කුණ්ඩලකේසා මහ රහත් තෙරණින් වහන්සේ

ඇයගේ අතීත ප්‍රාර්ථනය

පදුමුත්තර බුදුන් දවස කුණ්ඩලකේසා උපත ලැබුවේ හංසවතී නගරයේ ධනවත් පවුලක ය.  දිනක්, ‘ඉක්මනින් ධර්මය අවබෝධ කළ භික්ෂුණීන් අතුරින් අග්‍ර භික්ෂුණිය’ ලෙස ‘සුභා’ නම් තෙරණිය පදුමුත්තර බුදුරජාණන් වහන්සේ විසින් නම් කරනු, බණ අසමින් සිටි ඇය දුටුවේ ය. ඇයට ද අනාගත කාලයෙහි එවන් අග්‍රගණ්‍ය භික්ෂුණියක් ලෙස නම් ලැබීමට අශාවක් ඉපදින. ඇය මහා පූජාවක් කිරීමෙන් පසු තම අභිලාෂය පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කළ අතර, පසුව බුදුරජාණන් වහන්සේ ගෝතම බුදුන් වැඩ සිටින කාලයේදී ඇගේ අපේක්ෂාව ඉටු වන බවට අනාවැකි පළ කළ සේක.

බරණැස් රජුගේ දියණියක ලෙස ඇගේ ජීවිතය

කල්ප ලක්ෂයක් දෙව්ලොව හෝ මනුෂ්‍ය ලොව ගමන් කළ කුණ්ඩලකේසා කස්සප බුදුරජාණන් වහන්සේ සමයෙහි බරණැස කිකී රජුගේ දූවරුන් හත්දෙනාගෙන් ‘භික්‍ඛුදායිකා’ නමින් සිව්වැනි දියණිය ලෙස ඉපදුණා ය.

එම ජීවිතය තුළ ඇය ද සිය සෙසු සොහොයුරියන් මෙන්ම වසර විසි දහසක ජීවිත කාලය  දස සිල් පද රකිමින් සිල්වත් බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කළාය. ඇය තම සහෝදරියන් සමඟ සංඝයා වෙනුවෙන් මහා සංඝාවාසයක් කරවා පූජා කළා ය.

ඇගේ අවසාන ජීවිතය

කාශ්‍යප බුදුරජාණන් වහන්සේත් අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේත් පහළ වූ කාලය අතර කාලයේ භික්‍ඛුදායිකා කුමරිය දෙව්ලොව හෝ මනුෂ්‍ය ලෝකයේ පමණක්ම ඉපදෙමින් බොහෝ සැපවත්ව ගත කළාය.

අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩ සිටින සමයේ ඇය රජගහනුවර ධනවත් පවුලක දියණියක් ලෙස ‘භද්දා’ නමින් ඉපදුණාය. ඇය උපන් දවසේම රජගහනුවර රජුගේ පුරෝහිත බමුණාට දාව ඔහුගේ බැමිණිය පුත්‍රයෙක් බිහි කළා ය. ද උපත ලැබීය. පුරෝහිත බමුණාගේ පුත්‍රයා ඉපදුණු මොහොතේ රජුගේ මාළිගාවේ සිට නගරය පුරා ඇති සියලුම ආයුධ අද්භූත ලෙස දිදුළන්ට ගත්තේය.

පුරෝහිත බමුණා පසුදා උදෑසන ම රජු හමුවීමට ගොස් සුපුරුදු පරිදි රජුගෙන් “මහ රජතුමනි, ඔබ වහන්සේ සුවසේ සැතපුන සේක් ද? යි ඇසුවේ ය.

එයට රජතුමා මෙසේ පිළිතුරු දුන්නේ ය: “ගුරුතුමනි, මම හොඳින් නිදාගන්නේ කෙසේද? මාලිගාවේ සියලු ආයුධ අද්භූත ලෙස දිදුළමින් මුළු රාත්‍රිය පුරාම අපව කලබලයට පත් කළා.

“මහ රජතුමනි,” පුරෝහිත බමුණා පැවසුවේ ය ; “බිය නොවන්න. ඊයේ රාත්‍රියේ මාලිගාවේ පමණක් නොව නගරය පුරාම ආයුධ දිදුළන්ට ගත්තා.”

“ඇයි ගුරුතුමනි, එහෙම වුණේ?”

“මහ රජතුමනි, ඊයේ රාත්‍රියේ බැමිණිය පුත්‍රයෙක් බිහි කළා, ඔහුගේ උපන් වේලාව රාශි චක්‍රයේ යම් ග්‍රහලෝකවල අධිපතිත්වය සමඟ සමපාත වූ අතර, අලුත උපන් දරුවාගේ චරිතය තීරණය වීමට එය බලපෑවා. ඒ ග්‍රහ බලපෑම නිසා මගේ පුත්‍රයා මුළු නගරයටම හතුරෙකු බවට පත් වන්නේ ය. නමුත් මහරජතුමනි, ඔබ වහන්සේ කැමති නම්, මම ඔහුව නැති කර දමන්නෙමි.

“මට පුද්ගලික අනතුරක් නොමැති නම්, දරුවා නැති කිරීමට හේතුවක් නැත.”

පුරෝහිත බමුණා ඔහුගේ පුත්‍රයා, ‘සත්තුක’ (නීච සතුරා) ලෙස නම් කළේ ඔහුගේ උපතේදී ම උපන් නැකතට අනුව සහජයෙන්ම ඔහුට උරුම දුෂ්ඨ අනාගතය ඔහුට සිහිකරවීමට යි.

කාලයාගේ ඇවෑමෙන් කුණ්ඩලකේසා තරුණ වියට පත්වෙද්දී සත්තුක ද තරුණ වියට පත් වූයේ ය.

අවුරුදු දෙක තුනක කුඩා වයසේ පටන් සත්තුක කොලු ගැටයා කොහේ ගියත් කාගේ නමුත් අතේ තියන ඕනෑම දෙයක් උදුරාගෙන නිවසට ගෙනයාමට පටන් ගත්තේ ය. එසේ නොකරන ලෙස පියා අවවාද කළත් ඔහු කිසි විටක සවන් දුන්නේ නැත.

රජගහනුවර සත්තුක නම් මහා සොරා

සත්තුක නව යොවුන් වියට පත් වූ විට, ඔහුගේ පියා, තම පුත්‍රයාව සැබවින්ම තමාට නිවැරදි කළ නොහැකි බව දැක, ඔහුව අතහැර දැමුවේ ය. තරුණයාට අඳුරු පැහැ රෙදි කැබලි දෙකක්, බිත්ති සහ තාප්ප ආදිය කැඩීමට උපකරණයක් සහ ලණු ඉණිමඟක් තම පුත්‍රයා අතට දෙමින් ඔහු ශෝකයෙන් මෙසේ පැවසී ය.

“වැඩක් නැති කොලුව, මේවා ගන්න, මංකොල්ලකෑමෙන්ම ජීවත් වෙන්න. දැන්ම නුඹ ඉවත්ව යන්න.!”

තරුණ සත්තුක තමා බලවත් මංකොල්ලකරුවෙකු බව ඔප්පු කළේ ය. ගෙවල් කඩන උපකරණය සහ කඹ ඉණිමඟ ප්‍රයෝජනයට ගනිමින් ඔහු ගෙවල් බිඳීමින් ධනවත් සියලු නිවෙස් කොල්ලකෑවේ ය. වැඩි කල් යන්නට මත්තෙන් නගරයේ සෑම නිවසකම බිත්තිවල, තාප්පවල හිඩැස් දකින්ට ලැබෙන තරමට ඔහු අතිශය වේගවත් ව සොරකමේ යෙදුනේ ය.

දිනක් රජතුමා රථයෙන් නගරය වටා ගමන් කරන විට, මෙම අසාමාන්‍ය සිදුරු රජුට දකින්ට ලැබුනේ ය. කුතුහලය දනවන මේ අමුතු දසුන ගැන රජු අශ්වාරෝහකයාගෙන් විමසී ය. ඒ සියල්ල සත්තුක සොරාගේ වැඩ බව රථාචාර්යවරයා ට පැවසීය. රජතුමා වහා නගරාධිපතිවරයා ගෙන්වා කොල්ලකරු තවමත් අල්ලා නොගත්තේ මන්දැයි විමසී ය. මෙතෙක් කිසිවකු මංකොල්ලකරුවා අත් සාක්ෂිපිට නොදුටු බවත්, එබැවින් තමා ඔහු අත්අඩංගුවට නොගත් බවත් නගරාධිපතිවරයා පැහැදිලි කළේ ය. රජු ඔහුට මෙසේ නියෝග කළේ ය.

“අදම මංකොල්ලකාරයාව අල්ලාගත යුතුයි, නැතිනම් ඔබේ ජීවිතය නුඹට අහිමි වේවි.”

රාජ අණින් වහා ක්‍රියාත්මක වූ නගරාධිපතිවරයා ඔහුගේ ජීවිතය ද පරදුවට තබා නගරය පුරා රහසිගතව මිනිසුන් ස්ථානගත කළ අතර වැඩිවේලා නොගොස් කොල්ලකරු බඩුත් සමග අතටම අල්ලා ගැනීමට හේ සමත් විය. සත්තුක අල්ලාගෙන රජු ඉදිරියට පමුණුවාලූ විට රජු මෙසේ නියෝග කළේය.

“සත්තුකයා නුවරින් දකුණු දොරටුවෙන් පිටතට ගෙනගොස් මරා දමනු”

නගරාධිපතිවරයා රජුගේ අණ පිළිගත්තේ ය. ඔහු නගරයේ සෑම හරස් මාර්ගයකට ම සාත්තුක රැගෙන ගිය අතර, සෑම හරස් මාර්ගයකදී ම ඔහුට කස පහරවල් දහසක් ලබා දුන්නේ ය. මෙසේ ඔහුගේ දෑත් පිටුපසින් බැඳ දකුණු දොරටුව දෙසට ගෙන යන ලදී.

භද්දා සත්තුක සොරා කෙරෙහි සෙනෙහසින් බැඳී යයි

එකල සොරාට දඬුවම් දෙන අයුරු බලා සිටි පිරිස අතර මහා ඝෝෂාවත් ඇති වුනේ ය. එයකණ වැකුණු භද්දා, මැදුරේ සිංහ පංජරයෙන් එබී වීථිය දෙස බැලුවා ය. අත් අඩංගුවේ සිටි සත්තුකට ම්ලේච්ඡ ලෙස කස පහර දෙනු දුටු විට (ඔවුන්ගේ අතීත ජිවිතයක පැවැති ආදරය හා සෙනෙහස හේතුවෙන්) භද්දාට කොල්ලකරු ගැන දැඩි අනුකම්පාවක් ඇති විය. ඇයට දැඩි දුකක් දැනුනි. බොහෝ සිත් තැවුලෙන් යුතුව ඇය තම ළය මත අත් ගසමින් සයනය වෙත දිව ගියා ය. මුහුණ යටිකුරුවන සේ එහි සැතපී සිටියා ය. එකම දරුවා ලෙස භද්දා පවුලේ සියළුදෙනාගේ ම ආදරය දිනා සිටියා ය. එනිසා ඇගේ ඉතා කුඩා වේදනාවක් පවා ඒ සියළු දෙනාට මහත් පීඩා ගෙන දුන්නේ ය.

ඇගේ මව ඇය වෙත ගොස් ශෝකීව සිටීමේ හේතුව විමසා සිටියා ය. භද්දා කිසිවක් නොසඟවා තමාගේ සිතැඟි සියල්ල තම මවට කීවා ය. සත්තුක කෙරෙහි එතරම් ආදරයක් හා සෙනෙහසක් ඇති බවත් ඇය එම පුද්ගලයා සමඟ විවාහ වූවොත් මිසක ඔහු නොමැතිව ජීවත් නොවන බවත් ඇය මවට කීවා ය. දෙමාපියන් සහ නෑදෑයන් ඇයව තේරුම් කරවීමට හැකි සෑම උත්සාහයක්ම ගත් නමුත් එය සාර්ථක වූයේ නැත. අවසානයේ ඇයගේ කැමැත්තට අවනත වීමට ඔවුන්ට සිදු විය.

“අඩුම තරමේ අපේ එකම දුව ඒ පල් හොරාට දෙන එක එයාගේ මරණයට වඩා හොඳයි.”

ඇගේ පියා නගරාධිපතිවරයා වෙත ගියේ ය. සිරකරුවා මරණ දඬුවමෙන් බේරා දෙනමෙන් ඉල්ලා හේ රන් කාසි දහසක අල්ලසක් නගරාධිපතිවරයාට ලබා දුන්නේ ය. ඉල්ලීමට එකඟ වූ නගරාධිපතිතෙමේ සත්තුකව, භද්දාගේ පියාණන්ට බාර දී සොරා වෙනුවට රහසේම අන්‍ය සිරකරුවෙක් දකුණු දොරටුවෙන් නගරයෙන් පිටතට ගෙන ගොස් මරා දමන ලදී (සත්තුක වෙනුවට).

මාපිය සෙනෙහස

භද්දාගේ පියා, සත්තුකව සුවඳ වතුරෙන් නාවා සියුම් ලෙස පට පිළියෙන් සරසවා තම දියණියගේ මන්දිරයට යැවීය. න්ගේ සිහින කුමරා සිතූ අයුරින්ම ලැබීම ගැන භද්දා බෙහෙවින් සතුටු විය. ඇය හැකිතාක් අලංකාර ඇඳුමින් පැළඳුමින් සැරසී සත්තුක ඉදිරියට ගියා ය.

සත්තුකගේ දුෂ්ට සැලැස්ම

සත්තුකගේ නපුරුකම කෙතරම්ද යත්, ඔහු භද්දා නිසා තමා ලත් නිදහස තඹ දොයිතුවකට මායිම් නොකළේ ය. කෙලෙහිගුණ නොදත් අසත්පුරුෂ සොරා භද්දා පැළඳ සිටි ආභරණ ගැන සිහින මවන්ට ගත්තේ ය. ඔහු දුෂ්ට සැලැස්මක් කල්පනා කර දින දෙක තුනකට පසු භද්දාට මෙසේ කීවේ ය.

“මට ඔබට යමක් පැවසිය යුතුයි”

“කියන්න මගේ ස්වාමීනි,” භද්දා කීවේ ඔහුගෙන් සෙනෙහෙබර වචනයක් අපේක්ෂාවෙනි.

“ඔබ හිතනවා ඇති ඔබ මගේ ජීවිතය බේරුවා කියලා” සත්තුක කීවේය. “ඇත්ත වශයෙන්ම, මම මගේ ජීවිතය චෝරපපාත කන්දේ ආරක්ෂක දෙවියාට බාර කරලයි තිබුනේ. මම මගේ මරණ දණ්ඩනයෙන් බේරුනොත් උන් වහන්සේට පූජාවක් තියනවා කියල මං හිතින් පොරොන්දු වුනා. දැන් මම ඒ දේවතාවාට පූජාවක් කිරීමට බැඳී ඉන්නවා. නුඹ ඊට අවශ්‍ය කටයුතු වහා සූදානම් කරන්න.”

අහිංසක භද්දා තම ප්‍රේමණීය සැමියාගේ කැමැත්තට වහා එකඟ වූවා ය. ඇය අංගසම්පූර්ණව සියළු ආකාරයේ පුද පූජා උපකරණ පිළියෙළ කරගෙන, තමා ද ආභරණයන්ගෙන් මනාව සැරසී, සත්තුක සමග කරත්තයක නැගී ගියාය. චෝරපපාත කන්ද පාමුල දී ඇය කරත්තයෙන් බැස තම උපස්ථායිකාවන් ද කැටුව කන්දට යාමට සූදානම් වූවා ය. එවිට සත්තුක, තම දුෂ්ට චේතනාව සඟවාගෙන, භද්දාට තනිවම කන්දට යාමට පොළඹවා ගත්තේ ය. ඇය පුද පඬුරු හිස මත තබාගෙන සත්තුක සමඟ කන්දට නැංගා ය.

සත්තුකගේ දුෂ්ට චේතනාව හෙළිවේ

කන්ද නැග අවසන් වෙනවාත් සමගම සත්තුකගේ ස්වරය හදිසියේ ම වෙනස් විය. වෙන්න ගත්තේ ය. හේ අතිශයින්ම රළු බසින් භද්දාව ඇමතී ය. ආදරයේ නාමයෙන් මුලා වී සිටියත් භද්දා යනු මෝඩ ස්ත්‍රියක් නොවේ. ඈ ක්ෂණයකින් තම දුෂ්ඨ සැමියාගේ චේතනාව තේරුම් ගත්තා ය. නමුත් කිසිවක් නොකියා නිහඬව සිටිමට ඈ වගබලා ගත්තා ය. සොර සත්තුකයා මෙසේ කීය.

“දැන් භද්දා, නුඹ නුඹේ සියලු  ආභරණ ගලවා සළුවෙන් ඔතා පොට්ටනියක් කරව”

භද්දා, සත්තුකගේ නපුරු චේතනාව නොදන්නා බව හඟවමින්, මිහිරි ලෙස කථා කළාය:

“ස්වාමීනි, මම ඔබට කළ වරද කුමක්ද?”

“මෝඩ කෙල්ල, මම මෙහෙට ආවේ කන්දේ දෙවියාට බලි තොවිල් දෙන්න කියලද නුඹ හිතන් ඉන්නෙ? අපොයි! කන්දේ දෙවියාට මගෙන් වුන පොරොන්දුවකුත් නෑ, මට පූජා කදවල් පුද පුද ඉන්න වෙලාවකුත් නෑ. මට ඕනත් නෑ. හහ්! මෝඩ කෙල්ල. දැන් ඉතින් ඉක්මන් කරව. මට නුඹේ ආභරණ වලින්නම් බොහෝ ප්‍රයොජන ඇත”

ප්‍රඥාවන්ත භද්දා

දැන් සත්තුකගේ සැබෑ ස්වභාවය හෙළි වී ඇති නිසා, භද්දා තමාව බේරා ගැනීමට ඇගේ බුද්ධිය යෙදුවා ය. ඒ හැරුනු විට ඇගේ උදව්වට කිසිවෙක් එතන සිටියේ නැත. ඈ ස්ථානෝචිත ප්‍රඥාවෙන් තත්වයට මුහුණ දුන් ආකාරය ඇත්තටම අපූරුය. එනිසාමය ඈ දෙවියන්ගේ පවා ප්‍රශංසාවට භාජනය වුනේ. ඇය ආචාරශීලීව මෙසේ ඇසුවාය.

“නමුත් ස්වාමීනි, මේ සියල්ල කාගේ ආභරණද? මම අයිති කාටද?”

“මේ බලනවා, මට තේරෙන්නේ නැහැ ඔබ අදහස් කරන දේ. අනික මට ඔය කිසි කතාවකින් වැඩක් නෑ. මේවා නුඹට අයිති ආභරණ, මා සමඟ කිසිම සම්බන්ධයක් නෑ. ඒ නිසා ඉක්මන් කරනව.”

“හොඳමයි ස්වාමීනි. නුඹ වහන්සේගේ කැමැත්තක්. නමුත් මට තව එකම එක ඉල්ලීමක් කරන්න ඉඩ දෙනු මැන.අවසාන වශයෙන් මාගේ ප්‍රිය ස්වාමී වූ නුඹ වහන්සේට මාගේ පරම ආදර ගෞරවය දක්වන්න මට ඉඩ දෙන්න. මම කැමතී අවසාන වශයෙන් නුඹ වහන්සේව පැදකුණු කරමින් වන්දනා කරන්න. එසේ පැදකුණු කරමින් ඉදිරියෙන්, පැතිවලින් සහ පසුපසින් නුඹ වහන්සේව වැළඳ ගැනීමට මට ඉඩ දෙන්න” ඇය කනස්සල්ලට පත් හඬකින් ඔහුගෙන් අයැද සිටියාය.

“බොහොම හොඳයි” සත්තුක කීවේ සැකයකින් තොරවය.

භද්දා දෑත් නළලේ තබා සත්තුක වටා පැදකුණු කළා ය. ඒ ඒ දිශාවන්හි දී ඔහුට වන්දනාකොට අනතුරුව ආදරයෙන් වැළඳ ගත්තා ය. මෙසේ කරමින් පිටුපස දිශාවට පැමිණි ඇය මුලින්ම ඔහුට වන්දනා කළා ය. දෙවනුව ඇත්තේ වැළඳගැනීමයි. වැළඳගැනීමට සැරසෙනවාත් සමගම ඈ විරීය යොදා දෑතින්ම සත්තුක නම් සොරාව චෝර පපාත කඳු මුදුනෙන් පහළට තල්ලු කළා ය. හිස පහළටත් පා ඉහලටත් සිටිනාකාරයෙන් පර්වතයෙන් පහළට වැටුනු සොරහුගේ ශරීරය කැබලි වී ගියේ ය. ඒත් සමගම පර්වතයට අධිගෘහිත දෙවියෝ භද්දාවන්ගේ තීක්ෂණ බුද්ධියත් ස්ථානෝචිත ප්‍රඥාවත් උපාය කෞෂල්‍ය ඥානයත් අගයමින් ස්තූති ප්‍රශංසා දෙපදයක් ගැයූ හ.

පර්වතයට අධිගෘහිත දේවතාවා භද්දාගේ දක්ෂතාවය වර්ණනා කරයි

භද්දාගේ විස්මිත බුද්ධිය සහ ධෛර්යය දුටු පර්වතයට අධිගෘහිත දේවතාවා, ඇගේ තීක්ෂණ ප්‍රඥාව වර්ණනා කරමින් පද දෙකක් ගායනා කළේ මෙසේය.

(1) ‘ප්‍රඥාවන්තයෙකු’ සෑම විටම සෑම කාරණයකදීම පුරුෂයකුම නොවිය හැකිය. යම් අවස්ථාවක විචක්ෂණ බුද්ධියක් ඇති කාන්තාවක් ද, තමා ප්‍රඥාවන්ත පුද්ගලයෙකු බව ඔප්පු කළ හැකිය.

(2) ‘ප්‍රඥාවන්තයෙකු’ සෑම විටම සෑම කාරණයකදීම පුරුෂයකුම නොවිය හැකිය. ගැටලුවට ඉක්මනින් විසඳුම තෝරා ගත හැකි කාන්තාවක්ද, ඥානවන්ත පුද්ගලයෙකු විය හැකිය.

ඇයට සිදු වූ දෙයින් පසු භද්දා ට නැවත නිවසට යාමට ආශාවක් නොවී ය. ඇය කන්දෙන් පිටව හිස හැරුනු දිශාවට ගිය අතර ඇය යන්නේ කොහේදැයි ඇය නොදැන සිටියාය. ඇගේ එකම අරමුණ වූයේ හුදෙකලා වීම පමණි. එසේ ඇවිද යද්දී ඇය අහම්බෙන් මෙන් පරිබ්‍රාජිකා ආරාමයකට ගොඩ වූවා ය. ඇය ඔවුන්ගේ සමාගමයට සම්බන්ධ වීමට ඉඩ දෙන ලෙස ඉල්ලා සිටියා ය. ඔවුන් ඇයගෙන් මෙසේ ඇසුහ.

“ඔබ කැමති කුමන ඇතුළත් වීමේ ක්‍රමයටද? බාල ආකාරය ද, උසස් ආකාරය ද?”

මහා ප්‍රඥාවකින් යුතුව අන්තිම සිරුර දරා සිටින ඇය මෙසේ පිළිතුරු දුන්නාය: “වඩාත්ම අර්ථවත් ඇතුළත් වීමේ ක්‍රමයට අනුව මට ඔබගේ සමාගමයට ඇතුළත් වීමට ඉඩ දෙන්න.”

'කුණ්ඩලකේසා' නම ලැබීම

“බොහොම හොඳයි” වයෝවෘධ පරිබ්‍රාජිකාව කීවා ය. ඔවුන් තල් ඇට යුගලයකින් භද්දාගේ හිසකෙස් එකින් එක ඇද ඉවත් කළහ. මේ ආකාරයට හිස මුඩු කිරීම නිසැකවම ඉතාමත්ම වේදනාකාරී දෙයකි. නමුත් තලයකින් හෝ කතුරකින් හෝ හිස මුඩු කිරීම තම ශාසනයට ඇතුළත් කර ගැනීමේ බාල ක්‍රමයක් බවත්, මුවහතකින් හිසකෙස් කපා දැමීම තත්වයෙන් බාල ක්‍රියාවක් බවත් එනිසා එමගින් විමුක්තියට පත්වීම බොහෝ ඈත එකක් බවත් ඒ පරිබ්‍රාජිකාවෝ විශ්වාස කළහ. නැවුම් හිසකෙස් නැවත වර්ධනය වූ විට, ඒවා කණ් මුදු (තෝඩු) වලට සමාන කුඩා මුදු පොකුරු ආකාරයෙන් කැරකී වැඩුනේ ය. එහෙයින් එතැන් පටන් භද්දාට ‘කුණ්ඩලකේසා’ (කණ් මුදු වැනි කුඩා කෙස් දඟර ඇති තැනැත්තිය) යන නම ලැබුණි.

ධර්මගවේශී කුණ්ඩලකේසා පරිබ්‍රාජිකාව

කුණ්ඩලකේසා තම ගුරුවරුන්ගෙන් ඇයට ඉගැන්විය හැකි සියල්ල ඉගෙන ගත් අතර, සහජ ප්‍රඥාවෙන් යුත් තැනැත්තියක වූ ඇය, තවදුරටත් ඔවුන්ගෙන් ඇයට ලබා ගත හැකි උසස් ආකාරයේ ඉගෙනීමක් නොමැති බව තීරණය කළාය. ඒ නිසා ඇය ඔවුන් හැර දමා විවිධ ගුරුවරුන්ගෙන් ඉගෙන ගනිමින් වැඩිදුර දැනුම සොයා රට පුරා සැරිසැරුවා ය.

කාලයාගේ ඇවෑමෙන්, ඇය විවිධ අවස්ථාවල දී විවිධ ආගමික ගුරුවරුන් හමුවේ විවිධ ධර්මයන් ඉගෙන ගත්තා ය. වැඩිකල් නොගොස් ඇය ඒ සියල්ලෙහි ම නිපුන බවට පත් වූවා ය. ඇය දක්ෂ විවාද කාරියක් වූවා ය. තමාගේ දක්ෂතාවය ප්‍රදර්ශණය කරමින් ජනයාට ශ්‍රමණ-බ්‍රාහ්මණයන්ට අභියෝග කරමින් ඇය ජම්බුද්වීපය පුරා සැරිසැරුවා ය. ඇය සංචාරය කරන නගරයට හෝ ගමට ඇතුල් වන ස්ථානයේ කිසියම් විවෘත තැනක වැලි ගොඩක් ගසා එහි මුදුනේ ජම්බු රිකිල්ලක් සිටවූවා ය. පසුව අසළ ගැවසෙන, ක්‍රීඩා කරන ළමයින්ට, තර්කයෙන් ඇයව අභිබවා යා හැකි ඕනෑම අයෙකු ජම්බු අත්ත විනාශ කිරීමෙන් ඔහුගේ හෝ ඇයගේ අභියෝගයට සංඥාවක් කළ හැකි බව සැමට දන්වන්නැයි පවසා ඇය පිණ්ඩපාතය පිණිස  යන්නේ ය. ඇය මෙම ක්‍රමය එක් ස්ථානයකදී දින හතක් යන තුරු කරන්නේ ය.දින හතකට පසු අභියෝග කරන්නෙකු නොපැමිණියේ නම්, ඇය ජයග්‍රාහී ලෙස ජම්බු අත්ත තමන් විසින්ම උදුරා ගෙන වෙනත් ස්ථානයකට යයි.

ධර්ම සේනාධිපතීන් වහන්සේ කුණ්ඩලකේසා පරිබ්‍රාජිකාව දමනය කරති

ඒ වන විට ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී සැවැත් නුවර ජේතවන නම් ආරාමයේ වැඩ වසන සේක. එක වස්ත්‍රයක් පමණක් හැඳ සැරිසැරූ කුණ්ඩලකේසා පරිබ්‍රාජිකාව ගම් නගර පුරා සංචාරය කර සැවැත් නුවරට පැමිණියා ය. නගරයට ඇතුල් වන ස්ථානයේ, ඇය තම අභියෝගයේ සංකේතය, වැලි ගොඩක් මත ජම්බු අත්තක් ගැසීම සුපුරුදු පරිදි කොට, අත්ත සිටුවීමේ අරමුණ අසල සිටි ළමයින්ට පවසා නගරය තුළට පිවිසියා ය.

එකල්හි ධර්ම සේනාධිපති, අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අනෙකුත් සියළු භික්‍ෂූන් පිණ්ඩපාතය පිණිස නුවරට වැඩම කළ පසු තමන් වහන්සේ තනිවම පිණ්ඩපාතය පිණිස නුවරට වැඩම සේක. එයට හේතුවක් තිබේ. එනම්,යම් විදිහකින් භික්ෂූන් වහන්සේලාගේ ඇඳ ඇතිරිලි, පරිහරණයට අවශ්‍ය භාණ්ඩ පිළිවෙළකට තැබීම, වතුර භාජන පිරවීම, මිදුල අතුගා දැමීම, ගිලන් භික්ෂූන් වහන්සේට උපස්ථාන කිරීම යනාදීය කිරීම භික්ෂූන් අතින් මගහැරී ඇතිනම් උන්වහන්සේ තමන් වහන්සේ විසින්ම ඒ සියල්ල සම්පූර්ණකොට අවසානයේ ආරාමයෙන් පිටත් වන සේක. මෙසේ මුළු ජේතවන ආරාමයේම පිළිවෙළට කටයුතු කිරීම අධීක්‍ෂණය කිරීම තමන් වහන්සේ  විසින් ම ස්වේච්ඡාවෙන් සිදුකොට පිණ්ඩපාතය පිණිස නුවරට වැඩම කළ සේක. නුවර ද්වාරය අසළ වැලි ගොඩක සිටවූ ජම්බු අත්ත දුටු ධර්ම සේනාධිපතීන් වහන්සේ ඒ කුමක්දැයි අසල සිටි ළමයින්ගෙන් විමසා සිටියහ. කුණ්ඩලකේසාගේ පණිවිඩය ගැන ළමයින් රහතන් වහන්සේට පැහැදිලි කළෝ ය. එවිට සාරිපුත්ත මහරහතන් වහන්සේ ඔවුන්ට ජම්බු අත්ත විනාශ කරන ලෙස වදාළාහ. සමහර දරුවන් එසේ කිරීමට මැලි වූ නමුත් නිර්භීත කිහිප දෙනෙක් ජම්බු අත්ත වහා කෑලිවලට කඩා දැමූහ.

කුණ්ඩලකේසාවෝ දානය ගෙන අවසන් වී නගරයෙන් ආපසු එන විට ඇගේ ජම්බු අත්ත විනාශකර තිබෙනු දැක එය කාගේ වැඩක්දැයි ළමයින්ගෙන් විමසුවා ය. ඔවුන් ධර්ම සේනාධිපතීන් වහන්සේ එසේ කරන්ටයැයි කී වග දන්වා සිටියෝ ය. කුණ්ඩලකේසා මෙසේ සිතුවා ය.

‘මගේ දක්ෂතා නොදන්න කෙනෙක් මට අභියෝග කරන්න තරම් එඩිතර වෙන්නේ නැහැ. මේ ශ්‍රමණයන් වහන්සේ එකත් එකටම මහා ප්‍රඥාවක් තියෙන කෙනෙක් වෙන්න ඕන. දැන් මම ධර්ම සේනාධිපතීන් වහන්සේ වන සාරිපුත්ත මහරහතන් වහන්සේ සමඟ ප්‍රඥාව පිළිබඳ විවාදයක යෙදෙන බවත්, නොපමාව මා උන්වහන්සේ සොයා ආරාමයට යන බවත් නුවර වැස්සන්ට දැන්විය යුතුයි’

ඇය එම පුවත නිවාස අසූ දහසකින් යුත් මුළු නගරය පුරා සියලු ජනයා අතර පතුරුවා ඔවුන්ද සමග මහරහතන් වහන්සේ වැඩසිටිනා ස්ථානය දෙසට ගියා ය.

සාරිපුත්ත මහරහතන් වහන්සේ දානය නිමවා ගසක් යට හිඳ කුණ්ඩලකේසාවන් එනතුරු බලා සිටි සේක. එවිට ඇය විශාල පිරිසක් ද සමඟ පැමිණියා ය.

ඇය සාරිපුත්ත මහරහතන් වහන්සේ සමඟ සුහදව කථාකොට සුදුසු ස්ථානයක වාඩි වී මෙසේ පැවසුවාය.

“ස්වාමීනි, මා විසින් පිහිටුවන ලද ජම්බු අත්ත විනාශ කරන ලෙස ඔබ වහන්සේ දරුවන්ට කීවාද?”

“ඔව්, මම කීවා” මහරහතන් වහන්සේ පිළිතුරු දුන් සේක.

“ස්වාමීනි, එසේ නම් අපි විවාදයට එළඹෙමුද?”

“පරිබ්‍රාජිකාවනි, එය ඔබේ කැමැත්තට අනුව වේවා!”

“ස්වාමීනි, කවුද මුලින්ම ප්‍රශ්ණ ඇසිය යුත්තේ?”

“පළමුවෙන් ප්‍රශ්න ඇසීම මගේ වරප්‍රසාදයක්. කෙසේ වෙතත්, ඔබ දන්නා දේ ගැන මගෙන් විමසීමෙන් ඔබට ආරම්භ කළ හැකිය.

ඇයට ඇසීමට අවසර ලැබුණු විට, කුණ්ඩලකේසා ඇය දන්නා සියලු තර්ක විතර්ක ගැටළු සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් ඇසුවා ය. මහරහතන් වහන්සේ ඒ සියල්ලට සෘජුවම පිළිතුරු දුන් සේක.

“පරිබ්‍රාජිකාවනි, මම ඔබේ සියලු ප්‍රශ්නවලට පිළිතුරු දුනිමි. දැන් මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්.”

“කරුණාකරලා අසන්න ස්වාමීනි”

“එකං නාම කිම්? — සම්පූර්ණයෙන්ම අවබෝධ කර ගත යුතු එක් සාධකය කුමක්ද?”

“ස්වාමීනි, මම එය නොදනිමි.”

“පරිබ්‍රාජිකාවනි, අපගේ ශාසනයෙහි අලුත පැවිදි වූ තරුණ සාමණේර නමක් දන්නා දෙයවත් ඔබ නොදන්නෙහිය, ඔබ තව කුමක් දනියිද?”

එවිට කුණ්ඩලකේසා, පෙර රැස්කල බොහෝ පුණ්‍ය සංස්කාරයන් සහිත ඇය, තම ප්‍රතිවාදියාගේ මහත් වූ ප්‍රඥාව වහා වටහා ගත්තී ය. ඇය මෙසේ කීවා ය.

“ස්වාමීනි, ඔබ වහන්සේ මගේ රැකවරණය වේවා!”

සාරිපුත්ත මහරහතන් වහන්සේ “කුණ්ඩලකේසා, ඔබ මා සරණ නොයන්න. තුන් ලොවටම උත්තරීතර බුදුරජාණන් වහන්සේ දැන් ජේතවන නම් ආරාමයෙහි වැඩ වසන සේක. ගොස් ඒ බුදුරජාණන් වහන්සේව සරණ යන්න” යි වදාළ සේක.

“බොහොම හොඳයි ස්වාමීනි, මම ඔබ වහන්සේගේ අවවාදය පිළිගන්නෙමි,” ඇය කීවාය.

එදින සවස ඇය ජේතවන ආරාමයට ගිය අතර එහිදී බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරනු ඇය දුටුවා ය. ඇය බුදුරජාණන් වහන්සේට පසඟ පිහිටුවා වැඳ සුදුසු ස්ථානයක වාඩි වූවා ය.

ඇය ධර්මාවබෝධය පිණිස පින මෝරා ඇති බව දන්නා බුදුරජාණන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක.

යෝ චේ ගාථාසතං භාසේ
අනත්ථපදසංහිතං
ඒකං ධම්මපදං සෙය්‍යෝ
යං සුත්වා උපසම්මති

යම් කෙනෙක් මෙලොව, පරලොව අයහපත ඇතිකරන ශ්ලෝක සියයක් කිව්වත් වැඩක් නෑ. යම් දහම් පදයක් අහලා ජීවිතය සංසිඳෙනවා නම්, අන්න ඒ එකම දහම් පදය තමයි උතුම්.

යෝ සහස්සං සහස්සේන
සංගාමේ මානුසේ ජිනේ
ඒකඤ්ච ජෙය්‍ය අත්තානං
ස වේ සංගාමජුත්තමෝ

යම් කෙනෙක් යුද්ධ දාහක් කරලා, දහස් ගණන් මිනිසුන්ව පරදවා, ජයග්‍රහණය කළත්, ඒක නියම ජයග්‍රහණයක් නොවෙයි. නමුත් යම් කෙනෙක් මේ කෙලෙස් යුද්ධයෙන් තමන්ව දිනාගත්තොත්, ඒ තැනැත්තා ඒකාන්තයෙන්ම අර සියලු යුද්ධ දිනපු කෙනාට වඩා උත්තම කෙනෙක් වෙනවා.

——ධම්මපදය, ගාථා 102, 103——

**********************************************

ගාථා අවසානයේ කුණ්ඩලකේසා සියළු කෙලෙස් කඳ පලා දමමින් උතුම් අරහත්වයට පත් වූවා ය. තමන්ව බුද්ධ ශාසනය තුළ භික්ෂුණී පැවිද්ද ලබා දෙන මෙන් ඕ බුදුරදුන්ගෙන් ඉල්ලා සිටියා ය. බුදුරජාණන් වහන්සේ ඊට අනුමැතිය දී වදාළ සේක. ඉතින්, ඇය භික්ෂුණී ආරාමයකට ගොස් භික්ෂුණී පැවිද්ද ලබා ගෞතම බුදු සසුන් බබළවනා උත්තම අරහත් තෙරණියක් බවට පත් වූ සේක.

කුණ්ඩලකේසා අග්‍ර භික්ෂුණියක ලෙස

කුණ්ඩලකේසාවෝ, බුදුරජාණන් වහන්සේ අභියස දී සතර පද ගාථාවක් ඇසූ මාත්‍රයෙන් අරහත්වයට පත්වීමට තරම් මහා පින්වන්තියක් වීම ගැන ශ්‍රාවක පිරිස අතර ස්තූති කථාවක් හට ගත්තේ ය. ඒ අවස්ථාව මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ පසු කලෙක, භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිස් මධ්‍යයේ මෙසේ ප්‍රකාශකොට වදාළ සේක.

“පින්වත් මහණෙනි, ඉක්මනින් ධර්මය අවබෝධ කළ මාගේ ශ්‍රාවිකා භික්ෂුණීන් අතුරින් මේ භද්දා කුණ්ඩලකේසා නම් වූ භික්‍ෂුණී අග්‍ර වේ.”