"දන් නොදී ගිජු උනොත් මොකද වෙන්නේ?"
සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රේතයෙකුට උපකාර කරයි
ඛුද්දක නිකාය | පේතවත්ථු | 2.1. සංසාරමෝචක පේත වත්ථු
ඔබේ ඇඟේ නූල් පොටක් නෑ. හරිම විරූපියි. කෙට්ටුයි. නහරවල් පෑදිලා තියෙනවා. ඉලඇට ඉලිප්පිලා තියෙනවා. කෙට්ටු සිරුරක්. මෙතැන ඉන්න ඔබ කවුද?
අනේ ස්වාමීනී, මං මේ දුකේ වැටිල ඉන්නෙ. මං යමලෝකෙ උපන් පෙරේතියක්. මගේ අතින් පව්කම් කෙරිල තමයි මනුස්ස ලෝකෙන් පෙරේත ලෝකෙට ගියේ.
ඔබ විසින් කයෙන් වචනයෙන් මනසින් මොන වගේ පවක්ද කර ගත්තෙ? මොන වගේ කර්මයක විපාකයක් නිසාද මිනිස් ලෝකෙන් පෙරේත ලෝකෙට ආවෙ.?
අනේ ස්වාමීනි, මට අනුකම්පා කරන්ට කවුරුවත් හිටියේ නෑ. තාත්තවත් අම්මාවත් වෙන නෑදෑයෙක්වත් හිටියෙ නෑ. හිත පහදවා ගෙන ශ්‍රමණ බ්‍රාහ්මණයින්ට දානෙ ටිකක් දෙන්න කියල ඔය කවුරුවත් මාව පෙළඹෙව්වෙ නෑ.
පිපාසයෙන්, තණ්හාවෙන් කා දමන මට මේ විදිහට නිර්වස්තරෙන් තව අවුරුදු පන්සියයක් කල් ජීවත් වෙන්ට වෙනවා. මං කරගත්තු පාපකර්මවල විපාක තමයි මේ. පින්වත් ආර්යයන් වහන්ස, මං මුඹ වහන්සේට වන්දනා කරනවා. මහා ආනුභාව ඇති ප්‍රාඥයන් වහන්ස, මට අනුකම්පා කරන සේක්වා! යම් කිසි දෙයක් දන් දීල මට පින් දෙන සේක්වා! අනේ ස්වාමීනි, මාව මේ අපා දුකෙන් මුදවන සේක්වා!
ප්‍රේතිය කෙරෙහි අනුකම්පාවෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ, හොඳයි කියල පිළිතුරු දුන්නා. භික්ෂුන් වහන්සේලාට බත් පිඬකුත් රියනක විතර රෙදි කැබැල්ලකුත් පැන් භාජනයකුත් පූජා කළා. ඊට පස්සෙ ඇයට ඒ පින අනුමෝදන් කළා.ඒ පින් දීපු සැණින්ම පුණ්‍ය විපාකය පහළ වුණා. භෝජන, වස්ත්‍ර, පැන් ආදී සැප සම්පත් පහළ වුනා. මේක තමයි දානයෙහි ඵලය. එතකොට ඇගේ සිරුර පිරිසිදු වුනා. පවිත්‍ර වස්ත්‍රවලින් සැරසුනා. ඒ වස්ත්‍ර කසීසළුවලටත් වඩා උතුම්. විචිත්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසුණු ඒ තැනැත්තිය සාරිපුත්තයන් වහන්සේ වෙත එළඹුනා.
පින්වත් දෙව්දුව, ඔබ ඔය සුන්දර රූපෙන් බැබලෙමින් ඉන්නෙ හැම දිසාවක්ම බබුළුවන ඕසධී තාරුකාවක් වගේ. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුනේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුනේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුනේ මොන වගේ පිනකින්ද?මහානුභාව ඇති පින්වත් දෙව්දුව, මිනිස් ලෝකෙ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔබ බැබලි බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා.
ලෝකයේ කාරුණික මුනීන්ද්‍රයන් වහන්ස, මුඹවහන්සේ මාව දැක්කා. ඒ මං පඬු පාටවෙලා, කෙට්ටු වෙලා, මහා බඩගින්නකින්, නිර්වස්තරයෙන්, කැඩුණු බිඳුණු අතපය ඇති සිවියකින් තමයි හිටියේ. භික්ෂුන් වහන්සේලාට බත් පිඬකුත් රියනක විතර රෙදි කැබැල්ලකුත් පැන් භාජනයකුත් පූජා කළා. ඊට පස්සෙ මට ඒ පින අනුමෝදන් කළා. බත් පිඬුවක පුණ්‍ය විපාකය දැක වදාළ මැනැව. මං දැන් අවුරුදු දාහකට ඇති වෙන්න අනේක ප්‍රණීත රසමසවුළු ඇතිව කැමති විදිහට බත් කනවා. රියනක් පමණ රෙදි කැබැල්ලක පුණ්‍ය විපාකය දැක වදාළ මැනැව.
නන්ද රජ්ජුරුවන්ගෙ රාජධානියෙහි යම් තාක් රෙදිපිළි ඇත්නම්, ස්වාමීනි, ඊටත් වඩා බොහෝ වස්ත්‍ර මට තියෙනවා. මට කසී සළු තියෙනවා. කම්බිලි තියෙනවා. පට රෙදි තියෙනවා. කපු රෙදි තියෙනවා. හරි විශාල, වටිනා රෙදිපිළි ආකාසයේ එල්ලෙනවා. ඉතින් මං කැමැති වෙන්නේ යම් යම් රෙදිවලටද ඒවා තමයි මං හැඳගන්නෙ.
පැන් බඳුනක පුණ්‍ය විපාකය දැක වදාළ මැනැව. හරීම ලස්සන පොකුණක් මැවිල තියෙනවා. ඒක හතරැස්. ගැඹුරුයි.ඒකෙ වතුර ටික හරි සීතලයි. සිනිඳු වැල්ල තියෙනවා. ලස්සන තොට තියෙනවා. සුවඳ විහිදෙන නෙළුම්, මහනෙල් පිපිල තියෙනවා. මල් රේණු වතුරේ ඉහිරිලා තියෙනවා. ඒ මං දැන් මොකේකටවත් භයක් නෑ. හරි සතුටින් කෙලිසෙල්ලමින් ඉන්නෙ. ඉතින් ස්වාමීනි, ලෝකයෙහි කාරුණික මුනිවරයාණන් වහන්සේ නමක් වන මුඹවහන්සේට වන්දනා කරගන්ටයි මං මේ ආවේ.
"අපගේ අතීත ඥාතීන්ගේ දුක් වේදනා අඩු කරන්නේ කෙසේද?"
සාරිපුත්ත මහරහතන් වහන්සේගේ (පෙර ජීවිතයක) අම්මා
ඛුද්දක නිකාය | පේතවත්ථු | 2.2. සාරිපුත්තථේරස්ස මාතු පේත වත්ථු
ඔබේ ඇඟේ නූල් පොටක් නෑ. හරිම විරූපියි. කෙට්ටුයි. නහරවැල් පෑදිලා තියෙනවා. ඉලඇට ඉලිප්පිලා තියෙනවා. කෙට්ටු සිරුරක්. මෙතැන ඉන්න ඔබ කවුද?
අනේ මං මීට කලින් ආත්මභාවවල ඔබවහන්සේගේ වැදූ අම්ම වෙලා ඉඳල තියෙනවා. එහෙව් මං පෙරේත ලෝකයේ උපන්නා නෙව. මහා බඩගින්දරින් මං දැන් පෙළෙනවා. බැහැර කරපු කාරල විසි කරන කෙල, සොටු, සෙම, පිළිස්සෙන මළ සිරුරුවලින් උතුරන වුරුණු තෙල්, දරුවන් වදද්දි ගලන ලේ, තුවාලවලින් වැගිරෙන ලේ, සැරව, නාසා හිස ආදිය කැපුණාම ගලන ලේ, ස්ත්‍රී පුරුෂ ශරීරවලින් ගලන වෙනත් අසූචි මං අනුභව කරන්නෙ බඩගින්දර ඉවස ගන්න බැරි නිසාමයි. සත්තුන්ගේත්, මිනිස්සුන්ගේත් ලේ සැරව තමයි මං අනුභව කරන්නෙ. අනේ මට පිහිටක් නෑ. ඉන්න තැනක් නෑ. මං අමු සොහොන් ඇඳම පිහිට කර ගෙනයි ඉන්නෙ. අනේ පුතණුවන් වහන්ස, දානයක් දෙන සේක්වා! ඒ පින මට අනුමෝදන් කරන සේක්වා! මේ ලේ සැරව අනුභව කරන ජීවිතෙන් මට නිදහස් වෙන්ට ඇත්නම් මොනතරම් දෙයක්ද?
කාරුණික උපතිස්සයන් වහන්සේ ඒ පෙර භවයේ මෑණියන්ව සිටි තැනැත්තියගේ වචනයට සවන් දුන්නා. මහා මොග්ගල්ලාන, අනුරුද්ධ, කප්පින තෙරුන් වහන්සේලාටත් අමතා වදාළා. හතරැස් කුටියක් හැදුවා. හදල ඒ කුටිය සිව්දිසාවෙන් වඩින සංඝරත්නයට පූජා කළා. ඒ කුටියත් ආහාරපාන ආදියත් පූජා කිරීමෙන් ලත් පින මව්ට අනුමෝදන් කළා.ඒ පින් දීපු සැණින්ම පුණ්‍ය විපාකය පහළ වුනා. භෝජන, වස්ත්‍ර, පැන් ආදී සැප සම්පත් පහළ වුනා. මේක තමයි දානයෙහි ඵලය. එතකොට ඇගේ සිරුර පිරිසිදු වුනා. පවිත්‍ර වස්ත්‍රවලින් සැරසුනා. ඒ වස්ත්‍ර කසීසළුවලටත් වඩා උතුම්. විචිත්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසුණු ඒ තැනැත්තිය කෝලිතයන් වහන්සේ වෙත එළඹුනා.
පින්වත් දෙව්දුව, ඔබ ඔය සුන්දර රූපෙන් බැබලෙමින් ඉන්නෙ හැම දිසාවක්ම බබුළුවන ඕසධී තාරුකාවක් වගේ.ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුනේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේව ලැබුනේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුනේ මොන වගේ පිනකින්ද?
මහානුභාව ඇති පින්වත් දෙව්දුව, මිනිස් ලෝකෙ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔබ බැබලි බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා.
මං මීට කලින් ආත්මභාවවල සාරිපුත්තයන් වහන්සේගේ වැදූ අම්මා වෙලා ඉඳල තියෙනවා. එහෙව් මං පෙරේත ලෝකයේ උපන්නා නෙව. මහා බඩගින්දරින් මං පෙලුනා. බැහැර කරපු කාරල විසි කන කෙල, සොටු, සෙම, පිළිස්සෙන මළ සිරුරුවලින් උතුරන වුරුණු තෙල්, දරුවන් වදද්දි ගලන ලේ,තුවාලවලින් වැගිරෙන ලේ, සැරව, නාසා හිස ආදිය කැපුනාම ගලන ලේ, ස්ත්‍රී පුරුෂ ශරීරවලින් ගලන වෙනත් අසූචි මං අනුභව කළේ බඩගින්දර ඉවස ගන්න බැරි නිසාමයි. සත්තුන්ගේත්, මිනිස්සුන්ගේත් ලේ සැරව තමයි මං අනුභව කළේ. අනේ මට පිහිටක් තිබුනෙ නෑ. ඉන්න තැනක් තිබුනෙ නෑ, මං අමු සොහොන් ඇඳම පිහිට කරගෙනයි හිටියේ.
සාරිපුත්තයන් වහන්සේගේ දානය නිසා මට දැන් මොන භයක්වත් නෑ. මං සතුටෙන් ඉන්නෙ. ස්වාමීනි, ලෝකයෙහි කාරුණික මුනිඳුන් වන මුඹවහන්සේට වන්දනා කරගන්ටයි මං මේ ආවේ.
"සුළු අකුසල ක්‍රියාවන් පවා අපමණ දුක් විඳීමට හේතු විය හැක."
මත්තා නම් ප්‍රේතිය
ඛුද්දක නිකාය | පේතවත්ථු | 2.3. මත්තා පේත වත්ථු
ඔබේ ඇඟේ නූල් පොටක් නෑ. හරිම විරූපියි. කෙට්ටුයි. නහරවැල් පෑදිලා තියෙනවා. ඉලඇට ඉලිප්පිලා තියෙනවා. කෙට්ටු සිරුරක්. මෙතැන ඉන්න ඔබ කවුද?
ඒ කාලෙ මගෙ නම මත්තා. ඔබට කිව්වෙ තිස්සා කියල. අපි දෙන්නම එකම ස්වාමියාගේ බිරින්දෑවරුන් වෙලා හිටියේ. අනේ මං පව් කරගත්තු නිසයි මේ පෙරේත ලෝකෙට එන්ට සිද්ධ වුනේ.
ඔබ විසින් කයෙන් වචනයෙන් මනසින් මොන වගේ පවක්ද කරගත්තෙ? මොන වගේ කර්මයක විපාකයක් නිසාද මිනිස් ලෝකෙන් පෙරේත ලෝකෙට ආවෙ.
මං ඒ කාලෙ හරි නපුරුයි. ඵරුස වචන කියනවා. ඊර්ෂ්‍යා කළා. මසුරුයි. කෛරාටිකයි. මං ඒ නපුරු වචන කතා කරල තමයි මේ පෙරේත ලෝකෙ ඉපදුනේ.
ඔව්, ඔය කියන හැම දෙයක්ම මං දන්නවා. ඔබ ඒ කාලෙ හරි නපුරු තමයි. මං දැන් අහන්නේ වෙනින් දෙයක්. ඔය මුළු ඇඟේම පස් තැවරිලා තියෙන්නෙ මොන කර්මයක් නිසාද?
ඔබ හොඳට හිස සෝදලා වතුර නාලා හිටියා. ලස්සනට ඇඳගෙනත් හිටියා. එතකොට මං කළෙත් ඔබටත් වඩා ලස්සනට තව තව අලංකාර වෙච්ච එකයි.
එතකොට මං බලාගෙන හිටියා. ඔබ ස්වාමියත් එක්ක කතාබස් කළා. එතකොට මං තුළ ඇති වුනේ පුදුමාකාර ඊර්ෂ්‍යාවක්. මට ක්‍රෝධය ඇති වුනා.
මං පස් අහුරක් අරගෙන ආවා. ඒ පස්වලින් ඔබට දමල ගැහුවා. අන්න ඒ කර්මයේ විපාකයන් තමයි පස් තැවරුණු ශරීරයක් ලැබුනේ.
ඔව්, ඔය කියන හැම දෙයක්ම මං දන්නවා. ඔබ ඒ කාලෙ පස්වලින් දමල ගැහුවා තමයි. මං දැන් අහන්නේ වෙනින් දෙයක්. ඔය මුළු ඇඟම කස කසා ඉන්නෙ මොන කර්මයක් නිසාද?
අපි දෙන්නම බෙහෙත් සොයන්ට වනාන්තරයට ගියානෙ. ගිහින් ඔබ බෙහෙත් අරගෙන ආවා. නමුත් මං අරගෙන ආවේ කහඹිලියා ගෙඩි.
ඒක ඔබ දැනගෙන හිටියෙ නෑ. මං ඔබ නිදා ගන්න ඇඳේ ඒ කහඹිලියා ගෙඩි විසිරෝල දැම්මා. අන්න ඒ කර්ම විපාකයෙන් තමයි මං මේ කහ කහ ඉන්නෙ.
ඔව්, ඔය කියන හැම දෙයක්ම මං දන්නවා. ඔබ ඒ කාලෙ කහඹිලිය විසිරෝල දැම්ම තමයි. මං දැන් අහන්නේ වෙනින් දෙයක්. ඔබ ඔය නිරුවස්තරෙන් ඉන්නෙ මොන කර්මයක් නිසාද?
දවසක් යාළුවෝ ඔක්කොම එකතු වුනා. නෑදෑයොත් එකතු වුනා. ඒකට මගේ ස්වාමියත් එක්ක එන්න කියල ආරාධනා ලැබුනේ ඔබටයි. මට ආරාධනා ලැබුනේ නෑ.
මං ඔබේ වස්ත්‍රයක් හොරකම් කළා. ඒක ඔබ දැනගෙන හිටියෙ නෑ. අන්න ඒ කර්ම විපාකයෙන් තමයි මං නිර්වස්තරෙන් ඉන්නෙ.
ඔව්, ඔය කියන හැමදෙයක්ම මං දන්නවා. ඔබ ඒ කාලෙ මගේ වස්ත්‍රයක් හොරකම් කළා තමයි. මං දැන් අහන්නේ වෙනින් දෙයක්. ඔය තරම් අසූචි ගඳ ගහන්නෙ මොන කර්මයක් නිසාද?
ඔබ සතුව තිබුණ සුවඳ වර්ග, මල්මාලාවක්, වටිනා සුවඳ විළවුන් මං වැසිකිළි වලක දැම්මා. ඒක මගේ අතින් සිදුවුන පවක්. අන්න ඒ කර්ම විපාකයෙන් තමයි මං මේ තරම් අසූචි ගඳ ගහන්නෙ.
ඔව්, ඔය කියන හැම දෙයක්ම මං දන්නවා. ඔබ ඒ කාලෙ ඔය වගේ පව් කළා තමයි. මං දැන් අහන්නේ වෙනින් දෙයක්. ඔබ ඔය තරම් දුකට පත්වෙලා ඉන්නෙ මොන කර්මයක් නිසාද?
ඒ ගෙදර තිබුණු ධනය අපි දෙන්නටම සමානව ලැබිල තිබුනා. දන් පින්කම් කරන්ට වස්තුව තිබෙද්දි පවා තමන්ට පිහිට පිණිස මං පින්කම් කළේ නෑ. අන්න ඒ කර්ම විපාකයෙන් තමයි මං මෙච්චර දුකට පත් වුනේ. ඒ කාලේ ඔබ මට මෙහෙම කිව්වා. ‘නුඹ නම් කරන්නෙම පව්මයි. පව් කරල නම් සුගතියේ උපත ලේසියෙන් ලබන්ට බෑ’ කියල.
ඔබ මාව සැළකුවේ තනිකරම විරුද්ධකාරියක් හැටියටයි. ඒ වගේම ඔබ මට ඊර්ෂ්‍යා කළා. දැන් ඉතින් පේනවා නේද පව්වල විපාක කොයි වගේද කියල.
ඔබේ ගෙදර හිටපු දාසියන්, ඔබ පැළඳු ආභරණ දැන් ඉතින් පරිහරණය කරන්නෙ වෙන උදවිය නෙ. සැප සම්පත් කියල කියන්නෙ සදාකාලික දේවල් නොවෙයි.
දැන් භූත නම් වූ මගේ පුතාගේ තාත්ත කඩපිලේ ඉඳල එනවා. එතකොට මං ඔබට මොනවා හරි දෙන්නම්. එතකං මෙතනින් යන්න ඕන නෑ.
අනේ මං නිරුවස්තරෙන් ඉන්නෙ. මං විරූපියි. කටු ටික විතරයි. නහරවැල් පෑදිලා. ස්ත්‍රීන්ට මේක ලැජ්ජාවට කරුණක්. භූතගේ තාත්තට මාව පෙනෙන්ට එපා.
එහෙමනම් මං මොනවාද ඔබට දෙන්නෙ. මං යමක් ඔබට දීල ඔබ සියලු සම්පත් ලබාගෙන සුවපත් වෙනවා නම් මං මොන වගේ දෙයක්ද කරන්ට ඕන.?
භික්ෂු සංඝයාගෙන් සංඝයා හැටියට භික්ෂූන් වහන්සේලා හතර නමකුයි ඒ වගේම පෞද්ගලික වශයෙනුත් භික්ෂූන් වහන්සේලා හතර නමකුයි කියන භික්ෂූන් අට නමකට දානය වළඳවන්න. ඒ පින මට අනුමෝදන් කරන්න. එතකොට මං සුවපත් වේවි. සියලු සැප සම්පත්වලින් සමෘද්ධිමත් වේවි.
ඇය ‘හොඳයි’ කියල පිළිතුරු දුන්නා. භික්ෂූන් වහන්සේලා අට නමකට දන් වැළඳෙව්වා. සිවුරු පිරිකර පූජා කරගත්තා. ඒ පින ඇයට අනුමෝදන් කළා.
ඒ පින් දීපු සැණින්ම පුණ්‍ය විපාකය පහළ වුනා. භෝජන, වස්ත්‍ර, පැන් ආදී සැප සම්පත් පහළ වුනා. මේක තමයි දානයෙහි ඵලය.
එතකොට ඇගේ සිරුර පිරිසිදු වුනා. පවිත්‍ර වස්ත්‍රවලින් සැරසුනා. ඒ වස්ත්‍ර කසීසළුවටලත් වඩා උතුම්. විචිත්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසුණු ඒ තැනැත්තිය සම බිරිඳක්ව සිටි තිස්සා වෙත එළඹුනා.
පින්වත් දෙව්දුව, ඔබ ඔය සුන්දර රූපෙන් බැබලෙමින් ඉන්නෙ හැම දිසාවක්ම බබුලුවන ඕසධී තාරුකාවක් වගේ.
ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුනේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේව ලැබුනේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුනේ මොන වගේ පිනකින්ද?
මහානුභාව ඇති පින්වත් දෙව්දුව, මිනිස් ලෝකෙ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා.
ඒ කාලෙ මගේ නම මත්තා. ඔබට කිව්වේ තිස්සා කියල. අපි දෙන්නම එකම ස්වාමියාගේ බිරින්දෑවරුන් වෙලා හිටියේ. අනේ මං පව් කරගත්තු නිසයි මේ පෙරේත ලෝකෙට එන්ට සිද්ධ වුනේ.
ඔබ දීපු දානෙ නිසා මට දැන් කිසි භයක් නෑ. මං සතුටින් ඉන්නෙ.
නංගියේ, ඔයාල හැමෝම නෑදෑයනුත් සමග බොහෝ කලක් ජීවත් වෙත්වා!
සුන්දර තැනැත්තිය, මේ ජීවිතයේදී ම ධර්මයේ හැසිරිලා, මුල් සහිතව ම මසුරුමල දුරු කරලා, දන් දෙන ඔබට නින්දා රහිත දෙව් ලොවට යන්ට පුළුවනි.
"පරුෂ කතා සහ නරක ක්‍රියාවන් ගෙන එන්නේ අයහපත් ප්‍රතිඵල පමණි."
නන්දා නම් ප්‍රේතිය
ඛුද්දක නිකාය | පේතවත්ථු | 2.4. නන්දා පේත වත්ථු
ඔබ හරි කළුයි. හරිම විරූපියි. පෙනුම නපුරුයි. දකින කොට භය හිතෙනවා. ඇස් රතුයි. දත් කළුයි. මං හිතන්නෙ ඔබ මනුස්ස ස්ත්‍රියක් නම් වෙන්ට බෑ.
අනේ නන්දසේන, මං නන්දා. ඔයාගේ ඉස්සර බිරිඳ නෙ. මගේ අතින් පව් කෙරුනා. ඒකයි මේ පෙරේත ලෝකෙ ඉපදුනේ.
ඔබ විසින් කයෙන් වචනයෙන් මනසින් මොන වගේ පවක්ද කර ගත්තෙ? මොන වගේ කර්මයක විපාකයක් නිසාද මිනිස් ලෝකෙන් පෙරේත ලෝකෙට ආවෙ.
මං ඒ කාලෙ හරි නපුරුයි. ඵරුස වචන කිව්වා. මං ඔයාට කිසිම ගෞරවයක් කළේ නෑ. ඒ නපුරු වචන කථා කරල තමයි මේ පෙරේත ලෝකෙ ඉපදුනේ.
හොඳයි, මං එහෙමනම් ඔබට මේ උතුරුසළුව දෙන්නම්. මේ වස්තරය ඇඳගන්න. මේ වස්තරය හැඳගෙන එන්න. මං ඔබව ගෙදර එක්ක යන්නම්. එතකොට ගෙදර ගියාම ඔබට වස්ත්‍ර ලැබෙනවා. කෑම් බීම් ලැබෙනවා. දරුවන්ව බලන්න පුළුවනි. ලේලිලාවත් බලන්න පුළුවනි.
අනේ මට අතින් අතට දෙන දෙයක් අරගන්ට කැප නෑ. වීතරාගී වූ ගොඩාක් බණ දහම් දන්න සීලසම්පන්න භික්ෂූන් වහන්සේලා ඉන්නවා. උන්වහන්සේලාව දන්පැන්වලින් සන්තර්පණය කරවන්න. ඒ පින මට අනුමෝදන් කරන්න. එතකොට මං සුවපත් වේවි. සියලු සැපසම්පත්වලින් සමෘද්ධිමත් වේවි.
ඔහු ‘හොඳයි’ කියල පිළිතුරු දුන්නා. වැළඳිය යුතු දන් පැන් පිළියෙල කරල, සිවුරු පිරිකර පිළයෙල කරල, සේනාසන පිළියෙල කරල මහා දානයක් දුන්න. ඒ වගේම කුඩයක්, සුවඳ වර්ග, මල්, තව විවිද දේවල්වලින් වීතරාගී වූ ගොඩාක් බණ දහම් දන්න සීලසම්පන්න භික්ෂූන් වහන්සේලා සන්තර්පණය කළා. ඒ පින ඇයට අනුමෝදන් කළා. ඒ පින් දීපු සැණින්ම පුණ්‍ය විපාකය පහළ වුනා. භෝජන, වස්ත්‍ර, පැන් ආදී සැප සම්පත් පහළ වුනා. මේක තමයි දානයෙහි ඵලය.එතකොට ඇගේ සිරුර පිරිසිදු වුනා. පවිත්‍ර වස්ත්‍රවලින් සැරසුනා. ඒ වස්ත්‍ර කසීසළුවලටත් වඩා උතුම්. විචිත්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසුණු ඒ තැනැත්තිය තමන්ගේ පැරණි ස්වාමියා වෙත එළඹුනා.
පින්වත් දෙව්දුව, ඔබ ඔය සුන්දර රූපෙන් බැබලෙමින් ඉන්නෙ හැම දිසාවක්ම බබුලුවන ඕසධී තාරුකාවක් වගේ. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුනේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේව ලැබුනේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුනේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව, මිනිස් ලෝකෙ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක්ද?
ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා.
අනේ නන්දසේන, මං නන්දා. ඔයාගේ ඉස්සර බිරිඳනෙ. මගේ අතින් පව් කෙරුනා. ඒකයි මේ පෙරේත ලෝකෙ ඉපදුනේ. ඔබ දීපු දානෙ නිසා මට දැන් කිසි භයක් නෑ. මං සතුටින් ඉන්නෙ. ගෘහපතිය, ඔයාල හැමෝම නෑදෑයනුත් සමග බොහෝ කලක් ජීවත් වෙත්වා! සුන්දර තැනැත්තිය, මුල් සහිතවම මසුරුමල දුරු කරන්ට ඕන. මේ ජීවිතයේ දීම ධර්මයේ හැසිරෙන්ට ඕන. දන් දෙන්ට ඕන. එතකොට සෝක නැති, දුක් රජස් නැති තැන වූ හිතු මනාපෙට ජීවත්වෙන්ට පුළුවන් තැන වූ නින්දා රහිත දෙව් ලොවට යන්න පුළුවනි.
"අපි දන් නොදී, දන් දෙන අයට අපහාස නොකළහොත් කුමක් සිදුවේද?"
ධනවත් ධනපාල
ඛුද්දක නිකාය | පේතවත්ථු | 2.7. ධනපාල පේත වත්ථු
ඔබේ ඇඟේ නූල් පොටක් නෑ. හරිම විරූපියි. කෙට්ටුයි. නහරවැල් පෑදිලා තියෙනවා. ඉලඇට ඉලිප්පිලා තියෙනවා. කෙට්ටු සිරුරක්. නිදුකාණෙනි, මෙතැන ඉන්න ඔබ කවුද?
අනේ පින්වත්නි, මං මේ දුකේ වැටිල ඉන්නෙ. මං යමලෝකෙ උපන් පෙරේතයෙක්. මගේ අතින් පව්කම් කෙරිල තමයි මනුස්ස ලෝකෙන් පෙරේත ලෝකෙට ගියේ.
ඔබ විසින් කයෙන් වචනයෙන් මනසින් මොන වගේ පවක් ද කර ගත්තෙ? මොන වගේ කර්මයක විපාකයක් නිසාද මිනිස් ලෝකෙන් පෙරේත ලෝකෙට ආවෙ?
දසන්න රටවැසියන්ගේ ඒරකච්ඡ කියල ප්‍රසිද්ධ නගරයක් තියෙනවා. මං කලින් ජීවිතයේ දී ඔය නගරයේ සිටුවරයෙක් වෙලා හිටියා. මාව කවුරුත් දැන ගත්තෙ ධනපාල සිටුවරයා කියලයි.
මට අමු රන් විතරක් කරත්ත අසූවක් පුරවලා තිබුනා. රන්, රිදී තව සෑහෙන තරම් තිබුනා. වෛරෝඩි මැණික් මුතු ආදියත් හරියට තිබුනා.
ඉතින් ඔය වගේ මහා ධනස්කන්ධයක් තිබුණු මට දන් දෙන්ට කැමැත්තක් ඇති වුනේම නෑ නෙව. මං ආහාර අනුභව කළේ දොරවල් වහගෙන. යාචකයින්ට මාව දකින්ටවත් ලැබෙන්ට එපා කියල. මට ශ්‍රද්ධාවක් තිබුණෙ නෑ, මං මසුරුයි. කෑදරයි. අනුන්ට හරියට අපහාස කරනවා. දන් දෙන උදවියට, පින් කරන උදවියට මං කරුණු කියල බොහෝ දෙනෙක්ව එයින් වළක්වලා තියෙනවා. දන් දීමෙහි කිසි විපාකයක් නෑ, සිල් රැකල සංවර වෙලා ඇති ඵලේ මොකක්ද? පැන් පොකුණු ලිං වගේම පොදු යහපතට වගා කරවපු උයන් වතු තිබුනා.පාපී සිතින් යුතු මං ඒවා වනසලා දැම්මා. දුර්ග මාර්ගවල තිබුණු ඒදඬුත් වැනසුවා. ඒ මං පින්දහම් කර ගත්තෙ නෑ, පව්ම රැස් කරගෙන මනුස්ස ලෝකෙන් චුත වුනා.
ඉතින් මං පෙරේත ලෝකෙ උපන්නා. බඩගින්නෙන් පිපාසයෙන් පුදුම දුකක් විඳින්නෙ. දැනට මං මිය පරලොව ගිහින් අවුරුදු පනස් පහක් වෙනවා.මං මේ දක්වාම කාපු කෑමක් ගැන, බීපු බීමක් ගැන දන්නෙවත් නෑ. යම් දන් නොදී වැළකී සිටීමක් ඇද්ද ඒකමයි විනාසය. යම් විනාසයක් ඇද්ද ඒකමයි දන් නොදී වැළකී සිටීම.
යම් දන් නොදී වැළකී සිටීමක් ඇද්ද ඒකමයි විනාසය කියන ඔය කාරණය පෙරේතයො දන්නවා. මං ඉස්සර හොඳට දේපල වස්තු තිබෙද්දිත් දීමෙන් වැළකිලා හිටියා. දුන්නෙම නෑ. දන් පැන් පූජා කරගන්නට ඕන කරන දේවල් මං ළඟ තිබෙද්දී තමන්ට පිහිටක් සලසා ගත්තෙ නෑ. දැන් මං පසුතැවි තැවී ඉන්නවා. පව්වල නම් විපාක ලැබුනා. තව මාස හතරයි මට තියෙන්නෙ. ඊට පස්සෙ මං මේ පෙරේත ලෝකෙන් චුත වෙනවා. තව හාරමාසයකින් පස්සෙ මං මෙහෙන් චුත වෙනවා. එතකොට භයානක වූ කටුක ඝෝර අවිචි මහා නිරයේ තමයි මාව වැටෙන්නෙ.
ඒ නිරයේ කොන් හතරක් තියෙනවා. දොරවලුත් හතරක් තියෙනවා. ඒව කොටස් වශයෙන් ගානට බෙදලයි තියෙන්නෙ. වටේටම තියෙන්නෙ යකඩ පවුරක්. වහල තියෙන්නෙත් යකඩ පියනකින්. ඒ අවීචි මහානරකාදියේ ඇවිලෙන ගිනිදැල් හරිම සැරයි. ඒ යකඩ භූමියේ හැම තිස්සේම යොදුන් සියයක් පුරාවට ගිනිදැල් පැතිරිලා තියෙනවා.
මං එහේ ඉපදිලා දීර්ඝ කාලයක් දුක් විඳින්ට වෙනවා. කරපු පව්වල විපාක තමයි. ඒ නිසා මං ගොඩාක් සෝකයෙන් ඉන්නෙ. පින්වත්නි, දැන් මෙතැන රැස් වූ ඔබ සියලු දෙනාට මං කියන්නෙ. ඔබට යහපතක් වේවා! හොර රහසේවත් එළිපිටවත් පව් කියන ජාතිය නම් කරන්ට එපා! යම් හෙයකින් ඔබ ඉදිරියේදීවත් පව් කරනවා නම් දැනුත් පව් කරනවා නම් ඔබට ගැලවෙන්ට නම් ලැබෙන්නෙ නෑ. අහසට නැගල පලා ගියත් විපාකවලින් ගැලවෙන්ට බෑ. අම්මාට හොඳට සලකන්න. පියාටත් හොඳට සලකන්න. කුල දෙටුවන්ට හොඳට සලකන්න. ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ට හොඳට සලකන්න. එහෙම කරල ඔබ සුගතියේ උපදින්න.
"ඇයි අපි අපේ අතීත ඥාතීන්ට පින් අනුමෝදන් කළ යුත්තේ?
චුල්ලසෙට්ටි නම් ප්‍රේතයා
ඛුද්දක නිකාය | පේතවත්ථු | 2.8. චුල්ලසෙට්ඨි පේත වත්ථු
ස්වාමීනි, ඔබ ඉන්නෙ නිර්වස්තරයෙන්. ඇඟපත කටු ගැහිලා. ඔබ පැවිද්දෙක් නේද? මේ රෑ තිස්සෙ කොහෙද යන්නෙ? මොන කාරණාවකටද? මට ඒ කාරණාව කියන්න. මට පුළුවන් දෙයක් නම් මං ඔබට හැම දෙයින්ම වස්තුව දෙන්නම්.
ලෝකයේ සුප්‍රසිද්ධ නගරයක් තියෙනවා. ඒ තමයි බරණැස් නුවර. මං එහේ ධනවත් ගෘහපතියෙක් වෙලා හිටියා. හැබැයි මට තිබුනේ දීන ගති. මං මේ කාමසම්පත්වලට ගිජු වෙලා හිටියා. දන් දුන්න කෙනෙක් නම් නෙවෙයි. දුස්සීලබව නිසා මං මේ පෙරේත ලෝකෙ ඉපදුනා. ඒ මං කරගත්තු පව් නිසාම බඩගින්නෙන් පෙළෙනවා. මගේ කය ඉඳිකටුවලින් විදිනවා වගේ. කෑම් බීම් ටිකක් හොයාගෙන මං නෑයන් ළඟට යනවා. උන්දැලා දන් දෙන්නෙත් නෑ. දන් දෙන කොට පරලොවදි පුණ්‍ය විපාක ලැබෙන බව උන්දැල පිළිගන්නෙත් නෑ. මගේ දුව නම් නිතරම දානෙ ගැන කියනවා. ‘දෙමාපියන්ට මුතුන් මිත්තන්ට මං නම් දානෙ දෙනවා’ කියල බ්‍රාහ්මණයන් ගෙන්නවල ඒ උදවියට කෑම් බීම්වලින් සලකනවා. මං එතකොට මොනව හරි අනුභව කරන්ට හිතාගෙන අන්ධකවින්දයට යනවා.
එතකොට ඒ රජ්ජුරුවෝ පෙරේතයට මෙහෙම කිව්වා.
ඔබ ගිහින් ඉක්මණට එන්න. මමත් ඔබට පූජාවක් කරන්නම්. ඔබට යම් කිසි අවශ්‍යතාවක් තියෙනවා නම් මට කියන්න. මං ඒ ඇදහිය යුතු ලෙස කරුණ සහිතව කියන දේ අහනවා.
‘එහෙමයි’ කියල ඒ පෙරේතයා දානෙ දෙන තැනට ගියා. බමුණු පිරිස ඒ දානෙ පිළි අරගෙන අනුභව කළා. මාර්ගඵලලාභී ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා ඒ දානෙට වැඩියෙ නෑ. එයා ආයෙමත් රජගහ නුවරට ආවා. අජාසත් රජ්ජුරුවන් ඉදිරියෙහි පහළ වුනා. රජතුමා නැවත ආපු ඒ පෙරේතයාව දැක්කා. දැකලා මෙහෙම කිව්වා.
‘මං ඔබට මොනවාද දෙන්නෙ? ඔබට යම් කිසි දෙයක් අවශ්‍ය නම් මට කියන්න. මං ඔබට බොහෝ කාලයක් සතුටෙන් පිනා යන්න ඕන කරන දේවල් දෙන්නම්.’
රජ්ජුරුවන් වහන්ස, බුදුරජාණන් වහන්සේටත්, ආර්ය සංඝරත්නයටත් දානමාන ආදියෙන් උපස්ථාන කරනු මැනැව. සිවුරුත් පූජා කළ මැනැව. මගේ යහපත උදෙසා මට ඒ පින අනුමෝදන් කළ මැනැව. එතකොට මට බොහෝ කලක් සතුටෙන් පිනා යන්න පුළුවනි.
රජතුමා, ඒ වෙලාවෙම ප්‍රාසාදයෙන් නික්මුනා. තමන්ගේ අතින්ම මහා දානයක් පූජා කරගත්තා. තථාගතයන් වහන්සේට මේ සියලු විස්තරය කියා හිටියා. ඒ ප්‍රේතයාට ඕන කරන පින් ලබාදුන්නා.මේ විදිහට පිනෙන් පුදනු ලැබූ ඒ පෙරේතයා රජ්ජුරුවන් ඉදිරියේ පහළ වුනේ.
දිව්‍ය සෝභාවෙන් අතිශයින්ම බැබලි බැබලි. ‘මං දැන් පුදුමාකාර සැපයකට පත් වුන දෙවියෙක්. මගේ සැප සම්පත්වලට සමාන කරන්ට පුළුවන් සැප ඇති මිනිස්සුවත් නෑ.’ මගේ මේ පුණ්‍යානුභාවය බලනු මැනැව. ඔබතුමා විසින් මට උපකාර කළා. ආර්ය සංඝයා උදෙසා මහා දන් පූජා කළා. දැන් හැම තිස්සේම මං තෘප්තිමත් වෙලයි ඉන්නෙ. නර දේවය, ඒ මං දැන් සුවපත් වෙලයි ඉන්නෙ.