නන්ද සූත්‍රය
නන්ද තෙරුන් ගැන වදාළ දෙසුම
සංයුත්ත නිකාය | නිදාන වර්ගය | භික්ඛු සංයුත්තය
සැවැත් නුවරදී ……………
එදා භාග්‍යවතුන් වහන්සේ ගේ සුළු මව් (ප්‍රජාපතී බිසොව) ගේ පුත් කුමරාව සිටි ආයුෂ්මත් නන්ද තෙරුන් ඉතා මටසිළුටු පරිද්දෙන් සිව්මැලි ලෙස කරවන ලද සිවුරුත් පොරවා ගෙන, ඇස්වල අඳුන් ගා ගෙන, ඉතා අලංකාර වූ පාත්‍රයකුත් දරාගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරල එකත්පස්ව වාඩි වුණා. එකත්පස්ව වාඩි වුණ ආයුෂ්මත් නන්දයන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.
“පින්වත් නන්ද, ඕක ගැලපෙන දෙයක් නොවෙයි. ශ්‍රද්ධාවෙන් යුක්ත කුල පුත්‍රයෙක් ගිහි ජීවිතය අත්හැරල මේ සාසනයේ පැවිදි වුණා නම් එබඳු කෙනෙක් වන ඔබ වගේ කෙනෙකු ඉතා මටසිළුටු පරිද්දෙන් සිව්මැලි ලෙස කරවන ලද සිවුරුත් පොරවා ගෙන ඉන්නවා නම්, ඇස්වල අඳුන් ගා ගෙන ඉන්නවා නම්, ඉතා අලංකාර වූ පාත්‍රයකුත් දරාගෙන ඉන්නවා නම් ඒක ගැලපෙන දෙයක් නොවේ.
නමුත් පින්වත් නන්ද, ශ්‍රද්ධාවෙන් යුක්ත වූ කුල පුත්‍රයෙක් ගිහි ජීවිතය අත්හැරල මේ සාසනයේ පැවිදි වුණා නම් එබඳු කෙනෙක් වන ඔබට වනාන්තරයක වාසය කිරීමත් පිණ්ඩපාතයෙන් ජීවත් වීමත් පාංශුකූල සිවුරු දැරීමත් කාමයන් ගැන අපේක්ෂා රහිතව සිටීමත් තමයි ගැලපෙන්නේ.
”භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා. මෙය වදාළ සුගත වූ ශාස්තෘන් වහන්සේ යළි මෙය ද වදාළා.
කදාහං නන්‌දං පස්‌සෙය්‍යං ආරඤ්‌ඤං පංසුකූලිකං
අඤ්‌ඤාතුඤ්‌ඡේන යාපෙන්‌තං කාමේසු අනපෙක්‌ඛිනන්‌ති
‘වනාන්තරයක වාසය කරන පාංශුකූල සිවුරු දරන පිඬුසිඟාගෙන ලද දෙයකින් යැපෙන කාමයන් ගැන අපේක්ෂා රහිතව ඉන්න පින්වත් නන්දයන්ව මං දකින්නේ කවදාද?’
එතකොට ආයුෂ්මත් නන්දයන් ටික කාලෙකින් වනාන්තරයේ වාසය කළා. පිඬුසිඟාගෙන ජීවත් වුණා. පාංශුකූල සිවුරු දැරුවා. කාමයන්හි අපේක්ෂා රහිත වුණා.
සාදු! සාදු!! සාදු!!!
නන්ද සූත්‍රය
නන්ද තෙරුන් අරභයා වදාළ උදානය
ඛුද්දක නිකාය | උදාන පාළි | නන්ද වර්ගය
මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ.ඒ දිනවලම භාග්‍යවතුන් වහන්සේගේ සහෝදර වූ, සුළු මෑණියන්ගේ පුතණුවන් වූ ආයුෂ්මත් නන්දයන් බොහෝ භික්ෂූන්ට මේ විදිහේ කරුණක් දැනුම් දෙනවා.
“අනේ ප්‍රිය ආයුෂ්මතුනි, මම නම් මේ බඹසර හැසිරෙන්නේ කැමැත්තකින් නොවෙයි. මට මේ බඹසර ජීවිතය උසුලාගෙන ඉන්න පුළුවන්කමක් නෑ. මේ ශික්ෂාව බැහැර කරලා ගිහි බවට පත්වෙන්නයි හිතාගෙන ඉන්නේ.”
එතකොට එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහින් ආදරයෙන් වන්දනා කළා. පැත්තකින් වාඩිවුනා. පැත්තකින් වාඩිවුන ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේගේ සහෝදර වූ, සුළු මෑණියන්ගේ පුතණුවන් වූ ආයුෂ්මත් නන්දයන් බොහෝ භික්ෂූන්ට මේ විදිහේ කරුණක් දැනුම් දෙනවා. ‘අනේ ප්‍රිය ආයුෂ්මතුනි, මම නම් මේ බඹසර හැසිරෙන්නේ කැමැත්තකින් නොවෙයි. මට මේ බඹසර ජීවිතය උසුලාගෙන ඉන්න පුළුවන්කමක් නෑ. මේ ශික්ෂාව බැහැර කරලා ගිහි බවට පත්වෙන්නයි හිතාගෙන ඉන්නේ’ කියලා.”
එතකොට භාග්‍යවතුන් වහන්සේ එක්තරා භික්ෂුවක් අමතා වදාළා.
“පින්වත් භික්ෂුව, මෙහි එන්න. මගේ වචනයෙන් නන්ද භික්ෂුව අමතන්න. ‘ප්‍රිය ආයුෂ්මත් නන්දයෙනි, අන්න ශාස්තෘන් වහන්සේ ඔබව අමතනවා’ කියලා.”
“එසේය, ස්වාමීනී” කියලා ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දීලා ආයුෂ්මත් නන්දයන් ළඟට ගියා. ගිහින් ආයුෂ්මත් නන්දයන්ට මෙහෙම කිව්වා.
“ප්‍රිය ආයුෂ්මත් නන්දයෙනි, අන්න ශාස්තෘන් වහන්සේ ඔබට කතා කරනවා.”
“එසේය, ප්‍රිය ආයුෂ්මත” කියලා ආයුෂ්මත් නන්දයන් ඒ භික්ෂුවට පිළිතුරු දීලා, භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කරලා, පැත්තකින් වාඩිවුනා. පැත්තකින් වාඩිවුන ආයුෂ්මත් නන්දයන්ගෙන් භාග්‍යවතුන් වහන්සේ මෙහෙම අසා වදාළා.
“පින්වත් නන්ද, ඔබ බොහෝ භික්ෂූන්ට මේ විදිහට දැනුම් දෙනවා කියන්නෙ ඇත්තක්ද? ‘අනේ ප්‍රිය ආයුෂ්මතුනි, මම නම් මේ බඹසර හැසිරෙන්නේ කැමැත්තකින් නොවෙයි. මට මේ බඹසර ජීවිතය උසුලාගෙන ඉන්න පුළුවන්කමක් නෑ. මේ ශික්ෂාව බැහැර කරලා ගිහි බවට පත්වෙන්නයි හිතාගෙන ඉන්නේ’ කියලා.”
“එසේය, ස්වාමීනී”
“පින්වත් නන්ද, ඔබ අකමැත්තෙන් බඹසර හැසිරෙන්නෙ ඇයි? බඹසර ජීවිතය උහුලගෙන ඉන්න බැරි ඇයි? ශික්ෂාව බැහැර කරලා, ගිහි වෙන්න හිතන්නේ ඇයි?”
“ස්වාමීනී, මං ගෙදරින් එනකොට ජනපද කල්‍යාණි ශාක්‍ය දියණිය ලස්සනට කොණ්ඩේ හදලා, ඔලුවේ පනාව ගහලා මං දිහා බලාගෙන මෙහෙම කිව්වා. ‘ප්‍රිය ආර්ය පුත්‍රය, ඔයා ඉක්මනට ආපහු එන්න ඕන’ කියලා. ඉතින් ස්වාමීනී, මට ඕක මතක් වෙනවා. ඒ නිසා මං බඹසර හැසිරෙන්නෙ කැමැත්තෙන් නෙවෙයි. බඹසර ජීවිතය උසුලාගෙන ඉන්න පුළුවන්කමක් නෑ. මේ ශික්ෂාව බැහැර කරලා ගිහි වෙන්නයි හිතාගෙන ඉන්නේ.”
එතකොට භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් නන්දයන්ගේ අතින් අල්ලගත්තා. බලවත් පුරුෂයෙක් හැකිලූ අතක් දිග හරින වේගයෙන්, දික් කළ අතක් හකුලන වේගයෙන් ජේතවනාරාමයෙන් නොපෙනී ගිහින්, තව්තිසා දෙව්ලොව පහළ වුනා. ඒ වෙලාවේ ශක්‍ර දෙවියන්ට උපස්ථාන කරන්නට පන්සීයයක් පමණ දිව්‍ය අප්සරාවන් ඇවිත් සිටියා. ඒ අප්සරාවන්ගේ පා යුග පරෙවියන්ගේ පා බඳු රෝස පැහැයෙන් යුක්තයි. එතකොට භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් නන්දයන් අමතා වදාළා.
“පින්වත් නන්ද, ඔබ මේ ගැන මොකක්ද හිතන්නේ? ගොඩක් ලස්සන, ගොඩක් දර්ශනීය, ගොඩක් පැහැපත් කවුද? ශාක්‍ය දියණිය වන ජනපද කල්‍යාණියද? පරෙවියන්ගේ පා බඳු රෝස පැහැයෙන් යුතු පා ඇති මේ දිව්‍ය අප්සරාවන්ද?”
“ස්වාමීනී, කන් නාසා නැති පුළුටු වෙච්ච වැඳිරියක් ඉන්නවා කියලා හිතමු. ස්වාමීනී, ශාක්‍ය දියණිය වූ ජනපද කල්‍යාණිය අන්න ඒ වගේ තමයි. මේ පන්සියයක් අප්සරාවන්ගේ රූප ස්වභාවය සළකලා බලන කොට, ඇය ගණන් ගන්නම බැහැනේ. සොළොස්වන කලාවටවත් ගණන් ගන්න බෑ. කිසිසේත්ම ඇයව මේ අප්සරාවන් හා සමාන කරන්න බෑ. මේ අප්සරාවන් පන්සියයම ගොඩක් ලස්සනයි. ගොඩක් දර්ශනීයයි. ගොඩක් ප්‍රසාදජනකයි.”
“පින්වත් නන්ද, මේ බඹසර ජීවිතයට ඇළුම් කරන්න. පරෙවියන්ගේ පා බඳු රෝස පැහැයෙන් යුතු පා ඇති පන්සියයක් අප්සරාවන් අරන් දෙන්න මම ඔබට ඇපවෙනවා.”
“ස්වාමීනී, එහෙම නම් පරෙවියන්ගේ පා බඳු රෝස පැහැයෙන් යුතු පා ඇති පන්සියයක් අප්සරාවන් අරන් දෙන්න භාග්‍යවතුන් වහන්සේ ඇප වෙන සේක් නම්, ස්වාමීනී, මම භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ බඹසර ජීවිතයට ඇලී සිටින්නම්.”
එතකොට භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් නන්දයන්ගේ අතින් අල්ලගත්තා. බලවත් පුරුෂයෙක් හැකිලූ අතක් දිග හරින වේගයෙන්, දික් කළ අතක් හකුළන වේගයෙන් තව්තිසා දෙව්ලොවෙන් නොපෙනී ගියා. ජේතවනාරාමයේ පහළ වුනා.
භික්ෂූන් වහන්සේලාට මේ කථාව අහන්න ලැබුනා. “හා! භාග්‍යවතුන් වහන්සේගේ සහෝදර වූ, සුළු මෑණියන්ගේ පුතණුවන් වූ ආයුෂ්මත් නන්දයන් බඹසර හැසිරෙන්නේ අප්සරාවන් නිසාලු! පරෙවි පා බඳු රෝස පැහැයෙන් යුතු පා යුග ඇති පන්සියයක් අප්සරාවන් ලබාදෙන්න භාග්‍යවතුන් වහන්සේ ඇප වූ සේක්ලු!”
ඉතින් ආයුෂ්මත් නන්දයන්ගේ යහළු භික්ෂූන් වහන්සේලා ආයුෂ්මත් නන්දයන්ට දාසයෙකුගේ ආකල්පයෙන්, වෙළෙන්දෙකුගේ ආකල්පයෙන් විසුළු බස් කියන්න පටන් ගත්තා.
“අනේ ආයුෂ්මත් නන්දයන් දාසයෙක් වගෙයි නේ. වෙළෙන්දෙක් වගෙයි නේ. බඹසර හැසිරෙන්නේ අප්සරාවන් නිසා නේ. පරෙවි පා බඳු පැහැයෙන් යුතු පා ඇති දෙවඟනන් පන්සියයක් ලබාගන්න භාග්‍යවතුන් වහන්සේ ඇප වී වදාළා නේ.”
එතකොට ආයුෂ්මත් නන්දයන් යහළු භික්ෂූන්ගේ ‘දාසයෙක්, වෙළෙන්දෙක්’ යනාදී වචනයෙන් විහිළුවට ලක්වෙන කොට, ලැජ්ජාවට පත්වුනා. පීඩාවට පත් වුනා. අප්සරාවන්ව පිළිකුල් වෙලා ගියා. තනි වුනා. හුදෙකලා වාසය තෝරාගත්තා. අප්‍රමාදී වුනා. කෙලෙස් තවන වීරිය ඇති කරගත්තා. දිවි දෙවෙනි කොට ධර්මයේ හැසිරුනා. මනාකොට ගිහි ගෙය අත්හැරලා උතුම් බුදු සසුනේ පැවිදිවෙන පින්වත් කුලපුතුන්ගේ යම් අපේක්ෂාවක් ඇද්ද, බඹසර ජීවිතයේ නිමාව වූ ඒ අනුත්තර අරහත්වයට සුළු කලකින්ම පත්වුනා. ඉපදීම නැති වුනා. බඹසර වාසය සම්පූර්ණ කළා. කළ යුතු සියල්ල කොට අවසාන කළා. යළිත් සසර දුකක් නැතැ’යි අවබෝධ වුනා. ආයුෂ්මත් නන්දයන් ද රහතන් වහන්සේලා අතර කෙනෙක් බවට පත් වුනා.
එතකොට එක්තරා දෙවියෙක් රැය පහන් වෙන වේලෙහි, මුළු ජේතවනයම බබුළුවාගෙන, බබළන සිරුරින් යුතුව භාග්‍යවතුන් වහන්සේ ළඟට ආවා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් හිටගත්තා. පැත්තකින් හිට ගත් ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේගේ සහෝදර වූ, සුළු මෑණියන්ගේ පුතණුවන් වූ ආයුෂ්මත් නන්දයන් ආශ්‍රවයන් ක්ෂය කරලා, ආශ්‍රව රහිත වූ, චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතය තුළම තමන්ගේම නුවණින් සාක්ෂාත් කොට පැමිණ වාසය කරනවා.”
භාග්‍යවතුන් වහන්සේටත් ඒ ගැන ඤාණය පහළ වුනා. ‘පින්වත් නන්දයන් ආශ්‍රවයන් ක්ෂය කරලා, ආශ්‍රව රහිත වූ, චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතය තුළම තමන්ගේම නුවණින් සාක්ෂාත් කොට පැමිණ වාසය කරනවා’ කියලා.
ඉතින් ආයුෂ්මත් නන්දයන් වහන්සේ ඒ රාත්‍රිය ඇවෑමෙන් භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් වාඩිවුනා. පැත්තකින් වාඩිවුන ආයුෂ්මත් නන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.
“ස්වාමීනී, පරෙවි පා බඳු රෝප පැහැගත් පා යුග ඇති, පන්සියයක් දිව්‍ය අප්සරාවන් ලබාදෙන බවට ඇපයක් වුන සේක්ද, ස්වාමීනී, මම භාග්‍යවතුන් වහන්සේව ඒ ඇපයෙන් නිදහස් කරනවා.”
“පින්වත් නන්ද, මම ඔබේ සිත, මගේ සිතින් පිරිසිඳ දැක්කා. ‘පින්වත් නන්දයන් ආශ්‍රවයන් ක්ෂය කරලා, ආශ්‍රව රහිත වූ, චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතය තුළම තමන්ගේම නුවණින් සාක්ෂාත් කොට පැමිණිලයි වාසය කරන්නේ’ කියලා. දෙවියන් පවා මට මේ කාරණය සැළ කළා. ‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේගේ සහෝදර වූ, සුළු මෑණියන්ගේ පුතණුවන් වූ ආයුෂ්මත් නන්දයන් ආශ්‍රවයන් ක්ෂය කරලා, ආශ්‍රව රහිත වූ, චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතය තුළම තමන්ගේම නුවණින් සාක්ෂාත් කොට පැමිණ වාසය කරනවා’ කියලා. පින්වත් නන්ද, ඔබ යම් මොහොතක උපාදාන රහිත වෙලා, ආශ්‍රවයන්ගෙන් නිදහස් වුනාද, එතකොටම මමත් ඔය ඇපයෙන් නිදහස් වුනා.”
ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනගෙන, ඒ වෙලාවේ මේ උදානය වදාළා.
“යස්ස නිත්තිණ්ණො පංකෝ ච මද්දිතෝ කාමකණ්ටකෝ,
මෝහක්ඛයං අනුප්පත්තෝ සුඛදුක්ඛේසු න වේධති ස භික්ඛූ”ති
“යම් කෙනෙක් කාම මඩ වගුරෙන් එතෙර වුනා නම්, කාම කටුව තලලා දැම්මා නම්, මෝහය ක්ෂය වෙලා, නිවනට පත් වුනා නම්, සැප දුක් දෙකෙහි කම්පා නොවෙයි නම් ඔහුට තමයි ‘භික්ෂුව’ කියන්නේ.”
සාදු! සාදු!! සාදු!!!
පසු වදන
නන්ද මහ රහතන් වහන්සේගේ ජීවිතය පිළිබඳව ඇති සිදුවීම අප කවුරුත් දන්නා ඉතා ප්‍රකට කථාවකි. කාම පිපාසයෙන් මුසපත් වූ, ශ්‍රද්ධා රහිත වූ, පින් මද පුද්ගලයන් හට මෙය පෙනුනේ බුදු රජුන් මහ වරදක් කළ බවයි. එනිසා ම මේ ගැන නොයෙක් මැසිවිලි නගමින් නොයෙක් චෝදනා බස් දොඩමින් බොහෝ පවු රැස් කරගනිමින් ගීත පවා ප්‍රබන්ධ කොට, බුදුරජාණන් වහන්සේ ව උපහාසයට ලක් කරති. හේතු ඵල දහමක් තුල සකස්වෙන අවිනිශ්චිත සසර ගමන ගැන නොදන්නා ඒ පෘතග්ජන පිරිස් කර ගනු ලබන්නේ මහා විපතකි. මේ සසරේ ස්වභාවය දන්නේ සසරින් එතෙරට වැඩි අපගේ බුදු සමිඳාණන් පමණි.
මේ සූත්‍රයෙන් රාගයේ ස්වභාවය ද තේරුම් ගත හැක. නන්ද ස්වාමීන් වහන්සේගේ සිත තුළ ජනපද කළ්‍යාණිය පිළිබඳ නිතර මතක් වූයේ ඇය වරලස මුදා එහි පනාව ගසා සිටි ආකාරයයි. එම සුභ නිමිත්තත්, ඊට අනුකූලව සරාගී සිත වැඩෙන ආකාරය වැරදියට මෙනෙහි කිරීමත් යන කරුණු ඔස්සේ නන්ද ස්වාමීන් වහන්සේට උතුම් බඹසර එපාවීම පුදුමයක් නොවේ. නමුත් මේ නන්ද ස්වාමීන් වහන්සේ ඉන්ද්‍රිය සංවර පිළිබඳව අග තනතුරු ලබා ගැනීමට තරම් මහා පුණ්‍යවන්ත කෙනෙකි. එමෙන්ම දිව්‍ය අප්සරාවන් දුටුවිට, තමන් මේ සා ඇළුම් කළ ජනපද කල්‍යාණිය කන් නාසා නැති පුළුටු වැඳිරියක් හැටියට දුටුවේ බුදු සමිඳුන් නොව පින්වත් නන්ද හිමියන්ම ය. නන්ද හිමියන් ව රැගෙන බුදු සමිඳුන් දෙව්ලොව වඩිද් දී, දැවුන හේනක් නොපෙන් වූ බව ඔබට මේ සූත්‍රයෙන් පැහැදිළිව ම දැක්ක හැකි ය. ඒ නන්ද හිමියන්ගේ උපමාවකි.
මෙයින් තේරුම් ගත යුත්තේ එබඳු නන්ද හිමියන් වැනි තියුණු රාගයෙන් යුතු පුද්ගලයන් පවා මුළුමනින්ම දමනය වී පරම පිවිතුරු සිත් ඇති වීතරාගී වූ රහත් මුනිවරුන් බවට පත් වූයේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය නිසා ය. මහා කරුණාවෙන් යුතු බුදු සමිඳුන්ගේ ඉර්ධි බලත්, ලෝ සතුන් දමනය කරන විලාසයත් කොයි තරම් අසිරිමත්ද!
අපගේ බුදු සමිඳාණෝ ඒකාන්තයෙන් ම ‘අනුත්තරෝ පුරිස දම්මසාරථී’ වන සේක.
****අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ – ඛුද්දක නිකාය | උදාන පාළි – පරිවර්තනයෙහි සඳහන් විශේෂ සටහනකි
නන්ද සූත්‍රය
නන්ද තෙරුන් ගැන වදාළ දෙසුම
අංගුත්තර නිකාය | අට්ඨක නිපාතය | මෙත්තා වර්ගය
සැවැත් නුවර දී ය …..
මහණෙනි, මැනැවින් කියන්නෙක් නන්දයන් අරභයා ‘කුලපුත්‍රයා’ යැයි කියන්නේ ය. මහණෙනි, මැනැවින් කියන්නෙක් නන්දයන් අරභයා ‘බලසම්පන්නයා’ යැයි කියන්නේ ය. මහණෙනි, මැනැවින් කියන්නෙක් නන්දයන් අරභයා ‘ප්‍රසාදය ඇති කරවන්නා’ යැයි කියන්නේ ය. මහණෙනි, මැනැවින් කියන්නෙක් නන්දයන් අරභයා ‘තියුණු රාග ඇත්තා’ යැයි කියන්නේ ය.
මහණෙනි, වෙනත් කරුණක් කුමට ද? යම් කරුණකින් නන්ද තෙමේ පිරිපුන් කොට, පිරිසිදු කොට, බඹසර හැසිරෙන්ට සමර්ථ වෙයි ද, එසෙයින් නන්ද තෙමේ ඉන්ද්‍රියයන්හි වැසූ දොරටු ඇත්තේ, භෝජනයෙහි පමණ දන්නේ, නිදි වැරීමෙහි යුක්ත වූයේ, සිහි නුවණින් යුක්ත වූයේ වෙයි.
මහණෙනි, එහිලා නන්දයන්ගේ ඉඳුරන්හි වැසූ දොරටු ඇති බව මෙය යි. ඉදින් මහණෙනි, නන්දයන් විසින් පූර්ව දිශාව බැලිය යුතු වෙයි නම්, නන්ද තෙමේ මුළු සිතින් යුතුව ම පූර්ව දිශාව බලයි. ‘මෙසේ මා විසින් පූර්ව දිශාව බලද්දී ලෝභ – ද්වේෂ ආදී පවිටු අකුසල් මා පසුපස හඹා නොඑන්නාහුය’ යි කියා ය. මෙසේ එහිලා නුවණින් යුක්ත වෙයි. ඉදින් මහණෙනි, නන්දයන් විසින් බටහිර දිශාව බැලිය යුතු වෙයි නම් ….(පෙ)…. උතුරු දිශාව බැලිය යුතු වෙයි නම් ….(පෙ)….. දකුණු දිශාව බැලිය යුතු වෙයි නම් ….(පෙ)…. උඩ දිශාව බැලිය යුතු වෙයි නම් ….(පෙ)…. යට දිශාව බැලිය යුතු වෙයි නම් ….(පෙ)…. අනු දිශා බැලිය යුතු වෙයි නම් නන්ද තෙමේ මුළු සිතින් යුතුව ම අනුදිශා බලයි. ‘මෙසේ මා විසින් අනුදිශා බලද්දී ලෝභ – ද්වේෂ ආදී පවිටු අකුසල් මා පසුපස හඹා නොඑන්නාහු ය’ යි කියා ය. මෙසේ එහිලා නුවණින් යුක්ත වෙයි. මහණෙනි. නන්දයන්ගේ ඉඳුරන්හි වැසූ දොරටු ඇති බව මෙයයි.
මහණෙනි, එහිලා නන්දයන්ගේ බොජුනෙහි පමණ දන්නා බව යනු මෙය යි. මහණෙනි, මෙහිලා නන්ද තෙමේ නුවණින් සළකා ආහාර වළඳයි. ජවය පිණිස නොවෙයි. මත්වීම පිණිස නොවෙයි. සැරසීම පිණිස නොවෙයි. විභූෂණය පිණිස නොවෙයි. හුදෙක් මේ කයෙහි පැවැත්ම පිණිස ය. යැපීම පිණිස ය. වෙහෙස සංසිඳවීම පිණිස ය. නිවන් මගට අනුබල පිණිස ය. මෙසේ පැරණි වේදනා නැති කරමි. අලුත් වේදනා නූපදවමි. මාගේ ජීවිත යාත්‍රාව ද වෙයි. නිවැරදි බව ත් පහසු විහරණය ත් වෙයි. මහණෙනි, නන්දයන්ගේ බොජුනෙහි පමණ දන්නා බව මෙය යි.
මහණෙනි, එහිලා නන්දයන්ගේ නිදිවැරීමෙහි යෙදීම යනු මෙය යි. මහණෙනි, මෙහිලා නන්ද තෙමේ දහවල් දවසේ සක්මනෙනුත්, වාඩිවීමෙනුත් නීවරණ ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරයි. රාත්‍රියේ පළමු යාමයෙහි ත් සක්මනෙනුත්, වාඩිවීමෙනුත් නීවරණ ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරයි. රාත්‍රියේ මධ්‍යම යාමයෙහි දකුණු පසට හැරී එක් පාදයකින් තවත් පාදයක් මෑත් කොට නැගිටින සංඥාව මෙනෙහි කොට සිහි නුවණින් යුතුව සිංහ සෙය්‍යාවෙන් සැතපෙයි. රාත්‍රියෙහි පශ්චිම යාමයෙහි නැගිට සක්මනෙනුත්, වාඩිවීමෙනුත් නීවරණ ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරයි. මහණෙනි, නන්දයන්ගේ නිදිවැරීමෙහි යෙදීම යනු මෙය යි.
මහණෙනි, එහිලා නන්දයන්ගේ සිහි නුවණෙහි පැවැත්ම යනු මෙය යි. මහණෙනි, මෙහිලා නන්දයන් හට දැනුවත් ව ම වේදනාවෝ උපදිති. දැනුවත් ව ම වේදනාවෝ පවතිත්. දැනුවත් ව ම වේදනාවෝ නැති වෙති. දැනුවත් ම සංඥාවෝ උපදිති. ….(පෙ)…. දැනුවත් ව ම විතර්කයෝ උපදිති. දැනුවත් ව ම විතර්කයෝ පවතිති. දැනුවත් ව ම විතර්කයෝ නැතිවෙති. මහණෙනි, මෙය නන්දයන්ගේ සතිසම්පජඤ්ඤය තුළ සිටීම යි.
මහණෙනි, වෙනත් කරුණක් කුමට ද? යම් කරුණකින් නන්ද තෙමේ පිරිපුන් කොට, පිරිසිදු කොට, බඹසර හැසිරෙන්ට සමර්ථ වෙයි ද, එසෙයින් නන්ද තෙමේ ඉන්ද්‍රියයන්හි වැසූ දොරටු ඇත්තේ, භෝජනයෙහි පමණ දන්නේ, නිදි වැරීමෙහි යුක්ත වූයේ, සිහි නුවණින් යුක්ත වූයේ වෙයි.
සාදු! සාදු!! සාදු!!!