"යහපත් දේ කරන්නන්ට විරුද්ධව පරුෂ වචනයෙන් කතා කිරීම දුක් විඳීමට හේතු වේ."

උත්තරගේ අම්මා

ඛුද්දක නිකාය | පේතවත්ථු | 2.10. උත්තරමාතු පේත වත්ථු

දවල් කාලය භාවනාවෙන් ගත කරන්ට ගං තෙරට වැඩල වාඩිවෙලා හිටිය භික්ෂුවක් ළඟට පෙරේතියක් ආවා. ඈ හරිම විරූපියි. දකින කොට භය හිතෙනවා. ඇගේ කොණ්ඩය ගොඩාක් දිගයි. බිම ඇතිල්ලෙනවා. කෙස්වලින් තමයි ඒ පෙරේතිය ඇඟ වහගෙන ඉන්නෙ. ඒ ශ්‍රමණයන් වහන්සේට ඈ මෙහෙම කිව්වා.
 
මං දැන් මැරිලා ගිහින් පනස්පස් අවුරුද්දක් වෙනවා. මේතාක් කල්ම මං කාපු කෑමක් ගැන බීපු බීමක් ගැන මට දැනීමක් නෑ. අනේ ස්වාමීනි, මං ගොඩාක් පිපාසයෙන් ඉන්නෙ. මට පැන් ටිකක් ඕන කරල තියෙනවා. මට පැන් දෙන සේක්වා!
 
මේ තියෙන්නෙ සීතල දිය දහර ඇති ගංගා නදිය නෙව. හිමාල කන්දෙ ඉඳලයි මේ ගඟ ගලන්නෙ. ඔය ගඟෙන් පැන් අරගෙන පානය කරන්න. එහෙම ඒකේ මගෙන් පැන් ඉල්ලන්නෙ මොකටද?
 
අනේ ස්වාමීනී, මං පැන් ටිකක් බොන්ට ඕන කියල ගඟට යනවා තමයි. නමුත් එතකොට ඒ වතුර ලේ බවට හැරෙනවා. මං ඒ නිසයි පැන් ටිකක් ඉල්ලුවේ.
 
ඔබ කයෙන් වචනයෙන් මනසින් මොන වගේ පාපයක්ද කරගත්තෙ. ගංගාවේ ජලය ලේ බවට හැරෙන්න තරම් විපාකයක් හැදුනේ මොන වගේ කර්මයක් නිසාද?
 
මට හිටියා උත්තර කියල පුතෙක්. හරි ශ්‍රද්ධාවන්තයි. තෙරුවන් සරණ ගිය උපාසකයෙක්. එයා මං අකැමති වෙලා සිටිද්දිම ශ්‍රමණයන්ට දන් දුන්නා.සිවුරු පිණ්ඩපාත සේනාසන ගිලන්පස දුන්නා. එතකොට මසුරුකමෙන් පෙලුන මං එයාට නින්දා අපහාස කළා. ‘එතකොට උඹ මං අකැමැතිව සිටිද්දිම නේද ඔය ශ්‍රමණයන් හට සිවුරු පිණ්ඩපාත සේනාසන ගිලන්පස දුන්නෙ. ඒයි උත්තර, උඹට පරලොවදී ඕව ඔක්කොම ලේ බවට පත් වේවා! ‘ කියල කරගත්තු කර්ම විපාකය නිසයි ගංගා ජලය මට ලේ බවට පත් වුණේ.

"කුඩා ක්‍රියාවකින් පවා අපමණ පින් අත්කර ගත හැකිය"

නූල් පූජාව

ඛුද්දක නිකාය | පේතවත්ථු | 2.11. සුත්ත පේත වත්ථු

මං ඉස්සර පැවිදි වූ භික්ෂුන් වහන්සේ නමකට නූල් පූජා කළා. උන්වහන්සේ වැඩියේ නූල් උදෙසාමයි. ඒ දානයෙන් මහත් වූ විපාක මං දැන් ලබනවා. දැන් මට බොහෝම වස්ත්‍ර යුගල පහළ වෙනවා.
 
මේ විමානය පුරා මල් පිරිල තියෙනවා. රම්‍යයි. හරිම විචිත්‍රයි. දිව්‍ය පුත්‍රයන් දිව්‍ය අප්සරාවන් ගැවසිලා ඉන්න මේ විමානය මමයි පරිභෝග කරන්නෙ. මං කැමති දිව සළු පොරෝනවා. බොහෝ වස්තුව තියෙනවා. ඒවා ඉවර වෙන්නෙ නෑ. ඒ නූල් පූජා කරපු කර්මයේ විපාක වශයෙන්මයි මෙහෙ මට මිහිරත් සැපයත් ලැබෙන්නෙ. ආර්යය පුත්‍රය, මං ආයෙමත් මනුස්ස ලෝකෙට යනවා. මං එහෙදි තවත් පින් කර ගන්නවා. මාව එහෙ පමුණුවන්න.
 
දැන් ඔබ මෙහෙ ඉපදිලා අවුරුදු හත් සියයක් වුනා. දැන් එහෙ ගියොත් වයසට ගිහින් ජරා ජීර්ණ වෙලයි ඉන්ට වෙන්නෙ. ඔයාගෙ ඤාතීන් සියලු දෙනාම දැන් මැරිල ගිහින්. මෙහෙන් එහෙට ගිහිල්ල දැන් ඔයා මොනව කරන්ටද?
 
ස්වාමි පුත්‍රය, දැන් මං මෙහෙ ඇවිදින් අවුරුදු හත්සියයක් මුළුල්ලේ දිව්‍ය සැපයත් මිහිරත් වින්දා තමයි. මං ආයෙමත් මනුස්ස ලෝකෙට යනවා. මං එහෙදි තවත් පින් කර ගන්නවා. මාව එහෙ පමුණුවන්න.
 
එතකොට ඔහු ගොඩාක් වයසට ගිය, ගොඩාක් දුර්වල වෙච්ච ඒ ස්ත්‍රියගේ අතින් ඇදගෙන ඇවිදින් ගමට පමුණුවලා මෙහෙම කිව්වා.
 
සැප ලබන්ට ඕනෑ නම් පින් කරපල්ලා කියල මෙහෙ ආපු අනික් ජනයාටත් කියන්න. මං දැකල තියෙනවා. පින් කර ගන්ට බැරි වෙච්ච උදවිය ගැන. ඔවුන් පෙරේත ලෝකෙ හිටියත් මිනිස් ලෝකෙ හිටියත් දුකෙන් ගත කරන්නෙ. නමුත් සැප විපාක දෙන පින්කම් කරපු අය දෙවියන් වෙලත් මිනිසුන් වෙලත් ඒ ජනතාව සැප සේම ඉන්නවා.

"ප්‍රේතියක් වැරදි කාම සේවනයේ භයානකකම, බරපතලකම පැහැදිලි කරයි

ඉරී ගිය කන් ඇති බල්ලා

ඛුද්දක නිකාය | පේතවත්ථු | 2.12. කණ්ණමුණ්ඩ පේත වත්ථු

රනින් කළ පඩිපේලි තියෙනවා. පෝරු තියෙනවා. රන්වන් වැලි තමයි අතුරල තියෙන්නෙ. මිහිරි සුවඳ හමන මනෝරම්‍ය වූ සුදුනෙළුම් පිපිල තියෙනවා. ඒ පොකුණ වටේටම ගස් තියෙනවා. නානා සුවඳවර්ග හැම තැනම හමනවා. නොයෙක් නෙළුම් වර්ගවලින් පිරිල තියෙනවා. සුදු නෙළුම්වලින් වැහිලයි තියෙන්නෙ.
 
මනස්කාන්ත සුළඟ හමා එද්දී මිහිරි සුවඳ දැනෙනවා. හංසයන්, කොස්වාළිහිණියන්, මිහිරි නාද පතුරවනවා. සක්වා ලිහිණියනුත් මිහිරි නාද පතුරවනවා. නොයෙක් කුරුළු කොබෙයියන්ගෙන් පිරිල තියෙන්නෙ. උන් ගේ නානා කුරුළු නාදයෙන් යුක්තයි. නොයෙක් ඵල දරන රුක් ගොමු පිරිල තියෙනවා. සුවඳ මල් දරන වනාන්තර තියෙනවා.
 
මේ විදිහේ සුන්දර නුවරක් නම් මිනිස්සුන්ගේ නගරවලවත් දැක ගන්ට නෑ. ප්‍රාසාද පිරිල තියෙනවා. ඒ හැම එකක්ම රත්තරනින් කරල තියෙන්නෙ.හාත්පස සතර දිසාවම බබුලුවාගෙන එන දිව්‍ය දාසියන් පන්සියයක් ඉන්නවා. ඒ සියලු දෙනාම ඔබේ පිරිවර සේනාවයි. ඔවුන් ලස්සන මාලවළලු දාගෙන රන් පළඳනාවන් පැළඳගෙන සැරසිලා ඉන්නෙ. ඔබ වෙනුවෙන් තිබෙන රනින් කරපු යහන් රාශියක් තිබෙනවා.
 
කදලී මුව සම් අතුරලා සකස් කරල තියෙනවා. දික් ලොම් ඇති කොඳු පලස් අතුරල තියෙනවා. ඒ යහන්වල වාසය කරන කොට ඔබට සියලු සැප සමෘද්ධිමත් වෙනවා.මැදියම් රැයෙහි දී ඔබ අවදි වෙනවා. අවදි වෙලා උද්‍යාන භූමියට යනවා. ඔබ එතැන එක්තරා පොකුණක් ළඟට යනවා.
 
ඒ නිල් තණ ඇති සුන්දර පොකුණු තීරයේ ඔබ හිටගෙන ඉන්නවා. එතකොට මුඩු කන් ඇති බල්ලෙක් එනවා. ඇවිදින් ඔබේ සියලු අඟපසඟ කාල දානවා.
 
එතකොට ඒ බල්ලා කාපු ඔබේ ඇඟේ ඉතිරි වෙන්නෙ ඇටසැකිල්ල විතරයි. ඉතින් ඔබ කරන්නෙ පොකුණට බහින එක. හරි පුදුමයි. එතකොට ආයෙමත් ඔබේ කය පැරණි විදිහට හැදෙනවා.
 
දැන් ඔබ සියලු අඟපසඟින් පිරිපුන් සුන්දර ප්‍රිය දැකුම් ඇති තැනැත්තියක්. රෙද්දකින් ඇඟ පොරොවගෙන ඔබ මා ළඟට පැමිණෙනවා.ඔබ කයෙන් වචනයෙන් මනසින් මොන වගේ පාප කර්මයක් ද කළේ? මොන වගේ කර්ම විපාකයක් නිසාද ඔබේ අඟපසඟ මේ මුඬු කන් ඇති බල්ලෙක් කාල දමන්නෙ?
 
කිම්බිලා කියල නගරයක් තිබුනා. ඒ නගරයේ ශ්‍රද්ධාවන්ත උපාසකයෙක් හිටියා. ඒ ගෘහපතියාගේ බිරිඳ වුනේ මමයි. මං ස්වාමියා ඉක්මවා ගියා. දුස්සීල වුනා. මං ඔය විදිහට ස්වාමියා ඉක්මවා දුරාචාරයේ හැසිරෙන කොට සැමියා මට මෙහෙම කිව්වා. ‘ඔබ මාව ඉක්මවලා දුරාචාරයේ හැසිරෙනවා. ඒක ගැලපෙන දෙයක් නොවෙයි. සුදුසු දේකුත් නොවෙයි.’ එතකොට මං මහා දරුණු විදිහට දිව්රලා බොරු කිව්වා. ‘අනේ අපොයි! මං නම් කයින්වත් සිතින්වත් ඔයාව ඉක්මවා ගියෙ නෑ’ කියල.
 
මං යම් හෙයකින් කයෙන් හරි හිතෙන් හරි ඔයාව ඉක්මවා යනවා නම් මේ මුඩු කන ඇති බල්ලෙක් ඇවිදින් මගේ අඟපසඟ කාල දමාපුවාවෙ. ඒ දුරාචාරී කර්මයේ විපාකයත්, බොරු කියපු කර්මයේ විපාකයත් යන කර්ම විපාක දෙක නිසා දැන් අවුරුදු හත්සියයක් මුළුල්ලෙ මං මේ දුක විඳිනවා. මුඩු කන් ඇති බල්ලෙක් ඇවිදින් මගේ අඟපසඟ කාල දානවා. රජතුමනි, ඔබ මට බොහෝම උපකාර කළා. මට හිත සුව පිණිසමයි ඔබ මෙහි ආවෙ. දැන් මං අර කන්මුඩු බල්ලාගෙන් නිදහස් වුනා. දැන් මට සෝකයක් නෑ. භයකුත් නෑ. රජතුමනි, ඒ මං ඔබට නමස්කාර කරමි. ඇඳිලි බැඳගෙන මං ආයාචනා කරනවා. රජතුමනි, ඔබ මාත් සමඟ දිව්‍ය වූ කම්සුව විඳින්න එන්න.
 
සොඳුර, මා ඔබත් සමඟ දිව්‍ය වූ කම්සුව වින්ඳා. දැන් මං ඔබගෙන් ඉල්ලා සිටින්නේ ඉක්මනින්ම මාව නුවරට ඇරලවන්න කියලයි.

"තාපසයෙක් උබ්බරි බිසව සනසා ඇගේ දුක නිවා දමයි."

උබ්බරි බිසව

ඛුද්දක නිකාය | පේතවත්ථු | 2.13. උබ්බරී පේත වත්ථු

පංචාල රට වැසියන්ගේ සියලු සම්පත්වලට අධිපති බ්‍රහ්මදත්ත කියල රජ්ජුරු කෙනෙක් හිටියා. බොහෝ කලක් ගෙවුනාට පස්සේ ඒ රජතුමා කලුරිය කළා. ඒ රජ්ජුරුවන්ට උබ්බරී කියල බිසොවක් හිටියා. ඒ බිසව රජතුමා ආදාහනය කරපු තැනට ගිහින් වැළපෙනවා. බඹදත් රජු නැවත දකින්ට නැති නිසා ‘බ්‍රහ්මදත්ත, ඔබ කොහිද’ කිය කියා හඬනවා. එතැනට ධර්මයෙහි හැසිරෙන මුනිවරයෙක් වන සෘෂිවරයෙක් ආවා. ඔහු එතැනට ඇවිදින් ඒ රැස්වෙලා හිටිය මිනිසුන් ගෙන් මෙහෙම ඇහුවා.
 
‘නොයෙක් සුවඳවර්ග විහිදෙන මේ සොහොන කාගෙද? මේ බිරිඳ හඬන්නේ කවුරු වෙනුවෙන්ද?’
 
මිනිස් ලෝකයෙන් දුර වූ පරලොව ගිය ස්වාමීයා වන බ්‍රහ්මදත්ත රජතුමාව දකින්ට නැති නිසයි මෑ ‘බ්‍රහ්මදත්ත’ කිය කියා හඬන්නෙකියල එතැනට රැස් වෙච්ච මිනිසුන් අර සෘෂිවරයාට කිව්වා.  නිදුකාණන් වහන්ස, බ්‍රහ්මදත්ත රජතුමාට යහපතක්ම වේවා! මේ නොයෙක් ආකාරයේ සුවඳ පැතිරෙන මේ සොහොන ඒ බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගෙ තමයි. ඒ රජ්ජුරුවන්ගෙ බිරිඳ තමයි මේ මනුලොවින් දුර වූ පරලොව ගිය තමන්ගෙ ස්වාමියා වන බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ව දැකගන්ට නැතුව අඬන්නෙ. ‘බ්‍රහ්මදත්ත, බ්‍රහ්මදත්ත’ කිය කියා වැළපෙනවා.
 
‘බ්‍රහ්මදත්ත’ යන නම ඇති අසූහයදාහක් දෙනා මේ සොහොනේ දවල තියෙනවා. දැන් ඔබ අඬන්නේ ඒ අයගෙන් කවුරු වෙනුවෙන්ද?
 
ස්වාමීනි, පංචාල රටේ යස ඉසුරුවලට අධිපතිව මේ රජ්ජුරුවෝ හිටියේ. මෙයා චූළනී රජ්ජුරුවන්ගෙ පුතා. මං කැමති හැමදේම දෙනවා. අන්න ඒ මගේ ස්වාමියා වෙනුවෙන් තමයි මං සෝක කරන්නෙ.
 
ඒ වුණාට ඔය සියලුම රජවරුන්ට කියන්නෙ බ්‍රහ්මදත්ත යන නාමයයි. ඔය හැමෝම පංචාල රටේ යස ඉසුරුවලට අධිපති වෙලා හිටියෙ. ඒ හැමෝම චූළනී රජ්ජුරුවන්ගේ පුතුන් හැටියටයි හිටියේ. ඒ සෑම රජ කෙනෙකුටම අනුපිළිවෙලින් අග්‍රමහේසිකාව වුනේ ඔබමයි. ඉතින් කලින් හිටපු බ්‍රහ්මදත්ත රජ්ජුරුවන් අත් හැරල අන්තිම රජ්ජුරුවන්ට අඬන්නෙ මොකටද?
 
නිදුකාණන් වහන්ස, එතකොට මං මේසා දීර්ඝ කාලයක් මුළුල්ලෙහි දිගටම ආවේ ස්ත්‍රියක් වෙලාද? එතකොට ඔබ කියන්නෙ මං සංසාරෙ බොහෝ වාර ගණනාවක් මේ ස්ත්‍රිත්වයද ලැබුවේ?
 
ඔබ ස්ත්‍රියක් වෙලත් තියෙනවා. පිරිමියෙක් වෙලත් තියෙනවා. තිරිසන් යෝනියෙත් ඉපදිලා තියෙනවා. ඔය විදිහට අතීතයට ගිය ආත්මභාව ගැන නම් කෙළවරක් දකින්ට බෑ.
 
ගින්නකට ඉසින ගිතෙලක් වගේ දුකෙන් ගිනිගත්තු මාව නිවිල ගියා. වතුර ඉහල නිවල දානවා වගේ මගේ සියලු කාය චිත්ත පීඩා නිවිල ගියා. මගේ පපුව ඇතුළේ ඇනි ඇනී තිබුණු ශෝක හුල ඔබ උදුරලා දැම්මා.
 
ස්වාමි ශෝකය නිසා මං ගොඩාක් ශෝකයෙන් පෙළි පෙළී හිටියෙ. ඔබ ඒක දුරු කළා. මහාමුනිතුමනි, ඔබවහන්සේගේ අවවාදය අසපු ඒ මම දැන් ශෝක හුල් උදුරා දැමූ කෙනෙක්. සිහිල් වුන කෙනෙක්. නිවුන කෙනෙක්. දැන් මං සෝක වෙන්නෙ නෑ. හඬන්නෙ නෑ.
 
ඒ ශ්‍රමණයන් වහන්සේගේ සුභාෂිත වචනවලට ඇය හොඳින් සවන් දුන්නා. පාත්‍රා සිවුරු අරගෙන අනගාරික සාසනයෙහි පැවිදි වුනා. ඔය විදිහට ඈ ගිහි ගෙදරින් නික්මිලා අනගාරික සාසනයෙහි පැවිදි වුනාට පස්සෙ බඹලොව ඉපදීම පිණිස මෙත් වැඩුවා. ගමක් ගමක් පාසා සැරිසරා ගියා. නියම් ගමක් පාසා, රාජධානියක් පාසා සැරිසරා ගියා. උරුවෙල් කියන ගම්මානය තියෙන්නේ යම් තැනකද අන්න එතැන තමයි ඇය කලුරිය කළේ. ඇය මෛත්‍රී සමාධිය වැඩුවේ බඹලොව ඉපදීම පිණිසයි. ස්ත්‍රීභාවය පිණිස ඇති ඇල්ම අත්හැරල ඇය බඹලොව ඉපදුනා.

"ත්‍යාගශීලී බව (දන් දීම) සතුටට හා යහපත් ප්‍රතිඵලවලට හේතු වනු ඇත."

අප්‍රමාදය

ඛුද්දක නිකාය | පේතවත්ථු | 3.1. අභිජ්ජමාන පේත වත්ථු

(කෝලිය නම් ඇමතියා නැවක ගමන් කරන විට ප්‍රේතයෙකු දැක මෙසේ ප්‍රශ්න කළා)
 
එම්බා ප්‍රේතය, ඔබ මෙහි ගංගා නදියෙහි ජලය කළඹවන්නෙ නැතුවයි යන්නෙ. හැබැයි ඔබ නිරුවත්ව ඉන්නෙ. ශරීරයෙන් උඩ කොටස් නම් පේන්නේ පෙරේතයෙකුගෙ වගේ නොවෙයි. මල් මාලාවන් දරලා අලංකාරව ඉන්නවා. ඔබ ඔය කොහේද යන්නෙ? ඔබ වාසය කරන්නෙ කොහේද?
 
එතකොට ඒ ප්‍රේතයා මෙහෙම කිව්වා.
 
‘මං මේ යන්නේ චුන්දත්ථික කියන ගමටයි. ඒ ගම තියෙන්නෙ වාසභ ගමටත්, බරණැස් නුවරටත් අතර බරණැස සමීපයේමයි.’
 
ඒ ප්‍රේතයාව දැක්කේ කෝලිය නමින් ප්‍රසිද්ධව හිටිය මහ ඇමතිතුමා. ඉතින් ඔහු ඒ ප්‍රේතයාට අග්ගලාත් බතුත් වස්ත්‍ර යුගලකුත් දුන්නා. නැව නවත්වලා තියෙන කොට එක්තරා කරණවෑමි උපාසකයෙකුටයි ඒව දුන්නෙ. ඒ කරණවෑමි උපාසකතුමාට ඒවා දීපු ගමන්ම අර ප්‍රේතයා ගේ ශරීරයෙහි අඳින පොරොවන වස්ත්‍ර පහළ වුනා.එතකොට ඒ ප්‍රේතයා ලස්සනට වස්ත්‍ර ඇඳගෙන මල්මාලා දරාගෙන අලංකාර වෙලා ආවා. පින් අනුමෝදන් වෙන්න පුළුවන් තැනක සිටපු ප්‍රේතයා ඒ පින අනුමෝදන් වුනා. ඒ නිසා මිය පරලොව ගිය අය කෙරෙහි අනුකම්පා කරල නැවත නැවතත් දන් දීල ඒ පින් දෙන්ට ඕන.
 
ඇතැම් පෙරේතයන් ඉන්නෙ වැරහැලිවලින් විලිවසා ගෙනයි. ඇතැම් පෙරේතයන් තමන්ගෙ කෙස් රොදෙනුයි විලි වසා ගන්නෙ. පෙරේතයන් බත් හොයාගෙන යනවා. එක එක දිසාවලට යනවා. සමහර පෙරේතයන් බත් හොයා ගෙන ඉතා දුර දුවනවා. නමුත් කිසි දෙයක් නොලබා නවතිනවා. ඔවුන් හරි බඩගින්නෙ ඉන්නෙ. සිහිසන් නැතුවයි ඉන්නෙ. ඉතා බලවත්ව පීඩා විඳල වේලිලා බිම ඇදගෙන වැටෙනවා. සමහරු ඒ ගිය ගිය තැනම වේලිලා බිම ඇදගෙන වැටෙනවා. කලින් ලැබුනු මනුස්ස ජීවිතයේ දී කිසි පිනක් දහමක් නොකර ජීවත් වෙලා අන්තිමේදී ගිනි අව්වේ ගින්දරකින් පිච්චෙනවා වගේ බඩගින්නෙන් පිපාසයෙන් පිච්චෙනවා.
 
අපිට ඉස්සර පවිටු ගතිගුණ තිබුනා. ගෘහණියන් වෙලා හිටියේ. කුල මාතාවරු වෙලා හිටියේ. අපිට දන්පැන්වලට දෙන්න දේපල වස්තුව තිබුනා. නමුත් තමන්ට පිහිට ඇති ඒ පින්කම් අපි කරගත්තෙ නෑ.හරියට කෑම බීම තිබුනා. අපි ඒව හැංගුවා. යහපත් මාර්ගයෙහි ගමන් කරන පැවිද්දන් වහන්සේලාට අපි කිසිදෙයක් දුන්නෙ නෑ.අපි පින් කරන්න කැමති වුනේ නෑ. කම්මැලිකමෙන් හිටියා. මිහිරි දේ කැමති වුනා. හැම තිස්සෙම කකා හිටියා.
 
බත් පිඬක් වුනත් අපි අනුන්ට දෙන කොට ඒක ලබාගන්න කෙනාට අපි අපහාස කළා. දැන් අපිට ඒ ගෙවල් නෑ. ඒ දාසියන් නෑ. ඒ ආභරණත් අපිට නෑ. දැන් ඒව පරිහරණය කරන්නෙ වෙන උදවියයි. අපිට අයිති වුනේ දුක විතරයි. ඊටපස්සෙ වෙන්නෙ නින්දනීය වූ බට පොතු වියන ගෙවල්වල සොම්මර කුලයේ දුගී දුප්පත්ව උපදිනවා. චණ්ඩාල කුලයේ දීන වෙලා උපදිනවා. ආයෙ ආයෙමත් උපදින්නෙ ඒ වගේ හීන කුලවලයි. යම් යම් හීන දීන දිළිදු පවුල් තියෙනවා. අන්න ඒ කුලවල තමයි උපදින්නෙ. ඕක තමයි මසුරු සිත් ඇති අයට ලැබෙන උපත.
 
පෙර ජීවිතවල පින් කරගත්තු අය ඉන්නවා. එයාල දන් දෙන උදවිය. මසුරු නෑ. ඔවුන් නිසයි දෙව්ලොව පිරෙන්නෙ. නන්දන වනය බබලුවන්නෙ ඔවුන් තමයි. ඒ උදවිය වෛජයන්ත ප්‍රාසාදයේ තමා කැමති පරිදි දිව්‍ය සැපයෙන් සතුටු වෙනවා. එතැනින් චුත වුනාට පස්සෙ හොඳ ධනසම්පත් තියෙන උසස් පවුල්වල උපදිනවා. ඔය විදිහට මහා යසස් ඇති කුලවල ඉපදිලා කූටාගාරවල ප්‍රාසාදවල දිගුලොම් ඇති කොඳුපලස් අතුරපු යහන්වල මොණර පිලෙන් කරවපු විජිනිපත්වලින් පවන් සලමින් සැපසේ ජීවත් වෙනවා. ඒ උදවිය (කුඩා කාලෙම) මල් මාලා දරාගෙන අලංකාර වෙලා කිරිමව්වරුන්ගේ ඇකයෙන් ඇකයට යනවා. ඒ කිරිමව්වරු ඒ දරුවන් ගේම සැප පතමින් උදේ සවස ඔවුන්ට උපස්ථාන කරනවා. මේව ලැබෙන්නේ පින් නොකරපු අයට නම් නොවෙයි. මේවා ලැබෙන්නේ පින් කරපු අයටමයි.
 
එතකොට දෙව්ලොව ඉපදිලා ශෝකයක් නැතිව රම්‍ය වූ නන්දන වනයෙහි සතුටු වෙනවා. පින් කරගන්ට බැරිවෙච්ච උදවියට මෙලොවේවත් පරලොවවත් සැපයක් නම් නෑ. නමුත් පින් කළ උදවියට තමයි මෙලොවදී වගේම පරලොවත් සැප ලැබෙන්නෙ. ඒ දෙවියන් සමග එකතු වෙලා ඉන්ට කැමති අය බොහෝ කුසල්මයි කරන්ට ඕන. පින් කරගත්තු උදවිය දෙව්ලොව දි සැප සම්පත් ලබා ගෙන සතුටු වෙනවා.

"තමන්ගේ අතීත ඥාතීන්ට පින් අනුමෝදන් කරන හැටි ප්‍රේතයෙක් හෙළි කරයි."

සානුවාසි ස්වාමීන් වහන්සේ

ඛුද්දක නිකාය | පේතවත්ථු | 3.2. සාණුවාසී පේත වත්ථු

උන්වහන්සේ උපන්නේ කුණ්ඩි නගරයේ. සානුවාසී පර්වතයේ තමයි වැඩ වාසය කළේ. උන්වහන්සේගේ නම පොට්ඨපාද. ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරගත්තු රහත් ශ්‍රමණයන් වහන්සේ නමක්. උන්වහන්සේගේ මවත් පියාත් සහෝදරයාත් දුගතියේ උපන්නා. යමලෝකයේ උපන්නා. මේ ලෝකෙන් චුත වලා ඔවුන් පෙරේත ලෝකෙ උපන්නෙ පාපී දේවල් කරලයි.

ඔවුන් දුගතියේ උපන්නෙ. ඉඳිකටුවලින් අනිනවා වගේ වේදනා විඳිනවා. ක්ලාන්ත වෙනවා. ඇඟේ නූල් පොටක්වත් නෑ. කටු ටික විතරයි. නිතරම තැති අරගෙන ඉන්නෙ. මහා භයකින් ඉන්නෙ. කෲර දේවල් කරපු ඔවුන්ගේ සිරුරු පිටට පෙන්නන්නෙ නෑ.

උන්වහන්සේගේ සහෝදරයා තැති ගැනීම දුරු කරගෙන නිරුවත්ව ඉඳගෙනම අඩිපාරක් අයිනේ හුදෙකලාව හිටියා. අත් දෙකයි, කකුල් දෙකයි බිම ඇනගෙන ඒ තෙරුන් වහන්සේට තමන්ගේ ස්වභාවය පෙන්වුවා.

ඒ සාණුවාසී තෙරුන් වහන්සේ ඒ දර්ශනය ගණනකට ගත්තෙ නෑ. නිශ්ශබ්දවම වැඩියා. එතකොට ඒ පෙරේතයා ‘මං මැරිල ගිය ඔබ වහන්සේගේ සහෝදරයා’ කියල තෙරුන් වහන්සේට තමාව දැක්වුවා.

අනේ ස්වාමීනි, ඔබ වහන්සේගේ මවත් පියාත් දුගතියේ උපන්නා. යමලෝකයේ උපන්නා. මේ ලෝකෙන් චුත වෙලා ඔවුන් පෙරේත ලෝකෙ උපන්නෙ පාපී දේවල් කරලයි.

ඔවුන් දුගතියේ උපන්නෙ. ඉඳිකටුවලින් අනිනවා වගේ වේදනා විඳිනවා. ක්ලාන්ත වෙනවා. ඇඟේ නූල් පොටක්වත් නෑ. කටු ටික විතරයි. නිතරම තැති අරගෙන ඉන්නෙ. මහා භයකින් ඉන්නෙ. කෲර දේවල් කරපු ඔවුන්ගේ සිරුරු පිටට පෙන්නන්නෙ නෑ.

කාරුණික වූ මුඹවහන්සේ අපට අනුකම්පා කරන සේක්වා! දන් පැන් පූජා කරලා අපට පින් ලබා දෙන සේක්වා! කෲර දේවල් කරපු ඔවුන්ට මුඹවහන්සේ දෙන දානයකින් තමයි යැපෙන්ට සිද්ධ වෙන්නෙ.

සාණුවාසී තෙරුන් වහන්සේත් තවත් භික්ෂූන් වහන්සේලා දොළොස් නමකුත් පිණ්ඩපාතේ වැඩියා. බත්කිස කිරීම පිණිස උන්වහන්සේලා එකතැනකට රැස් වුනා.

සාණුවාසී තෙරුන් වහන්සේ අනික් තෙරුන් වහන්සේලාට මෙහෙම කිව්වා. ‘ඔබවහන්සේලාට ලැබිච්ච යමක් ඇත්නම් ඒක මට දෙන්න. ඤාතීන් කෙරෙහි අනුකම්පාව නිසා මං සාංඝික දානයක් කරන්නම්.’

උන්වහන්සේලාත් තෙරුන් වහන්සේට දුන්නා. තෙරුන් වහන්සේ ආර්ය සංඝයාට ආරාධනා කළා. දානයත් පූජා කරගත්තා. මවටත් පියාටත් සහෝදරයාටත් පින්පෙත් අනුමෝදන් කළා.

‘මේ පින මාගේ ඤාතීන්ට වේවා! මාගේ ඤාතිවරු සුවපත් වෙත්වා!, කියල පින් අනුමෝදන් කරනවාත් සමගම ඒ උදවියට භෝජන පහළ වුනා.

ඒ බොජුන් හරි පිරිසිදුයි. ප්‍රණීතයි. නොයෙක් රසවත් වෑංජනවලින් යුක්තයි. එයින් වර්ණවත් වුන, බලවත් වුන, සුවපත් වුන සහෝදරයා පෙනී හිටියා.

ස්වාමීනි, දැක වදාළ මැනැව. දැන් අපිට භෝජන ඕන තරම් තියෙනවා. නමුත් අපි තවමත් ඉන්නෙ නිරුවතින්. ඉතින් ස්වාමීනි, අපට යම් විදිහකින් වස්ත්‍රයක් ලැබෙනවා නම් එබඳූ දෙයකට උත්සාහ කරන සේක්වා!

තෙරුන් වහන්සේ කසල ගොඩවල්වල ඉවත දාපු රෙදි කැබලි අහුලා ගත්තා. ඒ රෙදි කැබලි මූට්ටු කළා. සිවුරක් කළා. සිව් දිසාවෙන් වඩින සංඝයාට පූජා කළා.

දානය පූජා කරගෙන මවටත් පියාටත් සහෝදරයාටත් පින්පෙත් අනුමෝදන් කළා. ‘මේ පින මාගේ ඤාතීන්ට වේවා! මාගේ ඤාතීවරු සුවපත් වේවා!’ කියල.

පින් අනුමෝදන් කරනවාත් සමගම ඒ උදවියට වස්ත්‍ර පහළ වුනා. ඒ වස්ත්‍රවලින් ලස්සනට සැරසුණු ප්‍රේතයා තෙරුන් වහන්සේට තමන්ව දැක්වුවා.

ස්වාමීනි, නන්දන රජ්ජුරුවන්ගෙ රාජධානියේ යම්තාක් රෙදිපිළි තියෙනවා නම් ඒවාට වඩා බෙහෝ සෙයින් අපට ලැබිච්ච වස්ත්‍ර නම් හරි අගෙයි.

කසීසළු, කම්බිලි, පටවස්ත්‍ර, කපුරෙදි ආදිය අපට දැන් හරියට තියෙනවා. හරි වටිනා ඒව තියෙන්නෙ. ඒ වස්ත්‍ර ආකාසෙ එල්ලිලා තියෙනවා.

ස්වාමීනි, අපේ හිතට යම් යම් ඇඳූමක් ප්‍රියයි නම් අපි අඳින්නෙ ඒවා තමයි. ඉතින් ස්වාමීනි, අපිට යම් විදිහකින් ගෙයක් ලැබෙනවා නම් එබඳු දෙයකට උත්සාහ කරන සේක්වා!

සාණුවාසී තෙරුන් වහන්සේ කොළ අතු සෙවිලි කරල කුටියක් කළා. ඒ කුටිය සිව් දිසාවෙන් වඩින සංඝයාට පූජා කළා. කුටි පූජාව කරලා මවටත් පියාටත් සහෝදරයාටත් පින්පෙත් අනුමෝදන් කළා.

මේ පින මාගේ ඤාතීන්ට වේවා! මාගේ ඤාතීවරු සුවපත් වෙත්වා!’ කියල පින් අනුමෝදන් කරනවාත් සමගම ඒ උදවියට ගෙවල් පහළ වුනා.

‘නොයෙක් කූටාගාර, නිවාස පහළ වුනා. ඒවා හරි පිළිවෙලට වෙන් කරල බෙදල තියෙනවා. අපට තිබෙන මේ ගෙවල් විදිහේ ගෙවල් නම් මනුස්ස ලෝකයේවත් දැකගන්ට නෑ.

දෙව්ලොව යම් ආකාරයක දිව්‍ය විමාන තියෙනවා නම් මෙහෙ තියෙන අපේ ගෙවලුත් අන්න ඒ වගේ තමයි. හැම දිසාවක්ම බබුලුවමින් දිළිසෙනවා. අනේ ස්වාමීනි, අපිට යම් විදිහකින් පැන් ලැබෙනවා නම් එබඳු දෙයකට උත්සාහ කරන සේක්වා!

එතකොට තෙරුන් වහන්සේ කලයකට පැන් පුරවලා සිව් දිසාවෙන් වඩින සංඝයාට පූජා කළා.  පැන් පූජාව කරලා මවටත් පියාටත් සහෝදරයාටත් පින්පෙත් අනුමෝදන් කළා. ‘මේ පින මාගේ ඤාතීන්ට වේවා! මාගේ ඤාතීවරු සුවපත් වෙත්වා!’ කියල.

පින් අනුමෝදන් කරනවාත් සමගම ඒ උදවියට පැන් පහළ වුනා. ඉතා ගැඹුරු හතරැස් පොකුණක් හරි සුන්දර පිළිවෙලට මැවිල ගියා.

ඒ පොකුණේ ජලය හරි සීතලයි. ඉවුරත් හරි ලස්සනයි. හරි සිසිලයි. සුවඳ හමන නෙළුම් මහනෙල් පිරිල තියෙනවා. ඒ වතුර පුරාවට මල් රේණු විසිරිලා තියෙනවා.

එතකොට ඒ පෙරේතයන් පොකුණට බැහැල නෑවා. තෙරුන් වහන්සේ ඉදිරියේ පෙනී හිටියා.

ස්වාමීනි, අපට ඇති වෙන්න පැන් තියෙනවා. ඒ වුනාට අපේ කකුල් පැලෙන නිසා අපිට දුකයි.

ස්වාමීනි, කුස කටු තියෙන බොරළු කැට තියෙන පොළොවේ අපි ඇවිදින්නේ හරිම අමාරුවෙන්. ස්වාමීනි, අපිට යම් විදිහකින් යානයක් ලැබෙනවා නම් එබඳු දෙයකට උත්සාහ කරන සේක්වා!

සාණුවාසී තෙරුන් වහන්සේ පටි තියෙන සෙරෙප්පු ජෝඩුවක් ලබාගෙන ඒක සිව් දිසාවෙන් වඩින සංඝයාට පූජා කළා. සෙරෙප්පු පූජාව කරලා මවටත් පියාටත් සහෝදරයාටත් පින්පෙත් අනුමෝදන් කළා.

මේ පින මාගේ ඤාතීන්ට වේවා! මාගේ ඤාතීවරු සුවපත් වෙත්වා!’ කියල පින් අනුමෝදන් කරනාවත් සමගම ඒ උදවියට පහළ වූ රථයෙන් ඔවුන් එතැනට ආවා.

ස්වාමීනි, ඔබ වහන්සේට යහපතක් වේවා! බත්වලින් රෙදිපිළිවලින් ගෙවල්වලින් පැන්වලින් යානාවලින් අපට උපකාර කරල ඔබ වහන්සේගේ අනුකම්පාව අපට ලැබුනා. ලෝකයෙහි කාරුණික වූ මුනිවරයාණෙනි, අපි මේ ආවේ ඔබ වහන්සේට වන්දනා කරගන්ටයි.

"ප්‍රේතියක් සුගති උපතක් ලැබීමට කුසල් කළයුතු ආකාරය පැහැදිලි කරයි."

රථකාර විලේ ප්‍රේතිය

ඛුද්දක නිකාය | පේතවත්ථු | 3.3. රථකාර පේත වත්ථු

මහානුභාව ඇති පින්වත් දෙව්දුව, ඔබේ දිව්‍ය විමානයේ වෛරෝඩි මාණික්‍යවලින් කරපු ලස්සන කැටයම් තියෙනවා. හරිම සිත්කළුයි. ප්‍රභාස්වරයි. ඒ විමානයට නැඟගත් ඔබ බබලන්නෙ පොහොය දවසට අකාසයේ දිලෙන පුන් සඳ වගෙයි. ඔබේ ශරීරයෙහි පැහැය රත්තරන් පාටයි. ගිනියම් වුන රනක් වගේ ඔබ අතිශයින්ම දර්ශනීයයි.
 
පළස් අතුරපු වටිනා ආසනයක ඔබ වාඩිවෙලා ඉන්නෙ. ඔබ හුදෙකලාව ඉන්නෙ. ඔබට ස්වාමියෙක් නෑ. ඔබේ මේ පොකුණ වටේට බොහෝ මල් තියනවා. සුදු නෙළුම් පිපිල තියෙනවා. හැමතැනම තියෙන්නෙ රන්වන් වැලි. මඩ දියසෙවල වාගේ දේවල් දැකගන්ට නෑ. මෙහෙ ඉන්න හංසයොත් හරිම දැකුම්කළුයි. සුන්දරයි. ඔවුන් හැම තිස්සේම ජලයේ පීන පීනා ඉන්නවා. ඒ ඔක්කොම හංසයන් ගිගිරි සලමින් නාද කරන කොට ඇහෙන්නේ මිහිරි හඬින් මිහිඟු බෙර වාදනය කරනවා වගේ.
 
යසස් ඇති තැනැත්තිය, ඔය යසසින් බැබලි බැබලි ඔය නැවේ සිටින්නෙ. ඔබට දික් වූ ඇහිබැම තියෙනවා. සිනහ නැඟුන මුහුණක් තියෙනවා. ප්‍රිය වචනයෙන් කතා කරනවා. සුන්දර වූ සියලු අඟපසඟ තියෙනවා. ඔබ අතිශයින්ම ලස්සනයි. මේ දිව්‍ය විමානයේ දූවිලි නෑ. සමව පිහිටලා තියෙනවා. ඇල්මත් සතුටත් වැඩෙනවා. අලාමක දර්ශන ඇති පින්වතිය, අපි ඔබ සමග මේ නන්දන උයනෙහි සතුටෙන් ඉන්ට කැමතියි.
 
එහෙම නම් ඔබට කරන්ට තිබෙන්නෙ මේ දිව්‍ය විමනයෙහි සැප විඳීම ඇති කරල දෙන විදිහේ පින් දහම් කරන එකයි. ඔබේ හිතත් මේ දිව්‍ය විමානයෙහි පිහිටුවා ගෙන ඉන්න. එතකොට ඔබට මේ දිව්‍ය විමනයෙහි සැප විඳීම ඇති කරල දෙන විදිහේ පින් දහම් කරල මාත් සමග සතුටින් ඉන්න පුළුවන්.
 
ඒ මාණවකයා හොඳයි කියල ඇයට පිළිතුරු දුන්නා. ඒ දිව්‍ය විමනයෙහි සැප විඳීම ඇති කරල දෙන විදිහේ පින් දහම් කළා. ඒ දිව්‍ය විමනයෙහි සැප විඳීම ඇති කරල දෙන විදිහේ පින් දහම් කරල ඒ මාණවකයා ඒ දෙවඟනත් සමග ජීවත් වෙන්ට එහි උපන්නා.

"තණ්හාව සහ වංචාව ගෙන දෙන්නේ දුක් වේදනා පමණයි"

පිදුරු ප්‍රේතයා

ඛුද්දක නිකාය | පේතවත්ථු | 3.4. භූස පේත වත්ථු

එක්කෙනෙක් ගිනි ගත්තු බොල් වී ඔළුවේ විසුරුවා ගන්නවා. තව කෙනෙක් මුඟුරකින් ඔළුවට ගහනවා. මේ ස්ත්‍රිය තමන් ගේම මස් ලේ කකා ඉන්නවා. ඔබ ඉතා පිළිකුල් වූ අසූචි මල මුත්‍රාදිය කකා ඉන්නවා. මොන වගේ කර්මයකින් මේ විපාක හැදුනේ?
 
මෙයා මීට කලින් ජීවිතයේදී තමන්ගේ අම්මාට හිංසා කරනවා.
 
මේ අනිත් එක්කෙනා වංචාකාර වෙළෙන්දෙක්.
 
මෙයා මස් වගයක් කාලා බොරුවෙන් වංචා කළා.
 
මං මනුස්ස ලෝකෙ මනුස්ස කාන්තාවක් වෙලා හිටියෙ. ඒ මුළු පවුලට ම අධිපති වෙලා ගෘහනියක් වෙලා හිටියේ. දේපල වස්තුව තිබෙද්දිත් මං ඒව හැංගුවා. ඉල්ලපු කිසි කෙනෙකුට මොකවත් දුන්නෙ නෑ. මං එතකොට කරන්නෙ මගේ ගෙදර ඒක නැහැ නෙ කියල බොරුවෙන් සඟවන එක. ඉතින් තියේ නම් මං කන භෝජන අසූචි වේවා! කියල මං දිවුරුවා. අන්න ඒ කර්ම විපාකයත්, බොරු කීමත් යන දෙක නිසා සුවඳ ඇල් හාලේ බත මං ඉදිරියේ අසූචි බවට පත් වෙනවා. කර්ම කියන්නෙ වඳ බැහැපු දේවල් නොවෙයි. විපාක නොදී මිසක් කර්මය විනාශ වෙන්නෙ නෑ. ඒ නිසා මං ඉතාමත්ම ගඳ, පණුවන් උතුරන අසූචි කනවා. ඒවමයි බොන්නෙත්.

"යමෙක් ඔවුන්ගේ පව්කාර අතීතයෙන් මිදෙන්නේ කෙසේද?"

අතහැර දැමූ සිඟිත්තා

ඛුද්දක නිකාය | පේතවත්ථු | 3.5. කුමාර පේත වත්ථු

ඇතැම් පුද්ගලයන්ට හොඳට පින් තියෙනවා. ඇතැම් පුද්ගලයන්ට පින් ටිකයි තියෙන්නෙ කියල ශාස්තෘන් වහන්සේ යම් ආකාරයකින් මේ පුද්ගලයා ගැන වදාළ සේක්ද, සුගතයන් වහන්සේගේ ඒ අවබෝධ ඤාණය නම් ආශ්චර්යජනකයි. මේ කුමාරයාව සොහොනේ අත් හැරල දාල තියෙන්නෙ. මේ දරුවාගේ ඇඟිල්ලෙන් වැගිරෙන කිරිවලින් තමයි රාත්‍රියට යැපෙන්නෙ.

කළ පින් ඇති මේ කුමාරයාට යක්ෂ භූත කිසිවෙක්වත්, සර්පයෙක්වත් හිංසා කරන්නෙ නෑ. බල්ලන් පවා මේ දරුවාගේ දෙපා ලෙවනවා. කවුඩෝ, සිවල්ලු මේ දරුවාව එහාට මෙහාට පෙරලනවා විතරයි. පක්ෂීන් ඇවිත් මේ දරුවගේ සිරුර වටා තියෙන ගැබ්මල ඉවත් කරනවා. කපුටෝ ඇවිත් ඇස් වටේ තියෙන කැත කුණු ඉවත් කරනවා. මේ දරුවාගේ රැකවරණයට කිසිම මනුස්සයෙක් නෑ. බෙහෙතක් දෙන්ට කෙනෙක් නෑ. අබ ආදියෙන් දුම් ඇල්ලීමක් නෑ. ඔහු වෙනුවෙන් නැකැත් හැදීමක් නෑ. ඒ වගේම හැල් වී ආදී සියලු ධාන්‍ය විසිරීමක් නෑ. රෑ පානේ ගෙනැවිල්ල අමු සොහොනෙ අත්හැරල දාපු දරුවෙක්. වෙඬරු පිඩක් වගේ වෙව්ලනවා. ජීවත් වෙයිද කියන කාරණෙත් සැකයි. මේ විදිහේ තත්වයකට පත් වෙච්ච දරුවෙක්.

දෙවිමිනිසුන්ගේ පිදුම් ලබන මහා ප්‍රාඥා වූ බුදුරජාණන් වහන්සේ මේ දරුවව දැක්කා. දැකල මෙහෙම වදාළා.

මේ කුමාරයා මේ නගරයේ භෝගසම්පත්වලින් අග්‍රවෙලා උසස් කුලවන්තයෙක් බවට පත් වෙනවා.’

මේ කුමාරයා කරපු ව්‍රතය මොකක්ද? ගත කළ උතුම් ජීවිතය මොකක්ද? එයා මේ විපාකය ලබන්ට මොන වගේ දෙයක්ද හොඳින් පුරුදු කළේ? මේ වගේ දරුණු ව්‍යවසනයකට පත් වෙච්ච කෙනෙක් අර විදිහේ සැපසම්පත් ඇති ආනුභාව සම්පන්න කෙනෙක් වෙන්නෙ කොහොමද?

ජනතාව බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයාට මහා පූජාවක් කළා. ඒක දැකල මෙයාගෙ හිත නරක් වුනා. බුදු පාමොක් සඟරුවනට නොගැළපෙන ඵරුෂ වචන කිව්වා. පස්සේ මෙයා ඒ නපුරු අදහස දුරු කරගත්තා. ප්‍රීතියත් පැහැදීමත් උපදවා ගත්තා. ජේතවනාරාමයෙහි වැඩවසන තථාගතයන් වහන්සේට සත්දිනක් මුළුල්ලේ කැඳබත්වලින් උපස්ථාන කළා. ඒක තමයි මෙයාගේ ව්‍රතය. ඒකමයි උතුම් ජීවිතයත්. එය පුරුදු කිරීමෙන් තමයි ඔහුට මේ සැප විපාක ලැබෙන්නෙ. මේ වගේ දරුණු ව්‍යවසනයකට පත්වෙච්ච කෙනෙක් වෙලත් ඒ විදිහේ සැපසම්පත් ඇති ආනුභාව සම්පන්න කෙනෙක් වෙන්නෙ ඒ පින නිසාමයි. මේ කුමාරයා මේ මනුස්ස ලෝකෙ සියක් අවුරුදු ජීවත් වෙනවා. සියලු සැපසම්පත්වලින් යුක්ත වෙනවා. කය බිඳී මරණින් මතු සක් දෙවිඳුගේ දෙව්ලොව උපදිනවා. .

"තණ්හාව විසින් ඔබේ යහපත් අදහස් වසාගත් විට කුමක් සිදුවේද?"

සේරිනී නම් ප්‍රේතිය

ඛුද්දක නිකාය | පේතවත්ථු | 3.6. සේරණී පේත වත්ථු

ඔබේ ඇඟේ නූල් පොටක් නෑ. හරිම විරූපියි. කෙට්ටුයි. නහරවල් පෑදිලා තියෙනවා. ඉලඇට ඉලිප්පිලා තියෙනවා. කෙට්ටු සිරුරක්. මෙතැන ඉන්න ඔබ කවුද?
 
අනේ ස්වාමීනි, මං මේ දුකේ වැටිල ඉන්නෙ. මං යමලෝකෙ උපන් පෙරේතියක්. මගේ අතින් පව්කම් කෙරිල තමයි මනුස්ස ලෝකෙන් පෙරේත ලෝකෙට ගියේ.
 
ඔබ විසින් කයෙන් වචනයෙන් මනසින් මොන වගේ පවක්ද කරගත්තෙ? මොන වගේ කර්මයක විපාකයක් නිසාද මිනිස් ලෝකෙන් පෙරේත ලෝකෙට ආවෙ?
 
පින් රැස් කරගන්නට පින් තොටවල් බඳු ශ්‍රමණ බ්‍රාහ්මණ ආදීන් සිටිද්දිත් මං ඔවුන්ට දන් නොදී අඩමස්සක් (මුදල්) රැස් කළා. දන්පැන්වලට දෙන්න දේවල් තිබෙද්දිත් තමන්ට පිහිට වෙන පින්කම් මං කරගත්තෙ නෑ. මට හරියට පිපාසෙ හැදෙනවා. එතකොට මං නදියට යනවා. මට නදිය පෙනෙන්නෙ වතුර සිඳී ගිය වැලිතලාවක් වගේ. රස්නේ වැඩි නිසා මං ගස් සෙවණට යනවා. එතකොට ඒ අව්ව ගහ යටට එනවා. හුළඟ හමන කොට මහා ගිනි රස්නෙකින් ඒ හුළඟ හමන්නෙ මාව පුච්චගෙනයි. අනේ ස්වාමීනි, මට මේ දුක ලැබෙන්ට සුදුසුයි.
 
මං ඔයිටත් වඩා පව් කරල තියෙනවා. හත්ථිනීපුරයට ගිහින් මගේ අම්මට මෙහෙම කියන්න. ඔබේ දෝණියැන්දාව මට දැකගන්ට ලැබුනා. දුකට පත්වෙලා යම ලෝකෙ ඉපදිලා ඉන්නෙ. පාපකර්ම කරලයි මනුස්ස ලෝකෙන් චුත වෙලා පෙරේත ලෝකෙට ආවෙ. මං එහේදි ආරක්ෂා කරල තියාපු වස්තුව තියෙනවා. මං ඒ ගැන කාටවත් කිව්වෙ නෑ. වාඩිවෙන ආසනය යට හාරලක්ෂයක් හංගලා තියෙනවා. ඒ වස්තුව වියදම් කරල මං වෙනුවෙන් දානයක් දෙන්න. අම්මාගෙ වියදමටත් ගන්න. මගේ අම්මා මනුස්ස ලෝකෙදී දානයක් දිල මට පින් ලබා දේවා! එතකොට මට සැප ලැබේවි. කැමති හැමදේකින්ම සමෘද්ධිමත් වේවි.
 
‘හොඳයි’ කියල ඔහු පිළිතුරු දුන්නා. හත්ථිනීපුරයට ගියා. ඇයගේ මෑණියන්ටත් කිව්වා,
 
ඔබේ දෝණියැන්දාව මට දැකගන්ට ලැබුනා. දුකට පත්වෙලා යම ලෝකෙ ඉපදිලා ඉන්නෙ. පාපකර්ම කරලයි මනුස්ස ලෝකෙන් චුත වෙලා පෙරේත ලෝකෙට ආවෙ. මගේ අම්මට ගිහින් කියන්න කියල ඇය තමයි මේ වැඩේට මාව යෙදෙව්වෙ. ඔබේ දෝණියැන්දාව මට දැකගන්ට ලැබුනා. දුකට පත්වෙලා යම ලෝකෙ ඉපදිලා ඉන්නෙ. පාපකර්ම කරලයි මනුස්ස ලෝකෙන් චුත වෙලා පෙරේත ලෝකෙට ආවෙ. මං එහේදි ආරක්ෂා කරල තියාපු වස්තුව තියෙනවා. මං ඒ ගැන කාටවත් කිව්වෙ නෑ. වාඩිවෙන ආසනය යට හාරලක්ෂයක් හංගලා තියෙනවා. ඒ වස්තුව වියදම් කරල මං වෙනුවෙන් දානයක් දෙන්න. අම්මාගෙ වියදමටත් ගන්න. මගේ අම්මා මනුස්ස ලෝකෙදි දානයක් දීල මට පින් ලබා දේවා! එතකොට මට සැප ලැබේවි. කැමති හැම දේකින්ම සමෘද්ධිමත් වේවි’ කියලා.
 
එතකොට ඇගේ මව ඈ වෙනුවෙන් දානයක් දුන්නා. දීල ඒ පින ඒ පෙරේතියට අනුමෝදන් කළා. එතකොට ඒ පෙරේති සුවපත් වුනා. සුන්දර දැකුම් ඇති සිරුරක් ලැබුනා.