ඛේමා මහ රහත් තෙරණින් වහන්සේ

අතීත ප්‍රාර්ථනය

කල්ප ලක්ෂයකට පෙර, පදුමුත්තර බුදුරදුන් වැඩ සිටින සමයෙහි ඛේමා තෙරණියෝ  හේමවතී නුවර ධනවත් පවුලක උපන්නාය. දිනක් ඇය සම්බුද්ධ දේශනාවක් ශ්‍රවණය කරමින් සිටියදී මනාව පැහැදී ගිය සිතින් යුතුව ඒ මොහොතේදී ම තෙරුවන් සරණ ගොස් බුදු සසුනේ සැදැහැ ඇති උපාසිකාවක් බවට පත් වූවා ය.

අනතුරුව ඇයගේ දෙමාපියන්ගේ අනුමැතිය ලැබී, බුදුරදුන් ඇතුළු සඟ පිරිසට සත් දිනක් මුළුල්ලේ අතිශය මහත් කොට භෝජනාදී පූජා සත්කාරයන් පවත්වාලූවා ය. සත්දින මහා පූජාව අවසානයේ ඇය ප්‍රඥාවෙන් අග්‍ර වූ භික්ෂුණිය ලෙස බුදුරදුන් නම් කළ සුජාතා තෙරණිය දුටුවාය. ඇය එයින් බොහෝ සතුටට පත් වූවා ය. පසුව ඇය තවත් අතිශය අනර්ඝාකාරයෙන් බුද්ධප්‍රමුඛ මහා සංඝරත්නය දානයෙන් සහ පරිෂ්කාරාදියෙන් මොනවට පවරා ඇගේ අපේක්ෂාව පදුමුත්තර බුදුරදුන් ඉදිරියේ කියා සිටියා ය. එවිට, අතීත වර්තමාන අනාගත තුන්කල්හි සියල්ල එපරිද්දෙන් මනාව දන්නා පදුමුත්තර බුදුරජාණන් වහන්සේ, තවත් කල්ප ලක්ෂයක් ඇවෑමෙන් ගෞතම නම් සම්බුදුරදුන් ලොව පහළ වෙන කල්හී, ඒ ගෞතම සම්බුද්ධ ශාසනයේ ප්‍රඥාවන්ත භික්ෂුණීන් අතර ‘ඛේමා’ නමින් අග්‍රස්ථානයට පත් වෙන බවට නියත විවරණ දී වදාළ සේක.

දෙව් ලොව දෙව් රැජිනක් ලෙස සහ මනු ලොව අග්‍ර මහේෂිකාවක් ලෙස ඇය අඛණ්ඩව මහේශාක්‍යය ජීවිතම ලැබුවාය

තව්තිසාව, යාමය , තුසිතය, නිම්මානරතිය සහ පරනිම්මිත වසවත්ති යන දෙව් ලෝ වල දිව්‍ය රාජවරුන්ගේ අග්‍ර මහේෂිකාව ලෙස අඛණ්ඩව උපත ලැබුවාය. ඇය එතැනින් සමුගන්නා මනුෂ්‍ය ලෝකයේ සක්විති රජෙකුගේ හෝ එවැනි වූ අන්‍යය ප්‍රධාන රාජයෙකුගේ හෝ අග්‍ර මහේෂිකාව ලෙස උපත ලැබුවා ය.  මේ අනුව ඇය නැවත ඉපදුණු සෑම තැනකම ඇය ප්‍රධාන බිසව ලෙසම උපත ලැබුවාය. ඇය බොහෝ කල්ප ගණනාවක් පුරා දෙව්ලොව සහ මනුලොව අතිශය තේජාන්විතව මහේශාක්‍යව, සැපවත් ජීවිතයක් ගත කළා ය.

මේ මහා භද්‍ර කල්පයට අනූඑක් කල්පයකට පෙර විපස්සී බුදුරදුන් වැඩ සිටින සමයේ ඇය මහේශාක්‍යය ජීවිත පමණක්ම ලබමින් පැමිණ මනු ලොව එක්තරා ධනවත් පවුලක උපත ලැබුවාය. එහිදී බුදු රජාණන් වහන්සේගෙන් ධර්මය අසා පැහැදී භික්ෂුණීබාවය ලැබුවා ය. ධර්මය මනාව උගත් ධර්ම කථික භික්ෂුණියක් වූ ඇය අනලස්ව පධන් වෙර වඩමින් ධර්මයේ හැසිරුනා ය. ඇය අවුරුදු දස දහසක් පුරාවට  මෙසේ පාරිශුද්ධ ජීවිතයක් ගත කළාය.

එතැනින් සමුගත් ඇය නැවත තුසිත දෙව්ලොව උපන්නාය. කුමන ජීවිතයක් ලැබුවත්, එදා විපස්සී බුදුරදුන් දවස පිරිසිදුව සිල් රකිමින් ප්‍රඥාව දියුණු කරමින්, ගුණ ධර්ම දියුණු කරමින් සිල්වත් ජීවිතයක් ගත කළ නිසා ඇය උපදින උපදින ආත්මයේ ආනුභාවසම්පන්නව රජුගේ නිබඳ ආදර බුහුමන් ලබන රජුගේ ප්‍රියතම බිසව වූවා ය. සත්කාර සම්මාන ලබනා ඉතා උසස් සමාජ තත්වයකින් යුතු ජීවිත ම ලැබුවා ය.

ආවාසයක් පූජා කිරීම

මේ මහා භද්‍ර කල්පයේ කෝණාගමන බුදුන් දවස ඇය බරණැසෙහි ධනවත් පවුලක නැවත ඉපදුණාය. තවත් ධනවත් කාන්තාවන් දෙදෙනෙකු (ධනංජානී සහ සුමේධා) සමඟ එක්ව ඇය, සංඝයා සඳහා සංඝාරාමයක් කරවා පූජා කළාය. ඔවුන් මරණින් පසු තව්තිසා දෙව්ලොව ඉපදී, ඉන් පසුව මනුෂ්‍ය ලෝකයේ ද දෙව්ලොව ද උත්පත්තිය ලබමින් සැපවත් ජීවිත ලැබූහ.

කිකී රජුගේ දූවරුන් හත්දෙනාගෙන් වැඩිමලා ලෙස ඇයගේ ජීවිතය

මේ මහා භද්‍ර කල්පය තුළ පහළ වී වදාළ කස්සප බුදුරදුන්ගේ කාලයේ, කසී රට බරණැස් නුවර කිකී රජු කස්සප බුදුරදුන්ගේ අග්‍ර දායකයෙකුව සිටියේ ය. ඒ රජුට (1) සමණී , (2) සමණගුත්තා, (3) භික්ඛුණී, (4) භික්ඛුදායිකා, (5) ධම්මා, (6) සුධම්මා සහ (7) සංඝදාසී යන නම්වලින් දියණියන් හත්දෙනෙක් සිටියහ.

අපගේ ගෞතම සම්බුදුන් දවස ඔවුන් පිළිවෙලින් (1) ඛේමා තෙරණිය, (2) උප්පලවණ තෙරණිය, (3) පටාචාරා තෙරණිය, (4) මහාපජාපති ගෝතමිය තෙරණිය – බුදුරදුන්ගේ සුළු මව, (5) ධම්මදින්නා තෙරණිය, (6) අපගේ බුදුරජාණන් වහන්සේගේ මව වන මහා මායා දේවිය සහ (7) පූර්වාරාමය පූජා කළ විශාඛාව වූහ..

සමණි කුමරිය (ඛේමා තෙරණිය)  කස්සප බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අසා භික්ෂුණියක් වීමට දැඩි ආශාවක් දැක්වූ නමුත් ඇගේ පියා ඇයට එසේ කිරීමට අවසර දුන්නේ නැත. එබැවින්, වැඩිමහල් දියණිය ලෙස, ඇය ඇගේ බාල සොහොයුරියන් හය දෙනා සමඟ කථා කොට, විවාහ නොවී බඹසර ජීවිතයක් ගත කිරීමට අධිෂ්ඨානයක් ඇති කර ගත්හ.  වසර විසි දහසක් පුරා ඔවුන්ගේ මුළු ජීවිත කාලය පුරාවටම බඹසර ජීවිතයක් ගත කරන්නියන් ලෙස සිටියහ. නිරන්තරයෙන් ඉතා ඕනෑකමින් බුද්ධප්‍රමුඛ මහා සඟ රුවන සිව්පසයෙන් මොනවට පිදූ හ.

එක් අවස්ථාවකදී, බුදුන් වහන්සේ මහානිදාන සූත්‍රය (දීඝ නිකායේ මහාවග්ගයේ දෙවන සූත්‍රය ලෙස සටහන් කර ඇත) නමින් අසිරිමත් දේශනයක් කළ සේක. සමණී කුමරිය එය ඇසීමෙන් කොතරම් තෘප්තියක් ලැබුවාද යත් ඇය එය කටපාඩමින් ඉගෙන ගෙන නිතර නිතර සජ්ඣායනා කළාය.

මෙම යහපත් ක්‍රියාවන්හි ප්‍රතිඵලයක් වශයෙන්, ඇයගේ මරණයෙන් පසු, ඇය තවතිසාවේ (සක් දෙවිඳුගේ) අග බිසව බවට පත් වූවාය.

ඇගේ අවසාන ජීවිතය

අවසන් භවයේදී ඇය (ගෞතම බුදුරදුන් වැඩ සිටින සමයේ) සාගල නුවර මද්ද රජුගේ දියණියක් ලෙස  උපත ලැබුවාය. ඇගේ උපත දේශයට සාමය ගෙන දුන් බැවින්, ඇය ‘ඛේමා’ (සාමය) ලෙස නම් කරන ලදී. ඇය වැඩිවිය පැමිණි පසු බිම්බිසාර රජුගේ බිසව බවට පත් වූ අතර සැමියාගේ නිබඳ ආදර ගෞරවයට පාත්‍ර වූවාය. නමුත් ඇය ඇගේ සුන්දර පෙනුම ගැන ඉමහත් උඩඟු බවකින් සිටියා ය.

ඒ කාලය වන විට අපගේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ රජගහනුවර වේළුවනාරාමයේයි. භාග්‍යවතුන් වහන්සේ රූපයට ගරහමින් ධර්මය දේශනා කරන බවට වූ සාවද්‍ය ආරංචියක් කණ වැකිම නිසා බුදුරජාණන් වහන්සේ හමුවට යෑම දැඩි සේ ප්‍රතික්ෂේප කළා ය. ඇයගේ රුව බුදුරජාණන් වහන්සේගේ දෝෂාරෝපණයට ලක් වේ යැයි බියෙන් ඇය කිසි විටෙකත් බුදුරජාණන් වහන්සේ හමුවීමට නොගියාය.

බිම්බිසාර රජුගේ දක්ෂ උපාය

දිනක් බිම්බිසාර රජුට මෙසේ සිතින: “මම බුදුරදුන්ට රජගහ නුවර සිටින රාජකීය උපස්ථකයා වෙමි, නමුත් මගේ බිසව කිසි දිනෙක බුදුරදුන් බැහැදැකීම ගොස් නැත.”

ඔහු වේළුවන ආරාමයේ සුන්දරත්වය ගැන කවියෙකුට කවි බඳින්නයැයි කීවේ ය. ඒ කවි ඛේමා බිසවට ඇසෙන සේ ඉතා මිහිරි හඬින් ගායනා කරමින් තවත් පිරිසකට බිසවගේ මාළිගය අසළ ගැවසෙන්නයැයි අණ කළේ ය.

වේළුවන ආරාමය පිළිබඳ ගාථා හතරකින් යුත් වර්ණනාව

(1) බුදුන් වහන්සේගේ වාසස්ථානය වූ වේළුවනාරාමය දැකීමට භාග්‍ය ​​නොලබන අයෙක් ඇත්නම් ඔහු හෝ ඇය තවුතිසා දෙවියන්ගේ නන්දන උද්‍යානය කිසිදා නොදුටු අයෙකු සේයි.

(2) මිනිසුන්ගේ ප්‍රියතම පාලකයා වූ, නර-රාජ වූ, රජගහනුවර බිම්බිසාර රජු විසින් මහත් සේ ප්‍රිය කරන ලද වේළුවන වනය දුටුවේ නම් ඔහු හෝ ඇය, සක් දෙවිඳුගේ ප්‍රියතම නිකේතනය වූ නන්දන උද්‍යානය සැබවින්ම දැක ඇති සේයි.

(3) බොහෝ තව්තිසා දෙවිවරු, නන්දන වනෝද්‍යානය අත්හැර පෘථිවියට බැස වේළුවන වනය දෙසට නෙත් යොමු කර, විස්මයට පත් වී, එය දැකීමෙන් කිසිදා සෑහීමකට පත් නොවෙති.

(4) රජතුමාගේ අතීත කුසල් බලයෙන් ජනිත වුන වේළුවන වනය බුදුරදුන්ගේ අසීමිත බල මහිමයෙන් අතිශයින්ම විචිත්‍රව ගොස් ඇති ආකාරය කවියෙකුට කෙසේනම් විස්තර කළ හැකිද?

අතිශය මධුර ආකාරයෙන් ගැයූ මේ ගීතයන් ඇසූ විට ඛේමා බිසවට වේළුවනය නැරඹීමට යාමට තදින්ම ඕනෑ විය. එය නැරඹීමට ඉතා ආශාවෙන් සිටි ඇය රජුගෙන් අවසර ඉල්ලා විශාල පිරිවරක් සමඟ එහි ගියාය. ඇය ඒ සඳහා බුදුරජාණන් වහන්සේ ආරාමයේ නැති වේලාවක් තෝරා ගත්තාය. ඒ උදෑසන හෝරාවයි, උදෑසන බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතය පිණිස වඩින හෝරාවයි.

සකලවිධ මල් ගස්වලින්, පලතුරු ගස්වලින් පිරුණු, මී මැස්සන් හා බඹරුන්ගේ ගුම් ගුම් නාදයෙන් පිරී ගිය, කොවුලන් ගී ගයන, මොණරුන් පිල් විදහා නටමින් ක්‍රීඩා කරන ඒ සුන්දර වේළුවනය පුරා ඈ සිත් සේ තම පිරිසද කැටුව ඇවිද ගියා ය. ඇය සංඝාරාම, ධර්මශාලා, දාන ශාලා, පොහොය ගෙය, රැස්වීම් ශාලා, විවේකාගාර සහ පැන් පොකුණු සහිත ආරාමය හොඳින් නැරඹුවා ය.  

එහිදී ගසක් පාමුල භාවනානුයෝගීව වැඩ හිඳින තරුණ භික්ෂුවක් දුටු ඇය මෙසේ සිතුවා ය.

‘මේ තරුණ හිමිවරු මොනවටනම් මේ සුන්දර තරුණ කාලය ගස් යට භාවනා කරමින් ගත කරනවද! අපරාදෙ! මේ කාලයේනෙ යෞවනය විඳින්න තියෙන්නෙ උපරිමයෙන්ම. අහෝ! මුලාවක තරම. මහළු වෙලා කල යුතු දෑ තරුණ කාලෙ කරනවා. තරුණ කාලෙ නසා ගන්නවා’

ඇය බුදුරජාණන් වහන්සේ ගන්ධ කුටියේ නොමැති බව කාලයට අනුව සිතා ගන්ධ කුටිය තුලට එබී බැලුවාය. නමුත් ඇය පැමිණෙන බව දැන සිටි බුදුරජාණන් වහන්සේ ඒ වන විට ගන්ධ කුටියේ වැඩ සිටි සේක. ඉර්ධියෙන් තමන් වහන්සේට පවන් සලමින් සිටින, ඛේමා බිසවගේ රූමත් බව අභිබවා ගිය අතිශය රූපවත් දිව්‍ය ස්ත්‍රියක් බඳු ලඳක් තමන් වහන්සේට පවන් සලමින් සිටින අයුරු දක්වා සිටි සේක.

ඇය දුටු වහා ඛේමා බිසව තමාගේ පෙනුමට ඇති ඇල්ම අමතක කොට ඒ ස්ත්‍රි රූපයේ මහත් වූ සුන්දරත්වය පිළිබඳවම දැඩිව ඇලී ගියා ය. ඇය ඇසිපිය නොහෙලා පවන් සලනා ස්ත්‍රී රූපය දෙස බලා සිටියා ය. මොහොතකින් ඒ සුන්දර ස්ත්‍රී රූපය වෙනස් වන්නට පටන් ගත්තේය. ටිකෙන් ටික සුන්දර පෙනුම වැහැරී ගියේ ය. සුලු මොහොතකින්, වයසට ගොස් ජරාවාස වී,  රැලි වැටුනු සම, පැසුණු හිසකෙස්, දිරාගිය දත්, සම පුරා කළු ලප, එල්ලෙන පියයුරු, ඉදිරියට නෙරා ආ අස්ථි සන්ධි හා  නහර වැල්, කුදු ගැසීගිය කොන්ද සහිත ඒ ස්ත්‍රී රූපය වෙව්ලමින් හා දැඩිව හුස්ම ගනිමින් ජීවිතය සඳහා අරගල කරමින් ඇට සැකිල්ලක් බවට පත්ව බිම වැටී ගියේ ය. හුස්ම හිර වී කඩා වැටුණ ඇය මිය ගොස් සිටියාය.

ඒ ක්ෂණයෙන් ඛේමා රැජින තුළ සංවේගක් හට ගත්තේය. ඈ මෙසේ සිතුවා ය.)

“අනේ මේ රූපය (ශරීරය) අපිරිසිදුයි. එය ඇත්තෙන්ම පිළිකුල් සහගතයි. මෝඩ ස්ත්‍රීන් මේ අපිරිසිදු, පිළිකුල්සහගත ශරීරය ප්‍රිය කරනවා අන්ධයන් වගේ”

එවිට බුදුන් වහන්සේ ඛේමා බිසවට මෙසේ වදාළ සේක.

(1) “ඛේමා, අඥාන පුද්ගලයෝ අතිශයින් ප්‍රිය කරන, වේදනාවෙන් පෙළෙන, අපිරිසිදු වූ, කුණු වූ, ඉහලින් පහලින් අසූචි බැහැර කරන ශරීරය දෙස බලන්න.

(2) “ශරීරයේ පිළිකුල් සහගත බව දැන ගැනීමට හැකි වන පරිදි භාවනා අරමුණ කෙරෙහි සිත පිහිටුවා ගන්න. ඔබ ශරීරයේ අසුභ කොටස් තිස්දෙක ගැන සිහියෙන් සිටින්න; ඒවා ගැන කලකිරෙන්න.

(3) ඛේමා, යම්සේද මේ ස්ත්‍රියගේ ශරීරය බිඳී යන්නේද, එසේම ඔබගේ ශරීරයද බිඳී යන්නේය. මරණයට පෙර ටික කලක් ඔබේ ශරීරය ආකර්ශනීය ලෙස පෙනෙනවා සේම, මිය යාමට පෙර මේ කාන්තාවගේ ශරීරය ද ආකර්ෂණීය ලෙස පෙනුණි; (එබැවින්) ශරීරයට අභ්‍යන්තරව හා බාහිරව ඇති බැඳීම අත්හරින්න.

(4) “අනිත්‍ය බව මනාව දකිමින් සංස්ඛාරයන්ගේ ඇතිවීමත් නැතිවීමත් නුවණින් දකින්න. ආත්ම දෘෂ්ටිය අත්හරින්න, එසේ කිරීමෙන් ඔබ තුළ ඇවිළෙන එකොළොස් ආකාරයේ  ගිනි නිවා ඔබ නිවන අවබෝධ කරාවි.

(5) “මකුළුවා තමා විසින්ම සාදන ලද දැල පසුපස හඹා යන්නාක් මෙන්, කාමයට ඇලුණු සත්වයෝද තමන් විසින්ම සාදාගත් කෙලෙස් ප්‍රවාහය තුල ඇදී යති. නමුත් නුවණැත්තාට නම් ඉන්ද්‍රිය සැපය ගැන ආශාවක් හෝ සැලකිල්ලක් නැත, නමුත් කෙලෙස් දහරාවන් සිඳ දමා නිවනට යයි.”

එම දේශනාව අසා ඛේමා බිසවගේ සිත ප්‍රීතියට පත් වූ බවත්, ප්‍රමෝදයට පත් වූ බවත් බුදුන් වහන්සේ දැනගත් සේක. එකල කිකී රජුගේ දියණියක වූ ‘සමනි කුමරිය’ ලෙස ඛේමා බිසව මෙම සූත්‍රය අසා කටපාඩම් කොට තිබුණි. එය සිහිපත් කළ අතර ඇය වහාම සෝතාපත්ති ඵලයට පත් වූවාය.

සෝවාන් වූ ආර්‍ය ශ්‍රාවිකාවක් වූ ඇයට එතැන් පටන් අවශ්‍ය වුණේ තමන්ගේ ලස්සන ගැන තියෙන වැරදි ආකල්පය හදාගන්නයි. ඇය බුදුන් වහන්සේ ඉදිරියෙහි වැඳ වැටී මෙසේ සමාව අයැද සිටියා ය.

(1) “සියල්ල දන්නා තැනැත්ත, මම ඔබට නමස්කාර කරමි.
අනුකම්පාවේ ප්‍රතිමූර්තිය, මම ඔබට නමස්කාර කරමි.
සංසාර සැඩ පහරින් එතෙර වූ බුදුන් වහන්ස, මම ඔබට නමස්කාර කරමි.
අමරණීය බව දෙන්නාණනි, මම ඔබට නමස්කාර කරමි!”

(2) “ඉන්ද්‍රිය තෘෂ්ණාවට ඇලීමෙන් මම ව්‍යාකූල වී නොමඟ ගියෙමි, මෙසේ වැරදි දෘෂ්ඨි නමැති වනයට පෙරළී ගියෙමි. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මටම සුදුසු උපායෙකින් මා දමනය කළ සේක.”

(3) “ශීලයෙන්, සමාධියෙන් යුක්තවූ, ඔබවහන්සේ වැනි උත්තමයෙකු හමුවීමට අවස්ථාවක් නොලැබීමෙන්, සත්ත්වයෝ සංසාර සාගරයෙහි මහත් දුක් කම්කටොළු විඳිති.”

(4)”නිර්වාන පාරිශුද්ධියට පැමිණි ඒ නිර්මල වූ බුදුරද වේළුවනාරාමයෙහි වැඩ වසනසේක් වේද, මම තුන්ලොවටම සෙත සලසන ඒ මහා මුනීන්ද්‍රයාණන් වහන්සේ වෙත පැමිණ වැඳ පුදා ගැනීමට අපොහොසත් වීමි. එම අසාර්ථකත්වය, මගේ පැත්තෙන්, මම (දැන්) මගේ වරදක් ලෙස හඟවා පිළිගනිමි.”

(5)”තුන්ලොවටම මහා කාරුණිකවූ, පරම දායක වූ, මග, ඵල, නිවන් ලබා දෙන්නා වූ  අමෘත දායකයාණෝ ගැන මා මාගේ රූ සපුවට ලොල්වූ බැවින් අනාර්ය්‍ය වූ කෙනෙක් යයි වැරදි අදහසක් ඇති විය. මෙවන් අමනෝඥ සිතිවිලි ඇතිකරගත් මාගේ වරදත්, කලින් ඔබ වහන්සේට පැමිණ වැඳ පුදා නොගැනීමත්, මම (දැන්) මාගේ වරදක් ලෙස හඟවා පිළිගනිමි.”

ඛේමා බිසව විසින් ඇයගේ පෙර වරද පිළිගත් පසු, බුදුන් වහන්සේ මෙසේ වදාළ සේක:

“ඛේමාවනි, එය එසේම වේවා”.

එය ඇගේ සිතට අමෘත ජලය වත් කළාක් මෙන් ඇගේ සිත සිසිල් කළේය. එවිට ඛේමා බිසව බුදුරදුන්ට වැඳ ආදර  ගෞරවයෙන් යුක්තව බැහැරව ගියාය.

නැවත රජ මාලිගයට පැමිණි ඇය බිම්බිසාර රජු දැක ඔහුට මෙසේ කීවාය.

(1) “රන්වන් පැහැයෙන් යුතු ශ්‍රේෂ්ඨ නායකයාණෙනි, වේළුවනාරාමයට පැමිණීමට මා පොළඹවා ගැනීමට ඔබ ඉතා උචිත උපාය මාර්ගයක් යොදාගෙන ඇත. ඇත්තෙන්ම ඔබේ අදහස පුදුම සහගතයි! මක්නිසාද යත්, මම වෙළුවන වනෝද්‍යානය දැකීමට දැඩි ආශාවක් ඇති කර ගත් නිසා, මගේ පියවි ඇසින් සහ ප්‍රඥාවේ ඇසින් මම මහා ශාස්තෘ වූ බුදුන් වහන්සේ දුටුවෙමි.

(2) “රජතුමනි! ඔබ එකඟ වන්නේ නම්, මම අසමසම ප්‍රඥාවෙන් යුත්, අග්‍ර ශීලයේ ප්‍රතිමූර්තිය ඇති බුදුරදුන්ගේ ශාසනයෙහි භික්‍ෂුණීත්වයට පත් වෙමි. බුදු වදනට පිං සිදුවන්නට මගේ සිරුරේ සැබෑ ස්වභාවය ගැන මට අවබෝධයක් ලැබුණි.”

ඛේමා බිසව විසින් වදාළ ගාථා දෙක ඇසූ බිම්බිසාර රජු, ඇයගේ බාහිර ස්වභාවයෙන් පවා  ඇය මාර්ගඥානය ලැබූ ආර්‍ය ශ්‍රාවිකාවක බව හඳුනාගෙන, තම නළලතට අත් ඔසවා තම බිසවට මෙසේ කීවේය.

“මගේ ආදරණීය බිසව, මම ඔබට භික්ෂුණියක් වීමට ඉඩ දෙමි. ඔබගේ ලෝකය අත්හැරීම (එනම් ඔබට රහත් බව ලැබේවා)! එය ඉටුවේවා!

එවිට රජතුමා ඛේමා බිසව රන් දෝලාවක් මත නංවා මහත් ආනුභාවයෙන් යුතුව භික්ෂුණී ආරාමයට කැඳවාගෙන ගියේ ය.

ඛේමා තෙරණිය අරහත්වයට පත් වෙයි

ඛේමා තෙරණිය භික්ෂුණීභාවය ලැබ පසළොස්වක දින උපෝසථය සමාදන්ව තමන් ඉදිරියෙහි වූ පහන මත ගිනිදැල් හටගත් ආකාරයත් එය නිවී ගිය ආකාරයත් මෙනෙහි කළාය. එවිට දැඩි පිබිදීමක් ඇගේ සිතේ ඇති විය. ගිනිදැල්ලේ නැඟීමේ හා නිවී යාමේ ස්වභාවය පිළිබඳ මනා අවධානයෙන් යුතුව දහම් මනසිකාරයෙන් යුතුව මනාව සිත එකඟ වී යද්දී ඇය සියළු කෙලෙස් නසා දමමින් ෂඩ් අභිඥා අෂ්ඨසමාපත්ති සහිතව අරහත්වයට පත් වී වදාල සේක.

******* (මේ ඛේමා ථෙරී අපාදාන පාලියේ විස්තර කර ඇති පරිදි ඛේමා තෙරණියගේ අරහත් භාවය පිළිබඳ විස්තරය.)

ඛේමා තෙරණිය කොසොල් මහ රජුට ධර්මය දේශනා කරයි

සංයුත්ත නිකාය | සළායතන වර්ගය | ඛේමා සූත්‍රය (ඛේමා භික්‍ෂුණිය විසින් වදාළ දෙසුම)

ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. ඒ දිනවල ඛේමා භික්‍ෂුණිය කොසොල් ජනපදයේ චාරිකාවේ වඩිද්දී සැවැත් නුවරටත් සාකේත නුවරටත් අතර තෝරණවත්ථු නම් ගමෙහි සිටීමට පැමිණුනා. එදා පසේනදී කොසොල් රජතුමා සාකේත නුවරින් සැවැත් නුවරට යද්දී සාකේත නුවරටත් සැවැත් නුවරටත් අතර වූ තෝරණවත්ථු ග්‍රාමයෙහි එක් රැයක වාසයට පැමිණුනා. ඉතින් පසේනදී කොසොල් රජතුමා එක්තරා පුරුෂයෙක් ඇමතුවා.

“එම්බා පුරුෂය, ඔබ එන්න, මං අද කවුරුන් එක්ක හෝ දහම් ඇසුරක් පවත්වනවා නම්, ඊට සුදුසු ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ තෝරණවත්ථු ගමේ ඉන්නවාද කියලා තොරතුරු හොයා ගන්න.”

“එසේය දේවයන් වහන්ස,” කියලා ඒ පුරුෂයා පසේනදී කොසොල් රජුට පිළිතුරු දීල මුළු තෝරණවත්ථු ගමම පාහේ පීරා ඇවිද බලද්දී පසේනදී කොසොල් රජතුමා කවුරුන් එක්ක හෝ දහම් ඇසුරක් පවත්වනවා නම්, ඊට සුදුසු ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ තෝරණවත්ථු ගමේ දැක ගත්තේ නෑ. නමුත් ඒ පුරුෂයා ඛේමා භික්ෂුණිය තෝරණවත්ථු ගමේ සිටින බව දැක්කා. දැකලා පසේනදී කොසොල් රජතුමා ළඟට පැමිණුනා. පැමිණිලා පසේනදී කොසොල් රජතුමාට මෙකරුණ සැළ කළා.

“දේවයන් වහන්ස, දේවයන් වහන්සේ දහම් ඇසුරක් පිණිස කවුරුන් හෝ ඇසුරු කළ යුතු නම් එබඳු ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ තෝරණවත්ථු ගමේ දැක ගන්ට ලැබුණේ නෑ. එනමුත් දේවයන් වහන්ස, ඒ අරහත් සම්මා සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවිකාවක් වන ඛේමා නම් වූ භික්ෂුණියක් නම් ඉන්නවා. ඒ ආර්යාව ගැන මෙවැනි වූ කල්‍යාණ කීර්ති ඝෝෂාවක් පැතිර ගොස් තිබෙනවා. “ඉතා ඥානවන්තයි. ව්‍යක්තයි. ප්‍රඥාවන්තයි. බොහෝ ඇසූ පිරූ දහම් දැනුමක් තියෙනවා. විසිතුරු කතාබහෙන් යුක්තයි. සොඳුරු වැටහීමෙන් යුක්තයි” කියල. දේවයන් වහන්ස, ඒ භික්ෂුණිය සමඟ දහම් කථාව පවත්වනු මැනව.”

එතකොට පසේනදී කොසොල් රජතුමා ඛේමා භික්ෂුණිය සිටි තැනට පැමිණුනා. පැමිණිලා ඛේමා භික්ෂුණියට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ පසේනදී කොසොල් රජතුමා ඛේමා භික්ෂුණියට මෙකරුණ පැවසුවා.

“ආර්යාවනි, ඇත්තෙන් ම තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවාද?”

“පින්වත් මහාරාජ, තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවාය යන කරුණ භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාළ දෙයක්.”

“ආර්යාවනි, එහෙමනම් තථාගතයන් වහන්සේ මරණින් මතු නැද්ද?”

“පින්වත් මහාරාජ, තථාගතයන් වහන්සේ මරණින් මතු නැතය යන කරුණත් භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාළ දෙයක්.”

“ආර්යාවනි, එහෙමනම් තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවාද? නැද්ද?”

“පින්වත් මහාරාජ, තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත, නැත යන කරුණ භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාළ දෙයක්.”

“ආර්යාවනි, එහෙමනම් තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නේත් නැද්ද? නැත්තේත් නැද්ද?”

“පින්වත් මහාරාජ, තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නේ නැත, නැත්තේ නැතය යන කරුණත් භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාළ දෙයක්.”

“ඇයි ආර්යාවනි, ඇත්තෙන් ම තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවාද? කියලා ඇසූ විට, පින්වත් මහාරාජ, තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවාය යන කරුණ භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාළ දෙයක් කියලා කිව්වේ? ඒ වගේම ඇයි ආර්යාවනි, එහෙම නම් තථාගතයන් වහන්සේ මරණින් මතු නැද්ද? කියලා ඇසූ විට, පින්වත් මහාරාජ, තථාගතයන් වහන්සේ මරණින් මතු නැතය යන කරුණත් භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාළ දෙයක් කියලා කිව්වේ? ඒ වගේම ඇයි ආර්යාවනි, එහෙමනම් තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවාද? නැද්ද? කියලා ඇසූ විට, පින්වත් මහාරාජ, තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත, නැත යන කරුණ භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාළ දෙයක් කියලා කිව්වේ? ඒ වගේම ඇයි ආර්යාවනි, එහෙම නම් තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නේත් නැද්ද? නැත්තේත් නැද්ද? කියලා ඇසූ විට, පින්වත් මහාරාජ, තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නේ නැත, නැත්තේ නැතය යන කරුණත් භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාළ දෙයක් කියලා කිව්වේ? පින්වත් ආර්යාවනි, භාග්‍යවතුන් වහන්සේ විසින් එය නොවදාළ හේතුව මොකක්ද? ප්‍රත්‍යය මොකක්ද?”

“පින්වත් මහාරාජ, එහෙම නම් ඔබෙන්ම මෙම කරුණ විමසන්නම්. ඔබට යම් අයුරකින් වැටහෙනවා නම්, ඒ අයුරින් පිළිතුරු දෙන්න.

පින්වත් මහාරාජ, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? යම් කෙනෙක් මෙච්චරක් වැලි තියෙනවා කියල හෝ මෙච්චර සිය ගණනක් වැලි කැට තියෙනවා කියලා හෝ මෙච්චර දහස් ගණනක් වැලි කැට තියෙනවා කියලා හෝ මෙච්චර ලක්‍ෂ ගණනක් වැලි කැට තියෙනවා කියලා ගංගා නදියෙහි වැලි ගණන් කරන්නට පුළුවන් නම් එබඳු ගණන් තබන්නෙක් හෝ මුද්‍රා තබන්නෙක් හෝ සංඛ්‍යාවන් පෙන්වන්නෙක් හෝ ඔබට ඉන්නවාද?”

“ආර්යාවෙනි, මෙය නොවේමය.”

“යම් කෙනෙක් මෙච්චර වතුර නැලි තියෙනවා කියලා හෝ මෙච්චර සිය ගණනක් වතුර නැලි තියෙනවා කියලා හෝ මෙච්චර දහස් ගණනක් වතුර නැලි තියෙනවා කියලා හෝ මෙච්චර ලක්‍ෂ ගණනක් වතුර නැලි තියෙනවා කියලා මහා සාගරයේ ජල ප්‍රමාණය ගණන් කරන්නට පුළුවන් නම් එබඳු ගණන් තබන්නෙක් හෝ මුද්‍රා තබන්නෙක් හෝ සංඛ්‍යාවන් පෙන්වන්නෙක් හෝ ඔබට ඉන්නවාද?”

“ආර්යාවෙනි, මෙය නොවේමය.”

“එයට හේතුව කුමක්ද?”

“පින්වත් ආර්යාවෙනි, මහා සාගරය ගැඹුරුයි නොවැ. මිණුමකට ගන්ට බැහැ නොවැ. බැස ගන්ට බැහැ නොවැ.”

“පින්වත් මහාරාජ, ඔය විදිහමයි. තථාගතයන් වහන්සේව පණවනවා නම් පණවන්නේ යම් රූපයකින් නම්, ඒ රූපය තථාගතයන් වහන්සේට ප්‍රහීණ වෙලයි තියෙන්නේ. මුලින් සිඳිලයි තියෙන්නේ. කරටිය සිඳුනු තල් ගසක් මෙන් වෙලයි තියෙන්නේ. අභාවයට පත් වෙලයි තියෙන්නේ. නැවත නූපදින පරිදි නැතිවෙලයි තියෙන්නේ. පින්වත් මහාරාජ, රූපය පිළිබඳ තෘෂ්ණාව ගෙවා දැමීමෙන් නිදහස් වී ඇති තථාගතයන් වහන්සේ ගම්භීරයි. මිණුමකට අයත් වන්නේ නෑ. බැස ගැනීමකට අයත් වන්නේ නෑ. මහා සාගරය වගේ. තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවාද යන කරුණ යෙදවෙන්නෙත් නෑ. තථාගතයන් වහන්සේ මරණින් මතු නැතය යන කරුණ යෙදවෙන්නෙත් නෑ. තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවාද නැද්ද යන කරුණ යෙදවෙන්නෙත් නෑ. තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නේත් නැත නැත්තේත් නැත යන කරුණ යෙදවෙන්නෙත් නෑ.

තථාගතයන් වහන්සේව පණවනවා නම් පණවන්නේ යම් විඳීමකින් නම්, ඒ විඳීම තථාගතයන් වහන්සේට ප්‍රහීණ වෙලයි තියෙන්නේ. මුලින් සිඳිලයි තියෙන්නේ. කරටිය සිඳුනු තල් ගසක් මෙන් වෙලයි තියෙන්නේ. අභාවයට පත් වෙලයි තියෙන්නේ. නැවත නූපදින පරිදි නැති වෙලයි තියෙන්නේ. පින්වත් මහාරාජ, විඳීම පිළිබඳ තෘෂ්ණාව ගෙවා දැමීමෙන් නිදහස් වී ඇති තථාගතයන් වහන්සේ ගම්භීරයි. මිණුමකට අයත් වන්නේ නෑ. බැස ගැනීමකට අයත් වන්නේ නෑ. මහා සාගරය වගේ. තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවාද යන කරුණ යෙදවෙන්නෙත් නෑ. තථාගතයන් වහන්සේ මරණින් මතු නැතය යන කරුණ යෙදවෙන්නෙත් නෑ. තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවාද, නැද්ද යන කරුණ යෙදවෙන්නෙත් නෑ. තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නේත් නැත, නැත්තේත් නැත යන කරුණ යෙදවෙන්නෙත් නෑ. යම් සඤ්ඤාවකින් නම් ….(පෙ)….

තථාගතයන් වහන්සේව පණවනවා නම් පණවන්නේ යම් සංස්කාර වලින් නම්, ඒ සංස්කාර තථාගතයන් වහන්සේට ප්‍රහීණ වෙලයි තියෙන්නේ. මුලින් සිඳිලයි තියෙන්නේ. කරටිය සිඳුනු තල් ගසක් මෙන් වෙලයි තියෙන්නේ. අභාවයට පත් වෙලයි තියෙන්නේ. නැවත නූපදින පරිදි නැතිවෙලයි තියෙන්නේ. පින්වත් මහාරාජ, සංස්කාර පිළිබඳ තෘෂ්ණාව ගෙවා දැමීමෙන් නිදහස් වී ඇති තථාගතයන් වහන්සේ ගම්භීරයි. මිණුමකට අයත් වන්නේ නෑ. බැස ගැනීමකට අයත් වන්නේ නෑ. මහා සාගරය වගේ. තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවාද යන කරුණ යෙදවෙන්නෙත් නෑ. තථාගතයන් වහන්සේ මරණින් මතු නැතය යන කරුණ යෙදවෙන්නෙත් නෑ. තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවාද නැද්ද යන කරුණ යෙදවෙන්නෙත් නෑ. තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නේත් නැත නැත්තේත් නැත යන කරුණ යෙදවෙන්නෙත් නෑ.

තථාගතයන් වහන්සේව පණවනවා නම් පණවන්නේ යම් විඤ්ඤාණයකින් නම්, ඒ විඤ්ඤාණය තථාගතයන් වහන්සේට ප්‍රහීණ වෙලයි තියෙන්නේ. මුලින් සිඳලයි තියෙන්නේ. කරටිය සිඳුනු තල් ගසක් මෙන් වෙලයි තියෙන්නේ. අභාවයට පත් වෙලයි තියෙන්නේ. නැවත නූපදින පරිදි නැති වෙලයි තියෙන්නේ. පින්වත් මහාරාජ, විඤ්ඤාණය පිළිබඳ තෘෂ්ණාව ගෙවා දැමීමෙන් නිදහස් වී ඇති තථාගතයන් වහන්සේ ගම්භීරයි. මිණුමකට අයත් වන්නේ නෑ. බැස ගැනීමකට අයත් වන්නේ නෑ. මහා සාගරය වගේ. තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවාද යන කරුණ යෙදවෙන්නෙත් නෑ. තථාගතයන් වහන්සේ මරණින් මතු නැතය යන කරුණ යෙදවෙන්නෙත් නෑ. තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවාද, නැද්ද යන කරුණ යෙදවෙන්නෙත් නෑ. තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නේත් නැත, නැත්තේත් නැත යන කරුණ යෙදවෙන්නෙත් නෑ.

ඉතින් පසේනදී කොසොල් රජතුමා ඛේමා භික්ෂුණියගේ භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් වුණා. අසුනෙන් නැගිට ඛේමා භික්ෂුණියට වන්දනා කොට පැදකුණු කොට පිටත් වුණා. ඊටපස්සේ පසේනදි කොසොල් රජතුමා පසුකලෙක භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ පසේනදී කොසොල් රජතුමා භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසුවා.

“ස්වාමීනි, ඇත්තෙන් ම තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවාද?”

“පින්වත් මහාරාජ, තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවාය යන කරුණ මා විසින් නොවදාළ දෙයක්.”

“ස්වාමීනි, එහෙමනම් තථාගතයන් වහන්සේ මරණින් මතු නැද්ද?”

“පින්වත් මහාරාජ, තථාගතයන් වහන්සේ මරණින් මතු නැතය යන කරුණ මා විසින් නොවදාළ දෙයක්” ….(පෙ)….

“ඇයි ස්වාමීනි, ඇත්තෙන් ම තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවාද? කියලා ඇසූ විට පින්වත් මහාරාජ, තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවාය යන කරුණ මා විසින් නොවදාළ දෙයක් කියලා කිව්වේ? ….(පෙ)…. ඇයි ස්වාමීනි, එහෙමනම් තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නේත් නැද්ද? නැත්තේත් නැද්ද? කියලා ඇසූ විට, පින්වත් මහාරාජ, තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නේ නැත, නැත්තේ නැතය යන කරුණ මා විසින් නොවදාළ දෙයක් කියලා කිව්වේ? ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් එය නොවදාළ හේතුව මොකක්ද? ප්‍රත්‍යය මොකක්ද?

පින්වත් මහාරාජ, එහෙමනම් ඔබෙන් ම මෙම කරුණ විමසන්නම්. ඔබට යම් අයුරකින් වැටහෙනවා නම්, ඒ අයුරින් පිළිතුරු දෙන්න. පින්වත් මහාරාජ, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? යම් කෙනෙක් මෙච්චරක් වැලි තියෙනවා කියලා ….(පෙ)…. මෙච්චර ලක්‍ෂ ගණනක් වැලි කැට තියෙනවා කියලා ගංගා නදියෙහි වැලි ගණන් කරන්නට පුළුවන් නම්, එබඳු ගණන් තබන්නෙක් හෝ මුද්‍රා තබන්නෙක් හෝ සංඛ්‍යාවන් පෙන්වන්නෙක් හෝ ඔබට ඉන්නවාද?”

“ස්වාමීනි, මෙය නොවේමය.”

“යම් කෙනෙක් මෙච්චර වතුර නැලි තියෙනවා කියලා ….(පෙ)…. මෙච්චර ලක්‍ෂ ගණනක් වතුර නැලි තියෙනවා කියලා මහා සාගරයේ ජල ප්‍රමාණය ගණන් කරන්නට පුළුවන් නම් එබඳු ගණන් තබන්නෙක් හෝ මුද්‍රා තබන්නෙක් හෝ සංඛ්‍යාවන් පෙන්වන්නෙක් හෝ ඔබට ඉන්නවාද?”

“ස්වාමීනි, මෙය නොවේමය.”

“එයට හේතුව කුමක්ද?”

“ස්වාමීනි, මහා සාගරය ගැඹුරුයි නොවැ. මිණුමකට ගන්ට බැහැ නොවැ. බැසගන්ට බැහැ නොවැ.”

“පින්වත් මහාරාජ, ඔය විදිහමයි. තථාගතයන් වහන්සේව පණවනවා නම් පණවන්නේ යම් රූපයකින් නම්, ඒ රූපය තථාගතයන් වහන්සේට ප්‍රහීණ වෙලයි තියෙන්නේ. මුලින් සිඳිලයි තියෙන්නේ. කරටිය සිඳුනු තල් ගසක් මෙන් වෙලයි තියෙන්නේ. අභාවයට පත් වෙලයි තියෙන්නේ. නැවත නූපදින පරිදි නැතිවෙලයි තියෙන්නේ. පින්වත් මහාරාජ, රූපය පිළිබඳ තෘෂ්ණාව ගෙවා දැමීමෙන් නිදහස් වී ඇති තථාගතයන් වහන්සේ ගම්භීරයි. මිණුමකට අයත් වන්නේ නෑ. බැස ගැනීමකට අයත් වන්නේ නෑ. මහා සාගරය වගේ. තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවාද යන කරුණ යෙදවෙන්නෙත් නෑ ….(පෙ)…. තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නේත් නැත නැත්තේත් නැත යන කරුණ යෙදවෙන්නෙත් නෑ.

යම් විඳීමකින් නම් ….(පෙ)…. යම් සඤ්ඤාවකින් නම් ….(පෙ)…. යම් සංස්කාරවලින් නම් ….(පෙ)…. තථාගතයන් වහන්සේව පණවනවා නම් පණවන්නේ යම් විඤ්ඤාණයකින් නම්, ඒ විඤ්ඤාණය තථාගතයන් වහන්සේට ප්‍රහීණ වෙලයි තියෙන්නේ. මුලින් සිඳිලයි තියෙන්නේ. කරටිය සිඳුනු තල් ගසක් මෙන් වෙලයි තියෙන්නේ. අභාවයට පත් වෙලයි තියෙන්නේ. නැවත නූපදින පරිදි නැති වෙලයි තියෙන්නේ. පින්වත් මහාරාජ, විඤ්ඤාණය පිළිබඳ තෘෂ්ණාව ගෙවා දැමීමෙන් නිදහස් වී ඇති තථාගතයන් වහන්සේ ගම්භීරයි. මිණුමකට අයත් වන්නේ නෑ. බැස ගැනීමකට අයත් වන්නේ නෑ. මහා සාගරය වගේ. තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවාද යන කරුණ යෙදවෙන්නෙත් නෑ ….(පෙ)…. තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නේත් නැත, නැත්තේත් නැත යන කරුණ යෙදවෙන්නෙත් නෑ.

ස්වාමීනි, ආශ්චර්ය යි. ස්වාමීනි, පුදුම සහගතයි. යම් හෙයකින් ශාස්තෘන් වහන්සේගේත් ශ්‍රාවිකාවකගේත් මේ උතුම් දහම් කථාව තුළ අර්ථයෙන් අර්ථය, වචනයෙන් වචනය සැසඳිලා යනවා. ගැලපිලා යනවා. නොවෙනස් වෙලා යනවා. ස්වාමීනි, එක දවසක් මං ඛේමා භික්ෂුණිය ළඟට ගිහින් ඔය කාරණය ම ඇසුවා. ඒ ආර්යාවත් ඔය පද වලින් ම, ඔය වචන ප්‍රකාශ කිරීම් වලින් ම මේ කාරණාව භාග්‍යවතුන් වහන්සේ වදාළ පරිදි ම පැහැදිලි කළා. ස්වාමීනි, ආශ්චර්ය යි. ස්වාමීනි, පුදුම සහගතයි. යම් හෙයකින් ශාස්තෘන් වහන්සේගේත් ශ්‍රාවිකාවකගේත් මේ උතුම් දහම් කථාව තුළ අර්ථයෙන් අර්ථය, වචනයෙන් වචනය සැසඳිලා යනවා. ගැලපිලා යනවා. නොවෙනස් වෙලා යනවා. ස්වාමීනි, අපි දැන් පිටත් වෙන්නම්. අපි බොහෝ කටයුතු ඇති අය නොවැ. කළයුතු බොහෝ දේ ඇති අය නොවැ. පින්වත් මහාරාජ, යම් කිසිවකට දැන් කාලය නම්, එය දැන ගත මැනැව. ඉතින් පසේනදී කොසොල් රජතුමා භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගෙන, අනුමෝදන් වෙලා, අසුනෙන් නැගිට, භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට, පැදකුණු කොට පිටත් වුණා.

සාදු ! සාදු !! සාදු !!!

ඛේමා තෙරණිය බුදුරදුන් විසින් මහා ප්‍රඥා ඇති භික්ෂුණීන් අතුරින් අග්‍ර භික්ෂුණිය ලෙස නම් කිරීමට ආසන්නතම හේතුව වූයේ තෝරණයේදී කෝසල රජුට කළ මේ දහම් දේශනයයි.

එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන ආරාමයේ වැඩ වසන විට භික්ෂු සංඝයා අමතා මෙසේ වදාළ සේක.

“පින්වත් මහණෙනි, මේ පින්වත් ඛේමාවන් වනාහී මහා ප්‍රඥා ඇති භික්ෂුණීන් අතුරින් අග්‍ර භාවයට පත් වෙනවා.”

බුදුරදුන් විසින් ඇයට ප්‍රකාශ කරන ලද මෙම ප්‍රකාශය ඛේමා තෙරණිය විසින්ම පහත සඳහන් ගාථාවල, ඇයගේම වචනයෙන් මෙසේ සටහන් කර ඇත.

(1) “මම භික්ෂුණියක් බවට පත් වූ පසු (සැවැත සහ සාකේතය අතර පිහිටි) තෝරණ නම් ස්ථානයක දී මා, පසේනදි රජු විසින් අසන ලද ගැඹුරු ප්‍රශ්න, ධර්මයට අනුව  රජු පැහැදිලි කළෙමි.

(2) “පසුව රජ තෙම බුදුරදුන් වෙත එළඹ මේ ප්‍රශ්නයම ඇසුවේය, උන්වහන්සේ මේ ප්‍රශ්නවලට මා පිළිතුරු දුන් ආකාරයටම පිළිතුරු දුන් සේක.

(3) “පස් මාරයා ජයගත්, සියලු මිනිසුන් අතර උත්තරීතර වූ, ධර්මය ප්‍රකාශ කිරීමේ මගේ විශිෂ්ටත්වය ගැන සෑහීමකට පත්ව, මා ප්‍රඥාවන්තයින් අතර අග්‍රාමාත්‍ය භික්ෂුණිය ලෙස මා නම් කරන ලදී.

***************************

එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ මෙසේ ද වදාළ සේක.

“සද්ධා භික්ඛවේ භික්ඛුනී ඒවං සම්මා ආයාචමානා ආයාචෙය්‍ය: තාදිසා හෝමි, යාදිසා ඛේමා ච භික්ඛුනී උප්පලවණ්ණා චාති. ඒසා භික්ඛවේ තුලා, ඒතං පමාණං මම සාවිකානං භික්ඛුනීනං යදිදං ඛේමා ච භික්ඛුනී උප්පලවණ්ණා චාති.”

“පින්වත් මහණෙනි, ශ්‍රද්ධාවන්ත භික්ෂුණියක් මැනැවින් අයදිනවා නම්, මේ පින්වත් ඛේමාත්, උප්පලවණ්ණාත් යම් බඳු වෙත්ද, එබඳු වූ කෙනෙක් වන්නෙමි’යි කියලයි ආයාචනා කළ යුත්තේ. පින්වත් මහණෙනි, මාගේ ශ්‍රාවක වූ භික්ෂුණීන් හට මිනුම් දණ්ඩ වන්නේද, පරමාදර්ශය වන්නේද, මේ පින්වත් ඛේමාවත්, උප්පලවණ්ණාත් ය.”

ඛේමා මහ රහත් තෙරණින් වහන්සේගේ ගාථා

ප්‍රිය ඛේමා, ඔයා තවමත් තරුණයි. ලස්සනයි. මාත් යොවුන් තරුණයෙක්. එන්න, අපි මියුරු සංගීත රසය ලබමින් කාම සැපයේ ඇලී වාසය කරමු.

(ඒයි මාරය) නිතර රෝග හටගන්න, වහා බිඳිල යන, මේ කුණු ශරීරය ගැන මං පිළිකුලෙන් ඉන්නෙ. ලැජ්ජාවෙන් ඉන්නෙ. කාම තණ්හාවේ මුල් පවා නැති කරලයි මං ඉන්නෙ.

කාමයන් කියන්නෙ විස පොවපු ආයුධ වගේ දෙයක්. පංච උපාදානස්කන්ධ කියන්නෙ මස් වැදලි වගේ දෙයක්. ඔබ ඔය කාමරතිය කියන දේ මට දැන් අරතියක්. හැම දෙයක් ගැන ම ඇති තණ්හාව නැති කරල දැම්මා. ‘අවිද්‍යාව’ නම් අන්ධකාර කෙලෙස් කඳ බිඳල දැම්මා.

මාරය, අන්න ඒ විදිහටයි මේ ගැන දැනගන්ට ඕන. මාරය, මේ කරුණෙන් නැසුණේ ඔබයි.

මෝඩ ජනතාව නැකත්වලට වැඳ වැඳ, වනාන්තරේ ගිනි දෙවියන් ව පුදාගෙන සත්‍ය තත්වය නොදැක පිරිසිදු බව සොයමින් ඉන්නවා.

නමුත් මං වන්දනා කරන්නෙ පුරුෂෝත්තම බුදු සමිඳාණන්ටයි. මං ශාස්තෘ ශාසනය අනුගමනය කරන, සියලු දුකින් නිදහස් වුණ කෙනෙක්.