උප්පලවණ්ණා මහ රහත් තෙරණින් වහන්සේ
සෘද්ධියෙන් අගතැන්පත් උත්පලවර්ණා භික්ෂූණී තොමෝ ශාස්තෲන් වහන්සේගේ පා වැඳ මෙවදන් පැවසූහ.
“ඒ ඒ ජාතිවල උපන් මම් මේ ජාතියේ දී තරණය කළ සංසාර ඕඝ ඇතිව අචල වූ නිර්වාණ පදයට පැමිණියා වෙමි. මා විසින් සියලු දුක් ක්ෂය කරන ලදී. මහාමුනිතුමනි, මම් එය සැලකරමි. බුදුසසුන්හි පහන් වූ යම් පමණ පිරිස් ඇත් ද, යම් කෙනෙකුන්ට මා කළ වරදෙක් ඇත් ද, භාග්‍යවතුන් වහන්සේ මට කමත් වා. මහාවීරයන් වහන්ස, මම් මෙසේත් කියමි. සසර සැරිසරන කල්හි ඉදින් මාගේ යම් දොසෙක් වී නම් ඒ දොස ක්ෂමා කරන සේක්වා.”
ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළ සේක.
“පින්වත් උප්පලවණ්ණාවනි මාගේ අනුසසුන් කරව, සෘද්ධි ද දක්වව, යම් පමණ සිවුපිරිස් වේ ද, අද ඔවුන්ගේ සැක සිඳුව.”
එවිට තෙරණිය මෙසේ කීහ.
“මහාවීරයාණෙනි, නුඹ වහන්සේගේ දුහිතෘ වූ මා විසින් බෙහෙවින් අපහසු වූ බොහෝ දුෂ්කර වූ ක්‍රියා කරන ලදි. මාගේ සිවි පැහැය උපුලක පැහැ බඳු වෙයි. චක්ෂුර්මත් මහාවීරයාණනි, මම් නමින් උත්පලා නම් වූ ශ්‍රාවිකා තොමෝ වෙමි. මම් නුඹ වහන්සේගේ පා කමල් වඳින්නෙමි.”
“රාහුලත්, මමත් නොයෙක් බොහෝ සියගණන් ජාතිවලැ එක ම කුලයෙකැ උපනුම්හ, සමාන රිසි හා මනස් ඇත්තෝ ද වූම්හ. බෙහෙවින් ඒ ඒ ජාතිවලැ මාගේ උපත රාහුල හා එක් වැ ම විය. පුත් රාහුල නම් වී, දූ උත්පල නම් වී, මේ පැසුළු භවය පැමිණි කල්හි දෙදෙන වෙන වෙන උපත් ඇත්තෝ වූම්හ.”
“වීරයන් වහන්ස, මාගේ සෘද්ධි බලනු මැනැවි. ශාස්තෲන් වහන්සේ ට මම් සෘධියෙන් පූජා ප්රාතිහාර්ය දක්වමි.”
මෙසේ පවසමින් තෙරණි තොමෝ අහසට පැන නැංගහ. කෝමාරභව්ව නම් වෛද්‍යයා අතට පත්, තෛලයක් සෙයින් සිව්සයුරු අත් නමැති තලියෙහි බහාලූ හ. තරුණ කෝමාරක යම් පරිදි මුදුතණ සින්දේ ද එසෙයින් පොළොව උදුරා අත් නමැති තලියෙහි බහාලූ යැ. සක්වළ සම කොට අත්ලෙන් මස්තකය වසා නැවත නැවත නන්වැදෑරුම් පැහැපත් වැසිපොද වර්ෂා කරවී. පොළොව වනක් කොට වැලි කැට ධාන්‍ය කොට මේරුව මොහොලක් කොට දැරියක මෙන් මැඩලූ හ. මෙසේ කීහ.
“මම් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ දුහිතෘ වෙමි. නමින් උප්පලවණ්ණා වෙමි. අභිඥාහි වශීභූත වූ මම් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ අනුසසුන් කරන්නියක් වෙමි. උතුමාණනි, මම් නුඹ වහන්සේගේ පා වඳිමි. මහාමුනිතුමනි, මම් සෘද්ධියෙහි ද වශී වෙමි. දිබ්බසෝත ඤාණයෙහි ද චේතෝපරියඤාණයෙහි ද වශී වෙමි.”
“පෙරවිසූ කඳපිළිවෙළ දනිමි, දිවැස පිරිසිදු කරන ලද, සියලු ආස්‍රව ගෙවී ගියේ යැ, දැන් පුනර්භවයෙක් නැත්තේ ය. මහර්ෂීන් වහන්සේගේ ප්‍රභායෙන් අර්ථ – ධර්ම – නිරුක්තියෙහි ද, එසේ මැ ප්‍රතිභානයෙහි ද මගේ ඥානය නිර්මල යැ, පරිශුද්ධ යැ. මහාමුනිතුමනි, නුඹ වහන්සේ සඳහා පෙර බුදුවරයන් වහන්සේලාගේ ශාසනයන්හි ද, ඉන් බැහැර ද මාගේ කුසල් රැස් කිරීම බොහෝ යැ. මා විසින් යම් කුශල කර්මයක් පුරන ලද ද, මාගේ ඒ කර්මය සිහි කරනු මැනැවි, මහාවීරයන් වහන්ස නුඹ වහන්සේ පිණිස මා විසින් පින් රැස් කරන ලද යැ.
අභව්‍යස්ථාන හැරපියා අනාචාරය බැහැර ලන්නියක් වූමි. මහාවීරයන් වහන්ස, නුඹ වහන්සේ පිණිස මාගේ උතුම් ජීවිතය ද පරිත්‍යාග කළෙමි. මහාමුනිතුමනි, තොප පිණිස දසකෙළදහසක් ධනය දුන්මි. මා විසින් මාගේ ජීවිතය ද පරිත්‍යාග කරන ලද වෙයි.”
එකල්හි අති විස්මිත වූ සියලු පිරිස මුදුනින් බදැඳිලි වැ “ආර්‍ය්‍යාවනි, කෙසේ නම් මෙබඳු අසම වූ සෘද්ධි පරාක්‍රම ඇතිවූ දැ” යි ඇසූහ.
තෙරණි තොමෝ මෙසේ පිළිවදන් දුන්හ.
“මෙයින් සුවහස්වන කප්හි මම් නාගකන්‍යාවක් වූමි. එකලැ නමින් ’විමලා’ නම් වූ මම් කන්‍යාවන් අතරැ සාධුසම්මත වූවා වෙමි. ‘මහොරග’ නම් වූ මහනාරජ තෙමේ බුදුසසුන්හි පහන් වූයේ ශ්‍රාවකයන් සහිත වූ මහත් තෙද ඇති පදුමුත්තර මුනිරජුන් නිමන්ත්‍රණය කෙළේ ය. රුවන්මුවා මණ්ඩපයක් ද, රුවන්මුවා පළඟක් ද, රුවන් මුවා උපභෝග දෑ ද, රුවන් දදින් සැරහුණු රුවන්වැලි විසුරුණු මඟ ද පිළියෙළ කෙළේ ය. හේ තූර්ය්යයන් වයනු ලබන්නේ පෙර ගමන් කොට සම්බුදුරදුන් වැඩම කරවූයේ ය. ඒ ලෝකනාථයන් වහන්සේ සිවු පිරිස් සහිත වූ සේක් මහොරග නා රජුගේ භවනෙහි උතුම් අස්නෙකැ වැඩහුන්සේකැ. මහායසස් ඇති නාරජ ආහාර ද පාන ද කෑයුතු දෑ ද බිඳියයුතු දෑ ද මා ඇඟි උතුම් උතුම් දෑ ද දුන්නේ යැ. සම්බුදුරජාණන් වහන්සේ අහරකිස නිමවා පා දොවා මහත් සෘද්ධි ඇති නාරජුගේ නුවණ පමණින් අනුමෝදනා කළසේකැ. මහත් යශස් ඇති නාග කන්‍යා තොමෝ විකසිත පියුමක් බඳු සර්වඥයන් වහන්සේ දැක ශාස්තෲන් වහන්සේ කෙරෙහි අතිශයින් පැහැදුනා වී. මොනොවට බඳනා ලද සිත් ඇති වී.
එකෙණෙහි පියුමතුරා බුදුරජාණන් වහන්සේ මාගේ සිත දැන සෘද්ධියෙන් අගතැන්පත් මෙහෙණක දැක් වූ සේකැ. විශාරද වූ ඒ මෙහෙණ නොයෙක් සෘද්ධි දැක්වූ යැ. ප්‍රමුදිත වූ හටගත් ප්‍රීති ඇති මම් ශාස්තෲන් වහන්සේ ට මෙසේ කීමි.
“වීරයන් වහන්ස, සතුටු සිත් ඇති මම් ඒ මෙහෙණගේ මේ සෘද්ධිය දිටිමි. ඕ තොමෝ කිසෙයින් සෘද්ධියෙහි සුවිසාරද වූ ද?”
“මහත්සෘද්ධි ඇති මෝ මාගේ අනුසාසනා කරන සෘද්ධියෙහි අතිශයින් විශාරද වු මුවින් උපන් මාගේ ඖරස දුහිතෘ වෙයි.” යී සම්බුදුරජානෝ වදාළ සේක.
බුදුරදුන්ගේ වදන් අසා එවිටැ මම් මෙසේ ප්‍රාර්ථනා කළෙමි.
“මම්දු සෘද්ධියෙහි සුවිශාරද වැ ඇය බඳු වෙමි. නායකයන් වහන්ස, ප්‍රමුදිත වූ සොම්නස් සිත් ඇත්තෙම් මම් අනාගතයෙහි සෘද්ධිප්රාප්ත උත්තම මනස් ඇති වැ මෑ බඳු වන්නෙමි.”
මම් ප්‍රභා විහිදෙන මණ්ඩපයෙක්හි මිණිමුවා පළඟෙකැ සඞ්ඝයා සහිත ලෝකනාථයන් වහන්සේ වඩා හිඳුවා ආහාරපානයෙන් සන්තර්පණය කෙරුවෙමි. නාගයන්ගේ උතුම් පුෂ්පයක් වූ අරුණ නම් උපුලෙක් වෙයි. “මාගේ පැහැය මෙසේ වේව” යි එයින් ලෝකනාථයන් වහන්සේ පිදුවෙමි. මම ඒ කුශලකර්මයෙන් ද චේතනාප්‍රණිධියෙන් ද මිනිස්කය හැරපියා තව්තිසා දෙව්ලොවට ගියෙම් එයින් ච්‍යුත ව මිනිස් ලෝකයෙහි ඉපදුනෙමි. පසේබුදු නමකට මම් උපුලින් වැසුණු පිණ්ඩාහාරයක් දුනෙමි.
මෙයින් එකානූවන කප්හි සොඳුරු නුවන් ඇති සියලු දහම්හි චක්ෂුර්මත් වූ විපස්සී නම් සර්වඥයන් වහන්සේ පහළ වූ සේකැ. එකලැ බරණැස් පුරවරයෙහි සිටු දුවක් වැ සඞ්ඝයා සහිත වූ ලෝකනාථ සම්බුදුරජාණන් වහන්සේ නිමන්ත්‍රණය කොට මහදන් දී විනායක වූ මුනිරජුන් උපුලින් පුදා සිතින් ම වර්ණශෝභා ප්‍රාර්ථනා කළෙමි.
මේ භද්‍ර කල්පයෙහි මහායශස් ඇති ගෝත්‍රයෙන් කාශ්‍යප නම් වූ දේශකයන් අතරැ ශ්‍රේෂ්ඨ වූ සම්බුදුරජාණන් වහන්සේ පහළ වූ සේකැ. එකලැ මහර්ෂීන් වහන්සේ ට උපස්ථායක නරදෙටු වූ කිකී නම් කසීරජෙක් බරණැස් පුරවරයෙහි වූයේ යැ. මම් ඔහුට සමණගුත්තා නම් වූ දෙවැනි දූ වූමි. ජිනේන්ද්රයන් වහන්සේගේ ධර්මය අසා පැවිද්ද රිසි කළෙම් පිය තෙමේ අප පැවිද්ද නො අනුදත්තේ යැ. රාජකන්‍යා වූ සුවසේ වැඩුණු පුමුදිත වූ අපි දියණිවරු සත්දෙන එකලැ බුද්ධෝපස්ථානයෙහි නිරත වූවමෝ ගෙහි මැ හිඳ අනලස් වැ විසිදහසක් හවුරුදු මුළුල්ලෙහි කුමරි බඹසර රැකුම්හ.
ඒ කුශලකර්ම හේතුයෙන් ද, චේතනාප්‍රණිධි හේතුයෙන් ද, මම් මිනිස්කය හැරපියා තව්තිසාවට පැමිණියා වෙමි. එයින් සැවැ මිනිසුන් කෙරෙහි මහා කුලයෙකැ උපන් මම් රන්වන් මටසිලිටි උතුම් වස්ත්‍රයක් රහත් නමකට දුනෙමි. එයින් ච්‍යුත වූ මම් අරිට්ඨපුරයෙහි බමුණු කුලයෙකැ තිරීටවච්ඡ නමැත්තහුගේ උම්මාදන්තී නම් මනහර දුහිතෘ වැ උපන්නෙමි. මම් එ අත්බවින් ච්‍යුත වූයෙම් එරට එක් දනව්වකැ ඉතා සමෘද්ධිමත් නො වූ එක්තරා කුලයෙක් හි උපන්නෙමි. එකලැ මම් හැල් කෙතක් රකිමින් ජීවිතය රැක ගත්තෙමි. මම පසේබුදු කෙනෙකුන් දැක පියුමෙන් වසන ලද පන්සියයක් විළඳ පුදා පන්සියයක් පුතුන් පැතීමි. මම් ඒ දැයින් ච්‍යුත වූයෙම් අරණ්‍යයෙහි පියුම්ගැබෙකැ උපන්නෙමි. මම් කසීරට රජුගේ මෙහෙසිය වී සත්කාර – පූජා කරන ලදුයෙම් රාජපුත්‍රයන් පන්සියයක් නො අඩු වැ ප්‍රසූත කළෙමි. යම් කලෙකැ ඔහු යොවුන්බවට පැමිණියාහු ද ජල ක්‍රීඩා කරන්නාහු පත් ගිලිහුණු පියුමක් දැක පසේබුදු වූහ. ඒ මම් ඒ උතුම් පුතුන්ගෙන් වෙන් වූවා එහෙයින් ම ශෝක ඇති වූයෙම් ඒ අත්බවින් ච්‍යුත වැ ඉසිගිලි පසැ එක්තරා ගමෙකැ උපන්නෙමි. යම් කලෙකැ වැඩිවියපත් වූවා දරුවන් ඇති මම් පුතුනට ද සැමියාට ද හුළුකැන් රැගෙන යන්නෙම් පසේබුදුරදුන් අට නමක් පිඬු පිණිස ගමට වඩිනු දැක පුතුන් සිහි කළෙම් ද එකලැ මාහට පුත්‍ර ප්‍රේමයෙන් ක්ෂිරධාරා නිකුත්වී. ඉක්බිති පහන් වූයෙම් ඒ පසේබුදුරදුන්ට සියතින් හුළුකැන් දුන්නෙමි. මම් එයින් ච්‍යුත වූයෙම් දෙව්ලොව නන්දන උයන්හි උපන්නෙමි.
මහාවීරයාණෙනි, අනතුරුව කුදුමහත් බෙවෙහි සරා සුව දුක් අනුභව කොට නුඹ වහන්සේ පිණිස ජීවිත පරිත්‍යාග කළා ද වෙමි. පශ්චිම භවය පැමිණි කල්හි සැවැත් නුවර උපන්නෙමි. මහත් වූ ධන සම්පත් ඇති සුඛිත වූ සුසැදුණු දිලිසෙන නන්රුවන් ඇති සිටුකුලයෙකැ ඉපද සියලු කාමයෙහි සමෘද්ධ වූ මම් ලෝකයා විසින් සත්කාර කරන ලද පුදන ලද වූවෙමි. එසේ මැ, බුහුමන් කරන ලද වූවෙමි. අග්‍ර වූ රූපශෝභායෙන් යුක්ත වැ කුලයෙහි අභිසම්මත වීමි. රූපය යැ භෝගය යැ ශ්‍රී යැ යන මේ කරණ කොටගෙන අතිශයින් ප්‍රාර්ථනා කරන ලද වීමි. නොයෙක් සිය ගණන් සිටු පුත්‍රයන් විසිනුදු ප්‍රාර්ථනා කරන ලද වීමි. ගිහිගෙය හැරපියා ශාසනයෙහි පැවිදි වීමි. අඩ මසක් නො පත් කල්හි රහත්බවට පැමිණියා වෙමි.
මම සෘද්ධියෙන් සියුරැස් රියක් නිර්මාණය කොට ලෝකනාථ වූ ශ්‍රීමත් වූ බුදුරදුන්ගේ පාසඟුළුවන් වැන්දෙමි.
දිනක් තෙරණියෝ බිය වද්දා පර්යංකයෙන් බැහැර කරන්නෙමී’යි සිතා මාර තෙමේ පැමිණියහ. ඒ සිද්ධිය මෙසේය.
වසවත් මරු: “මෙහෙණියනි, තෙපි අග දක්වා පිපුණු මල් ඇති රුකක් කරා එළැඹැ ඒ සල්රුක්මුල එකලාව සිටිනා හ. පැහැ සටහනින් තොපට දෙවැන්නක් නො ද ඇති. බලව, තෙපි ධූර්තයනට බියපත් නො වවු ද?”
තෙරණි තොමෝ: “මෙහි පැමිණි තා බඳු වූවෝ වන්නාහු නම්, එබඳු සියදහස් ගණන් ධූර්තයනට ද බියපත් නො වෙමි, ලොම් නො සලමි, නො තැතිගනිමි. මාරය, එකලා වුව ද තට බියපත් නො වෙමි. මම් අතුරුදහන් වෙමි. තාගේ කුසතුළට හෝ පිවිසෙමි, ඇසිපිය අතුරෙහි සිටිනා වූ ද මා තෝ නො දක්නෙහි. සිත වසඟ වූ කල්හි සෘද්ධිපාදයෝ මා විසින් මොනොවට වඩන ලදහ, සියලු බන්ධනයෙන් මිදුණා වෙමි. ඇවැත, තට බියපත් නො වෙමි”
“කාමයෝ අඩයටිහුල් බන්දහ. ස්කන්ධයෝ ඔවුන්ගේ ප්‍රහාරයෝ යැ, තෙපි යමක් කාමරති යයි කියවු ද ඒ මට දැන් අරතිය ය. සියලු භවයෙහි නන්දි සංඛ්‍යාත තෘෂ්ණාව නසන ලද ය., අවිද්‍යාව පළන ලද ය. එම්බා පාපී මාරය. මෙසේ දැනගනු, තෝ මා විසින් නසන ලද ය. මහා වීරයාණන් වහන්සේ ඒ ගුණයෙහි තුටු වූවාහු පිරිස් මැද මම් සෘද්ධිමත් මෙහෙණන් කෙරෙහි අග්‍ර යයි එතදග්රහයෙහි තැබූ සේක.
මා විසින් ශාස්තෲන් වහන්සේ ගෞරවයෙන් ඇසුරු කරන ලද්දෙමි. බුදුසසුන් කරන ලදිමි. යම් අර්තථයක් සඳහා ගිහිගෙන් නික්මැ බුදුසසුන්හි පැවිදි වූවෙම්ද ඒ අර්ථය මා විසින් ලබන ලද්දෙමි.