• Save

සිත යටපත් කොට තිබෙන කරුණ ගැන වදාළ දෙසුම

'අපව රිදවන්නෙත් අපට සතුට ගෙන දෙන්නෙත් සිතයි'

…..“පින්වත් මහණෙනි, යම් විදිහකින් පුරුෂයෙකුගේ සිත හැම පැත්තෙන්ම ග්‍රහණය කරගෙන තියෙන යම් රූපයක් ඇත්නම්, පින්වත් මහණෙනි, මේ ස්ත්‍රී රූපය තරම් වෙන එක රූපයක්වත් මා දකින්නෙ නෑ. පින්වත් මහණෙනි, ස්ත්‍රී රූපය හැම පැත්තෙන්ම පුරුෂයාගේ සිත ග්‍රහණය කරගෙනයි තියෙන්නෙ.”…..

'අපව රිදවන්නේත් අපට සතුට ගෙන දෙන්නේත් මනසයි'

- අංගුත්තර නිකාය - (චිත්තපරියාදාන වර්ගය)

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමා විසින් කරවන ලද ආරාමයේ. එදා භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි” කියා භික්ෂුසංඝයා අමතා වදාළා. ඒ භික්ෂූන් වහන්සේලාත් “එසේය, ස්වාමීනී” කියලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මේ දෙසුම වදාළා.

“පින්වත් මහණෙනි, යම් විදිහකින් පුරුෂයෙකුගේ සිත හැම පැත්තෙන්ම ග්‍රහණය කරගෙන තියෙන යම් රූපයක් ඇත්නම්, පින්වත් මහණෙනි, මේ ස්ත්‍රී රූපය තරම් වෙන එක රූපයක්වත් මා දකින්නෙ නෑ. පින්වත් මහණෙනි, ස්ත්‍රී රූපය හැම පැත්තෙන්ම පුරුෂයාගේ සිත ග්‍රහණය කරගෙනයි තියෙන්නෙ.”

 

“පින්වත් මහණෙනි, යම් විදිහකින් පුරුෂයෙකුගේ සිත හැම පැත්තෙන්ම ග්‍රහණය කරගෙන තියෙන යම් හඬක් ඇත්නම්, පින්වත් මහණෙනි, මේ ස්ත්‍රියගේ හඬ තරම් වෙන එකම හඬක්වත් මා දකින්නෙ නෑ. පින්වත් මහණෙනි, ස්ත්‍රී හඬ හැම පැත්තෙන්ම පුරුෂයාගේ සිත ග්‍රහණය කරගෙනයි තියෙන්නෙ.”

 

“පින්වත් මහණෙනි, යම් විදිහකින් පුරුෂයෙකුගේ සිත හැම පැත්තෙන්ම ග්‍රහණය කරගෙන තියෙන යම් ගන්ධයක් ඇත්නම්, පින්වත් මහණෙනි, මේ ස්ත්‍රී ගන්ධය තරම් වෙන එකම ගන්ධයක්වත් මා දකින්නෙ නෑ. පින්වත් මහණෙනි, ස්ත්‍රී ගන්ධය හැම පැත්තෙන්ම පුරුෂයාගේ සිත ග්‍රහණය කර ගෙනයි තියෙන්නෙ.”

 

“පින්වත් මහණෙනි, යම් විදිහකින් පුරුෂයෙකුගේ සිත හැම පැත්තෙන්ම ග්‍රහණය කරගෙන තියෙන විදිහේ යම් රසයක් ඇත්නම්, පින්වත් මහණෙනි, මේ ස්ත්‍රී රසය තරම් වෙන එකම රසයක්වත් මා දකින්නෙ නෑ. පින්වත් මහණෙනි, ස්ත්‍රී රසය හැම පැත්තෙන්ම පුරුෂයාගේ සිත ග්‍රහණය කරගෙනයි තියෙන්නෙ.”

 

“පින්වත් මහණෙනි, යම් විදිහකින් පුරුෂයෙකුගේ සිත හැම පැත්තෙන්ම ග්‍රහණය කරගෙන තියෙන යම් ස්පර්ශයක් ඇත්නම්, පින්වත් මහණෙනි, මේ ස්ත්‍රී ස්පර්ශය තරම් වෙන එකම ස්පර්ශයක්වත් මා දකින්නෙ නෑ. පින්වත් මහණෙනි, ස්ත්‍රී ස්පර්ශය හැම පැත්තෙන්ම පුරුෂයාගේ සිත ග්‍රහණය කර ගෙනයි තියෙන්නෙ.”

 

“පින්වත් මහණෙනි, යම් විදිහකින් ස්ත්‍රියකගේ සිත හැම පැත්තෙන්ම ග්‍රහණය කරගෙන තියෙන යම් රූපයක් ඇත්නම්, පින්වත් මහණෙනි, මේ පුරුෂ රූපය තරම් වෙන එකම රූපයක්වත් මා දකින්නෙ නෑ. පින්වත් මහණෙනි, පුරුෂ රූපය හැම පැත්තෙන්ම ස්ත්‍රියගේ සිත ග්‍රහණය කරගෙනයි තියෙන්නෙ.”

 

“පින්වත් මහණෙනි, යම් විදිහකින් ස්ත්‍රියකගේ සිත හැම පැත්තෙන්ම ග්‍රහණය කරගෙන තියෙන යම් හඬක් ඇත්නම්, පින්වත් මහණෙනි, මේ පුරුෂ හඬ තරම් වෙන එකම හඬක්වත් මා දකින්නෙ නෑ. පින්වත් මහණෙනි, පුරුෂ හඬ හැම පැත්තෙන්ම ස්ත්‍රියගේ සිත ග්‍රහණය කරගෙනයි තියෙන්නෙ.”

 

“පින්වත් මහණෙනි, යම් විදිහකින් ස්ත්‍රියකගේ සිත හැම පැත්තෙන්ම ග්‍රහණය කරගෙන තියෙන යම් ගන්ධයක් ඇත්නම්, පින්වත් මහණෙනි, මේ පුරුෂ ගන්ධය තරම් වෙන එකම ගන්ධයක්වත් මා දකින්නෙ නෑ. පින්වත් මහණෙනි, පුරුෂ ගන්ධය හැම පැත්තෙන්ම ස්ත්‍රියගේ සිත ග්‍රහණය කරගෙනයි තියෙන්නෙ.”

 

“පින්වත් මහණෙනි, යම් විදිහකින් ස්ත්‍රියකගේ සිත හැම පැත්තෙන්ම ග්‍රහණය කරගෙන තියෙන යම් රසයක් ඇත්නම්, පින්වත් මහණෙනි, මේ පුරුෂ රසය තරම් වෙන එකම රසයක්වත් මා දකින්නෙ නෑ. පින්වත් මහණෙනි, පුරුෂ රසය හැම පැත්තෙන්ම ස්ත්‍රියගේ සිත ග්‍රහණය කරගෙනයි තියෙන්නෙ.”

 

“පින්වත් මහණෙනි, යම් විදිහකින් ස්ත්‍රියකගේ සිත හැම පැත්තෙන්ම ග්‍රහණය කරගෙන තියෙන යම් ස්පර්ශයක් ඇත්නම්, පින්වත් මහණෙනි, මේ පුරුෂ ස්පර්ශය තරම් වෙන එකම ස්පර්ශයක්වත් මා දකින්නෙ නෑ. පින්වත් මහණෙනි, පුරුෂ ස්පර්ශය හැම පැත්තෙන්ම ස්ත්‍රියගේ සිත ග්‍රහණය කරගෙනයි තියෙන්නෙ.”

  • Save

ක්‍රියාවට යෝග්‍ය සේ සකස් නොකළ සිත ගැන වදාළ දෙසුම

'ජීවිතයේ සැබෑ වටිනාකම දකින්න, ඔබේ සිත ගැන සැලකිළිමත් වෙන්න'

…..“පින්වත් මහණෙනි, යම් විදිහකින් සමථ විදර්ශනා වශයෙන් දියුණු නොකළ විට (කෙලෙස් නැසීමේ) ක්‍රියාවට යෝග්‍ය පරිදි සකස් නොවන්නා වූ යමක් වේද පින්වත් මහණෙනි, ඒ මේ සිත තරම් වෙන එකම දෙයක්වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, සමථ විදර්ශනා වශයෙන් දියුණු නොකළ විට සිත නිවන් අවබෝධයට සුදුසු පරිදි සකස් වෙන්නේ නෑ.”…..

'ජීවිතයේ සැබෑ වටිනාකම දකින්න, ඔබේ සිත ගැන සැලකිළිමත් වෙන්න'

- අංගුත්තර නිකාය - (අකම්මනිය වර්ගය)

සැවැත් නුවරදී ……………..

“පින්වත් මහණෙනි, යම් විදිහකින් සමථ විදර්ශනා වශයෙන් දියුණු නොකළ විට (කෙලෙස් නැසීමේ) ක්‍රියාවට යෝග්‍ය පරිදි සකස් නොවන්නා වූ යමක් වේද පින්වත් මහණෙනි, ඒ මේ සිත තරම් වෙන එකම දෙයක්වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, සමථ විදර්ශනා වශයෙන් දියුණු නොකළ විට සිත නිවන් අවබෝධයට සුදුසු පරිදි සකස් වෙන්නේ නෑ.”

 

“පින්වත් මහණෙනි, යම් විදිහකින් සමථ විදර්ශනා වශයෙන් දියුණු කළ විට (කෙලෙස් නැසීමේ) ක්‍රියාවට යෝග්‍ය පරිදි සකස් වන්නා වූ යමක් වේද පින්වත් මහණෙනි, ඒ මේ සිත තරම් වෙන එකම දෙයක්වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, සමථ විදර්ශනා වශයෙන් දියුණු කළ විට සිත නිවන් අවබෝධයට සුදුසු පරිදි සකස් වෙනවා.”

 

“පින්වත් මහණෙනි, යම් විදිහකින් සමථ විදර්ශනා වශයෙන් දියුණු නොකළ විට, මහා විපත පිණිස හේතුවන යම් දෙයක් ඇත්නම්, පින්වත් මහණෙනි, ඒ මේ සිත තරම් වෙන එකම දෙයක්වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, සමථ විදර්ශනා වශයෙන් දියුණු නොකළ සිත මහා විපත පිණිස හේතු වෙනවා.”

 

“පින්වත් මහණෙනි, යම් විදිහකින් සමථ විදර්ශනා වශයෙන් දියුණු කළ විට, විශාල යහපතක් පිණිස හේතු වන යම් දෙයක් ඇත්නම්, පින්වත් මහණෙනි, ඒ මේ සිත තරම් වෙන එකම දෙයක්වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, සමථ විදර්ශනා වශයෙන් දියුණු කළ සිත විශාල යහපතක් පිණිස හේතු වෙනවා.”

 

“පින්වත් මහණෙනි, යම් විදිහකින් සමථ විදර්ශනා වශයෙන් දියුණු නොකළ විට, මග-ඵල නිවන් පහළ නොවුන විට, මහා අනර්ථයක් පිණිස හේතු වන යම් දෙයක් ඇත්නම්, පින්වත් මහණෙනි, ඒ මේ සිත තරම් වෙන එකම දෙයක්වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, සමථ විදර්ශනා වශයෙන් දියුණු නොකළ, මග-ඵල නිවන් පහළ නොවූ සිත මහා අනර්ථයක් පිණිස හේතු වෙනවා.”

 

“පින්වත් මහණෙනි, යම් විදිහකින් සමථ විදර්ශනා වශයෙන් දියුණු කළ විට, මග-ඵල නිවන් පහළ වුන විට, මහා අර්ථයක් පිණිස හේතු වන යම් දෙයක් ඇත්නම්, පින්වත් මහණෙනි, ඒ මේ සිත තරම් වෙන එකම දෙයක්වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, සමථ විදර්ශනා වශයෙන් දියුණු කළ, මග-ඵල නිවන් පහළ වූ සිත මහා අර්ථයක් පිණිසම හේතු වෙනවා.”

 

“පින්වත් මහණෙනි, යම් විදිහකින් සමථ විදර්ශනා වශයෙන් දියුණු නොකළ විට, බහුල වශයෙන් දියුණු නොකළ විට, මහා අනර්ථයක් පිණිස හේතු වන විදිහේ යම් දෙයක් ඇත්නම්, පින්වත් මහණෙනි, ඒ මේ සිත තරම් වෙන එකම දෙයක්වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, සමථ විදර්ශනා වශයෙන් දියුණු නොකළ, බහුල වශයෙන් දියුණු නොකළ සිත මහා අනර්ථයක් පිණිස හේතු වෙනවා.”

 

“පින්වත් මහණෙනි, යම් විදිහකින් සමථ විදර්ශනා වශයෙන් දියුණු කළ විට, බහුල වශයෙන් දියුණු කළ විට, මහා අර්ථයක් පිණිස හේතු වන විදිහේ යම් දෙයක් ඇත්නම්, පින්වත් මහණෙනි, ඒ මේ සිත තරම් වෙන එකම දෙයක්වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, සමථ විදර්ශනා වශයෙන් දියුණු කළ, බහුල වශයෙන් දියුණු කළ සිත මහා අර්ථයක් පිණිස හේතු වෙනවා.”

 

“පින්වත් මහණෙනි, යම් විදිහකින් සමථ විදර්ශනා වශයෙන් දියුණු නොකළ විට, බහුල වශයෙන් දියුණු නොකළ විට, දුක් ඇති කර දෙන්නා වූ යම් දෙයක් ඇත්නම්, පින්වත් මහණෙනි, ඒ මේ සිත තරම් වෙන එකම දෙයක්වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, සමථ විදර්ශනා වශයෙන් දියුණු නොකළ, බහුල වශයෙන් දියුණු නොකළ සිත දුක ඇති කර දෙන්නා වූ දෙයක් බවට පත් වෙනවා.”

 

“පින්වත් මහණෙනි, යම් විදිහකින් සමථ විදර්ශනා වශයෙන් දියුණු කළ විට, බහුල වශයෙන් දියුණු කළ විට, සැප ඇති කර දෙන්නා වූ යම් දෙයක් ඇත්නම්, පින්වත් මහණෙනි, ඒ මේ සිත තරම් වෙන එකම දෙයක්වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, සමථ විදර්ශනා වශයෙන් දියුණු කළ, බහුල වශයෙන් දියුණු කළ සිත සැප ඇති කර දෙන්නා වූ දෙයක් බවට පත් වෙනවා.”

  • Save

දමනය නොවූ සිත ගැන වදාළ දෙසුම

'සැනසිලිදායක ජීවිතයක් ලැබෙන්නේ දමනය කළ සිතක් තිබුනොත් පමණයි'

…..“පින්වත් මහණෙනි, යම් විදිහකින් දමනය නොකළ විට මහා අනර්ථයක් පිණිස හේතු වන විදිහේ යම් දෙයක් ඇත්නම්, පින්වත් මහණෙනි, ඒ මේ සිත තරම් වෙන එකම දෙයක්වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, දමනය නොවුන සිත මහා අනර්ථයක් පිණිසමයි හේතු වෙන්නෙ.” …..

'සැනසිලිදායක ජීවිතයක් ලැබෙන්නේ දමනය කළ සිතක් තිබුනොත් පමණයි'

- අංගුත්තර නිකාය - (අදන්ත වර්ගය)

“පින්වත් මහණෙනි, යම් විදිහකින් දමනය නොකළ විට මහා අනර්ථයක් පිණිස හේතු වන විදිහේ යම් දෙයක් ඇත්නම්, පින්වත් මහණෙනි, ඒ මේ සිත තරම් වෙන එකම දෙයක්වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, දමනය නොවුන සිත මහා අනර්ථයක් පිණිසමයි හේතු වෙන්නෙ.”

 

“පින්වත් මහණෙනි, යම් විදිහකින් දමනය කළ විට මහා අර්ථයක් පිණිස හේතු වන විදිහේ යම් දෙයක් ඇත්නම්, පින්වත් මහණෙනි, ඒ මේ සිත තරම් වෙන එකම දෙයක්වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, දමනය වුන සිත මහා අර්ථයක් පිණිසමයි හේතු වෙන්නෙ.”

 

“පින්වත් මහණෙනි, යම් විදිහකින් කුසල් වැඩීම තුළින් වරදින් වළක්වා නොගත් විට මහා අනර්ථයක් පිණිස හේතු වන විදිහේ යම් දෙයක් ඇත්නම්, පින්වත් මහණෙනි, ඒ මේ සිත තරම් වෙන එකම දෙයක්වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, කුසල් වැඩීම තුළින් වරදින් වළක්වා නොගත් සිත මහා අනර්ථයක් පිණිසමයි හේතු වෙන්නෙ.”

 

“පින්වත් මහණෙනි, යම් විදිහකින් කුසල් වැඩීම තුළින් වරදින් වළක්වා ගත් විට මහා අර්ථයක් පිණිස හේතු වන විදිහේ යම් දෙයක් ඇත්නම්, පින්වත් මහණෙනි, ඒ මේ සිත තරම් වෙන එකම දෙයක්වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, කුසල් වැඩීම තුළින් වරදින් වළක්වා ගත් සිත මහා අර්ථයක් පිණිසමයි හේතු වෙන්නෙ.”

 

“පින්වත් මහණෙනි, යම් විදිහකින් කුසල් වැඩීම තුළින් ආරක්ෂා නොකර ගත් විට මහා අයහපතක් පිණිස හේතු වන විදිහේ යම් දෙයක් ඇත්නම්, පින්වත් මහණෙනි, ඒ මේ සිත තරම් වෙන එකම දෙයක්වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, කුසල් වැඩීම තුළින් හොඳින් ආරක්ෂා නොකළ සිත මහා අයහපතක් පිණිසමයි හේතු වෙන්නෙ.”

 

“පින්වත් මහණෙනි, යම් විදිහකින් කුසල් වැඩීම තුළින් ආරක්ෂා කර ගත් විට මහා යහපතක් පිණිස හේතු වන විදිහේ යම් දෙයක් ඇත්නම්, පින්වත් මහණෙනි, ඒ මේ සිත තරම් වෙන එකම දෙයක්වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, කුසල් වැඩීම තුළින් හොඳින් ආරක්ෂා කළ සිත මහා යහපතක් පිණිසමයි හේතු වෙන්නෙ.”

 

“පින්වත් මහණෙනි, යම් විදිහකින් කුසල් වැඩීම තුළින් සංවර නොකර ගත් විට මහා අයහපතක් පිණිස හේතු වන විදිහේ යම් දෙයක් ඇත්නම්, පින්වත් මහණෙනි, ඒ මේ සිත තරම් වෙන එකම දෙයක්වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, කුසල් වැඩීම තුළින් හොඳින් සංවර නොවූ සිත මහා අයහපතක් පිණිසමයි හේතු වෙන්නෙ.”

 

“පින්වත් මහණෙනි, යම් විදිහකින් කුසල් වැඩීම තුළින් සංවර කර ගත් විට මහා යහපතක් පිණිස හේතු වන විදිහේ යම් දෙයක් ඇත්නම්, පින්වත් මහණෙනි, ඒ මේ සිත තරම් වෙන එකම දෙයක්වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, කුසල් වැඩීම තුළින් හොඳින් සංවර වූ සිත මහා යහපතක් පිණිසමයි හේතු වෙන්නෙ.”

 

“පින්වත් මහණෙනි, යම් විදිහකින් සමථ විදර්ශනා වශයෙන් දමනය නොකළ විට, වරදින් නොවැළැක්වූ විට, නොරැකගත් විට, සංවර නොකළ විට, මහා අනර්ථයක් පිණිස හේතු වන විදිහේ යම් දෙයක් ඇත්නම්, පින්වත් මහණෙනි, ඒ මේ සිත තරම් වෙන එකම දෙයක්වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, සමථ විදර්ශනා වශයෙන් දමනය නොකළ, වරදින් නොවැළැක්වූ, නොරැකගත්, සංවර නොකළ සිත මහා අනර්ථයක් පිණිසමයි හේතු වෙන්නෙ.”

 

“පින්වත් මහණෙනි, යම් විදිහකින් සමථ විදර්ශනා වශයෙන් දමනය කළ විට, වරදින් වැළැක්වූ විට, රැකගත් විට, සංවර කළ විට, මහා අර්ථයක් පිණිස හේතු වන විදිහේ යම් දෙයක් ඇත්නම්, පින්වත් මහණෙනි, ඒ මේ සිත තරම් වෙන එකම දෙයක්වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, සමථ විදර්ශනා වශයෙන් දමනය කළ, වරදින් වැළැක්වූ, රැකගත්, සංවර කළ සිත මහා අර්ථයක් පිණිසමයි හේතු වෙන්නෙ.”

  • Save

වී නංඩුව ගැන වදාළ දෙසුම

'තමන්වත් නසා අනුන්වත් නසන, දුගතියටම පාර කපන කැළඹුන හිත'

…..“පින්වත් මහණෙනි, යම් ආකාරයෙන් සැණෙකින් වෙනස් වෙලා යන්නා වූ දෙයක් ඇත්නම්, ඒ මේ සිත තරම් වෙන එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, මේ සිත කොතරම් සැණෙකින් වෙනස් වෙලා යන්නා වූ දෙයක්ද යත් එයට උපමාවක් සොයාගන්න එක පවා ලේසි දෙයක් නොවෙයි.”…..

'තමන්වත් නසා අනුන්වත් නසන, දුගතියටම පාර කපන කැළඹුන හිත'

- අංගුත්තර නිකාය - (සූක වර්ගය)

සැවැත් නුවරදී….

“පින්වත් මහණෙනි, එය මෙවැනි දෙයක්. හැල් වී නංඩුවක් හරි, යව වී නංඩුවක් හරි, වැරදි විදිහට තැබුවොත් අතින් වේවා, පයින් වේවා තද වුනොත් ඒ අත හෝ පය හෝ තුවාල වී ලේ උපදින්නේය යන කරුණ, සිදුවන දෙයක් නොවේ. එයට හේතුව කුමක්ද? පින්වත් මහණෙනි, වී නංඩුව වැරදි විදිහට තැබීමයි. පින්වත් මහණෙනි, මෙකරුණත් එවැනිම දෙයක්. නොමගක පිහිටුවා ගත් සිතකින් යුතු ඒ භික්ෂුව ඒකාන්තයෙන්ම අවිද්‍යාව බිඳ හෙළන්නේය, විද්‍යාව උපදවන්නේය, අමාමහ නිවන සාක්ෂාත් කරන්නේය යන කරුණ සිදු වන දෙයක් නොවේ. එයට හේතුව කුමක්ද? පින්වත් මහණෙනි, සිත නොමගක පිහිටුවා ගැනීමයි.”

 

“පින්වත් මහණෙනි, එය මෙවැනි දෙයක්. හැල් වී නංඩුවක් හරි, යව වී නංඩුවක් හරි, නිවැරදි විදිහට තැබුවොත් අතින් වේවා, පයින් වේවා තද වුනොත් ඒ අත හෝ පය හෝ තුවාල වී ලේ උපදින්නේය යන කරුණ, සිදුවන දෙයක්. එයට හේතුව කුමක්ද? පින්වත් මහණෙනි, වී නංඩුව නිවැරදි විදිහට තැබීමයි. පින්වත් මහණෙනි, මෙකරුණත් එවැනිම දෙයක්. හරි මගෙහි පිහිටුවා ගත් සිතකින් යුතු ඒ භික්ෂුව ඒකාන්තයෙන්ම අවිද්‍යාව බිඳ හෙළන්නේය, විද්‍යාව උපදවන්නේය, අමාමහ නිවන සාක්ෂාත් කරන්නේය යන කරුණ සිදු වන දෙයක්. එයට හේතුව කුමක්ද? පින්වත් මහණෙනි, සිත හරි මගෙහි පිහිටුවා ගැනීමයි.”

 

“පින්වත් මහණෙනි, මා මේ ලෝකයේ මගේ සිතින් සමහර නපුරු සිත් ඇති පුද්ගලයන්ව හොඳින් අවබෝධ කර ගන්නවා. ‘මේ පුද්ගලයා නම් මේ වෙලාවේදී මිය පරලොව ගියොත්, හරියට ඔසවා ගෙන පැමිණි බරක් බිමින් තබනවා වගේ නිරයේ උපදිනවා. ඒකට හේතුව කුමක්ද? පින්වත් මහණෙනි, ඔහුගේ සිත දූෂිතව තිබීමයි. පින්වත් මහණෙනි, ඔය විදිහට සිත දූෂිත වීම හේතුවෙන් මෙහි සමහර සත්වයන් කය බිඳිලා මැරුණට පස්සේ අපාය, දුගතිය නම් වූ නිරයේ උපදිනවා.”

 

“පින්වත් මහණෙනි, මා මේ ලෝකයේ මගේ සිතින් සමහර පහන් වූ සිත් ඇති පුද්ගලයන්ව හොඳින් අවබෝධ කර ගන්නවා. ‘මේ පුද්ගලයා නම් මේ වෙලාවේදී මිය පරලොව ගියොත්, හරියට ඔසවා ගෙන පැමිණි බරක් බිමින් තබනවා වගේ සුගතියේ උපදිනවා. ඒකට හේතුව කුමක්ද? පින්වත් මහණෙනි, ඔහුගේ සිත ප්‍රසන්නව තිබීමයි. පින්වත් මහණෙනි, ඔය විදිහට සිතේ පැහැදීම හේතුවෙන් මෙහි සමහර සත්වයන් කය බිඳිලා මැරුණට පස්සේ සුගතිය නම් වූ ස්වර්ග ලෝකයෙහි උපදිනවා.”

 

“පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. වතුර විලක් තියෙනවා. ඒක කැළඹිලා, බොර වෙලා, මඩ වෙලයි තියෙන්නේ. ඉතින් එතැන ඉවුරේ සිටින ඇස් ඇති පුරුෂයෙක් (ඒ ජලය දෙස බලා සිටිද්දී) සිප්පි බෙල්ලන් හෝ හක් බෙල්ලන් හෝ මාළු රංචු හෝ සිටින බව හෝ පිහිනන බව හෝ දකින්නේ නෑ. ඒකට හේතුව මොකක්ද? පින්වත් මහණෙනි, ජලය කැළඹී තිබීමයි. පින්වත් මහණෙනි, අන්න ඒ වගේම තමයි කැළඹී ගිය සිතකින් යුතු වූ ඒ භික්ෂුව ඒකාන්තයෙන්ම ‘තමන්ගේ යහපත දැනගන්නේය, අනුන්ගේ යහපත දැනගන්නේය, තමාගේත් අනුන්ගේත් යන දෙපසෙහි ම යහපත දැනගන්නේය, මනුෂ්‍ය ගුණධර්මවලට වඩා උත්තරීතර වූ ආර්ය වූ ඤාණදර්ශන විශේෂයක් අවබෝධ කරන්නේය කියන එක සිද්ධ වෙන දෙයක් නොවෙයි. ඒකට හේතුව මොකක්ද? පින්වත් මහණෙනි, සිත කැළඹී තිබීමයි.”

 

“පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. වතුර විලක් තියෙනවා. ඒක කැළඹිලා නෑ. බොර වෙලා නෑ. මඩ වෙලා නැතුවයි තියෙන්නේ. ඉතින් එතැන ඉවුරේ සිටින ඇස් ඇති පුරුෂයෙක් (ඒ ජලය දෙස බලා සිටිද්දී) සිප්පි බෙල්ලන් හෝ හක් බෙල්ලන් හෝ මාළු රංචු හෝ සිටින ආකාරයත්, හැසිරෙන ආකාරයත් දකිනවා. ඒකට හේතුව මොකක්ද? පින්වත් මහණෙනි, ජලය නොකැළඹී තිබීමයි. පින්වත් මහණෙනි, අන්න ඒ වගේම තමයි නොකැළඹී ගිය සිතකින් යුතු වූ ඒ භික්ෂුව ඒකාන්තයෙන්ම ‘තමන්ගේ යහපත දැනගන්නේය, අනුන්ගේ යහපත දැනගන්නේය, තමාගේත් අනුන්ගේත් යන දෙපසෙහි ම යහපත දැනගන්නේය, මනුෂ්‍ය ගුණධර්මවලට වඩා උත්තරීතර වූ ආර්ය වූ ඤාණදර්ශන විශේෂයක් අවබෝධ කරන්නේය කියන එක සිද්ධ වෙන දෙයක්. ඒකට හේතුව මොකක්ද? පින්වත් මහණෙනි, සිත නොකැළඹී තිබීමයි.”

 

“පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. යම් තාක් ගස් වර්ග තිබෙනවා නම්, ඒවා අතරින් මෘදු බවෙනුත්, ප්‍රයෝජනයට ගැනීම අතිනුත් මේ ‘බුදුරුදමුනු’ ගහ තමයි වඩාත්ම අග්‍ර වෙන්නේ. අන්න ඒ වගේම තමයි පින්වත් මහණෙනි, යම් දෙයක් සමථ විදර්ශනා වශයෙන් දියුණු කළ විට, බහුල වශයෙන් දියුණු කළ විට මෘදු වෙයි නම්, කර්මණ්‍ය වෙයි නම්, ඒ මේ සිත තරම් වෙන එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, මේ සිත සමථ විදර්ශනා වශයෙන් දියුණු කළොත්, නැවත නැවත දියුණු කළොත් මෘදු වෙනවා. අවබෝධයට සුදුසු පරිදි සකස් වෙනවා.”

 

“පින්වත් මහණෙනි, යම් ආකාරයෙන් සැණෙකින් වෙනස් වෙලා යන්නා වූ දෙයක් ඇත්නම්, ඒ මේ සිත තරම් වෙන එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, මේ සිත කොතරම් සැණෙකින් වෙනස් වෙලා යන්නා වූ දෙයක්ද යත් එයට උපමාවක් සොයාගන්න එක පවා ලේසි දෙයක් නොවෙයි.”

 

“පින්වත් මහණෙනි, මේ සිත ප්‍රභාෂ්වරයි. එනමුදු ආගන්තුක වූ උපක්ලේශ (අකුසල් සිතුවිලි) වලින් තමයි කිළුටු වෙලා තියෙන්නේ.”

 

 “පින්වත් මහණෙනි, මේ සිත ප්‍රභාෂ්වරයි. එනමුදු මේ සිත මනාකොට නිදහස් වුනේ ඒ ආගන්තුක උපක්ලේශවලින් තමයි.”

  • Save

ප්‍රභාෂ්වර සිත ගැන වදාළ දෙසුම

'පැහැසර සිත නසාගන්නා කුසීතයා'

…..“පින්වත් මහණෙනි, යම් කරුණකින් නූපන් අකුසල් උපදිනවා නම්, උපන් කුසල් දහම් පිරිහිලා යනවා නම්, පින්වත් මහණෙනි, මේ කුසීතකම තරම් එයට හේතු වන, වෙන එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, ප්‍රමාදී පුද්ගලයාට නූපන් අකුසල් උපදිනවා. උපන් කුසල් දහම් පිරිහිලා යනවා.”….

'පැහැසර සිත නසාගන්නා කුසීතයා'

- අංගුත්තර නිකාය - (පභස්සර වර්ගය)

“පින්වත් මහණෙනි, මේ සිත ප්‍රභාෂ්වරයි. එනමුදු මේ සිත වනාහී ආගන්තුක උපක්ලේශවලින් කිළුටු වෙලා තියෙන්නේ. අශ්‍රැතවත් පෘථග්ජන පුද්ගලයා මේ කාරණය ඒ අයුරින් දන්නෙ නෑ. ඒ නිසා අශ්‍රැතවත් පෘථග්ජන පුද්ගලයා හට ‘චිත්ත භාවනාවක් නැහැ’ කියලයි මා කියන්නේ.”

 

“පින්වත් මහණෙනි, මේ සිත ප්‍රභාෂ්වරයි. එනමුදු මේ සිත වනාහී ආගන්තුක උපක්ලේශවලින් නිදහස් වෙලා තියෙන්නේ. ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා මේ කාරණයත් ඒ අයුරින්ම දන්නවා. ඒ නිසා ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා හට ‘චිත්ත භාවනාව තිබෙනවා’ කියලයි මා කියන්නේ.”

 

“පින්වත් මහණෙනි, යම් භික්ෂුවක් අසුරු සැණක් ගසන මොහොතක්වත් මෛත්‍රී සිත සේවනය කරනවා නම් පින්වත් මහණෙනි, මේකට තමයි කියන්නේ ‘භික්ෂුව ධ්‍යාන භාවනාවෙන් හිස් නැතුව වාසය කරනවා, ශාස්තෘන් වහන්සේගේ අනුශාසනාව ඉටු කරනවා, අවවාදය පිළිපදිනවා, ගුණදහමින් හිස් නොවී සැදැහැවතුන් දෙන දන්පැන් වළඳනවා’ කියල. ඉතින් යම් කෙනෙක් මෙත් සිත බහුලව ප්‍රගුණ කරනවා නම්, ඒ ගැන කවර කතාද?”

 

“පින්වත් මහණෙනි, යම් භික්ෂුවක් අසුරු සැණක් ගසන මොහොතක්වත් මෛත්‍රී සිත ප්‍රගුණ කරනවා නම් පින්වත් මහණෙනි, මේකට තමයි කියන්නේ ‘භික්ෂුව ධ්‍යාන භාවනාවෙන් හිස් නැතුව වාසය කරනවා, ශාස්තෘන් වහන්සේගේ අනුශාසනාව ඉටු කරනවා, අවවාදය පිළිපදිනවා, ගුණදහමින් හිස් නොවී සැදැහැවතුන් දෙන දන්පැන් වළඳනවා’ කියලා. ඉතින් යම් කෙනෙක් මෙත් සිත බහුලව ප්‍රගුණ කරනවා නම්, ඒ ගැන කවර කතා ද?”

 

“පින්වත් මහණෙනි, යම් භික්ෂුවක් අසුරු සැණක් ගසන මොහොතක්වත් මෛත්‍රී සිත මෙනෙහි කරනවා නම් පින්වත් මහණෙනි, මේකට තමයි කියන්නේ ‘භික්ෂුව ධ්‍යාන භාවනාවෙන් හිස් නැතුව වාසය කරනවා, ශාස්තෘන් වහන්සේගේ අනුශාසනාව ඉටු කරනවා, අවවාදය පිළිපදිනවා, ගුණදහමින් හිස් නොවී සැදැහැවතුන් දෙන දන්පැන් වළඳනවා’ කියල. ඉතින් යම් කෙනෙක් මෙත් සිත බහුලව ප්‍රගුණ කරනවා නම්, ඒ ගැන කවර කතාද?”

 

“පින්වත් මහණෙනි, යම් දෙයක් අකුසල් නම්, අකුසලයට අයත් නම්, අකුසල් පැත්තට නම් වැටෙන්නෙ, ඒ හැම දෙයක්ම සිත මුල් කරගෙන තමයි තියෙන්නෙ. සිත තමයි ඒ දේවල්වලට මුලින්ම උපදින්නෙ. ඒ සමඟමයි අකුසල් උපදින්නෙ.”

 

“පින්වත් මහණෙනි, යම් දෙයක් කුසල් නම්, කුසලයට අයත් නම්, කුසල් පැත්තට නම් වැටෙන්නෙ, ඒ හැම දෙයක්ම සිත මුල් කරගෙන තමයි තියෙන්නෙ. සිත තමයි ඒ දේවල්වලට මුලින්ම උපදින්නෙ. ඒ සමඟමයි කුසල් උපදින්නෙ.”

 

“පින්වත් මහණෙනි, යම් කරුණකින් නූපන් අකුසල් උපදිනවා නම්, උපන් කුසල් දහම් පිරිහිලා යනවා නම්, පින්වත් මහණෙනි, මේ ප්‍රමාදය තරම් එයට හේතු වන, වෙන එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, ප්‍රමාදී පුද්ගලයාට නූපන් අකුසල් උපදිනවා. උපන් කුසල් දහම් පිරිහිලා යනවා.”

 

“පින්වත් මහණෙනි, යම් කරුණකින් නූපන් කුසල් උපදිනවා නම්, උපන් අකුසල් දහම් පිරිහිලා යනවා නම්, පින්වත් මහණෙනි, මේ අප්‍රමාදය තරම් එයට හේතු වන, වෙන එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, අප්‍රමාදී පුද්ගලයාට නූපන් කුසල් උපදිනවා. උපන් අකුසල් දහම් පිරිහිලා යනවා.”

 

“පින්වත් මහණෙනි, යම් කරුණකින් නූපන් අකුසල් උපදිනවා නම්, උපන් කුසල් දහම් පිරිහිලා යනවා නම්, පින්වත් මහණෙනි, මේ කුසීතකම තරම් එයට හේතු වන, වෙන එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, ප්‍රමාදී පුද්ගලයාට නූපන් අකුසල් උපදිනවා. උපන් කුසල් දහම් පිරිහිලා යනවා.”

  • Save

සිත පිරිසිදු වීම ගැන වදාළ දෙසුම

'දෙව්ලොවට යන්න පිරිසිදු සිතක් ඇතිකර ගන්න'

….”පින්වත් මහණෙනි, මේ ලෝකයේ ඉන්න පිරිසිදු වෙච්ච සිත් ඇති සමහර පුද්ගලයන්ගේ සිත මගේ සිතින් මේ විදිහට දැනගන්නවා. මේ පුද්ගලයා මේ කාලෙ මිය පරලොව ගියොත්, හරියට හිසින් ගත් බරක් බිමින් තියනවා වගේ දෙව්ලොව තමයි උපදින්නේ. ඒකට හේතුව මොකක්ද?”….

'දෙව්ලොවට යන්න පිරිසිදු සිතක් ඇතිකර ගන්න'

- ඛුද්දක නිකාය | ඉතිවුත්තක පාළි - (පසන්නචිත්ත සූත්‍රය)

භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.

“පින්වත් මහණෙනි, මේ ලෝකයේ ඉන්න පිරිසිදු වෙච්ච සිත් ඇති සමහර පුද්ගලයන්ගේ සිත මගේ සිතින් මේ විදිහට දැනගන්නවා. මේ පුද්ගලයා මේ කාලෙ මිය පරලොව ගියොත්, හරියට හිසින් ගත් බරක් බිමින් තියනවා වගේ දෙව්ලොව තමයි උපදින්නේ. ඒකට හේතුව මොකක්ද? පින්වත් මහණෙනි, ඒ ඔහුගේ සිත පිරිසිදු වෙච්ච නිසා. පින්වත් මහණෙනි, සිත පිරිසිදු වීම නිසාම මේ ලෝකයේ සමහර උදවිය කය බිඳිලා මැරුණට පස්සේ සැප තියෙන දෙව්ලොව උපදිනවා.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.

“පසන්නචිත්තං ඤත්වාන ඒකච්චං ඉධ පුග්ගලං,
ඒතමත්ථං ච ව්‍යාකාසි බුද්ධෝ භික්ඛූන සන්තිකේ

“මෙහි ඇතැම් පුද්ගලයන්ගේ පිරිසිදු සිත ගැන දැන වදාළ බුදුරජාණන් වහන්සේ ඒ ගැන භික්ෂූන් සමීපයෙහි පවසා වදාළා.

ඉමම්හි චායං සමයේ කාලං කයිරාථ පුග්ගලෝ,
සුගතිං උපපජ්ජෙය්‍ය චිත්තං හිස්ස පසාදිතං

මේ පුද්ගලයා මේ වෙලාවේ කළුරිය කළොත්, ඔහු දෙව්ලොව තමයි උපදින්නේ. ඒ ඔහුගේ සිත පිරිසිදු වෙච්ච නිසා.

යථා’හරිත්වා නික්ඛිපෙය්‍ය ඒවමේව තථාවිධෝ,
චේතෝපසාදහේතු හි සත්තා ගච්ඡන්ති සුග්ගති”න්ති

හරියට ගෙන ආපු යම් දෙයක් බිමින් තබනවාද, අන්න ඒ වගේමයි. මේ සිත පිරිසිදු වීම කියන හේතුව නිසාම තමයි සත්වයන් දෙව්ලොව යන්නේ.”

මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.

  • Save

අදහස්වලට අනුව එකතුවීම ගැන වදාළ දෙසුම

'සමසිත් ඇත්තෝ එකතු වෙති'

….“පින්වත් මහණෙනි, සත්වයන් තව සත්වයන් සමඟ එකතු වෙන්නේ, එකට සම්බන්ධ වෙන්නේ තම තමන්ගේ සිත්වල තියෙන ස්වභාවයට අනුව තමයි. ලාමක අදහස් තියෙන අය, ලාමක අදහස් තියෙන අයත් එක්ක තමයි එකතු වෙන්නේ, එකට සම්බන්ධ වෙන්නේ. යහපත් අදහස් තියෙන අය, යහපත් අදහස් තියෙන අයත් එක්ක තමයි එකට එකතු වෙන්නේ, එකට සම්බන්ධ වෙන්නේ…..

'සමසිත් ඇත්තෝ එකතු වෙති'

- ඛුද්දක නිකාය | ඉතිවුත්තක පාළි - (ධාතුසංසන්දන සූත්‍රය)

භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.

“පින්වත් මහණෙනි, සත්වයන් තව සත්වයන් සමඟ එකතු වෙන්නේ, එකට සම්බන්ධ වෙන්නේ තම තමන්ගේ සිත්වල තියෙන ස්වභාවයට අනුව තමයි. ලාමක අදහස් තියෙන අය, ලාමක අදහස් තියෙන අයත් එක්ක තමයි එකතු වෙන්නේ, එකට සම්බන්ධ වෙන්නේ. යහපත් අදහස් තියෙන අය, යහපත් අදහස් තියෙන අයත් එක්ක තමයි එකට එකතු වෙන්නේ, එකට සම්බන්ධ වෙන්නේ.

පින්වත් මහණෙනි, අතීතයේදීත් ඔය විදිහම තමයි. සත්වයන් තව සත්වයන් සමඟ එකතු වුනේ, එකට සම්බන්ධ වුනේ තම තමන්ගේ සිත්වල තියෙන ස්වභාවයට අනුව තමයි. ලාමක අදහස් තියෙන අය, ලාමක අදහස් තියෙන අයත් එක්ක තමයි එකතු වුනේ, එකට සම්බන්ධ වුනේ. යහපත් අදහස් තියෙන අය, යහපත් අදහස් තියෙන අයත් එක්ක තමයි එකට එකතු වුනේ, එකට සම්බන්ධ වුනේ.

පින්වත් මහණෙනි, අනාගත කාලයේදීත් ඔය විදිහම තමයි. සත්වයන් තව සත්වයන් සමඟ එකතු වෙන්නේ, එකට සම්බන්ධ වෙන්නේ තම තමන්ගේ සිත්වල තියෙන ස්වභාවයට අනුව තමයි. ලාමක අදහස් තියෙන අය, ලාමක අදහස් තියෙන අයත් එක්ක තමයි එකතු වෙන්නේ, එකට සම්බන්ධ වෙන්නේ. යහපත් අදහස් තියෙන අය, යහපත් අදහස් තියෙන අයත් එක්ක තමයි එකට එකතු වෙන්නේ, එකට සම්බන්ධ වෙන්නේ.

පින්වත් මහණෙනි, දැන් මේ වර්තමාන කාලයේදීත් ඔය විදිහම තමයි. සත්වයන් තව සත්වයන් සමඟ එකතු වෙන්නේ, එකට සම්බන්ධ වෙන්නේ තම තමන්ගේ සිත්වල තියෙන ස්වභාවයට අනුව තමයි. ලාමක අදහස් තියෙන අය, ලාමක අදහස් තියෙන අයත් එක්ක තමයි එකතු වෙන්නේ, සම්බන්ධ වෙන්නේ. යහපත් අදහස් තියෙන අය, යහපත් අදහස් තියෙන අයත් එක්ක තමයි එකට එකතු වෙන්නේ. එකට සම්බන්ධ වෙන්නේ.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.

“සංසග්ගා වනථෝ ජාතෝ අසංසග්ගේන ඡිජ්ජති,
පරිත්තං දාරුමාරුය්හ යථා සීදේ මහණ්ණවේ

“එකට එකතු වෙලා ඉන්න කොට ඇති වෙන කෙලෙස්, එකට එකතු නොවී ඉන්න කොට නැතිවෙලා යනවා. ලීයෙන් හදපු පුංචි පහුරකට නැගලා මහ මුහුදේ යන කොට ඒක ගිලිලා යනවා.

ඒවං කුසීතමාගම්ම සාධුජීවීපි සීදති,
තස්මා තං පරිවජ්ජෙය්‍ය කුසීතං හීනවීරියං

අන්න ඒ වගේ තමයි, කුසීත අයව ආශ්‍රය කරන කොට යහපත් ජීවිතයක් තියෙන කෙනා වුනත්, ඒකෙන් ගිලිලා යනවා. ඒ නිසා ඔහු වීරිය නැති, කුසීත අයව දුරුකරන්න ඕන.

පවිවිත්තේහි අරියේහි පහිතත්තේහි ඣායිභි,
නිච්චං ආරද්ධවිරියේහි පණ්ඩිතේහි සහා වසේ’ති”

හුදෙකලාවේ ධ්‍යාන වඩන ආර්යයන් වහන්සේලා ඉන්නවා. උන්වහන්සේලාගේ සිත ඒ අමා නිවනේම ස්ථිරව පිහිටලයි තියෙන්නේ. නිතරම පටන් ගත්තු වීරියෙන් යුක්තයි. ඤාණවන්තයි. ඒ නිසා එවන් උතුමන් එක්කමයි ඉන්න ඕන.”

මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.

  • Save

නීවරණ ප්‍රහාණය කිරීම ගැන වදාළ දෙසුම

'සිත වනසන සතුරන් පස් දෙනා හඳුනාගන්න'

….“පින්වත් මහණෙනි, යම් දේකින් මේ නූපන් සැක උපදිනවා නම්, උපන් සැක බොහෝ සෙයින් වැඩිවෙනවා නම්, වඩාත් වැඩිවීමට හේතුවෙනවා නම්, පින්වත් මහණෙනි, නුවණින් තොරව හිතන එක තරම් එයට හේතුවන වෙන එකම දෙයක්වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, නුවණින් තොරව හිතන කෙනාට නූපන් සැක උපදිනවා. උපන් සැක බොහෝ සෙයින් වැඩිවීම පිණිසත් හේතුවෙනවා.” ….

'සිත වනසන සතුරන් පස් දෙනා හඳුනාගන්න'

- අංගුත්තර නිකාය - (නීවරණප්පහාණ වර්ගය)

සැවැත් නුවරදී ……………..

“පින්වත් මහණෙනි, යම් දේකින් මේ නූපන් කාමච්ඡන්දය (රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ගැන ඇති ආශාව) උපදිනවා නම්, උපන් කාමච්ඡන්දය බොහෝ සෙයින් වැඩිවෙනවා නම්, වඩාත් වැඩිවීමට හේතු වෙනවා නම්, පින්වත් මහණෙනි, මේ සුභ නිමිත්ත (අරමුණු ගැන සුභ හැටියට සිතීම) තරම් එයට හේතු වන වෙන එකම දෙයක්වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, සුභ නිමිත්ත ගැන රාගය ඇතිවෙන අයුරින් සිහි කරන කෙනාට නූපන් කාමච්ඡන්දය උපදිනවා. උපන් කාමච්ඡන්දය බොහෝ සෙයින් වැඩිවීම පිණිසත් හේතුවෙනවා.”

 

“පින්වත් මහණෙනි, යම් දේකින් නූපන් තරහ උපදිනවා නම්, උපන් තරහ බොහෝ සෙයින් වැඩිවෙනවා නම්, වඩාත් වැඩිවීමට හේතු වෙනවා නම්, පින්වත් මහණෙනි, මේ පටිඝ නිමිත්ත (තරහ ඇතිවෙන කරුණ) තරම් එයට හේතුවන වෙන එකම දෙයක්වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, පටිඝ නිමිත්ත ගැන තරහ ඇතිවෙන අයුරින් සිහිකරන කෙනාට නූපන් තරහ උපදිනවා. උපන් තරහ බොහෝ සෙයින් වැඩිවීම පිණිසත් හේතුවෙනවා.”

 

“පින්වත් මහණෙනි, යම් දේකින් මේ නූපන් ථීනමිද්ධය උපදිනවා නම්, උපන් ථීනමිද්ධය බොහෝ සෙයින් වැඩිවෙනවා නම්, වඩාත් වැඩිවීමට හේතු වෙනවා නම්, පින්වත් මහණෙනි, ඒකට මේ කුසල් දහම්වල සිත නොඇලීමත්, අලසකමත්, ඈනුම් අරිමින් ඇඟමැලි කැඩීමත්, බත් මතයත්, සිතේ හැකුළුණු බවත් තරම් එයට හේතුවන වෙන එකම දෙයක්වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, හැකුළුණු සිතක් තියෙන කෙනාට නූපන් ථීනමිද්ධය උපදිනවා. උපන් ථීනමිද්ධය බොහෝ සෙයින් වැඩිවීම පිණිසත් හේතුවෙනවා.”

 

“පින්වත් මහණෙනි, යම් දේකින් මේ නූපන් උද්ධච්චකුක්කුච්ච (නොසන්සුන්කමත් පසුතැවීමත්) උපදිනවා නම්, උපන් උද්ධච්චකුක්කුච්ච බොහෝ සෙයින් වැඩිවෙනවා නම්, වඩාත් වැඩිවීමට හේතුවෙනවා නම්, පින්වත් මහණෙනි, සිතේ නොසන්සිඳීම තරම් එයට හේතුවන වෙන එකම දෙයක්වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, නොසන්සිඳුණු සිතක් තියෙන කෙනාට නූපන් උද්ධච්චකුක්කුච්ච උපදිනවා. උපන් උද්ධච්චකුක්කුච්ච බොහෝ සෙයින් වැඩිවීම පිණිසත් හේතුවෙනවා.”

 

“පින්වත් මහණෙනි, යම් දේකින් මේ නූපන් සැක උපදිනවා නම්, උපන් සැක බොහෝ සෙයින් වැඩිවෙනවා නම්, වඩාත් වැඩිවීමට හේතුවෙනවා නම්, පින්වත් මහණෙනි, නුවණින් තොරව හිතන එක තරම් එයට හේතුවන වෙන එකම දෙයක්වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, නුවණින් තොරව හිතන කෙනාට නූපන් සැක උපදිනවා. උපන් සැක බොහෝ සෙයින් වැඩිවීම පිණිසත් හේතුවෙනවා.”

 

“පින්වත් මහණෙනි, යම් දේකින් මේ නූපන් කාමච්ඡන්දය උපදින්නේ නැත්නම්, උපන් කාමච්ඡන්දය ප්‍රහීණ වෙලා යනවා නම්, පින්වත් මහණෙනි, මේ අසුභ නිමිත්ත තරම් එයට උපකාරී වන වෙන එකම දෙයක්වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, අසුභ නිමිත්ත නුවණින් සිහිකරන කොට නූපන් කාමච්ඡන්දය වුනත් උපදින්නේ නෑ. උපන් කාමච්ඡන්දය පවා ප්‍රහීණ වෙලා යනවා.”

 

“පින්වත් මහණෙනි, යම් දේකින් මේ නූපන් තරහ උපදින්නේ නැත්නම්, උපන් තරහ ප්‍රහීණ වෙලා යනවා නම්, පින්වත් මහණෙනි, මේ මෛත්‍රී චිත්ත විමුක්තිය තරම් එයට උපකාරී වන වෙන එකම දෙයක්වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, මෛත්‍රී චේතෝ විමුක්තිය නුවණින් සිහිකරන කොට නූපන් තරහ වුනත් උපදින්නේ නෑ. උපන් තරහ පවා ප්‍රහීණ වෙලා යනවා.”

 

“පින්වත් මහණෙනි, යම් දේකින් මේ නූපන් ථීනමිද්ධය උපදින්නේ නැත්නම්, උපන් ථීනමිද්ධය ප්‍රහීණ වෙලා යනවා නම්, පින්වත් මහණෙනි, මේ පටන් ගැනීමේ වීරියත්, දිගටම පවත්වා ගැනීමේ වීරියත්, දැඩි ලෙස දියුණු කර ගත් වීරියත් තරම් එයට උපකාරී වන වෙන එකම දෙයක්වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, මේ පටන් ගත් වීරිය තියෙන කෙනාට නූපන් ථීනමිද්ධය පවා උපදින්නේ නෑ. උපන් ථීනමිද්ධය වුනත් ප්‍රහීණ වෙලා යනවා.”

 

“පින්වත් මහණෙනි, යම් දේකින් මේ නූපන් උද්ධච්ච කුක්කුච්චය උපදින්නෙත් නැත්නම්, උපන් උද්ධච්ච කුක්කුච්චය වුනත් ප්‍රහීණ වෙලා යනවා නම්, පින්වත් මහණෙනි, මේ සිතේ සංසිඳීම තරම් එයට උපකාරී වන, වෙන එකම දෙයක්වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, සංසිඳී ගිය සිතක් ඇති කෙනාට නූපන් උද්ධච්චකුක්කුච්චය වුනත් උපදින්නේ නෑ. උපන් උද්ධච්චකුක්කුච්චය පවා ප්‍රහීණ වෙලා යනවා.”

 

“පින්වත් මහණෙනි, යම් දේකින් මේ නූපන් සැක උපදින්නේ නැත්නම්, උපන් සැක ප්‍රහීණ වෙලා යනවා නම්, පින්වත් මහණෙනි, මේ ධර්මයට අනුව නුවණින් යුතුව මෙනෙහි කිරීම තරම් එයට උපකාරී වන වෙන එකම දෙයක්වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, ධර්මයට අනුව නුවණින් සිතන කෙනාට නූපන් සැක උපදින්නේ නෑ. උපන් සැක පවා ප්‍රහීණ වෙලා යනවා.”

  • Save

අශ්‍රැතවත් පෘථග්ජනයා ගැන වදාළ දෙසුම

'අත්තෙන් අත්තට පැන පැන යන වඳුරු හිත'

….පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. මහා වනාන්තරයක හැසිරෙන වඳුරෙක් ගැන හිතමු. ඔය වඳුරා වනයේ හැසිරෙද්දී අත්තක් අල්ල ගන්නවා. ඒ අත්ත අත්හැරලා ඊළඟ අත්ත අල්ල ගන්නවා. ඒ අත්ත අත්හැරලා වෙන අත්තක් අල්ල ගන්නවා. පින්වත් මහණෙනි, මේ හිත කියලා, මනස කියලා, විඤ්ඤාණය කියලා යම් දෙයකට කියනවා නම්, අන්න ඒකත් ඔය වගේම දෙයක්. දවල්ටත් රෑටත් එකක්ම උපදිනවා. වෙන එකක්ම නිරුද්ධ වෙනවා”…..

'අත්තෙන් අත්තට පැන පැන යන වඳුරු හිත'

- සංයුත්ත නිකාය | නිදාන වර්ගය - (අස්සුතවන්තු සූත්‍රය)

මා හට අසන්නට ලැබුණේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේය. එහිදී …. (පෙ) …. මෙය වදාළා.

“පින්වත් මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයාට සතර මහා භූතයන්ගෙන් හටගත් මේ ශරීරය ගැන නම් කළකිරිලාත් යනවා. එපාත් වෙනවා. නිදහස් වෙන්නත් හිතෙනවා. ඒකට හේතුව මොකක්ද? පින්වත් මහණෙනි, සතර මහා භූතයන්ගෙන් හටගත් මේ ශරීරයේ වැඩීමත්, පිරිහීයාමත්, අල්ලා ගැනීමත්, අත්හැරීමත් දකින්නට ලැබෙනවා. අශ්‍රැතවත් පෘථග්ජනයා මේ ශරීරය ගැන කළකිරෙන්නෙත්, එපා වෙන්නෙත්, නිදහස් වෙන්න හිතන්නෙත් ඒ නිසාමයි.

නමුත් පින්වත් මහණෙනි, මේ හිත කියල, මනස කියල, විඤ්ඤාණය කියලා යම් දෙයකට කියනවා නම්, අන්න ඒ ගැන නම් අශ්‍රැතවත් පෘථග්ජනයා කළකිරෙන්නට විදිහක් නෑ. එපා වෙන්නට විදිහක් නෑ. නිදහස් වීමට හිතන්නට විදිහක් නෑ. ඒකට හේතුව මොකක්ද? පින්වත් මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයා විසින් දීර්ඝ කාලයක් මුළුල්ලේ ‘මේක මගේ, මේ තමයි මම, මේ තමයි මගේ ආත්මය’ කියලා ඒ කෙරෙහි බැසගෙන ඉන්නවා. මමත්වයෙන් ඉන්නවා. වැළඳගෙන ඉන්නවා. පින්වත් මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයාට ඒ ගැන කළකිරෙන්නට බැරි, එපා වෙන්නට බැරි, නිදහස් වීමට හිතන්නට බැරි ඒ නිසාමයි.

පින්වත් මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයාට ආත්මය කියලා යමක් ඕනම නම් සතර මහා භූතයන්ගෙන් හටගත් මේ ශරීරය ගැන එහෙම සළකන එක හොඳයි. නමුත් සිත එලෙස ගැනීම සුදුසු නෑ. ඒකට හේතුව මොකක්ද? පින්වත් මහණෙනි, සතර මහා භූතයන්ගෙන් හටගත් මේ ශරීරය එක අවුරුද්දක් පුරාම තියෙනවා දකින්නට ලැබෙනවා. අවුරුදු දෙකක් පුරාම තියෙනවා දකින්නට ලැබෙනවා. අවුරුදු තුනක් පුරාම තියෙනවා දකින්නට ලැබෙනවා. අවුරුදු හතරක් පුරාම තියෙනවා දකින්නට ලැබෙනවා. අවුරුදු පහක් පුරාම තියෙනවා දකින්නට ලැබෙනවා. අවුරුදු දහයක් පුරාම තියෙනවා දකින්නට ලැබෙනවා. අවුරුදු විස්සක් පුරාම තියෙනවා දකින්නට ලැබෙනවා. අවුරුදු තිහක් පුරාම තියෙනවා දකින්නට ලැබෙනවා. අවුරුදු හතළිහක් පුරාම තියෙනවා දකින්නට ලැබෙනවා. අවුරුදු පනහක් පුරාම තියෙනවා දකින්නට ලැබෙනවා. අවුරුදු සීයක් පුරාම තියෙනවා දකින්නට ලැබෙනවා. අවුරුදු සීයකට වැඩිය තියෙනවා වුණත් දකින්නට ලැබෙනවා.

නමුත් පින්වත් මහණෙනි, මේ හිත කියලා, මනස කියලා, විඤ්ඤාණය කියලා යම් දෙයකට කියනවා නම් අන්න ඒ දෙය දවල්ටත්, රෑටත් වෙන එකක්ම උපදිනවා. වෙන එකක්ම නිරුද්ධ වෙනවා.

පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. මහා වනාන්තරයක හැසිරෙන වඳුරෙක් ගැන හිතමු. ඔය වඳුරා වනයේ හැසිරෙද්දී අත්තක් අල්ල ගන්නවා. ඒ අත්ත අත්හැරලා ඊළඟ අත්ත අල්ල ගන්නවා. ඒ අත්ත අත්හැරලා වෙන අත්තක් අල්ල ගන්නවා. පින්වත් මහණෙනි, මේ හිත කියලා, මනස කියලා, විඤ්ඤාණය කියලා යම් දෙයකට කියනවා නම්, අන්න ඒකත් ඔය වගේම දෙයක්. දවල්ටත් රෑටත් එකක්ම උපදිනවා. වෙන එකක්ම නිරුද්ධ වෙනවා.

ඔය ගැන පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා කරන්නේ පටිච්චසමුප්පාදයම මනා කොට සිහි කිරීම මයි. ඔය විදිහට මෙය තිබුණොත් තමයි මෙය ඇතිවන්නේ. මෙය ඉපදීමෙන් තමයි මෙය උපදින්නේ. මෙය නැති වුණොත් මෙය නැති වෙලා යනවා. මෙය නිරුද්ධ වෙන කොට මෙය නිරුද්ධ වෙලා යනවා. ඒ කියන්නේ අවිද්‍යාව හේතු කොට ගෙන සංස්කාර ඇතිවෙනවා. සංස්කාර හේතු කොට ගෙන විඤ්ඤාණය ඇතිවෙනවා. …. (පෙ) …. ඔය ආකාරයටයි මේ මුළු මහත් දුක් රැසම හටගන්නේ. ඒ අවිද්‍යාවම සහමුලින්ම නොඇල්මෙන් නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙලා යනවා. සංස්කාර නිරුද්ධ වීමෙන් විඤ්ඤාණය නිරුද්ධ වෙලා යනවා. …. (පෙ) …. ඔය ආකාරයටයි මේ මුළු මහත් දුක් රැසම නිරුද්ධ වෙලා යන්නේ.

පින්වත් මහණෙනි, ඔය විදිහට දකින ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා රූපය ගැනත් අවබෝධයෙන්ම කළකිරෙනවා. විඳීම ගැනත් අවබෝධයෙන්ම කළකිරෙනවා. සඤ්ඤාව ගැනත් අවබෝධයෙන්ම කළකිරෙනවා. සංස්කාර ගැනත් අවබෝධයෙන්ම කළකිරෙනවා. විඤ්ඤාණය ගැනත් අවබෝධයෙන්ම කළකිරෙනවා. කළකිරීම නිසා ඇල්ම නැතුව යනවා. ඇල්ම නැතිවීම නිසා එයින් නිදහස් වෙනවා. නිදහස් වුණාට පස්සේ තමන් අවබෝධයෙන්ම දන්නවා තමන් නිදහස් වුණ බව. ‘ඉපදීම ක්ෂය වුණා. බඹසර වාසය සම්පූර්ණ කළා. කළ යුත්ත කළා. වෙන කළ යුතු කිසිවක් නැතැ’යි දැනගන්නවා.

  • Save

දම්වැලෙන් ගැට ගැසූ සුනඛයා ගැන වදාළ දෙසුම

'සිත කිලිටි වීම නිසයි සත්වයන් කිලිටි වෙන්නේ. සිත පිරිසිදු වීමෙනුයි සත්වයන් පිරිසිදු වෙන්නේ'

….”පින්වත් මහණෙනි, මා නම් මේ තිරිසන්ගත සතුන් තරම් මෙතරම් විචිත්‍ර වූ අන්‍ය එකම සත්ව කොට්ඨාසයක්වත් දකින්නේ නෑ. පින්වත් මහණෙනි, ඔය තිරිසන්ගත සතුන් විචිත්‍ර වෙලා තියෙන්නේ සිත කරණ කොට ගෙන ම යි. පින්වත් මහණෙනි, ඒ තිරිසන්ගත සතුන්ටත් වඩා සිත ම යි අතිශයින් ම විචිත්‍ර.”…..

'සිත කිලිටි වීම නිසයි සත්වයන් කිලිටි වෙන්නේ. සිත පිරිසිදු වීමෙනුයි සත්වයන් පිරිසිදු වෙන්නේ'

- සංයුත්ත නිකාය | ඛන්ධක වර්ගය - (දුතිය ගද්දූලබද්ධ සූත්‍රය)

සැවැත් නුවර දී ………………………….

පින්වත් මහණෙනි, අවිද්‍යාවෙන් වැහිල, තණ්හාවෙන් බැඳිල උපතකින් උපතකට දුවන්නා වූ උපතකින් උපතකට සැරිසරන්නා වූ මේ සත්වයන් ගේ මේ මැරෙමින් ඉපදෙමින් පවතින ස්වභාවය (සංසාරය) යනු අනවරාග්‍ර දෙයක්. ආරම්භක කෙළවරක් නම් දැකගන්න බෑ.පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. දම්වැලෙන් ගැට ගැසූ සුනඛයා සවිමත් හුලක හරි, කණුවක හරි බැඳලා තියෙන කොට ඒ සතා යන කොට ඒ හුල හෝ කණුව ඇසුරු කරගෙන ඒ වටේමයි යන්නේ. ඒ සතා ඉන්න කොට ඒ හුල හෝ කණුව ඇසුරු කරගෙන ඒ වටේමයි ඉන්නේ. ඒ සතා හිඳින කොට ඒ හුල හෝ කණුව ඇසුරු කරගෙන ඒ වටේමයි හිඳින්නේ. ඒ සතා ලගින කොට ඒ හුල හෝ කණුව ඇසුරු කරගෙන ඒ වටේමයි ලගින්නේ.

පින්වත් මහණෙනි, ඔය විදිහට ම අශ්‍රැතවත් පෘථග්ජනයෙක් ඉන්නවා. රූපය ගැන මුළාවෙන් දකින්නේ ‘මේක මගේ, මේ මම, මේක තමයි මගේ ආත්මය’ කියලයි …. (පෙ) …. වේදනාවත් මේක මගේ …. (පෙ) …. සඤ්ඤාවත් මේක මගේ …. (පෙ) …. සංස්කාරත් මේක මගේ …. (පෙ) …. විඤ්ඤාණය ගැන මුළාවෙන් දකින්නේ ‘මේක මගේ, මේ මම, මේක තමයි මගේ ආත්මය’ කියලයි. ඒ අශ්‍රැතවත් පෘථග්ජනයා යන කොට පංච උපාදානස්කන්ධය ඇසුරු කරගෙන ඒ වටේමයි යන්නේ. ඒ අශ්‍රැතවත් පෘථග්ජනයා ඉන්න කොට පංච උපාදානස්කන්ධය ඇසුරු කරගෙන ඒ වටේමයි ඉන්නේ. ඒ අශ්‍රැතවත් පෘථග්ජනයා හිඳින කොට පංච උපාදානස්කන්ධය ඇසුරු කරගෙන ඒ වටේමයි හිඳින්නේ. ඒ අශ්‍රැතවත් පෘථග්ජනයා නිදන කොට පංච උපාදානස්කන්ධය ඇසුරු කරගෙන ඒ වටේමයි නිදන්නේ.

පින්වත් මහණෙනි, අන්න ඒ නිසා භික්ෂුව විසින් හැම තිස්සේම තමන්ගේ සිත ගැන නුවණින් විමස විමසා ම යි ඉන්න ඕන. බොහෝ කාලයක් මුළුල්ලේ මේ සිත රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කිලිටි වෙලා තියෙන්නේ කියලා. පින්වත් මහණෙනි, සිත කිලිටි වීම නිසයි සත්වයන් කිලිටි වෙන්නේ. සිත පිරිසිදු වීමෙනුයි සත්වයන් පිරිසිදු වෙන්නේ. පින්වත් මහණෙනි, ඔබ ‘චරණ’ කියන චිත්‍රය දැකලා තියෙනවාද?”

“එසේය, ස්වාමීනි.”

පින්වත් මහණෙනි, ඔය චරණ චිත්‍රය කියන්නේ සිතෙන් ම විචිත්‍ර කරපු එකක් නෙව. ඉතින් පින්වත් මහණෙනි, ඒ චරණ චිත්‍රයටත් වඩා සිත ම යි අතිශයින් ම විචිත්‍ර. පින්වත් මහණෙනි, අන්න ඒ නිසා භික්ෂුව විසින් හැම තිස්සේ ම තමන්ගේ සිත ගැන නුවණින් විමස විමසා ම යි ඉන්න ඕන. බොහෝ කාලයක් මුළුල්ලේ මේ සිත රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කිලිටි වෙලා තියෙන්නේ කියලා. පින්වත් මහණෙනි, සිත කිලිටි වීම නිසයි සත්වයන් කිලිටි වෙන්නේ. සිත පිරිසිදු වීමෙනුයි සත්වයන් පිරිසිදු වෙන්නේ.

පින්වත් මහණෙනි, මා නම් මේ තිරිසන්ගත සතුන් තරම් මෙතරම් විචිත්‍ර වූ අන්‍ය එකම සත්ව කොට්ඨාසයක්වත් දකින්නේ නෑ. පින්වත් මහණෙනි, ඔය තිරිසන්ගත සතුන් විචිත්‍ර වෙලා තියෙන්නේ සිත කරණ කොට ගෙන ම යි. පින්වත් මහණෙනි, ඒ තිරිසන්ගත සතුන්ටත් වඩා සිත ම යි අතිශයින් ම විචිත්‍ර. පින්වත් මහණෙනි, අන්න ඒ නිසා භික්ෂුව විසින් හැම තිස්සේ ම තමන්ගේ සිත ගැන නුවණින් විමස විමසා ම යි ඉන්න ඕන. බොහෝ කාලයක් මුළුල්ලේ මේ සිත රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කිලිටි වෙලා තියෙන්නේ කියලා. පින්වත් මහණෙනි, සිත කිලිටි වීම නිසයි සත්වයන් කිලිටි වෙන්නේ. සිත පිරිසිදු වීමෙනුයි සත්වයන් පිරිසිදු වෙන්නේ.

පින්වත් මහණෙනි, රදවෙක් ඉන්නවා. එහෙම නැත්නම් සිත්තරෙක් ඉන්නවා. ඔහු රතු පාට වේවා, නිල්පාට වේවා, මදටිය පාට වේවා සායම් තිබුණොත් ලාටු තිබුණොත් හොඳ මටසිලිටි වූ පුවරුවක හරි, බිත්තියක හරි, වස්ත්‍රයක හරි සියලු අඟපසඟින් යුතු ස්ත්‍රියකගේ රූපයක් හරි පුරුෂයෙකුගේ රූපයක් හරි ලස්සනට අඳිනවා. පින්වත් මහණෙනි, ඔය විදිහට ම අශ්‍රැතවත් පෘථග්ජනයාත් විශේෂයෙන් උපදවනවා නම් රූපයක් ම යි උපදවන්නේ …. (පෙ) …. වේදනාවක් ම යි …. (පෙ) …. සඤ්ඤාවක් ම යි …. (පෙ) …. සංස්කාර ම යි …. (පෙ) …. විශේෂයෙන් උපදවනවා නම් විඤ්ඤාණයක් ම යි උපදවන්නේ.

පින්වත් භික්ෂුව, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? රූපය නිත්‍යයිද? අනිත්‍යයිද?”

“අනිත්‍යයි ස්වාමීනි.”

“විඳීම …. (පෙ) …. සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර …. (පෙ) …. විඤ්ඤාණය නිත්‍යයිද? අනිත්‍යයිද?”

“අනිත්‍යයි ස්වාමීනි.”

“එනිසා පින්වත් භික්ෂුව …. (පෙ) …. පින්වත් භික්ෂුව, ඔය විදිහට දකින ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා …. (පෙ) …. නැවත ඉපදීමක් නැතැයි අවබෝධ කරගන්නවා.”

  • Save

දූෂිත සිත් ඇති පුද්ගලයා ගැන වදාළ දෙසුම

'දූෂිත සිත් ඇත්තෝ නිරයේ උපදිති'

….“පින්වත් මහණෙනි, මේ ලෝකයේ ඉන්න දූෂිත වෙච්ච සිත් ඇති සමහර පුද්ගලයන්ගේ සිත මගේ සිතින් මේ විදිහට දැනගන්නවා. මේ පුද්ගලයා මේ කාලෙ මිය පරලොව ගියොත්, හරියට හිසින් ගත් බරක් බිමින් තියනවා වගේ නිරයේ තමයි උපදින්නේ. ඒකට හේතුව මොකක්ද? පින්වත් මහණෙනි, ඒ ඔහුගේ සිත දූෂිත වෙච්ච නිසා.”…..

'දූෂිත සිත් ඇත්තෝ නිරයේ උපදිති'

- ඛුද්දක නිකාය | ඉතිවුත්තක පාළි - (පදුට්ඨපුග්ගල සූත්‍රය)

භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.

“පින්වත් මහණෙනි, මේ ලෝකයේ ඉන්න දූෂිත වෙච්ච සිත් ඇති සමහර පුද්ගලයන්ගේ සිත මගේ සිතින් මේ විදිහට දැනගන්නවා. මේ පුද්ගලයා මේ කාලෙ මිය පරලොව ගියොත්, හරියට හිසින් ගත් බරක් බිමින් තියනවා වගේ නිරයේ තමයි උපදින්නේ. ඒකට හේතුව මොකක්ද? පින්වත් මහණෙනි, ඒ ඔහුගේ සිත දූෂිත වෙච්ච නිසා. පින්වත් මහණෙනි, සිත දූෂිත වීම නිසාම මේ ලෝකයේ සමහර උදවිය කය බිඳිලා මැරුණට පස්සේ සැප නැති, දුගතිය වූ, විනිපාත නිරයේ උපදිනවා.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.

“පදුට්ඨචිත්තං ඤත්වාන ඒකච්චං ඉධ පුග්ගලං,
ඒතමත්ථඤ්ච ව්‍යාකාසි බුද්ධෝ භික්ඛූන සන්තිකේ

“මෙහි ඇතැම් පුද්ගලයන්ගේ දූෂිත සිත ගැන දැන වදාළ බුදුරජාණන් වහන්සේ ඒ ගැන භික්ෂූන් සමීපයෙහි පවසා වදාළා.

ඉමම්හි චායං සමයේ කාලං කයිරාථ පුග්ගලෝ,
නිරයං උපපජ්ජෙය්‍ය චිත්තං හිස්ස පදූසිතං

මේ පුද්ගලයා මේ වෙලාවේ කළුරිය කළොත්, ඔහු නිරයේ තමයි උපදින්නේ. ඒ ඔහුගේ සිත දූෂිත වෙච්ච නිසා.

යථා’හරිත්වා නික්ඛිපෙය්‍ය ඒවමේව තථාවිධා,
චේතෝපදෝසහේතු හි සත්තා ගච්ඡන්ති දුග්ගති”න්ති

හරියට ගෙන ආපු යම් දෙයක් බිමින් තබනවාද, අන්න ඒ වගේමයි. මේ සිත දූෂිත වීම කියන හේතුව නිසාම තමයි සත්වයන් දුගතියට යන්නේ.”

මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.

  • Save

සම ගුණයෙන් දිවි ගෙවීම ගැන වදාළ දෙසුම

'මරණින් මතුත් එක් වීමේ ක්‍රමය'

….“ස්වාමීනී, අපි දෙදෙනා මේ ජීවිතයේදී ත් එකිනෙකා දකින්නට, මරණින් මතු පරලොවෙහිදී ත් එකිනෙකා දකින්නට කැමතියම්හ.”

“ගෘහපතිවරුනි, ඉදින් පතිපත්නීහු දෙදෙන මේ ජීවිතයේදී එකිනෙකා දකින්නට ත්, පරලොව ජීවිතයේදී එකිනෙකා දකින්නට ත් කැමති වන්නහු නම් දෙදෙනා ම,”…..

'මරණින් මතුත් එක් වීමේ ක්‍රමය'

- අංගුත්තර නිකාය | චතුක්ක නිපාතය - (පඨම සමජීවී සූත්‍රය)

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ භගු රටෙහි සුංසුමාරගිරි නුවර භේසකලා වනය නම් වූ මිගදායෙහි වැඩවසන සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරොවාගෙන, පාත්‍රය හා සිවුර ගෙන නකුලපිතු ගෘහපතියාගේ නිවසට වැඩම කළ සේක. වැඩම කොට පැණවූ අසුනෙහි වැඩහුන් සේක. ඉක්බිති නකුලපිතා ගෘහපතිතුමා ද, නකුලමාතා බිරිඳ ද භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් නකුලපිතා ගෘහපති තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.

“ස්වාමීනී, යම් දිනෙක මේ නකුල මාතා බිරිඳ ඉතා කුඩා යොවුන් අවදියේ දී මේ නිවසට කැඳවාගෙන එන ලද්දී ද, එදා සිට මේ නකුලමාතා බිරිඳ සිතින් වත් මම් ඉක්මගිය බවක් නොදනිමි. කයින් ඉක්මයාම යනු කිම? ස්වාමීනී, අපි දෙදෙනා මේ ජීවිතයේදී ත් එකිනෙකා දකින්නට, මරණින් මතු පරලොවෙහිදී ත් එකිනෙකා දකින්නට කැමතියම්හ.”

ඉක්බිති නකුලමාතා බිරිඳ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා ය.

“ස්වාමීනී, යම් දිනෙක මේ නකුල පිතා ගෘහපතිතුමා වෙනුවෙන් මම ඉතා කුඩා යොවුන් අවදියේ දී මේ නිවසට කැඳවාගෙන එන ලද්දී ද, එදා සිට මේ නකුලපිතා ගෘහපතිතුමා සිතින් වත් මම් ඉක්මගිය බවක් නොදනිමි. කයින් ඉක්මයාම යනු කිම? ස්වාමීනී, අපි දෙදෙනා මේ ජීවිතයේදී ත් එකිනෙකා දකින්නට, මරණින් මතු පරලොවෙහිදී ත් එකිනෙකා දකින්නට කැමතියම්හ.”

“ගෘහපතිවරුනි, ඉදින් පතිපත්නීහු දෙදෙන මේ ජීවිතයේදී එකිනෙකා දකින්නට ත්, පරලොව ජීවිතයේදී එකිනෙකා දකින්නට ත් කැමති වන්නහු නම් දෙදෙනා ම,

1) ශ්‍රද්ධාවෙන් සම විය යුත්තාහු ය.
2) සීලයෙන් සම විය යුත්තාහු ය.
3) ත්‍යාගයෙන් සම විය යුත්තාහු ය.
4) ප්‍රඥාවෙන් සම විය යුත්තාහු ය.

එවිට ඔවුහු මෙලොව ත් ඔවුනොවුන් දකිති. පරලොව ත් ඔවුනොවුන් දකිති.”

“උභෝ සද්ධා වදඤ්ඤූ ච, සඤ්ඤතා ධම්මජීවිනෝ
තේ හොන්ති ජානිපතයෝ, අඤ්ඤමඤ්ඤං පියංවදා

දෙදෙනා ම සැදැහැ ඇත්තෝ ය. දන් පුදන්නෝ ය. සිල්වත්හු ය. දැහැමි ව දිවි ගෙවන්නෝ ය. ඒ පතිපත්නීහු එකිනෙකාට ප්‍රිය බස් තෙපලමින් සිටිති.

“අත්ථා සම්පචුරා හොන්ති, ඵාසත්ථං උපජායති
අමිත්තා දුම්මනා හොන්ති, උභින්නං සමසීලිනං

සමසිල් ඇති ඒ දෙදෙනාගේ දියුණුව නිතැතින් සැළසෙයි. ඔවුනොවුන්ට එය ඉතා පහසුවෙකි. සතුරෝ දුෂ්ට සිත් ඇති ව සිටිති.

“ඉධ ධම්මං චරිත්වාන, සමසීලබ්බතා උභෝ
නන්දිනෝ දේවලෝකස්මිං, මෝදන්ති කාමකාමිනෝ”ති

මෙහිදී දෙදෙනා ම ධර්මයෙහි හැසිර සම සීලයෙන් යුක්ත ව වාසය කරමින් මරණින් මතු දෙව්ලොව ඉපිද තමන් කැමති වූ පංච කාම සම්පත්තියෙන් සතුටු වෙමින් වාසය කරත්.

Scroll to Top
Share via
Copy link