මහා ප්‍රජාපතී ගෝතමී

මහ රහත් තෙරණින් වහන්සේ

5 - කොටස

මහා ප්‍රජාපතී ගෝතමිය ගිහිගෙය අතහරියි

සුද්ධෝදන රජුගේ අභාවයෙන් පසු මහා ප්‍රජාපතී ගෝතමී දේවිය පැවිදිවෙන්න සිතුවා ය. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ තවමත් භික්ෂුණී පැවිද්ද ආරම්භ වී නොමැත…..!

වරක්, රෝහිණී නම් ගංගාවේ ජලය බෙදා ගැනීම සම්බන්ධයෙන් ශාක්‍ය සහ කෝලියන් අතර කෝලාහලයක් හට ගත්තේ ය. මුලින් සුළු වචන හුවමාරුවක් පමණක් වූ මේ කෝලාහලය පසුව දුරදිග යෑමෙන් දෙනුවර අතර මහා යුද්ධයක් ඇතිකිරීමට තරම් මොරා වැඩුනේ ය. දෙනුවර වැසියෝ, රාජ වංශිකයන් පෙරටුකොට යුද්ධයට සැරසී ගත්හ. තියුණු අවි ආයුධ වලින් සන්නද්ධව පෙරට ගියෝ ය.

මෙහිලා, ශාක්‍ය නුවර උපන් බිසෝවරුන් කෝළිය රජවරුන් කෙරෙහි වසන්නා හ. කෝළිය නුවර උපන් බිසෝවරුන් ශාක්‍ය රජවරුන් කෙරෙහි වසන්නා හ. එසේ හෙයින් ශාක්‍යන්ගේ අසුදහසක් වූ බිසොවරුත්, කෝළියයන්ගේ අසූදහසක් වූ බිසෝවරුත්, ප්‍රිය සැමියන් හා සොයුරන් යුද්ධයකට සැරසෙතියි කියමින් වැලපෙමින් මහ පිරිස් පිරිවරා රෝහිණි නදිය අසළට ආහ. දෙනුවරම හිස් වී ගියේ ය. නුවර වසන එකඳු මිනිසෙකුත් නොවී සියල්ලෝ යුද්ධය පිණිස රෝහිණී නදිය දෙපස කඳවුරු බැඳ ගත් හ.

එදින හිමිදිරියේ මහා කරුණාවෙන් ලොව බලා වදාරන අපගේ බුදුරජාණන් වහන්සෙ තමන් වහන්සේගේ ඥාතීන් අතර සිදුවන්නට යන මහා ව්‍යවසනය දිවැසින් බලා වදාරා ඉර්ධියෙන් එහි වැඩි සේක. රෝහිණී නදියට ඉහලින් ආකාශයේ පළඟක් බැඳ වාඩි වී තමන් වහන්සේව දක්වා සිටි සේක. සියොලඟින් දුම් පිටකරමින් මහා ඝණ අන්ධකාරයක් මවා, මාගේ ඥාතීන් කිසිවෙක් කිසිවෙකුත් නොදකිත්වායි අදිෂ්ඨාන කළ සේක. එවිට ඒ සා මහ සෙනග  ඔවුනොවුන් නොදැක්කෝ ය. කටහඬ නොඇසුහ. අඩුම තරමින් කිවිසුම් හඬක්වත්, ආශ්වාස ප්‍රශ්වාස හඬක්වක් නෑසුනේ ය.

බියෙන් වෙවුලා ගිය ඥාතීහු ක්ෂණිකව සිහි ලදින් ආයුධ බිම දැමූහ. ඒත් සමග අන්ධකාරයද ටික ටික තුනී වී අන්තයෙහි නොපෙනීම ගියේ ය. එක්ලක්ෂ සැට දහසක් රජ දරුවෝ එක රොත්තට පැමිණ බුදුරජාණන් වහන්සේව පිරිවරාගත් හ. ඔවුන්ගෙන් බුදුරජාණන් වහන්සේ මෙසේ ඇසූ සේක.

“ශාක්‍ය කොලීය රජ දරුවනි, මේ කුමක් නිසා රැස්වූවාහුද? නුඹලා හිටිවනම දිය ක්‍රීඩා කරන්ට ආවෙත්ද?”

පිරිස ලැජ්ජාවෙන් බිම බලා ගත්හ. ඔවුනොවුන් එකිනෙකාගේ මුහුණු බලමින් භාග්‍යවතුන් වහන්සේට මෙසේ පිළිතුරු දුන්හ.

“නැහැ ස්වාමීනී, අපි මේ දිය ක්‍රීඩා කරන්න ආ ගමනක් නොවේ, යුද්ධය පිණිස සැරැහී ආ ගමනෙකි මේ”

“කුමක් නිසා හටගත් යුද්ධයක් ද ඒ?

“අනේ ස්වාමීනී, යුද්ධයට ආවා මිසක අපි ඒ කුමන හේතුවක් නිසා කරන යුද්ධයක්දැයි නොදන්නෙමු, නමුත් මේ සේනාධිපතිවරුන් දන්නාහ” යි කියමින් රජවරු සේනාධිපතිවරුන් දෙස බැලූහ. සේනාධිපතිවරුන්, ‘අහෝ අපිද නොදන්නෙමු, නමුත් මේ යුවරජවරුන් දන්නාහ’ යි කියමින් යුවරජවරුන් දෙස බැලූහ, යුවරජවරුන්ද තමන් හේතුව නොදන්නා බව කියමින් මහ ඇමතියන්ව පාවා දුන්හ….. මේ අකාරයට අන්තිම මනුෂ්‍යයා දක්වා ගියත් ඒ කිසිවෙකුත් යුද්ධයට හේතු කාරණ නොදැන සිටියෝ ය.

“රජ දරුවනි, දිය කොතරම් වටීද?

“ස්වාමීනී, එතරම් අගයක් නැත, ඉතා සුලු අගයක් ඇත්තේ ය”

“එසේනම් මහපොළව කෙතරම් වටීද?”

“ස්වාමීනී,මහපොළව ඉතා වටින්නේය”

” එසේනම්, රජවරු කෙතෙක් වටීද?…… බිසෝවරු…….ඔබගේ ඥාතීත්වය කෙතරම් වටීද?”

“ස්වාමීනී ඥාතීත්වයේ වටිනාකම මිනිය නොහැකිය, එය සියල්ල පරයා වටිනාකමින් ඉහලින්ම සිටින්නේය”

“එසේනම් නුඹලා අන්ධයන් සේ වටිනාකමින් හීන දිය බිඳිත්තක් උදෙසා, අගයක් නියම කළ නොහැකි ඥාතීත්වය නසා ගැනීමට කුමක් නිසා යුද්ධයකට සැරසුනාද?”

මෙසේ වදාළ බුදුරජාණන් වහන්සේ, ඥාතීන් අභිමුඛයෙහි ‘ඵන්දන ජාතකය, තිත්තිර ජාතකය, රුක්ඛධම්ම ජාතකය’ ආදී ජාතකයන්ගෙන් ධර්මය වදාරා, අවසානයේදී, ‘අත්ත දණ්ඩ සූත්‍රයෙන්” චතුසත්‍ය කුළුගන්වමින් ධර්මය වදාරා සියලු ඥාතීහු සමගි කල සේක.

මේ සිද්ධිය මුල් කරගෙන දෙපිරිසෙන් 250 බැගින් 500ක් රජ කුමාරවරුන් බුදු සසුන්හි පැවිදි වූහ. පසුකාලයේ දී අපගේ බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලා අරඹයා ‘කුනාල ජාතකය’ වදාරා සියළු දෙනා වහන්සේම අරහත්වයෙහි පිහිටුවා වදාල සේක.

මේ රාජ කුමාරවරුන්ගේ බිසෝවරුන් හුදෙකලා වූවාහු පැවිදිවෙම්හයි සිතූහ. නමුත් භික්ෂුණී සංඝයා පහළ නොවී තිබූ හෙයින් ඒ සියල්ලෝ ප්‍රජාපතී ගෝතමී දේවිය වෙත ගොස් බුදුරජාණන් වහන්සේගෙන් පැවිද්ද ඉල්ලා සිටින්නයැයි ඇවිටිලි කළහ. ඒ, පිරිනිවන් පා වදාල සුදොවුන් මහ රජුගේ ආදාහන චාරිත්‍රයන් සිදුකොට නිමවාලූ කාලයයි. එනිසා ප්‍රජාපතී ගෝතමී දේවිය ඒ වනවිටත් ගිහිජීවිතය පිළිබඳ ආලය අතැර සිටියා ය.

ඒ වනවිට නිග්‍රෝධාරාමයේ වැඩහුන් බුදුරජාණන් වහන්සේ හමුවීමට 500ක් ලඳුන් සමග ගොස්, එතුමිය පැවිද්ද පිණිස අවසර ඉල්ලා සිටියා ය. නමුත් ඉල්ලීම ප්‍රතික්ෂේප වූයේ ය. වරක් නොව තෙවරක්ම ප්‍රතික්ෂේප විය. එනිසා සියල්ලෝ හඬමින් නැවතත් මාලිගයට හැරී ආහ.

නැවත යම් කාලයකට පසු ගෝතමී දේවී තොමෝ ඒ සියලු බිසෝවරුන් අමතා මෙසේ කීය.

“නැගෙණිවරුනි, අපි තෙවරක් ම බුදුරජුන් සමීපයේ ආයාචනා කළ මුත් අපට පැවිද්ද පිණිස බුදුසමිඳුන්ගෙන් අවසර නොලැබුනි. නමුත් කම් නැත, අප තවත් වරක් උත්සහ කර බලමු. අපි මෙවර අපේ ගිහි වස්ත්‍ර බැහැරලා කසාවත් පොරවාගෙන යමු, හිස බා මැටි පාත්‍රයක් ගෙන, පැවිදි වේශයෙන්ම මාගේ පුත්‍රයන් වහන්සේ ඉදිරියට යමු.ගොස් පැවිද්ද පිණිස නැවත වාරයක් අයාචනා කරමු”

ඒ සියලු බිසෝවරු එකපැහැර එකඟ වූහ. මහා ප්‍රජාපතී ගෝතමී දේවිය ඇතුලු 500ක් බිසෝවරුන් හිස්බා, කසට සිවුරක් පොරවා, උරයේ මැටි පාත්‍රය රුවා බුදුරජුන්ගෙන් පැවිද්ද ඉල්ලා යදිනු පිණිස මාර්ගයට බැස්සෝ ය.

ඒ වන විට බුදුරජාණන් වහන්සේ වැඩසිටියේ විශාලා මහනුවර කූටාගාර ශාලාවේයි.

රාජ සුකොමාල, සිනිඳු අත පය ඇති, උඩුමහලින් යටිමහල බසිද්දී පවා මහත් අසීරුවෙන් පා තබමින් පඩි බැස ආ, සුමටව මැනවින් ඔපදැමූ දර්පණ භූමියෙහි පවා වේදනාවෙන් මිරිකෙමින් පා තැබූ, රන් මිරිවැඩි ඇතිව සක්මන් කරද්දී පවා වේදනාවෙන් ඇඹරෙමින් පා තැබූ, අතිශයින්ම සුකොමාල ශ්‍රීමත් ජීවිත ගතකළ මේ නාරීහු මාලිගා දොරටුවෙන් පිටත් වී පියවරවල් කිහිපයක් ඇවිද ගිය පමාවෙන් පතුල් ඉදිමී බිබිලි නැගී පැලී ලේ ගලන්නට වන. මහත් වූ වේදනාවක් හටගත්තේ ය. නමුත් ඔවුන්ගේ තිර අදිෂ්ඨානය ඊටත් වඩා සත සහස්‍ර ගුණයෙන් බලවත් වූ නිසා ඒ සියලු කායික පීඩා විඳදරාගනිමින් ඔවුහූ සිය චාරිකාව ඉදිරියට ගෙන ගියහ.

(එසේ යද්දී සිදු වූ සියලු ආශ්චර්‍යන් අපගේ යසෝදරාවෝ පැවිද්ද සොයා යද්දී සිදුවූවාක් මෙන් ම විය. එහෙයින් ඒ පිළිබඳ තොරතුරු ‘යසෝදරා තෙරණිය’ පිළිබඳ කථායෙන් කියවා තේරුම් ගත මැනව.)

සම්බුදු සසුනේ භික්ෂුණී පැවිද්ද මුල් බැසගනී.... අෂ්ඨ ගරු ධර්මයෝ පහළ වෙති......

බොහෝ දුර ගෙවා විශාලාවට පැමිණි ප්‍රජාපතී ගෝතමී දේවිය ප්‍රධාන පන්සියයක් බිසෝවරුන් කූටාගාර ශාලා භූමියට ඇතුළු නොවී, එහි දොරටුවෙන් පිටත නැවතී සිටියෝ ය. ඒ වේලාවෙහි එතනින් යමින් සිටි අපගේ ආනන්දයන් වහන්සේ හදිසියේම ඔවුන් දුටහ. ගෝතමී දේවිය ඇතුළු පිරිසේ දුක්බර දර්ශනය දුටු තෙරණුවෝ කම්පා වී ගියහ. ඉදිමී, පුපුරා පැසවා ලේ සහ සැරව ගලමින් තිබෙන ඔවුන්ගේ පා දුටු තෙරණුවන්ගේ හද පිච්චී ගියේ ය. දුහුවිලි කුණු වැකුනු ශරීරවලින් සහ වස්ත්‍ර සහිත ඔවුන් දකිද්දී තෙරුණ් වහන්සේගේ සිත තුළ ඔවුන් පිළිබඳ අතිශය අනුකම්පා සහගත සංවේගාත්මක සිතිවිලි හටගත්තේ ය. එසැනින් ගෝතමී දේවීන් ඇතුළු පන්සියයක් බිසෝවරුන් අස් වසා තෙරුණ් වහන්සේ සම්බුදුරජාණන් වහන්සේ වෙත වැඩි සේක.

ඇතුළු වෙහෙරට වැඩ ශාස්තෘන් වහන්සේට ආදරයෙන් වන්දනාකොට එකත්පස්ව හිඳ මෙසේ කීවේ ය.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මහා ප්‍රජාපතී ගෝතමිය පන්සියයක් බිසෝවරුන් ද සමග කෙස්වැටි කපා, පාත්‍රා ගෙන, සිවුරු පොරවා කපිලවස්තුවේ සිට මේ තාක් දුර පා ගමනින්ම පැමිණ, දැන් දොරටුව අසළ රැඳී සිටිති. පැවිදි බව ලැබේ දෝ නොලැබේ දෝ යි කියා හඬමින් සිටිති. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ ස්ත්‍රීය කෙරෙහි පැවිදි බව අනුදැන වදාරන සේක්වා! ගෝතමී දේවිය ඇතුළු පන්සියයක් බිසෝවරුන් බුදුසසුනේ පැවිද්ද ලබත්වා!”

“ආනන්දය, එසේ නොකියන්න, ස්ත්‍රිය කෙරේ පැවිද්දට උත්සාහ නොකරන්න”

“නමුත් ස්වාමීනී, ගෝතමී දේවිය ඇතුළු පන්සියයක් බිසෝවරුන් බුදුසසුනේ පැවිද්ද ලබත්වා!”

“ආනන්දය, එසේ නොකියන්න, ස්ත්‍රිය කෙරේ පැවිද්දට උත්සාහ නොකරන්න”

“නමුත් ස්වාමීනී, ගෝතමී දේවිය ඇතුළු පන්සියයක් බිසෝවරුන් බුදුසසුනේ පැවිද්ද ලබත්වා!”

“ආනන්දය, එසේ නොකියන්න, ස්ත්‍රිය කෙරේ පැවිද්දට උත්සාහ නොකරන්න”

නැවත සිව්වෙනි වරත් ඒ එකම ආයාචනය එකම ආකාරයෙන් සිදුකිරීමට යාමෙන් වැළකුනු අපගේ ආනන්දයන් වහන්සේ එකරුණ වෙනත් ආරයකින්, වක්‍රාකාරයෙන් විමසා සිටි සේක.

“ස්වාමීනී, මාහට ගැටළුවක් තිබේ, විමසීමට අවසර දෙනු මැනව”

“අසන්න ආනන්ද”

“ස්වාමීනී, යම් හෙයකින් ස්ත්‍රිය බුදු සසුනේ පැවිද්ද ලබත්නම්, ඇයට මග ඵල නිවන් අවබෝධය කරා යා නොහැකිද? එය සිස් දෙයක් වේ ද?”

ගුරූපදේශ රහිතව ස්ව්‍යංභූ ඥානයෙන් අවබෝධ කොට වදාල පරම ඝම්භීර, අමා නිවනට යන ඒකායන මාර්ගය සහිත ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ම තමන් වහන්සේගේ ගුරු තන්හිලා ගරු බුහුමන් දක්වන්නා වූ අපගේ සම්මා සම්බුදු රජාණෝ එහිදී මෙවන් අපූරු පිළිතුරක් වදාල සේක.

“ආනන්දය, මේ මගඵල නිවන් අවබෝධය සියල්ලන්ටම පොදු ය, එහි ස්ත්‍රී පුරුෂ භේදයක් නැත්තේ ය”

එය ඇසූ වහා තමාට අවශ්‍යම පිළිතුර ලදින් ආනන්ද තෙරණුවෝ නැවත අනු ප්‍රශ්ණයක් විමසා සිටියේ ය.

“ස්වාමිනී, කාරණය එසේනම්, ප්‍රජාපතී ගෝතමිය ඇතුලු බිසෝවරු බුදුසසුනේ පැවිද්ද ලැබීම සිදු විය හැකි දෙයක්මයි, හේතු කාරණා සහිත දෙයක්මයි. ඵල සහිත දෙයක්මයි.

ස්වාමීනී, එදා කපිලවස්තුවේ දී බුද්ධවංශ දේශනාවේ දී මාගේ ශාස්තෘන් වහන්සේ පෙරුම් පුරනා සසරේ සූවිසි බුදු කෙනෙකුන් අතින් නියත විවරන ශ්‍රී ලබද්දී, ‘ඛේමා-උප්පලවන්නා නම් අග්‍ර වූ ශ්‍රාවිකා යුගලයක් ලබන්නේ ය’ වශයෙන් සූවිසි වාරයක් බුදු මුවින් වදාරනු ඇසූ සේක. එහෙයිනුත් ස්ත්‍රියගේ පැවිද්ද බුදු සසුනේ සිදුවිය හැකි දෙයක්මය.

ස්වාමීනී, මේ ගෝතමිය, මාගේ ශාස්තෘන් වහන්සේ ළදරු කළ, සත් දිනක් වයසැතිව සිටියදී පටන්, බුද්ධ මාතා මායා බිසවු කළුරිය කොට තුසී පුරයට වැඩි හෙයින්, සිය දෙතනේ කිරි පොවමින් පෝෂණය කළා ය. මාගේ ශාස්තෘන් වහන්සේගේ අත් පා කෙරෙහි කිසිඳු අනතුරක් වෙන්ට ඉඩ නොදී ආරක්ෂා කළා ය. එකළ ඕ නොඉඳුල් වූ පිරිසිදු වූ සිය දෙතනෙහි කිරි මාගේ ශාස්තෘන් වහන්සේ උදෙසා කැප කලා ය. මෙසේ මෙසේ ඒ ගොතමී දේවී තොමෝ මාගේ ශාස්තෘන් වහන්සේට අනූපමේය වූ මෙහෙවරක් කළ දෑය.

එහෙයිනුත් ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මාගේ ශාස්තෘන් වහන්සේ ස්ත්‍රිය කෙරෙහි පැවිදි බව අනුදැන වදාරන සේක්වා! ගෝතමී දේවිය ඇතුළු පන්සියයක් බිසෝවරුන් බුදුසසුනේ පැවිද්ද ලබත්වා!”

එසේනම් ආනන්ද, අෂ්ඨ ගරු ධර්මයෝ වදාරන්නෙමි, ගෞතමිය මේ අෂ්ඨ ගරු ධර්මයෝ පිළිගනිත්නම් එයින්ම ඇයගේ පැවිද්දත් උපසම්පදාවත් සිදුවේවි”

අතිශයින්ම පිනාගිය අපගේ ආනන්ද තෙරණුවෝ, අෂ්ඨ ගරු ධර්මයන් වදාරන මෙන් බුදුරජාණන් වහන්සේට ආරාධනා කර සිටියේ ය.

මේ සියලු අවස්ථා සහ අෂ්ඨ ගරු ධර්මයන් පිළිබඳ සම්බුද්ධ භාෂිතය අපට ‘ගෝතමී සූත්‍රයෙන්’ මැනවින් දැන ගත හැකි වෙයි. ඒ මෙසේ ය.

ගෝතමී සූත්‍රය

ප්‍රජාපතී ගෞතමියට වදාළ දෙසුම

අංගුත්තර නිකාය | අට්ඨක නිපාතය | ගෝතමී වර්ගය

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කපිලවස්තුවෙහි නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එකල්හී මහා ප්‍රජාපතී ගෞතමිය භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හුන්නා ය. එකත්පස් ව හුන් මහාප්‍රජාපතී ගෞතමිය භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා ය.

“ස්වාමීනී, තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ධර්ම විනයෙහි ස්ත්‍රිය ගිහි ගෙයින් නික්ම අනගාරිකා පැවිද්ද ලබන්නී නම් යහපති.”

“ගෞතමිය, ඔය ඇති. තථාගතයන් වදාරණ ලද ධර්ම විනයෙහි ස්ත්‍රිය විසින් ගිහි ගෙයින් නික්ම ලබන අනගාරිකා පැවිද්ද ඔබට රුචි නොවේවා!”

දෙවන වතාවට ත් මහාප්‍රජාපතී ගෞතමිය භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා ය.

“ස්වාමීනී, තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ධර්ම විනයෙහි ස්ත්‍රිය ගිහි ගෙයින් නික්ම අනගාරිකා පැවිද්ද ලබන්නී නම් යහපති.”

“ගෞතමිය, ඔය ඇති. තථාගතයන් වදාරණ ලද ධර්ම විනයෙහි ස්ත්‍රිය විසින් ගිහි ගෙයින් නික්ම ලබන අනගාරිකා පැවිද්ද ඔබට රුචි නොවේවා!”

තෙවන වතාවට ත් මහාප්‍රජාපතී ගෞතමිය භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා ය.

“ස්වාමීනී, තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ධර්ම විනයෙහි ස්ත්‍රිය ගිහි ගෙයින් නික්ම අනගාරිකා පැවිද්ද ලබන්නී නම් යහපති.”

“ගෞතමිය, ඔය ඇති. තථාගතයන් වදාරණ ලද ධර්ම විනයෙහි ස්ත්‍රිය විසින් ගිහි ගෙයින් නික්ම ලබන අනගාරිකා පැවිද්ද ඔබට රුචි නොවේවා!”

ඉක්බිති මහා ප්‍රජාපතී ගෞතමිය ‘භාග්‍යවතුන් වහන්සේ තථාගත ප්‍රවිදිත ධර්ම විනයෙහි ස්ත්‍රිය විසින් ගිහි ගෙයින් නික්ම ලබන අනගාරිකා පැවිද්දට අවසර නොදෙන සේකැ’යි දුකට පත් වූවා, නොසතුටු වූවා, කඳුළු වැගිරුණු මුහුණ ඇත්තී, හඬන්නී භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට පැදකුණු කොට බැහැරට ගියා ය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කපිලවස්තුවෙහි කැමති තාක් කල් වාසය කොට විශාලා මහනුවර බලා චාරිකාවෙහි වැඩි සේක. අනුපිළිවෙලින් චාරිකාවෙහි වඩිමින් විශාලා මහනුවරට වැඩි සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර මහා වනයෙහි කූටාගාර ශාලාවෙහි වැඩවසන සේක.

ඉක්බිති මහාප්‍රජාපතී ගෞතමිය කෙස් සින්දවා මුඩු කරවාගෙන කසාවත් හැඳ, එලෙසින් ම වූ බොහෝ ශාක්‍ය ස්ත්‍රීන් සමඟ විශාලා මහනුවර බලා පිටත් වූවා ය. අනුපිළිවෙලින් පැමිණ විශාලා මහනුවර මහා වනයෙහි කූටාගාර ශාලාවට පැමිණියා ය.

එකල්හී මහා ප්‍රජාපතී ගෞතමිය ඉදිමී ගිය පාදයන්ගෙන් යුක්ත ව දුහුවිලි වැකී ගිය සිරුරෙන් යුක්ත ව දුකට පත් වූවා, දොම්නස් වූවා, කඳුළු වැකුණු මුව ඇත්තී, හඬන්නී, දොරටුවෙන් බැහැර කොටුවෙහි සිටියා ය. ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ දුකට පත් ව, දොම්නස් ව, කඳුළු වැකුණු මුව ඇති ව, හඬමින් දොරටුවෙන් බැහැර කොටුවෙහි සිටින මහාප්‍රජාපතී ගෞතමිය දුටහ. දැක මහා ප්‍රජාපතී ගෞතමියට මෙය පැවසූහ.

“කිම, ගෞතමියෙනි, ඔබ කුමක් හෙයින් දුකට පත් ව, දොම්නස් ව, කඳුළු වැකුණු මුව ඇති ව, හඬමින් දොරටුවෙන් බාහිරව සිටින්නී ද?”

“එසේ ය. ස්වාමීනී, ආනන්දයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ තථාගත ප්‍රවිදිත ධර්ම විනයෙහි ස්ත්‍රිය විසින් ගිහි ගෙයින් නික්ම ලබන අනගාරිකා පැවිද්දට අවසර නොදෙන සේක.”

“එසේ වී නම් ගෞතමියෙනි, යම්තාක් මම භාග්‍යවතුන් වහන්සේ ගෙන් තථාගත ප්‍රවිදිත ධර්ම විනයෙහි ස්ත්‍රිය විසින් ගිහි ගෙයින් නික්ම ලබන අනගාරිකා පැවිද්දට ආයාචනා කරම් ද, ඒ තාක් මෙහි ම සිටුව.”

ඉක්බිති ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ තථාගත ප්‍රවිදිත ධර්ම විනයෙහි ස්ත්‍රිය විසින් ගිහි ගෙයින් නික්ම ලබන අනගාරිකා පැවිද්දට අවසර නොදෙන සේකැයි මහාප්‍රජාපතී ගෞතමිය දුකට පත් වූවා, නොසතුටු වූවා, කඳුළු වැගිරුණු මුහුණ ඇත්තී, හඬන්නී දොරටුවෙන් බැහැර කොටුවෙයි සිටියි.

ස්වාමීනී, තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ධර්ම විනයෙහි ස්ත්‍රිය ගිහි ගෙයින් නික්ම අනගාරිකා පැවිද්ද ලබන්නී නම් යහපති.”

“ආනන්දයෙනි, ඔය ඇති. තථාගතයන් වදාරණ ලද ධර්ම විනයෙහි ස්ත්‍රිය විසින් ගිහි ගෙයින් නික්ම ලබන අනගාරිකා පැවිද්ද ඔබට රුචි නොවේවා!”

දෙවන වතාවට ත් ….(පෙ)…. තුන්වෙනි වතාවට ත් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.

“ස්වාමීනී, තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ධර්ම විනයෙහි ස්ත්‍රිය ගිහි ගෙයින් නික්ම අනගාරිකා පැවිද්ද ලබන්නී නම් යහපති.”

“ආනන්දයෙනි, ඔය ඇති. තථාගතයන් වදාරණ ලද ධර්ම විනයෙහි ස්ත්‍රිය විසින් ගිහි ගෙයින් නික්ම ලබන අනගාරිකා පැවිද්ද ඔබට රුචි නොවේවා!”

ඉක්බිති ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට මේ අදහස ඇතිවූයේ ය.

‘භාග්‍යවතුන් වහන්සේ තථාගත ප්‍රවිදිත ධර්ම විනයෙහි ස්ත්‍රිය විසින් ගිහි ගෙයින් නික්ම ලබන අනගාරිකා පැවිද්දට අවසර නොදෙන සේක. ඉදින් මම වෙනස් වූ ක්‍රමයකින් තථාගත ප්‍රවිදිත ධර්ම විනයෙහි ස්ත්‍රිය විසින් ගිහි ගෙයින් නික්ම ලබන අනගාරිකා පැවිද්ද උදෙසා භාග්‍යවතුන් වහන්සේට ආයාචනා කරන්නෙම් නම් යහපති.’

එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.

“ස්වාමීනී, තථාගත ප්‍රවිදිත ධර්ම විනයෙහි ගිහිගෙයින් නික්ම අනගාරික ව පැවිදි බව ලැබූ ස්ත්‍රිය සෝවාන් ඵලය ද, සකදාගාමී ඵලය ද, අනාගාමී ඵලය ද, අරහත් ඵලය ද අත්දකින්නට සමර්ථ වන්නී ද?”

“ආනන්දයෙනි, තථාගත ප්‍රවිදිත ධර්ම විනයෙහි ගිහිගෙයින් නික්ම අනගාරික ව පැවිදි බව ලැබූ ස්ත්‍රිය සෝවාන් ඵලය ද, සකදාගාමී ඵලය ද, අනාගාමී ඵලය ද, අරහත් ඵලය ද අත්දකින්නට සමර්ථ වන්නී ය.”

සාධු භන්තේ, ලභෙය්‍ය මාතුගාමෝ තථාගතප්පවේදිතේ ධම්මවිනයේ අගාරස්මා අනගාරියං පබ්බජ්ජන්ති.

“ඉදින් ස්වාමීනී, තථාගත ප්‍රවිදිත ධර්ම විනයෙහි ගිහිගෙයින් නික්ම අනගාරික ව පැවිදි බව ලැබූ ස්ත්‍රිය සෝවාන් ඵලය ද, සකදාගාමී ඵලය ද, අනාගාමී ඵලය ද, අරහත් ඵලය ද ලබන්නට සමර්ථ වන්නී නම්, ස්වාමීනී, මහාප්‍රජාපතී ගෞතමිය භාග්‍යවතුන් වහන්සේට බොහෝ උපකාරී වූවා ය. සුළුමව් වූවා ය. අත් පා වැඩුවා ය. පෝෂණය කළා ය. භාග්‍යවතුන් වහන්සේගේ මව් කළුරිය කළ කල්හී කිරි පෙව්වා ය. ස්වාමීනී, තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ධර්ම විනයෙහි ස්ත්‍රිය ගිහි ගෙයින් නික්ම අනගාරිකා පැවිද්ද ලබන්නී නම් යහපති.”

“ඉදින් ආනන්දයෙනි, මහාප්‍රජාපතී ගෞතමිය අෂ්ට ගරුධර්මයන් පිළිගන්නී නම් ඇයට එය ම උපසම්පදාව වේවා!

1. “වස්සසතූපසම්පන්නාය භික්ඛුනියා තදහුපසම්පන්නස්ස භික්ඛුනෝ අභිවාදනපච්චුට්ඨානඅඤ්ජලිකම්ම සාමීචිකම්මං කත්තබ්බං. අයම්පි ධම්මෝ සක්කත්වා ගරුකත්වා. මානෙත්වා පූජෙත්වා යාවජීවං අනතික්කමනීයෝ.

1. උපසම්පදාවෙන් සියවසක් ගෙවූ භික්ෂුණිය විසිනුත් එදින ම උපසම්පදා වූ භික්ෂුවට වන්දනා කිරීම්, දැක හුනස්නෙන් නැගිටීම්, ඇඳිලි බැඳ වැඳීම්, යහපත් වත් කිරීම් කළ යුත්තී ය. මේ ධර්මය ත් සත්කාර කොට, ගරු කොට, බුහුමන් කොට, පුදා දිවි ඇති තෙක් නොඉක්මවිය යුත්තී ය.

2. න භික්ඛුනියා අභික්ඛුකේ ආවාසේ වස්සං උපගන්තබ්බං, අයම්පි ධම්මෝ සක්කත්වා ගරුකත්වා මානෙත්වා පූජෙත්වා යාවජීවං අනතික්කමනීයෝ.

2. භික්ෂුණිය විසින් අවවාද දෙන භික්ෂුවක් නැති ආවාසයෙහි වස් නොඑළඹිය යුත්තී ය. මේ ධර්මය ත් සත්කාර කොට, ගරු කොට, බුහුමන් කොට, පුදා දිවි ඇති තෙක් නොඉක්මවිය යුත්තී ය.

3. අන්වද්ධමාසං භික්ඛුනියා භික්ඛුසංඝතෝ ද්වේධම්මෝ පච්චාසිංසිතබ්බා: උපෝසථපුච්ඡකඤ්ච ඕවදුපසංකමනඤ්ච. අයම්පි ධම්මෝ සක්කත්වා ගරුකත්වා මානෙත්වා පූජෙත්වා යාවජීවං අනතික්කමනීයෝ.

3. භික්ෂුණිය අඩමසක් පාසා භික්ෂු සංඝයා වෙතින් ධර්මයන් දෙකක් ලැබිය යුත්තී ය. එනම් පොහොය කිරීම ගැන ඇසීම ත්, අවවාද ලැබීමට එළඹීම ත් ය. මේ ධර්මය ත් සත්කාර කොට, ගරු කොට, බුහුමන් කොට, පුදා දිවි ඇති තෙක් නොඉක්මවිය යුත්තී ය.

4. වස්සං වුත්ථාය භික්ඛුනියා උභතෝ සංඝේ තීහි ඨානේහි පවාරේතබ්බා: දිට්ඨේන සුතේන පරිසංකාය. අයම්පි ධම්මෝ සක්කත්වා ගරුකත්වා මානෙත්වා පූජෙත්වා යාවජීවං අනතික්කමනීයෝ.

4. වස් වැසූ භික්ෂුණිය විසින් භික්ෂු, භික්ෂුණී උභය සංඝයා කෙරෙහි තම පිරිසිදු බව ගැන තුන් තැනකින් පැවරිය යුත්තී ය. දැකීමෙන්, ඇසීමෙන්, සැක කිරීමෙන් ය. මේ ධර්මය ත් සත්කාර කොට, ගරු කොට, බුහුමන් කොට, පුදා දිවි ඇති තෙක් නොඉක්මවිය යුත්තී ය.

5. ගරුධම්මං අජ්ඣාපන්නාය භික්ඛුනියා උභතෝ සංඝේ පක්ඛමානත්තං චරිතබ්බං. අයම්පි ධම්මෝ සක්කත්වා ගරුකත්වා මානෙත්වා පූජෙත්වා යාවජීවං අනතික්කමනීයෝ.

5. බරපතල ඇවතකට පත් භික්ෂුණිය විසින් භික්ෂු, භික්ෂුණී උභය සංඝයා කෙරෙහි පක්ෂ මානත් පිරිය යුත්තී ය. මේ ධර්මය ත් සත්කාර කොට, ගරු කොට, බුහුමන් කොට, පුදා දිවි ඇති තෙක් නොඉක්මවිය යුත්තී ය.

6. ද්වේ වස්සානි ඡසු ධම්මේසු සික්ඛිතසික්ඛාය සික්ඛමානාය උභතෝ සංඝේ උපසම්පදා පරියේසිතබ්බා. අයම්පි ධම්මෝ සක්කත්වා ගරුකත්වා මානෙත්වා පූජෙත්වා යාවජීවං අනතික්කමනීයෝ.

6. දෙවසරක් සය ධර්මයක හික්මුණු ශික්ෂා ඇති සික්ඛමානාව විසින් භික්ෂු, භික්ෂුණී උභය සංඝයා කෙරෙහි උපසම්පදාව සෙවිය යුත්තී ය. මේ ධර්මය ත් සත්කාර කොට, ගරු කොට, බුහුමන් කොට, පුදා දිවි ඇති තෙක් නොඉක්මවිය යුත්තී ය.

7. න කේනචි පරියායේන භික්ඛුනියා භික්ඛු අක්කෝසිතබ්බෝ පරිභාසිතබ්බෝ. අයම්පි ධම්මෝ සක්කත්වා ගරුකත්වා මානෙත්වා පූජෙත්වා යාවජීවං අනතික්කමනීයෝ.

7. භික්ෂුණිය විසින් කවර හෝ කරුණක් වෙනුවෙන් භික්ෂුවකට ආක්‍රෝශ නොකළ යුත්තේ ය. පරිභව නොකළ යුත්තේ ය. මේ ධර්මය ත් සත්කාර කොට, ගරු කොට, බුහුමන් කොට, පුදා දිවි ඇති තෙක් නොඉක්මවිය යුත්තී ය.

8. අජ්ජතග්ගේ ආනන්ද, ඕවටෝ භික්ඛුනීනං භික්ඛූසු වචනපථෝ, අනෝවටෝ භික්ඛූනං භික්ඛුනීසු වචනපථෝ. අයම්පි ධම්මෝ සක්කත්වා ගරුකත්වා මානෙත්වා පූජෙත්වා යාවජීවං අනතික්කමනීයෝ.”

8. ආනන්දයෙනි, අද සිට භික්ෂුණීන් හට භික්ෂූන් කෙරෙහි අවවාද අනුශාසනා දීම ආදිය වැසුණේ ය. භික්ෂූන් හට භික්ෂුණීන් කෙරෙහි අවවාද අනුශාසනා දීම ආදිය නොවැසුණේ ය. මේ ධර්මය ත් සත්කාර කොට, ගරු කොට, බුහුමන් කොට, පුදා දිවි ඇති තෙක් නොඉක්මවිය යුත්තී ය.

ඉදින් ආනන්දයෙනි, මහාප්‍රජාපතී ගෞතමිය මේ අෂ්ට ගරු ධර්මයන් පිළිගනියි නම් ඇයට එය ම උපසම්පදාව වේවා!”

ඉක්බිති ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙතින් මේ අෂ්ට ගරු ධර්මයන් ඉගෙන මහාප්‍රජාපතී ගෞතමිය වෙත එළැඹියහ. එළැඹ මහාප්‍රජාපතී ගෞතමියට මෙය පැවසූහ.

“ඉදින් ගෞතමියෙනි, ඔබ මේ අෂ්ට ගරු ධර්මයන් පිළිගන්නී නම් ඔබට එය ම උපසම්පදාව වන්නේ ය.

උපසම්පදාවෙන් සියවසක් ගෙවූ භික්ෂුණිය විසිනුත් එදින ම උපසම්පදා වූ භික්ෂුවට වන්දනා කිරීම්, දැක හුනස්නෙන් නැගිටීම්, ඇඳිලි බැඳ වැඳීම්, යහපත් වත් කිරීම් කළ යුත්තී ය. මේ ධර්මය ත් සත්කාර කොට, ගරු කොට, බුහුමන් කොට, පුදා දිවි ඇති තෙක් නොඉක්මවිය යුත්තී ය. ….(පෙ)…. අද සිට භික්ෂුණීන් හට භික්ෂූන් කෙරෙහි අවවාද අනුශාසනා දීම ආදිය වැසුණේ ය. භික්ෂූන් හට භික්ෂුණීන් කෙරෙහි අවවාද අනුශාසනා දීම ආදිය නොවැසුණේ ය. මේ ධර්මය ත් සත්කාර කොට, ගරු කොට, බුහුමන් කොට, පුදා දිවි ඇති තෙක් නොඉක්මවිය යුත්තී ය.

ඉදින් ගෞතමියෙනි, ඔබ මේ අෂ්ට ගරු ධර්මයන් පිළිගන්නී නම් ඔබට එය ම උපසම්පදාව වන්නේ ය.”

“ස්වාමීනී, ආනන්දයන් වහන්ස, සැරසෙනු කැමති තරුණ යොවුන් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ හිස සෝදා ස්නානය කොට මහනෙල් මල් මාලාවක් හෝ දෑ සමන් මල් මාලාවක් හෝ අලුත් මල් මාලාවක් හෝ ලබා දෝතින් ම පිළිගෙන උත්තමාංගය වූ සිරස මත තබන්නේ යම් සේ ද, එසෙයින් ම ස්වාමීනී, දිවි හිමියෙන් නොඉක්මවිය යුතු වූ මේ අෂ්ට ගරු ධර්මයන් මම පිළිගනිමි.”

එවිට ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ.

“ස්වාමීනී, මහාප්‍රජාපතී ගෞතමිය විසින් දිවි හිමියෙන් කඩ නොකළ යුතු වූ අෂ්ට ගරු ධර්මයෝ පිළිගන්නා ලදහ.”

“ඉදින් ආනන්දයෙනි, තථාගත ප්‍රවිදිත ධර්ම විනයෙහි ස්ත්‍රිය ගිහි ගෙයින් නික්ම අනගාරික පැවිද්ද නොලැබුවා නම් ආනන්දයෙනි, සසුන් බඹසර බොහෝ කල් පවතිනු ඇත. දහස් වසරක් ම සද්ධර්මය පිහිටන්නේ ය. ආනන්දයෙනි, යම් කලක තථාගත ප්‍රවිදිත ධර්ම විනයෙහි ස්ත්‍රිය ගිහි ගෙයින් නික්ම සසුනට වැදගත්තී ද, ආනන්දයෙනි, දැන් සසුන් බඹසර බොහෝ කල් නොපවතින්නේ ය. ආනන්දයෙනි, දැන් සද්ධර්මය පන්සිය වසරක් ම පවතින්නේ ය.

ආනන්දයෙනි, එය මෙබඳු දෙයකි. බොහෝ ස්ත්‍රීන් ඇති, අල්ප වූ පුරුෂයන් ඇති, යම්කිසි පවුල් වෙත් නම්, කුම්භත්ථේනක නම් වූ කළයක් තුළ පහනක් දල්වා මැදියම් රැයෙහි බියගන්වා පැමිණෙන සොරුන් විසින් ඒ කුලයෝ පහසුවෙන් නැසිය හැකි වන්නාහු ය. එසෙයින් ම ආනන්දයෙනි, යම් ධර්ම විනය ස්ත්‍රිය ගිහි ගෙයින් නික්ම සසුනට වැදගත්තී ද, ඒ සසුන් බඹසර බොහෝ කල් නොපවතින්නේ ය.

ආනන්දයෙනි, එය මෙබඳු දෙයකි. සාරවත් හැල් වී කුඹුරක සේතට්ඨික නම් රෝගය ඇතිවෙයි ද, එවිට ඒ සාරවත් කුඹුර බොහෝ කල් පවතින්නේ නොවෙයි. එසෙයින් ම ආනන්දයෙනි, යම් ධර්ම විනය ස්ත්‍රිය ගිහි ගෙයින් නික්ම සසුනට වැදගත්තී ද, ඒ සසුන් බඹසර බොහෝ කල් නොපවතින්නේ ය.

ආනන්දයෙනි, එය මෙබඳු දෙයකි. සාරවත් උක් යායක උක් ගස් ඇතුළ රතු වෙන මඤ්ජෙට්ඨිකා නම් උක් රෝගයක් වැළඳෙයි ද, එවිට ඒ සාරවත් උක් යාය බොහෝ කල් පවතින්නේ නොවෙයි. එසෙයින් ම ආනන්දයෙනි, යම් ධර්ම විනය ස්ත්‍රිය ගිහි ගෙයින් නික්ම සසුනට වැදගත්තී ද, ඒ සසුන් බඹසර බොහෝ කල් නොපවතින්නේ ය.

ආනන්දයෙනි, යම් සේ පුරුෂයෙක් මහත් විලක දිය නොබැස යනු පිණිස වේලාසනින් ම නියර බඳින්නේ වෙයි ද, එසෙයින් ම ආනන්දයෙනි, මා විසින් වේලාසනින් ම භික්ෂුණීන් හට දිවි හිමියෙන් නොඉක්මවනු පිණිස අෂ්ට ගරු ධර්මයෝ පණවන ලද්දාහු ය.

සාදු! සාදු!! සාදු!!!

විශාලාවේ සත්දහස් සත්සිය සතක් වූ රාජ කුමාරවරුන් සහ සත්දහස් සත්සිය සතක් වූ බිසෝවරුන්, ප්‍රජාපතී තෙරණින් වහන්සේ ඇතුළු භික්ෂුණීන් වහන්සේලා විශයෙහි සුවිශාල මනරම් ආරාම සංකීර්ණයක් ඉඳිකරවා පූජා කළහ. අපගේ තෙරණින් වහන්සේ ප්‍රමුඛ භික්ෂුණී සංඝයා එහි සුවසේ වැඩ සිටිමින් තමන්ගේ ඉදිරි ආධ්‍යාත්මික දියුණුව ලබා ගැනීම උදෙසා බලවත්ව වෙහෙසෙමින් බොහෝ දෙව් මිනිසුන්ට අනුත්තර වූ පුණ්‍ය ක්ෂේස්ත්‍රයක් වෙමින් වැඩ සිටිය සේක.

පසු කාලයේදී නන්දක මහ රහතන් වහන්සේ විසින් ධර්මය දේශනා කරද්දී (නන්දකොවාද සූත්‍ර දේශනය) ඒ අසා අපගේ තෙරණින් වහන්සේ ඇතුළු පන්සියයක් භික්ෂුණීහු සියලු කෙලෙස් කඳ පලා දමමින් උතුම් වූ අරහත්වයට පත් වූ සේක.

එතැන් පටන් අපගේ මහා ප්‍රජාපතී මහ රහත් තෙරණින් වහන්සේ මුල් කරගෙන බුදු සසුන්හි පැවිදිව අමාමහ නිවන් දුටු මුනිවරියන් වහන්සේලාගේ ගණන සියයකි, දහසකි, දසදහසකි, ලක්ෂයකි හෝ කෝටියකි’ යි වශයෙන් ගණනින් දක්වාලිය නොහැක්කේ ය. අපගේ ශ්‍රී ලංකා ධරණි තලයට සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මහ බෝ රජාණන් වහන්සේ වඩමවාගෙන පැමිණ, අනුලා බිසවුන් ඇතුළු පන්සියයක් ලාංකේය කුල කතුන් විශයෙහි පැවිදි උපසම්පදාව දී  වදාරමින්, ලක්ෂ ගණන් හෙළ කතුන් උදෙසා අමා නිවන් මග සාදවාලු අපගේ සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේ ද ඇතුලු කොට, පිහිට ලැබූ කාන්තාවන්ගේ ප්‍රමාණය කිසිවෙකුට නම් ගණනින් දක්වාලිය හැක්කේ ද?

එයිනුත් ඔබ්බේහි, ඒ එක් එක් උත්තමාවිය හේතුකරගෙන නිවන් දොරටු විවෘත කරගත් දෙවියන්, බ්‍රහ්මයන්, නාගයන්, සුපර්ණයන් ආදී කොට ඇති සක්වල පුරා පැතිරී සිටින්නාවූ පුණ්‍යවන්තයින්ගේ ගණන අසංකේය ගණන්ය.

ඒ එකම අයෙකුගේ, එනම්, අපගේ මහා ප්‍රජාපතී ගෝතමී තෙරණින් වහන්සේගේ අසීමිත වීරියෙන්, අදිෂ්ඨානයෙන් හා කැපවීමෙන් ලබා ගත් භික්ෂුණී පැවිද්ද හේතුවෙන්, මේ ගතවන තත්පරය දක්වා,

********* (අද වන විට භික්ෂුණී පැවිද්ද ලෝකයෙන් අතුරුදහන් වී ඇති බව අවධාරනයෙන් යුතුව සලකන්න. නැවත ඒ තථාගත අරහත් මෛත්‍රී සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුළ දී භික්ෂුණී පැවිද්ද ආරම්භවන තෙක්ම මේ තුන් ලෝ තලයෙහි කිසිඳු ස්ථානයක භික්ෂුණී පැවිද්ද නොපවතින බව අවධාරණයෙන් යුතුව සලකන්න )

දෙව්ලෝ තලවල, දිව්‍යප්‍රාසාද වල වැඩ හිඳිමින් ධ්‍යාන සුව විඳිනා, මග ඵල සුව විඳිනා, සත්වයන්ගේ ගණන ප්‍රමාණ කළ නොහැක්කේ ය.

සත් හැවිරිදි දැරියගේ පටන් එක්සිය විසි වයස් ඇති මැහැල්ල දක්වා අහසේ පෙළහර පාමින් දෙවියන් බඹුන් මිනිසුන්ගේ ඇඟ ලෝම හර්ෂණය කරමින් සෘද්ධි බල මහිමයන් පෙන්වාලීමේ භාග්‍ය ලද්දා වූ පුණ්‍යවන්තියන්ගේ ගණන ප්‍රමාණ කළ නොහැක්කේ ය.

දනන් තුඩ තුඩ සාදු කාර දෙවමින්, මුනිවරියන් වහන්සේලාගේ ධාතු චෛත්‍යන් පිදීමෙහිලා අවසර දෙමින්, අරහත් තෙරණි ගුණ ශ්‍රී වරුණ දනන් සිත් තුළට කා වද්දාලමින්, මේ ලොව පහල වී වදාල අරහත් මුනිවරියන්ගේ ගණන මෙලෙසින්ය කියා අවසන් කිරීම උගහට ය.

එහෙයින් ණුවනැත්තෝ මේ මේ කාරණයෙනුත් අපගේ මහා ප්‍රජාපතී ගෝතමී මහ රහත් තෙරණින් වහන්සේ පිළිබඳ සිත් පහන් කර ගනිත්වා! කෙලෙහි ගුණ සිහි කරත්වා! වන්දනා කරත්වා! පුදත්වා! ගෞරව උපහාර දක්වත්වා! මෙලොව පරලොව සෙත සදාලන, අමා මහ නිවන් දොරටු විවෘතකරන මහා පින් රැස්කර ගනිත්වා!  සසර දුකින් සදහටම අත්මිදෙත්වා!

පරිණිර්වානය

අපගේ බුදුරජාණන් වහන්සේ, සකල ලෝක සත්වයා පිළිබඳ පතල මහා කරුණාවෙන් ඒ ඒ ජනපදයන්හි කලින් කලට චාරිකාවෙහි වඩින සේක. ඉතින් මෙවරත් එසේ වඩිමින් යන අතරතුර අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා ඇතුලු සතලිස් දහස් පන්සිය අසූ එකක් පමණ මහා සඟ රුවන පිරිවරා විශාලාමහනුවර ට වඩිමින් සිටි සේක. බුදුරජාණන් වහන්සේ එසේ තමන්ගේ භූමියට වඩිමින් සිටිනා බව කල්තියා දැනගත් ලිච්ඡවීහු මල් ගඳ සුවඳ දුම් ඈ නේක පූජා භාණ්ඩයන් දෝතෙහි දරාගෙන මහ පෙරහැරින් බුදු රජාණන් වහන්සේ වඩිනා මාර්ගයේ පෙරගමන් ගියෝ ය.

රතන සූත්‍රය සජ්ඣායනයෙන් තුන් බිය දුරුකරමින් තමන්ට සුවය කැන්දූ දා පටන් එහි කළගුණ දැක්වීමක් වශයෙනුත්, එදා ඒ පෙළහර දැකීමෙන් පැහැදී ගිය සිත් ඇති හෙයිනුත්, විශාලාමහනුවර වාසිහු මෙසේ පුරුද්දක් වශයෙන් හැම කල්හිම බුදුරජුන් උදෙසා පෙර ගමන් යති. මෙතෙකින් ම ඔවුන්ගේ උත්සව සමය ආරම්භ වේ. බුදුරජාණන් වහන්සේ විශාලාවෙහි වැඩ සිටීනම්, මුල් සත් දින ඔවුන්ගේ මංගල කාලය සේ වෙයි. සත් දිනක් පුරා උත්සවශ්‍රීයෙන් පිනා යමින් ජනයෝ  බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනා සතුට සමරති.

ඉතින් මෙවැනි උත්සව කාලයක් එහි පවතිද්දී, දිනක් මහා ප්‍රජාපතී ගෝතමී මහ රහත් තෙරණින් වහන්සේ ලිච්ඡවීහූ පූජාකල මෙහෙණවරෙහි වැඩ සිටිමින් මෙසේ සිතූ සේක,

“ම පුතණුවන් වහන්සේගේ ශ්‍රාවකයෝ වනාහී දැන් ඉතා බොහෝ ය, ඔව්හු සමගිව වසන්නාහුය, එහි ඌණත්වයක් නොපෙනේ, නමුත් නුදුරේදී සාරිපුත්ත, මොග්ගල්ලානා දී මහා ශ්‍රාවකයන් වහන්සේලාත්, ඛේමා, උප්පලවණ්නාදී මහා ශ්‍රාවිකාවන් වහන්සේලාත් බුදුරජුන්ට පෙරාතුව පහන් සිලක් නිවී යන පරිද්දෙන් නිවී යන්නාහුය. ඒ ව්‍යවසනය දැකීමට මත්තෙන් මා පිරිණිවෙන්නේ නම් යෙහෙකි. මාගේ බුදු රදහුගේ සසුන් වර්ණවත්ව බබලන මෙවන් සස්‍රීක කාලයක දී මම් පිරිණිවන් වඩින්නේ නම් යෙහෙකි”

මෙසේ සිතමින් මහ රහත් තෙරණියෝ තමන් වහන්සේගේ ආයුෂ තව කෙතෙක් ඇත්දැයි බැලූ සේක. ආයුෂ දැනටමත් ගෙවී ගොස් ඇතිබව උන්වහන්සේ දුටු සේක.

(මෙහිද සඳහන් කිරීමට සුවිශේෂී කාරණයක් තිබේ. එනම්, ‘මහා ප්‍රජාපතී ගෝතමී මහ රහත් තෙරණින් වහන්සේ” යැයි කී විට අපට එක වරම සිතට මැවී එන්නේ වයෝවෘධ භික්ෂුණියකගේ රූපයයි. අප දැක ඇති සියලු චිත්‍ර හා අනෙකුත් (පිළිම වහන්සේලා ආදී ) නිර්මාණාදිය ද එසේම ය.

එය හරියට මේ වගෙයි; ‘රාහුල මහ රහතන් වහන්සේ’ යැයි කී විට අපේ සිතේ මැවෙන්නේ ඉතා කුඩා, සුරතල්, අවුරුදු සතක පුංචි ස්වාමීන් වහන්සේ නමකගේ රුවයි. අප දැක ඇතී රූප ද එසේය. නමුත් ඇත්තටම එය එසේ නොවේ. රාහුල මහරහතන් වහන්සේ යනු (අවුරුදු හතේදී පැවිදි වූ) අපගේ බුදුරජාණන් වහන්සේ හා සමාන අතිශය සුන්දර රූපයක් දැරූ ඉතාමත්ම යොවුන් මහ රහතන් වහන්සේ නමකි. උන්වහන්සේ අරහත්වයට පත්වූයේ ඉතා යොවුන් වියේ සිටිද්දී ය. එසේම තරුණ වයසේ සිටිද්දීම දෙව්ලොව දෙවියන් අතර වැඩ හිඳිමින් පිරිනිවන් පා වදාළ සේක.

දෙවන උදාහරණය; ‘සීවලී මහ රහතන් වහන්සේ’ කී විට අපගේ සිතට එන්නේ  සුන්දර රූපයකින් යුතු, තරුණ වියේ අවසාන හරියෙ හෝ මැදිවියේ හෝ සිටින ස්වාමීන් වහන්සේ නමකගෙ රුවයි. ඒ, අපි දැක ඇත්තේ එවැනි නිර්මාණ නිසා ය. නමුත් ඇත්තටම එය එසේ නොවේ. සීවලී කුමරුවාණන් පැවිදි වූයේ වයස අවුරුදු හතේ දී ය. පැවිද්ද පිණිස හිස බාද්දීම, කරගෙයිහිදී ම, උන්වහන්සේ අෂ්ඨ සමාපත්ති, අභිඥා, පටිසම්භිදා ආදී සියළු විශේෂ ගුණයන් සහිතව උතුම් අරහත්වයට පත් වූ සේක. හිස බා අවසන් වූ කළ, හිස් සෝදා සිවුරු පෙරවූයේ  සත් හැවිරිදි මහා රහතන් වහන්සේ නමක් ලෙස ය. එහෙයින් එයද අප මනසින් දකින චිත්‍රය හා සම නොවෙයි.

මෙහිලා, අපගේ මහා ප්‍රජාපතී ගෝතමී දේවිය යනු පඤ්චකල්‍යාණයෙන් යුතු රූපයක් තිබූ උත්තමාවියකි. එනම්, කොතරම් වියපත් වුවත් අවුරුදු 16 ක යුවතියකගේ පෙනුම ඉක්මවා නොයයි. කොතරම් දරුවන් බිහිකලත්, රූපයට හානි නොවේ, දහසය හැවිරිදි යොවුන් කන්‍යාවකගේ පෙනුමින් ම සිටී. එනිසා උන්වහන්සේ ඒ වන විට අවුරුදු එකසිය විස්සක් (120) ආයු වළඳමින් වැඩසිටියත් උන් වහන්සේගේ පෙනුම අවුරුදු 16ක යොවුන් කන්‍යාවකගේ මෙන් වූයේ ය.

එසේ ආයු සංස්කාරය ගෙවී ගිය බව දුටු අප තෙරණියෝ “මම් අදම ශාස්තෘන් වහන්සේගෙන් අවසර ගෙන නිවන් පුරයට වඩින්නෙමි” යි සිතූ සිතත් සමගම ගණකඩ මහබොල් පොළව වෙව්ලා සැළී ගියේ ය, අකාලයේ අහස පුරා මේඝ ගර්ජනා හඬ පැතිරී ගියේ ය. ඒ ආශ්චර්‍ය දුටු පන්සියයක් ශාක්‍ය තෙරණිවරු මහා ප්‍රජාපතී තෙරණින් වහන්සේ වට කොට ගත් හ, අහසේත් පොළවේත් සිදු වූ ආශ්චර්‍යට හේතු කාරණ විමසා සිටියහ. එවිට තමන් වහන්සේ පිරිණිවන් පාන්නට සිතූ බවත් ඒ හේතුවන් අහස හා පොළව කැළඹී ගිය බවත් උන්වහන්සේ දන්වා සිටි සේක.

අතීතයේ කළ-දාසියන්ව සිට එකටම පින් කොට, රෙදි වියන්නන්ව සිට එකටම පින්කොට, ශාක්‍ය කුලයේ එකටම ඉපදී , එකටම ගිහි සැප හැරවිත්, එකටම පැවිදිව, එකටම අරහත්වය සාක්ෂාත් කළ ඒ පන්සියයක් ශාක්‍ය මුනිවරියන් වහන්සේලා ද ප්‍රජාපතී තෙරණින් වහන්සේත් හා එකටම පිරිණිවන් වඩින්නට ඒ මොහොතේ තීරණය කළෝ ය.

මේ ආකාරයෙන් එදින සිදු වූ සියල්ල අපි පහත අයුරින් සටහන් කරන්නෙමු………

………… ප්‍රජාපතී ගෞතමී තෙරණියගේ නිකෙලෙස් හද මඬලෙහි මෙබඳු චිත්ත සංකල්පනාවක් පැනනැංගේය.

” ඒ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවන් පෑම හෝ , අපගේ අග්‍රශ්‍රාවක දෙනම වහන්සේගේ පිරිනිවන් පෑම හෝ , අපගේ ආනන්ද – නන්ද – රාහුලයන් වහන්සේලාගේ පිරිනිවන් පෑම හෝ මට නම් දැකගන්ට ලැබෙන්නේ නෑ. අපගේ මහා ඉසිවර ලෝකනාථයන් වහන්සේගෙන් අවසර ඉල්ලාගෙන , කල් ඇතිව ම ආයු සංස්කාර අත්හැර දමා මට පිරිනිවන් පාන්ට ඇත්නම් හොඳා…. ! යන සිතිවිල්ල යි.

ඒ මොහොතේ ම අනික් පන්සීයක් වූ රහත් තෙරණිවරුන්ගේ සිත් තුළත් ‘ අපගේ භාග්‍යවතුන් වහන්සේගෙන් අවසර ඉල්ලාගෙන අපට පිරිනිවන් පාන්ට ඇත්නම් අගනේ ය… ! ‘ යන චිත්ත සංකල්පනාව ඇති වූයේ ය. ඒ අවස්ථාවෙහි ම ඛේමා ආදී අනිකුත් රහත් උත්තමාවියන්ගේ නිකෙලෙස් හදවත්හි ත් ඒ අදහස ම පැනනැංගේය.

ඒ ක්ෂණයෙහි ම මහා පෘථිවිය කම්පා වී ගියා. අහස්කුස මහා හඬින් ගිගුරුම් දුන්නා. ගෞතමී රහත් උත්තමාවියගේ  චිත්ත සංකල්පනාව දැනගත් මෙහෙණවරට අරක්ගත් දෙවි දේවතාවෝ මහත්සේ කම්පාවට පත්වුනා. හඬා වැලපෙන්න පටන් ගත්තා. කඳුළු වගුරුවන්ට පටන් ගත්තා.

එවිට අප ගෞතමී මහා තෙරණියගේ සහායිකා මිතුරියන් වූ අනිකුත් තෙරණීන් වහන්සේලා වහා එතුමිය සොයාගෙන පැමිණියා. පැමිණ එතුමියගේ පා මතුයෙහි සිරසින් වැඳවැටී මෙකරුණ අසා සිටියා.

” අපගේ පින්වත් ආර්යාවෙනි , අපි පැන් පහසුවෙන්ට ගොහින් තෙමාගත් සිරුරෙන් යුතුව හුදෙකලාවේ ම යි උන්නේ. ඉතින් එක් වරම මේ අචල වූ මහා පෘථිවී තොමෝ සැලි සැලී ගියා නොවැ. කිසියම් බැගෑහඬකින් මේ අහස් කුස ගුගුරා ගියා නොවැ. හැඬීම් , වැලපීම් පවා අවටින් ඇසෙන්ට පටන් ගත්තා නොවැ. ගෞතමී උත්තමාවෙනි , කිම , ඇත්තෙන්ම මේවා සිදුවන්නේ කිසියම් විශේෂ කරුණක් නිසා ද ? “

එතකොට අපගේ මහරහත් ගෞතමී තෙරණියෝ සිය පිරිනිවන් පෑම ගැන යම් අයුරකින් සිතින් කල්පනා කළා නම් ඒ සියල්ල අර මෙහෙණින්නන්ට පවසා සිටියා. එවිට ඒ මෙහෙණින් වහන්සේලා ගෞතමී උත්තමාවියට කියා සිටියේ තමනුත් ශාස්තෘන් වහන්සේගෙන් අවසර ඉල්ලාගෙන පිරිනිවන් පාන්ට ඇත්නම් අගේ ය කියා සිතූ බවයි.

” අපගේ ආර්ය උත්තමාවෙනි, ඉදින් ඔබතුමී පරම සුන්දර වූ අමා මහ නිවනේ සැනසී යන්ට රුචි කරන්නී නම්, මනා පිළිවෙත් ඇති උත්තමාවියනි, අපි සියල්ලෝමත් එසේ නම් ශාස්තෘන් වහන්සේගෙන් අවසර ඉල්ලාගෙන අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවී යමු….. !

අපගේ පින්වත් ආර්යාවෙනි , අපි සියල්ලෝ ම ‘ගිහිගෙයි අත්හැර අනගාරික බුදු සසුනෙහි භික්ෂුණී සංඝයා අතරට පිවිසෙන්නෙමු’ යි කියා නික්ම ආයේ එකට ම නොවැ. මේ භව දුකින් අපි හැමෝම නිදහස් වූයෙත් එකට ම නොවැ. ඉතින් එසේ නම් උත්තම වූ නිවන් පුරයටත් එකටම පිවිසෙන්නෙමු…. ! “

එතකොට අපගේ මහා ප්‍රජාපතී තෙරණී තොමෝ මෙසේ පවසා සිටියා. ” අමා මහ නිවනට යන්ට ඕනෑ කියන්නියන් හට මං ඉතින් වෙන කුමක් කියන්ටද… ! ” යි පවසා අපගේ මහා තෙරණියෝ අනිත් තෙරණීන් වහන්සේලා සමඟ භික්ෂුණී අසපුවෙන් නික්ම බැහැරට පිටත් වුනා….

අ⁣පගේ මහා තෙරණියෝ මෙහෙණ අසපුව දෙස හැරී බලා මෙසේ පැවසුවා. “අනේ මේ භික්ෂුණී අසපුවට අධිගෘහිතව සිටින්නාවූ යම් දෙවි දේවතාවෝ වෙත් ද , ඒ දිව්‍ය ඇත්තෝ මා හට සමාවෙත්වා… ! මං මේ මෙහෙණවර දෙස නෙත් විදහා බලන අවසාන දැක්මයි…. ! ජරාවට පත්වීමක් නැති මරණයට පත් වීමක් නැති , අප්‍රියයන් හා එක්වීමේ දුකක් නැති , ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුකක් නැති යම් තැනක් ඇද්ද , හේතුඵල දහමින් නොහටගත් යම් තැනක් ඇද්ද , ආං එතැනටයි මං මේ යන්ට සූදානම් වන්නේ.” කියා ඕ තොමෝ පවසා සිටියා.

අපගේ ප්‍රජාපතී ගෞතමී රහත් තෙරණිය පැවසූ මේ බස් , විසල්පුර සිටි සුගතයන් වහන්සේගේ පුත්‍ර වූ නොරහත් භික්ෂූන් වහන්සේලාට ද අසන්ට ලැබුණා. එය අසා සෝකයට පත් භික්ෂූන් හඬා වැලපෙන්නට පටන් ගත්තා. “අයියෝ… ! අපගේ ගෞතමී තෙරණිය ව දකින්ට අපට ඇත්තේ ඉතාමත් මඳ පිනක් නොවේදෝ… ! ” කියා ය.

ප්‍රජාපතී ගෞතමී මහරහත් තෙරණිය ප්‍රමුඛ පන්සියයක් වූ තෙරණින් වහන්සේලා ඒ මෙහෙණවර අසපුවෙන් පිටත්ව වැඩියාට පසු ඒ ආරාම භූමිය සම්පූර්ණයෙන් ම හිස්ව පාලු වී ගියා…උදයෙහි හිරු මඬල උදාවී ගිය පසු අහස පුරා දිලිසි දිලිසී බැබළී ගිය තාරකාවෝ යම් අයුරකින් නොපෙනී යන්නාහු ද , එසෙයින් ම ඒ බුද්ධපුත්‍රීන් වහන්සේලාත් පිරිනිවන් පෑ පසු ලෝකයේ කාටවත් නැවත දකින්ට ලැබෙන්නේ නෑ !

මහා ගංගා නදී තොමෝ පන්සියයක් වූ නදීන් පිරිවරාගෙන මහා සාගරයට යම් අයුරකින් පිවිසෙන්නී ද , එසෙයින් ම අපගේ මහා ප්‍රජාපතී ගෞතමී තෙරණියෝ පන්සියයක් භික්ෂුණීන් වහන්සේලා සමඟ අමා මහ නිවනට පිවිසෙන්නී ය!

සැදැහැවැත් උපාසිකාවන් හට, පිරිනිවන් පෑමේ අදහසින් මාවතේ වඩින්නා වූ අපගේ ප්‍රජාපතී මහ තෙරණිය දැකගන්ට ලැබුණා. ඒ උපාසිකාවෝ නිවෙස්වලින් වහා දුව ඇවිත් එතුමිය පා මතුයෙහි වැඳ වැටී මෙසේ කියන්ට පටන් ගත්තා.

” මහා පින්වත් උත්තමාවිය , අනේ අප ගැනත් පැහැදීම ඇතිකරගන්නා සේක්වා! අනේ අපව අනාථ කොට අත්හැර නොදමන සේක්වා! ඔබතුමී දැන් ම පිරිනිවන් පාන්ට සිතීම නම් හරි දෙයක් නොවේ…” කියා මහ හඬින් වැලපෙන්ට පටන් ගත්තා.

ඒ උපාසිකාවන්ගේ සෝක දුක දුරුකර දමනු වස් අපගේ ගෞතමී මහ තෙරණියෝ මෙබඳු මිහිරි තෙපුල් පවසා සිටියා.

“පින්වත් දරුවෙනි, ඔය හඬා වැලපිම්වලින් කිසි පලක් නෑ නොවෑ. ඇත්තෙන්ම මයෙ දරුවෙනි, අද තොපට සිනාසීමට මෙයමයි කාලය. මෙනිසාම නොවැ පින්වත් දරුවෙනි, මං ඉතින් අප මහා මුනිඳාණන් වහන්සේ වදාල දුක්ඛාර්ය සත්‍යය පිරිසිඳ අවබෝධ කරගත්තා නොවැ. ඒ දුක් උපදවන හේතූන් වන දුක්ඛ සමුදය ආර්ය සත්‍ය මං ප්‍රහාණය කරගත්තා නොවැ. දුක්ඛ නිරෝධය මං සාක්ෂාත් කරගත්තා නොවැ. දුක් උපදවන හේතූන් නසා දමන මාර්ගය වූ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය මං මනාකොට ප්‍රගුණ කරගත්තා නොවැ. ඉතින් දරුවෙනි, මාගේ ශාස්තෘන් වහන්සේව මං ඉතාම ගරුසරු ඇතිව ඇසුරු කළා නොවැ. ඔව් දරුවෙනි, මං උතුම් බුද්ධ ශාසනය සම්පූර්ණ කරගත්තා. මේ පංචුපාදානස්කන්ධ බර සදහටම පසෙකින් බහා තැබුවා. තෘෂ්ණාව මුළුමනින් ම නසා දැමුමා.

පින්වත් දරුවෙනි, මං ගිහි ජීවිතේ අත්හැරලා අනගාරික බුද්ධ ශාසනයේ පැවිදි වුනේ උතුම් ප්‍රාර්ථනාවක් සිතේ තබාගෙනයි. සියලු කෙලෙස් බන්ධනයන් නැතිකොට ලබන ඒ උතුම් යහපත මං ඉෂ්ට කරගත්තා.

අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ යම්තාක් හොඳින් වැඩ ඉන්නා කාලයක් ඇද්ද, ඉතින් ඒ මේ කාලේ නොවැ. මේ කාලෙ මට පිරිණිවන් පාන්ට බොහොම හොඳා. පින්වත් දියණි වරුනි, එනිසා ඔයාලා මං ගැන ඔහොම සෝක වෙන්ට එපා. අනික, අපගේ අඤ්ඤා කොණ්ඩඤ්ඤයන් වහන්සේ. ආනන්දයන් වහන්සේ, නන්දයන් වහන්සේ, ආදී මහා තෙරුන් වහන්සේලා වැඩ ඉන්නවා නොවැ. ජීනපුත්‍ර වූ අපගේ රාහුලභද්‍රයන් වහන්සේත් වැඩ ඉන්නවා නොවැ. මේ කාලෙ භික්ෂු සංඝයා සැපවත්ව යහපතින් යුක්තව වැඩඉන්නවා නොවැ. ඒ වගේම මිසදිටු තීර්ථකයන්ගේ හිස් මාන මද බිඳිලා නොවැ.

ලොව බලපවත්වන මාර බලය මැඩගෙන ඔක්කාක රාජ වංශයෙන් මතු වූ යශෝරාවය ඉතා උස්ව පැන නැගිලා තියෙනවා නොවැ. ඉතින් දියණිවරුනි, දැන් මේ තියෙන්නේ මට අමා මහ නිවනට යන්ට ඉතා සුදුසු කාලයක් නොවේ ද?

දියණිවරුනි, අද මේ සිද්ධ වෙන්ට යන්නේ මං බොහෝ කලක් මුළුල්ලේ පත පතාසිටි දෙයක්..! මේ තියෙන්නේ සතුට නාද දෙන ආනන්දනීය වූ භේරි නාදය වයන කාලයක්…! හනේ දියණිවරුනි, ඔයාලගේ ඔය කඳුළු වලින් ඇති ඵලය කුමක් ද?

පින්වත් දියණිවරුනි, එහෙම නොවේ, ඉතින් ඔයාලගේ සිතේ මා කෙරෙහි දයාවන්ත කමක් තෙයනවා නම්, මා කෙරෙහි ඔයාල තුළ මෙළෙහිගුණ දන්නා බවක් තියෙනවානම්, මේං මේකයි කරන්ට ඕනෑ. ‘මේ උතුම් ශ්‍රී සද්ධර්මය චිරාත් කාලයක් පවතිත්වා!’ කියා ඔය හැමෝම ධර්මයේ හැසිරෙන්ටම පුළුවන් තරම් වීරිය ගන්ට.

මං ඉතාමත් දුකසේ ආයාචනය කිරීම නිසාමයි අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ස්ත්‍රීන් කෙරෙහි අනුකම්පාවෙන් භික්ෂුණී පැවිදි උපසම්පදාව දුන්නේ. ඒ නිසා මං උතුම් පැවිදි බව ලබා සතුටු වන්නේ යම් ආකාරයෙන්ද ඔයාලත් ඒ විදිහටම ධර්මයේ හැසිරෙමින් සතුටු වෙන්ට. ඒ විදිහට කටයුතු කරන්ට”

ඔය ආකාරයෙන් අපගේ ප්‍රජාපතී ගෞතමී තරණි තොමෝ ඒ උපාසිකාවන්ට කාරුණික අනුශාසනා කළා. ඊටපස්සෙ රහත් තෙරණින් වහන්සේලා පිරිවරාගෙන භාග්‍යවතුන් වහන්සේ බැහැදකින්ට එළඹියා. එළඹ භාග්‍යවතුන් වහන්සේට ආදර භක්තියෙන් වන්දනා කොට එකත්පස්ව වාඩි වී මෙකරුණ පවසා සිටියා.

“සුගතයාණන් වහන්ස, මං නුඹ වහන්සේගේ මවු වශයෙන් සිටියා. නමුත් මහා වීරයන් වහන්ස, නුඹ වහන්සේමයි මගේ පියාණන් වහන්සේ. ලොවට පිහිට වන මුනිඳානන් වහන්ස, නුඹ වහන්සේමයි මට මේ සදහම් සැපය දී වදාළේ. මං උපන්නේ නුඹ වහන්සේ තුළින්.!

සුගතයාණන් වහන්ස, නුඹ වහන්සේගේ ඔය රූපකාය මං පෝෂණය කළා, ඇතිදැඩි කළා තමයි. එහෙත් නුඹ වහන්සේ මා තුළ පෝෂණය කොට වදාළේ කිසිසේත්ම නින්දා නොලබන විස්මිත දහම් කයක්!

ඒ කාලෙ නුඹ වහන්සේගේ මොහොතක සා-පිපාසාව සන්සිඳුවාලන්ට මං කිරි පෙව්වා තමයි. එහෙත් නුඹ වහන්සේ මට පොවා වදාළේ අත්‍යන්තයෙන්ම නිවී සැනහී ගිය අමා දහම් කිරි!

මහා මුණිවරයාණන් වහන්ස, නුඹ වහන්සේව ඇති දැඩිකළ හේතුවෙන් නුඹ වහන්සේ මට ණය නැති සේක. මේ ලෝකයේ යම් ස්ත්‍රීහු පුත්‍රයන් ලබන්ට කැමති වෙත්නම් සත්තකින්ම ඒ ස්ත්‍රීහු නුඹ වහන්සේ වැනි උදාර පින්සර පුත් රුවනක් ලබත්වා!

මහා මන්ධාතු ආදී බලසම්පන්න රජදරුවන්ගේ මව්බිසොවුන් වහන්සේලා සිටියත්, එහෙත් ඒ හැමෝම මේ දුක්ඛිත භව සයුරේ ගිලී ගියා. නමුත් මාගේ අදරැති පුත්‍රයාණන් වහන්ස, නුඹ වහන්සේට කිරි පෙවූ මේ අම්මව නුඹ වහන්සේ භව සයුරෙන් ගොඩ ගෙන අමා නිවන් දිවයිනෙහි පිහිටුවා රැකවරනය දී වදාළා නොවේද!

ඒ රජ දරුවන්ගේ අම්මලාටත් රාජමාතාව කියනවා. නැත්නම් රාජ මහේෂිකා කියලත් කියනවා. ස්ත්‍රීන්ට ලැබෙන ඒ නාමයන් ඉතාමත් සුලභව අසන්නට ලැබෙනවා. නමුත් යම් අම්මා කෙනෙකුට ‘බුද්ධමාතා’ යන උතුම් නම අහන්ට ලැබෙනවා නම් ඇත්තෙන්ම ඒ නාමය අසන්ට ලැබීම අතිශයින්ම දුර්ලභයි.

මහා වීරයාණන් වහන්ස, මං බොහෝ කල් මේ සසරේ පතාගෙන ආ ප්‍රාර්ථනාවක් නිසාමයි නුඹවහන්සේ ව මට ලැබුනේ. ඉතා පුංචි දෙයක් වේවා මහා දෙයක් වේවා නුඹවහන්සේ වෙනුවෙන් මං කළයුතුව තිබුණු සෑම දෙයක්ම සම්පූර්ණ කළා.

සසර දුක් නැති කරන, ලෝක නායක වූ වීරයාණන් වහන්ස, මං මේ ශරීරය අත්හැරලා අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාන්ට කැමැතියි. මට එයට අවසර දී වදාළ මැනව.

මහා වීරයාණන් වහන්ස, චක්‍ර ලක්ෂණය , අංකුස හෙවත් හෙණ්ඩුවේ ලක්ෂණය, ධජ ලක්ෂණය, යනාදියෙන් ආකීර්ණ වී ගිය කෝමළ රක්ත වර්ණ පද්මයක් බඳු නුඹ වහන්සේගේ ඒ ශ්‍රී පාදයන් මොහොතකට දිඟුකොට වදාළ මැනව. පුත්‍ර ප්‍රේමයෙන් යුක්තව මං නුඹ වහන්සේට ප්‍රණාමය පුදකරන්ට කැමතී.

මහා රන් කඳක් බඳු නුඹ වහන්සේගේ රන් වනින් බැබළෙන ඔය ශ්‍රී ශරීරය පෙන්වා වදාළ මැනව. දෙතිස් මහා පුරිස් ලකුණින් බබළන නුඹ වහන්සේගේ රන්වන් ශ්‍රී ශරීරය මේ දෑසින් අවසන් වතාවට දැකබලාගෙන, නායකයාණන් වහන්ස, මං ශාන්ත වූ අමා නිවනට යන්නම්!

එතකොට අපගේ මහා කාරුණික භාග්‍යවතුන් වහන්සේ දෙතිස් මහා පුරිස් ලකුණින් බැබළී ගිය අලංකාරවත් වූ අසිරිමත් වූ සම්බුදු බඳ, නැගී එන හිරුමඬලක් වලාවෙන් මිදී දර්ශනය වන සෙයින් තම පුංචි අම්මා වන ප්‍රජාපතී තෙරණිය හට දර්ශනය කොට වදාළ සේක.

එතකොට අපගේ ප්‍රජාපතී ගෞතමී තෙරණි තොමෝ, මැනවින් පෙති විහිදා පපී ගිය අරවින්දයක් (පියුමක්) බඳු, හිමිදිරි අහසේ නැගී එන ළහිරු මඬලක් බඳු, සක් ලකුණු ආදියෙන් බැබළී ගිය අප භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාද පද්මය මත සිරසින් වැඳ වැටුනාය……

” සූර්ය වංශය තුන්ලොවෙහි බැබළවූ මහා ධජය වූ හිරුමඬලාණෙනි..! මාගේ මරණය සිදුවන මේ අවසන් මොහොතේ මම නුඹ වහන්සේට නමස්කාර කරමී…! මං යළි කිසි දාක මේ දෑසින් නුඹ වහන්සේව දකින්නේ නෑ…!

ලොවෙහි මුදුනට වැඩි මුනිඳාණන් වහන්ස! ලෝකයෙහි ස්ත්‍රීන් යනු බොහෝ අඩුපාඩු සහිත වූ දොස් සහිත වූ පිරිසක් බව මටත් තේරෙනවා. අනේ! ඒ නිසා මා අතිනුත් කිසියම් අඩුපාඩුවක් දොසක් වූයේ නම් කරුණාවට ආකරයක් බඳු මුනිඳාණන් වහන්ස! මට සමාව දෙන සේක්වා !!!

ස්ත්‍රීන්ටත් මේ බුදු සසුනෙහි පැවිදි බව ලබා දෙන්ට කියමින් අනේ මාත් නැවත නැවත ඉල්ලා සිටියා. ඉතින් ඒ කටයුතුවලදී මා අතින් කිසියම් අඩුපාඩුවක් දොසක් වූයේ නම් නරෝත්තමන් වහන්ස, මට සමාව දෙන සේක්වා  !!!

මහා වීරයාණන් වහන්ස, නුඹ වහන්සේ භික්ෂුණීන් හට අවවාද අනුශාසනා කරන්ට කියා මා හට පනවා වදාළ නිසා මාත් භික්ෂුණීන් වහන්සේලාට අවවාද අනුශාසනා කළා. ලොවට සමාව දෙන්නවුන් අතර අග තැන්පත් මුනිදාණෙනි, අනේ….එසේ අවවාද අනුශාසනා කිරීමේදී මා අතින් ඒ භික්ෂුණීන් හට වරදවා කළ අවවාද අනුශාසනාවක් වූයේ නම් ඒ ගැන මට සමාව දෙන සේක්වා  !!!”

එතකොට අපගේ භාග්‍යවතුන් වහන්සේ ගෞතමී මහරහත් තෙරණියට මෙසේ වදාළා.

” ගුණධර්මයෙන් බැබළී ගිය තැනැත්තී , සමාවක් දීමට තරම් කිසිදු කරුණක් දකින්ට නැති කල්හී කවර කරුණකට නම් සමාව දෙන්ට ද? අමා නිවන කරා පිරිනිවන් පෑම පිණිස පිටත්ව යන්නා වූ ඔබට මතු මත්තෙහි මං කුමක් නම් කියන්ට ද?

පාරිශුද්ධ ගුණයෙන් කිසිදු අඩුවක් නැතුව සිටින මාගේ ශ්‍රාවක භික්ෂු සංඝයා කෙමෙන් කෙමෙන් මේ ලෝකයෙන් නික්මී පිරිනිවීමට යන්ට පටන් අරගෙන තියෙන කාලයෙහි , හිරු මඬල උදාවීගෙන එද්දී අහස්කුස දිලිසෙමින් බැබළී ගිය තාරුකාවන්ට සිදුවන ව්‍යසනය දැක කලින් ම ආකාසයෙන් ඉවත්වන චන්ද්‍ර ලේඛාවක් වගෙයි ඔබ”

සඳ මඬල පිරිවරාගත් තාරුකා පෙළක් මහාමේරු පර්වතය පැදකුණු කරන්නා සෙයින් ඒ අනිත් රහත් තෙරණින් වහන්සේලාත් භාග්‍යවතුන් වහන්සේව ප්‍රදක්ෂිණා කළා. භාග්‍යවතුන් වහන්සේගේ මුව මඬල දෙස නෙත් විදහා බලා සිටියා.

එතකොට මහා ප්‍රජාපතී ගෞතමී තෙරණියෝ මෙසේ පැවසුවා,

” අනේ මහා වීරයාණන් වහන්ස ! නුඹ වහන්සේගේ මුව මඬල දෙස කොයිතරම් කල් බලා සිටියත් මේ දෑස නම් කවරදාකවත් සෑහීමකට පත්වන්නේ නෑ. නුඹ වහන්සේගේ වචනවලට කොයි තරම් කල් සවන් දීගෙන සිටියත් මේ කනත් එහෙම තමා… කවරදාකවත් සෑහීමකට පත් වන්නේ නෑ. නමුත් මුනිඳාණන් වහන්ස ! හුදෙක් මාගේ මේ එකම එක සිත ඒ අමා දම් රසයෙන් සම්පූර්ණයෙන් ම තෘප්තිමත් වුනා. සෑහීමකට පත් වුනා.

නරෝත්තමයන් වහන්ස, මිසදිටු වාද බල මැඩගෙන නුඹවහන්සේ පිරිස්මැද අභීත සිංහනාද පවත්වද්දී යම් කෙනෙකුට නුඹ වහන්සේගේ අසිරිමත් මුව මඩල දකින්ට ලැබුනොත්, සත්තකින්ම ඒ ඇත්තෝ මහා පින්වන්තයි!

අසිරිමත් ලොවුතුරා ගුණ දරන මුනිඳානන් වහන්ස, දිගු පා ඇඟිලි ඇති, තඹ පැහැයෙන් දිලිසෙන නිය ඇති, දික් වූ විලුඹ ඇති, අතිශයින්ම ලස්සන නුඹ වහන්සේගේ ශ්‍රී පාද පද්මයන් යමෙකුට වන්දනා කරන්ට ලැබෙනවා නම්, සත්තකින්ම ඒ හැමෝම මහා පින්වන්තයි !

නරෝත්තමයාණන් වහන්ස, මධුර රසයෙන් පිරී ගිය, සිතට මහා ප්‍රීතිය ඇති කරවන , සිත පෙළන ද්වේෂය නැතිකරන , සිතට සුව පහසුව ඇති කරන, නුඹ වහන්සේ පවසන අරුත් පිරි සම්බුදු වදන් ලොවෙහි කාට හෝ අසන්ට ලැබෙනවා නම් සත්තකින්ම ඒ හැමෝම මහා පින්වන්තයෝ !

මහා විරයාණන් වහන්ස, මටත් පුළුවන් වුනා නුඹ වහන්සේගේ කෝමල සිරිපා කමල් නිතර නිතර වැඳුම් පිදුම් කරගන්ට. ශ්‍රීමතාණන් වහන්සේ වදාළ සුන්දර අරුත්බර වදන් ඇසීමෙන්මයි මං ඒ සැනසීම ලැබුවේ. එනිසා මාත් මහා පිංවන්තයි!