ, ඔයා තව ම තරුණ යි, කාම සම්පත් අනුභව කරන්න. දරුව, ඔයා ගේ විවාහය සිදුවේවා!
සුමේධා ඒ ගොල්ලන්ට මෙහෙම කිව්වා. අසාර වූ භවයට අයිති කිසි ම දෙයක් මට එපා! එක්කෝ මං මහණ වෙනවා. නැත්නම් මැරෙනවා. විවාහය නම් සිද්ධ වෙන්නෙ නෑ.
මේ කුණු ශරීරය අපවිත්‍ර යි. ගඳ ගහනවා. බිය ජනක යි. කුණු ගොඩක්. නිතර ම අසුචි වැක්කෙරෙනවා. අසුචි පුරවපු භාජනයක් වගෙයි. ඉතින් මං කොහොම ද මේ වගේ කුණු කයක් එක්ක එකතු වෙන්නෙ?
මස් ලේ තැවරුන මේ ශරීරය මට අතිශයින් ම පිළිකුල්. මං මේ ශරීරය අවබෝධ කරගෙන ඉන්නෙ. පණුවන්ට වාස භූමියක්. ගිජු ලිහිණියන්ට ආහාරයක්. ඉතින් මේ ශරීරය කාට නම් පාවා දෙන්ට ද?
ටික කාලෙකින් විඤ්ඤාණය පහ වෙලා ගියාට පස්සෙ, නෑදෑයො මේ කය පිළිකුල් කරනවා. දර කෑල්ලක් වීසි කරනව වගේ සොහොනට ගිහින් දානවා.
ඊට පස්සෙ බලු සිවල්ලුන් ට මේ ශරීරය ගොදුරු වෙලා යනවා. සොහොනට ගිහින් ශරීරය දාල ඇවිත් දෙමාපියන් කරන්නෙ ඒක පිළිකුල් කරල වතුර නාන එක. හැම දෙනාට ම පොදු මේ තත්වය ගැන කතා කරන්ට දෙයක් නෑ.
ඇට නහරින් බැඳිල තියෙන්නෙ. කෙළ, කඳුළු, මළ, මූත්‍රා පිරිලා තියෙන්නෙ. ඒ වුණාට මෝඩ ජනතාව මේ ශරීරයට හරි ආසයි.
මේ ශරීරය වෙන් කරල ඇතුළෙ තියෙන දේවල් ඉවසන්ට බැරිව පිළිකුල් කරනවා.
ස්කන්ධ, ධාතු, ආයතන, යන මේවා හේතූන් නිසා හට ගත් බව ත්, ඉපදීමෙන් ඇති වුණ දුකක් බව ත් මම අවබෝධ කරගෙන ඉන්නෙ. ඒ විදිහට නුවණින් විමසන මං කොහොම ද විවාහයකට කැමති වෙන්නෙ?
දවස ගානෙ යකඩ පොලු පහරවල් තුන්සීයක් කාලා, අවුරුදු සියයක් තිස්සෙ ඒ විදියට පොලු පහරවල් කාලා ඉවර වුණා ම මේ සංසාර දුක ගෙවිල යනවා නම්, මට ඒක ත් උතුම්.
ශාස්තෘන් වහන්සේ ඔන්න ඔය විදිහට යි පෙන්නල දීලා තියෙන්නෙ. ඒ උතුම් වචන දැන දැනත්, මේ ජරා මරණ වධය පළිගත්තොත්, ආයෙ ආයෙමත් ඉපදෙන්ට සිදු වෙනකොට සංසාරෙ දික් වෙන්නෙ ඒ ගොල්ලන්ට ම යි.
දිව්‍ය ලෝකෙ, මිනිස් ලෝකෙ, තිරිසන් යෝනිය, අසුර නිකාය, ප්‍රේත ලෝකය, නිරය කියන මේ කොහේත් නිමක් නැති පීඩා තියෙන්නෙ.
නිරය, තිරිසන් ලෝකෙ වගේ අපායක වැටුණොත් ගොඩාක් දුක් විඳින්ට සිද්ධ වෙනවා. දෙවියන් අතර උපන්නත් ආරක්ෂාවක් නෑ. ඒ නිසා මේ ලෝකෙ නිවනට වඩා උතුම් වෙන සැපක් නම් නෑ.
දසබල බුදු සමිඳුන් ගේ වචනය අනුව ගමන් කළොත්, ඉපදෙන මැරෙන සංසාරෙ නැති කරන්ට උත්සාහ කළොත් ඔවුන් නිවනට පත්වෙනවා.
තාත්තෙ, මං අද ම ගිහි ගෙදර අත්හරිනවා. මට මේ නිසරු සම්පත්වලින් පලක් නෑ. මං මේ කාමයන් අත්හැරියෙ වමනෙ දානව වගේ. තල් ගහක මුදුන් කරටියෙන් කඩල දැම්ම වගේ.
එයා පිය රජතුමාට එහෙම කිව්වා. ඒ වන විට, අනීකදත්ත, රජතුමා මේ විවාහය පිණිස වාරණවතී නගරයේ ඉඳල පිටත් වෙලා යන්ට සූදානම් වුණා.
එතකොට සුමේධා ඇගේ තද නිල්පාට මුදු කෙස් කළඹ කඩුවෙන් කපල දැම්මා. ප්‍රාසාදයේ දොර වහ ගෙන භාවනා කළා. ප්‍රථම ධ්‍යානය උපදවා ගත්තා.
ඇය සමවතට සම වැදුණා. අනීකදත්ත රජතුමා මන්තාවතී නගරෙට ආවා. දැන් සුමේධා තම ප්‍රාසාදයේ ඉඳගෙන ම හොඳට අනිත්‍ය සඤ්ඤාව වඩනවා.
ඈ අනිත්‍ය මෙනෙහි කරද්දී, අනීකදත්ත රජතුමා රන් ආභරණවලින් සැරසිලා ප්‍රාසාදයට නැංගා. රජතුමා සුමේධාවට ඇඳිලි බැඳගෙන මෙහෙම යාඥා කළා.
රාජ්‍යයේ අණසක ත්, ධන සම්පත් ඔක්කොම ත්, යස ඉසුරු ත් ඔක්කොම අයිති ඔයාට. ඔයා තව ම තරුණ යි. කාම සම්පත් අනුභව කරන්න. මේ ලෝකේ කාම සම්පත් කියන්නෙ දුර්ලභ දෙයක්.
ඔයාට රජකම පවා පරිත්‍යාග කරල තියෙන්නෙ. කාම සම්පත් අනුභව කරන්න. දන් පැන් දෙන්න. පින් කරන්න. දුක් වෙන්ට එපා. ඔයා ගෙ අම්ම තාත්ත ත් හරි දුකෙන් ඉන්නෙ.
සුමේධා ඔහුට මෙහෙම පිළිතුරු දුන්න. “ඔයත් ඔය කාමයන්ට ආශා කරන්ට එපා! කාමයන් ගේ ආදීනව දකින්න.
මහාමන්ධාතු කියන සක්විති රජ්ජුරුවෝ සතර මහා දිවයිනට ම අධිපති වෙලා හිටියේ. කාමයන්ට අග්‍ර වෙලා හිටියේ. නමුත් එයා මරණයට පත්වුණේ කාමයන්ගෙන් තෘප්තිමත් නොවී ම යි. එයා ගේ ආශාව වත් පිරුණේ නෑ.
සත් රුවන් වැස්සක් ඇද හැලුනත්, කාමයන් ගැන තෘප්තිමත් නැති මිනිස්සු මැරිල යන්නෙත් අතෘප්තිමත්වමයි.
කාමයන් කියන්නෙ කඩුව යි, මස් වැදැල්ල යි වගේ දෙයක්. භයානක සර්පයෙකු ගේ හිස පැත්ත වගේ දෙයක්. ගිනි කන්දක් වගේ දෙයක්. ඇට සැකිල්ලක් වගේ දෙයක්.
කාමයන් අනිත්‍ය යි, අස්ථීර යි. බොහෝ දුක් තියෙනවා. ගොඩාක් දුක් තියෙනවා. දවස මුළුල්ලේ රත් වෙච්ච යකඩ ගුලියක් වගෙයි. හැම දුකට මුල. ගහක ගෙඩි වගේ.
ගස්වල ගෙඩි වගේ. මස් වැදලි වගේ. මේ කාමයන් දුකක් ම යි හදන්නෙ. සිහිනෙකින් රැවටුණා වගේ. ණයට ඉල්ල ගත්ත දෙයක් වගේ.
මේ කාමයන් විෂ පොවාපු ආයුධ වගේ. වේදනා ඇති කරවනවා. තුවාලයක් වගේ දුක ම යි හදන්නෙ. මරණය කරා රැගෙන යනවා. ගිනි අඟුරු වළක් වගේ බියජනක යි. වධකයෙක් වගේ.
මේ කාමයන් ගොඩාක් දුක යි කියල තියෙන්නෙ. අනතුරුදායක යි. ඒ නිසා ඔයා ආපසු යන්න. තමාට අයිති කිසි ම දෙයක් භවයේ තියෙනවා කියල මං විශ්වාස කරන්නෙ නෑ.
තමන් ගෙ හිස ගිනි ගත්ත වෙලාවට වෙන දෙයක් ගැන සිතන්ට වෙලාවක් නෑ. ජරා මරණ දෙක ලුහු බැඳ ගෙන එනකොට ඒකෙන් නිදහස් වෙන්ට යි වීරිය කළ යුත්තේ.”
මං දොර හැරියා. මං දැක්කෙ දෙමාපියන්ව ත් අනීකදත්ත රජු ව ත් බිම වාඩි වෙලා අඬනවා. මං එයාලට මෙහෙම කිව්වා.
මේ සංසාරෙට කෙළවරක් නෑ. තාත්ත ගෙ මරණයේ දී සහෝදරයා ගේ වධයේ දී තමන් වධ විඳිද්දී නැවත නැවත හඬ හඬා සිටින අඥාන සත්වයන්ට මේ සංසාරෙ දිග යි.
මේ සංසාරෙ කෙළවරක් නැතිව යන ගමනේ දී හැඬූ කඳුළු, බීපු කිරි, ගලා ගිය ලේ කොයිතරම් ද කියල සිහි කරන්න. සත්වයන් ගේ එකතු වෙන ඇටසැකිලි කන්දරාව සිහි කරන්න.
මේ කඳුළු සතර මහා සාගරයට උපමා කරන්න කියල යි බුදු සමිඳුන් වදාළේ. බීපු කිරි ත් ඒ විදිහට ම හිතන්න කියල තියෙන්නෙ. ඇට ගොඩ ගැන සිහි කරන්ට කියල තියෙන්නෙ වේපුල්ල පර්වතේට සමාන කරලා.
දඹදිවින් යුක්ත මේ පොළොව වෙරළු ගෙඩි ගානට ගුලි කරන්න කීවා. ඊට පස්සෙ ඒ එක එක ගුලිය වෙන් කරන්න කීවා, ‘මේ මගේ මේ ජීවිතේ අම්මා, මේ ඒ අම්මගෙ අම්මා’ කියමින්, ඒ ඒ ගුලි ඉවර වෙලා යනවා. අම්මලා ඉවර වෙන්නෙ නෑ. ඒ උපමාව සිහි කරන්න.
ලෝකෙ ඔක්කොම ගස් වැල් අරගෙන අඟල් හතරෙ කෑලි වලට කඩල ගොඩක් ගහන්ට කිව්වා. ඊට පස්සෙ ඒ එක එක දර කැබැල්ල සංසාරේ තාත්තල වෙනුවෙන් වෙන් කරන්න කිව්වා. ඒත් සංසාරෙ තාත්තල ඉවර වෙන්නෙ නෑ ඒ උපමාව ත් සිහි කරන්න.
අවුරුදු සීයකට වරක් කන කැස්බෑව මුහුදින් උඩට එනවා. මුහුදේ වැටුණු වියගහක් පාවෙවී තියෙද්දි ඒ වියගහේ සිදුරෙන් කන කැස්බෑව ගෙ හිස ඇතුළු වෙලා අහස පේනවා වගේ, මනුස්ස ජීවිතේ ලැබීම ඊට ත් වඩා දුෂ්කර යි.
මේ අසාර වූ රූපය පෙණ පිඬක් හැටියට සිහි කරන්න. අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධය දෙස බලන්න. නිරයේ ඇති අනන්ත දුක් සිහි කරන්න.
නොයෙක් ජාතිවල ඉපිද ඉපිද සොහොන් බිම වැඩි කරපු හැටි සිහි කරන්න. කෑමට ඇති ගිජුකම ගැන කියන කිඹුල් බිය සිහි කරන්න. චතුරාර්ය සත්‍ය සිහි කරන්න.
බුදුරජාණන් වහන්සේ නමක ගේ ධර්මයක් තියෙන කාලෙ මේ පංච කාමයන් සොයන්නෙ අසවල් දේකට ද? මේ හැම කාම ආශාවක් ම අතිශයින් ම කටුක යි.
අමා දහම් තියෙන කාලෙ කාම දාහයකින් යුක්ත නම් ඒ කාමයන් අසවල් දෙයකට ද? මේ කාම ඇල්ම ගින්නක් ම යි. අරුත් සුන් දෙයක් ම යි. කම්පාවක් ම යි. තැවීමක් ම යි.
පැවිදි ජීවිතයට සතුරො නෑ. නමුත් කාමයට ගොඩාක් සතුරො ඉන්නවා. ඔයාලට මේ කාමයෙන් ඇති ප්‍රයෝජනය මොකක් ද? රජ, ගිනි, සොර, දිය යන මේ ඔක්කොට ම කාමයන් ගොදුරු වෙනවා. අප්‍රියයන්ට දායාද වෙනවා. සතුරෝ හැදෙනවා.
අමා නිවන තියෙන කාලෙ, මේ කාමයන්ට බැඳිල, වධ බන්ධන පීඩා විඳින්නෙ මොකට ද? ඔයාලට මේ කාමයෙන් ඇති ප්‍රයෝජනය මොකක් ද? මේ කාමයන් ලාමක නිසා ම යි මේ තරම් දුක් කරදර ඇති වෙන්නෙ.
දැල්වෙන හුළු අත්ත අතට ගත්ත විට යි පිච්චෙන්නෙ. අත් හැරියා ම පිච්චෙන්නෙ නෑ. කාමයන් ද අන්න ඒ වගේ තමයි. හුළු අත්තක් වගේ. එය අත්හරින තාක් ම සත්වයා ව දවනවා.
මේ අල්ප වූ කාම සැපයක් නිසා මහත් වූ ලෝකෝත්තර සැපය අහිමි කරගන්ට එපා!
ඒ නිසා ඇස්, කන් ආදී ඉඳුරන් දමනය කරගන්න. බලු දම්වැලෙන් බැඳපු බලු කුක්කෙක් වගේ මේ සත්වයන් ව කාමයෙන් බැඳල තියෙන්නෙ. බඩගින්නෙ ඉන්න රොඩී මිනිස්සු බල්ලෙක් ව අල්ල ගෙන මරල දානඳා වගේ මේ කාමයො ත් ඔයාලට ඒ ටික ම යි කරන්නෙ.
ඔයාල අප්‍රමාණ වූ කායික මානසික දුක් දොම්නස් විඳින්නෙ කාමයන් නිසා ම යි. ඒ නිසා මේ අනිත්‍ය කාමය අත් හරින්න.
මේ කාමයන් තිබුණොත් ඒ හැම භවයෙ ම ඒ හැම උපතෙ ම තියෙන්නෙ ජරා මරණ විතර යි. නමුත් ජරා රහිත වූ නිවන තියෙන වෙලාවෙ ඔයාලට මේ කාමයන් ගෙන් ඇති ප්‍රයෝජනේ මොකක් ද?
මේ නිවන ජරා රහිත යි. මරණ රහිත යි. අජරාමර වීමට මුල නිවන ම යි. මේ නිවන ශෝක රහිත යි. වැළපීම් රහිත යි. කෙලෙස් සම්බාධ රහිත යි. දුසිරිත් කිලුටු රහිත යි. බිය රහිත යි. තැවුල් රහිත යි.
බොහෝ දෙනෙක් ඒ අමා මහා නිවන අවබෝධ කළා. ඉඳින් දැන් පවා බුදු සමිඳුන් වදාළ ක්‍රමයට නුවණින් විමසනවා නම් එයාට නිවන් අවබෝධ කරගන්ට පුළුවන්. උත්සාහ නොකළොත් ලැබෙන්නෙ නෑ.
සංසාරෙට ඇල්මක් නැති සුමේධා මෙහෙම කිව්වා. ඒ වගේ ම අනීකදත්ත රජුට දැනගන්ට සුමේධා තමන් කඩුවෙන් කපාපු කෙස් වැටිය බිම දැම්මා.
එතකොට අනීකදත්ත රජතුමා නැගිට්ටා. සුමේධා ගේ පියරජතුමා දිහාවට දෑත් බැඳගෙන යාඥා කරල කිව්වා “සුමේධාට මහණ වෙන්ට ඉඩ හරින්න. එතුමිය වෙනස් නොවන විමුක්තිය වූ ආර්ය සත්‍ය දකීවා!”
ඔව්! පියත් ඇයව අත්හැරියා. ශෝක බයෙන් බියපත් වූ සුමේධා මහණ වුණා. සික්ඛමානාවක් වුණා. අභිඤ්ඤා හය ම සාක්ෂාත් කළා. අග්‍ර ඵලය වන අරහත්වය ලබාගත්තා.
රාජ කුමාරිකාවක් වූ සුමේධා හට ඒ අමා නිවන අසිරිමත් දෙයක් වුණා. අද්භූත දෙයක් වුණා. අවසාන කාලෙ එතුමිය තමන් ගේ පුබ්බේනිවාස ඥානයෙන් අතීත තොරතුරු හෙළි කළා.
කෝණාගමන භාග්‍යවතුන් වහන්සේ ලෝකෙ පහළ වෙච්ච කාලෙ සංඝාරාමයක් පිහිටෙව්වා. ඒ කාලෙ ධනංජානි ත්, ඛේමාත්, මාත් එකතු වෙලා විහාර පූජාවක් කළා.
ඒ පුණ්‍ය කර්මයේ විපාක වශයෙන් සිය දහස්වර, දස දහස් වර දෙවියන් අතර ඉපදුණා. මිනිස් ජීවිතවල උපන්වාර ගණන ගැන කවර කථා ද?
දෙවියන් අතර ඉපදුණු කාලෙත් අපි ගොඩක් බල සම්පන්න යි. මිනිසුන් අතර ඉපදුණු කාලෙ ගැන කවර කථා ද? රත්න හතක් තියෙන සක්විති රජතුමාගෙ අගමෙහෙසිය වෙලා මාත් ස්ත්‍රී රත්නයක් බවට පත්වුණා.
ඒකට හේතුව කෝණාගමන බුදු සමිඳුන් ගේ කාලෙ කරපු පින්වල විපාක තමයි. මේ ජීවිතේ දී නිවනට බැසගත්තා. ධර්මයේ ඇලුනු සුමේධා මේ බුදු සසුනේ නිවන් දැක්කා.
අලාමක ප්‍රඥා තියෙන බුදු සමිඳුන් ගේ උතුම් වචන අදහාගත්තා නම්, ඒ විදිහට ම අනුගමනය කරනවා නම් ඔවුන් භවයට අයිති සියලු දේ ගැන ම කලකිරෙනවා. නිවන කරා ම යනවා.