ඛේමා මහ රහත් තෙරණින් වහන්සේ

සියලු ලොවුතුරා දහම්හි විශාරද  වූ භවත්‍රයට ම නායක වූ පදුමුත්තර නම් ජිනේන්ද්‍රයන් වහන්සේ මෙයින් සියක් දහසක්වන කප්හි පහළ වූ සේකැ. එකල මම හංසවතී නගරයෙහි දිලියෙන රන් රුවන් ඇති සිටු කුලයෙකැ උපන්නෙමි. මහත් සුවයෙන් සමන්විත වීමි. මම් ඒ මහාවීරයන් වහන්සේ වෙතැ එළැඹැ දම් දෙසුම් ඇසීමි. එයින් උපන් ප්‍රසාද සිතින් යුතු මම් ජිනෙන්ද්‍රයන් වහන්සේ සරණ ගියෙමි. මාපියන්ට දන්වා ශ්‍රාවකයන් සහිත වූ බුදුරජාණන් වහන්සේ සත් දිනක් වැළඳවීමි. සත් දවස ඉක්මගිය කල්හි මහ නුවණැත්තන් අතුරෙහි අග්‍ර වූ මෙහෙණක භාග්‍යවතුන් වහන්සේ එතදග්‍රස්ථානයෙහි තබාලූ සේක. ඒ අසා ප්‍රමුදිත වැ යළි ඒ මහර්ෂීන් වහන්සේට සත්කාර කොට වැඳ හෙවැ ඒ තනතුර ප්‍රාර්‍ථනා කළෙමි. ඉක්බිති ජිනේන්ද්‍රයන් වහන්සේ මෙසේ කී සේක.

 “නුඹගේ ප්‍රාර්ථනාව සමෘද්ධ වේවා. නුඹ විසින් සංඝයා සහිත මා පිදීමෙහි අප්‍රමාණ විපාක ඇත්තේ ය. මෙයින් සියක්දහස් වන කප්හි ඔක්කාක වංසය සම්භව කොට ඇති ගෝතම නම් වූ ශාස්තෲන් වහන්සේ ලොවැ පහළ වන සේකැ. නුඹ ඒ ශාස්තෲ ධර්මයට හිමිවූ ධර්මයෙන් නිර්මිත වූ ඒතදග්‍රයට පැමිණි ඛේමා නම් ඖරස ශ්‍රාවිකා වන්නාහු ය.”

ඒ කුසල කර්ම හේතුයෙන් ද චේතනා ප්‍රණිධි හේතුයෙන් ද මම මිනිස් කය හැරපියා තව්තිසා දෙව්ලොව ට පැමිණියා වෙමි. එයින් සැව ‍යාම දෙව්ලොවට ගියෙමි. එයින් තුසිතයට ගියෙමි. එයින් නිර්මාණරතියට ද එයින් පරනිර්මිතවශවර්ති දෙව් ලොවට ද ගියෙමි. යම් යම් තෙනෙක උපන්නෙම් ද ඒ කුශල කර්‍ම බලයෙන් ඒ ඒ තන්හි රජුනට මෙහෙසිව උපන්නෙමි. එයින් සැව මිනිස් බව්හි සක්විති රජුන්ට ද, ප්‍රදේශ රජුන්ට ද මෙහෙසිව උපන්නෙමි. දෙවියන් කෙරෙහි දු මිනිසුන් කෙරෙහි දු සැපත් වළඳා සැම තන්හි සුවපත් වැ නොයෙක් කප්හි හැසුරුනෙමි.

මෙයින් එක් අනූවන කප්හි මනහර නුවන් ඇති සියලු ධර්මයන් දක්නා විපස්සී නම් ලෝකනාථයන් වහන්සේ උපන් සේකැ. මම නරසාරථී වූ ඒ ලෝකනාථයන් වහන්සේ වෙතැ එළැඹැ ප්‍රණීත ධර්‍මය අසා බුදු සසුන්හි පැවිදි වීමි. දස දහස් වසරක් ඒ වීරයන් වහන්සේගේ සසුන්හි බඹසර හැසිර සමථ විදර්ශනා වඩමින් බහුශ්‍රැත වැ පර්‍ය්‍යාප්ති – ප්‍රතිපත්ති දෙක්හි නිපුණ වැ විචිත්‍ර කථා ඇති වැ ශාස්තෲන් වහන්සේගේ අනුසසුන් කරන්නියක්වැ විසීමි. ඒ අත් බැවින් චුතවැ තුසිත දෙව්ලොවැ යශස් ඇති වැ උපන්නෙම් බඹසර බෙලෙන් එහි සෙසු දෙවියන් අභිභවා සිටියෙමි.

යම් යම් තෙනෙකැ මම් උපන්නෙම් ද, ඒ ඒ තෙනැ මහාභෝග – මහාධන ඇති වූයෙමි. නුවණැති වූයෙමි. රූමත් වූයෙමි. විනීත පිරිස් ඇති වූයෙමි. ඒ කුසල කර්මයෙන් බුදුසසුන්හි බඹසර හැසිරීමෙන් චිත්තප්‍රිය වූ සියලු සම්පත්තීහු මට සුලභ වුහ. උත්පත්ති වශයෙන් යම් යම් තෙනකට ගියා වූ ද, මා හට යම් කිසිවෙක් ස්වාමි පුරුෂයා වේද, හේ මාගේ පෙර පින් හේතුයෙන් මට අවමන් නො කරයි. ගරු කරයි. ස්නේහ දක්වයි.

මේ භද්‍ර කල්පයෙහි මහා යශස් ඇති කෝණාගමන නම් වූ බුදුරජාණන් වහන්සේ ‍ලොවැ පහළ වූ සේකැ. එකලැ මම් බරණැසැ බොහෝ සමෘද්ධිමත් කුලයෙකැ දුවක් වීමී. මම් පෙර අත්බැව්හි දාන සහායිකා වූ ධනඤ්ජානී හා සුමේධා සමගින් මහ සඟනට අරමක් කරවා පිදුවෙමි. මහ සඟන උදෙසා වෙහෙරක් ද කරවීමි. එයින් සැවැ අපි සියල්ලෝ තව්තිසා දෙව්ලොවැ උපනුම්හ. යශසින් අගතැන් වූහ.

මේ කල්පයෙහි ම බ්‍රාහ්මණවංශික මහායශස් ඇති ගෝත්‍රයෙන් කාශ්‍යප නම් වූ ශාස්තෲන් වහන්සේ ලොවැ පහළ වූ සේකැ. එකලැ බරණැස් පුරවරයෙහි මහර්ෂි බුදුරජාණන් වහන්සේගේ උපස්ථායක වූ නරේශ්වර කිකී නම් කාසී රජෙක් වූයේ යැ. ඒ රජුහට ‘සමණී’ නම් දෙටු දියණි වූ මම් ජිනේන්ද්‍රයන් වහන්සේගේ ධර්‍මය අසා පියාණන්ගෙන් පැවිද්ද පිණිස අවසර ඉල්ලා සිටියෙමි. මාගේ සොහොවුරියෝත් එසේම කළෝ ය. පිය තෙමේ අපගේ පැවිද්ද නො අනුදත්තේ යැ. එකල අපි හවුරුදු විසිදහසක් මුළුල්ලෙහි අනලස් වැ කුමරි බඹසර වුසූම්හ, රාජදුහිතෘ වූ සුවසේ වැඩුණු බුද්ධෝපස්ථානයෙහි නිරතුරු ඇලුණු ප්‍රමුදිත වූ කිකී රජුගේ සත් දියණිවරු නම්:  සමණී යැ සමණගුත්තා යැ භික්ඛුනී යැ භික්ඛුදාසිකා යැ ධම්මා යැ සුධම්මා යැ සත්වැනි සඞ්ඝදාසී යැ. (මෙකලැ මම් යැ උප්පලවණ්ණා යැ පටාචාරා යැ කුණ්ඩලකේසී යැ කිසාගෝතමී යැ ධම්මදින්නා යැ විශාඛා යැ)

ඒ නරශ්‍රේෂ්ඨ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ආශ්චර්‍ය්‍යජනක මහානිදාන සූත්‍රාන්තය දෙසන කල්හී අපි එය ප්‍රගුණ කළෙමු. ඒ කුශලකර්‍ම හේතුයෙන් ද, චේතනාප්‍රණිධි හේතුයෙන් ද මිනිස් කය හැරපියා තව්තිසාවෙහි උපන්නෙමු. මේ අන්තිම බවයෙහි උතුම් සාගල නුවර මද්‍ද රජහුගේ මනවඩන ප්‍රිය වූ දුහිතෘව උපන්නෙමි. මා උපන් කෙණෙහි ම සියළු නුවර ක්‍ෂෙම (නිර්භය) වියැ, එහෙයින් මට ‘ඛේමා’ යන නම ගුණ වශයෙන් ලැබිණි. රූපයෙන් භූෂිත වූ මා යම් කලෙකැ යොවුන් බවට පැමිණියා ද, එකලැ පිය තෙමේ මා බිම්සර රජහට මෙහෙසි කොට දුන්නේ යැ. රූපයෙහි මමායනයෙන් ඇලුණු මම ඒ රජුට අතිශයින් ප්‍රිය වීමි. රූපයෙහි දොස් පවසතැ යි සිතූ මම් මහාකාරුණික බුදුරදුන් වෙතැ නො එළඹුණෙමි. එකල්හි බිම්සර මහරජ මා ගැන අනුකම්පායෙන් වේළුවනය වර්‍ණනා කරවා ගායකයන් ලවා උපායෙන් මා ඉදිරියේ ගායනා කරවි.

 “බුදුරදුන්ගේ ගඳකිළිය පිහිටි රම්‍ය වූ වේළුවනය යමකු විසින් නො දක්නා ලද නම් ඔහු නන්‍දන වනය නොදක්නා ලදැ යි අපි හඟනෙමු. යමක්හු විසින් නරපුත්‍රයන්ට නන්‍දන වූ සතුට එළවන වේළුවනය දක්නා ලද ද ඔහු විසින් දෙවියන්ට අතිශයින් සතුට එළවන නඳුනුයන දක්නා ලද වෙයි. දෙවියෝ නඳුනුයන හැරපියා මිහිතලයට බැස රම්‍ය වූ වේළුවනය දැක බෙහෙවින් විස්මිත වූවාහු තෘප්තිමත් නො වෙත්. රජුගේ පිනින් උපන්, බුදුරදුන්ගේ පිනින් මනරම් වූ යම් වනයෙක් වේ ද, ඒ වනයාගේ ගුණ සමුදාය කවරෙක්නම් නොඅඩු වැ වනන්ට සමර්ථ වෙත්ද?”

ඒ ගායකයෝ මෙවැනි තේරුමක් ගැයුවෝ උස් හඬින් වේළුවනය වර්ණනා කොට සිටියහ. එවිටැ මාගේ කනට මිහිරි වූ ඒ වනසමෘද්ධිය අසා එඋයන දකිනු රිසි වැ රජුට ඒ වග සැළකළෙමි. එවිටැ මිහිපල් තෙමේ උයන දක්නට උත්සුක වූ මා මහත් පිරිවරින් එහි යැවී. හේ මෙසේ ද කීය.

“මහා ඉසුරුමත් තැනැත්තිය. යා. එඋයන බලව. සුගතයන් වහන්සේගේ ප්‍රභායෙන් යළි යළි රැදුණු යම් වනයක් සැමදා බබළා ද, යා, නේත්‍රරසායන නෙත්කළු එඋයන බලව.”

යම් දිනෙක මුනීන්ද්‍රයන් වහන්සේ පිඬු පිණිස රජගහ පුරවරයට වැඩිසේක් ද ඒ අවසරයෙන් මම් වේළුවනය දක්නට එළඹුනෙමි. එදවසැ මම් නානා බමරුන්ගේ ගුමු ගුමු රැව් ඇති කෙවිල්ලන්ගේ ගී හඬ සහිත වූ මොනර ගණයාගේ නැටුම් ඇති, විරල මිනිස් හඬ ඇති ජනාකීර්ණ නොවූ නොයෙක් සක්මන් මළුයෙන් හොබනා කුටිමණ්ඩපයෙන් ගැවසුණු යෝගීවරයන්ගෙන් බැබැළුණු පිපුණු උයනට පිවිසැ ඔබමොබ හැසිරුණෙම් “මාගේ නෙත් සළුල විණැ” යි සිතීමි. එහි දු භාවනානුයෝගී තරුණ මහණ කෙනෙකුන් දැක මෙසේ සිතීමි.

“මෙබඳු සිත්කලු වෙනෙහි වසන නව යොවුන් වියෙහි සිටි මේ මහණ රූපයෙන් සමන්විත ද වෙයි, කාන්තියෙන් වසන්තය මෙනි. මුඬු වූ මේ මහණ සඟළ සිවුරු පෙරවැ රූපාදියේ ඇල්ම හැරපියා රුක් මුල්හි හුන්නේ ධ්‍යාන කරනුයේ විනැ.  ගෘහස්ථයා විසින් මුලින් සුවසේ කම් සැප විඳ පසුවැ ජරාවට පැමිණියාට පසු මේ ධර්මයේ හැසිරිය යුතුයැ. මෙයනම් යහපත් නො වන්නේයැ.”

බුදුරදුන් නැතැ යි සිතා ජිනෙන්ද්‍රයන් වහන්සේගේ වාසස්ථානය වූ ගඳකිළියට එළැඹියෙමි. එවිටම මම් උදාහිරු වැනි ජිනෙන්ද්‍රයන් වහන්සේව දිටිමි. පවන් සලන වරඟනක සමග එකලා වැ සුවසේ වැඩ හුන් මුනිඳුන් දැක ‘මේ නරශ්‍රේෂ්ඨයා රුක්‍ෂ නො වෙති’ යි සිතීමි.

ඒ යුවතිය රන්වන් පැහැ ඇත්තක, පියුම් බඳු මුහුණ හා නෙත් ඇත්තක, බිඹුපල වන් ලවන් ඇත්තක, කොඳවන් දසන් ඇත්තක, මන නුවන් පිනවන්නක. රනෝවිලි වන් සවන් ඇත්තක, කලස් වැනි මනා පියොවුරු ඇත්තක, සිහිනිග ඇත්තක, මනා උකුල් පෙදෙස් ඇත්තක, රඹ වන් ඌරු ඇත්තක, මනහර අබරණ ඇත්තක. රතු වස්ත්‍ර පොරෝනා හැඳි නිල්වන් මටසිලුටු වස්ත්‍ර ඇති තෘප්තියට නො පැමිණියහෙන රූපයෙන් යුතු ඕ භාවහාවයෙන් සමන්විත වූ යැ. ඇය දැක මම් මෙසේ සිතුවෙමි.

“අහෝ! ආශ්චර්‍ය්‍යයෙකි! මේ අභිරූපිකාව කිසි කලෙකත් මේ ඇසින් මා නුදුටුවිරූ යැ.”

ඉක්බිති ඕ ජරාවෙන් මඩනාලදු වැ විවර්‍ණ වැ පුළුල් මුව ඇති වැ බුන් දත් ඇති වැ සුදු කෙහෙ ඇති වැ කෙලතොලු වැ අපිරිසිදු වැ හැකුළුණු කන් ඇති වැ සුදුවන් නෙත් ඇති වැ එල්බෙන අශුභ වූ පියෙවුරු ඇති වැ රැළි වැටුණු සියලඟ ඇති වැ නහර ඉල්පුණු සිරුරැති වැ වක්වූ කය ඇති වැ සැරයටිය දෙවැනි වැ බෙහෙවින් පඬුවන් වැ කෘශ වැ වෙවුළුම් ඇති වැ ඇද වැටුණා යැ. ඒ හේතුයෙන් මාහට “යමෙක්හි අන්‍ධබාලයෝ ඇලෙත් ද ඒ අපවිත්‍ර රූපයට නින්‍දා වේව” යි නො වූ විරූ ලොමුදහගන්වන සංවේගයෙක් වූයේ ය. එකල්හි මහාකාරුණික වූ සුගතයන් වහන්සේ සංවේගපත් මනසැති මා දැක මේ ගාථා වදාළ සේකැ.

 “ඛේමාවනි, රෝගාදියෙන් ආතුර වූ දෙතිස් කුණප හෙයින් අපවිත්‍ර වූ කුණු ව වැගිරෙන අඥානයන් විසින් අභිනන්‍දිත වූ කය බලව, මෙහි ඇති අසුභය බලව. සුසමාහිත කොට වඩව. තොපට කායගතාසතිය වේවා! මේ ආධ්‍යාත්මකාය යම්සේ ද තෙල බාහිරකයත් එසේ යැ, තෙල බාහිර කය යම්සේ ද මේ ආධ්‍යාත්ම කයත් එසේ යැ යි ආධ්‍යාත්ම වූත් බාහිර වූත් කයෙහි කාමච්ඡන්‍දය දුරු කරව. නිත්‍ය රහිත හෙයින් අනිත්‍ය සංඥාව වඩව. යම් කෙනෙක් රාගයෙන් ඇලුණාහු වෙත් ද, තමා කළ දැලෙහි වැටෙන මකුළුවා සෙයින් උහු පුන පුනා ශෝකයට වැටෙත්. අපේක්‍ෂා රහිතයෝ තෙල රාගය සිඳ කම්සුව හැරපියා සසර හැරයෙත්”

නරසාරථි වූ සර්වඥයන් වහන්සේ තවදුරටත් මා හික්මෙනු පිණිස මට මහා නිදාන සූත්‍රාන්තය දේශනා කළ සේකැ. ඒ උතුම් සූත්‍රාන්තය ශ්‍රවණය කොට පෙර කසුප් බුදුන් සමයෙහි පුරුදු කරනා ලද ඒ මහා නිදාන සූත්‍රාන්‍ත සංඥාව මම් සිහි කළෙමි. එහි සිටියා වූ මැ මම් ධර්‍මචක්‍ෂුස ලැබුවෙමි. සෝතාපත්තිමග්ග ඥාණය පිරිසිදු කොට ගත්තෙමි. එකෙණෙහිම මහර්ෂීන් වහන්සේගේ පාමුල වැඳ වැටී කළ වරද දෙසනු පිණිස මෙ වදන් කීමි.

“සියල්ල දක්නා සියල්ල දක්නා උතුමාණෙනි, නුඹ වහන්සේට නමස්කාර වේවා, කරුණාකරයාණනි, නුඹ වහන්සේට නමස්කාර වේවා. සසර තරණය කළ මහතාණනි, නුඹ වහන්සේට නමස්කාර වේවා. අමෘතදායකයාණනි, නුඹ වහන්සේට නමස්කාර වේවා. දෘෂ්ටිගහන වනයට වැදුනු කාමරාගයෙන් බෙහෙවින් මුළා වූ මම් සම්‍යග්උපායෙන් නුඹ වහන්සේ විසින් හික්මවන ලදුයෙම් විනයෙහි ඇලුණා වෙමි. නුඹ වහන්සේ වැනි මහර්ෂීන්ගේ නොදැක්මෙන් සම්‍යග් මාර්ගයෙන් වෙන් වූ සත්වයෝ සසර සයුරෙහි ගිලී මහදුක් විඳිති. යම් කලෙක මම ලොවට පිහිට වූ කෙලෙස් රහිත වූ මරණාන්තයට ගිය නුදුරු අරම්හි වැඩ සිටුනා බුදුරදුන් නුදුටුයෙම් ද ඒ වරද දෙසමි. මහා හිත වූ නිර්වාණදායක වූ මා විසින් අහිත යැයි සැක කරන ලද බුදුරදුන් වෙතැ රූපයෙහි ඇලුනෙම් නො එළැඹු ණෙමි. ඒ වරදට මා හට කමා කළ මැනවි.”

එකල්හි මහා කාරුණික වූ ජිනේන්ද්‍රයන් වහන්සේ මා අමා දියෙන් ඉසිනසේක් මිහිරි වූ ගැඹුරුඝෝස ඇති වැ ‘ඛෙමාවනි, නැඟී සිටුව’ යි වදාළ සේකැ. එවිටැ මස්තකයෙන් නැමැද සම්බුදු රජුන් ප්‍රදක්‍ෂිණා කොට රජ ගෙට ගොස් රජු දැක මෙවදන් පැවසීමි.

“රජතුමනි, පුදුමයෙකි. ඔබ විසින් මේ සම්‍යග්උපාය සිතන ලද යැ. උයන දකිනු රිසි ඇත්ත විසින් නිර්වාණදායක මුනිඳු දක්නා ලදි. මහරජ, ඉදින් තොපට රිසි වේ නම් අකම්ප්‍ය ගුණ ඇති ඒ බුදුන්ගේ සසුන්හි පැවිදි වන්නෙමි, බුදු වදනින් මම රූපයෙහි කලකිරුණා වෙමි.”

එවිටැ මිහිපල් තෙමේ ඇඳිලි බැඳ මෙසේ කීහ.

“සොඳුර, තොපට පැවිද්ද අනුදනිමි. තොපගේ පැවිද්ද සිදු වේවා.”

එකල්හි මම පැවිදි වැ අඩමසක් එළැඹැසිටි කල්හි පහන දැල්වීමත් නිවීමත් දැක සංවේග මනස් ඇතියෙම් සියලු සංස්කාරයන්හි කලකිරුණෙමි. අරහත්වයට පත් වුනෙමි. සෘද්ධියෙහිද දිබ්බසෝතඤාණයෙහි ද චේතෝපරියඤාණයෙහි ද වශී වූයෙමි. මම් පෙරැවිසූකඳපිළිවෙළ දනිමි. දිවැස පිරිසිදු කරන ලද මාගේ සියලු ආස්‍රවයෝ ගෙවී ගියහ. දැන් පුනර්භවයෙක් නැති. අත්‍ථ – ධර්‍ම – නිරුත්තියෙහි ද එසෙයින් ම ප්‍රතිභානයෙහි ද මාගේ ඥාණය පිරිසිදු යැ. බුදුසසුන්හි ඥානය උපනැ. මම් සප්ත විශුද්ධියෙහි දක්‍ෂයෙමි. සසුන්හි වශීප්‍රාප්ත වෙමි.

ඉක්බිති කෝශලාධිපති රජු විසින් භෝජනවස්තුයෙහිලා ඇසුවා වූ සියුම් පැන ඇති සැටියෙන් විසඳන්නියක් වූමි. එකල්හි ඒ රජ සුගතයන් වහන්සේ වෙතැ එළැඹ විචාළේ ය. ඒ පැන යම් අයුරෙකින් මා විසඳන ලදද, එසෙයින් ම ශාස්තෲන් වහන්සේද විසඳා වඳාළහ. නරෝත්තම ජිනේන්ද්‍රයන් වහන්සේ ඒ ගුණයෙහි තුටු වූ සේක් මහා ප්‍රඥා ඇති භික්‍ෂුණීන් අතරැ අග්‍ර යයි මම් එතදග්‍රයෙහි තැබූ සේකැ.

මා විසින් කෙලෙස්හු දවන ලදි. බුදුසසුන් කරන ලදි. අරහත්වයට පත් වුනෙමි