කුම්මාසපිණ්ඩ ජාතකය
එකල අප මහ බෝසතාණන් වහන්සේ දුගී නිවසක උපන්හ. බරණැස් නුවර වාසය කල හේ දිනක් පාන්දරින්ම කුලී වැඩක් සොයා යනු පිණිස විදීයට බැස්සේය. දහවල ආහාරය සඳහා වෙළඳ වීදියෙන් පිට්ටු කෑලි සතරක් මිලට ගෙන කිලිටි රෙදි කැබැල්ලක ඔතා ඉනෙහි රුවා ගත්තේය. ඒ මොහොතේම පසේ බුදු රජාණන් වහන්සේලා සතර නමක් පිඬු පිණිස ඒ වීදියේම වැඩම කරමින් සිටියහ. අපගේ බෝසතාණන් වහන්සේ මද දුරක් ගමන් කොට හිස ඔසවා බලද්දී ඈතින් වඩිනා පසේ බුදු රජාණන් වහන්සේලාගේ ඡායාව දක්නා ලදී. හේ සතුටින් ඉහවහ ගියේය. වහා දිව ගොස් බිම වැතිරී පසේ බුදුරජාණන් වහන්සේලාට වන්දනා කලේය. හේ මෙසේ කීය,
“ස්වාමීනී, මා ලඟ පිට්ටු කෑලි සතරක් ඇත. අනේ ස්වාමීනී, නීරස වුවත් මෙය මා හට ඇති අග්‍රම දේය. ස්වාමීනී මා ගැන අනුකම්පාවෙන් මාගේ මේ දිළිඳු දානය පිළිගන්නා සේක්වා”
නිශ්ෂබ්දව වැඩ සිටිමින් පසේ බුදු රජාණන් වහන්සේලා ඔහුගේ නීරස පිට්ටු දානය ඉවසා වදාල සේක.
බෝසතාණන් වහන්සේ ඉක්මන්කොට ඒ අසලින්ම වැලි එක්කර ගොඩවල් සතරක් සාදා ඒ මත අසළ ගසකින් කඩා ගත් පත්‍ර අතුරුවා ආසන පිළියෙළ කලේය. එහි පසේ බුදුරජාණන් වහන්සේලා ආදරයෙන් වඩා හිඳුවා ගොටුවකින් පැන් ගෙනෙමින් පසේ බුදුරජාණන් වහන්සේලාගේ දෑත් දොවා තමාගේ ඉනෙහි රුවා තිබූ පිට්ටු කෑලි සතර මහත් ආදරයෙන් පූජා කරගත්තේය.
මෙසේ දන් පුදා අප මහ බෝසතාණන් වහන්සේ පැතුමක් පැතීය.
“ස්වාමීනී, මේ දානයාගේ අනුහසින් මා මතු කිසිඳු දිනෙක දිළිඳු නොවෙම්වා! දිළිඳු කුලයක නූපදිම්වා! සර්වඥතා ඥානය පිණිසමම මා හට මේ දානය උපකාර වේවා!”
ඒ දානය ඔහුට මිය යනතුරු මතක හිටියේය. ආයෙ ආයෙත් සිහි කලේය. සිහි කරමින් සතුටු වූයේය. කාලයාගේ ඇවෑමෙන් ඔහු මරණයට පත් විය.
කරන ලද පුණ්‍ය කර්මයේ ආනුභාවයෙන් මීලගට ඔහු ඉපදුනේ දිළිඳු කුලයකනම් නොවේ. ඒ බරණැසම බරණැස් රජුන්ගේ අග මෙහෙසියගේ කුසේ හේ පිළිසිඳ ගත්තේය. මවුපියෝ ඔහුට ‘බ්‍රහ්මදත්ත’ කුමාරයා යැයි නම් තැබූහ.
මේ කුමරුවා බාලකාලයේදීම, යාන්තම් දුව පැන ඇවිදින කාලයේම තමාගේ පෙර ජීවිතය පිළිබඳ සියල්ල සිහිවෙන්ට ගත්තේය. කැඩපතකින් මුහුණ බලන්නාක් සේ ඔහුට සියල්ල සිහි විය. තමන් පෙර ඒ නගරයේම කුලී වැඩ කරමින් සිට දුන් දානයාගේ අනුහසින් මෙවන් උතුම් රාජශ්රීයක් දැන් තමා ලබා ඇතිබව දකිද්දී ඔහුගේ සිත දන් දීම කෙරෙහි තදින්ම ඇලී ගියේය.
නිසි වයසට පැමිණිකල ඔටුනු පළඳා බරණැස අධිපති බවට පත් වූයේය.
ඔටුනු පළන් දින මහත් ශ්‍රී විභූතියකින් යුතුව මාළිගයේ උඩුමහල් තලයේ සරහන ලද විශේෂ මණ්ඩපය මත රාජ ලීලාවෙන් හේ අසුන් ගෙන සිටියේය.
ඔහු වටා බොහෝ පිරිසක් රැස් කකා අභිනව රජුන්ගේ රූ සිරි විඳිමින් සිටියෝය. මෙසේ මැති ඇමතිවරුන් පිරිවරා, බ්‍රාහ්මණ ගෘහපතිවරුන් පිරිවරා, දෙවඟනන් බඳු සොලොස් දහසක් නාටක ස්ත්‍රීන් පිරිවරා, බෝහෝ රන් රිදී මුතු මැණික් සහිත තෑගි බෝගාදිය පිරිවරා, ඉසුරුමත්ව සුදු සේසත යට වාඩි වී සිටිද්දී රජුගේ සිත උද්දාමයට පත් වී. පෙර ජීවිතයේ දුන් දානය නැවත නැවතත් ආවර්ජනය කරන බඹදත් රජුගේ මුවින් නිරායාසයෙන්ම මෙසේ ප්‍රීති වාක්‍යන් පැන නැංගේය.
න කිරත්ථි අනෝමදස්සිසු
පාරිචරියා බුද්ධේසු අප්පිකා
සුක්ඛාය අලෝණිකාය ච
පස්ස ඵලං කුම්මාස පිණ්ඩියා
“පසේ බුදුවරුන් කෙරෙහි මා කල සේවය සුළුපටු නොවේ. ලුණු නැති, නීරස වියළි පිට්ටු කෑල්ලක විපාකය බලන්න”
හත්ථී ගවස්සා ච මේ බහූ
ධන ධඤ්ඤං පඨපීච කේවලා
නාරියෝ චිමා අච්ඡරූපමා
පස්ස ඵලං කුම්මාස පිණ්ඩියා
“ඇත්තු ද , ගවයෝ ද, අශ්වයෝ ද, ධන ධාන්‍ය ද මේ මුළු පොළොව ද, අප්සරාවන් වැනි මේ ස්ත්‍රී සමූහයා ද මා හට බොහෝ වෙති. පිට්ටු කෑල්ලක විපාකය බලන්න.”
රජු එසේ ගීයෙන් (ගාථාවෙන්) කී කිසිවක් කිසිවෙකුට තේරුනේ නැත. නමුත්, ‘ඒ අපගේ රජ්ජුරුවන් වහන්සේගේ ප්‍රියතම ගීය’යැයි සිතා සියල්ලෝම එය මතක තබා ගත්හ. සජ්ජායනා කලහ. වැඩිකල් නොගොස් එය නගරය පුරාත් මුලු රාජධානිය පුරාත් දොරින් දොර ඇසෙන්ට විය. කොටින්ම කියතොත් සුරා සොඬුන්ගේ පවා ප්‍රියතම ගීතය එයම විය.
බරණැස් රජුගේ අග මෙහෙසියට හදිසියේම දොළක් උපන. ඇයට රජු මේ නිතර ගයන ගීයේ තේරුම දැන ගැනීමට බලවත් ආශාවක් උපන. දිනක් ඇයගේ විශේෂ ගුණයක් අරඹයා පැහැදී ගිය රජු ඇයට කැමති වරයක් දෙනු කැමැත්තේ ඒ බව බිසවට දන්වා සිටියේය. ලත් අවසරයෙන් ඈ මෙසේ කීවාය
“දේවයිනි, මට අන් වරයකින් ඵලක් නැත. ඔබ වහන්සේගේ අභිෂේක මංගල්‍යදා ගැයූ ගීයේ තේරුම මා දැනගනු කැමැත්තෙමි. මට එහි අර්ථ පැහැදිලිකොට කියාදෙනු මැනව”
එවිට රජු මෙසේ කීය.
“යහපති සොඳුර. මා ඔබට ඒ වරය දෙන්නෙමි. නමුත් මෙහි රහසේ ඔබට පමණක් දැනගනු පිණිස නොවේ. මා ඒ ගීයේ අර්ථ මේ සොළොස් යොදුන් දිග පළල ඇති බරණැස් පුරවරයටම කියා දෙන්නෙමි. ඊට අදාල කටයුතු නුඹම පිළියෙල කරන්ට. නුවර පුරා බෙර පතුරුවා ඒ බව දැනුම් දෙන්න. පිරිස එක් කරන්න. මා එය ඔබ සියල්ලන්ටම කියා දෙන්නෙමි.”
සතුටු සිතින් යුතු රජ බිසව රජු කී අයුරින්ම සියලු කටයුතු වහා සූදානම් කලාය.
මහ පිරිස් රැස්වූහ. පොර කකා රැස් වූහ. යොදුන් ගණන් දුරට රැස්වූහ. රජුගේ ආනුභාවයෙන් ඒ සියල්ලන්ටම කණ ලඟ සිට කියන්නාක් සේ ගාථාවන්හි තේරුම රජු කියද්දී මනාව ශ්‍රවණය විය.
රජු තමාගේ පෙර ජීවිතය පිළිබඳ සියලු තොරතුරුත් පසේ බුදුරජාණන් වහන්සේලා විශයෙහි දුන් දානයේ අසිරියත් ගැන හොඳින් විස්තර කර දුන්නේය.
සියල්ල සතුටින් අසාසිටි රාජ දෙවිය රජු ඉදිරියේ වන්දනාකොට මෙසේ කීවාය.
“දේවයිනි, ඔබ වහන්සේ දුන් දානයේ ආනුභාවය ඔබ වහන්සේ විසින්ම මෙසේ ප්රත්යක්ෂකොට දැනගන්නා ලද්දේය. එනිසා මෙතැන් පටන් එක් බත් පිඬක්වත් ශ්‍රමණබ්‍රාහ්මණයන්ට නොදී නොවළඳනු මැනව. ඔවුන්ට පූජාකොට ඉතිරි වූ දෙයක්ම වළඳනු මැනව”
තවද ඈ මෙසේත් කීවාය.
“මහ රජාණන් වහන්ස, අප්රමාදී වන්න. දන් දෙමින්ම පරිභෝග කරන්න. පරිභෝග කරමින්ම දන් දෙන්න. යහපත්ව දැහැමෙන් මේ රජයට අනුශාසනා කරන්න. අධාර්මික නොවන්න. ධර්මය රකින්න”
“දානය, ශීලය, පරිත්‍යාගය, සෘජුබව, මෘදුබව, තපස, අක්‍රෝධය, අවිහිංසාව, ඉවසීම සහ අවිරෝධීබව යන දස රාජ ධර්මයාගෙන් මේ රජය කරගෙන යන්න. දස රාජ ධර්මයන් අත් නොහරින්න. දසරාජ ධර්මයන් රකින්න.”
බෝසත් රජු ඇයගේ වචනය හිස් මුදුනින් පිළිගත්තේය. සතුටු වෙමින් මෙසේ ද කීවේය.
“මා ප්‍රිය සොඳුර, මා ඒ හැසිරුණු උතුම් මාර්ගයේ මා යලිත් හැසිරෙන්නෙමි. අත් නොහැර හැසිරෙන්නෙමි. නැවත නැවතත් හැසිරෙන්නෙමි. මා රහත් මුනිවරුන් බැහැ දැකීමෙහිලා බොහෝ ප්‍රිය කරන්නෙමි.”
“මා ප්‍රිය සොඳුර, උත්තම රූ දරන කෝසල දියණිය, සොලොස් දහසක් වරඟනන් වන් පුරඟනන් මැද නුඹම බබලන්නීය. බොහෝ යස ඉසුරින් පිරි මේ බරණැස් පුරවරයට නුඹම ස්වාමි දියණිය වන්නේය. මේ සා රාජශ්රීයක් ලබන්ට නුඹ කල පින කුමක්ද? කුමක් නිසා නුඹ මෙතරම් ඉසුරුබරව ඉපදුනෙහිද?”
එවිට ඇයටද ජාතිස්මරණ ඥානය පහළවිය. ඈ මෙසේ උදම් ඇනුවාය.
“රජතුමනි, මම එකල කිසියම් ධනවත් කුලයක දාසියක් වී සිටියෙමි. මම දැහැමෙන් ජීවත් වෙන සිල්වත් වූ ප්‍රිය මනාප එකියක් වීමි.”
“දිනක් මා මට ලැබුණු බත්පත දෙවරක් නොසිතාම එක්තරා භික්ෂූන් වහන්සේ නමකට පූජා කලෙමි. ඒ දානය ගැන බොහෝ සතුටින් ආයෙ ආයෙමත් සිහිපත් කරමින් මා බොහෝ සතුටු වූවෙමි. එසේ මා දිවි ඇති තෙක් සිට මියගොස් කෝසල මහ රජුගේ දියණිය වී උපත ලැබුවෙමි. වැඩිවිය පැමිණි මා ඔබ වහන්සේ හා සරණ ආයෙමි.”
මෙසේ රජතුමාත් දේවියත් තමාගේ පූර්ව පින් බලයන් සිහිපත් කරමින් බොහෝ සතුටු වූහ. නගරය පුරාත් මුළු රාජධානිය පුරාත් සියලු දඹදිව පුරාත් දන් හල් පිහිටුවා නිති දන් වැටක් පවත්වාලූහ. ගංගාවක් ගලා බස්නාක් සේ මුළු බරණැස පුරා දානයෝ ගලා බස්නා ලදී. එකල දඹදිව සිටි මිනිසුන් අන්‍යවූ ජීවනෝපායක් නොකොට රජුගේත් දේවියගේත් දන් වැටෙන්ම ජීවත් වූහ. ඔවුන් සියලුම දෙන රජුත් දේවියත් අනුගමනය කරමින් නිති පන්සිල් රකිමින්, පොහොය අටසිල් රකිමින්, දැහැමෙන් සෙමෙන් ජීවත් වී දෙව්ලොව උපත් කරා ගියහ.