සිඟාලමාතා මහ රහත් තෙරණින් වහන්සේ

ඇගේ අතීත ප්‍රාර්ථනය

ඇය පදුමුත්තර බුදුරදුන් වැඩ සිටි සමයේ රජුගේ එක්තරා අධිකරණ නිලධාරියෙකුගේ දියණියක ලෙස උපත ලැබුවා ය. ආරාමයට ගොස් බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කිරීමෙන් පසු භික්ෂුණියක් ලෙස බුදු සසුනේ පැවිදි වූ අතර, ඉතා සිල්වත්ව පැවිදි ජීවිතය ගත කළා ය. ඇය තෙරුවන් කෙරෙහි සුවිශේෂී භක්තියකින් යුක්ත වූවා, ධර්මය ශ්‍රවණය කිරීමට ඉතා කැමැත්තෙන් පසුවූවා ය. බුදුරජාණන් වහන්සේ දැකීමට (වක්කලී භික්ෂුව මෙන්) විශේෂයෙන් දැඩි ආශාවකින් යුක්ත වූවාය.

දිනක් ඒ භික්ෂුණිය, බුදුරජාණන් වහන්සේ විසින් එක්තරා භික්ෂුණියක් ‘බලවත් ශ්‍රද්ධාව මුල්කොට නිවනට පැමිණි භික්ෂුණීන් අතුරින් අග්‍ර භාවයට පත් භික්ෂුණියක්’ නම් කරනු දුටුවා ය. ඇය ඒ අග්‍ර තනතුරු ලත් භික්ෂුණිය මෙන් අනාගත බුද්ධ ශාසනයක, ශ්‍රද්ධාව මුල්කොට නිවනට පැමිණි භික්ෂුණීන් අතුරින් අග්‍ර භාවයට පත්වීමට ප්‍රාර්ථනා කරමින් ත්‍රිවිද සුචරිතයෙහි බලවත් කැමැත්තෙන් හා උවමනාවෙන් යෙදී වාසය කළා ය. බුදුන් වහන්සේ ඇයට “යස්ස සද්ධා තථාගතේ… ” යනුවෙන් ආරම්භ වන ගාථා තුනකින් ධර්මය වදාළ සේක.

‘යස්ස සද්ධා තථාගතෙ, අචලා සුප්පතිට්ඨිතා;
සීලඤ්ච යස්ස කල්‍යාණං, අරියකන්තං පසංසිතං.’

‘සඞ්ඝෙ පසාදො යස්සත්ථි, උජුභූතඤ්ච දස්සනං;
අදලිද්දොති තං ආහු, අමොඝං තස්ස ජීවිතං.’

‘තස්මා සද්ධඤ්ච සීලඤ්ච, පසාදං ධම්මදස්සනං;
අනුයුඤ්ජෙථ මෙධාවී, සරං බුද්ධානසාසනං’.

“යමෙකුගේ ශ්‍රද්‍ධා තොමෝ තථාගතයන් කෙරෙහි නිශ්චලව මැනවින් පිහිටියාද,’
යමෙකුගේ යහපත්වූ ආර්‍ය්‍යයන් විසින් කැමතිවන ලද්දාවූ, පසසන ලද්දාවූ ශීලයද, සඞ්ඝයා කෙරෙහි ප්‍රසාදයද, (එසේම) ඎජුවූ දෘෂ්ටියද ඇත්තේ නම් හේ දිළින්දෙක් නොවේ” යයි කීහු. ඔහුගේ ජීවිතය නොසිස්ය;
‘එහෙයින් නුවණැත්තේ, බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය සිහි කෙරෙමින් ශ්‍රද්‍ධාවෙහිද, ශීලයෙහිද, ප්‍රසාදයෙහිද, ධර්‍ම දර්‍ශනයෙහිද, යෙදෙන්නේය.”

— සිඟාල මාතා අපදානය —

දේශනය ඇසූ තරුණ භික්ෂුණිය මහත් ධෛර්යයට පත් වූ අතර ඇගේ අපේක්ෂාව ඉටු වේදැයි බුදුරජාණන් වහන්සේගෙන් විමසුවාය. පදුමුත්තර බුදුරජාණන් වහන්සේ අනාගත ගෞතම බුදුරදුන් වැඩ සිටින කාලයේ දී ඇයගේ ප්‍රාර්ථනාව ඉටුවන බවට අනාවැකි පළ කළ සේක. ඇය එයින් ප්‍රමෝදයට පත් වූ අතර බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමට අනුවම ජීවත් වෙමින් බුදුරජාණන් වහන්සේට ඉතා ගෞරයෙන් යුතුව උපස්ථාන කළා ය.

(බුදුන් වහන්සේ පිළිබඳවම ශ්‍රද්ධාවෙන් හා ශාස්තෲ ප්‍රේමයෙන් යුතුව සිතින් , කයින් හා වචනයෙන් ධර්මානුකූලව ජීවත් වීම ම බුදුරජාණන් වහන්සේට කරන්නා වූ නියම උපස්ථානය බව අප සිහි තබා ගත යුතු ය. එහෙයින් මෙසේ කියන ලදී. )

ඇගේ අවසාන ජීවිතය

ඒ ජීවිතයෙන් සමුගත් ඇය කල්ප ගණන් පුරා සැප පිරුණු මහේශාක්‍ය දිව්‍ය හා මනුෂ්‍ය ආත්මයන්හි පමණක් ම ඉපදෙමින් තව තවත් බොහෝ පින් රැස් කරගනිමින් පින්වත් ජීවිත ලැබුවා ය.

ඉන්පසුව අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලයේ දී ඇය රජගහනුවර ධනවත් පවුලක දියණියක් ලෙස ඉපදුණාය. ඇය වැඩිවිය පැමිණි පසු එම වංශයේ ම වෙනත් ධනවත් පවුලක පුතෙකු සමඟ විවාහ වී තම සැමියාගේ නිවසේ පදිංචියට ගියාය. ඇය සිඟාලක නම් පුතෙක් බිහි කළාය. මේ අනුව ඇය සිඟාලකමාතු, සිඟාල මාතා, සිඟාලකගේ මව යන නම ලබා ගත්තා ය.

ඇගේ පුත් සිඟාලකට තිබුණේ වැරදි දෘෂ්ඨියකි. හේ දිනපතා අට දිසාවන් වන්දනා කළේ ය. දිනක් බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතය සඳහා නුවරට වඩින විට තරුණ සිඟාලක අට දිසාවට හැරී වඳිමින් සිටිනු දුටු සේක. බුදුරජාණන් වහන්සේ මාර්ගයේ වැඩසිටිමින් ම තරුණයාට අනුශාසනා කළ සේක. ඒ දේශනය අසා කෝටි ගණන් සත්වයෝ ධර්මාවබෝධය ලැබූහ, චතුරාර්ය සත්‍යය අවබෝධ කළහ.

සිඟාල මාතාවෝ සෝවාන් ඵලයට පත්වූ අතර බුදු සසුනේ භික්ෂුණී බාවය ලද හ. එතැන් පටන් ඇය සිඟාල මාතා තෙරණිය නම් වූවා ය.

ඇයගේ අතීත අභිලාෂය නිසා, ඇය භික්ෂුණියක් බවට පත් වූ දා සිට, ඇයගේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය සුවිශේෂී ලෙස වැඩී ගියේ ය. ශක්තිමත් වූයේ ය. බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ඇසීමට ආරාමයට වැඩම කළ ඇය කොතැනක සිටියත් බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරිස් ලකුණින් සෝභාවත් ශ්‍රී ශරීරය සහිත රූපකායෙන් ඉවතට ඇගේ නෙතු යුගල හරවා ගැනීමට අසමත්ව, උතුරායන ශ්‍රද්ධාවෙන් යුතුව සම්බුදු රජුන් දෙස ම නොසෙල්වී බලා සිටියා ය. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇය  තුළ දැඩි භක්තියක් ඇති බව හොඳින්ම දන්නා මහා කාරුණිකයන් වහන්සේ, ඇයගේ ශ්‍රද්ධාව වැඩි තව තවත් වැඩිවන ආකාරයෙන් ධර්මය වදාළ සේක. ඇය තම ශ්‍රද්ධාව නම් භූමියේ මනාව පිහිටමින් යෝනිසෝ මනසිකාරයේ මනාව යෙදෙමින්, ප්‍රඥාව මෝරා යමින් ඒ මොහොතේම උතුම් අරහත්වයට පැමිණ වදාල සේක. 

සිඟාලමාතාවෝ අග්‍ර භික්ෂුණියක ලෙස

එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ජේතවන ආරාමයේ වැඩ වසමින් ඒ ඒ විශයෙහි අග්‍ර කීර්තිමත් භික්ෂුණීන් වහන්සේලා නම් කරන විට මෙසේ ප්‍රකාශ කළ සේක..

“පින්වත් මහණෙනි, බලවත් ශ්‍රද්ධාව මුල්කොට නිවනට පැමිණි මාගේ භික්ෂුණී ශ්‍රාවිකාවන් අතර, සිඟාලමාතා භික්ෂුණිය අග්‍ර වේ.”