මණිචෝර ජාතකය
බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයේ වැඩ වාසය කරන සේක් බුදුරජුන් මැරීමට උත්සාහ කළ දෙව්දත් තෙරුන් මුල් කරගෙන මෙම ජාතක දේශනය වදාළ සේක.
එකල්හි වනාහි බුදුරජාණන් වහන්සේ දෙව්දත් තමන් වහන්සේ ඝාතනය කිරීමට උත්සාහ කරතියි අසා “මහණෙනි! දැන් පමණක් නොව පෙරත් මොහු මට මරණය පමුණුවන්න උත්සාහ කෙළේය. එසේ උත්සාහ කළත් මාව මරන්නට නොහැකි වී ය” යි වදාරා අතීත කථාව ගෙනහැර පෑ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ බරණැසට නුදුරෙහි ගමක ගහපති කුලයෙහි උපන්හ. ඉක්බිති වැඩිවියට පත් ඔහුට බරණැසින් කුලදුවක ගෙනාහ. ඈ ප්‍රිය මනාප ය. මනා රූ ඇත්තී ය. දැකුම්කලු ය. දිව්‍ය අප්සරාවක වැනි ය. නැලවෙන මල්වැලක් වැනි ය. මත් කිඳුරියක් වැනි ය. නමින් සුජාතා නම් විය. පතිවත රකින්නී ය. මනා පැවතුම් ඇත්තී ය. වත් පිළිවෙත් රකින්නී ය. හැමවිටම ස්වාමියාගේ වත්, නැන්දා මාමාගේ වත් නොපිරිහෙළා ඉටු කරන ලද්දී ය. ඈ බෝසතාණන් වහන්සේට ඉතා ප්‍රියමනාප වූවා ය. මේ අන්දමින් දෙදෙනා සතුටු වෙමින් සමාන සිත් ඇතිව සමගියෙන් වාසය කළාහු ය.
ඉක්බිති එක්දිනක් සුජාතාව ‘මව්පියන් දකිනු කැමැත්තෙමි’ යි බෝසතාණන් වහන්සේට දැන්වූවා ය. හෙතෙම ‘යහපති සොඳුරිය, මාර්ගෝපකරණ අවශ්‍ය තරම් සූදානම් කරව’යි කැවිලි විශේෂ සූදානම් කරවාගෙන කැවිලි ආදිය යානාවක තබාගෙන යානය පදවමින් යානය ඉදිරියේ සිටියේ ය. සුජාතාව පසුපස වූවා ය. ඔවුන් නුවර සමීපයට ගොස් වාහනය මුදවා, නා, අනුභව කළාහු ය. නැවතත් බෝසතාණන් වහන්සේ යානය සූදානම් කර ඉදිරියෙන් හිඳගත්හ. සුජාතාව වස්ත්‍ර මාරුකොට සැරසී පිටුපසින් හිඳ ගත්තා ය.
යානය ඇතුළු නුවරට පිවිසි කල්හි බරණැස් රජු ඇතෙකු පිට නැගී නගරය පැදකුණු කරන්නේ ඒ පෙදෙසට ගියේ ය. සුජාතාව යානයෙන් බැස පසුපස පයින් ගමන් කළා ය. රජතුමා ඈ දැක ඇගේ රූසපුවෙන් ඇදගනු ලැබූ ඇස් ඇතිව ඈ පිළිබඳව සිත් ඇතිව එක් ඇමතියෙකු අමතා “යව! ඇයට සැමියෙකු ඇති බව හෝ සැමියෙකු නැති බව හෝ දැනගනුව” යි යැවීය. ඔහු ගොස් ඇයට සැමියෙකු ඇති බව දැන “දේවයන් වහන්ස! සැමියෙකු සිටී. යානයේ සිටි පුරුෂයා ඇගේ සැමියා ය” යි කීවේ ය.
රජතුමා ඇය ගැන බැඳුණු සිත වෙනස් කරන්නට නොහැකිව කෙලෙස් වසභව එක් උපායකින් ඔහු මරවා ඔහුගේ බිරිඳ ගන්නෙමි’යි සිතා, එක් පුරුෂයෙකු අමතා “යව, එම්බල මේ සිළුමිණ විථියෙහි යන්නෙකු මෙන් වී ඒ පුරුෂයාගේ යානාවට දමා එව” යි සිළුමිණ දී යැවී ය.
ඔහු “යහපතැ” යි, එය ගෙන ගොස් යානාවෙහි තබා, “දේවයන් වහන්ස! මා විසින් මැණික තබන ලදැයි” දැන්වී ය.
රජතුමා, “මාගේ සිළුමිණ නැති වී ය” යි කීවේ ය. මිනිස්සු මහත් කෝලාහලයක් කළාහු ය. රජතුමා සියලු දොරටු වසා සංචාරය නවත්වා, සොරා සොයන්න’යි කීවේ ය. රාජ පුරුෂයෝ එසෙ කළාහු ය. නගරය එකම කැළඹීමක් විය. අනිත් පුරුෂයා මිනිසුන් රැගෙන බෝසතුන් සමීපයට ගොස්,
“එම්බල යානය නවත්වව්. රජතුමාගේ සිළුමිණ නැතිවිය. යානය පරීක්‍ෂා කරන්නෙමු” යි කීවේ ය.
හෙතෙම යානය පරික්ෂා කරමින් තමා විසින් තබන ලද මැණික ගෙන බෝසතුන් අල්ලාගෙන ‘මැණික් හොරා’ යයි අත්වලට හා පාවලට තලා අත් පිටුපසට තබා බැඳ පමුණුවා, ‘මේ මැණික් හොරාය’ යි රජුට දැක්වී ය. රජතුමා “මොහුගේ හිස සිඳින්න” යි අණ කෙළේ ය. ඉක්බිති රාජ පුරුෂයෝ ඔහුට කසපහර හතර හතර බැගින් තලමින් දකුණු දොරටුවෙන් නගරයෙන් පිටමං කළාහු ය.
සුජාතාව ද යානය හැර දෑත් ඔසවාගෙන හඬා වැළපෙමින් “ස්වාමීනි! මා නිසා මේ දුකට පැමිණියේ ය” යි වැළපෙමින් පසුපස්සේ ගියා ය.
රාජපුරුෂයෝ ‘මොහුගේ හිස සිඳෙන්නෙමු’ යි බෝසතාණන් වහන්සේ උඩුකුරුව හින්දවූහ. ඒ දැක සුජාතාව තමාගේ සීල ගුණය ආවර්ජනා කොට “මේ ලෝකයේ සිල්වතුන් වෙහෙසන පව්කාර සැහැසි මිනිසුන් වලකා මැඩලිය හැකි දෙවි දේවතාවන් ඒකාන්තයෙන් නැතැ” යි සිතමි යනාදිය කියා වැළපෙමින්,
න සන්ති දෙවා පවසන්ති නූන
සහනූන සන්ති ඉධි ලොකපාලා
සහසා කරොන්තානං අසඤ්ඤතානං
නහනුන සන්ති පටිසෙධිතාරො
යන ගාථාව කීවා ය.
“මේ ලෝකයේ සිල්වතුන් දෙස බලන්නා වූ පව් වලක්වන දෙවියෝ ඒකාන්තයෙන් නැතැයි සිතමි…… මෙබඳු ක්‍රියා ඇතිවූ විට ඒකාන්තයෙන් ඒ දෙවියෝ බැහැර යෙතියි සිතමි……. මේ ලෝකයේ ලෝකපාලක සම්මත, සිල්වතුන්ට අනුග්‍රහ කරන මහණ බමුණෝ ද ඒකාන්තයෙන් නැතැයි සිතමි…… වහා, නොවිමසා සැහැසි දරුණු ක්‍රියා කරන්නා වූ දුශ්ශීලයන්ගේ දරුණු ක්‍රියා වළකන්නෝ ද……. ‘මෙබඳු ක්‍රියා නො කරව්. මෙබඳු ක්‍රියා කරන්න නොලැබෙන්නේ’ ය යනුවෙන් ඔවුන් වළක්වන්නෝ ද නැතැයි සිතමි…..”
මෙසේ සිල්වත් වූ ඇය වැළපෙමින් කියන විට සක්දෙව් රජු හුන් ආසනය උණුසුම් ආකාරයක් දැක්වී ය. එවිට ශක්‍රයා කවරෙක් මා සක්දෙව් පදවියෙන් පහකරනු කැමැත්තෝදැ’ යි සිහිපත් කරන්නේ මේ කරුණ දැන, “බරණැස් රජු ඉතා දරුණු ක්‍රියාවක් කරයි. සිල්වත් සුජාතාව වෙහෙසයි. දැන් මම එහි යන්නට වටි” යි යයි දෙව්ලොවින් බැස, තමන්ගේ ආනුභාවයෙන් ඇතුපිට හිඳ යන්නා වූ ඒ පවිටු රජ ඇතුපිටින් බස්සවා දංගෙඩියෙහි උඩුකුරුව හිඳුවා, බෝසතාණන් වහන්සේ ඔසවා තබා සියලු ආභරණයෙන් සරසා රජ වෙස් ගන්වා ඇතුපිට ඉන්දවී ය. පොරොව ඔසවාගෙන සිටි, හිස සිඳින්නෝ (වධකයා) රජුගේ හිස සින්දෝ ය. සිඳි අවස්ථාවේ දී රජුගේ හිස බව දැනගත්හ.
සක්දෙවිඳු පෙනෙන සිරුරෙන් යුතුව බෝසතුන් සමීපයට ගොස් බෝසතාණන් වහන්සේට රාජාභිෂේකයත් සුජාතාවට අගමෙහෙසි තනතුරත් දෙවී ය. ඇමතිවරු ද බමුණු ගෘහපති ආදීහු ද සක්දෙව් රජ දැක “අදැහැමි රජු මරන ලදී. දැන් අප විසින් ශක්‍රයා විසින් දෙන ලද දැහැමි රජෙක් ලබන ලදී” යයි සොම්නසට පත්වූහ. සක් දෙවිඳු ද අහසේ සිට,
“මේ තොපට ශක්‍රයා දුන් රජතුමා ය. මෙතැන් පටන් දැහැමින් රාජ්‍යය කරවන්නේ ය. යම් විදියකින් රජ අදැහැමි වෙයිද? අකල්වැසි වසියි. සුදුසු කලට වැසි නොවසියි. සාගිනි බිය, රෝග බිය හා ආයුධ බිය ඇතිවෙයි. මේ භය තුන පහව නොයන්නේ ය” යි ඔවා දෙමින්,
අකාලෙ වස්සති තස්ස කාලෙ තස්ස න වස්සති
සගාව වවතිට්ඨානා නනුසො තාවතා හතො
යන ගාථාව කීවේ ය.
“අදැහැමි රජුන් රජකරන රාජ්‍යයෙහි නොකල්හි; ගොයම් පැසෙන කාලයෙහි හෝ කපන පාගන කාලයෙහි හෝ වැස්ස වසියි. සුදුසු කල්හි; වපුරණ කාලයේ පූදින්න ආසන්නයේ හෝ බණ්ඩි කාලයේ නොවසී. ඒ අදැහැමි රජ, දෙව්ලොව නො ඉපදීයි. ඒකාන්තයෙන් ඒ අදැහැමි රජ එපමණින්ම (සුගති උපත අහිමිකර ගැනීමෙන් ම) නැසුනේ නොවේ, අටමහා නිරයන්හි ද සොළොස් ඔසුපත් නිරයන්හි ද හෙතෙම නසනු ලබන්නේ ය”
සක් දෙවිඳු මෙසේ මහජනයාට අවවාද දී තමන්ගේ දෙව්ලොවට ම ගියේ ය. බෝසතාණන් වහන්සේ ද දැහැමෙන් රාජ්‍ය කොට සර්ගයට ගියේ ය.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව ගළපා වදාළ සේක.
එකල අදැහැමි රජ දෙව්දත් ය. සක් දෙවිඳු අනුරුද්ධ ය. සුජාතාව රාහුල මාතාව (යශෝධරාව) ය. සක්කදත්තිය (ශක්‍රයා දුන්) රජ වනාහි මම ම වූවෙමි යි වදාළ සේක.