චන්දකින්නර ජාතකය
මේ ශාස්තෘන් වහන්සේ කපිලවස්තුවේ නිග්‍රෝධාරාමයේ වැඩ වසන කාලයේ රාහුලමාතාවන් අරඹයා වදාරන ලද්දකි.
එදා ශාස්තෘන් වහන්සේ සුදොවුන් මාලිගායේ වැඩ සිටිමින්, දාන වේලාව පැමිණෙන තෙක් වූ ඒ අතරතුර කාලයේ දී, මහාධම්මපාල ජාතකය වදාරා සුදොවුන් රජුගේ ගුණ ප්‍රකාශ කිරීමෙන් අනතුරුව දානය වළඳා අන්තයෙහි, ‘රාහුලමාතාවන්ගේ ගුණය මම් චන්දකින්නර ජාතකයෙන් ප්‍රකාශ කරන්නෙමි’යි සිතා තමන් වහන්සේගේ පාත්‍රය රජු අතට දී අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම හා රජු සමඟ රාහුලමාතාවන්ගේ යහන්ගැබ වෙත වැඩම කළ සේක.
එකල්හි ඇය සතළිස් දහසක රාජ කන්‍යාවන් පිරිවරා සියල්ලෝම කහවත් දරා සම්බුදු රජුන් එහි වඩිනා තෙක් බලා සිටියා ය. ශාස්තෘන් වහන්සේ පැමිණ පනවා තිබූ ආසනයෙහි අසුන් ගත් සේක. එවිට රාහුල මාතාවෝ දුක දරාගත නොහී ශාස්තෘන් වහන්සේගේ ශ්‍රී පා මුල වැටී ඉමහත් වේදනාකින් හඬා වැටුනා ය. අනතුරුව හැඬීමෙන් දුක මදක් තුනී වී ගියෙන් ශාස්තෲන් වහන්සේට වැඳ එකත්පස්ව හිඳ ගත්තා ය.
එවිට රජු ඇගේ ගුණවත්කම පිළිබඳ කතාව ආරම්භ කළේය:
“ස්වාමීනි, මේ මාගේ දුවණියෝ බොහෝ ගුණවන්ත වෙති. ස්වාමීනී, ඔබ වහන්සේ කසට වස්ත්‍ර පොරෝනා බව ඇයට ආරංචි විය. මල්මාලා සහ එවැනි දේ අත්හැරිය බවත් බිම සයනය කරන බවත් ඇයට ආරංචි විය. එවිට ඇය ද මල්මාලා අතහැර කසට වස්ත්‍ර පොරවා බිම සයනය කරන්න පටන් ගත්තා ය. එක් වේලක් පමණක් වළඳන බව අසා ඇයද එක් වේලක් පමණක් අනුභව කළා ය. ඔබ වහන්සේ අභිනික්මන් කළ පසු ඇය මාළිගයේ හුදෙකලා වූ බව අසා වෙනත් රජවරුන් ඇයට තෑගි සහ විවාහ යෝජනා එවුවෝ ය. නමුත් ඇය ඒ සියල්ල එක හෙලාම ප්‍රතික්ෂේප කළා ය. ස්වාමීනී ඒ නිසා ඇගේ සිත ඔබටම පක්ෂග්‍රාහිව විශ්වාසවන්තව පැවතියේ ය”
මෙසේ රජු ඇයගේ උදාර ගුණයන් ශාස්තෘන් වහන්සේ ඉදිරියේ හෙළිකර සිටියේ ය. එවිට ශාස්තෘන් වහන්සේ මෙසේ වදාල සේක,
“මහ රජතුමනි, එය පුදුමයක් නොවේ! මේ ඇගේ අන්තිම ආත්මයේ දී මිනිස් දුවක්ව, නුඹවන් පියෙක් විසින් ආරක්ෂාව දී ඇති කල්හි ඈ මා පිළිබඳ මෙතරම් විශ්වාසී බවකින් විසීම අරුමයක් නොවේ. නමුත් අතීතයේ තිරිසන් ආත්මයක් ලද විට දී පවා කිසිඳු රැකවරණයක් නැතුව සිටිද්දීත් ඇය මා වෙනුවෙන් දුක් ගනිමින් මා කෙරෙහි විශ්වාසයෙන් විසුවා ය. ඒ ඇයගේ ගුණය නිසාම මිය යමින් සිටි මා නැවත ප්‍රාණය ලැබුවෙමි”
එවිට සුදොවුන් මහ රජුගේ ඉල්ලීම නිසා ශාස්තෘන් වහන්සේ මේ චන්දකින්නර ජාතකය වදාළ සේක.
එක් කලෙක බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍ය කරන සමයේ අපගේ බෝසතාණන් වහන්සේ සඳ කිඳුරෙක් ලෙස හිමාල වනයේ ඉපදී සිටියා. ඔහුගේ කිඳුරු බිරිඳ ‘චන්දා’ සුන්දර කිඳුරියක්. මේ දෙදෙනා හිමාලයේ චන්ද්‍ර-පබ්බත නම් රිදී කන්ද මුදුනේ එක්තරා ප්‍රදේශයක් ඇසුරු කරගෙන වාසය කළා.
ඔය කාලයේ බරණැස් රජු තම අමාත්‍යවරුන්ට රජය භාර දී තනියම කහ වස්ත්‍ර දෙකකින් සැරසී පංචායුධයෙන් සන්නද්ධව හිමාලයට ගියා. රිසි රිසි සේ දඩයම් කරමින් මස් පුච්චා කමින් ජීවත් වීමේ උවමනාවට රාජ්‍ය අතහැරිය මේ රජතුමා දිනක් මුවෙකු මරා මස් කා සිත් සේ සප්පායම් වී සිටිද්දී හදිසියේම පෙර මතකයක් අවදිවෙන්න ගත්තා. කන්දේ ඉහලට වෙන්න තිබුන එක්තරා ලස්සන පොකුණක් ගැන රජුට සිහිවුනා. ඔහු ඒ වෙලාවෙම කන්ද නැගල ඒ දිය පහර ගැන තිබුන පූර්ව මතකයෙන්, එය හොයාගෙන ගියා.
රිදී පව්වේ ජීවත් වෙන සඳ කිඳුරු පක්ෂීන් වැහි කාලය පුරා රිදී කන්දේ ජීවත් වෙලා, ග්‍රීශ්ම කාලෙදි කන්දෙන් පහල මේ දිය කඩිත්ත අසලට එනවා විනෝද වෙන්න. ඒ කාලයේ ‘චන්දා’ සඳ කිඳුරියත් ‘චන්ද’ නම් බෝසත් සඳ කිඳුරාත් ඒ ග්‍රීශ්ම කාලය වූ නිසා කුඩා දිය කදුර අසළ ප්‍රදේශයට ආවා විනෝද වෙන්න. ඔවුන් සුවඳ මල් වලින් මල් සළු සාදා ඒවා පොරවා ගත්තා. මල් මාලා හිසෙහිත් ශරීරයේත් පැළඳ ගත්තා. විවිද මල් සුවඳ ඇඟේ තවරගත්තා. මල් රේණු අනුභවකරමින් බොහෝ ප්‍රීතියෙන් කාලය ගත කලා. මිහිරි හඬින් ගීත කියමින්, නර්ථනයේ යෙදෙමින් බොහෝමත් ම සතුටින් කාලය ගත කලා.
කුඩා දිය පහරට බැහැලා මල් විසුරුවමින් ජල ක්‍රීඩා කළා. අනතුරුව නැවතත් ගොඩට ඇවිදින් නා නා විධ සුවඳවත් මල් බිම අතුරලා මල් සයනයක් සෑදුවා. චන්ද සඳ කිඳුරා වස් දඬුවක් ගෙන ඒ සයනය මත සුව පහසුවට වාඩී වි ඉතාමත් මිහිරට වස් දඬුව පිඹින්න පටන් ගත්තා. චන්දා සඳ කිඳුරිය ඒ මිහිරි වස් දඬු රාවයට අනුව තාලයට පා තබමින්, කෝමල අත් විහිදුවමින් නර්ථනයේ යෙදුනා. ඇය හරියට, මෘදු සිනිඳු අත් පා ඇති දිව්‍ය අප්සරාවක් දිව්‍යමය නර්ථනයක යෙදෙනවා වගේ අතිශය සුන්දර නර්ථනයක යෙදී සිටියා.
ඔවුන් මෙසේ ප්‍රීතියෙන් විනෝද වෙමින් සිටින අතර තුරදියී රජු ඒ ප්‍රදේශයට ආවේ. සඳ කිඳුරිය දුටු වහා රජු වශී වී ගියා. ඇය නර්ථනයේ යෙදී සිටිනවා දුටු විට, හුස්ම නතරවුනාක් සේ රජුට දැනෙන්න ගත්තා. ඔහු ඇසි පිය නොහෙලා, කිඳුරිය පිළිබඳ ඉතා ගිජු සිතින් සැඟවී බලා සිටියා. එතකොටම ඔහු අසළ සිටින කිඳුරාවත් ඔහු දුටුවා. සිත ඊර්ෂ්‍යාවෙන් දැවෙන්න ගත්තා. රජුට මෙසේ සිතුනා,
“මේ කිඳුරිය මං දැකපු ලස්සනම කෙනා. මම හිතන්නේ නෑ මෑට වඩා ලස්සන කෙනෙක් දෙව්ලොව වත් ඇතී කියල. මම් මෑව මගේ අග බිසව කරගෙන නැවත බරණැසට යන්නෙමි. මං කුමටනම් තවත් මේ කැලේ දඩයමෙන් වසන්ටද? මෑ වන් ලඳක් සමග දිවි ගෙවන්න මම් ඕනෑම දෙයක් කරමි”
එසේ සිතූ ඒ කෑදර රජු දෙපාරක් නොසිතා, මාරාන්තික විෂ සහිත හීයකින් සඳ කිඳුරාට විද්දා. විත කෑ සැනෙන් කිඳුරා එහිම ඇද වැටුනා. මාරාන්තික විෂ ක්ෂණිකව ඔහුගේ කය පුරා පැතිරිලා ගියා. රුධිර ගංගාවක් මැද මහා වේදනාවකින් ඔහු වැටී සිටියා. නමුත් මේ කිසිවක් ගී කියමින් නර්ථනයේ යෙදී ඉන්න චන්දාවන් දැන හිටියේ නෑ. ඇයට වස්දඩු රාවය නෑසෙන වගවත් නොතේරෙන තරමට ඈ ප්‍රීතියෙන් ඉපිල ගිය සිතින් සිය නර්ථනයේ දිගටම යෙදී සිටියා. බිම වැටී, විෂ නිසා හටගත් නොඉවසිය හැකි වේදනාවෙන් දෑස් බොඳ වී යමින් සිටි අසරණ කිඳුරා ඉමහත් වේදනාවකින් සිය ආදරබර කිඳුරිය දෙස බලාගෙන මෙසේ කීවා,
“චන්ද්‍රාවෙනි, මේ ජීවිතය විනාශය කරා පැමිණියේය යි හඟිමි. (වැගිරෙන) ලෙයෙහි ගිලෙමි. ජීවිතය අත් හරිමි. ප්‍රාණයෝ නිරුද්ධ වෙති.
මාගේ පණ නවතී. මට දුකෙකි. මාගේ හදවත දැවේ. ඉතා ක්ලාන්ත ඇත්තේ වෙමි. මේ මාගේ දුක, ශෝක කරන චන්ද්‍රාව නිසා උපනි. අන් කරුණ නිසා නො වේ.
රත් වූ ගලෙහි ලූ තණ මෙන් ද මුලසුන් කැලෑ ගසක් මෙන් ද මලානික වෙමි. දිය නො පිරුණු නදියක් මෙන් වියළෙමි. එය ශෝක කරන චන්ද්‍රා නිසා උපනි. අන් කරුණු නිසා නො වෙයි.
පර්වත පාදයෙහි වැසි දිය මෙන් මගේ කඳුළු ධාරා නො සිඳී ගලයි. එය ශෝක කරන චන්ද්‍රා නිසා උපනි. අන් කරුණු නිසා නො වේ.”
නමුත් හඬක් පිට නොවෙන තරම් සිහින් වූත් අතිශය වේදනාබර වූත් ඒ හඬ චන්දාට ඇසුනේ නෑ !!!
කිඳුරා මෙසේ ගාථා සතරක් කියමින් වැළපුණු අතර, විත කා මල් යහන මත වැතිර සිටි ඔහුට සිහිය නැති වී ගියේය. රජු, සිටි තැනම රැඳෙමින් තමාට කිඳුරිය වෙත යාමට සුදු කාලය එළඹෙන තෙක් බලා සිටියේ ය.
තවමත් තමාගේ ආදරබර සැමියාට සිදු වූ දේ කිඳුරිය දුටුවේ නැත, එනිසා ඈ තවමන් නටමින් සිටී.
නමුත්, තවත් මොහොතකට පසු ඇයට පරිසරයේ පැතිරීගීය කුමක්දෝ නිහඬබවක් දැනුනි, ඇය නර්ථනය නවතා වනය දෙස වරක් දෙවරක් බලා නැවතත් නර්ථනයේ යෙදීමට පටන් ගත් ගමන්ම, ලේ විලක් මැද වැටී සිටින සිය පෙම්බර හිමි සඳුගේ ප්‍රාණ රහිත ශරීරය දුටුවේය. ඔහු දුටු සැනෙන් වා වා ගත නොහී වියරු වැටී ගිය ඇය දෑතින්ම ළයට ගසා ගනිමින් වැලපෙමින් ඔහු දෙසට දිව ආවා ය. කිඳුරාගේ ශරීරය පිරික්සීමේ දී තවමන් ලේ ගලමින් තිබෙන විත ඇණීගත් තුවාලය ඇය දුටුවාය. මහා හඬින් වැලපෙමින්, කිඳුරාගේ අප්‍රාණික ශරිරය තම උකුල මතට වත්තම් කරගත් ඈ කිසිවක් වටහා ගත නොහැකිව පිහිටක් අයැදිමින්, හාත්පස බලමින් මොර දුන්නා ය. මහ හඬින් විලාප දෙමින් හැඬුවා ය.
එවිට දුෂ්ඨ රජු සැඟවී හුන් තෙනින් මෑත්ව චන්දා දෙසට ආවේ ය. ඔහු දුටු චන්දා, ‘ඒකාන්තයෙන්ම මාගේ හිමිසඳුට අනතුරු කළේ මොහු විය යුතුයැ’යි සිතා වහා එතැනින් පළා ගියා ය. ඇය කන්දේ මුදුනටම පළා ගියා ය. එහි සිට ළෙහි අත් පහරිමින් රජුට ඇසෙන සේ විලාප දෙමින් මෙසේ කීවා ය.
රාජපුත්‍රය, යමෙක් දුක්පත් මා කැමැති මාගේ සැමියා වනයෙහි විද්දේ ද (ඒ නුඹ) පාපියෙක් වෙහි. විදුම් ලද හෙතෙම බිමැ හෝනේ ය.
රාජපුත්‍රය, කිඳුරා බලන මාගේ සිත්හි යම් දුකෙක් වේ ද, මාගේ සිත්හි හටගත් දුක තොපගේ මව ද ලබාවා.
රාජපුත්‍රය, කිඳුරා බලන මාගේ හිතෙහි යම් දුකෙක් වේ ද, මාගේ හිතෙහි හටගත් දුක තොපගේ බිරිඳ ද ලබාවා.
රාජපුත්‍රය, යමෙක් අහිංසක වූ මට ප්‍රිය වූ කිඳුරා මැරී ද (ඒ) තොපගේ මව ද දූදරුවන් නො දකීවා. සැමියා ද නො දකීවා.
රාජපුත්‍රය, යමෙක්, අහිංසක වූ මට ප්‍රිය වූ කිඳුරා මැරී ද (ඒ) තොපගේ බිරිඳ දරුවන් නො දකීවා. සැමියා ද නො දකීවා ” යි කියමින් ඇය සාප කළා ය.
අති මහත් ශෝකයකින් කිඳුරිය මෙසේ විලාප දෙද්දී, ඇය අස්වසාලමී’ යි සිතූ රජු කන්දේ පහළ සිට මෙසේ කීවේ ය.
චන්ද්‍රාවෙනි, නො හඬන්න. දුක් නො වන්න. තී මානෙල් මල් බඳු ඇස් ඇත්තීය. තෙපි රජකුලයේ ස්ත්‍රීන්ගෙන් පිදුම් ලබන්නී මාගේ භාර්යාව හෙවත් අගමෙහෙසිය වන්නහු ය.
ඇය යලි දැඩිව මෙසේ කිවා ය.
“මොකක්ද නුඹ ඒ කියපු කථාව?” සිංහ ගර්ජනාවක් මෙන් උස් හඬින් ඇය ඊළඟ ගාථාව ප්‍රකාශ කළාය.
“නැත! මම නිසැකවම මා මරා දමමි!
මගේ ස්වාමිපුරුෂයා නිර්දෝෂීව මරා දැමූ මම කිසිදා ඔබේ නොවන්නෙමි .
නැවත තවත් ගාථාවකින් ඔහුගේ යෝජනාව ඉතා පිළිකුල් කරමින් චන්දා රජුට තර්ජනය කළා ය. එයින් ම රජු පසු බා ගියේ ය. මෙසේ කියමින් හේ එතැනින් පළා ගියේ ය.
තලිස් පතුරු හා තුවරලා ආහාර කොට ගන්නා බියසුලු කිඳුරිය, ජීවත් වන්නට කැමැති නම් හිමවතට යව. වනයෙහි මෘගයෝ තී රමණය කරන්නාහ.
ඔහු ගිය බව දැනගත් සැණින් චන්දා වහා කන්ද බැසගෙන පැමිණ, දරදඬු වී තිබුනු කිඳුරාගේ නිශ්චල දේහය ආදරයෙන් සිප වැළඳ ගත්තා ය. ඔහුව කඳු මුදුනට ගෙන ගොස්, එහි සමතලා බිමක ඔහුව පරිස්සමින් තබා, හිස තමාගේ ඇකයේ තබා, ගාථා දොළහකින් මහා හඬින් විලාප නැඟුවාය.
ඇයගේ විලාප හඬ ඒ කඳු ප්‍රදේශය දෙවනත් කරමින් පැතිරී ගියේ ය. එය ඇසූ පක්ෂීන් පියා සැලීම නවතා ඈ සිටි දෙසට ආවෝ ය. දඩයම් කරමින් සිටි නපුරු වන මෘගයන්ගේ සිට අපා දෙවා සිව්පා බහුපා සහ පා රහිත ඒ සියලු සත්වයෝ එහි ආවෝ ය. ඇයගේ වැලපුම් හඬ දරගැනීමට නොහැකි වී ගියෙන් ඔවුහු තුෂ්නිම්භූතව ඇය දෙස බලා සිටියහ. වනයේ මල් මැලවී වැටුනි. ගස්වල පත්‍ර හැකිලී මැළවී වැටුනි.
මුළු වනයම සැලී ගියේ ය. සිය පෙම්බර කිඳුරු සැමියාගේ හිස තම ඇකයේ තබාගෙන, ඕ මෙසේ විලාප නැගුවා ය.
අහෝ මාගේ කිඳුරාණෙනි, ඒ පර්වත ද ඒ කඳුරැළි ද ඒ පර්වත ගුහා ද ඇත. එහි තොප නො දක්නා මම කුමක් කෙරෙම් ද?
අහෝ මාගේ කිඳුරාණෙනි, ව්‍යාල මෘගයන් හැසිරැ පුරුදු කොළ ඇතිරී ඇත. එහි තොප නො දක්නා මම කුමක් කෙරෙම් ද?
අහෝ මාගේ කිඳුරාණෙනි, ව්‍යාල මෘගයන් හැසිරැ පුරුදු රමණීය වූ මල් ඇතිරී ඇත. එහි තොප නො දක්නා මම කුමක් කෙරෙම් ද?
අහෝ මාගේ කිඳුරාණෙනි, පිරිසුදු දිය ඇති කුසුම් විසුරුණු දියදහර ඇති ගිරිනදීහු මෙහි ගලා බසිති. එහි තොප නො දක්නා මම කුමක් කෙරෙම් ද?
අහෝ මාගේ කිඳුරාණෙනි, හිමවතෙහි දර්ශනීය වූ නිල් පැහැති පර්වත කූටයෝ වෙති. එහි තොප නො දක්නා මම කුමක් කරම් ද?
අහෝ මාගේ කිඳුරාණෙනි, හිමවතෙහි දැකුම්කලු රන්වන් පර්වත කූටයෝ වෙති. එහි තොප නො දක්නා මම කුමක් කරම් ද?
අහෝ මාගේ කිඳුරාණෙනි, හිමවතෙහි දර්ශනීය වූ තඹපැහැති පර්වත කූටයෝ වෙති. එහි ඔබ නො දක්නා මම කුමක් කෙරෙම් ද?
කිඳුරාණෙනි, හිමවතෙහි දර්ශනීය වූ උස් වූ පර්වත කූටයෝ වෙති. එහි ඔබ නො දක්නා මම කුමක් කෙරෙම් ද?
අහෝ මාගේ කිඳුරාණෙනි, හිමවතෙහි දර්ශනීය වූ සුදුපැහැති පර්වතකූටයෝ වෙති. එහි ඔබ නො දක්නා මම කුමක් කෙරෙම් ද?
අහෝ මාගේ කිඳුරාණෙනි, හිමවතෙහි දර්ශනීය වූ විසිතුරු පර්වත කූටයෝ වෙති. එහි ඔබ නො දක්නා මම කුමක් කෙරෙම් ද?
අහෝ මාගේ කිඳුරාණෙනි, ඔසුයෙන් ගැවැසුණු බුමාටුදෙවියන් සෙවුනා ගඳමහන් පව්වෙහි ඔබ නො දක්නා මම කුමක් කෙරෙම් ද?
අහෝ මාගේ කිඳුරාණෙනි, ඔසුයෙන් ගැවැසුණු කිඳුරන් සෙවුනා ගඳමහන් පව්වෙහි ඔබ නොදක්නා මම කුමක් කෙරෙම් ද?
මෙසේ වැලපෙමින් කිඳුරිය, කිඳුරාගේ මුහුණත් ළයත් පිරිමැද්දා ය. එවිට ඒ දේහයේ යම් උණුසුම් ගතියක් තවමත් තිබෙන බව ඇයට තෙරුම් ගියේ ය.
“අහෝ!!!!!…… මාගේ ස්වාමියාණෝ තවමත් ජීවත් වෙති……. මම ඔහුට නැවත පණ දෙන්නා තුරු දෙවියන්ගෙන් ඉල්ලා සිටින්නෙමි” යී සිතූ කිඳුරිය පෙරටත් වඩා හඬින් වැලපෙමින් ලෝක පාලක දෙවියන්ට මෙසේ උජ්ඣායනා කරන්න පටන් ගත්තා ය.
“අහෝ…..!!!! ලෝක පාලක කිසිවෙකුත් මෙහි නැද්ද? ……… ඔවුන් කොහේ ගිහින්ද? …….. නැතහොත් ඔවුන් මිය ගොස්ද? …….. එබැවින් ද ඔවුන් මගේ ආදරණීය සැමියාණන් බේරා නොගන්නෙ? ……. මාගේ නිර්දෝෂී සැමියාණන්ට සිදුවුන විපත ඔබලාට පෙනෙන්නේ නැද්ද? ……… නිවැරැද්දේම මාගේ සැමියාණන්ගේ පන කෙන්ද නිරුද්ධ වී යන හැටි නුඹලාට පෙනෙන්නේ නැද්ද?…….මාගේ ආදරබර කිඳුරාණන් මාගෙන් වෙන් වී යන බව නුඹලාට නොදැනෙන්නේ මන්ද? …….. නුඹලා කොහි ගිහින්ද?”
මෙසේ කියමින් ඇය මහා හඬින් හඬා වැටුනා ය.
ඇගේ හදවතේ වේදනාවේ හඬ සක් දෙවිඳුන්ට සංවේදී විය. සක් දෙවිඳුගේ පාණ්ඩු කම්බල සෛලාසනය උණු කිරීමට තරම් ඇයගේ වේදනාව අතිශය අවංක බලවත් එකක් විය. හේතුව පිළිබඳ මෙනෙහි කරමින් දෙවිඳු එය ක්ෂණිකව වටහා ගත්තේය; අනතුරුව හේ බ්‍රාහ්මණයෙකුගේ ස්වරූපයෙන් පැමිණ, රන් පැන් කෙණ්ඩියකින් පැන් ගෙන එය කිඳුරාට ඉස්සේ ය. ඒ මොහොතේම, විෂ නිසා නිල්පැහැ ගැන් වී තිබූ බෝසත් කිඳුරාණන්ගේ කයෙන් විෂ බැස ගොස් නැවතත් රත්‍රන් වර්ණයෙන් ප්‍රභාවත් වී ගියේ ය.
විත ඇනුණු වනය අතුරුදන් වූයේ ය. නැවතත් සිහි ලදින් කිඳුරා හෙමිහිට දෑස් විවෘත කර බලා නැගී සිටියේ ය. නිම් හිම් නැති ප්‍රීතියකින් ඔහු දෙස බලා සිටි චන්දාවෝ කිඳුරාණන් සිප වැළඳ ගනිමින්, නැවත නැවතත් සිප වැළඳ ගනිමින් ආයෙත් හඬන්න ගත්තා ය. ඒ තමාගේ පෙම්බර හිමිසඳුට නැවතත් පණ ලැබීමේ ප්‍රිතියෙනි.
ප්‍රීතියෙන් සුසුම් ලමින්, කඳුළු වගුරුවමින් කිඳුරිය, බ්‍රාහ්මණ වෙස් ගෙන සිටි සක් දෙවිඳු පාමුළ වැටී ගත්තා ය. සිරසින් වඳිමින් ඔහුට ස්තූති ප්‍රශංසා කරමින් මෙසේ කීවා ය.
උතුම් බමුණාණෙනි, යමෙක් දුක්පත් මාගේ සැමියා අමාදියෙන් ඉස්සේ ද, (එ හෙයින්) ප්‍රියතම සැමියා හා එක්වීම් ලදිමි. ඒ ඔබ වඳිමි.
අපි දැන් මලින් ගැවැසුණු දියදහර ඇති නන්වැදෑරුම් තුරුසෙවණ නැමැති වස්ත්‍ර ඇති, ගිරිමතින් ඇද හැලෙන නදීන්හි ඔවුනොවුනට ප්‍රිය බස් බෙණෙමින් හැසිරෙම්හ.
එවිට සක්දෙවිඳු ඔවුන්ට මෙසේ උපදෙස් දුන්නේ ය.
“මීට පසු චන්ද්‍ර පර්වතයෙන් බැහැරට නොයන්න. රිදී පර්වතයෙම වසන්න. මනුෂ්‍යන් ගැවසෙන, මනුෂ්‍යන් නිතර හැසිරෙන සම්භාද සහිත තැන් වල නොගැවසේන. ඔබ දෙදෙනා සුවයෙන් බොහෝ කල් වසත්වා!”
මෙසේ සක් දෙවිඳු දෙවරක්ම ඔවුන්ට අවවාද හා අශිර්වාද දී තව්තිසාවට ගියේ ය.
චන්දා තම කිඳුරු ස්වාමියාණන්ට මෙසේ කීවාය,
“මගේ ස්වාමීනි, අනතුරේ මෙහි සිටින්නේ ඇයි? එන්න, අපි චන්ද්‍ර පර්වතයට යමු”
“එන්න….අපි සඳ කන්දට ආපහු යමු,
සොඳුරු ගංගා ගලා යන තැන…….
ගංගා සියල්ලම මල් වලින් වැසී ඇති තැන…..
එහි අපි,
සුළං නාදය දහසක් ගස් අතරේ රහස් කියද්දී,
ඒ චමත්කාරජනක හෝරාවේ,
අපි ගැන කථාකරමින්…… අපි ප්‍රීතියෙන් වසමු…..”
ශාස්තෘන් වහන්සේ මෙම දේශනය අවසන් කරමින් මෙසේ වදාළ සේක,
“දැන් පමණක් නොවේ, නමුත් බොහෝ කලකට පෙර සිට, ඇය මා උදෙසා කැපවී විශ්වාසවන්තව සිටියාය.”
එවිට ශාස්තෘන් වහන්සේ මෙසේ ඒ උප්පත්තීන් හඳුන්වා දුන් සේක.
“එකල අනුරුද්ධයෝ රජු වූවේ ය. රාහුල මාතාවෝ චන්දා නම් කුඳුරාංගනාව වූවා ය. කිඳුරා වනාහි බුදු වූ මම් ම වෙමි.”