මහා ප්‍රජාපතී ගෝතමී

මහ රහත් තෙරණින් වහන්සේ

1 - කොටස

පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේ මහා ප්‍රජාපතී ගෝතමිය හංසවතී නගරයේ ධනවත් පවුලක උපත ලැබුවා ය. එක් අවස්ථාවක ඇය බුදුරදුන්ගේ අනුශාසනාවකට සවන් දෙමින් සිටින විට බුදුරජාණන් වහන්සේ විසින් පැවිදි වී බොහෝ කල් ගත කළ (චිරරාත්‍රඥ) භික්ෂූණීන් අතුරින් අග්‍ර භාවයට පත් එක්තරා භික්ෂුණියක් අග්‍රස්ථානයෙහි නම් කරනු දුටුවා ය. ඇය ද අනාගත ජීවිතයක දී එම තනතුර ලැබීම පතමින් බොහෝ දාන මානාදිය පූජාකර තම අභිප්‍රාය බුදුරජාණන් වහන්සේ හමුවේ කියා සිටියා ය. ඇයගේ අපේක්ෂාව ඉටුවන බවට පදුමුත්තර බුදුරජාණන් වහන්සේ අනාවැකි පළ කළ සේක.

ප්‍රධාන කළ දාසියක ලෙස ඇගේ පෙර ජීවිතය

එම ජීවිතයේ දී ඇය පින්වන්ත ජීවිතයක් ගතකරමින් සිල්පද මැනවින් සමාදන් වූ අතර අවසානයේ ඇය දෙව්ලොව උපත ලැබුවා ය. ඇය කාශ්‍යප බුදුරජාණන් වහන්සේත් අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේත් අතර කාලය තුළ දෙව් ලොවෙන් චුතව, බරණැස එක්තරා සිටුකුලයකට වහල්කම් කරන ප්‍රධාන කළ දාසියක ලෙස ඉපදුණාය.

ඉක්බිත්තෙන් වස් කාලය එළඹෙන කල්හි ගන්ධමාදන පර්වත ලෙනෙහි වැඩ සිටි පසේ බුදුරජාණන් වහන්සේලා පස් නමක් බරණැස සමීපයෙහි මිගදාය වනයෙහි අහසින් බැස නුවරට වැඩි සේක. දානයෙන් පසු ඉසිපතන මිගදාය ආරණ්‍යයේ රැඳී සිටි උන් වහන්සේලා ඉදිරි වස් කාලය සඳහා වාසස්ථාන සාදා ගැනීමට උපකාර ලබා ගැනීම ගැන ඔවුනොවුන් අතර සාකච්ඡා කළ සේක.

(බුදුරජාණන් වහන්සේ නමකගේ බුද්ධ ශාසනයක භික්ෂුව, මාස තුනක වස් කාලය තුළ තෝරාගත් ස්ථානයක යම්කිසි වහලක් සහිත වාසස්ථානයක වැඩ සිටීම  විනයට අනුව අවශ්‍ය වේ. පසේ බුදුරජාණන් වහන්සේලා ද එසේමය.)

එනිසා පසේ බුදුරජාණන් වහන්සේලා පස් නම වස් විසීමේ අරමුණ ඇතිව සවස් වරුවේ සිවුරු පොරවා බරණැස් නුවරට වැඩම කළ සේක. උන් වහන්සේලා නගරයට වැඩම කරන ආකාරය ප්‍රධාන කළ දාසිය විසින් දකින ලදී. පසේ බුදුරජාණන් වහන්සේලා බරණැස මහ සිටුතුමාගේ මාළිගයේ දොරකඩ වැඩ සිටි සේක. කරුණු කාරණා විමසා හේ මෙසේ කීය.

“අපිට උදව් කරන්න ක්‍රමයක් නෑ. පින්වත්හු අන් තැනකට යෙත්වා”.

ප්‍රධාන කළ දාසිය නගරයෙන් නික්ම වඩින පසේ බුදුරජාණන් වහන්සේලා පස් නම නගර දොරටුව අසලදී නැවතත් දැක්කා ය.  පැන් කළය බිම තබා පසේ බුදුරජාණන් වහන්සේලා හමුවේ වැඳ වැටුණාය. ඉක්බිති ඇය පසේ බුදුරජාණන් වහන්සේලා නගරයට ඇතුළු වී මෙතරම් ඉක්මනින් එයින් පිටතට පැමිණීමේ හේතුව කුමක්දැයි ඇසුවාය. තමන් වහන්සේලා වස් කාලය සඳහා කුඩා වාසස්ථානයක් කරවා ගැනීමට උපකාර ලබා ගැනීමට බරණැස මහ සිටුතුමා මුණගැසීමට ගිය බව වදාල සේක. තවද වැඩිදුර විමසීමේ දී අවශ්‍යතාවය තවමත් ඉටුවී නොමැති බව ඇයට දැනගන්නට ලැබිණි. ඇය උන් වහන්සේලාගෙන් මෙසේ ඇසුවා ය.

“මේ වාසස්ථානය සැප සම්පත් ඇති ධනවතුන්ට පමණක්ද කළ හැක්කේ? නැතිනම් මා වැනි දාසයෙකුටත් කළ හැකිද?

“ඕනෑම කෙනෙකුට එසේ කළ හැකිය පින්වතිය” උන් වහන්සේලා පිළිතුරු දුන් සේක.

“හොඳයි ස්වාමීනී, අපි හෙට වාසස්ථානයක් පූජා කරන්නෙමු. ඒ වගේම තෙරුන් වහන්සේලා, හෙට මාගේ ආහාර දානය ද පිළිගන්නා සේක්වා”.

ආරාධනය කිරීමෙන් පසු, ඇය තම වතුර කළය අතට ගෙන, ආපසු නගරයට නොයා, හැරී පැන් තොට වෙත ගියා ය. ගොස් එහි කළ දාසියන් රැස් කළා ය. ඇය ඔවුන්ට මෙසේ කීවා ය.

“දැන් මිතුරියනි ඔබලා කැමතිද හැමදාම අනුන්ගේ වහල්ලු වෙලා ඉන්න? නැත්නම් ඔබට වහල්භාවයෙන් නිදහස් වීමට අවශ්‍ය ද?”

ඔවුන් එක හඬින් මෙසේ පිළිතුරු දුන්හ: “අපිට වහල්භාවයෙන් නිදහස් වීමට අවශ්‍යයි!”

“එසේ නම් මම හෙට පසේ බුදුරජාණන් වහන්සේලාට දානයකට ආරාධනා කළෙමි. උන් වහන්සේලාට වාසස්ථාන අවශ්‍යයි. හෙට එක් දිනක් සඳහා ඔබේ ස්වාමිපුරුෂයන්ට වාසස්ථාන සෑදීමට උදව් කිරීමට ඉඩ දෙන්න. ”

“බොහොම හොඳයි,” ඔවුන් සියල්ලෝම කීහ. සවස් වරුවේ ඔවුන් වැඩ අවසන් ව නිවසට පැමිණි පසු ඔවුන් තම ස්වාමිපුරුෂයන්ට මේ බව පැවසුහ. මිනිසුන් සියල්ලෝම උදව් කිරීමට එකඟ වූ අතර ඒ පිළිබඳ වැඩි දුර සාකච්ඡා කරගැනීම පිණිස ප්‍රධාන කළ දාසියගේ දොරකඩට රැස් වූහ. එවිට, ප්‍රධාන කළ දාසිය ඔවුන්ගෙන් වස් කාලය තුළ පසේ බුදුරජාණන් වහන්සේලාට වැඩ වාසය කිරීමට වාසස්ථාන සෑදීමට අත හිත දෙන ලෙස ඉල්ලා සිටියා ය. ඒ පිනෙන් ලැබෙන ඉමහත් ප්‍රයෝජන සහ සැප ගැන ද ඇය ඔවුන්ව දැනුවත් කළා ය. මුලදී උදව් කිරීමට එකඟ නොවූ පිරිමින් කිහිප දෙනෙකු ද, ඇය විසින් ම අවවාද ලබා දී එම කාර්‍යයට එකතුකර ගන්නා ලදී

පසුදා උදෑසන ප්‍රධාන කළ දාසිය පසේ බුදුරජාණන් වහන්සේලාට දානය පූජා කළා ය. ඉන්පසුව ඇය පන්සියයක් පිරිමි වහලුන්ට වැඩ ආරම්භ කරන ලෙස සංඥා කළා ය. ඔවුන් වහා වනයට ගොස්, ගස් කපා, සියදෙනෙකුගෙන් යුත් සෑම කණ්ඩායමක් ම එක් පසේ බුදුරජාණන් වහන්සේ නමක් සඳහා වාසස්ථානයක් බැගින් ඉදිකරන ලද අතර, එයට යාබදව සක්මන් මළු ද ඉඳිකරන ලදී. පසේ බුදුරජාණන් වහන්සේලා උදෙසා වාසස්ථාන පහේම අවශ්‍ය දෑ තැබූහ. වතුර භාජන ආදිය පුරවා තැබූහ. ඉන්පසු ඔවුන් ඒවා පසේ බුදුරජාණන් වහන්සේලාට පූජා කර, වස් කාලය තුළ එහි වැඩ වාසය කරන ලෙස ඉල්ලා සිටිය හ. උන්වහන්සේලාගේ කැමැත්ත ලබාගෙන ඔවුන් දිනපතා ආහාරපාන පිරිනැමීමට ද කටයුතු කළ හ.

නියමිත දිනට ආහාර වේලක් පිළියෙළ කිරීමට නොහැකි වූ යම් දිළිඳු කළ දාසියක් වෙත් නම්, ප්‍රධාන කළ දාසිය ඇයට අවශ්‍ය දාන උපකරණ ලබා දුන්නා ය. වස් තුන් මස මෙසේ ගෙවී ගියේ ය. වස් තුන් මස ආවසානයේ ප්‍රධාන කළ දාසිය, පන්සියයක් කළ දාසියන්ට රෙදි කැබැල්ලක් වියන ලෙස ඉල්ලා සිටියාය. ඔවුන්ගෙන් එකතු කරගත් පන්සියයක් රෙදි කැබැලි එකතුකර පසේ බුදුරජාණන් වහන්සේලාට එක් සියුම් සිවුරු කට්ටලයක් බැගින් සිවුරු කට්ටල පහක් සකසා පූජා කරන ලදී. පසේ බුදුරජාණන් වහන්සේලා සිවුරු පිළිගෙන ඔවුන් ඉදිරියේ ම අහසට නැඟී ගන්ධමාදන පර්වතයට වැඩි සේක.

ප්‍රධාන වියන්නාගේ බිරිඳ ලෙස අතීතයේ ලැබූ ජීවිතය

මෙසේ කළ දාසිය සහ පිරිස ජීවිතයේ ඉතිරි කාලයත් පින්කම්වල නිරත වෙමින් ගත කළහ. ඔවුන්ගේ මරණයෙන් පසු ඔවුන් නැවත දිව්‍ය ලෝකයේ උපත ලැබුහ. ප්‍රධාන කළ දාසිය, දෙව්ලොවින් චුතව, බරණැසට නුදුරින් පිහිටි රෙදි වියන්නන්ගේ ගමක, ප්‍රධාන රෙදි වියන්නාගේ පවුලේ ඉපදුණා ය.

දිනක් පදුමා දේවියගේ පන්සියයක් පුත්‍රයෝ වූ පසේ බුදුරජාණන් වහන්සේලා ආරාධනයක් නිසා බරණැස රජ මාලිගාවේ දොරකඩට වැඩම කළහ. එහෙත්  ආසන පිරිනැමීමට, ආහාර පිරිනැමීමට හෝ උපස්ථාන කිරීමට එහි කිසිවෙක් සිටියේ නැත; . එනිසා පසේ බුදුරජාණන් වහන්සේලාට නැවත උන්වහන්සේලාගේ වාසස්ථානයට යාමට සිදු විය. පසේ බුදුරජාණන් වහන්සේලා නගරයෙන් පිටත් වී වියන්නන්ගේ ගමට පැමිණ සිටින විට, උන්වහන්සේලා කෙරෙහි බොහෝ ශ්‍රද්ධාවෙන් සිටි ප්‍රධාන වියන්නාගේ බිරිඳ පසේ බුදුරජාණන් වහන්සේලාට වැඳ නමස්කාර කර ආහාර පිළිගැන්වී ය. පසේ බුදුරජාණන් වහන්සේලා ඇයගේ ආහාර පූජාව පිළිගත් සේක.

බුදුරජාණන් වහන්සේගේ කිරි මව ලෙස ඇයගේ අවසන් ජීවිතය

ප්‍රධාන වියන්නාගේ බිරිඳ සිය ජීවිතයේ ඉතිරි කාලයත් ගත කළේ පින්කම්වල යෙදීමෙන්ම ය. එම භවයෙන් නික්ම ගිය පසු දෙව්ලොව හෝ මනුෂ්‍ය ලොව මාරුවෙන් මාරුවට ඉපදී, ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වීමට නියමිත කාලයේ ඇය දෙව්දහ නුවර (කෝළිය නුවර) සුප්‍රබුද්ධ නම් අඤ්ජන ශාක්‍ය රජුගේ බාල දියණිය ලෙස ශාක්‍ය රජ වංශයේ උපත ලැබුවා ය. ඇය ගෝතමී නම් වූ අතර මහාමායා කුමරියගේ බාල සොහොයුරිය වූවා ය. වේදයන් උගත්, ශරීර ලක්ෂණ සහ හස්තරේඛා කියවීමට දක්ෂ වූ ශාස්ත්‍රඥයන්,  සහෝදරියන් දෙදෙනාගේ සුවිශේෂී ශරීර ලක්ෂණ පරීක්ෂා කිරීමෙන් පසු සහෝදරියන් දෙදෙනාගෙන් උපදින පුතුන් සක්විති රජෙකු වනු ඇතැයි අනාවැකි පළ කළ හ.

සහෝදරියන් දෙදෙනා වැඩිවිය පැමිණි පසු ඔවුන් දෙදෙනාම සුද්ධෝදන රජු හා විවාහ වී මහාමායා කුමරිය අග බිසව බවට පත් කර දෙදෙනා ම කපිලවස්තුවට කැඳවාගෙන යන ලදී. පසු කාලයේ, අපගේ බෝධිසත්වයන් වහන්සේ තුසිත දෙව්ලොවින් සමුගෙන මහාමායා බිසවගේ කුසෙහි පිළිසිඳ ගත් සේක. මායා බිසව වෙසක් පුර පසළොස්වක පොහොය දින තම පුතු ප්‍රසූත කර හත්වන දින මෙලොවින් සමුගෙන ‘මාතෘ දිව්‍ය රාජයා’ යන නමින් තුසිත දෙව්ලොව උපත ලැබුවා ය. මහාමායා බිසවගේ අභාවයෙන් පසු සුද්ධෝදන රජු බාල සොහොයුරිය වූ ගෝතමී බිසව අග බිසව බවට පත් කළේ ය.

මහාමායා බිසව සිදුහත් කුමරු බිහි කර දින දෙක තුනකට පසු සිදුහත් කුමරුගේ සුළු මව වූ මහාප්‍රජාපති ගෝතමී බිසව නන්ද කුමරු බිහි කළා ය. මහාමායා බිසව මිය යන විට සිදුහත් කුමරුගේ වයස දින හතක් පමණක් වූ අතර නන්ද කුමරුගේ වයස දින හතරක් හෝ පහක් පමණ විය. මහාප්‍රජාපති ගෝතමී බිසව ඇගේ පුතු වන නන්ද කුමරු  කිරි මවුන් විසින් පෝෂණය කිරීමට බාර දී  තම බෑණනුවන් වූ සිදුහත් කුමරුට සිය තනයෙන් කිරි දුන්නා ය. ඇය සිය සම්පූර්ණ අවධානය යොමු කළේ තම කුඩා බෑණනුවන් වන සිදුහත් කුමරු ඇති දැඩි කිරීමට ය.

විසිනව වන වියේ දී ගිහිගෙය අතහැර ගිය අපගේ බෝසතාණන් වහන්සේ වෙසක් පුන් පොහෝ දිනක දී උතුම් සම්බුද්ධත්වයට පත් වූ සේක. බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා හට යහපත උදාකරලීමේ මෙහෙවරෙහි යෙදී සිටිය දී උන්වහන්සේ ප්‍රථම වරට කපිලවස්තු නුවරට වැඩම කළ සේක. පසු දින බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතය පිණිස නගරයට වැඩි සේක. බුදුරජාණන් වහන්සේගේ පියාණන් වූ සුද්ධෝදන මහ රජුට බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතය පිණිස වැඩම කරන අතරතුර දී මහ මග දී ම බුද්ධ දේශනාව ශ්‍රවණය කිරීමට අවස්ථාව ලැබුණු අතර, එමගින් සුද්ධෝදන මහ රජු එහි දී පිළිවෙලින් සෝවාන් ඵලයත් සකදාගාමී ඵලයත් සාක්ෂාත් කළේ ය. ඉන්පසු දෙවන දිනයේ දී නන්ද කුමාරයා ශාසනයට ඇතුළත් කරන ලදී. හත්වෙනි දවසේ දී බුද්ධ පුත්‍රයාණෝ, රාහුල කුමරුවාණෝ සාමණේරයෙකු ලෙස පැවිදි කරන ලදී.

එම සිදුවීම් සිදුවූයේ මෙසේ ය.

සුද්ධෝදන රජතුමා බුදුරජාණන් වහන්සේට තම රාජකීය නගරයට ආරාධනා කිරීමට ඇමතිවරුන් පිටත්කරවයි

බුදුරජාණන් වහන්සේ එකල තමන් වහන්සේගේ අභිමුඛයට පැමිණි දෙව්මිනිසුන්ට, බ්‍රහ්මයන්ට අමාමහ නිවන නම් වූ මරණ රහිත ධර්ම අමෘතය ලබා දෙමින් රජගහනුවර වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එහිදී සමහර සත්වයෝ ත්‍රිවිධ රත්නයේ දැඩි විශ්වාසවන්තයින් ලෙස ස්ථාපිත වීමටත් අනෙක් අයට ඔවුන්ගේ අභිලාෂයන් හා අධිෂ්ඨානය අනුව මාර්ගඵල ලබා ගැනීමටත් අවස්ථාව උදා වුනි. අංග සහ මගධ රටවලින් පැමිණි කුලවත් පවුල්වල ඇතැම්හු මාර්ගඵල ලැබීමත් සමඟ පැවිදි බවට පත් වූහ.

මේ මහා විමුක්ති මංගල්‍යය දිනපතා සිදුවෙද්දී තම පුත්‍රයා හය වසරක් දුෂ්කරක්‍රියා කොට, සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කිරීමෙන් තුන් ලෝකයේම අග්‍ර බවට පැමිණ, බරණැස ඉසිපතනයේ දී ධම්මචක්කය ද වදාරා දෙව් මිනිස් සත්වයන් අපා දුකින් මුදවමින් අමා පැන් ලබා දෙමින් රජගහනුවර වේළුවනයෙහි වැඩ වසන බව සුද්ධෝදන රජතුමාට ආරංචි විය.

මේ ආරංචිය ඇසූ රජතුමා ඇමතියෙකු ගෙන්වා ඔහුට මෙසේ කීවේ ය.

“මා මිත්‍ර ඇමතිය! ඔබ දැන්ම දහසක් උපස්ථායකයින් සමඟ රජගහනුවරට ගොස් මාගේ පුත්‍ර බුදුරජාණන් වහන්සේ අමතා මාගේ මේ වචනවලින් මෙසේ කියන්න: ‘ලෝක ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේගේ පියාණන් වූ සුද්ධෝදන රජතුමා ඔබ වහන්සේව වැඳ පුදා ගැනීමට කැමැත්තේ ය’ යි උන්වහන්සේට ආරාධනා කරන්න. “

“හොඳමයි මහරජාණෙනි” යි අමාත්‍යවරයා පිළිතුරු දී නොපමාව රාජ පණිවිඩය රැගෙන දහසක් පරිවාර පිරිස සමඟ කපිලවස්තුවේ සිට යොදුන් 60 ක් දුරින් පිහිටි රජගහනුවරට පිටත් විය. ඔවුන් එහි ගියේ වේළුවනාරාමයේ රැස්ව සිටි පිරිස් මැද බුදුරජාණන් වහන්සේ දහම් දෙසමින් සිටින අතරතුරදී ය.

ඇමතිවරයා මෙසේ සිතුවේ ය.

“රජුගේ පණිවිඩය දීමට පෙර, මට දේශනයට සවන් දිය යුතුයි”

රැස්ව සිටි පිරිසේ අන්තයේ සිට බණ අසමින් සිටිය දී ඔහු ඇතුළු දහසක් උපස්ථායකයෝ අරහත්වයට පත් වූහ. එබැවින් ඔවුහු බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ මෙසේ ඉල්ලා සිටිය හ.

“බුදුරජාණන් වහන්ස, අපි ඔබ වහන්සේ ඉදිරියෙහි ශාසනයට ඇතුළු වී භික්‍ෂුවක් ලෙස පැවිදි බව ලැබීමට කැමති වෙමු”

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ දකුණු ශ්‍රී හස්තය දිගු කොට ‘ඒහි භික්‍ෂු……’යි වදාළ සේක. එසැණින් “ඒහි භික්‍ෂු” යන ආමන්ත්‍රණයෙන් අමාත්‍යවරයා ඇතුළු දහසක් රාජකීය පිරිස හැට හැවිරිදි ස්ථවිර (ජ්‍යෙෂ්ඨ) භික්ෂූන් වහන්සේලා මෙන්, සිවුරු පොරවාගෙන, පරිෂ්කාර අටකින් සමන්විත ව අංග සම්පූර්ණ භික්ෂූන් වහන්සේලා බවට පත් වූහ. අරහත්වයට පත්වීමත් සමගම රජතුමාගේ පණිවුඩය උන්වහන්සේලා විසින් බුදුරජාණන් වහන්සේට නොපවසා සිටි සේක.

(අරහත් ඵලයට පත් වූ මොහොතේ පටන් උත්තම පුද්ගලයන් ලෞකික කටයුතු කෙරෙහි උදාසීන වන බැවින් අමාත්‍යවරයා රජුගේ පණිවිඩය බුදුරජාණන් වහන්සේට නොපවසා අරහත්-ඵල සැපය විඳිමින් කාලය ගත කළ සේක.)

තමන් යැවූ අමාත්‍යවරයා නියමිත වේලාවට නොපැමිණි බවත්, කිසිදු ආරංචියක් හෝ අසන්නට නොලැබුණු බවත් දුටු රජතුමා ඔවුන්ගේ නිහඬතාවයට හේතුව දැනගැනීමට උත්සුක විය. එබැවින් ඔහු නැවතත් එම මෙහෙයුමට ඒ ආකාරයෙන්ම වෙනත් ඇමතිවරයෙකු යැව්වේ ය. මේ අමාත්‍යවරයාද තම උපස්ථායකයින් සමඟ රජගහනුවර වේළුවනාරාමයට ගොස් බුදුරදුන් වදාළ ධර්මය අසා රහත්භාවයට පත්වී ‘ඒහි භික්‍ෂු’ පැවිද්දෙන් පැවිද්ද ලද හ. උන්වහන්සේලා ද බුදුරජාණන් වහන්සේට රාජකීය පණිවිඩය නොපැවසු අතර රජුට කිසිදු වාර්තාවක් ආපසු යැවුවේ ද නැත. අර්හත් ඵල සැපය බුක්ති විඳිමින් එහිම කාලය ගත කළ සේක.

සුද්ධෝදන රජු විසින් අවස්ථා නවයක දී, අමාත්‍යවරුන් නව දෙනෙකු, එක් අයෙකු සමග රාජ සේවකයන් දහසක් බැගින් වූ නව දහස් නවදෙනෙක් එකම මෙහෙයුමට යැවීය. එම අමාත්‍යවරුන් නව දෙනාම තම උපස්ථායකයින් සමඟ රජගහනුවර වේළුවනාරාමයට ගොස් බුදුරදුන් වදාළ ධර්මය අසා රහත්භාවයට පත්වී ‘ඒහි භික්‍ෂු’ පැවිද්දෙන් පැවිද්ද ලද හ. උන් වහන්සේලා ද බුදුරජාණන් වහන්සේට රාජකීය පණිවිඩය නොපැවසු අතර රජුට කිසිදු වාර්තාවක් ආපසු යැවුවේ ද නැත. අර්හත් ඵල සැපය බුක්ති විඳිමින් එහිම කාලය ගත කළ සේක.

බුදුරජුන්ගේ සහජාත වූ කාළුදායි ඇමති පිටත්කරවීම

ඇමැතිවරු සහ උපස්ථායකවරු කිසිවෙක් ආපසු නොපැමිණි බවත් කිසිවක් ප්‍රකාශ කිරීමට තමා හමුවට කිසිවෙක් නොඑවූ බවත් දැනගත් සුද්ධෝදන රජු මෙසේ සිතුවේ ය.

“පුද්ගලයන් නවදහස් නවයක්, පණිවිඩ මාත්‍රයක් හෝ දීමට නැවත මා වෙත පැමිණ නැත, මන්ද ඔවුන් මා කෙරෙහි කිසිසේත් ම  ආදරයක් හා සැලකිල්ලක් නොදක්වන බැවිනි. මගේ නියෝග නියමිත ආකාරයෙන් සහ ප්‍රමාදයකින් තොරව ඉටු කරන්නේ කවුද?”

ඔහු හොඳින් පරීක්ෂා කර බැලීමට පටන් ගත් අතර අවසානයේ ඔහු කාළුදායි ඇමතිවරයා දුටුවේ ය. පරිපාලන නිලධාරියෙකු ලෙස, ඔහුට රාජ්‍යයේ අධිකරන ශාලාවේ ඇතැම් කටයුතු කළමනාකරණය කිරීම පැවරී තිබූ අතර අන්‍යන්ට වඩා රාජකීය පවුලට වඩාත් සමීප සහ ආදරණීය කෙනෙකු වශයෙන් ඔහුව සියල්ලෝ දැන සිටියහ. මේ අනුව, විශ්වාසවන්තයෙකු ලෙස රජු, ඔහුගේ පුත්‍රයා උපන් දිනම උපත ලැබූ බැවින්, ඔහුගේ පුත්‍රයාගේ සමීපතම මිතුරෙකු වූ කාළුදායි තෝරා ගත්තේ ය. (සිදුහත් කුමරු සහ කාළුදායි කුඩා කල සිටම සමීප මිතුරන් වූහ)

එබැවින් රජු කාළුදායිට මෙසේ කීවේ ය.

“මගේ පුත්‍රය, කාළුදායි, මම මාගේ පුත්‍ර වූ බුදුරදුන්ට ගෞරව කිරීමට කැමැත්තෙන්, එක් දහසක් බැගින් උපස්ථායකයින් පිරිවරාගෙන අමාත්‍යවරුන් නව දෙනෙක් නව වාරයක දී යැවූ නමුත්, ඔවුන්ගෙන් එක්කෙනෙක්වත් කිසි ප්‍රවෘත්තියක් සමඟ ආපසු පැමිණියේ නැත. කෙනෙකුගේ ජීවිතයට ඇති අනතුර කුමක්දැයි නිශ්චිතව දැනගත හැක්කේ කාට ද! එනිසා මම ජීවත්ව සිටියදීම මාගේ පුත්‍රයා දැකීමට හා ගෞරව කිරීමට කැමැත්තෙමි.  පුත්‍ර කාළුදායි, මාගේ පුත්‍රයා දැකීමට හැකිවන පරිදි මේ කර්තව්‍යය කිරීමට ඔබට හැකි උපරිමයෙන් උත්සාහ කළ හැකිද?”

කාළුදායි පිළිතුරු දුන්නේ ය; “මහරජතුමනි, මට පැවිදි වීමට අවසර ලැබුණොත් මට එසේ කළ හැකියි.”

එවිට රජතුමා මෙසේ කීය; “ආදරණීය කාළුදායි… පුත්‍රය, ඔබ පැවිදි වූවත් නැතත්, මට මගේ පුතා පෙනෙනු පිණිස එම කාර්යය කිරීමට උපරිම උත්සාහයක් දරන්න.”

“හොඳයි” කියා පොරොන්දු වූ කාළුදායි දහසක් උපස්ථායකයින් පිරිවරා බුදුරජාණන් වහන්සේ උදෙසා රජුගේ පණිවිඩය රැගෙන රජගහනුවර බලා පිටත් විය.  එහි පැමිණ, බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරමින් සිටින විට, ඔවුන් රැස්ව සිටි පිරිසේ ඈත කෙළවර සිට එය අසමින් සිටියහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් කාළුදායි සහ ඔහුගේ උපස්ථායකයෝ දහසක් දෙනා අරහත් ඵලයට පත්වී ‘ඒහි භික්ෂු භාවයෙන්’ පැවිද්ද ලැබූහ.

කපිලවස්තු රාජකීය නගරයට වැඩම කරන ලෙස කාළුදායි බුදුරදුන්ගෙන් ඉල්ලා සිටී

බුද්ධත්වයට පත්වීමෙන් පසු බුදුරජාණන් වහන්සේ සිය ප්‍රථම වස් කාලය ඉසිපතන මිගදායේ ගත කළ සේක. වස් විසීම අවසානයේ පාවාරණය පවත්වා උරුවෙල කස්සප සිටි වනයට වැඩම කළ බුදුරජාණන් වහන්සේ තුන් මසක් මුළුල්ලේ ප්‍රාතිහාර්‍යන් දක්වමින් පෙළහර පා ඔහුව දමනය කොට වදාල සේක. උරුවෙල කස්සප, නදී කස්සප, ගයා කස්සප යන සොහොයුරන් තිදෙනා සහ ඔවුන්ගේ අනුගාමිකයින් දහසක් දෙනා අරහත්වයෙහි පිහිටුවා ඒ දහසක් රහතන් වහන්සේලා පිරිවරාගෙන පුර පසළොස්වක පොහොය දින රජගහ නුවරට වැඩම කරවා එහි වැඩ හුන් සේක. ඒ වනවිට බුදුරජාණන් වහන්සේ බරණැසෙන් නික්ම ගොස් මාස පහක් පමණ ගෙවී තිබූ අතර, දස දහසකට අධික කුලවත් තරුණයන් භික්ෂූත්වය ලැබ අරහත්වයට පත්ව බුදුරජාණන් වහන්සේ පිරිවරා වැඩ සිටි සේක.

*******************************************

ඒ වසන්ත කාලයයි,  පුර පසළොස්වක පොහොය දිනයයි.

ඒ පුර පසළොස්වක පොහෝ දින කාළුදායි තෙරණුවෝ මෙසේ සිතූහ: “සීතල සමය නිම වී වසන්තය එළඹ ඇත. වගාකරුවන් සහ ගොවීන් තම අස්වනු එකතු කර අවසන් කර ඇති අතර, ඔවුන් සියලු ගමනාන්ත වෙත යන මාර්ග විවෘත කර ඇත. මහා පෘථිවිය සශ්‍රීක ය, හරිත තණකොළ සුඛෝපභෝගී වර්ධනයෙන් යහමින් වැඩී ඇත. අවට වනාන්තරවල ගස් ඔවුන්ගේ පැරණි කොළ ඉවත් කර, මල් සහ ගෙඩි දරයි, ඔවුන්ගේ නව කොළවල දීප්තියක් පෙනේ. අධික ශීතල හෝ අධික රස්නය ද නැත, ගමනට සුදුසු කාලයකි, දැන් බුදුරජාණන් වහන්සේ රාජකීය ඥාතීන් බැහැදැක ආශිර්වාද කරන කාලයයි.”

මෙසේ සිතූ කාළුදායි තෙරණුවෝ බුදුරජාණන් වහන්සේ සමීපයට ගොස් (ශාක්‍ය ඥාතීන්ට අනුග්‍රහ පිණිස) කපිලවස්තුවට වැඩම කරන ලෙස ඉල්ලා ගාථා හැටකින් යුත් දීර්ඝ වර්ණනාවකින් මාර්ගය ගැන ගුණ වැයූ සේක.

කාළුදායි මහරහතන් වහන්සේ විසින් කරන ලද මග වැනුම අසා සිටි බුදුරජාණන් වහන්සේ මෙසේ වදාල සේක.

“කාළුදායි, ඔබ මෙතරම් ප්‍රශංසා වචන ඉදිරිපත් කරමින් මෙතරම් මිහිරි ස්වරයෙන් කපිලවත්ථු නුවරට වැඩම කරන ලෙස මා උනන්දු කරවන්නේ ඇයි?”

කාළුදායි තෙරුන් වහන්සේ මෙසේ පිළිතුරු දුන්හ.

“භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ , ඔබ වහන්සේගේ මහලු පියාණන් වන සුද්ධෝදන මහ රජතුමා, ඔබ වහන්සේටත්, සංඝරත්නයටත් උපහාර දැක්වීමට බොහෝ සෙයින් ප්‍රාර්ථනා කරනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එහි වැඩම කිරීමෙන් රාජකීය ඥාතීන් හට යහපතක් වේවා!”

“පුත කාළුදායි, ඔබේ ඉල්ලීම ඉටු වේවි. රාජකීය ඥාතීන්ට අනුග්‍රහ පිණිස මා කපිලවත්ථු නුවරට වැඩම කරන බව ඔබම සඟ පිරිසට දැනුම් දෙන්න”

“එහෙමයි, ස්වාමීනි,” යි පිළිතුරු දුන් කාළුදායි තෙරුන් වහන්සේ  විසිදහසක් (20,000 ක්)  භික්ෂූන් වහන්සේලාට දැනුම් දී දිර්ඝ චාරිකාවක් සඳහා සඟ පිරිස සූදානම් කළ හ.