මහා ප්‍රජාපතී ගෝතමී

මහ රහත් තෙරණින් වහන්සේ

6 - කොටස | පරිනිර්වාණය - 2

ඊට පස්සේ, ඉතා යහපත් වත පිළිවෙතින් යුතු ගෞතමී තොමෝ භික්ෂු සංඝයාටත් අනුශාසනා කොට, අපගේ ආනන්ද, නන්ද, රාහුලයන් වහන්සේලාට වන්දනා කොට මේ වචන පැවසුවා.

“පින්වත් දරුවෙනි, මේ ශරීරය නම් විෂඝෝර සර්පයන් වාසය කරන තැනක් බඳුයි. සකලවිධ රෝගයන්ට නවාතැන් දෙන නිවසක් බඳුයි. ජරාවට පත්වීමටත් මරණයටත් ගොදුරුවන මේ ශරීරය නම් දුකින් පරිපීඩිත එකක්. මේ ශරීරය නානාප්‍රකාර කුණුකසළ වලින් ගහණ වූ එකක්. නොයෙක් සතුන්ට වාසභූමිය වූ තැනක්. තමාගේ යැයි සැළකිය හැකි කිසිවක් මේ ශරීරයෙහි නෑ. මං මේ කය ගැන කළකිරිලා ඉන්නේ. අනේ පින්වත් දරුවෙනි, මං පිරිනිවන් පාන්ට කැමතියි. එයට මට අවසර දෙන්ට”

ආයුෂ්මත් නන්දයන් වහන්සේත්, ආයුෂ්මත් රාහුල භද්‍රයන් වහන්සේත් ආශ්‍රව රහිත සිත් ඇතිව, අත්හරින ලද සෝක ඇතිව සිටිනා හෙයින් සුළඟට නොසෙල්වෙන ඒකඝන වූ ගල් පර්වතයක් සෙයින් ඒ අවස්ථාවෙහි නොසැලී අකම්පිතව සිටියා. සංස්කාර ධර්මයන්ගේ යතා ස්වභාවය මෙසේ මෙනෙහි කළා.

“හේතුඵල දහමින් සකස් වූ, අඥාන ජනයා ලොල්වන, ස්ථිරව පවතින කිසිවක් නැති, අරටු රහිත කෙසෙල් කඳක් බඳු, මායාවක් බඳු, මිරිඟු දියක් බඳු, වහා නැසෙනසුළු, ස්ථිරව නොපවතින මේ කයට නින්දා වේවා!!! මෝ තොමෝ තුන්ලෝ දිනූ අප මුනිඳාණන් වහන්සේගේ පුංචි අම්මා ය. අප බුදුරජාණන් වහන්සේගේ සිරුර කුඩා අවධියෙහි කිරි පොවා පෝෂණය කළ ප්‍රජාපතී ගෞතමියෝ ය. දැන් ඕ තොමෝ පිරිණිවන් පාන්නට සූදානම් වන්නීය. අහෝ…! හේතුඵල දහමින් සකස් වූ සෑම දෙයක්ම අනිත්‍යයි…!”

නමුත් මේ වනවිට අපගේ ආනන්දයන් වහන්සේ සෝවාන් ඵලයට පමණක් පත්ව සිටි සේඛ භික්ෂුවකි. එනිසා අපගේ ආනන්දයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේව මතක් වුනා. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ඇති බලවත් ස්නේහය හේතුවෙන් තවත් ශෝකයට පත්වුනා. කඳුළු වගුරුවාගෙන හඬා වැලපෙන්ට පටන් ගත්තා.

“අයියෝ…. දැන් අපගේ ගෞතමී තොමෝ…. සදා සංසිඳීමට පත්වෙන්ට යනවා. එසේනම් ඉතින් අප බුදුරජාණන් වහන්සේත් වැඩිකල් නොයා ඇවිලෙමින් තිබෙන සොඳුරු ගින්නක් දර රහිතව නිවීමට පත්වෙන සෙයින් අයියෝ……. පිරිනිවී යාවී”

එතකොට අපගේ ප්‍රජාපතී ගෞතමී තෙරණියෝ ආනන්දයන් වහන්සේට මේ වචන පැවසුවා.

“ගම්භීර වූ ශ්‍රැති සාගරයාණෙනි, බුද්ධෝපස්ථානයෙහි නිරන්තරයෙන් නියැලී වාසය කරන අපගේ බුද්ධ පුත්‍රයාණෙනි, දැන් ඔය ශෝකයෙන් සිටීමනම් යුතු දෙයක් නොවෙයි. මේ එළඹ තියෙන්නේ හිනැහී සිටින්ට කාලයක් නොවෑ. අමා නිවන වෙත එළඹී සිටින මාහට ලැබුනේ පුත්‍රයාණෙනි, ඔබගේ සරණ නොවැ. අපගේ පුත්‍රයාණෙනි, ඔබ විසින් උනන්දු කරවන ලද අප බුදුරජාණන් වහන්සේ ස්ත්‍රීන් වූ අපට මේ බුදු සසුනේ දායාදය වන භික්ෂුණී පැවිදි උපසම්පදාව ලබාදුන්නා නොවැ. එනිසා දරුවාණෙනි, සිතේ දුකක් ඇතිකරගන්ට එපා. එදා ඔබ ගත් උත්සාහය අතිශයින්ම ඵල සහිතයි.

පුරාණයේ තීර්ථක ආචාර්‍යවරුන්ටවත් දැකගන්ට නොහැකි වූ, සාක්ෂාත් කරගන්ට නොහැකි වූ, ඒ අමා නිවනක් ඇද්ද, පින්වත් දරුවාණෙනි, සත්හැවිරිදි වියේ වූ සියුමැලි සිඟිති දියණිවරුන් මේ බුදු සසුනෙහි අමා නිවන් පිහිට සාක්ෂාත් කළා නොවැ. උතුම් බුද්ධ ශාසනය පාළනය කරන පින්වත් පුත්‍රයාණෙනි, මං අද මේ ඔබව දකින්නේ අවසන් වතාවටයි. යම් තැනකට ගිය විට දෙවියන් බඹුන් මරුන් සහිත වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ ලෝකයෙහි කිසිවෙකුට හෝ ගිය තැනැත්තාව හෝ තැනැත්තියව දකින්ට නොලැබේ ද, ආන්න එතැනටයි පුතණුවනි, අද මං මේ යන්නේ.”

ලොවෙහි උත්තම නායකයාණන් වහන්සේ ධර්මය දේශනා කරමින් සිටිද්දී එක්තරා අවස්ථාවක කිවිසුමක් පිට කළා. ඒ අවස්ථාවෙහි දී මං මහත් අනුකම්පාවෙන් යුතුව මෙවන් ආශිර්වාද වචනයක් කීවා,

“මහා වීරයාණන් වහන්ස, චිරාත් කාලයක් වැඩ සිටින සේක්වා ! මහා මුනිවරයාණන් වහන්ස, කල්පයක් සුවසේ වැඩ සිටින සේක්වා ! සියලු ලෝකයාගේම යහපත පිණිස ජරාවක් මරණයක් නැතිව වැඩ සිටින සේක්වා!” කියලා.

එසේ කියූ ඒ මට අපගේ බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා.

“ගෞතමී, දැන් ඔබ යම් අයුරකින් තථාගතයන් වන්දනා කළා ද, බුදුවරයන් වහන්සේලා වන්දනා කළ යුත්තේ ඔය අයුරින්නම් නොවෙයි”

“අනේ සර්වඥයන් වහන්ස, එසේනම් තථාගතයන් වහන්සේලාට වන්දනා කළ යුත්තේ කොයි ආකාරයෙන්ද? බුදුවරයන් වහන්සේලා නොවැඳිය යුත්තේ කොයි ආකාරයෙන් දැයි අසන්නා වූ මා හට මේ කාරණාව පැහැදිලි කර දෙන සේක්වා!

එතකොට බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා.

“යම් විටෙක කෙලෙසුන් දුරු කරනු පිණිස පටන්ගත් වීරිය ඇති, කාය ජීවිත දෙක් හි අපේක්ෂා නැතිව, දහමට දිවි පුදා සිටින , කෙලෙස් දුරු කිරීමට නිරතුරුව යොදන ලද දැඩි වීරිය පරාක්‍රම ඇති, ඉතා සමගියෙන් වාසය කරන්නා වූ ශ්‍රාවක සංඝයාව දකින්ට ලැබෙයි නම්, ඒ දැකීම ම යි බුදුවරයන්ට කරන වන්දනාව”

එතකොට මම මෙහෙණ අසපුවට ගොහින් හුදෙකලාවේ ම මෙහෙම කල්පනා කරන්ට පටන් ගත්තා.

“කාම, රූප, අරූප යන තුන් වැදෑරුම් භවය නිමාකොට නිවීමට පත් වූ අපගේ ලෝකනාථයන් වහන්සේ වීරියෙන් යුතුව ධර්මයේ හැසිරෙන සමගි සංඝයාවමයි දකින්ට කැමති. යම් දවසක සංඝයා අසමගිව සිටිනවා ද මටනම් ඒ විපත දකින්ට ලැබෙන්ට එපා! අනේ මං නම් ඉක්මනින් පිරිණිවන් පාන්ට ඕනෑ” කියා මෙහෙම සිතලයි මං සත්වැනි මහා ඉසිවරයන් වහන්සේව බැහැදැක්කේ. දෙව් මිනිස් ලෝසත නිවන් මගෙහි හික්මවන විනායකයාණන් වහන්සේට මං සැළකොට සිටියා “මට පිරිනිවන් පාන්ට මේ කාලයයි” කියලා. එතකොට අප මුණිඳානෝ “ගෞතමී ඔබ එයට කාලය දැනගන්න” කියා මට අවසර දී වදාළා.

මං කෙලෙස් දවා නැතිකරල දැම්මා. කාම, රූප, අරූප යන සෑම භවයක්මත් නසා දැම්මා. මං දැන් හැසිරෙන්නේ ආශ්‍රව රහිත වූ සිතින්. තමාව දැඩිලෙස බැඳ තිබූ සෑම වර පටක්ම සිඳ බිඳ දමා නිදහසේ වනයේ හැසිරෙන ඇතින්නියක් වගේ.

බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට එදා මං ආ ගමන ඒකාන්තයෙන්ම ඉතා යහපත් වූ පැමිණීමක් වුනා. මං ත්‍රිවිද්‍යාව ලබා ගත්තා. බුද්ධ සාසනය සම්පූර්ණ කළා. අර්ථ, ධර්ම, නිරුක්ති, ප්‍රතිභාන යන සතර පටිසම්භිදාවන් මං ලබා ගත්තා. අෂ්ට විමෝක්ෂත් සාක්ෂාත් කළා. ඉර්ධිවිධ ඥානය, දිව්‍ය ශ්‍රවණ ඥානය, පරචිත්ත විජානන ඥානය, පුබ්බේ නිවාසානුස්සති ඥානය, දිබ්බ චක්ඛු ඥානය හා ආසවක්ඛය ඥානය යන මේ සය වැදෑරුම් අභිඥාත් මං ලබා ගත්තා. බුද්ධ ශාසනය සම්පූර්ණ කළා”

ඒ අවස්ථාවේ අපගේ භාග්‍යවතුන් වහන්සේ මහා ප්‍රජාපතී ගෞතමියට මෙසේ වදාළා.

“ගෞතමී, මේ ලෝකේ නුවණ රහිත බාල උදවිය ඉන්නවා. ස්ත්‍රීන්ගේ ධර්මාවබෝධය ගැන ඔවුන්ට සැකයි. එනිසා ඔවුන්ගේ මිසදිටු දුරුවීම පිණිස දැන් ඔබ ඉර්ධි ප්‍රාථිහාර්‍ය දක්වන්ට”

එවිට මහා ප්‍රජාපතී මහ රහත් තෙරණියෝ සම්බුදු රජාණන් වහන්සේට වන්දනා කොට අහසට පැන නැංගා. බුදුරජාණන් වහන්සේගේ අනුමැතියෙන් නොයෙක් ආකාරයට ඉර්ධි ප්‍රාථිහාර්‍යයන් දක්වන්ට පටන් ගත්තා.

පළමුව එතුමිය පමණක් ආකාසයේ තනිවම පෙනී හිටියා. ඊට පස්සෙ ගෞතමී තෙරණිය බඳු බොහෝ සිය ගණන් භික්ෂුණීන් වහන්සේලා අහසේ පෙනී ගියා. නැවතත් ඒ බොහෝ භික්ෂුණීන් නොපෙනී ගොස් ගෞතමිය පමණක් දිස්වුනා. ඊටපස්සෙ ආකාසයේ කිසිවෙක් නොපෙණී ගියා. නැවතත් ගෞතමී තෙරණිය ආකාසයේ පෙනෙන්ට ගත්තා. එතකොට එතුමිය ප්‍රාකාර අතරින් විනිවිද ගියා. මහා කඳු පර්වත අතරින් විනිවිද ගියා.

අහසේ සිටිය ගෞතමී තෙරණිය එක්වරම මහ පොළවට පාත් වී ජලයේ කිමිදෙන්නියක් සෙයින් පොළවෙහි කිමිදී ගියා. නැවත හැමෝට ම පෙනුනේ විසල්පුර පොකුණෙහි ජලය මත මහපොළවෙහි සෙයින් එතුමිය ශාන්තව සක්මන් කරන ආකාරයයි.

ඊට පස්සේ එතුමිය අහසේ පියාසලා ඉගිලීයන කිරිල්ලියක සෙයින් පළඟක් බැඳගෙන අහස පුරා ගියා. ගෞතමී තෙරණිය අහස පුරා ගියා. ගෞතමී තෙරණිය බ්‍රහ්ම ලෝකය දක්වා සමස්ත ලෝක ධාතුව ම තමන්ගේ වසඟයෙහි රඳවා ගත්තා.

ඊට පස්සේ එතුමිය සිනේරු පර්වතය මිටට අරගත්තා. මහා පෘථිවිය මුලින්ම පෙරලා කුඩයක් සේ දරාගෙන අහසේ සක්මන් කරනා අයුරු හැමෝටම දකින්ට ලැබුනා.

ඊට පස්සේ සූර්‍යන් හයක් පෑයූ කලක් පරිද්දෙන් පෘථිවිය මුළුමනින්ම රත් වී ගොස් දුම් දමමින් තිබෙනා අයුරු සියලු දෙනාට දකින්ට ලැබුනා. එවිට කල්පය අවසාන වී මහා පෘථිවිය ගිණිජාලාවෙන් වෙලී ගොස් තිබෙන ආකාරය පෙන්නුම් කරා. බැලූ බැලූ සෑම තැනක්ම ගින්නෙන් වෙලී ගොස් තිබෙන බවක් පෙන්නුම් කළා.

ඊට පස්සේ මුචලින්ද නමැති මහා ගලත්, මහාමේරු පර්වතයත්, මන්දාර පර්වතයත්, දද්දර පර්වතයත් ක්‍රමයෙන් කුඩා කොට, අබ ඇට තරම් කුඩා කොට ඒ සියල්ලම තනි අතින් එකමිටට ගන්නා අයුරු හැමෝටම පෙනුනා.

හිරුමඬල අහසේ පෙනෙද්දී සඳ මඩලකුත් පෙනී ගියා. එතකොට ගෞතමී තෙරණිය සිය ඇඟිලි තුඩින් හිරුමඬලයි සඳ මඬලයි දෙකම වැසුවා. ඊට පස්සේ හැමෝම දැක්කේ හිරු සඳු දහස් ගණනක් ගෞතමී තෙරණියගෙ සිරස මත මුදුන් මල් කඩක් ආකාරයෙන් පිහිටා තිබෙන අයුරුයි.

ඊටපස්සෙ ඕ තොමෝ සිව්මහා සමුදුරෙහි ජල කඳ තමන්ගෙ තනි අත්ලට ගත්තා. එසේ අත්ලට ගත් ජල කඳ අහසේ මුදුනට ගොසින් අත හැරියා. යුගාන්තයට වසිනා මහා වරුසාවක් සෙයින් ඒ ජලකඳ ආයෙමත් සාගරයට ඇද හැලුනා.

ඊට පස්සෙ එතුමිය පිරිස් පිරිවරාගත් සක්විති රාජයෙකුගේ විලාසයෙන් අහසේ මැවී සිටියා. නැවත ඇය නොපෙනී ගොස් මහා ගුරුළු රාජයෙක් වී අහස් කුස වැසෙන තරමට අත්තටු විහිදාගෙන පියාසලා ගියා. නැවතත් ධවල හස්ථි රාජයෙකුගේ වේශයෙන් අහසේ ඇවිදගෙන ගියා. නැවතත් මහා සිංහ රාජයෙකුගේ වේශයෙන් අහසේ ඔබ මොබ දිව ගියා.

නැවතත් ගෞතමී රහත් තෙරණිය පමණක් අහසේ ඉන්නා හැටි කාටත් පෙනී ගියා. එක්වරම, ගණන් නොකළ හැකි තරම් භික්ෂුණීන් වහන්සේලාගෙන් මුළු අහස් කුසම පිරී ගියා. ටික වෙලාවකින් ඒ සියල්ලෝම නොපෙනී ගියා. ගෞතමී තෙරණිය පමණක් අහසේ පෙනුනා. එතකොට ඕ තොමෝ අප මුනිරජාණන් වහන්සේට මෙය කීවා.

“මහා වීරයාණන් වහන්ස, නුඹ වහන්සේගේ බුදු සසුන සම්පූර්ණ කළ මං නුඹ වහන්සේගේ පුංචි අම්මා. සදහම් ඇස් ඇතියාණෙනි, ඉතින් ඒ පුංචි අම්මාටත් උතුම් අරහත්වයට පත්වෙන්ට පුළුවන් වුනා. දැන් ඕ තොමෝ නුඹවහන්සේගේ සිරිපා කමල් වන්දනා කරනවා”

මේ අයුරින් අහස් තලයට වැඩම කොට නොයෙක් ආකාරයෙන් ඉර්ධි ප්‍රාතිහාර්‍යයන් දැක්වූ ගෞතමී රහත් තෙරණිය තුන්ලොව එකළු කරන පහනක් බඳු අප බුදු රජාණන් වහන්සේට වන්දනා කොට එකත්පස්ව වාඩි වී මෙසේත් කීවා.

” මහා මුනිවරයාණන් වහන්ස, මට දැන් උපතින් වයස අවුරුදු එකසිය විස්සක් වෙනවා. වීරයාණන් වහන්ස, මට එය හොඳටෝම සෑහේ. නායකයාණන් වහන්ස, මං පිරිනිවීමට යන්නම්”

එතකොට ප්‍රජාපතී තෙරණියගේ අද්භූත වූ ඉර්ධිබලය ගැන අතිශයින්ම විශ්මයට පත් සියලු පිරිස ඇයට වන්දනා කොට මෙසේ අසා සිටියා.

“අනේ උත්තම ආර්‍යාවනි, ඇත්තෙන්ම මෙබඳු වූ අසිරිමත් ඉර්ධිබල පරාක්‍රමයක් ඔබ තුමීට ලැබුනෙ කොහොමද?”

 ගෞතමී තෙරණි තොමෝ මෙසේ විස්තර කළා.

” පින්වත් දරුවෙනි, සියලු ධර්මයන් පිළිබඳ සදහම් ඇස් ඇති ‘පියමතුරා’ (පදුමුත්තර ) නම් තුන්ලොව දිනූ බුදුරජාණන් වහන්සේ නමක් මෙයට කල්ප ලක්ෂයකට කලින් ලෝකයෙහි පහළ වුනා. ඉතින් ඒ කාලේ මාත් ඒ හංසවතී නගරයේ මහා ධනවත් අමාත්‍ය පවුලක උපන්නා. අපට සෑම දේකින්ම අඩුපාඩුවක් නැතුව තිබුණා. හොඳ සරුසාරයි. ඉතින් ඇතැම් අවස්ථා වලදී මං දාසි සමූහයා පිරිවරාගෙන මහා පිරිවරින් යුතුව අපගේ පියාණන්දෑ සමග ඒ පියමතුරා නරෝත්තමයාණන් වහන්සේව බැහැදකින්ට යනවා.

පින්වත් දරුවෙනි, ඒ සම්බුදු රජාණෝ මට පෙනුනේ සක්විති රජෙක් වගේ. ඒ මුනිරජාණෝ දහම් අමා වැසි වැස්සුවා. ඒ නිකෙලෙස් නායකයාණන් වහන්සේ බැබළීගොස් තිබුනේ පායන කාලයේ අහසේ නැඟුනු හිරුමඩලක් වගේ. මහා මුනිඳාණන්ව දුටු මාගේ සිත ගොඩක්ම පැහැදුනා. ඒ මුනිඳුන්ගේ අසිරිමත් සුභාෂිත දහම් පද අසා මං තව තවත් පැහැදුනා. එදා ලෝකනාථයන් වහන්සේ තමන් වහන්සේගේ පුංචි අම්මාව සිටි භික්ෂුණියට අග්‍ර ඨානාන්තර දී වදාරන අයුරු මං බලා සිටියේ පුදුමාකාර ආසාවකින්.

ඉතින් මාත් අටලෝ දහමින් අකම්පිත පියමතුරා මහා මුනිඳුන්ට සත් දවසක් මුලුල්ලේ මහ දන් පූජා කර ගත්තා. සංඝයා වහන්සේ සහිත ඒ නරශ්‍රේෂ්ඨයන් වහන්සේට නොයෙකුත් පුද පූජාවන් පැවැත්තුවා. ඊට පස්සෙ මං ඒ මහා වීරයාණන් වහන්සේගේ සිරිපා කමල් අභියස වැඳ වැටී ඒ පුංචි අම්මා භික්ෂුණිය ලැබූ අග තනතුර මටත් කවදා හෝ ලැබේවා! කියා ප්‍රාර්ථනාවක් කළා. එතකොට ඒ මහා ඉසිවරයාණන් වහන්සේ මහා පිරිස් මැද මං ගැන මෙසේ වදාලා.

“පින්වත්නි, සංඝයා සහිත වූ ලෝකනාථයන් වහන්සේට සත් දිනක් මුළුල්ලෙහි දන්පැන් වැළඳ වූ යම් මේ කුලාංගනාවක් සිටී ද, මං දැන් මැයගේ අනාගතය ගැන කරුණු පවසන්නෙමි. මා කියනා මෙය අසන්ට.

මෙයින් කල්ප ලක්ෂයක් ඇවෑමෙන් ඔක්කාක නම් වූ රාජ වංශයෙහි ගෞතම නාමයෙන් යුක්තව තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් ලෝකයෙහි පහළ වන්නාහ. එදාට ඒ ගෞතම බුදු සසුනේ අද දන් පිදූ මේ කුලාංගනාවෝ ගෞතමී යන නාමයෙන් යුක්තව ධර්ම දායාදයක්ව, ධර්මයෙන් නිර්මිතව, තථාගත ළයෙහි උපන් ශාස්තෘ ශ්‍රාවිකාවක් වන්නී ය. මෝ තොමෝ ඒ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය හදා වඩා පෝෂණය කරන පුංචි අම්මා බවට පත්වන්නී, පැවිදිව බොහෝ කල් ගත කළ චිරරාත්‍රඥී භික්ෂුණිය බවටත් ඒ බුදු සසුනේ අග තනතුරු ලබන්නී ය”

පියමතුරා බුදුරජාණන් වහන්සේ මා ගැන වදාල අනාගත වාක්‍යය අසා මං අපමණ ප්‍රීති සතුටකට පත් වුනා. ඒ මුනිඳාණන් වහන්සේට දිවි හිමියෙන් ම ඇප උපස්ථාන කළ මං අනිත්‍ය ධර්මයට අනුව කළුරිය කළා. ඊටපස්සෙ මං උපන්නෙ තව්තිසා දෙව්ලොවයි. සියලු සැපයෙන් සමෘද්ධිමත්ව සිටි මං ඒ තව්තිසා දෙව්ලොව දස කරුණෙකින් සියළු දෙවියන් අභිබවා ගියා. රූපයෙනුත්, ශබ්ධයෙනුත්, ගන්ධයෙනුත්, රසයෙනුත්, පහසිනුත්, ඒ වගේම ආයුෂයෙනුත්, රූප සෝභාවෙනුත්, සැපයෙනුත්, ඒ වගේම යස පිරිවරිනුත්, අධිපතිභාවයෙනුත් අනිත් දෙවිවරුන් අභිබවා ගියා. මගේ දිව්‍යමය වූ ජීවිතය සෑම අතින්ම බැබළුනා. එදා මං ඒ දෙව්ලොව සිටියදී සක්දෙව් මහරජුගේ ආදරණීය මහේෂිකාව බවට පත් වුනා.

සංසාරයේ සැරිසරා යද්දී කර්මය නමැති මහා සැඩ සුළඟින් ගසාගෙන ගොස් මං ආයෙත් වතාවක් මේ දඹදිව කාශි රජ්ජුරුවන්ගේ යටතේ පැවතුන දාස ගම්මානයක උපන්නා.

ඒ කාලේ ඒ දාස ගම්මානයේ අඩු නැතුව ම පන්සියයක දාස පිරිසක් වාසය කළා. ඒ දාසයන් අතර සියල්ලන්ට වඩා ජේෂ්ඨ වූ යම් දාසයෙක් සිටියා ද, ඔහුගේ බිරිඳ වශයෙනුයි මං වාසය කළේ. ඔය කාලයේ පන්සියයක් පසේ බුදුරජාණන් වහන්සේලා අපි ජීවත් වූ ගමටත් පිණ්ඩපාතේ වැඩියා. උන්වහන්සේලාව දැක ගන්ට ලැබීම නිසා හැමෝගෙම සිත පැහැදුනා. ඉතින් මං අනිත් නෑයන් එක්ක එකතු වෙලා අසළ වනගත පෙදෙසක කුටි පන්සියයක් තැනෙව්වා. සාර මාසයක් ම ඒ කුටිවල උන් වහන්සේලාව වඩාහිඳුවාගෙන ප්‍රණීත දන් පැන් වලින් ඇප උපස්ථාන කළා. වස් අවසානයේ දී අපි උන්වහන්සේලාට තුන් සිවුරුත් පූජා කරගත්තා. අපේ සැමියාත් ඒ පින්කම ගැන සිත සිතා සතුටු වුනා.

ඒ මිනිස් ආත්මෙන් චුතවෙලා ආයෙමත් අපි උපන්නේ තව්තිසා දෙව්ලොවයි. අපේ ස්වාමිවරු අපත් සමඟ ම එහි උපන්නා. දැන් මේ අන්තිම ආත්මභාවයෙත් ඒ අපි හැමෝම දෙව්දහ නුවර එකටම යි උපන්නේ.

මේ ආත්මයේ මාගේ පියාණන් වූයේ අඤ්ජන ශාක්‍ය රජ්ජුරුවෝ. සුලක්ඛණා දේවී තමයි මගේ මෑණියෝ. සරණ බන්ධනයට පත් වූ නිසා⁣ දෙව්දහ නුවරින් පිටත් වෙලා කිඹුල්වත් නුවර සුද්ධෝදන රාජ මාළිගයට අපි ආවා. පන්සියයක් පසේබුදුරජාණන් වහන්සේලාට දන්පැන් පිදූ ආත්මයේ දාසියෝ වෙලා සිටි අනිත් කාන්තාවෝ මේ ආත්මයේ උපන්නේ දෙව්දහ නුවර ශාක්‍ය රාජ වංශයේ ම යි. ඒ ශාක්‍ය කුලාංගනාවෝ ශාක්‍ය රජවරුන්ගේ බිරින්දෑවරු බවට පත් වුනා. ඒ හැමෝම අතරින් විශිෂ්ඨව සිටිය මං තුන්ලොව දිනූ මුනිඳාණන්ව හදාවඩා පෝෂණය කළ කිරි අම්මා වුනා.

ඉතින් මං හැදූ වැඩූ ඒ අසිරිමත් පුත් රුවන ගිහි ජීවිතේ අත්හැර අබිනික්මන් කළා නොවැ. දෙව් මිනිසුන්ව නිවන් මග හික්මවන බුදුරජාණන් වහන්සේ බවට පත්වුනා……පස්සේ මමත් ඒ ශාක්‍ය කුලාංගනාවන් පන්සිය දෙනා ත් සමග ගෞතම බුද්ධ ශාසනයේ පැවිදි වෙලා හිට නුවණැති, වීර්යවත් වූ ඒ ශාක්‍ය කාන්තාවන් හා එක්ව නිවී සැනහී ගිය ඒ අමා නිවන පසක් කළා. එදා පන්සියයක් පසේ බුදුරජාණන් වහන්සේලාට උපස්ථාන කළ ආත්මයේ දාසයන් වශයෙන් සිටිය අපගේ ස්වාමිවරු අපත් සමග ම එකට පින් කොට, දැන් ගෞතම සම්බුදු සසුන බබුළුවන අරහත් මුනිවරු ! සුගතයන් වහන්සේ වෙතින් ලද මහා අනුකම්පාව නිසා ඒ හැමෝටමත් උතුම් අර්හත්වයට පත්වෙන්ට පුළුවන් වුනා.”

ගෞතමී මහ තෙරණිය මෙය පැවසුවාට පසු අනිත් පන්සියක් රහත් තෙරණීන් වහන්සේලා අහසට පැනනැංගා. මහත් වූ ඉර්ධි බලයෙන් යුක්තව අහස්කුස දිලෙන තාරුකා සෙයින් බැබළී සිටියා.

ඒ තෙරණීන් වහන්සේලාත් නොයෙකුත් අයුරින් ඉර්ධි ප්‍රාතිහාර්ය දැක්වූවා. ඉතා දක්ෂ අයුරින් රන්කරුවෙක් රනක් ලැබ එය මැනවින් පිරිසිදු කොට ආභරණ තැනීමට සුදුසු ලෙස පදම් කොට එයින් අනේක සුන්දර වූ රන් අබරණ තනා පෙන්වන්නේ යම් සේ ද, එසෙයින් ම විචිත්‍ර ආකාරයෙන් අනේකවිධ ඉර්ධි ප්‍රාතිහාර්යන් දක්වා සඟ පිරිස් සහිතව වැඩ හුන්, උතුම් සදහම් වදාරන අප මුනීන්ද්‍රයන් වහන්සේව සතුටට පත් කළා. ඊට පස්සෙ ඒ සියලු රහත් තෙරණීන් වහන්සේලා අහසින් බිමට වැඩියා. සත්වැනි මහා සෘෂිවරයන් වහන්සේව වන්දනා කළා. නරෝත්තමයන් වහන්සේගෙන් අවසර ලැබෙන පරිදි ඒ ඒ තැනින් වාඩිවුනා.

” මහා වීරයාණන් වහන්ස , අහෝ…! ආශ්චර්යයි… ! අපගේ ගෞතමී මහා තෙරණි තොමෝ අපි හැමෝම ගැන මහත් අනුකම්පාවෙන් යුක්තයි… ! නුඹ වහන්සේගේ මහා කුසල් බලයෙන් පිහිට ලැබූ අපටත් ආශ්‍රවයන් ප්‍රහාණය කොට අර්හත්වයට පත් වෙන්ට පුළුවන් වුනා.

අපිත් සියළු කෙලෙස් දවා නැතිකර දැම්මා. කාම, රූප, අරූප, යන භවත්‍රය ම මුලින් ම සිඳ බිඳ නසා දැම්මා. යදම් වරපට සිඳ බිඳ දමා වනයට ගොස් නිදහසේ සැරිසරා යන ඇතින්නියන් සෙයින් අපි ද ආශ්‍රව නැතිකොට සැපසේ වාසය කරනවා. බුද්ධ ශ්‍රෙෂ්ඨයන් වහන්සේ වෙත එදා අපි ආ ගමන සත්තකින් ම ඉතාමත් යහපත් පැමිණීමක් වුනා. අපිත් ත්‍රිවිද්‍යාව සාක්ෂාත් කළා. උතුම් බුදු සසුන සම්පූර්ණ කරගත්තා. අපිත් අර්ථ, ධර්ම, නිරුක්ති, ප්‍රතිභාන යන සතර පටිසම්භිදාවන් ලබාගත්තා. අෂ්ට විමෝක්ෂයනුත් සාක්ෂාත් කළා. ඒ වගේම ඉර්ධිවිධ ඤාණය, දිව්‍ය ශ්‍රවණ ඤාණය, පරචිත්ත විජානන ඤාණය, පුබ්බේ නිවාසානුස්සති ඤාණය, දිබ්බචක්ඛු ඤාණය, හා ආසවක්ඛය ඤාණය, යන සය වැදෑරුම් අභිඥාවන් අපිත් ලබාගත්තා. උතුම් බුදු සසුන සම්පූර්ණ කරගත්තා.

මහා මුනිවරයාණන් වහන්ස , අපි ඉර්ධීන් වශී කරලයි තියෙන්නේ. දිව්‍යශ්‍රවණ ඤාණයත්, පරචිත්ත විජානන ඤාණයත් හොදින් ප්‍රගුණ කොට ඒවා වශීභාවයට පත් කරගත්තා. පෙර විසූ කඳ පිළිවෙළ ගැන දැන් අපිත් දන්නවා. දිවැස් නුවණත් හොඳට පිරිසිදු කර ගත්තා. කාමාශ්‍රව, භවාශ්‍රව, දිට්ඨාශ්‍රව, අවිජ්ජාශ්‍රව යන මේ සියළු ආශ්‍රවයන් ක්ෂය කොට දැම්මා. දැන් ඉතින් අපට නැවත භවයක් හැදෙන්නේ නෑ. මහා වීරයාණන් වහන්ස , අප තුළ තිබෙනා යම් අර්ථ පටිසම්භිදාවක් ඇද්ද, ධර්ම පටිසම්භිදාවක් ඇද්ද, නිරුක්ති පටිසම්භිදාවක් ඇද්ද, පටිභාන පටිසම්භිදාවක් ඇද්ද, මේ සිව් වැදෑරුම් පටිසම්භිදා ඤාණය අප තුළ උපන්නේ නුඹ වහන්සේ ඉදිරියේ ම යි.

නායකයාණන් වහන්ස , අපි ඉතාමත් මෛත්‍රී චිත්තයෙන් ම යි අපගේ ශාස්තෘන් වහන්සේව ඇසුරු කළේ. මහා මුනිවරයාණන් වහන්ස , අනේ අපටත් පිරිනිවන් පාන්ට අවසර දෙන සේක්වා…!

එවිට තුන්ලෝ දිනූ අප මුනිඳාණෝ මෙසේ වදාළා. ” අපටත් පිරිනිවන් පාන්ට ඕනෑය කියා මෙසේ පවසන්නියන් හට මං වෙන කුමක් කියන්ට ද…! යම් පිරිනිවීමක් පිණිස ඔබ කල් බලා සිටියා ද , ඒ කාලය දැන් දැනගන්න.”

එතකොට මහා ප්‍රජාපතී ගෞතමී තෙරණියෝ අනික් රහත් තෙරණින් වහන්සේලාත් සමග අප භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කළා. අසුනෙන් නැගිට පිටත්ව ගියා.

ඒ අවස්ථාවේදී මහාවීර වූ තුන්ලෝකාග්‍ර වූ ලෝකනාථයන් වහන්සේ මහා ජන සමූහයා සමගින් කූටාගාර ශාලා දොරකොටුව තෙක් සිය පුංචි අම්මා අනුව වැඩම කොට වදාළා.

එකල්හි ගෞතමී තෙරණියෝ අනිත් මෙහෙණින් වහන්සේලා සමග නැවතත් අවසාන වතාවට ශාස්තෘන් වහන්සේගේ පා කමල් වන්දනා කරමින් ලෝකබන්ධු වූ බුදුරජාණන් වහන්සේගේ පාමුල වැඳ වැටුනා.

” අපගේ ලෝකනාථයන් වහන්ස, මේ දෑසින් මං දකින්නේ මාගේ අන්තිම දැක්ම යි. අමෘතයට ආකරයක් වූ නුඹ වහන්සේගේ ඔය අසිරිමත් මුවමඬල ආයෙ කිසිදාක මට දකින්ට ලැබෙන්නේ නෑ……

මහා වීරයාණන් වහන්ස, නුඹ වහන්සේගේ ඔය සියුමැලි සිරිපා යුග කොපමණ වැන්දත් ඇතිවෙන්නේ නෑ. තුන්ලෝකාග්‍ර මුනිඳාණන් වහන්ස , මට ඔය ශ්‍රී පාද පද්මය ස්පර්ශ කරන්ට ඕනෑ. එසේය…මං අද පිරිනිවීමට යනවා නොවැ…

නුඹ වහන්සේ වදාළ සත්‍ය ධර්මය අවබෝධ කරගත්තාට පස්සෙ මට මේ රූප කායෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද ? මේ සෑම දෙයක් ම හටගෙන තියෙන්නේ හේතුඵල දහමට අනුව යි. සෑම දෙයක් ම අස්වැසිලි රහිත යි. ඒ වගේම වැඩිකල් පවතින්නේ නෑ…”

ඊට පස්සෙ මහා ප්‍රජාපතී ගෞතමී තෙරණි තොමෝ අනිත් රහත් තෙරණින් වහන්සේලා සමඟ බිමට යොමුකළ නෙතින් මෙහෙණවර අසපුවට වැඩියා. වැඩමකොට අර්ධ පළඟක් බැඳගෙන උතුම් ආසනයේ වැඩ සිටියා. එවිට බුද්ධ ශාසනය කෙරෙහි පහන් සිත් ඇති උපාසිකාවෝ ගෞතමී තෙරණියගේ පිරිනිවන් පෑමේ පුවත අසා එතුමිය වන්දනා කර ගැනීමට මෙහෙණවරට එක්රැස් වුනා. ඒ උපාසිකාවෝ ළයෙහි අත් ගස ගසා හඬමින් වැලපෙමින් බිම හැපෙන්ට පටන් ගත්තා. මුල් සිඳී ගිය ලියවැල් සෙයින් පොළොව මත ඇද වැටුණා..

” අයියෝ…! සත්තකින් ම අපට පිහිට පිළිසරණ වූ අපට රැකවරණ සලසාලූ උත්තමාවියනි, අපි හැමෝම ඔබතුමිය ඉදිරියේ සිරසින් වැඳ වැටී එක ම දෙයයි ඉල්ලා සිටින්නේ. අනේ අපව අත්හැර දමා දැන් ම පිරිනිවන් පාන්ට එපා මගෙ උත්තමාවී….!!!

එතකොට ඒ උපාසිකාවන් අතර සිටි සැදැහැවැත් වූත් නුවණැති වූත් යම් ප්‍රධාන තැනැත්තියක් වූවා ද, ඇයගේ හිස අතගා පිරිමදිමින් අප ප්‍රජාපතී ගෞතමී තෙරණියෝ මෙසේ කීවා.

” පින්වත් දරුවෙනි , මාර බන්ධනයට අනුගතව තිබෙන්නා වූ මේ හැඬීම් , වැළපීම්, ශෝක කිරීම්වලින් පලක් නෑ. හේතුඵල දහමට අනුව හටගත් සෑම දෙයක ම ස්වභාවය අනිත්‍ය වී යෑමයි. එක්වන සෑම දෙයක් ම වෙන් වීමෙන් අවසන් වෙනවා. නිරන්තරයෙන් ම වෙනස් වෙනවා”

ඊට පස්සෙ අපගේ ගෞතමී තෙරණි තොමෝ ඒ උපාසිකාවන්ව බැහැරට පිටත් කළා. උතුම් ප්‍රථම ධ්‍යානයට සමවැදුනා. දෙවැනි ධ්‍යානයටත් , තුන්වෙනි ධ්‍යානයටත් , සතරවැනි ධ්‍යානයටත් සමවැදුනා…

ඊට පස්සෙ පිළිවෙලින් ආකාසානඤ්චායතනයට සමවැදුනා. විඤ්ඤාණඤ්චායතනයට සමවැදුනා. ආකිඤ්චඤ්ඤාායතනයට සම වැදුනා. නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සම වැදුනා. නිරෝධ සමාපත්තියටත් සමවැදුනා.

ඊට පස්සෙ ප්‍රතිලෝම වශයෙන් නිරෝධ සමාපත්තියෙන් මිදී නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවැදුනා. එයින් මිදී ආකිඤ්චඤ්ඤායතනයටත් සම වැදුනා. මේ ක්‍රමයෙන් ප්‍රථම ධ්‍යානය දක්වා එකිනෙක ධ්‍යානවලට සමවැදුනා. නැවතත් ප්‍රථම ධ්‍යානයේ සිට දෙවැනි , තුන්වෙනි , සතරවෙනි ධ්‍යානයන්ට සමවැදුනා.

සතරවෙනි ධ්‍යානයෙන් නැගී සිටි සැණින් තෙල් රහිත වූ පහනක් නිවී යන්නේ යම්සේ ද , එසෙයින් ම අපගේ මහා ප්‍රජාපතී ගෞතමී මහරහත් තෙරණී තොමෝ පිරිනිවන් පෑවා…. !!!!!!! එකෙණෙහි ම ……….මහා පෘථිවිය කම්පා වී ගියා ………..අහස පුරා විදුලි කෙටිලි පැතිරී පොළවට වැදුනා ………….. !!!!!!

අහස් කුස මහත් බැගෑ හඬකින් ……… ගුගුරා ගිගුම් දුන්නා ……..දෙවියෝ හඬා වැලපෙන්ට පටන් ගත්තා…..අහසේ සිට පොළවට දිවමල් වරුසා ඇදහැලෙන්නට පටන් ගත්තා…….

රංගභූමියක් මැද රඟ දෙන නළුවෙකු සෙයින් මහාමේරු පර්වතය ……සැලි සැලී …… කම්පා වෙන්ට පටන් ගත්තා…..ශෝකයෙන් බැගෑපත් වූ කලෙක සෙයින් මහා සාගරය ද ශෝකාකූල වූ …….. ඝෝෂාවක් කරන්ට පටන් ගත්තා……

එකෙණෙහි දෙවියෝත් , නාගයෝත් , අසුරයෝත් , බ්‍රහ්මයෝත් මහා සංවේගයට පත්ව මෙසේ පවසා සිටියා. ” අහෝ ……..!!! මේ අර්හත් වූ උත්තමාවී යම් ආකාරයකින් නිවී ගියා ද , ඒකාන්තයෙන් ම හේතුඵල දහමින් සකස් වූ සෑම දෙයක් ම අනිත්‍ය යි …………..

” අහෝ මේ නිකෙලෙස් මහා මුනිවරු , මුනිවරියන්ගේ පිරිනිවන් පෑම නම් මේ මහා පෘථිවිය ට ……. මේ මහා අහස් කුසට…. මේ මහා සාගරයට මහාමේරු පර්වතයටත් නම්……. දරාගත නොහැකියී………. නොහැකිමයි …….එතරම් ම මේ නිකෙලෙස් සිත් ආශ්චර්යයි…..! ඒකාන්තයෙන් ම අසිරිමත් ම යි…ඒකාන්තයෙන් ම ආශ්චර්යයක් ම යි …..!
නැවතත්….නැවත නැවතත්……
ඒ මහා උත්තමාවියට අපගේ හදපිරි නමස්කාරය වේවා….!!!!!

ශාස්තෘන් වහන්සේගේ උතුම් අනුශාසනා අනුව ම හැසිරුනු යම් තෙරණින් වහන්සේලා මෙතුමිය පිරිවරාගෙන වාසය කළා ද, ඒ සියලු තෙරණිවරු තෙල් නැතිවීමෙන් නිවී යන පහන් සිළු සෙයින් උපාදාන නැතිවීමෙන් නිවී ගියා…!

‘අහෝ..! සියළු එක්වීම් වෙන්වීම් අවසන් කොට ඇත්තේ ය…….. අහෝ..! හේතුඵල දහමින් සකස් වූ සෑම දෙයක් ම අනිත්‍ය යි……… අහෝ..! උපන් ජීවිතය නැසීයාම අවසන් කොට ඇත්තේ ය….’ මේ ආදී දේ කියමින් ඒ දෙවි දේවතාවෝ හඬා වැලපෙන්නට පටන් ගත්තා.

ඒ අවස්ථාවේ දෙවියෝත් බ්‍රහ්මයෝත් අපගේ සත්වැනි මහා ඉසිවරයන් වහන්සේ වෙත එළඹුනා. එළඹ සාදරයෙන් වන්දනා කොට ලෝදහම අනුව කාලානුරූපීව කටයුතු කළා. එවිට අපගේ ශාස්තෘන් වහන්සේ ශ්‍රැතිසාගර වූ ආනන්දයන් වහන්සේ අමතා මෙසේ වදාළා.

” ආනන්දයෙනි, ඔබ යන්ට. බුද්ධ මාතාවගේ පිරිනිවීම ගැන භික්ෂු සංඝයාට දැනුම් දෙන්ට..”

ගෞතමී මහා තෙරණියගේ පිරිනිවීම නිසාවෙන් ආනන්දයෙන් තොරවූ අපගේ ආනන්දයන් වහන්සේ කඳුළු වැකීගිය දෙනෙතින් යුතුව , පැටලිලි ස්වරයෙන් යුක්තව,

” පින්වත් භික්ෂූන් වහන්සේලා මෙහි එක්රැස් වෙත්වා…! නැගෙනහිර – දකුණ – බටහිර – උතුරු යන දිසාවන්හි වැඩවාසය කරන සුගතයාණන් වහන්සේගේ පුත්‍ර වූ භික්ෂූන් වහන්සේලා මාගේ වචනය අසත්වා…! අප මුනිදාණන් වහන්සේගේ මේ අවසන් ආත්මයේදී තමන් වහන්සේව ඇති දැඩි කොට පෝෂණය කළ යම් මව් තොමෝ කෙනෙක් සිටියාහු ද, ඒ ගෞතමී තෙරණී තොමෝ හිරුමඬල උදාවූ විට නොපෙනී යන තාරුකාවක් සෙයින් නිවී සැනැහී පිරිනිවන් ගියා ය. යම් තැනකට එතුමිය ගියවිට අපගේ පංච නේත්‍රයන් වහන්සේ පවා කිසිදා එතුමිව නොදක්නා සේක් ද, ඕ තොමෝ ” බුද්ධමාතා ” යන අසම වූ ප්‍රඥප්ති නාමය පමණක් දෙව් මිනිස් ලෝකයෙහි රඳවා නිවී සැනහී පිරිනිවීමට ගියා ය. සුගතයාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක් යමෙකුගේ සිතෙහි ඇද්ද, අප මහා මුනීන්ද්‍රයන් වහන්සේ යමෙකුට ප්‍රිය වෙද්ද, ඒ බුද්ධපුත්‍රයන් වහන්සේගේ බුද්ධමාතාව කෙරෙහි සත්කාර කෙරෙත්වා…!”

ඉතා දුරින් වැඩසිටි ඇතැම් භික්ෂූන් වහන්සේලා අපගේ ආනන්දයන් වහන්සේගේ වචනය දිවකනින් අසා වහා එතැනට පැමිණිය හ. ඇතැම් භික්ෂූන් වහන්සේලා එතැනට වැඩියේ බුද්ධානුභාවයෙනි. ඉර්ධි බලයන්හි දක්ෂ වූ භික්ෂූන් වහන්සේලා වැඩම කළෝ ඉර්ධියෙනි.

අපගේ මහා ප්‍රජාපතී ගෞතමී තෙරණියෝ යම් ඇඳක සැතපී සිට පිරිනිවන් පෑවා ද, ඒ ඇඳ මුළුමනින් ම රනින් නිමවූ ඉතා අලංකාර වූ උතුම් වූ උස් මුදුන් වහල ඇති රන් සිවිගෙයක තැන්පත් කළේ ය.

ධ්‍රැතරාෂ්ට , විරූඨ , විරූපාක්ෂ , වෛශ්‍රවණ යන ලෝකපාලක සිව්වරම් මහ රජවරු ගෞතමී තෙරණියගේ දේහය තැන්පත් රන් සිවි ගෙය උරහිසින් ඔසවා ගත්තා. පිරිනිවන් පෑ අනිත් තෙරණින් වහන්සේලාගේ යහන් නැංවූ රන් සිවි ගෙවල් සක් දෙවිඳු ආදී කොට ඇති අනිත් දෙවිවරු උරහිසින් ඔසවා ගත්තා.

සියළුම කුළුගෙවල් ගණනින් පන්සීයකි. විස්කම් දිව්‍යපුත්‍රයා විසින් සිය අසිරිමත් දේවානුභාවයෙන් නිමවන ලද ඒ රන්සිවි ගෙවල් දිලිසී ගියේ සරත් කාලයේ අහස් මුදුනෙහි බබළන හිරුමඬල සෙයිනි. ඒ සියලු තෙරණින් වහන්සේලාගේ දේහයන් ඇඳන් මත සතපවා තිබුණා. ඒ සියල්ල ම දෙවියන්ගේ උරහිසට ගන්නා ලදුව ආදාහනය කරනු ලබන ස්ථානය කරා ඔසවාගෙන ගියා. මුළු මහත් අහස්තලය ම අද්භූත වූ වියනකින් වැසී තිබුණා. ඒ් වියන පුරා රනින් කරවන ලද සූර්යයා ද චන්ද්‍රයා ද සහිත වූ තාරුකාවෝ බැබළී තිබුණා.

නොයෙක් ධජ පතාකයන් අහස්කුස එසැවී තිබුණි. අලංකාර මාලා දාමයන්ගෙන් සරසන ලද මල් කඤ්චුකයන් ද හාත්පස පැතිරී තිබුණි. පිපී ගිය නෙලුම් අහස්කුසෙහි එල්බෙමින් තිබුණි. මහා පෘථිවියෙන් අනේක වර්ණයෙන් යුතු අලංකාර මල් මතුවී පිපී ගොස් තිබුණි. හිරුත් සඳත් දෙක ම එක්වර දකින්ට ලැබුණේය. තාරුකාවෝ දකින්ට ලැබුණේය. සඳ එළියෙන් කිසිවෙකුටත් පීඩාවක් නැති සෙයින් එදා මධ්‍යාහ්න හිරුමඬලින් ද කිසිවෙකුට හෝ පීඩාවක් ඇතිවුනේ නෑ.

දෙවි දේවතාවෝ දිව්‍ය සුවඳ වගුරුවමින් රන් සිවිගෙවල් පුදන්නට පටන් ගත්තා. දිව්‍ය පුෂ්පයන්ගෙන් පුදන්නට පටන් ගත්තා. දිව්‍යමය වූ වාද්‍ය වෘන්දයන්ගෙනුත් දිව්‍යමය වූ නෘත්‍යයන්ගෙනුත් දිව්‍යමය වූ සංගීතයෙනුත් පුදන්නට පටන් ගත්තා. නාගයොත් , අසුරයෝත් , බ්‍රහ්මයොත් පිරිනිවී ගිය බුද්ධමාතාව ආදාහන මළුව කරා දෙවිවරුන් විසින් රැගෙන යන ආදාහන පෙරහැරට ශක්ති පමණින් පුද පූජා පැවැත්වූවා.

පිරිනිවී වැඩි සුගතපුත්‍රී වූ ඒ සියළු තෙරණින් වහන්සේලාගේ රන් සිවිගෙවල්, ඉදිරියෙන් වඩමවාගෙන ගියා. අපගේ බුදුරජාණන් වහන්සේ ළදරු අවදියෙහි හදාවඩා පෝෂණය කළ ගෞතමී බුද්ධමාතා⁣වගේ රන් සිවිගෙය සියලු සත්කාර සම්මාන මධ්‍යයේ වඩමවාගෙන යන ලද්දේ අවසානයට ය.

අපගේ මහා ප්‍රජාපතී ගෞතමී තෙරණිය ගේ පිරිනිවන් පෑම අතිශයින් ම පුදුම සහගත ආශ්චර්යජනක දෙයක් විය. එබඳු වූ ආශ්චර්ය බවක් සම්බුද්ධ පරිනිර්වාණයේදීවත් සිදුවූයේ නෑ.

බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයේදී එය දකින්නට බුදුරජාණන් වහන්සේ වැඩ නොසිටි සේක. එසේම සාරිපුත්ත, මහා මොග්ගල්ලාන ආදී අනේක ශ්‍රී ඇති උතුම් භික්ෂු සංඝයා වහන්සේ ද වැඩ නොසිටි සේක. නමුත් ගෞතමී පරිනිර්වාණයේදී බුදුරජාණන් වහන්සේත් වැඩසිටි සේක. සාරිපුත්ත , මහා මොග්ගල්ලාන ආදී අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා ද මහා ශ්‍රාවකයන් වහන්සේලා ද ඒ ආදාහන උත්සවයේදී දකින්නට ලැබුණි.

දෙවියොත් මිනිස්සුත් සියලු සුවඳ වර්ගයන්ගෙන් ඒ චිතකයන් සකස් කරවා රහත් තෙරණීන් වහන්සේලාගේ දේහයන් ඒ මත නංවා ඒ සියල්ල ආදාහනය කළා.

ගෞතමී තෙරණියගේ, අස්ථී ධාතු පමණක් ඉතිරි වී ශරීරගත අවශේෂ සියලු කොටස් සම්පූර්ණයෙන් ම දැවී ගියා. එකල්හි අපගේ ආනන්දයන් වහන්සේ සංවේගය දනවන මේ වචනය පැවසුවා.

” අහෝ..! අපගේ ගෞතමී තෙරණි තොමෝ නිවීමට පත්වී ගියා නොවැ. එතුමියගේ ශරීරයත් දැන් දැවී අවසන් වුනා. මාගේ සිතෙහි සැකයක් උපන්නේය. අනේ…… අපගේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයත් වැඩිකල් නොගොස් සිදුවන්නේ ද ??? “

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේගේ මෙහෙයවීමෙන් අපගේ ආනන්දයන් වහන්සේ ගෞතමී මහා තෙරණියගේ අස්ථී ධාතූන් වහන්සේලා ඇයගේ ම පාත්‍රයට පුරවාගෙන ලෝකනාථයන් වහන්සේගේ ශ්‍රී හස්තයට ලබා දුන්නා. ඒ අස්ථී ධාතූන් වහන්සේලා පිරි පාත්‍රය ශ්‍රී හස්තයෙන් පිළිගත් සත්වැනි අපගේ මහා ඉසිවරයන් වහන්සේ මෙසේ වදාළා.

” ඉතා සාරවත් අරටුව සහිත වූ මහා වෘක්ෂයක් තිබෙන්නේ යම්සේ ද, ඒ මහා වෘක්ෂයේ කඳ අනිත්‍යතාවය නිසා වෙන් වී වැනසී යන්නේ යම් ආකාරයකින් ද, එසෙයින් ම භික්ෂුණී සංඝයාගේ මහත් වූ සාරවත් කඳ බඳු ගෞතමී පිරිනිවී ගියාය…!

අහෝ..! ආශ්චර්යයකි. මා හැදූ වැඩූ අම්මා සිය සිරුර පමණක් ඉතිරි කොට පිරිනිවී ගිය කල්හිත් මාගේ සිතෙහි කිසි ශෝක වැලපීමක් හට නොගනී..! බිහිසුණු සංසාර සාගරය ඕ තරණය කළාය..! සියලු දුක් සෝතැවුල් ඕ නසා දැම්මාය..! සිසිල් වී ගියාය..! සොඳුරු වූ නිවීමකට පත්වී ගියාය..! මේ ගැන අන්‍යයන් විසින් සෝක නොවිය යුත්තේය.

මහණෙනි , ගෞතමී පිළිබඳව මෙසේ දරා ගනිව්..’ ඕ තොමෝ නුවණැති වූවා ය. මහා ප්‍රාඥ වූවාය. පැතිරගිය පුළුල් ප්‍රඥාවෙන් යුතු වූවාය. භික්ෂුණීන් අතර පැවිදිව බොහෝ කල් ගතකළ තැනැත්තී චිරරාත්‍රඥී වූවාය. ඒ ගෞතමී තොමෝ ඉර්ධි විෂයෙහි වශීප්‍රාප්ත වූවාය. දිව්‍ය ශ්‍රවණයෙහිත් පරචිත්ත විජානන ඤාණයෙහිත් වශීප්‍රාප්ත වූවාය. අර්ථ , ධර්ම , නිරුක්ති , ප්‍රතිභාන යන සතර පටිසම්භිදාවෙහි එතුමිය තුළ තිබූ ඤාණය ඉතා පිරිසිදු ය. එහෙයින් ගෞතමීගේ පරිනිර්වාණය යනු ශෝකාකූල වීමට කරුණක් නොවේ. යකඩ කුළුගෙඩියකින් යකඩයකට පහර දුන් කල්හි දැල්වෙන ගිනි පපුරු විසිවී ගොස් නොපෙනී යයි. ඒ ගින්න ගිය තැනක් සොයාගත නොහැක්කේ ය. දකින්නට නැත්තේ ය. එසෙයින් ම සියලු කෙලෙසුන්ගෙන් මනා කොට මිදී ගිය , කාම බන්ධන සහිත කෙලෙස් සැඩපහර මනාකොට තරණය කළ , අචල වූ අමා නිවනට පත්වූ රහතන් වහන්සේ හට දිව්‍ය වූ මනුෂ්‍ය ආදී උපතක් පනවන්නට නැත්තේය…

එහෙයින් මහණෙනි , තමාව පිහිට කොට ගෙන වාසය කරව්…! සතර සතිපට්ඨානයට යොමු කරගත් සිත් ඇතිව වාසය කරව්…! සති , ධම්මවිඡය , විරිය , ප්‍රීති , පස්සද්ධි , සමාධි , උපේක්ෂා යන බොජ්ඣංග ධර්මයන් ප්‍රගුණ කොට මේ බිහිසුණු සසර දුක අවසානයකට පත් කරව්……. !!! “

ඇසුර : ‘ප්‍රජාපතී ගෞතමී මහරහත් තෙරණින් වහන්සේ පිරිනිවන් පෑ අවසන් මොහොත’ කෘතිය | අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

යා මහාපඤ්ඤා පුථුපඤ්ඤා – භික්ඛුනීනං රත්තඤ්ඤූ
සා ගෝතමී මහා පජාපතී – මාතුච්ඡා බුද්ධ සෙට්ඨස්ස 
සරණං කත්වා භික්ඛුනී සංඝං – පරිනිබ්බුතා මහාගෝතමී නමාමී.

යම් මහා ස්ථවිරාවක් මහා ප්‍රඥාවෙන් යුක්ත වූවා ද , පැතිර ගිය පුළුල් ප්‍රඥාවෙන් යුක්ත වූවා ද , භික්ෂුණින් අතර චිරාත් කල් පැවිදිව සිටියා ද , ඕ තොමෝ ගෞතමී මහා ප්‍රජාපතී ය. බුද්ධ ශ්‍රෙෂ්ඨයන් වහන්සේගේ පුංචි අම්මා ය. භික්ෂුණී සංඝයාට සරණක් වී පිරිනිවන් වැඩි මහා ගෞතමී තෙරණියට නමස්කාර කරමී…