කිසාගෝතමී මහ රහත් තෙරණින් වහන්සේ

ඇගේ අතීත ප්‍රාර්ථනය

එකල ඇය, පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේ හංසවතී නගරයේ එක්තරා පවුලක ඉපදී සිටියා ය. ඇය බුද්ධ දේශනාවක් ශ්‍රවණය කරමින් සිටින විට, ‘රළු සිවුරු දරන භික්ෂුණීන් අතුරින් අග්‍ර භික්ෂුණිය’ ලෙස එක්තරා භික්ෂුණියක් නම් කරනු ලබනවා ඇය දුටුවා ය. ඒත් සමගම තමාත්අනාගත බුද්ධ ශාසනයක, ‘රළු සිවුරු දරන භික්ෂුණීන් අතුරින් අග්‍ර භික්ෂුණිය’  වීමට ඇය ආශා කළා ය. මහා දානයක් දී බුද්ධෝපස්ථාන හා සංඝෝපස්ථාන පූජාවක් කොට අවසනායේ ඇය බුදුන් වහන්සේ ඉදිරියේ එම පැතුම ප්‍රකාශ කළා ය. ගෞතම නම් බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලයේ දී ඇයගේ ඒ ප්‍රාර්ථනාව ඉටුවන බව පදුමුත්තර බුදුරජාණන් වහන්සේ  අනාවැකියක් පළ කළ සේක.

කිකී රජුගේ දියණියක ලෙස ඇයගේ ජීවිතය

ඇය ඒ ජීවිතය අවසානයේ සැපවත් ආත්මභාවයන් වල ඉපදෙමින් සැපයම අනුභව කරමින් බොහෝ කාලයක් දෙවියන් හා මිනිසුන් අතර පමණක් සැරිසරමින් සිටින විට කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සේක. එකල ඇය බරණැස කිකී රජුගේ ‘ධම්මා’ නම් පස්වැනි දියණිය ලෙස උපත ලැබුවාය. වසර විසි දහසක් පුරාවට මුළු ජීවිත කාලයම ඇය දස සිල් පද රකිමින් පිරිසුදු ජීවිතයක් ගත කළාය.සොහොයුරියන් ද සමග බඹසර ජීවිතයක් ගතකරමින් සිල්වත්ව පින් රැස් කරගනිමින් සිට එයින් චුතව තව්තිසා දෙව්ලොව උපත ලැබුවා ය.

ඇගේ අවසාන ජීවිතය

දෙව්ලොවින් චුතව ඇය ඇයගේ අවසාන ජීවිතයේ දී, ධනවත් පවුලක උපත ලැබුවා ය. නමුත් කාලයාගේ ඇවෑමෙන් ඔවුන්ගේ ධනය පිරිහී හීන වී ගොස් බොහෝ දුප්පත් තත්වයකට ඔවුන් ඇද වැටුනහ. ඇගේ මුල් නම ගෝතමී විය. ඇය මුලදී ප්‍රිය මනාප යුවතියක් වුවත් දිළිඳු බවින් මිරීකී යාමෙන් ඇගේ ශරීරය කෙට්ටු වී ඇදී ගියේ ය. එනිසා ඇයට ‘කිසාගෝතමී (කෙට්ටු ගෝතමිය) යන නාමය ලැබුනි.

(කිසාගෝතමිය ධනවත් පවුලක ලේලිය වූ ආකාරය ධම්මපද අටුවාවේ සඳහන් වන පරිදි දැන් විස්තර කෙරේ.)

'යහපත් වූ කුසල කර්මයාගේ ගෙවී යාම දුක් විඳීමට හේතු වේ'

යදා කම්මක්ඛයෝ හෝතී, සබ්බමේතං විනස්සතී’

“හොඳ කර්ම (විපාක දී) අවසන් වූ විට සියල්ල නැති වී යයි.”

(අපගේ බුදුරජාණන් වහන්සේ ‘නිධිකණ්ඩ සූත්‍රයේ ’දී එසේ වදාළ සේක.)

*******************************

සැවැත් නුවර එක්තරා ධනවත් මිනිසෙක් සිටියේ ය. ඔහුගේ යහපත් කර්ම (විපාක දී) අවසන් වූ නිසා දේපළ සියල්ල එකවර මුළුමනින්ම අඟුරු බවට පත් වූයේ ය. බලාපොරොත්තු සුන් වූ තත්වයක සිටි ඔහුට ආහාර රුචිය නැති වී ගියේ ය. හේ යහනේ වැතිර ගත්තේ ය. දිනක් ඔහුගේ මිතුරෙකු ඔහු බැලීම පිණිස ඔහුගේ නිවසට පැමිණ, තම මිතුරා පිළිබඳ බොහෝ දුකෙන් ඔහුව දිරිමත් කිරීම පිණිස මෙසේ යෝජනාවක් කළේ ය. ඇත්තටම ඔහු මිතුරාට දරිද්‍රතාවයෙන් මිදීමට කදිම ප්‍රායෝගික මාර්ගයක් ද ලබා දුන්නේ ය.

ඔහුගේ උපදේශය මෙසේ යි.

“මිත්‍රය, ඔබ ඔබේ නිවස ඉදිරිපිට පැදුරක් එළවන්න. එහි ඔබ සතු සියලු අඟුරු ගොඩවල් ගසා විකිණීමට තබන්න. එවිට මඟ යන උදවිය ‘අනේ අනේ…අනිත් මිනිස්සු තෙල්, මීපැණි ආදිය විකුණනවා, නමුත් ධනවතෙක් වන ඔබ අඟුරු විකුණනවා’ කියා කියාවි. එවිට ඔබ ඔවුන්ට මෙසේ කියන්න: ‘යමෙක් තමා සතු දේ විකුණනවා නම් එහි ඇති වරද කුමක්ද?’

ඒ සියලු මිනිස්සු පෙර පින් නැති සාමාන්‍ය මිනිස්සු.

යමෙක් ඇවිත් ඔබට මෙහෙම කියන්නට පුළුවන්: ‘ආහ්, වෙනත් අය තෙල්, මී පැණි ආදිය විකුණනවා. නමුත් ඔබ ධනවත්ව ඉඳගෙන, රන් රිදී විකුණනවා!’. ආං ඒ වෙලාවට ඔබ ඒ කෙනාට මෙසේ කිව යුතුයි. ‘රත්රන් රිදී ! කොහේ තියෙන රත්රන් රිදී ද?’

එවිට ඒ පුද්ගලයා ඔබේ අඟුරු ගොඩවල් පෙන්වා ‘මේ තියෙන්නේ’ යි කියාවි.

“එවිට ඔබ: ‘එහෙමනම් ඒ රන් රිදී මගේ අතට දෙන්න’ කියා කියන්න. එම පුද්ගලයා ඔහුගේ හෝ ඇයගේ අත්වලින් දෙද්දී ඔබ ඒවා අරගන්න. එසේ කියන ඒ පුද්ගලයා මහා පෙර පිනක් ඇති අයෙක් නිසා ඔහු හෝ ඇය ස්පර්ශ කර ඔබ අතට දුන් සියල්ල මුලින් තිබූ ආකාරයටම රන් රිදී බවට පත් වේවි.”

“ඒ වගේම ඔබ මේකත් හොඳින් මතක තබාගන්න, ඔබේ රන් රිදී ගැන සඳහන් කරන්නා (අඟුරු ගොඩවල් නැවත රන් රිදී බවට පත් කරන්නා) තරුණියක් නම්, ඔබ ඔබේ පුතා ඇයට සරණපාවා දී ඔබේ සතළිස් කෝටියක් වටින සියලු දේපළ ඇයට  භාර දී ඇයට ඒවා මුදා හරින්න. ඔබේ ලේලිය ලෙස, ඔබේ නිවස කළමනාකරණය කරන්න ඇයට ඉඩ දෙන්න . ඒ පුද්ගලයා තරුණයෙක් නම්, ඔබ ඔහුට ඔබේ දුව විවාහ කර දී, ඔබේ බෑනා ලෙස ඔබේ හතළිස් කෝටියක් වටින දේපළ සියල්ල ඔහුට භාර දී ඔබේ නිවස පාලනය කිරීමට ඔහුට ඉඩ දෙන්න .

කිසාගෝතමී, මහත් වූ අතීත කුසල් ඇති පින්වත් තැනැත්තිය

ඒ ධනවත් මිනිසා තම මිතුරාගේ උපදෙස් සතුටින් බාර ගත්තේය. ඔහු තම නිවස ඉදිරිපිට විශාල පැදුරක් එලා එහි සියලු අඟුරු ගොඩක් ගැසුවේ ය.  ඒ අසළින් වාඩි වූවේ ය. එතැන් පටන් මාර්ගයේ ගමන් කරන සියලු මගීන් ඔහු අඟුරු වෙළඳාම් කරන හේතු කාරණා විමසමින් ඔහු පසුකරගෙන ගියහ.  ඒ සියලු මිනිසුන් ඔහුට මෙසේ කීවෝ ය.

“ආහ්, අනිත් අය තෙල්, මී පැණි,  ආදිය විකුණනවා, නමුත් ඔබ අඟුරු විකුණනවා.”

ඔහු ඔවුන්ට මෙසේ පිළිතුරු දුන්නේ ය. “යමෙක් තමා සතු දේ විකුණනවා නම් එහි ඇති වරද කුමක්ද?”

මෙසේ එකම අයුරින් කාලය ගෙවී ගියේ ය. 

දිනක්, කිසාගෝතමී  අඟුරු වෙළෙන්දා සිටි වීථියෙන් යද්දී හදිසියේම ඔහු කරන කාර්‍යත් ඔහුගේ විශාල අඟුරු ගොඩත් දුටුවා ය. ඇය  අඟුරු වෙළෙන්දා වෙත ගොස් මෙසේ කීවා ය. “අනේ පියාණනී, අනිත් අය තෙල්, මී පැණි, ආදිය විකුණනවා, නමුත් ඔබ විකුණන්නේ රන් රිදී!”

ධනවත් මිනිසා ඇයට මෙසේ කීවේ ය: “රත්‍රං සහ රිදී !! කොහේ තියෙන රත්‍රං රිදී ද?’

“ඇයි ඔබ මේ විකුණමින් ඉන්නෙ!”

“මගෙ දුවේ, ඔය රත්තරන් රිදී මට ගෙනත් දෙන්න!”

එවිට කිසාගෝතමිය වෙළෙන්දාගේ ‘භාණ්ඩ’  (අඟුරු) අතලොස්සක් ගෙන ඔහු අතට දුන්නා ය.  ඔහුව පුදුමයට පත් කරවමින් අතර, ඒ සියල්ල මුලින් තිබූ පරිදි රන් රිදී බවට පත් විය!

කිසාගෝතමිය ධනවතාගේ ලේලිය බවට පත් වෙයි

එවිට පුදුමයට පත් ධනවතා කිසාගෝතමියගෙන් මෙසේ  ඇසුවේ ය : “පින්වත් දියණිය, ඔබේ නම කුමක්ද?”

“මට කියන්නේ කිසාගෝතමී කියලයි” ඇය පිළිතුරු දුන්නා ය. එවිට ඒ ධනවත් පුද්ගලයා ඇය අවිවාහක බව දැන ඒ මොහොතේ ම ඇය තම නිවසට කැඳවාගෙන ගොස් තම පුතාට ඇයව විවාහ කර දුන්නේ ය. රත්‍රන් බවට හැරී ගිය ඒ සියළු ධනය හේ කිසාගොතමියට ම භාර කළේ ය.

කාලයාගේ ඇවෑමෙන් කිසාගෝතමිය පුතෙකු බිහි කළා ය. මාමණ්ඩියගේ පවුලේ අය ඇයට ආදරයෙන් ගෞරවයෙන් සලකන්නට පටන් ගත්තේ එතැන් සිට ය. ඇය දුප්පත් පවුලක දියණියක් නිසා නිවැසියෝ මුල දී ඇයට සැලකිල්ලක් නොදැක්වූ හ. නමුත් පුතෙක් උපන් දිනයේ පටන් ඔවුන් බොහොම හොඳින් ඇයට සළකන්නට පටන් ගත් හ. නමුත් අවාසනාවක මහත, කුඩා පුතු යාන්තම් ඇවිදින්න පටන් ගත් විටම හදිසියේ රෝගීව මිය ගියේ ය.  දරුවා අහිමි වීමෙන් කිසාගෝතමිය දැඩි සේ කම්පනයට පත් වූවා ය. අතිශයින්ම ශෝකයෙන් මිරිකී ගියා ය. ඇයගේ ජීවිතයේ යහපත් කාලය ආරම්භ වූයේ පුතුගේ උපත නිසා බැවින් ඇය ඉදිරියට ගතකිරීමට සිදුවෙන තමාගේ කර්කෂ අනාගතය ගැන සිතත් සිතත් ම තව තවත් ශෝක හුලෙන් පහර කන්නට වන. ඇය තම පුතු මියගිය බව පිළිගන්නට අසතුටු වූයේ එහෙයිනි. අසරණ කිසාගෝතමිය වැලහින්නක් සේ හඬමින් වැලපෙමින් පුතුගේ මළ කඳ ළයට තුරුළු කරගෙන වීථියක් වීථියක් ගානේ දිව ගියා ය. තම මියගිය දරුවා සුසාන භූමියට වීසි කරනු ඇයට සිතාගත නොහැකි විය. ඒ නිසා ඇය මියගිය දරුවා ආදරයෙන් දෑතින් අල්ලාගෙන ළයට තුරුලු කරගෙන නොනවත්වා ම මුමුණමින් ඇවිද්දා ය:

“අනේ මගේ පුතාට කවුරුහරි බෙහෙතක් දෙන්න!” ඇය ගෙයින් ගෙට ඇවිද්දාය.

ඇය එකියක් ලෙස සැලකූ නගරයේ මිනිසුන් ඇයට අනුකම්පා කරනු වෙනුවට ඇයට විසිළු කරන්න, සිනාවෙන්න, ගරහන්න ගත්හ. ඒ මිනිසුන් තුල ඇය කෙරෙහි කිසිඳු අනුකම්පාවක් නොවීය. ඔවුන් මේ කීහ, “මළවුන්ට නැවත පණ දෙන ඖෂධයක් ඔබ කවදා හෝ දැක තිබේද?”  ඔවුන් අසුරු ගසමින් විහිළුවෙන් ඇසූහ. මෙම අකාරුණික නමුත් සත්‍ය වචන ඇයට සිහිය ගෙන ඒමට අසමත් විය. එවිට එක් අනුකම්පා සහගත ප්‍රඥාවන්ත මිනිසෙක් මෙසේ කල්පනා කළේ ය.

“පුතාගේ වියෝවෙන් මේ තරුණියට හොඳ සිහිය නැතිවෙලා. ඇයට නිවැරදි ඖෂධය දිය හැක්කේ බුදුරජාණන් වහන්සේට පමණයි.”

ඔහු ඇයට මෙසේ කීවේ ය. “පින්වත් දියණිය, ඔබේ පුංචි පුතාට පණ දෙන්න පුළුවන් ඖෂධය දන්නේ බුදුරජාණන් වහන්සේ විතරයි. බුදුරජාණන් වහන්සේ  ම මිස අන් කිසිවකු නොවේ. සැබැවින් ම දෙව්මිනිසුන් අතර ශ්‍රේෂ්ඨතම පුද්ගලයා වූ බුදුරජාණන් වහන්සේ ජේතවන ආරාමයේ වැඩ වසන සේක. ගිහින් උන් වහන්සේගෙන් අහන්න.”

කිසාගෝතමියගේ දුක නැති කිරීමට බුදුරජාණන් වහන්සේ වදාළ ඖෂධය

ඒ යහපත් මිනිසාගේ අවවාදය නුවණැති උපදෙසක් බව කිසාගෝතමිය සිතුවා ය. ඇය තම මියගිය දරුවා දෑතින්ම අල්ලාගෙන තුරුළුකරගෙන වහ වහා ජේතවනයට දිව ගියා ය. බුදුරජාණන් වහන්සේ සිව් පිරිස් මධ්‍යයේ වැඩ හිඳ ධර්මය වදාරමින් සිටින අතරතුර දී කිසාගෝතමිය පිරිස අතරින් දුව ආවා ය. ඇය වැලපෙමින් මෙසේ කීවා ය, භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ අයැද සිටියා ය.

“ස්වාමීනි, මගේ මගේ මේ එකම දරුවාට නැවත ජීවය ගෙන දෙන ඖෂධය මට දෙන්න!”

බුදුරජාණන් වහන්සේ  කිසාගෝතමියගේ චිත්ත අභ්‍යන්තරයේ තිබූ මහා ප්‍රඥාව, ධර්මාවබෝධය පිණිස ඉන්ද්‍රියන් මෝරා ඇති බව සහ ඇයගේ පෙර ජීවිතයක ඇය කළ ප්‍රතිශ්ඨාව ආදී සියල්ල මැනවින් දැක වදාරා ඇයට ඉතාමත්ම කාරුණික වදනින් මෙසේ වදාළ සේක.

“ගෝතමිය, ඔබගේ මැරුණු දරුවාට පණ දෙන බෙහෙත සොයාගෙන ඔබ මා වෙත ආ කාරණය යහපත් එකක්මයි. නිවැරදි තැනටමයි නුඹ ආවේ. දැන් සැවැත් නුවර වැසියන්ගෙන් අබ මිටක් ඉල්ලාගෙන එන්න”

‘අබ මිටක්’ කී වහා ඇය නව ජීවයක් ලැබුවාක් සේ ප්‍රබෝදමත් වී ගියේ ය. ‘අබ මිටක් විතරලු ඕන’ ඇය බොහෝ සැනසීමට පත්වුවා ය. ඇය එවිටම අබ මිටක් සොයා යාමට සැරසිනි. එවිට මහා කාරුණික අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ කිසාගෝතමිය අමතා මෙසේ ද වදාල සේක.

“ගෝතමිය, කිසිවෙකු නොමළ ගෙයකින් අබ මිටක් ගෙනෙන්න”

‘කිසිවෙකු නොමළ ගෙයකින්’ යන්න ඇයට ඒ මොහොතේ එතරම්ම බැරැරුමට තේරුනේ නැත, නමුත් ඈ කිසිවෙකු නොමළ ගෙයකින් අබ ස්වල්පයක් සොයාගැනීම එතරම් දුෂ්කර එකක් නොවන බව සලකා භාග්‍යවතුන් වහන්සේට වැඳ සමුගෙන ඉක්මනින් ම නුවර දෙසට දිව ගියා ය.

(මෙහි දී අපගේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් වදාළ කාරණය (උපක්‍රමය) අප හොඳින් දැනගත යුතුයි. එනම්  බුදුරජාණන් වහන්සේ කිසාගෝතමියට වදාලේ ‘මරණයක් සිදු නොවූ පවුලකින් අබ ඇටය ස්වල්පයක් ගෙනෙන ලෙසයි’.  මිය ගිය දරුවාට පණ දෙන බව බුදුරජාණන් වහන්සේ වදාලේ නොවේ. එනම් එහි දී බුදුරජාණන් වහන්සේගේ අදහස වූයේ පුතෙකු අහිමි වීම දුර්ලභ කාරණයක් නොව, සෑම කෙනෙකුම අත්විඳින කාරණයක් බව, සෑම අයෙකුට ම මරණය පොදු කාරණයක් බව අසරණ මවට අවබෝධ කර දීමය. නමුත් කිසාගෝතමිය සිතුවේ කිසිවෙකු නොමළ ගෙයකින් අබ මිටක් ලැබුණොත් එයින් ඇයගේ දරුවාට නැවත පණ ලැබෙනවා කියායි.)

එනිසා ඇය පළමු නිවසට ගොස් මෙසේ කීවා ය: “මගේ මියගිය පුතාට නැවත පණ දීමට ඖෂධයක් සෑදීමට අබ ඇට කුඩා ප්‍රමාණයක් ලබා දෙන ලෙස බුදුරජාණන් වහන්සේ මට වදාලා. අනේ මට අබ ඇට ටිකක් දෙන්න.”

“ආ මෙන්න” කියා ගෘහපතියා ඇයට අබ මිටක් දුන්නේ ය.

“නමුත් ස්වාමීනී,” ඇය කීවා ය, “මට එක දෙයක් දැනගන්න පුළුවන් ද? මේ පවුලේ මියගිය කිසිවෙක් ඉන්නවද?”

“මේ මොන ප්‍රශ්නයක්ද! මේ පවුලේ මිය ගිය මිනිසුන් ගණන කාටද මතක?”

“එහෙම නම් මම අබ මිට ගන්නේ නැහැ” කියා ඇය වෙනත් නිවසකට ගියා ය. එහිදී  ද ඇයට එම පිළිතුරම ලැබුණී. තුන්වැනි නිවසේදීත් ඇයට ඒ පිළිතුර ම ලැබුණී. දැන් ටික ටික ඇයට මරණය ගැන වැටහෙන්නට ගත්තේ ය.

‘මරණය සිදු නොවූ පවුලක් මේ නගරයේ සොයා ගැනීමට නැත!” ඇය සිතන්නට වන. “ඒකාන්තයෙන්ම මහා කාරුණික සම්බුදු රජාණෝ මේ කාරණය නිසාමයි මා හට එවැන්නක් වදාලේ. සියල්ලෝම මිය යති. නොමියෙන කෙනෙක් මේ ලොව කොහේවත් නැත, මාගේ පුත්‍රයාත් මිය ගියේ ය. නැවත මිය ගිය කෙනෙක් කෙසේ ලබා ගන්න ද?”

ඇය සොහොනට ගොස් මියගිය දරුවා එහි තබා මෙසේ පැවසුවා ය: “ආදරණීය පුතේ, මවක් ලෙස, මරණය ඔබට තනිවම පැමිණේ යැයි මම වැරදියට සිතුවෙමි. නමුත් මරණය කාටත් පොදුයි.” ඉක්බිති ඇය පියවි සිතින් බුදුරදුන් හමුවට ගියා ය.

‘න ගාමධම්මො නිගමස්ස ධම්මො,
න චාපියං එකකුලස්ස ධම්මො;
සබ්බස්ස ලොකස්ස සදෙවකස්ස,
එසෙව ධම්මො යදිදං අනිච්චතා’

“යම් මේ අනිත්‍යතාවයක් වේ නම් (එය) එක ගමකට පමණක් හිමි ධර්‍මයක් නොවේ. නියම් ගමකට පමණක් හිමි ධර්‍මයක්ද නොවේ. දෙවියන් සහිතවූ සකල ලෝකයටම (හිමි) මෙම (අනිත්‍ය) ධර්‍මයමැයි.”

—— කිසාගෝතමී අපදානය ——

ඇය බුදුරජාණන් වහන්සේ වෙත පැමිණිවිට මහා කාරුණිකයන් වහන්සේ ඇගෙන් අබ ලැබුනාදැයි අසා වදාල සේක.

“මට අබ ඇට වලින් දැන් ප්‍රයෝජනයක් නැහැ ස්වාමීනී…. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මට මේ සදහම් භූමියේ වාසය කිරීමට අවසර ලබා දෙන සේක්වා.”

බුදුරජාණන් වහන්සේ ඇයට මෙම ගාථාව වදාළ සේක:

තං පුත්තපසුසම්මත්තං
බ්‍යාසත්තමනසං නරං
සුත්තං ගාමං මහෝඝෝ’ව
මච්චු ආදාය ගච්ඡති

සමහර උදවිය තමන්ගේ දූ දරුවන් ගැන, සතා සිව්පාවා ගැන, හිතින් බැඳිලා, එයින් මත්වෙලා කල් ගෙවනවා. අන්තිමේදී මාරයා ඇවිදින් ඔවුන්ව මරණය කරා ගෙනියන්නෙ, සැඩ වතුර පහරක් විසින් නිදිගත් ගමක් මුහුදට ගසාගෙන යනවා වගේ.

——ධම්මපදය, ගාථාව 287——

ගාථාව අවසානයේ කිසාගෝතමිය සෝතාපත්ථි ඵලයෙහි පිහිටියා ය. ඇය තමන්ට භික්ෂුණියක් වීමට අවසර දෙන ලෙස බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියා ය. බුදුරජාණන් වහන්සේ එය අනුමත කළ සේක. කිසාගෝතමිය, බුදුරජාණන් වහන්සේව තුන් යලක් බොහෝමත් ම ගෞරවයෙන් පැදකුණුකර භික්ෂුණී ආරමයකට ගියා ය. ඇය භික්ෂුණීන්ගේ ආරාමයට ගොස්, භික්ෂුණී පැවිද්ද ලැබුවා ය. එතැන් පටන් ඇය ‘කිසාගෝතමී තෙරණිය’ නමින් හැඳින්වූවා ය.

අරහත්වයට පත්වීම

දැනටමත් දහම් ඇස ලබා සිටින කිසාගෝතමී තෙරණිය අරහත්වය පිණිස ඉතා උනන්දුවෙන් විරිය වැඩූ සේක. දිනක්, සභා ශාලාවේ සහ ඒ අවට ආලෝකය දැල්වීමේ වත සඳහා ඇයගේ වාරය පැමිණියේ ය. පහනක දැල්ලක් දෙස මනා අවධානයෙන් යුතුව බලා සිටි ඇයට ඒ දැල්ලේ හට ගැනීමත් ඉන්ධන නැති වීමෙන් එය නිවී යන ආකාරයත් හොඳින් පෙනුණි. ඒ තුලින් ඇය මෙසේ මෙනෙහි කළා ය.

“මේ සියලු සත්වයෝ ඉපදෙති, මිය යති. මෙය මේ හැමෝටම පොදු ධර්ම තාවයයි. නමුත් අරහත්වයට පත් වූ උතුමන් පමණක් ආයෙ කිසි දින නොයිපදෙති. නොයිපදීම නිසා මියයාමට ද පත් නොවෙති. මේ පහන් දැල්ල නිවී යන්නක් සේ ඒ උතුමෝ පිරිනිවනට පෙත්වෙති, ඉපදෙන මැරෙන ලෝකයෙන් සදහටම මොදී යති”

කිසාගෝතමියගේ සිතෙහි හටගත් මේ සිතිවිල්ල ජේතවන විහාරයේ සුගන්ධ කුටියේ වැඩසිටි අපගේ සම්බුදු රජාණෝ දිවැසින් දුටු සේක. ක්ෂණයකින් කිසාගෝතමී තෙරණිය ඉදිරියේ පෙනීසිටි අපගේ මහා කාරුණිකයන් වහන්සේ එතුමියට මෙසේ වදාළ සේක.

“කිසාගෝතමිය, ඔබේ අදහස නිවැරදියි. ගිනිදැල්ලක් මෙන් මේ සියලු ජීවීන් ඉපදෙති, මියයති.  නිවන් දුටුවෝ පමණක් මේ හටගැනීමේ හා විනාශයට පත්වීමේ ක්‍රියාවලියට යට නොවෙති. නිවන පසක් කර එය අවබෝධ කිරීමෙන් තොරව අවුරුදු සියයක් ජීවත් වුවත් ඵලක් නොවේ.

සම්බුදු රජාණෝ තවදුරටත් මෙසේ ද වදාල සේක.

යෝ චේ වස්සසතං ජීවේ
අපස්සං අමතං පදං
ඒකාහං ජීවිතං සෙය්‍යෝ
පස්සතෝ අමතං පදං

යම් කෙනෙක් ඒ අමා නිවන අවබෝධ නොකොට, සියයක් අවුරුදු ජීවත් වෙනවාට වඩා ඒ අමා නිවන අවබෝධ කරගෙන එක දවසක් ජීවත්වීම ශ්‍රේෂ්ඨයි.

——ධම්මපදය, ගාථාව 114——

කෙලෙස් මුල් සදහටම උගුලා දමමින් සියලු මානසික බන්ධනයන්ගෙන් සදහටම මිදී යමින් උතුම් අරහත්වය සාක්ෂාත් කළ සේක.

කිසාගෝතමිය අග්‍ර භික්ෂුණියක ලෙස

කිසාගෝතමිය පෙර භවයේ ප්‍රාර්ථනා කළ පරිදිම තම භික්ෂුණී ජීවිතය පුරාම, රළු සිවුරුවලින් එනම් රළු රෙදිවලින් සාදන ලද, රළු නූලෙන් මසා, පඬු පැහැ ගැන්වූ සිවුරුවලින් යැපෙමින් ඉන්  සෑහීමට පත් වූ සේක.

එහෙයින් එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ජේතවන ආරාමයේ වැඩ වසන සමයෙහි විවිද හැකියාවන්ගෙන් අග්‍ර භික්ෂු භික්ෂුණීන් වහන්සේලා නම් කරන විට මෙසේ ප්‍රකාශ කළ සේක.

“පින්වත් මහණෙනි, රළු සිවුරු දරන මාගේ භික්ෂුණී ශ්‍රාවිකාවන් අතුරෙන් මේ කිසාගෝතමී භික්ෂුණිය අග්‍ර වන්නේ ය.”