සුචි ජාතකය

පෙර කල කසී රට එක්තරා දිළිඳු ලෝකුරු කර්මාන්තයේ යුක්ත පවුලෙක් විය. එහි එකම පුතු මනරම් රූ ඇත්තේ මනා දැකුම් ඇත්තේ මහා ප්‍රඥ්ඥාවකින් යුක්ත වූයේ ය. ඊටම නුදුරු තැන සර්ව සම්පූර්ණයෙන්ම ලෝකුරු කර්මාන්තයෙන් යැපෙන ගමෙක් විය. එගම වාසින්ගේ නායක තෙමේ මහා ධනවතෙකි. හේ බරණැස් රජු ඉතාමත් ළඟින් ඇසුරු කළ තැනැත්තෙකි. එනිසාම හේ මහා ධනයෙකින් හා මහා බලයෙකින් යුතු වීය. ඔහුගේ එකම දියණියක් සිටියේ ය. දිව්‍ය ස්ත්‍රියක් හා සම ඕ තම දෙමාපියන්ට, නෑ හිත මිතුරන්ට කළ්‍යාණියක් වූවා ය. ඈත පිටිසර පෙදෙස් වලින් බොහෝ ජනයා කැති උදලු ඈ මෙකි නොකී බොහෝ ලෝකුරු නිශ්පාදන මිල දී ගැනීමට එගම වෙත ආහ. නමුත් ඔවුන් හැම කෙනෙකුගේම මුඛ්‍ය පරමාර්ථය වූයේ අනෙකකි. ඔවුහු සැබවින්ම යට කී කුමාරිය දැකීම පිණිසම ආහ. ඔවුන් තම ගම් නියංගම් වලට ගොස් මිල දී ගත් භාණ්ඩයේ ගුණාගුණ නොව ඈගේ රුව ගුණම ඉස්මතු කරමින් කථා කළහ. ඒ පිළිබඳ වර්ණනා කළහ.

ඒ ඒ තන්හි වන මේ කථා ඇසූ අප මහ බෝසත් ලෝකුරු පුත්‍ර තෙමේ ඇසීම් පමණකින්ම ‘ මම් කෙදිනක හෝ මේ කුමාරිය මාගේ බිරින්දෑ කොට ගන්නෙමි‘යී තිරව අධිෂ්ඨාන කර ගත්තේ ය.  හේ ඊට අවශ්‍ය පියවර වහා ගත්තේ ය. හේ ඉතා සොඳ යහපත් තත්වයෙන් යුත් උසස් වර්ගයේ යකඩ කැබැල්ලෙක් සොයා ගත්තේ ය. ඉන් ඉතාමත් සිහින් නමුත් ඉතාමත් ඝන අපූරු ඉඳිකට්ටෙක් නිර්මාණය කළේ ය. ඒ ඉඳිකටුවෙහි ඉඳිකටු සිදුර ද මනාව සැකසීය. අනතුර හේ එය ජලයෙහි ගිල්වා තැබුයේ තවත් එවැනිම යහපත් තත්වයේ යකඩ කැබැල්ලෙක් ගෙන ඉඳිකටුව පිණිස කොපුවක් ද නිර්මාණය කළේ ය. එම කොපුවේ ද ඉඳිකටු සිදුරක් සාදා බැලූ බැල්මට එය ද ඉඳිකට්ටක් සේ පෙනෙනයුරින් කළේ ය. මේ ආකාරයට එකම අයුරින් පෙනෙන කොපු සතක් සෑදුවේ ය. මේ කොපු එකිනෙකට විශාල වූයේ ඉතාමත්ම සියුම් අයුරිනි. පියවි ඇසෙට ඒවායේ ප්‍රමාණ වල වෙනසක් නොපෙනේ. සියල්ල එක සමානව පෙනේ. සත්‍ය වශයෙන්ම ඒවා කෙසේ කළා දැයි වචනයෙන් විස්තර කිරිමට අප පොහොසත් නොවන්නෙමු. ඒ සියල්ල අපගේ බෝසතාණන් වහන්සේගේ මහා නුවණින්ම කළ දෑ ය. අපට කිව හැක්කේ එවා විස්කම් දෙව් පුත් මවාලූ දෙයක් සේ කියා පමණී. මිහිපිට මනුෂ්‍යයෙකුට නම් කිසෙයින්වත් නොකළ හැක්කක් ය කියා පමණී. නමුත් අප මහ බෝසතාණන් වහන්සේගේ ප්‍රඥ්ඥාවත් පින් බලයත් අධිෂ්ඨාන සම්පත්තියත් සකල දෙව් බඹ මනුෂ්‍යන් පරදා අතිශයෙන්ම අග්‍රව පවතින්නෙකි. එනිසා මේ සදාලූ ඉඳිකටුව සහ කොපු සත මහ බෝසතාණන් වහන්සේගේ ප්‍රඥ්ඥාවේ අසිරියෙන් කළ දැයක් නිසා ඒවා එකාන්තයෙන්ම තුබූ දෙයක් බව අප විශ්වාසයෙන් අදහා ගන්නෙමු. එය ඒ අයුරින්ම දරා ගන්නෙමු.

බෝසත් තෙමේ ඉඳුකටුව පළමු කොපුවේ බහාලූයේ ය. එහි පළමු කොපුව වසා එය දෙවන කොපුවේ බහාලූයේ ය. මෙසේ පිළිවෙලින් කොපු සතෙහිම බහා අවසාන කොපුව ද වසා එය එක්තරා නළයක් තුල තැන්පත් කළේ ය. ඒ නළය සිය ඉනෙහි රුවාගෙන ඉහත කී ලෝකුරු ගම්මානය බලා හේ පිටත් වී. ගම්මානයට ගිය මුත් එහි දෙටු නායකයා කවුරුන්ද වගවත් ඔහුගේ නිවස කුමක්ද වගවත් හේ දැන සිටියේ නොවේ. අවට සිටින්නන්ගෙන් මග විස්තර දැන ගනිමින් හේ ගම් දෙටුවාගේ නිවස වෙත ආයේ ය. ඒ නිවස ඉදිරියට පැමිණ මෙසේ කීය.

“මා අත ඉතා මහාර්ඝ ඉඳිකටුවෙක් වෙයි. කවරෙක්නම් ඊට නිසි මිල දී ගන්නේද?”

මෙසේ මහ හඬ නගමින් හේ ඉඳිකටුව පිළිබඳ ප්‍රසිද්ධ කළේ ය. හේ තම විශේෂ ඉඳිකටුව මෙසේ ද වර්ණනා කළේ ය.

“කර්කශ නොවූ, සිලිටි වූ, පීරෙන් මොනවට මට්ටම් කළ, කදිම ඉඳිකටු මලයක් සහිත, තියුණු තුඩක් ඇති මේ ඉඳිකටුව සාමාන්‍ය එකක් බව නොසිතන්න. ඉනුත් බොහෝ ප්‍රමාණයක් ඇතිබවත් නොසිතන්න. ඇත්තේ මේ එකම ඉඳිකටුව පමණී. මෙහි ස්වාමි වන්නහු තොප අතුරින් කවරෙක් ද? ඒ සැබෑ පින්වන්තයා තොප අතුරෙන් කවරෙක් ද?”

“මා විසින් තනන ලද මෙහි මහත් වූ තැන් නැත්තේ ය. කැළැල් හෝ පළුදු නැත්තේ ය. හිරි නැත්තේ ය. ඉදින් කවුරුන් නම් මෙහි අගය වටාහාගෙන වහා මෙය අත්පත් කරගන්නේ ද?”

“මැනැවින් මදින ලද, ඉතා සොඳින් මල සාදන ලද අනුක්‍රමයෙන් සිහින් කරන ලද ඉතා ඝන වූ දෙයක නමුත් පහසුවෙන් විනිවිද යන ඉතා ශක්තිමත් වූ මේ ඉඳිකටුව කවරෙක් නම් මිලදී ගනිත් ද? ඒ තොප අතුරින් කවරෙක් ද?”

මේ මොහොත වන විට ගම් දෙටු තෙමේ අහාර අනුභව කොට වෙහෙස දුරු කර ගනු පිණිස කුඩා ඇඳෙක හාන්සි වී සිටියේ ය. කුමරිය සිය පියාණන්ට තල්වටකින් පවන් සලමින් ඇඳ අසල හුන්නී ය. බෝසතුන්ගේ මිහිරි හඬ ඈට ඇසුනේ මෙවිට ය. ඒ කට හඬ ඇසුනු සැනෙන් ඇයගේ ළය තෙත් වී ගියේ ය. ග්‍රීශ්මයෙන් පීඩාවට පත්ව සිටි අයෙක් සිසිල් සුවඳ පැන් කළ දහසකින් නැහැව්වා සේ, සිනිඳු පුළුන් පිඩෙකින් ඇගේ හද මෘදුවට ස්පර්ශකරන්නාක් සේ සසරගත පුරුද්දෙන් ඈට මහ බෝසතුන්ගේ කටහඬ එතරම්ම හදවතට කා වැදුනේ ය. ‘මෙතරම් මිහිරි කටහඬෙක් මා මින් පෙර නොම අසා ඇතී. මෙතරම් මිහිරි හඬින් අපගේ නිවෙසේ ඉදිරිපිට සිට හිඳි කටු විකුණනා මේ තෙමේ කවරෙක්ද?’ යී සිතූ ඕ තල්වට පසෙකින් තබා නිවසේ ආලින්දයට ආවා ය. ආලින්දයේ සිටම හිඳිකටු විකුණනා බෝසත් තරුණයානන්ට කථා කළා ය. බෝසතාණන් වහන්සේලාගේ අදිඨන ඒකාන්තයෙන් සඵල වන්නකි. බෝසතාණන් වහන්සේ මෙතරම් දෙයක් කළේ ඇය නිසා ය. දැන් ඈම පැමිණ බෝසතුන්ගෙන් තතු විමසයි.

“පින්වත් තරුණය, මේ දඹදිව වසන යම් තාක් වැසියෝ ලෝකුරු නිශ්පාදන සොයත් ද ඔවුන් මෙගමටම එති. මෙගමින්ම සියළු දෑ මිලදී ගනිති. ඔබ වනාහී කිසිත් නොදන්නෙකු සේ මෙගමටම පැමිණ අපට ඉඳිකටු විකුණයි. ඒ කෙසේ වුවත් නුඹ උදෑසන පටන් රෑ වන තුරු මෙහි කෙතරම් වර්ණනා මුඛයෙන් කතා කළත් නුඹගේ ඉඳිකටුව මිලදී ගැනීමට කිසිවෙකුත් මෙහි නැති. එබැවින් නුඹට අවශ්‍ය මුදල් නම් වහා අන්‍යය වූ ගමක් වෙත යනු මැනවි. එහි දී නුඹට මිලක් ගෙවා ඉඳිකටුව ලබා ගනු රිසි අයෙකු පහසුවෙන් සොයාගත හැකිවනු ඇති”

“මෙකල ඉඳිකටු, බිලී කොකු ආදී සියලු දෑ මෙගමින්ම අන්‍ය ගම් වෙත බෙදා හරිද් දී එසේ වූ ලෝකුරු ගමෙක ඉඳිකටු විකිණීමට උත්සාහ දරන නුඹ ගැන මට ඇත්තේ මහා පුදුමයකි.”

“සියළු දඹදිව පුරා මෙගමින් සකසා ගෙන යන ලද අයුධයෝම සැරිසරද්දී නුඹ පැමිණ මෙගමට ඉඳිකටු විකිණීම පිණිස උත්සාහ කරයි. සැබැවින්ම තරුණය, නුඹ ඔය කරන්නේ ඵල රහිත දෙයකි. නිස්කාරණයේ වෙහෙසට පත් නොවී අන්‍ය වූ ගමකට යනු මැනව. නුඹගේ ව්‍යාපාරය දි‍යුණුවේවා!”

එවිට බෝසත් තෙමේ මෙසේ කිවේ ය.

“පින්වතිය, නුඹ නොදන්න කම නිසාත් අල්ප නුවණ නිසාත් ඔයාකාරයෙන් පවසයි. මාගේ මේ ඉඳිකටුවෙහි බල නොදන්නේ දැන සිටියා නම් එය වර්ණනා කරනු මිස ඔවැන්නක් කථා නොකරයි. නුවණැත්තා  ‘මෙය වනාහී ලෝකුරු ගමෙහිම වික්ක යුත්තේ ය, මෙය ඊටම සරී’යැයි මනාව දන්නේ ය. නිර්මාණයේ ගුණ දොස් දන්නෝ ආචාරිහු ය. එනිසා සුන්දරිය, නුඹගේ පියාණන් මෙය දුටුවොත් එහි බල වහා හඳුනාගනු නිසැක ය. හේ ඉන් ප්‍රමෝදයට පත්ව තොපත් මේ සියළු බූදලයත් මා හටම පාවා දෙනු ඇත.”

මේ සියලු කථා සල්ලාපයන් ඇතුල් ගෙයි සිටි නායක තෙමේ හොඳින් අසා සිටියේ ය. හේ සිය දියණියට කථා කළේ ය. මෙසේ කීයේ ය.

“දුවණියනි, නුඹ කා එක්කලා කතා සල්ලාපයේ යෙදී හුන්නේ ද?”

“පියාණෙනි, ඉඳිකටු විකුණන්ට මෙහි තරුණයෙක් පැමිණ සිටී”

“එසේනම් ඔහු මෙහි කැඳවුව මැනව මැනව”

ඈ වහා දිවගොස් තරුණයාව නිවස තුලට කැඳවාලී ය. ගෙට පිවිසි බෝසත් තෙමේ ගම්පතියාට වන්දාන කොට සිටගෙනම සිටියේ ය. අසලින් වාඩිවෙන්නැයි කී කළ හේ ගම්පතියා අසළින් මදක් මෑත් වන්නට මිටි අසුනෙක අසුන් ගත්තේ ය. ගම්පති තෙමේ මෙසේ ඇසී.

“පින්වත් තරුණය, නුඹ මෙහි ඉඳිකටුවක් විකුණනු පිණිස ආ වග දැන ගන්ට ලැබුනා. එය සැබෑවක් ද? නුඹ කවර ගමකින් මෙහි පැමිණියේද?”

“ගම්පතිතුමනි, මම් අසවල් ගමේ ලොකුරුවාගේ පුත්‍රායා වෙමි. මා විසින් විශේෂයෙන් සකසන ඉඳිකටුවක් වෙයි. එය විකුණාගනු පිණිස මෙහි ආයෙමි.”

“එසේනම් තරුණය, නුඹ විසින් සාදන ලද ඒ අපූරු ඉඳිකටුව මෙහි දෙන්න. මම් එය පරික්ෂාකරන්නම්”

තමාගේ දක්ෂතාවය සියළු ගම්වාසීන්ට ප්‍රකට කරනු කැමැත්තේ තරුණ ලෝකුරුකරු මෙසේ කීය.

“නායකතුමනි, ඉදින් නුඹ පමණක් හුදෙකාලවේ මෙය පරීක්ෂාකරනවාට වඩා සියළු ගම්වාසීන් සමග එය කීරීම වඩා යහපත් නොවේද? එනිසා සියලු ලෝකුරු කර්මාන්තකරුවන් මෙහි කැඳවා එය පරීක්ෂා කළ මැනව”

නායක තෙමේ ද ‘ මැනව දරුව’ යී පවසා සියළු ගම් වාසීන් රැස් කළේ ය. ඔවුන් වටකොට එහි මධ්‍යයේ වාඩි වී “පුත දැන් එය පෙන්වුව මැනව”යී ආරාධනා කොට සිටියේ ය. තරුණයා මෙසේ කීය.

“ඇදුරුතුමනි, පළමුකොට මෙහි කිණිහිරක් ද, ජලය පුරවන ලද ලෝහ බඳුනක් ද ගෙන්වුව මැනව”

නායක තෙමේ සියල්ල සම්පාදනය කරවී ය. එවිට බෝසත් තරුණයානන් සිය ඉනෙහි රුවා සිටි නළය ගත්තේය. එයින් හිඳිකටුව ගෙන නායකතුමන්ගේ අත්ල මත තැබුවේ ය.

“පුත මේ නුඹ තැනූ ඒ ඉඳිකටුවද?”

“නැත නායකතුමනී, ඔය ඉඳිකටුව නොවේ. ඔය ඇත්තේ ඉඳිකටු කොපුවයි.”

ගම් දෙටු තෙමේ එය සියලු අත කරකවමින් සොයා බැලුවත් එහි පියනක් හෝ විවෘත කල හැකි තැනෙක් හෝ සොයා ගත නොහැකි වුනි. අනතුරුව එය අතට ගත් තරුණයා සිය නියගින් කොපුව විවෘත කොට එය සියල්ලන්ට ම පෙනෙන සේ නායකතුමන් අත තැබී ය.

“පුත, මේ ඒ ඉඳිකටුව ද?”

“නැත නායකතුමනි, මේ කොපුව ය”

නායකතුමන් ඒ දෙවැනි කොපුව ද විවෘත කර ගැනීමට නොහැක්කේ තරුණයා දෙසට දිඟු කළේ ය. හේ සිය නියගින් ඒ කොපුව ද විවෘත කර ගම් දෙටුවා අත තැබී ය. මෙසේ කොපු සතම විවෘත කර ඒ කොපු සතත් අවසානයේ ඉඳිකටුවත් හේ ගම් දෙටුවා අත තැබුවේ ය. මේ අසිරිය දුටු රැස්ව හුන් ලෝකුරු ගම් වැසියෝ සියලු දෙන සතුටින් ඉහ වහා ගියහ. අත් පොලසන් දෙමින් හිස වටා සලු කරකවමින් නටන්ට ගත් හ. බොහෝ සතුටට පත් නායක තෙමේ තරුණයාගෙන් මෙසේ අසුවේ ය.

“පුත, මෙහි ශක්තිය කෙසේද?”

එවිට තරුණයා මෙසේ කීය.

“ඇදුරුතුමනි, ශක්තිමත් පුරුෂයකු ලවා, මේ කිණිහිර ඔසොවන්ට සලස්වා ඊට යටින් ජලය පුරවාලන ලද මේ ලෝහ පාත්‍රය තබාලුව මැනව. මේ කිණිහිර මැද ඉඳිකටුව සිරස් අතට, තුඩ කිණිහිර මැදට සිටින සේ තබාලුව මැනව. දැන් එහි මේ ඉඳිකටුව වෙත පහරක් දෙනු මැනව.”

නායකතුමානෝ ඒ කී ලෙසම කරවූයේ ය. අසිරියෙකි. ඉඳිකටුව කිණිහිර පළාගෙන එය තුලින් ගොස් ජල බඳුනට වැටුනේ ය. එය ජලය තුල ගිලෙන්නේ ද නැතිව ඉල්පෙන්නේද නැතිව ජල තලය හා සමාන්තරව තිරස් අතට පිහිටියේ ය. එය කෙස් අගක් පමණින් හෝ දියෙන් මතුවීමක් ද නොමැතිව, දියෙහි ගිලීයාමක් ද නොමැතිව සර්ව සමාන්තරව පිහිටා සිටියේ ය. මේ ආශ්චර්‍ය දුටු ලෝකුරු ගම් වැසියෝ මහ හඬින් ඝෝෂා කළහ. සතුටින් ඔල්වරසන් දුන්හ. සළු පිළි කරකවමින් නටන්ට ගත්හ. ප්‍රිති ඝෝෂා පැවැත්වූහ. ඔද වැඩී ගිය සිතින් යුතු ගම්දෙටු තෙමේ මහ පිරිස් මැදදී ම තමාගේ දියණිය තරුණයා හට පාවා දුන්නේ ය. කාලයාගේ ඇවෑමෙන් හේ එහි නායක ධූරයට පත් වූයේ සිය නුවණින් බොහෝ දෑ නිර්මාණය කළේ ය. සිය කටයුතු ධාර්මිකව කරමින් සිල්වත්ව ගතකළ බෝසත් තෙමේ බිරින්දෑ ද සමගින් බොහෝ පින්කම් සිදුකොට මරණින් මතු දෙව්ලොව බලා ගියේ ය.

මෙසේ අප මහ බෝසතාණන් වහන්සේගේ අදිෂ්ඨාන පාරමිතාව සාදාලනු පිණිස අපගේ උත්තම යසෝදරාවෝ අප මහ බෝසතාණන් වහන්සේට නිතැතින්ම උපකාරී වූවා ය.