ඛණ්ඩහාල ජාතකය
මේ ජාතක කථාව බුදුරජාණන් වහන්සේ ගිජුකුළු පව්වෙහි වැඩවසද්දී දෙව්දත් අරබයා දේශනා කළ සේක.
……… බිම්සර රජු මරණයට පමුණුවා දෙව්දත්, අජාසත් කරා එළඹ මෙසේ කීය. “මහරජ, ඔබගේ මනෝරථය ඉටු විය. මගේ මනෝරථය තවම ඉටු නොවී ය”
“ස්වාමීනි, ඔබගේ මනෝරථය කිමෙක්ද ?”
“බුදුන් මරා බුදු වීම ය”
“මා විසින් එයට කුමක් කළ යුතුද ?”
“දුනුවාහන් රැස්කර දෙනුව” යි කී විට, අකුණු සරින් (අක්‍ෂවේදී) විදීමට සමත් පන්සියයක් දුනුවායන් රැස්කරවා ඔවුනතුරෙන් වඩා දස්කම් ඇති එක් තිස් දෙනෙකු (31) තෝරා, “තෙරුන් කී දෙයක් කරන්න” යි දෙව්දත් වෙත යැවී ය.
හෙතෙම දෙටු දුනුවායා අමතා “සගය, සමණ ගොයුම්හු ගිජුකුළු පව්වෙහි වෙසෙති. අසවල් වේලෙහි දිවාකල සක්මනෙහි යෙදෙති. තෝ එහි ගොස් විසපෙවූ හීයකින් විද දිවි තොරකොට අසවල් මගින් එන්න” යි නියම කොට යවා එමඟ දුනුවායන් දෙදෙනෙකු සිටුවා, “තොප සිටින මගින් එක් පුරුෂයෙක් පැමිණෙනු ඇත. තොප ඔහුගේ දිවි තොරකොට අසවල් මගින් පැමිණෙව්” යැයි කියා නියම කළේ ය.
එමග දුනුවායන් දෙදෙනෙකු සිටුවා, “තොප සිටින මඟ කිසියම් මිනිසුන් දෙදෙනෙකු පැමිණෙන්නේ ය. තොප ඔවුන්ගේ දිවි තොරකොට අසවල් මගින් එවු” යැයි නියමකොට තැබී ය.
එම (සතරදෙනා) එන මඟ දුනුවායන් අටදෙනෙකු සිටුවා, “තොප සිටින මගින් පුරුෂයෝ සිව්දෙනෙක් පැමිණෙති. තොප ඔවුන්ගේ දිවි තොරකොට අසවල් මගින් එවු” යැයි නියමකොට කීය.
ඔවුන් එන මග දුනුවායන් සොළොස් දෙනෙකු සිටුවා “තොප සිටින මගෙහි පුරුෂයෝ අට දෙනෙක් පැමිණෙති. තෙපි ඔවුන්ගේ දිවි තොරකොට අසවල් මගින් එවු” යැයි නියමකොට යෙදවී ය.
කුමක් නිසා මෙසේ කළේ ද? තමන් කළ දේ සඟවා ගැනීම පිණිස ය.
ඉක්බිති ඒ දෙටු දුනුවායා වමතින් කඩුවක් දරා හියවුර පිටෙහි එල්වාගෙන මැඩනඥ දුන්න (මෙණ්ඩක සිංග) අතින් ගෙන සර්වඥයන් වහන්සේ නුදුරට ගොස් ‘බුදුන් විදිමි’ යි සිතා දුන්නෙහි දුනුදිය නගා ඊය ඉඳුවා ගෙන ඊය අසුර ගල්වන්නට උත්සාහ කරනුයේ අසමත් විය. මුළු සිරුර යතක ලා (යන්ත්‍රයක දමා) පෙළන්තා සේ තදව ගියේ ය. හෙතෙම මරණ බියෙන් තැතිගෙන සිටියේ ය.
ඉක්බිති ශාස්තෘන් වහන්සේ ඔහු දැක මධුරස්වර විහිදුවා “බිය නොවත්ත මෙහි එන්න” යැයි වදාළ සේක. එවේලෙහි ඔහු ආයුධ විසිකර දමා “අඥාන බැවින් මුලාවට පැමිණ අකුසල් හේතුවෙන් මා විසින් වරද ඉක්මවා යන ලදි. ඔබවහන්සේගේ ගුණය නොදැන අඥාන වූ දෙව්දත්ගේ වචන අසා ඔබවහන්සේගේ දිවි තොර කිරීම පිණිස ආවෙමි. ස්වාමීනි, මට සමාවන්නැ” යි කියා සමාව ගෙන එකත්පසෙක සිටියේ ය.
ඉක්බිති බුදුරජාණන් වහන්සේ ඔහු හට චතුරාර්ය සත්‍යය දේශනා කොට දෙව්දත් කී මග නොයා අනෙක් මගෙකින් යන්නැයි කියා යැවූ සේක. ඔහු පිටත්කර යවා සක්මනින් බැස එක් ගසක් මුල වැඩහුන් සේක. ඉක්බිති එම දුනුවායා නොඑන බව දුටු අනෙක් දෙදෙනා ‘මොහුගේ ප්‍රමාදය කිමෙක්දැ’ යි විමසමින් පෙරමගට යන්නාහු බුදුන් දැක එළඹ වැඳ එකත්පසෙක සිටියාහු ය.
ශාස්තෘස්තෘන් වහන්සේ ඔවුන්ට ද චතුරාර්ය සත්‍යය දේශනා කළ සේක. ඔවුහු ද සෝවාන් ඵලයෙහි පිහිටියාහු ය. ඔවුන් ද දෙව්දත් කී මගින් නොයවා මේ මගින් යන්නයැයි වෙනත් මගකින් පිටත්කර යැවූ සේක. මේ ආකාරයෙන් අනෙක් සියළු දුනුවායන් ද ශාස්තෲන් වහන්සේ කරා පැමිණි කල්හි දහම් දෙසා සෝවාන් ඵලයෙහි පිහිටුවා වෙනත් මංවලින් පිටත්කර යැවූ සේක.
ඉක්බිති ඒ පළමු දුනුවායා දෙව්දත් කරා එළඹ “ස්වාමීනි, දේවදත්තයනි, සම්මා සම්බුදුන්ගේ ජීවිතය නැසීමට නොහැකි ය” යි දන්වා සිටියේ ය. “ඒ භාග්‍යවතුන් වහන්සේ මහානුභාව ඇත්තෝ ය” යි දන්වා සිටියේ ය.
පසුව ඒ සියලු දෙනා ‘සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිසා අපි දිවි ලැබුවෙමු’ යි ශාස්තෘන් වහන්සේ වෙත පැවිදිව අර්හත් භාවයට පැමිණියාහු ය.
මෙපුවත භික්‍ෂූන් අතර ප්‍රකට විය. භික්‍ෂූන් දම්සභා මණ්ඩපයෙහි රැස්ව හිඳ “ඇවැත්නි, දේවදත්ත ස්ථවිරයෝ එකම සර්වඥයන් වහන්සේ කෙරෙහි වෛරයෙන් බොහෝ දෙනා මැරවීමට උත්සාහ කළෝ ය. ඒ සියලු දෙනා ශාස්තෘන් වහන්සේ නිසා දිවි ලදැයි” යනාදී වශයෙන් කතා කරමින් සිටියාහු ය.
ශාස්තෘන් වහන්සේ එහි වැඩමකොට, “මහණෙනි, මා එන්නට පෙර කිනම් කතාවකින් යුක්තව සිටියාහුදැ” යි අසා, මෙනම් කතාවකින්යැයි කී කල්හි, “මහණෙනි, දැන් පමණක් නොව පෙරද දෙව්දත් වෛරයෙන් බැඳී, එක් අයෙක් වූ මා නිසා බොහෝ දෙනෙකුගේ ජීවිත නැසීමට උත්සාහ ගත්තේ යැයි කියා, අතීත කතාව ගෙනහැර දක්වා වදාළ සේක.
යටගිය දවස බරණැස් නුවර පුෂ්පවතී නම් රාජ්‍යක් විය. එනුවර ‘වසවර්ති’ නම් රජුගේ පුත් වූ ‘ඒකරාජ’ නම් රජු රාජ්‍ය විචාරන්නේ ය. ඔහු පුත් ‘චන්ද කුමාරයා’ උපරජ තනතුර දැරීය. ‘ඛණ්ඩහාල’ නම් බමුණා පුරෝහිත විය. හෙතෙම රජුට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නේ ය. රජතුමා ඔහු පණ්ඩිතයෙකැ’ යි සිතා අධිකරණ කටයුතු සඳහා යෙදවී ය. ඒ ඛණ්ඩහාල නම් පුරෝහිතයා අත්ලස් ධනය කොට සලකා අත්ලස් ගෙන හිමියන් අහිමියන් කෙරෙයි. අහිමියන් හිමියන් කෙරෙයි.
එක් දවසක් යුක්තියෙන් පැරැදී පුරුෂයෙකු අධිකරණ ශාලාවෙන් මුරගාගෙන නික්මෙන්නේ රාජ සේවයට යන්නා වූ චන්ද කුමාරයන්ගේ පාමුල වැඳ වැටුනේ ය. එකල්හි ඒ කුමාරයෝ “පින්වත් වූ පුරුෂය, මේ කිමෙක්ද ?” යි කිවූය.
“ස්වාමීනි, ඛණ්ඩහාල බමුණා විනිශ්චය මණ්ඩලයෙහි කොල්ලකන්නේ ය. මම ඔහු විසින් අත්ලස් ගෙන පරාජයට පමුණුවන ලද්දෙමියි” කීය.
එකල්හි කුමාරයෝ “තෝ නොබව” යි ඔහු අස්වසා විනිශ්චය මණ්ඩලයට කැඳවාගෙන ගොස් යුක්ති විචාරා හිමි තැනැත්තහු හිමි කළහ. මහජනයා මහත්කොට සාධුකාර දුන්නාහු ය. රජතුමා එය අසා ඒ ‘කිනම් ශබ්දයක්දැ’ යි ඇසීය. ‘චන්‍ද කුමාරයන් විසින් ඛණ්ඩහාල බ්‍රාහ්මණයා නපුරුකොට විචාරණ ලද්දා වූ යුක්තිය මනාකොට විචාළ හෙයින් එතැන්හි පැවැත්වූ සාධුකාර ශබ්දය යැයි’ කීහ.
ඉක්බිති රජ්ජුරුවෝ එපවත් අසා කුමාරයා පැමිණ වැඳ සිටි කල්හි, “දරුව, තොප විසින් එක් යුක්තියක් විචාරා පසිඳනා ලද්දේද?” යි විචාළහ.
“එසේය ස්වාමීනියි” කී කල්හි “එසේ නම් මෙතැන් පටන් තෙපිම යුක්ති විචාරවයි” විනිශ්චය මණ්ඩල නායක කොට තැබීය.
එතැන් පටන් ඛණ්ඩහාල බමුණාගේ අය නැතිව ගියේ ය. හෙතෙම එතැන් පටන් කුමාරයා කෙරෙහි ආඝාතයක් බැඳගෙන වරදක් සොයමින් කල් යැවීය.
ඒ ඒකරාජ නම් රජ්ජුරුවෝ මහා මුග්ධයෝ ය. ඒ රජ්ජුරුවෝ එක් දවසක් අළුයම් සමයෙහි සිහිනයක් දකින්නාහු, මනාකොට සරසන ලද දොරටු ඇති සත්රුවන්මය වූ පවුරු ඇති හැටයොදුන් පමණ වූ සුදර්ශන නම් මහා වීථියෙන් හෙබි දහසක් යොදුන් උසැති වෛජයන්ත ප්‍රාසාද පංතියෙන් හෙබියා වූ නන්දන වනය වැනි නොයෙක් උයන් පෙළින් සිත්කළු වූ, නන්දා පොකුණ වැනි සිත්කළු පොකුණු පෙළින් රමණීය වූ, දේව සමූහයාගෙන් ගැවසී ගත් තව්තිසා දෙව්ලොව දැක එහි යනු කැමැති සිතැතිව ‘ඇදුරු වූ ඛණ්ඩභාල බමුණා රාජ සේවයට පැමිණි කල්හි දෙව්ලෝ යන මග අසා දැන ඔහු විසින් පෙන්වා දෙන මගින් දෙව්ලොව යමි’ යි සිතමින් උන්නේ ය.
ඛණ්ඩපාල බමුණා ද උදෑසන ම රාජසේවය පැමිණියාහු රජු සුවසේ නිදාගත්තේ දැයි විමසීය. ඉක්බිති රජ්ජුරුවෝ ඕ හට ඉඳිනා අස්නක් දෙවා ඒ ඛණ්ඩහාල නම් වූ මෝඩ පෙරෙවි බමුණාගෙන් මෙසේ ඇසීය.
“බ්‍රාහ්මණය, ඔබ සුචරිත ධර්මයෙහි ද ආචාර සම්පන්න වන්නෙහි ය. යම්සේ සත්ත්වයෝ කුසල් කිරීමෙන් මෙලොවින් ස්වර්ගයට පැමිණෙද් ද, එසේ යන සුගති මාර්ගය මට දක්වන්නැ” යි කීවේ ය.
මේ පැන වනාහි, සම්බුදුවරයෙකු හෝ උන්වහන්සේගේ ශ්‍රාවකයෙකු හෝ නැති කලෙක බෝසත්වරයෙකුගෙන් හෝ ඇසීම සුදුසු වන්නේ ය. සත් දිනක් මංමුලා වූවෙක් තවත් අටමසක් මංමුලා වූවෙකුගෙන් මග අසන්නා සේ ඛණ්ඩහාල බමුණාගෙන් ම ඇසීය. බමුණා ද මෙසේ සිතීය.
“මේ මගේ පසමිතුරු පිටු දැකීමට සුදුසු කාලයයි. චන්ද කුමරු මරණයට පත්කොට, මගේ මනදොළ සපුරා ගැනීමට මේ සුදුසු වෙලාවයි” සිතා රජු අමතා මෙසේ කීවේ ය.
“මහරජ, ස්වර්ගයට යනු කැමැත්තා අතිදාන නම් වූ දානය දෙන්නේ ය. නොනැසිය යුත්තක් නසන්නේ ය. ඉදින් ස්වර්ගයට යනු කැමැත්තේ නම් තොප විසින් ද එසේ කළ යුත්තේ ය”
ඉක්බිති රජතුමා මෙසේ පැනයකින් එහි අරුත් විමසී ය.
“ඒ අතිදානය නම් කිමෙක් ද? මෙලොව නොනැසිය යුත්තෝ කවුරු ද? මෙයද පැහැදිලි කර දෙන්න, යාග ද කරමි. දාන ද දෙමි”
බමුණා මෙසේ පැහැදිලි කළේ ය.
“මහරජ, පුත්‍රයෝ ය, බිසෝවරු ය, සිටුවරු ය, වෘෂභයෝ ය, අජානීය අශ්වයෝ ය යන මොවුන්ගෙන් සතර දෙනෙකු බැගින් ගෙන යාග කළ මැනවි. මහරජ, (එසේ) ‘සබ්බ චතුක්ක’ යාගය කළ මැනව”
මෙසේ දෙව්ලෝ මග විමසූ තැනැත්තහුට අපාය මාර්ගය ම පෙන්වාලී ය.
“මහරජ, මහණ බමුණන්, සිඟන්නන්, යාචකයින්ට ආහාර පානාදිය දීම දානය ම වේ. මේ අයුරින් දූදරුවන් ආදීන් මරා ඔවුන්ගේ ගෙල ලෙයින් යාග කිරීම අතිදාන නම් වන්නේයැ” යි කියා රජුට අවබෝධ කළේ ය.
මෙසේ (ඛණ්ඩහාල) බමුණා, ඉදින් චන්ද්‍ර කුමාරයන් පමණක් ඇල්ලූයේ නම් වෛරයෙන් ම ඇල්ලුයේ යැයි සිතන්නෝ ය. එබැවින් බොහෝ දෙනා අතරෙහිලා එම කුමාරයන් මරන්නට කාරණා යෙදවී ය.
මෙසේ ඔවුන් කරන්නා වූ කතාව අසා අන්තඃපුර ස්ත්‍රීහු බියෙන් තැතිගෙන එක්විටම මහ හඬින් හඬා වැළපුණෝ ය.
රාජ කුමාරවරු ද, බිසෝවරු ද නසනු ලබත්වා! යන බව ඇසීමෙන් අන්තඃපුරයෙහි උස්ව නැගුණු බිහිසුණු හඬින් යුත් එකම ඝෝෂාවක් විය.
මුළු රජ මැදුර ම යුගාන්ත වාතයෙන් (කල්ප විනාශයෙහි පැන නගින වාතයෙන්) කැළඹුණු මහ සල් වනයක් මෙන් විය.
බමුණා ද රජහට කියන්නේ, “කිමෙක්ද මහරජ, යාගය කිරීමට කැමතිද? නොකමැතිදැ?” යි ඇසීය.
“ආචාරිය, කුමක් කියන්නේ ද? යාගකොට දෙව්ලොව යමි” යි රජු කීවේ ය.
“මහරජ, දුර්වල අදහස් ඇත්තහු යාග කිරීමට අසමත් වන්නේ ය. තොප දැන්ම (යාගයට බිලි දෙන) සියලු දෙනා මෙහි රැස්කරව, මම යාගාවාටයෙහි (බිලි දෙන්නවුන් හා බිලි පූජා පිණිස යොදන ද්‍රව්‍ය දමන ගිනි වල) කටයුතු සංවිධාන කරමි” යි කියා ඇති තරම් සෙනග ගෙන නුවරින් නික්ම යාගාවාටය සමතලා කරවා වටින් වැටක් ද, බිඳවාලීය.
දැහැමි මහණ බමුණෙකු පැමිණ යාගය වලක්වන්නී නම් සුදුසු නොවන්නේ යැයි කියා අවටින් වැටක් ඉඳි කර, ‘පුරාණ බමුණන් විසින් සිදු කළ සිරිතකැ’ යි හඟවාලී ය.
රජු ද රාජ පුරුෂයන් බණවා “දරුව, මම මගේ අඹුදරුවන් මරා යාග කොට දෙව්ලෝ යමි. යන්න ඔවුන්ට ඒ බව දන්වා සියල්ලෝ මෙහි රැස් කරව” යි අණ කළේ ය.
“යව, චන්ද කුමාරයා ද, සුරිය කුමාරයා ද භද්දසේන කුමාරයා ද වාමගොත්ත කුමාරයා ද, සූර කුමාරයා ද යන රාජ කුමාරයන්ට යාගය සඳහා එක්වී රැස්වන්නට කියව්” යැයි රජ අණ කෙළේ ය.
එහි චන්ද කුමාරයා ද සූරිය කුමාරයා ද යන දෙදෙන අග මෙහෙසිය වන ගෝතමී දේවියගේ පුතුන් ය. භද්දසේන, වාමගොත්ත, සූරය යන කුමාරවරු වෙනත් මව්වරුන්ගේ දරුවෝ ය.
ඔව්හු (ඒ රාජ පුරුෂයෝ) පළමුවෙන් චන්ද කුමාරයා සමීපයට ගොස්, “කුමාරයෙනි, ඔබගේ පියා ඔබ මරා දෙව්ලොව යනු කැමැත්තේ ය. එබැවින් ඔබ වහන්සේ අල්වනු පිණිස අප එවීයැ” යි කීවාහු ය.
“කවරෙකුගේ කීමෙන් මා අල්වන්නේ ද?” කුමාරයා ඇසීය.
“දේවයනි, ඛණ්ඩභාලයාගේ කීම අනුව යැ” යි රාජ පුරුෂයෝ පිළිතුරු දුන්හ.
“එසේ නම් වෙනත් අයත් එසේ අල්ලාගනු ලබන්නේ ද?”
“එසේය, අන්‍යයන් ද අල්ලා ගැනීමට නියම කොට ඇත”
කුමර තෙම සිතන්නේ, බමුණාට වෙනත් අය සමග වෛරයක් නැත, අධිකරණයෙහි දී කොල්ලකෑමට (වංචා කිරීමට) නොලැබීම නිසා මා කෙරෙහි බැඳි වෛරයෙන් බොහෝ දෙනෙකු මරවන්නේ ය. ‘පියා බැහැදැකීමට ඉඩ ලැබෙන මට සියළු දෙනා මුදවා ගැනීමේ වගකීම පැවරේ’ යැයි සිතා, “තොප තොපගේ කාර්ය කරව්” යි කීය.
රාජපුරුෂයෝ ඔහු අල්වාගෙන අවුත් රජ මිදුලෙහි එක්තැනෙක සිටුවා අනෙක් පුතුන් සියලු දෙනා ද ගෙනවුත් ඔවුන් සමීපයෙහි සිටුවා, රජතුමා වෙත ගොස් “රජතුමනි, ඔබගේ පුතුන් අල්වාගෙන ආම්හ” යි කීවාහු ය.
එවිට රජු ඔවුන්ගේ වචන අසා “දරුවනි. මගේ දූවරුත් අල්වාගෙන අවුත් ඔවුන් සමීපයෙහිම සිටුවව්” යැයි කීය.
“උපසේන ය, කෝකිලා ය, මුදිතා ය, නන්ද කුමාරි ය යන රාජ කුමාරිකාවන්ට ද යාගයට එක්තැන්ව රැස්වන්නට කියවයි” රජ අණ කෙළේ ය.
එම රාජ පුරුෂයෝ ද ‘එසේය කරමු’ යි එම කුමාරිකාවන් සමීපයට ගොස් හඬන, වැළපෙන ඔවුන් අල්වා ගෙනවුත් සහෝදරයින් සිටි තැනම සිටුවාලූහ.
ඉක්බිති රජතුමා තම පිය බිරියන් අල්වාගෙන එනු සඳහා මෙසේ කීවේ ය.
“මාගේ විජයා මෙහෙසිය ද, ඒරාවතී ද කෙසිනී ද සුනන්දා ද යන උතුම් ස්ත්‍රී ලක්ෂණයෙන් යුක්ත වූ මෙහෙසිවරුන්ට ද යාගයට එක්තැන්ව රැස් වන්න කියව” යි රජ අණ කළේ ය.
හඬන වැළපෙන එම බිසෝවරු ද ගෙනවුත් කුමාරයින් අසල සිටවූහ. ඉක්බිති රජතුමා සිටුවරු සතර දෙනා ගෙන එනු පිණිස මෙසේ කීය.
“පුණ්ණමුඛ ය, භද්දිය ය, සිගාල ය, විද්ධ නම් ගහපතිය යන සිටුවරුන්ට ද යාගයට එක්තැන්ව රැස්වන්නට කියව” යි රජ අණ කළේ ය.
රාජපුරුෂයෝ ගොස් ඔවුන් ද අල්වා ගෙන ආහ.
රජුගේ අඹුදරුවන් අල්වන කල්හි නුවරුන් කිසිවක් නොකීවාහු ය. සිටුකුල, මහත් ඤාති සම්බන්ධයෙන් යුතු විය. එබැවින් සිටුවරු අල්වා ගත් කල මුළු නුවර කැළඹී ගියේ ය. ‘රජුට සිටුවරු මරා යාග කිරීමට නොදෙමු’ යැයි සිටුවරු පිරිවරා ඔවුන්ගේ නෑ සමූහයා රජගෙදර කරා ගියෝ ය. ඉක්බිති ඒ සිටුවරු නෑයින් අඹුදරුවන් පිරිවරා රජතුමාගෙන් තමන්ට දිවි ඉල්ලූහ.
“මහරජ, අප සියල්ලන් හිස් මුඩු කොට දාසභාවයට පත්කළ මැනව. එසේ නොවී ඔබ අප කී දේ නොපිළිගන්නේ නම් සියලුම සේනාවන් රැස්කරවා ඔවුන් මැද අප දාසභාවයට පත්කළ බව අස්වනු මැනවි. අපි සියලු දෙනා දාසභාවයට පැමිණියෙමුයි ගිවිසන්නෙමු”
ඔව්හු එසේ අයැද සිටියත් දිවි ලැබීමට නොහැකි වූවාහු ය. රාජපුරුෂයෝ සෙසු දෙන බැහැරකොට එම සිටුවරු අල්වාගෙන කුමාරවරු සමීපයෙහිම රැඳවූහ. එසේම රජතුමා ඇත්, අස් ආදී සතුන් ගෙන ඒම සඳහා මෙසේ කීහ.
“අභයංකර ය, නලාගිරි ය, අච්චුත ය, වරුණා දත්ත ය යන ඇතුන් වහා ගෙන එව්. ඔවුන්ද යාගය පිණිස වේ.
කේසි ය, සුරාමුඛ ය, පුණ්ණකය , චින්තක ය යන අශ්ව රත්නයන් ද ගෙන එව්. ඒ අශ්වයෝ යාගය පිණිස වන්නාහ.
සූථපතිය, අනොජය ය, නිසභ ය, ගවම්පති ය යන මාගේ වෘෂභයින් ද ගෙනෙවු. සියල්ල යාගයට රැස්කරත්වා. යාගය කරන්නෙමු. දන්දෙන්නෙමු. සියල්ල පිළියෙල කරව්. ඉර උදා වූ කල යාගය කරන්නේ ය. මේ රාත්‍රිය තුළ අභිරමණය කරත්වායි කුමාරවරුන්ට දන්වන්න. සියල්ල සපයව්. යාගය වනාහි හිරු උදා වූ කල උදයෙහි ම කරන්නෙමි. අද තොපගේ අවසන් රාත්‍රියයැයි දැන් රජ කුමාරවරුන්ට කියව්”
රජු, දෙමව්පියන් කියූ බස් අදහන්නෝ ය. ඉක්බිති ඇමැතිවරු ගොස් මව්පියන්ට මේ බව සැලකර සිටියාහු ය. “උතුමනි, ඔබගේ පුතු, අඹුදරුවන් මරා යාග කරමියි සැරසෙන්නේ ය” යැයි කීවාහු ය.
“කුමක් කියවු ද දරුවනි?”
දෙමව්පියන් අත්වලින් පපුවට ගසා ගනිමින් හඬමින් ආවාහු ය. හඬමින් පැමිණි මැණියෝ රජුට මෙසේ කීහ. “එම්බා පුත, තොපගේ පුතුන් සිව්දෙනා රැගෙන කරන යාගයක් ඇද්ද?”
“චන්ද්‍ර කුමාරයා මරනු ලබන කල්හි මාගේ සියලුම පුත්තු යාගයට හරන ලද්දාහු වෙති. පුතුන්ගෙන් යාග කොට සුගතිය වූ දෙව්ලොවට යමි” යි රජු කීය.
ඉක්බිති මව් ඔහුට මෙසේ කීවේ ය. “එම්බා පුත, දරුවන් මරා යාග කිරීමෙන් සුගති ලාභයක් වේයැයි නොඅදහන්න. මෙය සතර අපායට යන මග වේ. මේ මග යහමග නොවේ.
කොණ්ඩඤ්ඤ ගෝත්‍රයට අයත් පුත්‍රය, දන් දෙන්න. ඉපදුතා වූ ද, උපදින්නා වූ ද සියලු සතුන්ට අහිංසා කරව. ස්වර්ග මාර්ගය මෙයයි. දරුවන් මැරීමෙන් කරන යාගය ස්වර්ග මාර්ගයක් නොවේ”
රජු මෙසේ කීය. “මෙය මාගේ අත්තනෝමතික ක්‍රියාවක් නොවේ. අපගේ ආචාර්යවරයා වූ අප හික්මවන්නා වූ ඛණ්ඩහාල නම් ආචාර්යවරයාගේ වචනයි. විධානයයි. එහෙයින් මම මේ දූ පුතුන් ඝාතනය කොට යාග යැද දෙව්ලොවට යන්නෙමි”
ඉක්බිති මව තමන්ගේ වචනයෙන් ඔහු ගිවිස්වා ගත නො හැකි වූයේ, රජු වෙතින් ඉවත් වූවාය. ඉක්බිති රජුගේ වසවර්තී නම් පියරජ තෙමේ (එහි වසවර්තී යනු ඔහුගේ නමයි) පැමිණ, රජුට “එම්බා පුත, දරුවන් සිව්දෙනා මරා කරන යාගයක් වේදැ” යි ඇසී ය.
“චන්ද්‍ර කුමාරයා නසනු ලබන කල්හි මාගේ සියලුම පුත්තු හරතා ලදහ. පුතුන්ගෙන් යාග කොට සුගති සංඛ්‍යාත දෙවි ලොවට යන්නෙමි”
එවිට ඔහුට පියාණෝ මෙසේ කීහු “එම්බා පුතණුවනි, දරුවන් මරා යාග කිරීමෙන් සුගති ලාභයක් වේ යයි නො අදහව්. මෙය සතර අපායට මග වේ. මෙය ස්වර්ගයට මග නොවේ.
කොණ්ඩඤ්ඤ ගෝත්‍ර ඇති පුත්‍රය. දන්දෙව. හැම සතුන් හට හිංසා නොකරව. පුත්‍රයන් පිරිවැරූ ඔබ සියලු කසීරට ද ජනපද ද ආරක්ෂා කරත්වා!” යි කීය.
(මෙහි ජනපද යනු යුධ බලයෙන් අල්ලාගත් හෝ වෙනත් හේතු නිසා ප්‍රධාන රටට පසුව එකතු වූ කොටස් ය. ඒවා සමහර විට පාලනය වූයේ ‘කොලනි ක්‍රමයට ය.)
රජු පියාගේ අවවාද ද පිළිගැනීමට අසමත් විය. ඉන්පසු චන්ද කුමාරයා මෙසේ සිතුවේය. “මෙපමණ මහත් පිරිසකට (එකෙක් වූ) මා නිසා දුකක් ඇතිවිය. පියාට ආයාචනා කොට මේසා පිරිසක් මරණ දුකින් මුදවාලන්නෙමි” යි සිතා ඔහු පියා සමග කතාවට එළඹ මෙසේ කීය.
“දේවයන් වහන්ස, අප නොමැරුව මැනවි. ඛණ්ඩහාල බමුණා හට අප දාස භාවයට පත්කොට දුන මැනවි. හැකිල්ලෙන් බැඳුණු අපි, ඔහුගේ ඇතුන් ද අසුන් ද රැකබලා ගනිමු.
දේවයන් වහන්ස, අපි නොනැසුව මැනව. ඛණ්ඩහාල බමුණා හට අප දාස භාවයට පත්කොට දුන මැනවි. හැකිල්ලෙන් බැඳුණු අප ඇත්වසුරු, අස්වසුරු බැහැර කරන්නෙමු.
දේවයන් වහන්ස, අප නොනැසුව මැනව. යමෙකු හට අප දෙන්ට කැමැති නම් අප දාස භාවයට පත්කොට දෙනු මැනව. ඉදින් අප දොසක් වේ නම් රටින් පිටුවහල් කරන ලද අපි බැගෑව පිඬුසිඟා හැසිරීමෙන් ජීවත් වන්නෙමු. අප නොනස්නා අපට ජීවිතය දෙන්න”
එහි බොහෝ දෙනාගේ නොයෙක් ආකාර වූ විලාපයන් ඇසු රජතුමාට හදවත පැලී ගියා සේ විය. කඳුළු පිරි දෙනෙතින් යුතුව “මගේ කවර පුතෙකු හෝ මැරීම සුදුසු නොවේ. මම දෙව්ලොවක් නොපතමි. ඒ සියලු දෙනා නිදහස් කරන්න”යැයි කියාද මෙසේ ද කීවේ ය.
“ජීවිතයට ආසාවෙන් වැළපෙන්නාහූ මට බෙහෙවින් දුක් උපදවති. දැන් මේ කුමාරයන් මුදා හරිනු මැනවි. දරුවන් මරා කරන යාගයෙන් මට ප්‍රයෝජන නැත”
රජුගේ මෙම වචන අසා කුමාරවරුන් ආදී කුරුල්ලන් ආදී සියලු ජීවීන් මුදා හැරියේ ය.
ඛණ්ඩහාල බමුණා යාගවාටයෙහි කටයුතු සංවිධාන කරමින් සිටියේ ය. එවිට එක් පුරුෂයෙක් ඔහුට මෙසේ කීවේ ය. “එම්බා අදමිටු ඛණ්ඩහාල, රජු දරුවන් මුදාහළේ ය. තොප තමන්ගේ දරුවන් මරා ඔවුන්ගේ බෙලිකපා ගන්නා ලෙයින් යාග කරව”
ඒ ඇසූ ඛණ්ඩහාල රජු කුමක් කරන්නට යන්නේදැ’ යි අසමින් ඉක්මනින් ගොස් මෙසේ කීය.
“මහරජ, මේ යාගය කළ නොහැකි යැයි ද දුක සේ ලබාගත යුතු දෙයක් යැයි ද පළමුකොට ඔබට කියන ලද්දේ ය. දැන් අප පිළියෙල කළ මේ යාගයට හානි පමුණුවන්නෙහි ය. යම් කෙනෙක් යාග කෙරේ ද, කරවද් ද, යාග කරන්නවුන්ගේ එවැනි මහා යාගය යම් කෙනෙක් අනුමෝදන් වෙද් ද, ඒ සියලු දෙනාම සුගතියට යෙති.
තොප වැනි බියගුල්ලන් විසින් මෙබඳු යාගයක් කළ නොහැකි යැයි දන්වන ලදී. එබඳු යාගයක් කළහැකි වන්නේ කළාතුරකිනි. දැන් අප විසින් (යාග ද්‍රව්‍ය) රැස්කොට පිළියෙල කළ යාගයට හානි කරන්නෙහිය. මහරජ, කුමක් නිසා මෙසේ කරන්නේද?”
එම අනුවණ රජ, ක්‍රෝධයෙන් වැසීගිය හදවත් ඇති එම බමුණාගේ වචන අසා, නැවතත් කුමාරවරුන් අල්වා ගන්නා ලෙස අණ කළේ ය. ඉන්පසු චන්ද්‍ර කුමාරයා පියාට කරුණු අවබෝධ කරදෙනු සඳහා මෙසේ කීවේ ය.
“පියාණෙනි, ඉදින් මා මැරිය යුතුයැයි (පුරෝහිත) බමුණා කියන්නේ නම්, එසේ නම් කුමක් හෙයින් පෙර මා උපන්කල්හි නෑදෑයන්ට, මා පිණැතියැයි කීවෙහි ද? එදා ඛණ්ඩහාල බමුණා වනාහි මගේ ශරීර ලක්ෂණ සලකා බලා මේ කුමාරයාට කිසිදු උපද්‍රවයක් නැත. ඔබගේ ඇවෑමෙන් රාජ්‍ය කරන්නේයැයි ද කීය. මුලින් කී දේ පසු දේ හා නොගැලපේ. මොහු මුසාවාදියෙකි. මොහුගේ කීම පිළිගෙන ඔබ නිකරුණේ අපව යාගය සඳහා මරවන්නේ ය. අප නොමරන්න.
මොහු එක් පුද්ගලයෙකු වූ මා කෙරෙහි ඇති වෛරයෙන් මහජනයා මැරීමට කැමැත්ත දක්වයි. රජතුමනි, මේ ගැන හොඳින් සිතා බලන්න. මහරජ, ඉදින් අප මරනු කැමැත්තේ නම් අප ළදරු කළ ඔබ විසින් ම නොමැරුවේ කිම ද ? අනෙකෙකු ලවා හෝ නොමැරුවේ කිම ද? දැන් වනාහි අපි නව යොවුන් වියේ තරුණයෝ වෙමු. දූ දරුවන් ඇතිව ප්‍රථම වයසේ සිටින්නම්හ.
එසේම ඔබට ද්‍රෝහි වූවෝ නොවම්හ. කුමක් නිසා අප ඝාතනය කරන්නේ ද? අප සොහොයුරන් සිව්දෙනා දෙස බලව. පසමිතුරෝ (සතුරෝ) නුවර වටකොට සිටිකල අප වැනි පුතුන් ඔවුන් සමග යුද්ධ කරන ආකාරය බලව, දරුවන් නැති රජවරු අනාථයෝ ය. අප වැනි බලවත් සූරයෝ යාග පිණිස නොමැරිය යුතු ය.
පියාණනි, ප්‍රත්‍යන්ත ජනපදයක් කිපුණු කල්හි හෝ පල් හොරුන් ඇති කල්හි හෝ සතුරන් නසනු පිණිස අප යොදවනු ලැබේ. එසේ තිබිය දී නිකරුණේ නොතැන්හි කවර හෙයින් අපි නසනු ලබන්නෝ වෙමු ද? මහරජ! යම්සේ ඒ ඒ පක්‍ෂීහු තණ කැදලි සාදා එහි වෙසෙත් ද ඒ පක්‍ෂීන්ට පවා දරුපැටවු ප්‍රිය වෙති. දේවයනි, එසේ ඇතිකල්හි තෙපි අප මරවන්නෙහු ය. ඛණ්ඩහාල (නමැති පෙරවි බමුණා) ඔබ නොමරවයි යනුවෙන් නො අදහනු මැනවි. දේවයනි, හෙතෙම පළමුවෙන් මා මරවා ඉන්පසු ඔබව ද මරවන්නේ ය.
ගම්වර නියම්ගම්වර හා උපභෝග පරිභෝග වස්තු ද රජවරු මේ බමුණන්ට දෙති. උසස් වූ පිණ්ඩාහාරය ලබන මොවුහු ගෙයක් පාසා අනුභව කරති. මහරජ! එබඳු උපකාර ඇති රජවරුන්ටත් ද්‍රෝහීකම් කරන්නට මොහු කැමැති වෙති. දේවයන් වහන්ස, මේ බමුණෝ නම් බොහෝ සෙයින් කෙළෙහිගුණ නොදන්නෝ වෙති.ඔවුන් වනාහි කිසියම් කුලගෙයකට (පවුලකට) සම්බන්ධ වී ආහාර පානාදිය ලබත් ද එසේද වුවත් එබඳු වූ පිණ්ඩාහාර දෙන්නවුන්ට ම වංචා කිරීමට සිතන්නෝ ය.
දේවයන් වහන්ස, අප නොනැසුව මැනව. ඛණ්ඩහාල නම් පෙරවි බමුණාට අප දාසභාවයට පත්කොට දුන මැනව. හැකිල්ලෙන් බැඳුණු අපි ඇතුන්ද අසුන්ද රැකබලා ගනිමු.
දේවයන් වහන්ස, අප නො නැසුව මැනව ඛණ්ඩගාල නම් පෙරෙවි බමුණා හට අප දාස භාවයට පත්කොට දුන මැනව. හැකිලි බලෙන් මැවුණු අපි ඇත් වසුරු බැහැර කරන්නෙමු.
දේවයන් වහන්ස, අප නොනැසුව මැනව. අප යමෙකුට දෙන්ට කැමැති නම් ඔහුව අප දාසභාවයට පත්කොට දුන මැනව. රටින් පිටුවහල් කරන අපි බැගෑව පිඬුසිඟා කමින් ජීවත් වන්නෙමු”
රජතුමා කුමාරවරුන්ගේ වැලපීම අසා “ජීවිත ආසාවෙන් වැළපෙන මොව්හු මට දැන් දුක් ඉපිදවූහ. දැන් කුමාරයන් මුදාහරිනු මැනවි. දූ පුතුන් මරා කරන යාගයෙන් මට වැඩක් නැත” කියා නැවත ද දූදරුවන් මුදා හළේ ය.
ඛණ්ඩහාල පැමිණ නැවතද,“මහරජ, මේ යාගය කළ නොහැකි යැයි ද දුක සේ ලැබිය හැක්කක් යැයි ද මුලින්ම කියන ලද්දේ ය. දැන් අප පිළියෙල කළ යාගයට හානි කරන්නෙහි ය. යම් කෙනෙක් යාග කරත් ද, කරවත් ද යාග කරන්නවුන්ගේ එවැනි මහා යාගය යම් කෙනෙක් අනුමෝදන් වෙත් ද, ඒ සියලු දෙනාම සුගතියට යති”
මෙසේ කියා නැවත ද කුමාරවරුන් අල්වා බැන්ද වූයේ ය. ඉක්බිති චන්ද්‍ර කුමාරයෝ රජතුමාට තවදුරටත් අවබෝධය ලබාදෙනු පිණිස මෙසේ කීවේ ය.
“දේවයනි, ඉතා රසවත් ආහාර වුව ද ඔබ අනුන්ගෙන් විමසා අනුභව කරන්නෙහි ය. පුතුන් මැරීම එසේ නොවිමසා කුමක් නිසා කරන්නෙහිදැයි අපට නොවැටහේ. අඹු දරුවන් මරා දෙව්ලොව යන්නේ යැයි දන්නා අය කුමක් නිසා තමන්ගේ දූ පුතුන් ද ඤාතීන් ද තමන් ද මරා දෙව්ලෝ නොයන්නේ ද? ඉදින් අනුන් මරා දෙව්ලොව යා හැකි වන්නේ නම් තමන්ම මරාගෙන බ්‍රහ්ම ලෝකයේ උපදිනු හැකි නොවන්නේ ද?
මෙසේ යාගයෙහි අනුසස් දන්නවුන් විසින් අනුන් නොමරා තමන්ම මරණයට පත්විය යුතුයි. මොහු (ඛණ්ඩහාල බමුණා) එසේ නොකොට මා මරවන්නේ ය. මේ කාරණයෙන්ම, අධිකරණයෙන් කොල්ලකෑමට නොලබන මොහු මෙසේ මා මැරවීමට උත්සාහ කරන්නේ ය, යන්න ප්‍රකට ය.
ඉදින් පුතුන් කරණ කොටගෙන යාග කරන්නාහු දෙව්ලොව යෙයැයි යමෙක් කියත්නම් මේ ඛණ්ඩහාල බමුණා තම පුතුන් මරා යාග කරත්වා!
මෙසේ දන්නා බණ්ඩහාල බමුණා කවර හෙයින් දරුවන් නොනැසුවේ ද? සියලු නෑයන් ද තමන් ද කවර හෙයින් නොනැසුවේ ද?
යම් කෙනෙක් මෙබඳු මහායාග කෙරෙත් ද, කරවද්ද අනුමෝදන් වෙත්ද ඒ සියල්ලෝ නරකයට යති” යි චන්ද්‍ර කුමාර තෙම කීය.
කුමාරයා මෙපමණ කරුණු දැක්වුවත් පියාට තම අදහස් ඒත්තු ගැන්වීමට නොහැකි විය. ඉන්පසු රජු පිරිවරා සිටි පිරිස අමතා හේ මෙසේ කීවේ ය.
“මෙනුවර වෙසෙන දරුවන් කැමැති, දරුවන් තම ධනය කොට සිතන ගෘහපතියෝ ද ඔවුන්ගේ භාර්යාවෝ ද තමන්ගේ ඖරස පුත්‍රයෝ නොමරන්න යැයි රජුට දොස් නොපවරන්නේ ද ? උපක්‍රෝශ තො කරත් ද?
මම රජහට යහපත කැමැති වෙන්නෙක්මි. හැම කල්හි ජනපදවාසීන්ට හිතවත් වූයෙමි. මෙසේ රජුට ද මහජනයාට ද වැඩ කැමැති වූයේ නමුත්, කිසිම ජනපද වැසියෙක් ‘ඔබගේ පුතා ගුනවත් කෙනෙකු යැයි නොකියයි. නොදන්වා සිටී!!”
කුමාරයා කෙතෙක් කරුණු කියාපෑවත් කිසිවෙක් මේ ගැන රජු සමග කතා කිරීමට සමත් නොවූහ. ඉක්බිති චන්ද්‍ර කුමාරයා තමන්ගේ අන්තඃපුර භාර්යාවන්ට එසේ ඉල්ලා සිටීමට උනන්දු කරවමින් මෙසේ කීය.
“ගෘහණියනි, යන්න, සිංහයන් බඳු නිවැරදි කුමාරයන් නොමරන්නැ’ යි පියරජුටත් ඛණ්ඩහාල බමුණාටත් කියන්න. ගෘහණියනි, යන්න සියලු ලෝ වැසියා විසින් අපේක්‍ෂා කරන කුමාරවරු නොමරන්නැයි පියරජුටත් ඛණ්ඩහාල බමුණාටත් කියන්න”
ඒ තැනැත්තියෝ ද ගොස් අයද සිටියාහු ය. රජු ඒ ගැන නොසලකා හැරියේ ය. ඉන්පසු කුමාරයා අසරණ භාවයට පැමිණ වැලපෙන්නට විය.
“මම රියකරු හෝ කසල අදින කුලයක උපන්නේ නම් යෙහෙකි. කුලුපොතු කුලයෙහි හෝ උපන්නේ නම් පියරජ තෙම අද මා යාගය පිණිස නො මරවයි”
මෙසේ ද කියා තවදුරටත් රජුට ආයාචනා කිරීම උනන්දු කළේ ය.
“සියලු ස්ත්‍රීවරුනි, යත්වා ආර්ය වූ ඛණ්ඩහාල බමුණාගේ පාමුල හඬා වැටෙන්න. මා කළ කිසි අපරාධයක් නොදකිමි.
ස්ත්‍රීවරුනි, යන්න ආර්ය වූ ඛණ්ඩහාල නැමැති පෙරෙවි බමුණාගේ පාමුල හඬා වැටෙන්න. ‘ස්වාමීනි. ආර්ය ඛණ්ඩහාල මා විසින් ඔබට කුමන ද්‍රෝහකමක් කළේද? එසේ ම චන්‍ද කුමාරයාගේද වරදක් නැත. එයට සමාවෙන්න” කියා කියන්න.
ඉක්බිති චන්ද්‍ර කුමාරයාගේ බාල සොහොයුරියක් වූ සේලා කුමාරිය ශෝකය දරාගැනීමට නොහැකිව පිය පාමුල වැටී වැළපෙන්නට වූවා ය. “දෙව්ලොව කැමැති පියාණෙනි, මේ ඔබ විසින් උසස් කොට සකස් කළ යාගයක් ද? මගේ සොහොයුරන් මරා ස්වර්ගයට යාමට කැමැත්තෙහි නම්, මොවුන් මරා ලබන සර්ව සැපයෙන් කුමන වැඩක් දැ” යි බැගෑපත්ව වැළපුණා ය.
රජතුමා ඇගේ වැලපීම ද නොසලකා හැරියේ ය. ඉක්බිති චන්‍ද කුමාරයාගේ පුතු වන වාසුල කුමරා පියාගේ දුක්ඛිත ස්වභාවය දැක ‘මම සියාට ආයාචනා කොට මගේ පියාට ජීවිතය ගෙන දෙමි’ යි රජුගේ පාමුල වැටි වැටී බිම පෙරළමින් වැලපෙන්නට විය. “අපි තරුණ බවට නොපැමිණි ළදරුවෝ වෙමු. අප පියා නොමැරුව මැනව, ප කෙරෙහි අනුකම්පා කොට පියා නොමැරුව මැනව” යි හඬා වැලපුනේ ය
රජු එම කුමරුගේ වැලපීම අසා හදවත බිඳී ගියාක් මෙන් සිට කඳුළු පිරි දෙනෙතින් යුතුව කුමාරයා වැළඳගෙන “දරුව, අස්වැසිල්ලක් ලබන්න. ඔබගේ පියා මුදා හරින්නෙමි” යි කියා ගාථාවක් කීය.
“වාසුල කුමාරය, මේ තොපගේ පියාය. පියා සනසව, අන්තඃපුරය තුළ මහ හඬින් වැලපෙමින් මේ කුමාරයා මට මහත් දුක් ඉපිදවීය. දැන් මේ කුමරවරුන් මුදා හරිවූ, පුතුන් මරා කරන යාගයෙන් මට වැඩක් නැත”
නැවත ද ඛණ්ඩගාල බමුණා පැමිණ රජුට මෙසේ කීය.
“මහරජ, මේ යාගය දුෂ්කර ය. දුර්ලභ යැයි මුලදී ම කියන ලදී. එහෙත් යාගය සංවිධානය කළ පසු ඔබ එයට අකුල් හෙළන්නෙහි ය, යාගය කරන අයත්, කරවන අයත් අනුමෝදන් වන අයත් යන සියලු දෙනාම සුගතිගාමී වන්නාහුය”
මෝහයෙන් වැසුණු මනස් ඇති රජහු ද නැවතත් දරුවන් අල්ලා සිර කිරීමට නියම කළහ. ඒ අතර ඛණ්ඩහාල මෙසේ සිතුවේ ය. “මේ රජු මොලොක් සිත් ඇත්තෙකි. විටෙක දරුවන් සිර කරති. විටෙක මුදා හරිති. නැවතත් දරුවන්ගේ කීම අසා පුතුන් මුදාහල හොත් යාගාවාටය පමණක් ඉතිරි වේ. යාගයෙහි නිමාවක් නොලබයි”
ඉක්බිති රජතුමා යාගයට කැඳවාගෙන යනු පිණිස මෙසේ කීය.
“ඒකරාජය, සියලු රත්නයක් මනාව එක්කොට ඔබගේ යාගය පිළියෙල කරන ලද්දේය. දේවයිනි, යාගයට නික්මෙන්න. ස්වර්ගයට ගියකල්හි ඔබ සතුටු වන්නේය”
ඉක්බිති බෝසත් අල්වාගෙන යඥාවාටයට ගමන් කරන විට ඔහුගේ සත්සියයක් තරුණ භාර්යාවෝ ද (බෝසත්හුගේ අන්තඃපුර ස්ත්‍රීහු) කෙහෙවලු මුදාගෙන හඬමින් එකාවන්ව මහමඟ ඔහු පසුපස නැගී ගියාහු ය.
සෝකයෙන් යුතුව නික්මුණු අන්‍ය ස්ත්‍රීහු ද නදුන් උයනෙන් චුතවුණු දෙව්පුතෙකු පිරිවරන ලද දෙවඟණන් මෙන් කෙහෙ මුදාගෙන හඬමින් මහමග ඔහු අනුව ගියාහු ය.
මස් රස සහිත බොජුන් බුදින, රන්සුණු වලින් ඇඟ උලා, දිය වඩන්නන් විසින් මනාව නාවන ලද, කුණ්ඩලාභරණ පැළඳ, පිරිසිදු කසී සළු දරන, අගිල් සඳුන් තැවරු ගත් ඇති චන්ද්‍ර සූර්ය කුමරුවෝ දෙදෙන මවගේ හදවත ශෝකයෙහි ගිල්වමින්, ජනයාගේ ළෙහි ශෝක ඇතිකොට, එකරාජ රජුගේ යාගයට යන්නෝ ය.
පෙර උතුම් අසුන් පිට නැගී ගිය, අස් සෙනගින් පිරිවරනු ලැබ ගමන් ගත් චන්ද්‍ර, සූරිය කුමාරවරු දෙදෙන අද ඔවුන් හැර පාගමනින් යෙති.
පෙර උතුම් රියට නැගී ගිය යම් කුමර කෙනෙක් රිය සෙනගින් යුතුව පිරිවර ජනයා පසුගමන් කෙරෙත් ද අද ඒ චන්ද්‍ර, සූර්ය කුමරහු දෙදෙන පාගමනින් යෙති.
පෙර යම් කුමර කෙනෙක් රන් අබරණින් සරසන ලද අස් සෙනගින් යුතුව නික්ම ගියාහු ද ඒ චන්දු, සූරිය කුමරහු දෙදෙන අද පා ගමනින් යෙති.
**************************************************************
ඔවුන් වැළපෙද්දී ම බෝධිසත්ත්වයෝ නුවරින් බැහැරට ගෙන යනු ලදහ. සියලු නුවර වැසියෝ කැළඹී ඒ පසුපස නික්ම යාමට වූහ. මහජනයාට නික්ම යාමට තරම් දොරවල් ඉඩ මදි විය. බණ්ඩහාල බමුණා, අති මහත් ජන සමූහය දැක ‘මේ මිනිස්සු කොහි යන්නෝද, කුමක් වන්නට යන්නේදැ’ යි විමසා නගරයෙහි දොරටු වස්වාලී ය. නුවරින් නික්ම ගත නොහැකි වූ මහජනයා නුවර දොරටුවට ආසන්න තැනෙක වූ උයනට රැස්ව මහත් හඬින් කෑකෝ ගසමින් වැළපුනාහු ය. එම හඬින් කැළඹුණු පක්‍ෂීහු අහසට නැගී පියාසර කළාහු ය. මහජනයා එම පක්‍ෂීන් අමතා වැළපෙමින් මෙසේ කීවාහු ය.
“එම්බා කුරුල්ලනි. කොස්වාළිහිණියනි, ඉදින් මස් කැමැත්තේ නම් යව්, පුෂ්පවතී නුවරට පෙරදිග යාගාවටයක් ඇත. මෙහි ඒකරාජ නම් රජ මුලාවට පැමිණ පුතුන් සතර දෙනාගෙන් යුතුව යාග කෙරෙයි. ඛණ්ඩහාල බමුණාගේ බස් පිළිගෙන තමාම මුලාවට පැමිණ රජ, රාජදුහිත්‍යා කන්‍යාවන්, මෙහෙසියන්, ගැහැවියන්, ඇතුන්, අසුන්, වෘෂභයන් ආදී සතර බැගින් යුතුව යාග කෙරෙයි. එහි යව්…”
මෙසේ මහජනයා එම ස්ථානයෙහි වැළපී බෝසත්හුගේ වාසස්ථානයට ගොස් ප්‍රාසාදය පැදකුණු කරන්නාහු අන්තඃපුරය, කුළු ගෙවල්, උයන් ආදිය බලමින් වැළපුණාහු ය.
“මේ ඔහුගේ (චන්ද්‍ර කුමරුගේ) ප්‍රාසාදය යි…… මේ ඉතා සිත්කළු වූ අන්තඃපුරය යි….. දැන් ඒ චන්ද්‍ර කුමාරයා පුමුඛ ආර්ය පුත්‍රයෝ සතර දෙන වධයට ගෙනයන ලදහ…..
මේ ඔහුගේ කූටාගාරය රනින්කළ මල්දමින් ගැවසී ගත්තේයැ…… දැන් ඒ ආර්ය පුත්‍රයෝ සතර දෙන වධයට ගෙන යන ලදහ…..
මේ ඔහුගේ උයනයි…. එය හැමදා සුපුෂ්පිතය…… මේ ඔහුගේ ගෝපලු උයනයි….. මේ ඔහුගේ කිණිහිරි උයනයි……මේ ඔහුගේ පළොල් උයනයි…… මේ ඔහුගේ අඹ උයනයි……..හැමදා සුපුෂ්පිතය, සිත්කලුය…. දැන් ඒ චන්ද්‍ර කුමාරයා සහිත ආර්ය පුත්‍රයෝ සතර දෙන වධයට ගෙන යන ලදහ…..
මේ ඔහුගේ පොකුණයි….. පියුම් පඬෙරින් ගැවසී ගත්තේ ය….. රන්කම් කළ නැව ද මල්දමින් විසිතුරු ය. ඉතා සිත්ගන්නා සුළු ය…… ඒ චන්ද්‍ර කුමාරයා ඇතුළු ආර්ය පුත්‍රයෝ සතරදෙන වධයට ගෙන යන ලදහ…..”
මෙසේ ඒ ඒ තැන්වල වැළපී නැවතත් ඇත්හල් ආදී තැන්වලට පැමිණ මෙසේ තෙපළාහු ය.
“මේ එරාවණා නම් වූ, ‘වරුණ දත්ත’ මගුල් ඇතා ඔබගේ හස්ථි රත්නයයි……මේ ‘ඒකඛුර’ නම් මගුල් අසු ඔබගේ අශ්ව රත්නයයි….. දැන් ඒ ආර්ය පුත්‍රයෝ සතරදෙන වධයට ගෙනයන ලදහ…..
මේ ඔබගේ අශ්ව රථයයි….. සැළලිහිණියකට බඳු හඬ ඇත්තේය…. යහපත් වූයේය….. රුවනින් විසිතුරුය….. යම් රථයක ආර්ය පුත්‍රයෝ නඳුනුයන්හි දෙවියන් මෙන් ශෝභමානව ගමන් කළේද මේ ඒ රථයයි…. දැන් ඒ ආර්ය පුත්‍රයෝ සතර දෙන වධයට ගෙනයන ලදහ….
මුලා වූ රජතෙම, කෙසේනම් රන්වන් වූ ජාතියෙන් සම වූ සුන්දර වූ රත් සඳුන් අලෙව් දුන් සිරුරු ඇති පුතුන් සතර දෙනාගෙන් යාග කරන්නේ ද?
මුලාවූ රජතෙම කෙසේනම් රන්වන් වූ ජාතියෙන් සම වූ සුන්දර වූ රත්හඳුන් අලෙව් දුන් සිරුරු ඇති කන්‍යාවන්, මෙහෙසියන්, ගැහැවියන් සතර දෙනෙකුගෙන් යාග කරන්නේද?
යම්සේ ග්‍රාම නිගමයෝ ශූන්‍ය වූවාහු මිනිසුන් නැත්තා වූ මහ වනයෝ වෙත්ද, චන්ද්‍ර සූර්ය කුමරුවන්ගෙන් යාග කළ පුෂ්පවතී නුවර ද එසේ වන්නේ ය…..”
මෙසේ, නගරයෙන් නික්මගත නොහැකි වූ මහජනයා එහෙ මෙහෙ ඇවිදිමින් වැළපෙන්නට වූහ.
බෝසත්තු යාගවාටය වෙත පමුණුවන ළදහ. ඔහුගේ මව වූ ගෝතමී දේවිය රජුගේ පාමුල වැටී මගේ පුතාගේ ජීවිතය දෙන්න යැයි අයදිමින් මෙසේ වැළපුණා ය.
උම්මත්තිකා භවිස්සාමි – භූනහතා පංසුනාව පරිකිණා
සචෙ චන්‍දවරං නන්ති – පාණා මෙ දෙව නිරුජ්ඣන්ති
“දේවයනි, ඉදින් උතුම් වූ සඳකුමරු නසා නම් වැඩ නැත්ති වූ මම පසින් ගැවැසුණු සිරුරු ඇත්තී උමතු වන්නෙමු. මාගේ ප්‍රාණය නිරුද්ධ වෙති”
මෙසේ බෝසතාණන්ගේ මෑණියෝ නන් අයුරින් විලාප කියා රජ්ජුරුවන්ගෙන් අස්වැසීමකට සුදුසු වූ කිසිදු වචනයක් නොලැබ, “මගේ පුතා ඔබලා කෝපයට පත්කොට ගියේද? කුමක් නිසා, ඔබලා ඔහු රඳවා ගැනීමට (බේරා ගැනීමට) උත්සාහ නොකරන්නේ ද යැයි කියා චන්ද්‍ර කුමාරයාගේ අන්තඃපුර භාර්‍යාවන් සිව්දෙනෙක් වැළඳගෙන වැළපෙමින් මෙසේ කීවා ය.
“ඝට්ටිය යැ. ඔපරක්වීයැ, පොක්ඛරක්වීයැ, නායිකායැ යන මොවුන් ප්‍රිය තෙපුල් බෙණෙමින් චන්ද්‍ර, සූර්ය කුමරුන් හමුවෙහි ගී කියමින් නටන්නාහු කවර හෙයින් දැන් ඔහු හා එක් නොවන්නහුද? උකටලීව සිටින්නේ කුමක් නිසාද? මුළු දඹදිව් තලයෙහි නෘත්‍ය ගීතාදියෙන් මොවුන්ට සමාන අන්කිසි කෙනෙකු නැත. ඉදින් දැන් නුඹලා කරබාගෙන සිටින්නේ කිම?”
මෙසේ ඇය යේලියන් සමග වැළපී ඛණ්ඩහාල බමුණාට පරිභව කරන්නේ මෙසේ කීවා ය.
“ඛණ්ඩහාලය, චන්ද්‍ර, සූර්ය කුමරුවෝ වධයට ගෙනගිය කල්හි මගේ හෘදයේ යම් ශෝකයක් වේද, මාගේ මේ හෘද ශෝකය තාගේ මව් තොමෝ ලබාවා!ඛණ්ඩහාලය, චන්ද්‍ර, සූර්ය කුමරුවෝ වධයට ගෙනගිය කල්හි මට යම් පුත්‍ර ශෝකයක් වේද, මාගේ මේ හෘද ශෝකය තාගේ භාර්යා තොමෝ ලබාවා!
ඛණ්ඩභාලය, යමෙක් සිංහයන් සමාන වූ නිදොස් කුමරුන් ඝාතනය කරවී ද (එසේ කර වූ) තාගේ බිරිඳ දරුවන් නොදකීවා! ස්වාමි පුරුෂයා ද නොදකීවා!
ඛණ්ඩහාලය, යමෙක් සියලු දෙන විසින් අපේක්‍ෂා කරනු ලබන කුමරුන් ඝාතනය කරවී ද? තාගේ බිරිඳ දරුවන් නොදකීවා! හිමියා ද නොදකීවා!”
බෝසත්හු යාගාවාටය අසල සිට පියාට ආයාචනා කරන්නේ මෙසේ කීහ.
“දේවයනි, අප නොනසත්වා, ඛණ්ඩහාල හට දාසයන් කොට දෙන්න. අපි හැකිල්ලෙන් බඳිනු ලැබූ ඇතුන් අසුන් පාලනය කරම්හ….ඇත්වසුරු බැහැරලම්හ…..අස්වසුරු බැහැර කරම්හ….
දේවයනි, අප නොනසන්න…….ඔබ කැමැති කෙනෙකුට අප දාසකොට දෙන්න. රටින් පිටුවහල් කරනු ලබන අපි අහර සිඟා හැසිරෙම්හ…..”
දරුවන් කැමැති දිළිඳු ස්ත්‍රීහු ද දරුවන් සඳහා දෙවියන් යදිති. පියාණෙනි, දෙවියන් යැදීමෙන් දරුවන් ලබති. අප ඝාතනය නොකරන්න, බැගෑපත්ව ලද පුතුන් වන අපගෙන් මවු වෙන් නොකරන්න.
මහරජ, කාන්තාවන්ට උපන් දොළ (දරුවන් සඳහා) නොලැබීමෙන් දරුගැබ් වියලී ගොස් නැසේ. එහිදී ඇතැම් ස්ත්‍රීහු පුතුන් හටගත් දොළදුක සංසිඳවා ගැනීමට ආහාර නොගෙනම දරුවන් නොලබන්නාහු ය. ඇතැම් ස්ත්‍රීහු දොළ සංසිඳවා නොගෙන ම දරුවන් ද ලබති.
අපගේ මවු හොඳට කාබී උපන්නා වූ දොළදුක සංසිඳවා ගෙනම හටගත් ගැබ් නොනසාගෙන ම පුතුන් ම ලැබුවා ය. මෙසේ ලැබූ දරුවන් ඝාතනය නොකරන්න.
මහරජ, මේ ලෝකයෙහි දරුවන් නොලබත්හු ‘අපට දරුවන් නොලැබෙන්නේ කුමක් නිසාදැ’ යි දරුවන් ලැබීමේ මහත් ආශාවෙන් පසුවෙති. දරුවන්ගේ දරුවන් ද ලැබේවා’ යි දරුවන් ලැබීමේ මහත් ආශාවෙන් පසුවෙති. එසේ තිබියදී ඔබ අපව නිකරුණේ ඝාතනය කෙරේ. අප මවගෙන් වෙන් නොකරන්න”
හෙතෙම මෙසේ කියාද පියාගෙන් කිසිදු අස්වැසිල්ලක් නොලැබී මවගේ පාමුල වැටී වැළපෙමින් මෙසේ කීවේ ය.
“මෑණියනි. බොහෝ දුක්විඳ චන්‍ද කුමාරයා පෝෂණය කළ තෙපි, පුතු කෙරෙන් වෙන්වන්නෙහි ය. මෑණියනි, ඔබගෙන් වෙන්වන බැවින් මා වැළඳ ගනු මැනවි. ඔබගේ පා වැඳීමට ඉඩ දුන මැනවි. ඒකරාජ රජුගේ යාගය පිණිස නැවැත නොඑන ලෙස වෙන්වී විසීමට යමි. මාගේ පියා භෝග සම්පන්න වූ පරලොව ලබාවා!
මෑණියෙනි, වියෝවන මා වැළඳ ගනු මැනවි. ඔබගේ පා සඟල වැඳීමට අවසර දුන මැනවි. දැන් මම මවගේ හෘදයෙහි ශෝකය උපදවා…..මහජනයාගේ හෘදයෙහි ශෝකය උපදවා… නැවැත නොඑන පරිදි වෙන්ව විසීමට යම්”
ඉක්බිති මව වැළපෙමින් මෙසේ කීවා ය. “ගෝතමි පුත්‍රය, එසේ නම් මේ අන්තිම දැක්ම බැවින් ඔබගේ විසිරුණු කෙස්කළඹ මුදාහැර පියුම්පත් වෙළුමෙන් යුතුව බැඳගන්න, ඇතුළතින් සපුමල් පෙතිගන්වා පැහැයෙන් සුවඳින් යුතු නොයෙක් මල්දම් පැළඳවීම ඔබගේ සිරිතයි. පුත්‍රය, ඒ ලෙසම සැරසෙන්න.
රත් හඳුන් තවරාගෙන රාජ සභායෙහි වැජඹුනේ ද එලෙස මේ අවසන් සැරසුම බැවින් රත්හඳුන් විලේපනය කරගන්න.
යම් ආකාර වූ සියුම් වූ කසීසළු හැඳගෙන ඔබ රාජසභාවෙහි වැජඹුණේ ද එබඳු වූ කසීසළුව අන්තිම දිනය වූ අද හැඳ ගන්න.
යම්බඳු වූ හස්ථාභරණවලින් ඔබ රාජ සභායෙහි වැජඹුණේ ද මුතු මැණික් රත්රන් යන මෙයින් අලංකාරවත් වූ හස්තාභරණ පළඳින්න” යි කියමින් ඕ තොමෝ වැළපුණා ය.
මේ අතර චන්ද කුමරුගේ චන්දා නම් අගමෙහෙසිය, රජුගේ පාමුල වැටී මෙසේ හඬමින් අයැද සිටියා ය.
“මිනිසුන්ට ප්‍රධාන වූ භූමියට අධිපති වූ ජනපදහිමි වූ මේ රජ තෙමේ දරුවන් කෙරෙහි ඇතිවිය යුතු මහත් ආදරය නූපදවයි”
එය අසා රජතෙමේ මෙසේ කීවේ ය.
“මටත් දරුවෝ ප්‍රිය ය. කුමක් නිසා මා දරු සෙනෙහස නොදන්නේ ද? හුදෙක් ගෝතමියට පමණක් නොවේ. ඒ ලෙසම මටත් දරුවන් ප්‍රියය. මගේ ආත්මය ද මට ප්‍රිය ය. ඔබලා ද යේළියන් ද මට ප්‍රිය ය.
මම ස්වර්ගය ප්‍රාර්ථනා කරමි. ඒ සඳහා මොවුන් ඝාතනය කරමි. මා සමග සියලු දෙනාම එක්වර දෙව්ලොව යන්නේ යැයි නොසිතව”
එවිට චන්දා දේවී තොමෝ මෙසේ කීවා ය.
“එසේනම් පළමුකොට මා මරනු මැනව, අලංකාර ලෙස සරසන ලද සියුමැලි වූ ඔබගේ පුතා චන්ද්‍ර කුමාරයා හා සමාන දෙව්ලෝ ඇත්තියක් වන්නෙමි. ඔබ පින් රැස්කළ මැනව. එකවර නැසුණු අප දෙදෙනා සුව අනුභව කරමින් පරළොව හැසිරෙමු.
චන්ද්‍ර කුමරුගේ මරණ දුක මාගේ හදවත පැලී යන සුළුය. මේ මාගේ එකම ස්වාමියාණෝ ය. අමතක කිරිමට නොහැක. අත්හැරිය නොහැක”
එවිට රජතුමා මෙසේ කීවේ ය.
“චන්ද්‍රවතී තිගේ මරණයට කැමැති නොවව. විශාල ඇස් ඇත්තිය, සැමියාගේ සහෝදරයෝ තව බොහෝ ඇත. ගෝතමී පුතු චන්ද්‍ර කුමාරයා මරා යාග කළ කල්හි ඔව්හු තී පංචකාමයෙන් සතුටු කරන්නා හ”
රජු මෙසේ කී කල්හි චන්ද්‍රාවතී බිසව අතුල් තලින් තමන්ට ගසා ගත්තා ය. වැළපෙමින් මෙසේ කීවා ය.
“මගේ ජිවිතයෙන් ප්‍රයෝජන නැත. විස බොමි. මැරෙමි. ‘උරෙහි දා පුතුන් නොමරව’ යි යම් කෙනෙක් නොකියද් ද එහෙයින් මේ රජහට මිත්‍රයෝ ද අමාත්‍යයෝද නැතැයි සිතමි”
වාසුල කුමාරයා ආදී වූ සෙසු පුතුන්ගේ අතින් අල්වාගෙන ඕ රජුගේ පාමුල සිට මෙසේ ද කීවා ය.
“මහරජ, පැළැඳි මල්මාලා ඇති අගු පළඳනාවෙන් සැරැසුණු ඒ මේ මාගේ පුත්‍රයෝ ද ඇත. ඔවුන්ගෙන් යාග කළ මැනවි. එවිට ගෝතමී පුත්‍ර චන්ද්‍ර කුමාරයන් මුදා හරිත්වා!
මහරජ, මා මරා කොටස් කොට සත් තැනෙක යාග කළ මැනව. නිදොස් වූ සිංහයෙකු බඳු වූ මාගේ ස්වාමිපුත්‍ර තෙමේ නොමරනු මැනවි.
මහරජ, මා මරා කොටස් කොට සත් තැනෙක යාග කළ මැනවි. සියලු ලෝවැසියන්ගේ බලාපොරොත්තු ඇති ස්වාමිපුත්‍ර තෙමේ නොමරව,
දේවයිනි, මේ කුමක් කරන්නේද?”
මෙසේ කියමින් ඕ දෙ අත්ලෙන් තමාට ගසා ගත්තා ය.
මෙසේ ඇය රජු ඉදිරියේ මේ ගාථා කියා වැලපී අස්වැසිල්ලක් නැත්තී බෝසත් සමීපයට ගොස් වැළපෙමින් සිටියා ය. ඉක්බිති ඔහු ඇයට කියන්නේ, “චන්ද්‍රාවනි, මම දිවමන් කළ, බබළන විසිතුරු කැටයමින් හෙබි ආභරණ වලින් ඔබව සැරසුවෙමි. අද මේ ඔබට දෙන අවසාන දීමයි. සිරුරැ පැළඳි ආභරණ දෙමි……. ප්‍රිය වචන පවසන කල්හි මුතු මැණික් වෛදූර්මය වූ කුඩා වූ ද මහත් වූ ද බොහෝ ආභරණ මවිසින් ඔබට දෙන ලදී. මේ මවිසින් තිට දෙන අන්තිම දීමයි. ඒවා ඇරැගන්න” යි කීය.
චන්ද්‍රා දේවිය ඒ අසා මෙසේ කියමින් වැළපුණා ය.
“මෙයින් පෙර යම් රාජ කුමාරයෙක් ගේ සිරුරෙහි පිවිතුරු මල්දම් පෙරළුනාහු ද අද ඒ කුමාරයින්ගේ සිරුරෙහි මුවහත් වූ කඩුව පවත්නේ ය…….
මෙයින් පෙර යම් රාජ කුමාරයෙකුගේ සිරුරෙහි විසිතුරු මල්දම් පෙරළුනාහු ද අද ඒ රාජ කුමාරයින්ගේ සිරුරෙහි විෂ පෙවූ තියුණු මුවහත් කඩුව පවත්නේ ය……
රාජ කුමාරයින්ගේ සිරුරුවල ඒකාන්තයෙන් නොබෝ කලකින් කඩුව හෙන්නේ ය……. එසේ වූයේ නමුදු මහද නොපැළෙයි…… මගේ හෘදය දැඩි බැඳුමෙන් බැඳුනේ වේ……
හැඳි පිරිසිදු කසීසළු ඇති, පැළඳි කුණ්ඩලාභරණ ඇති, ගල්වන ලද අගිල් සඳුන් සුවඳ ඇති, සඳ-හිරු කුමරුවෝ ඒකරාජ නම් රජුගේ යාගයට ගෙනයනු ලබන්නෝ ය…….
හැඳි පිරිසිදු කසී සළු ඇති පැළඳි කුණ්ඩලාභරණ ඇති ගල්වන ලද අගිල් සඳුන් සුවඳ ඇති සඳ-හිරු කුමරුවෝ මෑණියන්ගේ හෘදයෙහි ශෝක උපදවා ඒකරාජ නම් රජුගේ යාගයට ගෙනයනු ලබන්නාහ……
හැඳි පිරිසිදු කසී සළු ඇති පැළඳි කුණ්ඩලාභරණ ඇති ගල්වන ලද අගිල් සඳුන් ඇති සඳ හිරු කුමරුවෝ මහජනයාගේ හෘදයෙහි ශෝක උපදවා, ඒකරාජ නම් රජුගේ යාගයට ගෙන යනු ලබන්නේ ය…….
මස් රසයෙන් යුත් සුවඳ ඇල් සහල් බොජුන් අනුභව කළ, නහවන්නවුන් රන්සුණු නහනුයෙන් උළා කළ නැහැවුම් ඇති, පැළඳී කුණ්ඩලාභරණ ඇති අගිල් සඳුන් සුවඳ ගල්වන ලද චන්දු-සූර්ය කුමරුවෝ ඒකරාජ නම් රජුගේ යාගයට ගෙන යනු ලබන්නාහ……
මස් රසයෙන් යුත් සුවඳ ඇල් සහල් බොජුන් අනුභව කළ, නාවන්නවුන් රන්සුණු නහනුයෙන් උළා කළ නැහැවුම් ඇති, පැළඳී කුණ්ඩලාභරණ ඇති අගිල් සඳුන් සුවඳ ගල්වන ලද චන්ද සූර්ය කුමරුවෝ මෑණියන්ගේ සිතෙහි ශෝකය උපදවා ඒකරාජ නම් රජුගේ යාගයට ගෙනයනු ලබන්නාහ……
මස් රසයෙන් යුත් සුවඳ ඇල් සහල් බොජුන් අනුභව කළ තහවන්නවුන් රන්සුණු නහනුයෙන් උළා නැහැවුම් කළ පැළඳි කුණ්ඩලාභරණ ඇති අගිල් සඳුන් සුවඳ ගල්වන ලද චන්ද්‍ර සූර්ය කුමරුවෝ මහජනයාගේ හෘදයෙහි ශෝක උපදවා ඒකරාජ නම් රජුගේ යාගයට ගෙන යනු ලබන්නාහ……”
මෙසේ ඈ වැළපෙන කල්හි යාගාවාටයෙහි සියලු කටයුතු නිම විය. රාජ කුමාරයා බෙල්ල පහතට හරවා හිඳවනු ලදහ. ඛණ්ඩහාල බමුණා රන්බඳුනක් ගෙන කඩුවක් අතින් ගෙන ‘ඔහුගේ ගෙල සිඳින්නෙමි’ යැයි පසෙක සිටියේ ය.
ඒ දුටු චන්ද්‍රා දේවිය ‘මට අනෙක් පිහිටක් නැත. මගේ සත්‍ය බලයෙන් ස්වාමියාට සෙතක් කරන්නෙමි’ යි ඇඳිලි බැඳගෙන පිරිස් අතරින් එහෙ මෙහෙ හැසිරෙන්නී සත්‍යක්‍රියා කළා ය.
ඒ බැව් දැක්වීමට ශාස්තෘන් වහන්සේ මෙසේ වදාළ සේක.
සබ්බසස්මිං උපක්ඛට සස්මිං
නිසිදිනෙ චන්දියස්මිං යඤදත්ථාය
පචාල රාජධීතා
පඤ්ජලිකා සබ්බ පරිසමනුපරියාසි
යාගයට අවශ්‍ය සියල්ල පිළියෙල කළ කල්හි, කඩුවෙන් ගෙළ සිඳීමට සුදුසු පරිදි චන්ද්‍ර කුමාරයා යාගය පිණිස හිඳවූ කල්හි, පංචාල රාජ දුහිතෘ වූ චන්ද්‍රා දේවී ඇඳිලි බැඳගෙන පිරිස් අතරෙහි හැසිරුණාහ.
යෙන සච්චෙන ඛණ්ඩහා ලො
පාපකම්මං කරොති දුම්මෙධො
එතෙන සත්‍වවසේන
සමංගනී සාමිකෙන හොමි
“යම් සත්‍යයකින් නුවණ නැති ඛණ්ඩහාල පාපකර්මයක් කෙරේ ද, ඒ සත්‍යයෙන් මාගේ සැමියා සමග එක් වේවා”
යෙධත්ථි අමනුස්සා
යානිච යක්ඛභූතව්‍යානි
කරොත්තු මෙ වෙය්‍යා වචිකං
සමංගිනී සාමිකෙන හොමි
“මෙහි අමනුෂ්‍යයෝ ය, යක්‍ෂයෝ ය,භූතයෝ ය, භූතභාවයට පැමිණෙන්නෝ ය යන යම් කෙනෙක් ඇද්ද ඒ සියලු දෙනා මට වතාවත් කෙරේවා. මම සැමියා සමග එක් වූ තැනැත්තියක වෙම්වා”
යා දෙවතා ඉධාගතා
යා නීච යක්ඛ භූතව්‍යානි
සරණෙසිනිං අනාථ
තායථමං යථාමහං පතිමාහං අජිය්‍යන්ති
“මෙහි පැමිණියා වූ දෙවියෝ ය, යක්‍ෂයෝ ය, භූතයෝ ය, භූතභාවයට පැමිණෙන්නෝ ය යන යම් කෙනෙක් ඇද්ද ඒ සියලු දෙනා අස්වාමික වූ පිහිට සොයන මා රකිවු. සැමියාගෙන් මම නොපිරිහෙම්වා. මම තොපට යාඥා කරමි”
එවිට සක්දෙව් රජ ඇගේ වැළපීම් හඬ අසා සියලු තතු දැන ගිනිගෙන, දිළියෙන යකුලක් ගෙන එහි ගොස් රජු තැතිගන්වා බිය කොට සියල්ල වෙනස්කරලී ය.
ඒ බව දැක්වීම ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළ සේක.
“ශක්‍ර දේවෙන්ද්‍ර තෙමේ එබස් අසා යකුළක් කරකවමින් ඒකරාජ නම් රජුට භය උපදවමින් මෙසේ කීහ”
“මෝඩ පවිටු රජ, මම තාගේ හිස පළනා බව දැන ගනුව. සිංහයෙකු සමාන නිදොස් වැඩිමහළු පුතු නොමරව…”
“මෝඩ කාලකණ්ණි රජ, දෙව්ලොව උපදිනු කැමැතිව මරනු ලබන්නා
වූ නිදොස් අඹුදරුවෝ ද සිටුවරු ද ගහපතියෝ ද තා විසින් කොතැන්හිදී දක්නා ලද්දහුද ?”
“එබස් අසා ඛණ්ඩහාල බඹුනා ද රජ ද මේ අද්භූත දර්ශනය (ශක්‍රයා) දැක, පව් නැත්තවුන්ගේ යම් මිදුමක් වේනම් එපරිද්දෙන් සියලු දෙනා බන්ධනයෙන් මුදවාලී ය”
“සියල්ලන්ගේ බැමි මිදූ කල්හි එහි රැස්වූ මහජනයා ‘මේ ඛණ්ඩහාලගේ වධයැ’ යි කියා ඔහුට එක එක කැට පහර දුන්හ”
ඛණ්ඩහාල බමුණා එහිම මරණයට පැමිණියේය.
ඔහු මරණයට පමුණුවා මහජනයා රජු මැරීමට උත්සුක වූහ. බෝසත්හු පියා මුවහ කරගෙන මැරීම වළක්වාලීහ. මහජනයා කියන්නෝ “මේ පව්කාර රජුට දිවි පමණක් දෙමු. මොහුට සේසතත් (රජකමක්) නුවර වාසයට ඉඩත් නොදෙමු. සැඩොල් බවට සම්මත කොට නුවරින් පිටත විසීමට සලස්වමු”
රජුගේ රජ වෙස් හරවා කසාවතක් හඳවා පඬුවන් රෙදි කැබැල්ලක් හිස බැඳ සැඩොල් බව සම්මත කොට සැඩොල් රැහැට යැවූහ.
යමෙක් වනාහි එබඳු වූ සත්ත්වඝාතක යාග කළෝ ද කරවී ද අනුමෝදන් වී ද ඒ සියලු දෙනා අපායගාමී වූහ.
ඒ බව දැක්වීමට ශාස්තෘන් වහන්සේ මෙසේ වදාළ සේක.
“ඒ පවිටු කර්ම (යාග) කොට යම්සේ සියල්ලෝ නරකයෙහි වැටුණාහු ද එසේම පව්කම් කොට මෙළොවින් සුගතියට යන්නට ද නොලැබිය හැකිය”
එහි රැස් වූ මහජනයා කාළකණ්ණිහු දෙදෙන පිටමං කොට, එහි ම අභිෂේක කළමනා රැස්කොට චන්ද කුමාරයා රාජ්‍යයෙහි අභිෂේක කරලූහ.
ඒ බැව් දැක්වීමට ශාස්තෘස්තෘන් වහන්සේ මෙසේ වදාළ සේක.
“සියලු දෙනා බන්ධනයෙන් මිදුණු කල එදා එහි රැස්වූ යම් කෙනෙක් වූවාහු නම් ඒ සියලු දෙනා ද රජ පිරිස ද එක්ව චන්ද්‍ර කුමාරයා අභිෂේක කළහ”
“සියලු දෙනා බන්ධනයෙන් මිදුණු කල්හි එදා එහි රැස් වූ යම් කෙනෙක් වූවාහු නම් ඒ සියලු දෙනා ද රැස් වූ රාජ කන්‍යාවෝ ද චන්ද්‍ර කුමාරයා අභිෂේක කළහ”
“සියලු දෙනා බන්ධනයෙන් මිදුණු කල්හි එදා එහි රැස්වූ යම් කෙනෙක් වූවාහු නම් ඒ සියලු දෙනා ද රැස්වූ දෙව් පිරිස ද චන්ද්‍ර කුමාරයා අභිෂේක කළහ”
“සියලු දෙනා බන්ධනයෙන් මිදුණු කල්හි එදා එහි රැස්වූ යම් කෙනෙක් වූවාහු නම් ඒ සියලු දෙනා ද රැස්වූ දිව්‍ය කත්‍යාවෝ ද චන්ද්‍ර කුමාරයා අභිෂේක කළහ.”
“සියලු දෙනා බන්ධනයෙන් මිදුණු කල්හි එදා එහි රැස්වූ යම් කෙනෙක් වූවාහු නම් ඒ සියලු දෙනා ද රැස්වූ රජ පිරිස ද පිළිහිස සිසෑරූහ.”
“සියලු දෙනා බන්ධනයෙන් මිදුණු කල්හි එදා එහි රැස් වූ යම් කෙනෙක් වූවාහු නම් ඒ සියලු දෙනා ද රැස්වූ රාජ කන්‍යාවෝ ද පිළිහිස සිසැරූහ.”
“සියලු දෙනා බන්ධනයෙන් මිදුණු කල්හි එදා එහි රැස්වූ යම් කෙනෙක් වූවාහු නම් ඒ සියලු දෙනා ද රැස් වූ දෙව් පිරිස ද පිළිහිස සිසැරූහ.”
“සියලු දෙනා බන්ධනයෙන් මිදුණු කල්හි එදා එහි රැස්වූ යම් කෙනෙක් වූවාහු නම් ඒ සියලු දෙනාද රැස්වූ දිව්‍ය කන්‍යාවෝ ද පිළිහිස සිසැරූහ”
මෙසේ එදා ඒ සියල්ලන් බන්ධනයෙන් මිදුණු කල්හි බොහෝ ජනයෝ සතුටු සිත් ඇත්තෝ වූහ. චන්ද්‍ර කුමාරයාට සේසත ඔසවා නගරයට පිවිසි කල්හි නගරයෙහි තුටුබෙර වැයූහ. “අපගේ චන්‍ද කුමාර තෙමේ යම්සේ බන්ධනයෙන් මිදුණෝ ද එසේ සියල්ලෝ මිදෙත්වායි!” යි බන්‍ධනයෙන් මිදීම පිළිබඳ ඝෝෂාව කරන ලද්දේ ය. එහි රජ පිරිස ද මඟුල් හක් තුනකින් චන්ද්‍ර කුමාරයා අභිෂේක කළේ ය. රාජ කන්‍යාවන් ද ක්‍ෂත්‍රීය දූවරු ද ඔහු අභිෂේක කළහ. සක්දෙව් රජ ‘විජයොත්තර’ නම් සක්ගෙඩිය ගෙන දෙපිරිස සමග චන්ද්‍ර කුමාරයා අභිෂේක කළහ. දේව කන්‍යාවන් විසින් ද අභිෂේක කළහ. නොයෙක් පැහැයෙන් යුතු වස්ත්‍ර වලින් ධජ ඔසවා උතුරු සළු අහසෙහි කරකවමින් පිළිහිස සිසැරූහ. ඔවුන් ඉතා සතුටු වූහ.
බෝසත්හුගේ පියා සැඩොල් රැහැක් වසන නුගරුකක් වෙත යවන ලදී. ඇතුළු නුවරට පිවිසීමට අවසර නොදුන්හ. වැටුප් වියදම් ආදිය ගෙවීමට අණ කළහ. නිතර සොයා බැලූහ. ඔහුගේ වැටුප් වියදම් ආදිය ගෙවා නිමවූ විට හේ බෝසත්හු උයන්කෙළි ආදියට යන්නේ, ඔහු ළඟට ගොස් ඇඳිලි බැඳ “ස්වාමීනි, බොහෝ කලක් ජීවත් වෙත්වා” යි කියති. එවිට කුමක් අවැසිදැයි අසා ආහාර රෙදිපිළි ආදිය දෙන්නාහ.
බෝසත්හු දැහැමින් රජකොට ආයුෂ කෙළවර වූ කල්හි දෙව්ලොව ගියහ.
ශාස්තෘන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, “මහණෙනි, අද පමණක් නොව පෙරද මේ දෙව්දත් තෙර තනි මා නිසා බොහෝ දෙනෙකු මැරැවීමට උත්සාහ කළේයැ” යි වදාරා ජාතකය නිමවා වදාළ සේක.
එදවස, ඛණ්ඩහාල බමුණා නම් දෙව්දත් ය . ගෝතමී දේවිය මහාමායා දේවිය ය. චන්ද්‍රා දේවිය රාහුල මාතාව ය. වාසුල කුමරා රාහුල කුමරුයි. සේලා කුමරිය උත්පලවණ්ණා ය. වාමගොත්ත වූයේ කාශ්‍යප ස්ථවිර ය. චන්දසෙසේන වූයේ මුගළන් තෙර ය. සුරිය කුමාරයා වූයේ සැරියුත් තෙර ය. චන්ද රජ වූයේ මම ම යැයි ශාස්තෘන් වහන්සේ වදාළ සේක.