චම්පෙය්‍ය ජාතකය

මේ ගාථාව ශාස්තෘන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් පෙහෙවස් සමාදන්වීම අරභයා දේශනා කළ සේක. එකල්හි ශාස්තෘස්තෘන් වහන්සේ, “උපාසකවරුනි, පෙහෙවස් වසන්නා වූ තොප විසින් යහපත් වූවක් කරන ලදී. පැරණි පණ්ඩිතයෝ නා ලොව සම්පත්තීන් හැර පෙහෙවස් විසුවාහුම ය” යි වදාරා ඔවුන් විසින් අයදින ලද්දේ අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.

අතීතයෙහි අඟුරට අඟු රජු ද මගධ රට මගධ රජු ද රාජ්‍යය කරවන කල්හි අඟු-මගධ රටවල් අතර චම්පා නම් නදියක් වීය. එහි නාග භවනයක් වීය. චම්පෙය්‍ය නම් නාරජු එහි රාජ්‍යය කරවී ය. කිසියම් දිනක මගධ රජු අඟු රට රජු සමග යුද්ධ කර යුද්ධයෙහි දී පරාජය වූයේ අසෙකු පිට නැගී පලා යන්නේ, අඟු රට රජුගේ යෝධයන් විසින් ලුහුබඳනා ලදුයේ දියෙන් පිරුණු චම්පා නදියට පැමිණ “අනිකෙකු අතෙහි මරණයට වඩා නදියට පිවිස මරණය උතුම්ය” යි සිතා අශ්වයා සමගම නදියට බැස්සේ ය.

එකල්හි චම්පෙය්‍ය නාරජු ජලය ඇතුළත රුවන්මුවා මණ්ඩපයක් මවා මහ පිරිවරින් යුතුව මහා පානයක් පානය කරයි. අශ්වයා රජු සමග ජලයෙහි කිමිදී නාරජුගේ ඉදිරියෙහි බැස සිටියේ ය. නාරජු අලංකාර කර සරසන ලද රජු දැක සෙනෙහෙ උපදවා අසුනින් නැගිට “රජතුමනි, බිය නොවන්න” යි රජු තමාගේ පළඟෙහි හිඳුවා ජලයෙහි ගිලුන කරුණ විමසී ය. රජු ඇති සැටියෙන් කීවේ ය.

ඉක්බිති ඔහුට කියනුයේ, “මහරජතුමනි, බිය නොවව. මම ඔබව දෙරටෙහි ම ස්වාමියා කරන්නෙමියි” යි අස්වසා සත්දිනක් නාලොව  මහත් වූ යසස් අනුභව කරවා, සත්වන දවස්හි මගධ රජු සමග නාග භවනයෙන් නික්මුනි. මගධ රජු නා රජුගේ මහිමයෙන් අංග රජු අල්ලාගෙන දිවි හරවා දෙරටෙහි ම රාජ්‍යය කරවී ය. එතැන් පටන් මගධ රජුගේ ද නාරජුගේ ද විශ්වාසය ස්ථිර වීය.

රජු වසරක් පාසා චම්පා නදියෙහි රුවන්මය මණ්ඩපයක් කරවා මහත් වූ ධන වියදමින් නාරජුට බලි පූජා කර්මයක් කරයි. හෙතෙම මහත් වූ පිරිවර සමග නාග භවනයෙන් නික්මී පූජා කර්මය පිළිගනී. මහජනයා නා රජුගේ සම්පත්තිය බලයි.

එකල්හි බෝසත් තෙමේ දිළිඳු කුලයෙක්හි උපන්නේ රජ පිරිස සමග ගංතෙරට ගොස් ඒ නාරජුගේ සම්පත්තිය දැක ආශා උපදවා එය ප්‍රාර්ථනය කරනු ලබනුයේ දන් දී සිල් රැක, චම්පෙය්‍ය නාරජු කළුරිය කිරීමෙන් සත්වන දවස්හි චුත වී ඔහුගේ නිදියහන් පහයෙහි උතුම් යහනාව මතුපිට උපන්නේ ය. සිරුර සමන් මල් දමක් වැනි මහත් වූවක් වීය. හෙතෙම එය දැක විපිළිසර වී, ‘මවිසින් කළ කුසල් හේතුවෙන් කාම ස්වර්ගයන් සයෙහි සම්පත්තිය කොටුවක තැන්පත් කරන ලද ධාන්‍යය මෙන් විය. ඒ මම මේ තිරිසන් යෝනියෙහි පිළිසිඳ ගත්තෙමි. මට මේ ජීවිතයෙන් කවර ප්‍රයෝජනයක්දැ’ යි මරණය පිළිබඳව සිත් ඉපිදවී ය.

ඉක්බිති සුමනා නම් නාගමානවිකාවක් ඔහු දැක, ‘මහත් වූ තෙද ඇති සත්ත්වයෙක් උපන්නේ වන්නේ ය’ යි සෙසු නාග මානවිකාවන්ට
සංඥා දුන්නී ය. ඈලා සියළු දෙනා තූර්ය භාණ්ඩයන් ගත් අත් ඇතිව අවුත් ඔහුට උපහාර කළාහු ය. ඔහුගේ ඒ නාග භවනය ශක්‍ර භවනය මෙන් වීය. මරණය පිළිබඳ සිත යටපත් විය. සර්ප ශරීරය අතැර සියළු අලංකාරයන්ගෙන් යුක්ත වූයේ යහන මත හුන්නේ ය. ඉක්බිති එතැන් පටන් ඔහුගේ යසස මහත් වූයේ විය.

හෙතෙම එහි නාග රාජ්‍යය කරවන්නේ මෑත කාලයෙහි විපිළිසර වී ‘මට මේ තිරිසන් යෝනියෙන් කවර ප්‍රයෝජනයක් ද, පෙහෙවස් වාසය කරමින් මිදී මිනිස් ලොවට ගොස් සත්‍යයන් අවබෝධකර, දුක් කෙළවර කරන්නෙමි’ යි සිතා එතැන් පටන් ඒ ප්‍රාසාදයෙහි ම පෙහෙවස් විසීම කරයි. අලංකාර කරන ලද නාග මානවිකාවෝ ඔහුගේ සමීපයට යති. බොහෝ කොට සිල් බිඳිති. හෙතෙම එතැන් පටන් පහයෙන් නික්මී උයනට යයි. එවිට මානවිකාවෝ එහි ද යති. පෙහෙවස් විසීම බිඳේම ය. හෙතෙම මෙසේ සිතුවේ ය.

“ම විසින් මේ නාග භවනයෙන් නික්මී මිනිස් ලොවට ගොස් පෙහෙවස් විසීමට වටනේය”

හෙතෙම එතැන් පටන් පොහොය දිනයන්හිදී නාග භවනයෙන් නික්මී එක් පසල් ගමකට නුදුරෙහි තුඹසක් මත්තෙහි, “මගේ සමෙන් වැඩක් ඇත්තෝ සම ආදිය ගනිත්වා. මා ක්‍රීඩාව සඳහා වූ සර්පයෙකු කරනු කැමැත්තෝ ක්‍රීඩා සර්පයෙකු කෙරෙත්වා” යි සිරුර දාන මුඛයෙහි යොමු කරවා දරණු ගසා හොත්තේ පෙහෙවස් විසීම වාසය කරයි.

මහමගින් යන්නෝ ද එන්නෝ ද ඔහු දැක සුවඳ ආදියෙන් පුදා යත්. පසල් ගම්වැසියෝ ‘මහත් වූ ආනුභාවයක් ඇති නාරජෙක් ය’ යි ඔහු මත්තෙහි මණ්ඩපයක් කර හාත්පස වැලි අතුරා සුවඳ ආදියෙන් පිදුවාහු ය.
මිනිස්සු එතැන් පටන් මහබෝසතුන් කෙරෙහි පැහැදී පූජාවන් කර පුතෙකු පතති. මහබෝසත් තෙමේ ද පෙහෙවස් කරනුයේ තුදුස්වක පසළොස්වක දිනයන්හිදී තුඹස මත වැදහෙව පෑළවිය දින නාග භවනයට යයි.

මෙසේ පෙහෙවස් කරන්නා වූ ඔහුගේ කාලය ගෙවෙන්නේ එක් දිනයක සුමනා නම් අගමෙහෙසිය මෙසේ කීවාය,

“දේවයන් වහන්ස, ඔබ මිනිස් ලොවට ගොස් පෙහෙවස් වසහිද? මිනිස් ලොව සැක සහිත ය. බිය සහිත ය. ඉදින් ඔබට බියක් උපදින්නේ නම් අනතුරුව අපි යම් නිමිත්තකින් දත්තමෝද ඒ නිමිත්ත අපට කියව”

ඉක්බිති මහබෝසත් තෙමේ ඇය මගුල් පොකුණෙහි ඉවුරට පමුණුවා “සොඳුර, ඉදින් කිසිවෙක් මට පහරදී පීඩාවට පත් කරන්නේ නම් පොකුණෙහි ජලය කැළඹුනේ වන්නේ ය. ඉදින් ගුරුළෙක් ගන්නේ ද ජලය පැසෙන්නේ ය. ඉදින් අහිකුණ්ඨිකයෙක් අල්ලා ගන්නේ ද ජලය රතුපාට වන්නේ ය”

මෙසේ හෙතෙම ඇයට නිමිති තුනක් කියා තුදුස්වක පෙහෙවස් අධිෂ්ඨාන කර නාග විමානයෙන් නික්මී එහි ගොස් තුඹස මත්තෙහි හොත්තේ ය. සිරුරෙහි ශෝභාවෙන් තුඹස හොබනේ ඔහුගේ සිරුර රිදී දමක් මෙන් සුදුවන් වීය. මුදුන රත් කම්බිලියෙන් කළ ගෙම්බෙකු මෙන් විය.

************** මේ ජාතකයෙහි බෝසතුන්ගේ සිරුර නගුල් හිසක් පමණ වීය. භූරිදත්ත ජාතකයෙහි කලවායක් පමණද සංඛපාල ජාතකයෙහි ඔරුවක් ඇති නැවක් පමණද විය *****************

එකල්හි එක් බරණැස් නුවරවැසි තරුණයෙක් තක්සිලාවට ගොස් දිසාපාමොක් ආචාරීන්ගේ සමීපයෙහි නාගයන් අල්ලා ක්‍රීඩා කරවන මන්ත්‍රයක් ඉගෙන ඒ මාර්ගයෙන් තමාගේ ගෙට යන්නේ මහබෝසතුන් දැක “මේ සර්පයා අල්ලාගෙන ගම් – නියම්ගම් රාජධානීන්හි ක්‍රීඩා කරවමින් ධනය උපදවන්නෙමි” යි සිතා, දිව්‍යමය බෙහෙත් ගෙන දිව්‍යමය මන්ත්‍රය පිරිවහ ඔහුගේ සමීපයට ගියේ ය.

දිව්‍යමය මන්ත්‍ර ඇසූකල් පටන් මහ බෝසතුන්ගේ කන්වල රත් වූ ගල් කැට පිවිසි කල මෙන් වීය. හිස මුදුන ගල් කුළකින් මඩින්නාක් මෙන් විය. හෙතෙම මේ කවරෙක්දැ’ යි දරණය තුළින් හිස ඔසවා බලන්නේ අහිකුණ්ඨිකයා දැක මෙසේ සිතුවේ ය,

“මගේ විෂ මහත් ය. වේග සහිත ය. ඉදින් මම කිපී නාසයෙහි සුළඟ විහිදුවන්නෙමි ද මොහුගේ සිරුර අළුමිටක් මෙන් විසිරෙන්නේ ය. ඉක්බිති මගේ ශීලය කඩවන්නේ ය. ඔහු දෙස නොබලන්නෙමියි.”

හෙතෙම ඇස් වසා හිස දරණය තුළ තැබුවේ ය. අහිකුණ්ඨික බ්‍රාහ්මණයා ද බෙහෙත කා මන්ත්‍රය පිරිවහා, කෙළ මහ බෝසතුන්ගේ සිරුරෙහි දැම්මේ ය. ඖෂධයන්ගේ ද මන්ත්‍රයේ ද ආනුභාවයෙන්, කෙළ ස්පර්ශ කළ තැන්හි බුබුළු නැගි කල්හි මෙන් වීය. ඉක්බිති හෙතෙම ඔහුව නගුටෙන් ගෙන ඇද දිගට හොවා, එළු පා සලකුණ ඇති මුගුරින් පෙරළා දුබලකොට, හිස දැඩිකොට පෙරළුවේ ය. මහ බෝසත් තෙමේ කට හැරියේ ය. ඉක්බිති ඔහුගේ මුඛයෙහි බෙහෙත් කෙළ ගසා මන්ත්‍රකොට දත් බින්දේ ය. මහ බෝසතුන්ගේ මුව ලෙයින් පිරුණේ ය‍. මහ බෝසත් තෙමේ සිල් බිඳීමේ බියෙන් මෙබඳු වූ දුකක් ඉවසන්නේ ඇස් විවර කර බැලීම් පමණකුදු නොකළේ ය.

ඔහු ‘නා රජු දුබල කරන්නෙමි’ යි මහබෝසත් නා රජුගේ නගුටෙහි පටන් ඇට සුණු කරනුයේ මෙන් මුළු සිරුරම මැද පටවෙලුම නම් වෙළුමෙන් වෙලී ය. ‘තන්තමජ්ජික’ නම් මැදීමෙන් මැද්දේ ය. නඟුටෙන් ගෙන ‘දුස්සපොයි’ නම් අපුල්ලීමෙන් අපුල්ලී ය. මහබෝසතුන්ගේ මුළු සිරුර ම ලේ වැකුනේ වීය. වේදනාවන් හටගත්තත් බොහෝමත් ම මෙත් සිතින් ඒවා ඉවසී ය. මහත් වූ වේදනාවක් ඉවසී ය. ඉක්බිති ඔහුගේ දුබල බව දැන, වැල්වලින් පෙට්ටියක් කර නා රජු එහි බහා, පසල්ගමකට පමුණුවා, මහජනයා මැද සෙල්ලම් කරවී ය.

නිල්පැහැ ආදී වූ වර්ණ ඇති, රවුම් හතරැස් ආදී හැඩ ඇති, ලොකු කුඩා ආදී ප්‍රමාණයෙහි යම් යම් දෙයක් බමුණා කැමති වන්නේ ද මහාසත්ත්වයෝ ඒ ඒ දෙයට නටත්….! පෙණ සියයක්,  පෙණ දහසක් ද කරත්. මහජනයා පැහැදී බොහෝ ධනය දුන්නේ ය. බමුණා, එක දවසකට කහවනු දහසක් ද දහසක් වටනා පිරිකර ද ලැබුවේ ය.

බමුණා පළමුව දහසක් ලැබූ කළ, නා රජු නිදහස් කරන්නෙමි’ යි සිතුවේය. නමුත් ඒ ධනය ලැබ පසල්ගමෙහි වූ කලී, ‘මවිසින් මෙපමණක් ධනය ලබන ලදී. රාජ – රාජමහාමාත්‍යන්ගේ සමීපයෙහි බොහෝ ලබන්නෙමි‘යි තෘෂ්ණා උපදවා, කරත්තයක් ද සුවපහස් ඇති යානාවක් ද මිල දී ගත්තේ ය. ගැලෙහි පිරිකර තබා සුවයහන්හි හුන්නේ මහත් වූ පිරිවර සමග මහ බෝසතුන් ගම්නියම්ගම් ආදියෙහි ක්‍රීඩා කරවන්නේ බරණැස් නුවර උග්ගසේන රජු ඉදිරියේ ක්‍රීඩා කරවා නිදහස් කරන්නෙමි’යි එහි ගියේ ය.

හෙතෙම මැඩියන් මරා නාරජුට දෙයි. නාරජු ‘මෙතෙම මා නිසා නැවත නැවත මරන්නේ ය’ යි නොකයි. ඉක්බිති ඔහුට මී සහ විළඳ දුන්නේ ය. මහබෝසත් තෙමේ ‘ඉදින් මම ගොදුරු ගන්නෙම් ද පෙට්ටිය තුළම මරණය වන්නේ ය’ යි ඒවාද නොකයි.

බ්‍රාහ්මණයා මසකින් පමණ බරණැස් නුවරට පැමිණ දොරටුගම්හි සෙල්ලම් කරවනුයේ බොහෝ ධනය ලැබුවේ ය. රජු ද ඔහු කැඳවා ”අප සඳහා සෙල්ලම් කරවව්’‘ යයි කීවේය.

“දේවයන් වහන්ස මැනවි. හෙට පසළොස්වක දිනයෙහි දී ඔබ වහන්සේ සඳහා සෙල්ලම් කරවන්නෙමි” යි කීවේ ය.

රජු “හෙට නාරජු රජ මිදුලෙහි නටන්නේ ය. මහජනයා රැස්වී බලත්වා” යි බෙර හසුරුවා දෙවන දවස්හි රජ මිදුල අලංකාර කරවා බමුණා කැඳවී ය. හෙතෙම රන් පෙට්ටියෙහි මහබෝසතුන් ගෙනවුත් විසිතුරු ඇතිරිල්ලක පෙට්ටිය තබා හුන්නේ ය. රජු ද පහයෙන් බැස මහජනයා විසින් පිරිවරන ලදුයේ රාජාසනයෙහි හුන්නේ ය. බමුණා මහ බෝසතුන් පිටතට ගෙන නැටවී ය. මහජනයා ප්‍රකෘති ස්වභාවයෙන් සිටින්නට නොහැකි විය. දහස් ගණන් පිළිහිසසෑරුම් පවතී…. බෝසතුන් මත්තෙහි සත්රුවන් වැසි වස්වයි….

අල්ලාගත් ඔහුට මසක් සපිරුණි. මෙතෙක් කල් නිරාහාරව ම වූයේ ය. සුමනා නාග මානවිකාව “මගේ ප්‍රිය සැමියා මනුෂ්‍ය තලයට ගොස් දැන් බොහෝකල් ගෙවයි. දැන් මෙහි නොපැමිණ ඔහුට මසක් සපිරුණි. ඒ කිනම් කරුණක්දැ” යි සිතා ගොස් පොකුණ බලන්නී රතු පැහැ ගත් ජලය දැක ‘අහිකුණ්ඨිකයෙකු විසින් ගත්තේ වන්නේ’ යයි දැන නාග භවනයෙන් නික්මී තුඹස සමීපයට ගියා ය. මහ බෝසතුන් අල්ලාගත් තැන ද, විඩාවට පත්කළ තැන ද දැක මහත් සේ හඬා වැලපී පිටිසර ගමට ගොස් විමසා ඒ පුවත අසා බරණැස් නුවරට ගොස් රජ මිදුලෙහි පිරිස මැද අහසෙහි මහ හඬින් හඬමින් සිටියා ය.

මහබෝසත් තෙමේ නටන්නේම අහස බලන්නේ ඇය දැක ලජ්ජාවට පත්වූයේ පෙට්ටියට පිවිස හොත්තේ ය. රජු ඔහු පෙට්ටියට පිවිසිකල්හි කවර කරුණක් දැයි ඔබිනොබ බලන්නේ අහසෙහි සිටි ඇය දැක මෙසේ කීවේ ය.

“විදුලිය මෙන්ද, ඉරබටු තරුව මෙන් ද බබලන ඔබ කවරීද? දෙවඟනක් වෙහිද? ගාන්ධර්ව ස්ත්‍රියක වෙහිද? මම ඔබ මිනිස් ස්ත්‍රියක යයි නොසිතමි. තී එක් දෙවඟනක හෝ ගාන්ධර්ව ස්ත්‍රියක වීමට වටනේය”

“මහරජතුමනි. මම දෙවඟනක නොවෙමි. ගාන්ධර්ව ස්ත්‍රියක ද නොවෙමි. මිනිස් ස්ත්‍රියක ද නොවෙමි. ස්වාමීනි, මම නාග කන්‍යාවක වෙමි. මම එක් කරුණක් නිසා මෙහි පැමිණියා වෙමි”

“නාග කන්‍යාවනි, ඔබ අපේක්‍ෂා රහිත වූ සිත් ඇත්තෙහි ය. විඩාවට පත් ඉඳුරන් ඇත්තෙහි ය. ක්ලාන්ත වු ඉඳුරන් ඇත්තී ය. ඔබගේ නෙත්වලින් කඳුළු ධාරා ගිලිහෙත්. ඔබගේ කවරක් නම් විනාශ වූයේ ද? කවරක් ප්‍රාර්ථනය කරමින් මෙහි පැමිණියා ද? එය මට කියව”

“රජතුමනි, යමෙකුට උග්‍රතේජස් ඇති උරග යයි කියත්ද, ඔහුට
නාග යයි කියත්. මේ පුරුෂයා දිවිපැවැත්ම සඳහා ඒ නාරජු අල්ලා ගත්තේය. ඔහු බැම්මෙන් මුදව. මේ තෙම මගේ ස්වාමියා ය.”

“ශක්තියෙන් හා වීර්යයෙන් යුක්ත වූ මෙතෙම් කෙසේ නම් මේ වෙළෙන්දාගේ අතට පත්වූයේ ද? නාග කන්‍යාවනි. ඒ කරුණ මට කියව. අල්ලා ගන්නා ලද නාගයා කෙසේ නම් දනිමුද?”

“මේ නාගයාට නගරද අළු කරළ හැකි ය. හෙතෙම එවැනි වූ බලයෙන් හා වීර්යයෙන් යුක්ත ය. නමුත් හේ ධර්මයට ගරුකරනු ලබන්නේ ය. එහෙයින් උත්සාහවන්ත වී තවුස් බව කරයි. පන්සිල්ද පෙහෙවස් විසීමේ ධර්මයද ගරු කරමින් වාසය කරයි. ‘මේ පුරුෂයා ගන්නා ලද්දේ ද ඉදින් මම මොහුගේ මත්තෙහි නැහැයෙන් වාතය විහිදුවන්නේ අළුටක් මෙන් විසිරි යන්නේය. එසේ වූ විට මගේ සීලය බිඳෙන්නේ ය’ යි සිල් බිඳෙන බියෙන් ඒ දුක ඉවසා වීර්යයම කරයි”

රජු මෙතෙම කොහිදී මොහු විසින් ගන්නා ලද්දේ දැයි විචාළේය. ඉක්බිති ඇය ඔහුට කියන්නී,

“රජතුමනි, මේ නාරජු තුදුස්වක පසළොස්වක දිනයන්හි සිව් මංසන්ධියෙක එක් තුඹසක චතුරංග සමන්නාගත අධිෂ්ඨානය අධිෂ්ඨාන කර පෙහෙවස් වාසය කරයි. එහිදී මේ පුරුෂයා සිය දිවිපැවැත්ම සඳහා ඔහු අල්ලා ගත්තේ ය. මොහුට ධනය දී මෙසේ දැහැමි වූ ගුණවත් වූ ඒ නාරජු බැම්මෙන් මුදව. මෙතෙම මගේ ස්වාමියායි”

මෙසේද කියා නැවත ඉල්ලන්නී,

“අමුනන ලද මැණික්මය කුණ්ඩලාභරණ ඇති ජලය ම නිවස කර සයනය කරන්නා වූ සොළොස් දහසක් ස්ත්‍රීහු වෙත් ද ඈලා මොහු සරණ ගියෝ ය. ඔබ මෙතෙම යම්කිසි දිළිඳු නාගයෙක් යයි නොසිතුව, මොහුට සියළු අලංකාරයන්ගෙන් සැරසුන මෙපමණක් ස්ත්‍රීහු ද සෙසු අප්‍රමාණ සම්පත්තීන් ද ඇත. නිදහස් වූ සිරුර ඇත්තේ මාගේ නා රජු සුවයෙන් හැසිරේවා! මහ රජුනි, පිං කැමැති ඔහු බැම්මෙන් මුදවව” යී කීය.

ඉක්බිති රජු ඇයට මෙසේ කීවේය.

“ගම්වර දීමෙන් ද කහවනු දීමෙන් ද ගවයන් සියයක් දීමෙන් ද සැහැසි නොවු දැහැමි මාර්ගයෙන් ම මම් ඔහු මුදමි, උරගයා නිදහස් වූ සිරුර ඇත්තේ සුවසේ හැසිරේවා !! පිං කැමැති නාගයා බැම්මෙන් මිදේවා!!”

“වැද්දාණනි, කහවනු සියයක් දෙමි. මහත් වූ මැණික් කුණ්ඩලාභරණයක් ද දෙමි. සිව්රැස් වූ බෙරළිය මල් වැනි වූ පළඟක් ද දෙමි. සමාන වූ භාර්යාවන් දෙදෙනෙක් ද වාෂභයෙකු සහිත ගවයන් සියයක් ද දෙමි, උරගයා නිදහස් වූ සිරුර ඇත්තේ සුවසේ හැසිරේවා!! පිං කැමැති නාගයා බැම්මෙන් මුදව්”

ඉක්බිති වැද්දා රජුට මෙසේ කීවේය.

“රජතුමනි, වස්තු දීමෙන් තොරව ද, ඔබගේ වචනය ගරුකොට ඒ උරගයා බැම්මෙන් මුදවමි. උරගයා නිදහස් වූ සිරුර ඇත්තේ සුවසේ හැසිරේවා !! පිං කැමති නාගයා බැම්මෙන් මිදේවා !!”

එසේ කියා හේ මහබෝසතුන් පෙට්ටියෙන් බැහැර කළේ ය. නාරජු නික්මී මල් අතරට පිවිස ඒ ආත්මභාවය අත්හැර මානවකයෙකුගේ ස්වරූපයෙන් සරසන ලද සිරුර ඇතියේ පොළොව බිඳින්නාක් මෙන් නික්ම සිටියේ ය. සුමනා මානවිකාව ද අහසින් බැස ඔහු සමීපයෙහි සිටියේ ය. නාරජු ඇඳිලි බැඳ රජුට නමස්කාර කරමින් සිටියේ ය.

මිදුනා වූ චම්පෙය්‍යක නාගයා රජුට මෙසේ කීවේ ය.

“කසීරට රජතුමනි, ඔබට නමස්කාර වේවා! කසීරට වැඩිදියුණු කරන රජතුමනි, ඔබට නමස්කාර වේවා! ඔබට ඇඳිලි බඳින්නෙමි. මගේ නාග විමානය බලන්නේ නම් යෙහෙකි. මගේ නිවාසය වූ චම්පෙය්‍ය නාග භවනය සිත්කළුය. දැකිය යුත්තකි. මම එය ඔබට දක්වන්නට කැමැත්තෙමි. රජතුමනි, බලසෙනග සහිතව අවුත් එය බලව”

“නාරජතුමනි, යම් හෙයකින් මිනිසෙක් නොමිනිස් වූවෙකු කෙරෙහි විශ්වාස තබන්නේ නම් එය ඒකාන්තයෙන් විශ්වාස කළ නොහැක්කකැයි කීවාහුය. ඉදින් ඔබ මේ කරුණෙහි ලා මා අයදනේ ද ඔබගේ විමානයන් දක්නෙමු. එතකුදු වුවත් මම එය නොඅදහමියි”

ඉක්බිති ඔහු අදහවන්නට දිවිරීම කරනුයේ මහබෝසත් තෙමේ මෙසේ කීවේ ය.

“රජතුමනි. ඉදින් වාතය පර්වතයක් උසුලාගෙන යන්නේ ද චන්ද්‍රයාද සූර්යයාද බිම වැටෙන්නාහු ද සියළුම ගංගාවෝ උඩුගං බලා ගලන්නාහු ද එතෙකුදු වුවත් මම බොරු නොකියන්නෙමි.

රජතුමනි, අහස පැලෙන්නේ නමුදු සාගරය වියැලෙන්නේ නමුදු මහපෘථුවිය පැදුරක් මෙන් හැකිලෙන්නේ නමුදු සියළු පර්වතයන් අතර උස් වූ මහාමේරුව මුළුමනින්ම ඉදිර, මුල සහිතවම නැගීසිට, ඉදුන කොළයක් මෙන් අහසෙහි ඉගිලෙන්නේ නමුදු මම බොරු නොකියන්නේම වෙමි”

මහබෝසතුන් විසින් මෙසේ කී කල්හිද හෙතෙම නොඅදහන්නේ ය.

“නාගය, යම්හෙයකින් මනුෂ්‍යයෙක් අමනුෂ්‍යයෙකු කෙරෙහි විශ්වාස කරන්නේය යන මෙය ඒකාන්තයෙන් විශ්වාස කළ හැක්කකැයි කීවාහු ය. ඉදින් මේ කරුණෙහිලා මා යාඥා කරහිද ඔබගේ නාග විමානයන් දකිමු. තවද නාගය, තෙපි මහත් වූ දරුණු විෂ ඇති මහත් වූ තෙද ඇති වහා කිපෙන සුළු අය වෙහුය. මා නිසා බැම්මෙන් මිදුනේ ය. අපි කළ දේවල් දැනගන්නට සුදුස්සෙහි ය. ඇදහීමට සුදුසු බව හෝ නුසුදුසු බව හෝ මම දනිමි”

ඉක්බිති ඔහු අදහවන්නට නැවත දිව්රිම කරන්නා වූ මහබෝසත් තෙමේ මෙසේ කීය.

“මෙසේ ගුණවත් ලෙස කටයුතු කරන ඔබ වැන්නෙකු ගැන යමෙක් නොදන්නේ ද, උපකාර කටයුතු නොදන්නේ ද, එබඳු වූ හෙතෙම දරුණු ස්වභාව ඇති නිරයෙහි පැසේවා! කායික වූ කිසියම් සුවයක් නොලබාවා!පෙට්ටියේ බැඳුනේ මරණයට පැමිණේවා!”

ඉක්බිති රජු ඔහු විශ්වාස කර ස්තුති කළේ ය.

“ඔබගේ මේ දිව්රුම සත්‍ය වූ ප්‍රතිඥාවක් වේවා! ක්‍රෝධ නොකරන්නෙක් වේවා! බද්ධ වෛර නැත්තෙක් වේවා! ගුරුළෝ ඔබගේ සියළු නාග කුලය ආරක්ෂා කරාවා!”

මහ බෝසත් තෙමේද රජුට ස්තුති කරන්නේ මෙසේ කීවේ ය.

“රජතුමනි, මවක යම්සේ මනාව ප්‍රිය වූ එකම පුතුට අනුකම්පා කරන්නේ ද, එසේ නාග කුලයට අනුකම්පා කරව. මම ද නාගකුලය සමග ඔබට මහත් වූ වතාවත් කරමි”

රජු ඒ අසා නාග භවනයට යනු කැමැත්තේ සේනාවට ගමන සඳහා සූදානම් වීමට අණ කරන්නේ,

“මනාකොට විසිතුරු කරන ලද රාජකීය රථයෙහි මනාව හික්මවන ලද කාම්බෝජ රටෙහි උපන් අශ්වයන් යොදත්වා! රනින් සැරසිලි කළ ඇතුන් ද යොදත්වා! අපි නාගයන්ගේ විමානය දකින්නට යන්නෙමු” යි කීවේය.

උග්ගසේන රජුගේ බෙර ද මිහිඟු බෙර ද පණාබෙර ද හක් ද වාදනය කළාහු ය. බෙහෙවින් හොබනා වූ බරණැස් රජු, සොළොස් දහසක් කාන්තාවන් විසින් පෙරටු කර පිරිවරන ලදුයේ ඒ ස්ත්‍රී සමූහයා මැද බරණැස් නුවරින් නාග භවනයට යන්නේ අතිශයින් යෝභා සම්පන්නව ගියේය. රජු නගරයෙන් නික්මුණ කාලයෙහි ම මහබෝසත් තෙමේ තමාගේ ආනුභාවයෙන් සියල්ල රුවන්මුවා වූ ප්‍රාකාරයක් ද දොර අට්ටාලයන් ද දෘශ්‍යමාන වූවක් කර නාග භවනයට යන මාර්ගය අලංකාර කර සරසන ලද්දක් කොට මැවීය. පිරිස් සහිත වූ රජු ඒ මාර්ගයෙන් නාග භවනයට පිවිස රමණීය වූ රන්වැලි අතුරන ලද භූමිය ද වෛධූර්‍ය මැණික් පුවරු අතුරන ලද රන්මය වූ ප්‍රාසාදයන්ද දුටුවේය. ඒ රජු, සූර්යයාගේ වර්ණයට සමාන වූ රන් විදුලිය සේ ප්‍රභාශ්වර වූ අලංකාර වූ චම්පෙය්‍ය නාගයාගේ විමානයට පිවිසියේ ය.

එහි ඒ කසී රජු නොයෙක් ගස්වලින් ගැවසුනා වූ නොයෙක් සුවඳින් සුවඳ කවන ලද, වැහි වලාවක් අභිමුඛයෙහි හැසිරෙන්නා වූ රන් විදුලියක් මෙන් බබලන්නා වූ චම්පෙය්‍ය නාගයාගේ විමානය දුටුවේ ය. රජු චම්පෙය්‍ය නාගයාගේ විමානයට පිවිසි කල්හි දිව්‍යමය තූර්යයෝ වාදනය කළාහු ය. නාග කන්‍යාවෝද නැටුවාහු ය. නාග කන්‍යා සමූහයා විසින් හැසිරෙන ලද ඒ විමානයට පහන් සිත් ඇති කසී රජු නැංගේ ය. සඳුන්කල්ක ගල්වන ලද හේත්තු වන පුවරු සහිත ස්වර්ණමය පුටුවෙහි හිඳගත්තේ ය

 එහි හුන් විගසම නාග කන්‍යා සමූහයා රජුට නොයෙක් රසවත් දිව්‍ය භෝජන පිළිගැන්වූහ. එසේම රජුගේ සොළොස් දහසක් ස්ත්‍රීන්ට ද සෙසු පිරිසට ද පිළිගැන්වූහ. පිරිස් සහිත වූ හෙතෙම සත්දිනක් පමණ දිව්‍යමය කෑම් බිම් ආදිය වළඳා දිව්‍යමය කාම සැපයෙන් සතුටු වී සුවයහනෙහි හුන්නේ මහබෝසතුන්ගේ යසස වර්ණනා කරමින් මෙසේ විචාළේ ය. 

“නාග රජතුමනි, ඔබ මෙබඳු සම්පත්තියක් හැර මිනිස් ලොව තුඹසක් මත වැදහෙව කුමක් හෙයින් පෙහෙවස් වාසය කරයිද? ඔබගේ මේ උතුම් විමානයෝ සූර්යයාගේ පැහැය වැනි ප්‍රභාෂ්වරයෝ ය. මෙවැනි වූ ඒවා මිනිස් ලොව නැත. කුමක් බලාපොරොත්තු වෙමින් තවුස්දම් කරහිද?

රන් අබරණ දරන්නා වූ, මනාකොට හඳනා ලද වස්ත්‍ර ඇති, රවුම් වූ ඇඟිලි ඇති තඹවන් අතුල්පතුල් ඇති අලාමක පැහැ ඇති නාග කන්‍යාවෝ දිව්‍යපාන ගෙනවුත් පොවති. මිනිස් ලොව මෙබන්දක් නැත. නාගය, කුමක් බලාපොරොත්තුවෙන් තපස් කරහිද?

මේ පොකුණු හාත්පස දිව්‍යමය සුවඳ නිරතුරුව හමයි. ඒ වටා මනාව පිපුණා වූ අඹගස් ද, සල්ගස් ද, එරහැන්ද ගස් ද, දඹගස් ද, ඇසල ගස් ද, පළොල් ගස් ද ඇත. පුළුල් වූ වරල් වලින් යුක්ත මසුන් ඇති, ආටා නම් (උකුසු) කුරුල්ලන් විසින් පවත්වන ලද නාද ඇති, මනා තොටුපල වලින් යුත් ඒ මේ ගංගාවෝ ද වෙත්. කොස්වාලිහිණියෝ ද මයුරයෝ ද දිව්‍යමය හංසයෝ ද මිහිරිනාද ඇති කොවුලෝ ද ගසින් ගසට පනිත්. මිනිස් ලොව මෙබන්දක් නැත.

ඔබ ලේවන් වූ ඇස් ඇත්තේ, නසන ලද අනතුරු ඇති අලංකාර කරන ලදුයේ, කපන ලද කෙස් රැවුල් ඇත්තේ, රත්සඳුන්වලින් සුවඳ ගල්වන ලද ගාන්ධර්ව රජු මෙන් දිශාවන් බබුළුවන්නෙහි ය. දේවයන් වහන්ස, ඔබ මහත් වූ ඉසුරට පත්වූයේ වෙහි. මහත් වූ ආනුභාව ඇත්තේ ය. සියළු කාම සම්පත්තීන්ගෙන් යුක්ත වූයේ ය. නා රජතුමනි. මේ කරුණු නුඹගෙන් විචාරමි. කවර කරුණින් මිනිස් ලොව මෙයට වඩා උතුම් ද?”

ඉක්බිති නාරජු ඔහුට මෙසේ කීවේ ය.

“රජතුමනි, මම් පුතුන් හේතු කොට ගෙන තපස් නොකරමි. ධනය හේතුකොට ගෙනද නොවේ. ආයුෂ හේතුකොට ගෙනද නොවේ. මිනිස් ලොව උපත පතන්නේ වෙමි. එහෙයින් උත්සාහවත් වී තපස් කරමි. 

මිනිස්ලොව හැර අන්තැනක අමෘත මහා නිර්වාණ සංඛ්‍යාත වූ පිරිසිදු බව හෝ සීල සංයමය හෝ නැත. මම ද මිනිස් ආත්මයෙහි උපත ලබා ජාතිය හා මරණය යන මේවායේ කෙළවර කරන්නෙමියි තපස් කරමි”

ඒ ඇසූ රජු මෙසේ කීවේ ය.

“නාගරාජය, යමෙක් බොහෝ තන්හි සිතන්නා වූ බහුශ්‍රැතයෝ වෙත්ද, නුවණැත්තෝ වෙත්ද, ඒකාන්තයෙන් ඔවුහු සේවනය කළ යුත්තෝ වෙති. නාගය ඔබ ද ඔබගේ මේ නාග කන්‍යාවන් ද දැක මම් ද බොහෝ පිං කරන්නෙමියි”

 ඉක්බිති නා රජු ඔහුට කියනුයේ, “මහ රජතුමනි, ඉදින් ඒ කී අයුරින් කරන්නෙහි නම් මැනවි. රජතුමනි. යමෙක් බොහෝ තන්හි සිතන්නා වූ බහුශ්‍රැතයෝ වෙත්ද නුවණැත්තෝ වෙත්ද ඒකාන්තයෙන් ඔවුහු සේවනය කළ යුත්තෝ වෙති. මාද නාග කන්‍යාවන් ද දැක බොහෝ වූ පිං කරව”

මෙසේ කී කල්හි උග්ගසේන රජු නැවතත් මනු ලොවට යනු කැමැත්තේ, “නා රජතුමනි. අපි මෙහි බොහෝ කල් විසුවෝ වෙමු. පෙරළා යන්නෙමුද?” යි විචාළේ ය.

ඉක්බිති මහ බෝසත් තෙමේ ඔහුට කියනුයේ, “මහ රජතුමනි, එසේ නම් කැමති තාක් ධනය ගනුව. මේ මගේ බොහෝ වූ රත්රන් වේ. මේ තල්ගස් පමණ වූ රන් රැසයි. මෙයින් ගෙන ගොස් ස්වර්ණමය ගෙවල් කරව. රිදියෙන් ප්‍රාකාරයක් කරත්වා! වෛධූර්‍යය මැණික් මිශ්‍ර වූ මේ මුතු ගැල් පන්සියයකි. මෙයින් ගෙන ගොස් අන්තඃපුරයෙහි බිම අතුරත්වා! එවිට එය මඩ රහිත දූවිලි නැති වූවක් වන්නෙහි ය.

ශ්‍රේෂ්ඨ රජතුමනි, බෙහෙවින් හොබනා වූ මෙවැනි උසස් විමානයක වාසය කරව. ලාමක නොවූ නුවණ ඇත්ත, මෙබඳු වූ රන්මුවා වූ ගෙවල ද රිදී ප්‍රාකාරය ද මුතු හා වෛධූර්‍යය මැණික් ඇතිරූ බිම සහිත සමෘද්ධිමත් වූ ඒ බරණැස් නුවරෙහි වාසය කරව”

ඉක්බිති මහබෝසත් තෙමේ “සියළු රජ පිරිස කැමතිතාක් රන් රිදී ආදී ධනය ගනිත්වා” යි නාග භවනයෙහි බෙර හැසිරවී ය. රජු සඳහා ද නොයෙක් ගැල් සියයකින් ධනය යැවී ය. එකල්හි රජු මහත් වූ යසසින් යුතුව නාග භවනයෙන් නික්මී බරණැස් නුවරට ම ගියේ ය. එතැන් පටන් දඹදිව් පොළෝතලය රන් සහිත වූවක් විය.

ශාස්තෘන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා “පැරණි
පණ්ඩිතයෝ නාග සම්පත් අතහැර පෙහෙවස් විසූහ” යි කියා ජාතක දේශනය ගලපා වදාළ සේක.

“එකල්හි අහිකුණ්ඨිකයා දෙව්දත් විය. සුමනාව රාහුල මාතා යශෝධරා වීය. උග්ගසේන රජු සැරියුත් තෙර විය. චම්පෙය්‍ය නාරජු මම ම වූයෙමි” යි ශාස්තෘන් වහන්සේ වදාළ සේක.