"කුඩා කාලයකට වුව ද ශික්ෂා පද රැකීමෙන් බොහෝ සැප ලැබේ."

මුව-දඩයක්කාරයා

ඛුද්දක නිකාය | පේතවත්ථු | 3.7. මිගලුද්දක පේත වත්ථු

ඔබ තරුණයි. දිව්‍ය පුත්‍රයන්, දිව්‍ය අංගනාවන් පිරිවරාගෙනයි ඉන්නෙ. සිත් අලවන කාම සම්පත්වලින් සෝභමානයි. නමුත් දවල් කාලෙට ඔබ හරියට දුක් විඳිනවා. කලින් ජීවිතයේදී ඔබ මොන වගේ කර්මයක්ද කළේ?
 
මං හිටියේ රජගහ නුවර. ඒ රම්‍ය වූ ගිරිබ්බජ කියන රමණීය රාජධානියේ මං හිටියේ මුව වැද්දෙක් වෙලා. ලේ වැකුණු අත් ඇතිව දරුණු විදිහටයි මං හිටියේ. කිසිවෙකුට හිංසා කරන්නෙ නැති ප්‍රාණීන් ගැන බොහෝ සතුන් ගැන මට තිබුනේ නපුරු හිතක්. අති දරුණු විදිහටයි මං හැසිරුනේ. බොහෝ සතුන් කෙරෙහි හිංසාවටයි මං ඇලුනේ. කිසි දමනයක් තිබුනෙ නෑ. නමුත් මාගේ යාළුවෙක් හිටියා. හරි සුහදයි. ශ්‍රද්ධාවන්ත උපාසකයෙක්.
 
ඔහු මං ගැන අනුකම්පාවෙන් හිටියේ. මාව නැවත නැවත පව්වලින් වැළැක්වුවා.ළමයෝ, පව් විතරක් කරන්ට එපා! අපායෙ යන්ට එපා! මරණින් මත්තෙ සැප ලබන්ට කැමති නම් ඔය දුස්සීල වූ ප්‍රාණවධයෙන් වෙන් වෙන්න’. මගේ සැප කැමති මා කෙරෙහි අනුකම්පා කරන ඔහුගේ වචනය මං අහලා ඒ සියලු අවවාද කළේ නෑ. බොහෝ කාලයක් පව්වලට ඇලිල බුද්ධියක් නැතුව නෙව මං හිටියෙ. ඒ මහා ප්‍රඥාවන්ත උපාසකතුමා ආයෙමත් මට අනුකම්පා කරල සීල සංවරයෙහි මාව පිහිටෙව්වා. ‘ඉතින් නුඹ දවල් කාලේ සතුන් මරණවා නම් අඩු ගණනේ රාත්‍රියටවත් නුඹගේ සංවරයක් වේවා!’ කියල.
 
ඉතින් මං දවල් කාලෙ සතුන් මරල රෑට සතුන් මැරීමෙන් වෙන් වෙලා සංවර වුනා. ඒ නිසයි මට රෑට දිව්‍ය සැප ලැබෙනවා. දවල්ට දුක් අනුභව කරනවා. ඒ කුසල කර්මයේ විපාක වශයෙන් මං රාත්‍රියට දිව්‍ය සැප අනුභව කරනවා. දවල්ට බල්ලන් බද්ධවෛරයෙන් වගේ මාව පන්නගෙන ඇවිත් වට කරගෙන කනවා. යම් කෙනෙක් සුගතයන් වහන්සේගේ සාසනයෙහි ස්ථිරව පිහිටලා නිරතුරුවම බණ භාවනාවෙහි යෙදෙනවා නම්, මං හිතන්නෙ ඔවුන් අසංඛත වූ අමා නිවන මුළුමනින්ම අවබෝධ කරගන්නවා කියලයි.

"තවත් කෙනෙකුගේ ජීවිතය නැති කිරීම (සත්ව ඝාතනය) බොහෝ දුකට හේතු වේ."

දෙවන මුව-දඩයක්කාරයා

ඛුද්දක නිකාය | පේතවත්ථු | 3.8. දුතිය මිගලුද්දක පේත වත්ථු

කූටාගාරවල ප්‍රාසාදවල දිගු ලොම් ඇති කොඳූපලස් අතුරපු යහන්වල පංචාංගික තූර්යය නාදය සුන්දර විදිහට වාදනය වෙද්දි ඔබ ඒ ගැන සතුටු වෙනවා. ඒ රැය ගෙවී ගියාට පස්සෙ හිරු උදා වෙනකොට ඔබව සොහොනෙහි අත්හැර දමනවා. බොහෝ දුකට පත් වෙනවා. ඔබ විසින් කයෙන් වචනයෙන් මනසින් මොන වගේ පවක්ද කරගත්තෙ? මොන වගේ කර්මයක විපාකයක් නිසාද මේ වගේ දුකකට පත් වුනේ.?
 
මං හිටියේ රජගහ නුවර. ඒ රම්‍ය වූ ගිරිබ්බජ කියන රමණීය රාජධානියේ මං හිටියේ මුව වැද්දෙක් වෙලා. මං දරුණුයි. සංවරකමක් තිබුනෙ නෑ. නමුත් මාගේ යාළුවෙක් හිටියා. හරි සුහදයි. ශ්‍රද්ධාවන්ත උපාසකයෙක්. ඔහුගේ කුලුපග භික්ෂුවක් හිටියා. උන්වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්. ඒ භික්ෂුව මං ගැන අනුකම්පාවෙන් හිටියේ. මාව නැවත නැවත පව්වලින් වැළැක්වුවා. ‘ළමයෝ, පව් විතරක් කරන්ට එපා! අපායෙ යන්ට එපා!’ කියල.
 
මරණින් මත්තෙ සැප ලබන්ට කැමති නම් ඔය දුස්සීල වූ ප්‍රාණවධයෙන් වෙන් වෙන්න. මගේ සැප කැමති මා කෙරෙහි අනුකම්පා කරන ඒ භික්ෂුවගේ වචනය මං අහලා. ඒ සියළු අවවාද කළේ නෑ. බොහෝ කාලයක් පව්වලට ඇලිල බුද්ධියක් නැතුව නෙව මං හිටියෙ. ඒ මහා ප්‍රඥාවන්ත උපාසකතුමා ආයෙමත් මට අනුකම්පා කරල සීල සංවරයෙහි මාව පිහිටෙව්වා. ‘ඉතින් නුඹ දවල් කාලේ සතුන් මරණවා නම් වූ අඩු ගණනේ රාත්‍රියටවත් නුඹගේ සංවරයක් වේවා!’ කියල.
 
ඉතින් මං දවල් කාලෙ සතුන් මරල රෑට සතුන් මැරීමෙන් වෙන් වෙලා සංවර වුනා. ඒ නිසයි මට රෑට දිව්‍ය සැප ලැබෙනවා. දවල්ට දුක් අනුභව කරනවා. ඒ කුසල කර්මයේ විපාක වශයෙන් මං රාත්‍රියට දිව්‍ය සැප අනුභව කරනවා. දවල්ට බල්ලන් බද්ධවෛරයෙන් වගේ මාව පන්නගෙන ඇවිත් වට කර ගෙන කනවා. යම් කෙනෙක් සුගතයන් වහන්සේගේ සාසනයෙහි ස්ථිරව පිහිටලා නිරතුරුවම බණ භාවනාවෙහි යෙදෙනවා නම්, මං හිතන්නෙ ඔවුන් අසංඛත වූ අමා නිවන මුළුමණින්ම අවබෝධ කර ගන්නවා කියලයි.

"බොරු කීමෙන්, කේලාම් කීමෙන්, හිස් වචන කතා කිරීමෙන් ඇති වන අනතුරු මොනවාද?"

පිටු-මස් කන්නා

ඛුද්දක නිකාය | පේතවත්ථු | 3.9. කූටවිනිච්ඡයික පේත වත්ථු

ඔබ මල් පැළඳගෙන ඉන්නවා. ඔටුන්නක් දාගෙන ඉන්නවා. අත්පාවල ආභරණ පැළඳගෙන ඉන්නවා. සඳුන් කල්ක ඇඟ තවරාගෙන ඉන්නවා. ඔබේ මුව මඬල හරිම ප්‍රසන්නයි. හිරුගේ පැහැයෙන් බබලනවා. ඔබට යම් මේ පරිවාර ජනයා ඉන්නවා නම් ඒ අය දිව්‍ය පිරිසයි. ඔබට යම් උපස්ථායිකාවන් ඉන්නවා නම් ඒ අය විතරක් දිව්‍ය කන්‍යාවන් දහදාහක් වෙනවා. ඔවුන් සක්වළලු ආදී පළඳනා පැළඳගෙන ඉන්නවා. රන්වන් මුදුන්මල් කඩකින් සැරසිලා ඉන්නවා. නුඹ මහානුභාව සම්පන්නයි. ඔබව දකින කොට ලොමුඩහ ගැන්වෙනවා. එහෙත් ඔබ තමාගේම පිටේ මස් කඩාගෙන කනවා. ඔබ විසින් කයෙන් වචනයෙන් මනසින් මොන වගේ පවක්ද කර ගත්තෙ? මොන වගේ කර්මයක විපාකයක් නිසාද ඔබතුමාගේම පිටේ මස් කඩාගෙන කන්නෙ?
 
මං මනුස්ස ලෝකෙ ඉන්න කාලේ මට අයහපත පිණිසයි ජීවත් වුනේ. කේළාම් කීමෙන්, බොරු කීමෙන්, කපටි වැඩවලින්, වංචාවෙන් මං ගත කළේ. එහෙදී මං පිරිස් මැදට ගිහිල්ලා සත්‍ය කතා කරන්ට සුදුසු කාලය එනකොට මං ඒ යහපත් කාරණය අත්හැර දාලා අධර්මයට අනුවයි ගත කළේ. මං අනුන්ට නැති තැන ඇදකුද කිය කිය නින්දා කළා. ඒ පිටුමස් කෑම නිසා දැන් අද මං මගේම පිටුමස් කනවා. මේ විදිහටයි එයා තමන්ව කන්නෙ. පින්වත් නාරද ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ ඒ මාව දැකගත්තා. ලෝකානුකම්පාව ඇති අතිශයින්ම දක්ෂ වූ බුද්ධාදි උතුමන් යමක් වදාළා නම් මා කියන්නෙත් ඔබට එයමයි. කේළාම් කියන්න එපා! බොරු කියන්න එපා! මං කළා වගේ පිටුමස් කන්නත් එපා!

"බුදුරජාණන් වහන්සේගේ ධාතු සෑයට අපහාස කරන්නන්ට ඉතිරිවන්නේ මහා භයානක අවසානයක්."

ධාතු පූජාවට අපහාස කිරීම

ඛුද්දක නිකාය | පේතවත්ථු | 3.10. ධාතුවිවණ්ණික පේත වත්ථු

ඔබ අහසේ ඉන්නෙ. හරිම ගඳයි නෙව. කුණු ගඳ හමනවා. කුණු ගඳ ගහන ඔබේ මුඛයේ පණුවෝ පිරිලා කකා ඉන්නවා. ඔබ කලින් ජීවිතයක මොන වගේ කර්මයක්ද කළේ? ආයුධ ගත්තු පිරිසක් ඔබේ මුඛය සැත්වලින් කප කපා දානවා. ලුණු වතුරින් ඉසිමින් ආයෙ ආයෙමත් කපනවා. ඔබ විසින් කයෙන් වචනයෙන් මනසින් මොන වගේ පවක්ද කරගත්තෙ? මොන වගේ කර්මයක විපාකයක් නිසාද මේ වගේ දුකකට පත් වුනේ. ?
 
මං හිටියේ රජගහ නුවර. ඒ රම්‍ය වූ ගිරිබ්බජ කියන රමණීය රාජධානියේ මං හිටියේ. නිදුකාණන් වහන්ස, මං බොහෝ ධනසම්පත්වලට අධිපති වෙලා හිටියෙ. ඒ මගේ මේ බිරිඳත්, දියණියත්, ලේලියත් කියන මෙයාලා මලුයි මහනෙල් මලුයි වටිනා සුවඳ වර්ගයි අරගෙන ස්ථූපයට වන්දනා කරන්ට පිටත් වෙන කොට මං ඒක වැළැක්වුවා. මා තමයි ඒ පාප කර්මය කරගත්තෙ. අසූහයදාහක් වගේ පිරිසක් වන අපි ස්ථූප පූජාවට නින්දා අපහාස කළා. දැන් වෙන වෙනම අපි දුක් විඳිනවා. ඝෝරදුක් තියෙන නිරය වැනි පෙරේත ලෝකයේ ඉපදිලයි දුක් විඳින්නෙ.
 
අරහත් වූ සම්බුදුරජාණන් වහන්සේගේ ස්ථූපයට පුදපුජා පවත්වන වෙලාවක කවුරු හරි කෙනෙක් ඒකට දොස් කියනවා නම්, එයා බැහැර වෙන්නෙ පිනෙන් බව තේරුම් ගන්න. මේ බලන්න. මල් දරාගෙන අලංකාර වෙලා අහසින් වඩින මේ දිව්‍යාංග-නාවන් දෙස බලන්න. මෑලා මේ අනුභව කරන්නේ ස්ථූපයට මල් පූජා කිරීමේ විපාකයයි. ආශ්චර්යය වූ පුදුම සහගත වූ ලොමුඩහ ගැන්වෙන මේ පුණ්‍ය විපාකය දැක්කට පස්සෙ නුවණ තියෙන උදවිය ඒ මහා මුනීන්ද්‍රයන් වහන්සේට නමස්කාර කරනවා. වන්දනා කරනවා. ඒ මමත් මේ පෙරේත යෝනියෙන් චුතවෙලා මනුස්ස ආත්මයක් ලබා ගෙන අප්‍රමාදීව නැවත නැවතත් ස්ථූප පූජාවමයි කරන්නෙ.

"අපායට යන මාර්ගයෙන් ගැලවෙන්නෙ කොහොමද?"

අම්බසක්කර රජු

ඛුද්දක නිකාය | පේතවත්ථු | 4.1. අම්බසක්ඛර පේත වත්ථු

වජ්ජීන්ට අයත් විසාලා මහනුවර කියල නගරයක් තියෙනවා. එහි අම්බසක්ඛර කියල ලිච්ඡවී රජ කෙනෙක් හිටියා. ඔහු නගරයෙන් පිට හිටපු පෙරේතයෙක්ව දැක්කා. දැකලා විස්තර දැනගන්ට හිතාගෙන ඒ පෙරේතයාගෙන් මේ කරුණු ඇහුවා.
 
‘මේ ප්‍රේතයාට නින්දක් නෑ. වාඩිවෙලා සිටීමක් නෑ. ඉදිරියට ඒමක් නෑ. ආපසු යාමක් නෑ. ආහාරපාන රස විඳීමක්, ඇඳුම් පාවිච්චියක් නෑ. මෙයාට උදව් කරන්න කෙනෙකුත් නෑ. මේ පෙරේතයාට ඉස්සර මනුස්ස ජීවිතයේදී නෑදෑයො හිටියා. ඇසු දුටු සුහද මිතුරන් හිටියා. දැන් ඒ කවුරුවත් දැක ගන්ටවත් නෑ. ඒ ජනයා විසින් මෙයාව අත්හැර දැමූ බවක් තමයි තියෙන්නෙ. ධනයෙන් පිරිහුණු කෙනෙකුට යාළු මිත්‍රයො නෑ.
 
විනාශයට පත් වුන බව දැනගත්තු ගමන් මිතුරන් එයාව අත්හරිනවා. සල්ලි තියෙන කෙනාව දැක්ක ගමන් යාළුවෝ පිරිවරා ගන්නවා. ධනසම්පත්වලින් දියුණු වුන කෙනෙකුට ඕනෑතරම් යාළුවෝ ඉන්නවා. සියළු සම්පත්වලින් පිරිහිලා නිහීන ආත්මයක් ලැබුවට පස්සෙ දුකෙන් ඉන්ට තියෙන්නෙ. ලේ වැකුන ශරීරයක් ඇතිව අත පය බිඳගෙනයි ඉන්නෙ. මෙයාගෙ ජීවිතය අද හෙටවත් විශ්වාස නෑ. තණ අග රැඳුන පිනි බිංදුවක් වගේ මේ ජීවිතයේ අවසානය රැඳිල තියෙන්නෙ.
 
එම්බා යක්ෂය, මේ විදිහට ඉතා දරුණු දුකට පත්වෙලා කොහොඹ උලක නග්ගවලා ඉන්නෙ. එහෙම කෙනෙකුට ඇයි ඔබ ‘ජීවත් වෙන්න, ජීවත් වෙන්න’ කියල ‘ජීවිතයම තමයි ශ්‍රේෂ්ඨ වෙන්නෙ’ කියල කියන්නෙ මොන කරුණක් මතද?
 
පින්වත් රජතුමනි, මේ පුරුෂයා මගේ ලේ ඤාතියෙක්. මට පෙර ආත්මභාව සිහි කරන්ට පුළුවනි. එහෙම දැකලා මට මොහු ගැන කරුණාවක් ඇති වුනා. පාපී ගති ඇති මේ පුද්ගලයා නිරයේ වැටෙන්න නම් එපා කියල.
 
ලිච්ඡවී රජතුමනි, මේ පුද්ගලයා මෙතැනින් චුත වෙලා යන්නෙ අතිභයානක වූ සත්තුස්සද කියන නිරයටයි. එහේ පව් කරපු උදවියට මහා භයානක කටුක දැවිලි තැවිලි ඇති දුක් උපදිනවා. මේ පුද්ගලයා භයානක ඒකාන්ත දුක් ඇති කටුක දුක් සහිත වූ නිරයට වැටෙනවා. ඔහුට ඒ මහා නරකාදියට වඩා නොයෙක් ගුණයෙන් මේ හුළමයි උතුම්. මේ තැනැත්තා ඔය කාරණාව ගැන මං කියන දේ ඇසුවොත් දුක වැඩිකමට ප්‍රාණය අත් හරිනවා. මං ඒ නිසා මෙයා ළඟ කියන්නෙ නැත්තෙ මෙයාගෙ ජීවිතය නිරුද්ධ වෙන්ට එපා කියන අදහස නිසයි.
 
මේ පුරුෂයා පිළිබඳව වූ කාරණාව මං දැන් තේරුම් ගත්තා. මං ඔබ ගෙන් වෙන කාරණේකුත් දැනගන්න සතුටුයි. ඒ ගැන අසන්නට අපට අවසර දෙන්න. අපි මේ ගැන අහනවා කියල කේන්ති ගන්ට එපා.
 
ඇත්තෙන්ම එදා මගේ ප්‍රතිඥාවක් තිබුනා. පැහැදිලා නැති කෙනෙකුට කියන්නෙ නෑ කියල. දැන් මං අකැමති වුනත් ඔබ මාව ඇදහිය යුතු වචන ඇති කෙනෙක් විදිහට සලකනවා නෙව. කැමති දෙයක් අහන්න. පුළුවන් හැටියට විසඳන්නම්.
 
පින්වත් යක්ෂය, මං යම්කිසි දෙයක් ඇසින් දකිනවා නම් ඒ හැම දෙයක්ම මට විශ්වාස කරන්ට පුළුවනි. ඉදින් ඇස් දෙකෙන්ම දැකලත් ඒක මං අදහන්නෙ නැත්නම් එතකොට ඔබ එයට මට නිග්‍රහ  කරන්න.
 
ඔබගේ ඔය ප්‍රතිඥාව මට සත්‍යයක්ම වේවා! දූෂිත වූ සිතකින් තොරව යමක් අවබෝධ කර ගැනීමේ අදහසින් ම මේ ධර්මය අහලා පැහැදීම ඇති කරගන්න. ඔබතුමා විසින් අසපු දේවල් වෙන්ට පුළුවනි. නාසපු දේවල් වෙන්ට පුළුවනි. මං තේරුම් ගත් විදිහට හැමදෙයක්ම කියන්නම්.
 
සුදු අශ්වයන් යෙදූ අලංකාර යානයකින් මේ හුල තිබ්බ කෙනා ළඟට එන්නෙ. මේක අද්භූත යානයක්. දර්ශනීයයයි. මේ විපාකය මොන කර්මයකින් ලැබුණු එකක්ද?
 
විශාලා මහනුවර නගරය මැද්දේ මඩ සහිත මාර්ගයක නරාවලක් තිබුනා. මං යහපත් අදහසින් සුදු වෙලා ගිය ගවයෙකුගේ හිස් කබලකින් ඒ නරා වළ වැහුවා. එතකොට ඒ හිස් කබලට පය තියල තමයි අපිත් අනික් උදවියත් එතැනින් ගමන් කළේ. මේක අද්භූත යානයක්. දර්ශනීයයි. මේ විපාකය ලැබුනේ අන්න ඒ කර්මයෙන් තමයි.
 
මහානුභාව ඇති යක්ෂය, ඔබේ සිරුරු පැහැයෙන් හැම දිසාවක්ම බබලනවා. ඔබේ ශරීරයෙන් හමන සුවඳ හැම දිසාවේම පැතිරෙනවා. ඔබ දිව්‍ය ඉර්ධියට පත්වෙලයි ඉන්නෙ. නමුත් ඔබේ ඇඟේ නූල් පොටක්වත් නෑ. මේ විපාකය ලැබුනේ මොන වගේ කර්මයකින්ද?
 
මං ක්‍රෝධ කළේ නෑ. හැම තිස්සේම ගත කළේ පහන් සිතින්මයි. මිහිරි වචනවලින් මං මිනිසුන්ට කතා කළේ. හැම තිස්සේම මගේ දිව්‍ය වූ සිරුරෙන් පැහැය විහිදෙන්නේ ඒ කර්මයේ විපාක වශයෙන් තමයි. ධර්මයේ පිහිටි උදවිය ගේ යසසත් කීර්තියත් ගැන දැකලමයි මං එය පහන් සිතින් වර්ණනා කරන්නෙ. ඒ කර්මයේ විපාකය වශයෙන් ලැබුනේ මෙයයි. මගේ ශරීරයෙන් දිව්‍ය සුවඳක් නිතරම හමනවා.
 
මගේ යාළුවන් නහන තොටේ නනා හිටියා. එතකොට මං ඒ යාළුවන්ගේ වස්ත්‍ර ගොඩින් සඟවලා තිබ්බා. මං ඒක කළේ සෙල්ලමටයි. නපුරු අදහසකින් නොවෙයි. ඒ විපාකයෙන් තමයි මං නිරුවත් කෙනෙක් වුනේ. ඒ නිසා මගේ ජීවිතය දුකයි. යම්කිසි කෙනෙක් සෙල්ලමට හරි යම් පවක් කළොත් එයාට ඔය විදිහේ කර්ම විපාකවලට මුහුණ දෙන්න සිදුවෙන බව සත්පුරුෂයන් කියලයි තියෙන්නෙ. එහෙම එකේ සෙල්ලමකට නොව නපුරු සිතින්ම යම් කෙනෙක් පවක් කරනවා නම් ඒකෙ විපාක මොන තරම් දරුණු වේවිද කියලත් සත්පුරුෂ උතුමන් කියලයි තියෙන්නෙ. යම්කිසි මිනිසෙක් දූෂිත වූ අදහස්වලින් යුක්තව කයින් වචනයෙන් අපිරිසිදු දේ කරනවා නම් ආයෙ සැකයක් නෑ. එයාට මරණින් මත්තෙ පරලොවදී නිරයේ තමයි උපදින්ට වෙන්නෙ.
 
සුගතියේ උපත පතන අනෙක් උදවිය ඉන්නවා. එයාලා දන් දීමට ඇලෙනවා. අනික් අයට උදව් උපකාර කරමින් ජීවිතය ගත කරනවා. එයාලා කය බිඳී මැරුණට පස්සෙ නිසැකවම උපදින්නෙ සුගතියේ තමයි.
 
දැන් ඔබ පින්පව් ගැන මට කිව්වා නෙව. මං මේක විශ්වාස කරන්නෙ කොහොමද? පින්වල මේ විපාක තියෙනවා, පව්වල මේ විපාක තියෙනවා කියල. මං මොකක් දැකලාද ඕක විශ්වාස කරන්නෙ? අනික ඕක මට විශ්වාස කරවන්නෙ කවුද? මේ පින්පව්වල කර්ම විපාක මෙයයි කියල දැකල හෝ අහල හෝ අදහගන්න. මේ පින්පව්වල කර්ම විපාක නැත්නම් සත්වයන් සුගතියට ගියා කියල හරි දුගතියට ගියා කියල හරි දැනගන්නෙ කොහොමද?
 
මේ මිනිස් ලොව මිනිස්සු පින් කියල දෙයක්වත් පව් කියල දෙයක්වත් කරන්නෙ නැත්නම් සුගතියක්වත් දුගතියක්වත් ඇතිවෙන්නෙ නෑ. එහෙම නම් මේ මිනිස් ලෝකයේ උසස් පහත් වෙනස්කමකුත් තිබෙන්ට බෑ. යම් හෙයකින් මේ මිනිස් ලෝකයේ සත්වයන් පින් කියන දෙයත් පව් කියන දෙයත් කරනවාද ඒ හේතූන් නිසාමයි සුගතියට ගිය සත්වයොත් දුගතියට ගිය සත්වයොත් ඉන්නෙ. ඒ නිසාමයි මේ මනුස්ස ලෝකයේ උසස් පහත් අය ඉන්නෙත්.
 
සැප විඳීමටත් දුක් විඳීමටත් හේතුවන කර්ම විපාක ගැන මං අද කිව්වා. පින් කරපු උදවිය දෙවියන් වෙලා ඉපදිලා සැප සම්පත්වලින් සතුටු වෙනවා. මේ පින්පව්වල වෙනස දකින්නේ නැති අඥානයන් නිරයේ ගිහින් දුක් විඳිනවා. තමන් විසින් කරගත්තු පින් කියල දෙයක් මට නෑ. ඒ වගේම රෙදිපිළි, සේනාසන, ආහාරපාන ආදිය දන් දීල මට පින් දෙනවා නම් එවැනි කෙනෙක්වත් නෑ. ඒ නිසා මං නූල් පොටක්වත් ඇඟේ නැතිව දුක්ඛිත ජීවිතයක් ගෙවනවා.
 
එම්බා ප්‍රේතය, ඔබට යම් කිසි පිළිවෙලකින් අඳින්ට යමක් ලැබෙනවා නම් එබඳු දෙයක් තියෙනවා නම් මට කියන්න. ඔබ ඒ කරුණු සහිතව කියන වචනය මං අහනවා.
 
මේ ළඟපාත කප්පිනක කියල භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා. උන්වහන්සේ ධ්‍යාන වඩනවා. ඉතාම සිල්වත්. කෙලෙස් දුකෙන් නිදහස් වුන රහතන් වහන්සේ නමක්. ඉඳුරන් රැකගෙන ඉන්නවා. උතුම් ශික්ෂාපදවල හොඳින් හික්මිලා තියෙනවා. සිහිල් වෙලා ඉන්නවා. උතුම් අවබෝධයට පත්වෙලා ඉන්නවා. මොළොක් ගුණ තියෙනවා. යහපත් දන් දෙනවා.
 
සොඳුරු වචන කියනවා. සියුමැලියි. හොඳට බණ දහම් දන්නවා. අවබෝධයෙන්ම කතාබස් කරන කෙනෙක්. පින් කෙතක්. නිකෙලෙස් විහරණයෙන් යුක්තයි. දෙව් මිනිසුන්ගේ පුදපුජාවන්ට සුදුසුයි. ශාන්තයි. කෙලෙස් නෑ. දුක් රහිතයි. ආශා රහිතයි. දුකින් නිදහස් වෙලා ඉන්නෙ. කෙලෙස් හුල් ඉවත් කරලයි ඉන්නෙ. මමත්වයක් නෑ. අවංකයි. කෙලෙස් සහිත කර්ම නෑ. හැම ප්‍රපඤ්චයක් (කෙලෙස් සහගත කල්පනාවක්) ම ක්ෂය වෙලා තියෙන්නෙ. ත්‍රිවිද්‍යාවම ලබලයි ඉන්නෙ. නුවණින් බබළනවා.
 
එච්චර ප්‍රසිද්ධ නෑ. දැක්කත් මෙවැනි කෙනෙක් බව ලේසියෙන් හඳුනා ගන්ටත් බෑ. වජ්ජි දේශයේ උන්වහන්සේ ගැන කතා කරන්නෙ මුනිවරයෙක් කියලයි. ලෝකයේ යක්ෂයන් භූතයන් උන්වහන්සේ ගැන කිය කියා යන්නෙ ගතිගුණ ඇති කෙලෙස් රහිත උත්තමයා කියලයි. ඉතින් ඔබ ඒ කප්පිනක තෙරුන් වහන්සේට එක වස්ත්‍රයක් හරි වස්ත්‍ර දෙකක් හරි මා වෙනුවෙන් පූජා කරනවා නම් උන්වහන්සේත් ඒ පූජා කරන වස්ත්‍ර පිළිගන්නවා නම් ඔබටම දකින්ට ලැබේවි මං හොඳ ලස්සනට රෙදිපිළි ඇඳල ඉන්න හැටි.
 
ඒ ශ්‍රමණයන් වහන්සේ වැඩවාසය කරන්නෙ කොයි පළාතේද? අපි දැන් ගිහින් දැකගන්නවා. අපේ මේ සැකයත්, විචිකිච්ඡාවත්, පින්පව් විශ්වාස නොකරන මිසදිටුවත් කවුරු නම් විශ්වාස කරාවිද?
 
කපිනච්චනා කියන ප්‍රදේශයේ තමයි උන්වහන්සේ වැඩ ඉන්නෙ. බොහෝ දෙවිවරුන් පිරිවරාගෙනයි ඉන්නෙ. සත්‍යය යන නම් ලද උන්වහන්සේ තමන්ගේ ආචාර්යය විනයෙහි අප්‍රමාදීව හික්මෙමින් ධර්ම කතාව වදාරණවා.
 
එහෙනම් මං එහෙම කරන්නම්. දැන්ම ගිහින් ඒ ශ්‍රමණයන් වහන්සේට වස්ත්‍ර දෙකක් පිළිගන්වන්නම්. උන්වහන්සේ ඒ පිළිගත්තහම ලස්සනට රෙදි ඇඳගෙන ඉන්න ඔබව දකින්ට පුළුවන් වේවි.
 
පින්වත් ලිච්ඡවී රජතුමනි, නුසුදුසු වෙලාවේදී ඔබ වැනි කෙනෙක් පැවිද්දන්ව දකින්ට යන්න එපා. එක ධර්මය නොවෙයි. සුදුසු වෙලාවේදී යන්න. ගිහින් හුදෙකලාවේ භාවනාවෙන් වැඩඉන්න උන්වහන්සේව දැකගන්න.
 
එතකොට ඒ ලිච්ඡවී රජතුමා ‘එසේය’ කියල පිළිතුරු දීල සේවක පිරිස් පිරිවරාගෙන එහි ගියා. ඒ නුවරට ගිහින් තමන්ගේ නිවසට පැමිණුනා.  ඊට පස්සේ සුදුසු කල් බලල ගිහි කටයුතු නිමා කරල, වතුර නාලා, ආහාරපාන අනුභව කරල අවස්ථාව ලබාගත්තා. පෙට්ටියෙන් රෙදි ජෝඩු අටක් තෝරගත්තා. සේවක පිරිස ලවා ඒකත් ගෙන්නා ගෙන ගියා. ඒ රජතුමා අර ප්‍රදේශයට ගියා. ගිහින් ශාන්ත සිත් ඇති ශ්‍රමණයන් වහන්සේව දැකගත්තා. පිණ්ඩපාතේ වැඩම කරල පෙරලා වැඩම කරල රුක් සෙවණක නිවී සැනහී වැඩඉන්න උන්වහන්සේව දැක්කා. ඊට පස්සේ ඔහු උන්වහන්සේ වෙත ගියා. සැප දුක් පහසු විහරණය ගැන ඇසුවා.
 
‘ස්වාමීනි’ මං විශාලා මහනුවර ලිච්ඡවී රජකෙනෙක්. මං ගැන කවුරුත් දන්නෙ අම්බසක්ඛර ලිච්ඡවී රජ කියලයි. ස්වාමීනි, මේ පිළි සඟල අට පිළි ගන්නා සේක්වා! මං ඔබවහන්සේට මේවා පූජා කරනවා. ඒ ගැන මං සතුටක් ඇති කර ගන්නවා නම් අන්න ඒ කාරණාවට තමයි මං මෙහේ ආවේ.
 
ශ්‍රමණයන් වහන්සේලාත් බ්‍රහ්මණවරුත් ඔබතුමාගේ නිවස දුරින්ම දුරු කරල නෙව ඉන්නෙ. ඔබේ නිවස අසලදී ඔබ නිසා පාත්‍රා බිඳෙනවා නෙව. සඟල සිවුරුත් කීතු කීතුවලට ඉරල දානවා නෙව. සමහරු ඒ පාද නමැති කෙටේරිවලින් ශ්‍රමණයන් වහන්සේලාව හිස බිම වදින්න පෙරලලා දානවා නෙව.
 
ඔය විදිහට පැවිද්දන්ට හරිම පීඩාවක් ලැබෙනවා. ඔබ කරපු දේවල් නිසයි ශ්‍රමණයන් වහන්සේලා දුකට පත් වුනේ. ඔබ ඉතින් තණ අගින් වෑහෙන තෙල් බිඳක් තරම්වත් දීල නෑ නෙව. පාර තොට මුලාවෙච්ච කෙනෙකුට මාර්ගයවත් පෙන්වලා නෑ නෙව. අන්ධ මිනිසාගේ හැරමිටියත් උදුරා ගත්තා. මෙවැනි කෑදර අසංවර කෙනෙක් වුන ඔබ කුමන ගුණයක් නිසාද අපට මේ දන් දීම් කරන්නෙ?
 
ස්වාමීනි, මං ඔය කියාපු දේවල් පිළිගන්නවා. මං ශ්‍රමණබ්‍රාහ්මණයන්ව වෙහෙසට පත් කළා තමයි. හැබැයි මං ඒව කළේ සෙල්ලමටයි. නපුරු හිතකින් නම් නොවෙයි. ස්වාමීනි, ඒක වුනත් මං කරපු නරක දෙයක්. එක්තරා ප්‍රේතයෙක් සෙල්ලමට පව් රැස් කරල දැන් දුක් විඳිනවා. සැපසම්පත් සම්පූර්ණ නෑ, හොඳ තරුණයෙක්. ඒ වුනාට විලිවහගන්ට නූල්පොටක්වත් නෑ. ඊටත් වඩා බරපතල දුකක් කොයින්ද? ස්වාමීනි, මං ඒ පෙරේතයාව දැක්කා. මට සංවේගයක් ඇති වුනා. ඒ හේතුව නිසයි මං ඔබවහන්සේට මේ දානය දෙන්නෙ.  ස්වාමීනි, මේ වස්ත්‍ර යුගල අට පිළිගන්නා සේක්වා! මෙයින් ලද පින ඒ ප්‍රේතයා වෙත පැමිණේවා!
 
ඒකාන්තයෙන්ම දන් දීම වනාහි බුද්ධාදී උතුමන් විසින් නොයෙක් විදිහට ප්‍රශංසා කරල තියෙන්නෙ. දන් දෙන්නා වූ ඔබගේ ධනය ක්ෂය නොවන තත්වයට පත් වේවා! ඔබගේ ඔය වස්ත්‍ර යුගල මං පිළිගන්නම්. මේ පින ප්‍රේතයා වෙතද පැමිණේවා!
 

එතකොට ඒ ලිච්ඡවී රජු මුව සෝදා ගෙන තෙරුන් වහන්සේට වස්ත්‍ර යුගල අට පූජා කරල ‘මේ වස්ත්‍ර පිළිගනු ලැබේවා! ලස්සනට රෙදි ඇඳගත් ප්‍රේතයාව දැක ගන්ට ලැබේවා!’ කියල කිව්වා. එතකොට ඔහු අර පෙරේතයාව දැක්කා. උදාර රූප සම්පත්තියෙන් යුක්තයි. සඳුන් කල්ක තවරාගෙන ඉන්නවා. ලස්සනට වස්ත්‍ර ඇඳලා අලංකාර වෙලා ඉන්නවා. ඒ වගේම සැරසුණු පිරිවර සේනවා මැද ආජානීය අශ්වයෙකුගේ පිට නැඟල ඉන්නවා. මහා සැප සම්පත් ලබලා. ඒ රජතුමා ඒ පෙරේතයාව දැකලා පුදුම සතුටකට පත් වුනා. තුටු පහටු වුනා. සුන්දර ස්වරූප ඇති ඒ කර්මයේ මහා විපාක දැක්කා. මෙලොව දීම තමන්ගේ ඇස්වලින් ප්‍රත්‍යක්ෂ කරගත්තා. ඒ රජතුමා ඔහු ළඟට ගිහින් මෙහෙම කියනවා.

‘මං ශ්‍රමණබ්‍රාහ්මණවරුන්ට දන් දෙනවා. දැන් ඉතින් මට දෙන්න බැරි කිසි ම දෙයක් නෑ. පින්වත් යක්ෂය, නුඹ මට බොහෝම උපකාර කළා.’

ලිච්ඡවී රජතුමනි, ඔබ මට ඔය දුන්නේ සිව්පසයෙන් එක කොටසක් වූ වස්ත්‍ර දානයයි. ඒ දානය හිස් දෙයක් නොවෙයි. මං දැන් අමනුස්සයෙක් වෙලත් මනුෂ්‍යයෙක් වුන ඔබත් සමගයි මේ මූණට මූණ කතා කරන්නෙ. පින්වත් යක්ෂය, ඔබ මං යන ගමනද මගේ ඤාතියාද පිහිටද මිත්‍රයාද බවට පත්වෙන්න. මගේ ඉටු දෙවියා වෙන්න. මං ඔබට මේ ඇඳිලි බැඳගෙනයි කියන්නෙ. මං ආයෙමත් ඔබව දකින්න කැමතියි. හැබැයි යම් හෙයකින් ඔබට ශ්‍රද්ධාව නැති වුනොත් කෑදර වුනොත් නොමගට බැස ගත් සිතක් ඇති කර ගත්තොත් අන්න ඒ හේතුව නිසාම ඔබට මාව දකින්න නොලැබී යාවි. දැක්කත් ඔබ සමග කතා කරන එකක් නෑ.

ඒ වගේම ඔබ ධර්ම ගෞරවයෙන් යුක්තව හිටියොත් දන් දීමට ඇලී හිටියොත් අනුන්ට ඇප උපකාර කරන ජීවිතයක් ඇති කර ගත්තොත් ශ්‍රමණබ්‍රාහ්මණයින්ට පැන්තාලියක් වගේ ඔබ හිටියොත් අන්න එතකොට ඔබට මාව දැකගන්න ලැබේවි. ස්වාමීනි, ඔබ දැකලා මං කතාබස් කරනවා. ඒ නිසා ඉක්මනින් ම මේ පුරුෂයාව ඔය හුලෙන් මුදවන්න. යම් කරුණක් නිසා අපි මුණට මුණ කතාබස් කළා නම් මං හිතන්නෙ ඒකට හේතුව වුනේ මේ හුල මත ඉන්න පුද්ගලයා ළඟට අපි ආපු නිසයි. අපි දෙදෙනා එකිනෙකා මූණට මූණ කතාබස් කර ගත්තා. මේ හුල මත ඉන්න පුද්ගලයාත් වහා නිදහස් වුනොත් හොඳට පින්දහම් කර ගෙන නිරයෙනුත් නිදහස් වේවි. හැබැයි ඔහුට වෙන තැනක ගිහින් විඳින්ට සිද්ධ වෙන තව අකුසල කර්මයක් තියෙනවා.

ඔහුත් සමග ඔබ ගිහින් කප්පිනක තෙරුන් වහන්සේව සුදුසු කාලයේදී බැහැ දැකලා දන් පැන් පූජා කරල උන්වහන්සේ ඉදිරියේම අහල දැන ගන්න. උන්වහන්සේ ඔබට ඔය විස්තර කියල දේවි. හැබැයි උන්වහන්සේ ළඟට ගිහින් අවබෝධ කර ගන්න අදහසින්මයි අහන්ට ඕන. නපුරු සිතකින් නම් නොවෙයි. ඔබ අහපු දෙයක් වුනත් නෑසූ දෙයක් වුනත් ඒ හැම දෙයක් ගැනම තමන් වහන්සේ දන්න විදිහට කියලා දේවි.

ඒ රජතුමා එහිදී අමනුෂ්‍යයාත් එක්ක රහසේ කතාබස් කරල පොරොන්දු කරවාගෙන ගියා. ඊට පස්සෙ ඔහු ලිච්ඡවීන්ගේ සභාවටත් ගියා. එතැන රැස්වෙලා සිටිය පිරිසට මෙහෙම කිව්වා.

පින්වත්නි, මං මේ කියන එකම දෙය අසනු මැනැව. මං ඔබගෙන් වරයක් ඉල්ලා හිටිනවා. මං ඒ වරය ලබාගන්නවා. හුලමත ඉන්දවාපු පුරුෂයෙක් ඉන්නවා. ඔහු නපුරු වැඩකරපු කෙනෙක් තමයි. දඬුවම් ලබලයි ඉන්නෙ. නමුත් ඔහු රජු කෙරෙහි හිතවත් කෙනෙක්. දැන් ඔහුව හුල මත ඉන්දවපු දවසේ ඉඳල විසි රැයක් ගෙවුනා. ඔහු ජීවත් වෙන්නෙත් නෑ. මැරිලත් නෑ. මං දැන් ඔහුව නිදහස් කරනවා. මේ පිරිස එය අනුමත කරනු මැනව.

එහෙනම් මොහුවත් රජ අණ ලද අනිකාවත් නිදහස් කරන්න. ඔබ ඒ විදිහට නිදහස් කරන කොට එපා කියන්න කවුද ඉන්නෙ? ඔබ යම් විදිහකින් දන්නවා නම් ඒ විදිහට කළ මැනැව. පිරිස ඒක අනුමත කරනවා.

ඒ රජතුමා ඒ ප්‍රදේශයට ගියා. හුල මත හිටි ඒ පුරුෂයාව වහාම නිදහස් කළා. මිත්‍රයා, භය වෙන්ට එපා කියල කිව්වා. ඔහු ළඟට වෙද මහත්තුරුන් එක්කන් ආවා. රජ්ජුරුවන්ටත් මේ කාරණය දැන ගන්ට ඕන වුනා. ඉතින් ඔහුත් සමඟ කල්යල් බලල කප්පිනක තෙරුන් වහන්සේ බැහැදකින්ට ගියා. දන් පැන් පූජා කරගත්තා. උන්වහන්සේ ඉදිරියේම මේ කාරණය විමසන්න වුණා.

හුලමත ඉන්දවපු පුරුෂයා දරුණු වැඩකරපු කෙනෙක්. දඬුවම් ලබපු කෙනෙක්. රජු කෙරෙහි හිතවත් කෙනෙක්. ඔහු හුල මත ඉන්දවපු දවසේ පටන් විසි රැයක් ඉක්මවා ගියා. ඔහු ජීවත් වුනෙත් නෑ. මැරුනෙත් නෑ.ස්වාමීනි, මං එහෙ ගිහිල්ල ඒ පුද්ගලයාව දැන් නිදහස් කරලයි ඉන්නෙ. අර ප්‍රේතයාගේ කීම අහලයි මං මෙහෙම කළේ. ස්වාමීනි, ඔහු යම් කරුණකින් නිරයට යන්නෙ නැත්නම් එබඳු කිසියම් කාරණාවක් තියෙනවාද? ස්වාමීනි, ඒ වගේ දෙයක් තියෙනවා නම් පැවසුව මැනැව.

අපි කරුණු සහිතව විශ්වාස කටයුතු විදිහට කියන දේ අහනවා. මොලොවදී කරපු ඒ කර්මයන්ගේ විපාක නොවිඳ ගෙවිල විනාශ වීමක් නැද්ද? යම් හෙයකින් එයා අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්ට ඕන. දිවා රෑ දෙකේම මනාකොට ධර්මයේ හැසිරෙන්නට ඕන. එතකොට එයා නිරයේ දුකින් නිදහස් වෙනවා. හැබැයි ඒ කර්මය වෙන භවයක ඉපදිලා විඳින්ට සිද්ධ වෙනවා. ස්වාමීනි, ඒ මනුස්සයා ගැන මං අහපු කාරණාව දැනගත්තා. දැන් මා කෙරෙහිද අනුකම්පා කළ මැනැව. මහා ප්‍රඥාවන්ත මුනිඳුනි, මටත් අවවාද කරන සේක්වා! එතකොට මාත් නිරයෙන් නිදහස් වේවි.

එහෙම නම් ඔබ අදම පහන් සිතින් යුතුව බුදුරජාණන් වහන්සේව සරණ යන්න. ශ්‍රී සද්ධර්මයත්, ආර්යය සංඝරත්නයත් සරණ යන්න. ඒ වගේම සිදුරු නැතිව, පැල්ලම් නැතිව පන්සිල් පද පහ සමාදන්ව ආරක්ෂා කරගන්න. ඉක්මනින් ම සතුන් මැරිමෙන් වළකින්න. ලෝකයෙහි සොරකම් කිරීම දුරුකරන්න. මත්පැන් බොන්න එපා. බොරු කියන්නත් එපා. තම බිරිඳ සමගින් පමණක් සතුටු වෙන්න. ඔය විදිහට තිසරණයත්, සිල්පද පහත් කියන උතුම් අංග අටෙන් යුතු සීලයෙන් යුතු වන්න. එයින් බොහෝ සැප විපාක ලබා දෙනවා.

සිවුරු, පිණ්ඩපාත, ගිලන්පස, සේනාසන, දන්පැන් ආදිය, වස්ත්‍ර ඇඳපුටු ආදී සේනාසන කියන මේ දේවල් සෘජු සිත් ඇති ආර්ය සංඝයාට පහන් සිතින් යුතුව පුජා කරගන්න. සිල්වත් වීතරාගී බහුශ්‍රැත භික්ෂුන් වහන්සේලා ඉන්නවා. උන්වහන්සේලාව ආහාරපාන ආදියෙන් සන්තර්පණය කරන්න. ඒකෙන් හැමදාම පින් වැඩෙනවා. මේ විදිහට අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්ට ඕන. දිවා රෑ දෙකේම මනාකොට ධර්මයේ හැසිරෙන්ට ඕන. එතකොට ඒ තැනැත්තා නිරයේ දුකින් නිදහස් වෙනවා. හැබැයි ඒ කර්මය වෙන භවයක ඉපදිලා විඳින්ට සිද්ධ වෙනවා. 

මම අදම පහන් සිතින් යුතුව බුදුරජාණන් වහන්සේව සරණ යනවා. ශ්‍රී සද්ධර්මයත්, ආර්ය සංඝරත්නයත් සරණ යනවා. ඒ වගේම සිදුරු නැතිව, පැල්ලම් නැතිව පන්සිල් පහ සමාදන්ව ආරක්ෂා කරගන්නවා. ඉක්මනින්ම සතුන් මැරීමෙන් වළකිනවා. ලෝකයෙහි සොරකම් කිරීම දුරු කරනවා. මත්පැන් බොන්නෙ නෑ. බොරු කියන්නෙ නෑ. තම බිරිඳ සමගින් පමණක් සතුටු වෙනවා. ඔය විදිහට තිසරණයත්, සිල්පද පහත් කියන උතුම් අංග අටෙන් යුතු බොහෝ සැප විපාක ලබාදෙන සීලයෙන් යුතු සිල්වතෙක් වෙනවා. සිවුරු, පිණ්ඩපාත, ගිලන්පස, සේනාසන, දන්පැන් ආදිය, වස්ත්‍ර ඇඳපුටු ආදී සේනාසන කියන මේ දේවල් සෘජු සිත් ඇති ආර්ය සංඝයාට පහන් සිතින් යුතුව පූජා කර ගන්නවා. සිල්වත් වීතරාගී බහුශ්‍රැත භික්ෂූන් වහන්සේලා ඉන්නවා. බුද්ධානුසාසනාවෙහි ඇලී වාසය කරන උන්වහන්සේලාට මං දන් පූජා කර ගන්නවා. සිල්පද කඩා ගන්නෙ නෑ.

ඔය විදිහට අම්බසක්ඛර ලිච්ඡවී රජතුමා විශාලා මහනුවර එක්තරා උපාසකයෙක් බවට පත් වුනා. ශ්‍රද්ධාවන්ත වුනා. භික්ෂුන්ට මොලොක් සිතින් උපකාර කරන කෙනෙක් වුනා. සංඝයාට ඉතා යහපත් විදිහට උපස්ථාන කළා. හුලමත හිටවපු කෙනා සනීප වුනා. නිදහසේ යන එන කෙනෙක් වුනා. සුවපත් වුනා. උතුම් කප්පිනක ස්වාමීන් වහන්සේ ළඟට ඇවිදින් පැවිදි වුනා. ලිච්ඡවි රජුයි, ඒ පුද්ගලයායි දෙන්නම මාර්ගඵල අවබෝධ කළා. සත්පුරුෂයන් වහන්සේලාව සේවනය කළොත් ඔය විදිහ තමයි. ජීවිතාවබෝධය ඇති සත්පුරුෂ ඇසුර මහත්ඵල ලබා දෙනවා. හුල මත හුන් පුරුෂයා අරහත්ඵලයට පත් වුනා. අම්බසක්ඛර රජතුමා සෝවාන් ඵලයට පත් වුනා.

"දෙවියෙක්, කාන්තාරයේ අතරමං වූ වෙළෙඳුන් පිරිසකට යහපත් ක්‍රියාවල ප්‍රතිඵල සහ සිල්පද පිළිපැදීමේ ප්‍රතිඵල පැහැදිලි කරයි."

සේරිස්සක දෙවියන්

ඛුද්දක නිකාය | පේතවත්ථු | 4.2. සේරිස්සක පේත වත්ථු

සේරිස්සක දිව්‍ය පුත්‍රයාගෙත් ඒ වෙළඳුන්ගේත් එක්වීම යම් තැනක සිදු වුනා. එය අහන්න. ඔවුන් විසින් පවසන ලද මේ සුභාෂිත කතාව සියලු දෙනාම අහගෙන ඉන්න.
 
සේතව්‍ය නුවර පායාසී කියල රජ කෙනෙක් හිටියා. එයා යසස් ඇති භුමාටු දෙවියන් අතර උපන්නා. ඒ දෙවියා තමන්ගේ විමානයේ සතුටින් ඉන්නවා. නොමිනිස් වූ ඒ දෙවියා මිනිසුන්ට මෙහෙම කිව්වා.
 
මනුස්සයන්ගේ වාසස්ථාන තියෙන්නෙ සැක සහිත වූ වනාන්තරයේ. ඒ වගේම අල්ප කෑම් බීම් ඇති අල්ප ජලය ඇති කාන්තාරෙ. මේ ගමන හරිම දුෂ්කරයි. මේ වැලි කතර මැද තනි වෙලා සැක බියෙන් නැසී යන මිනිසුනේ, මේ වැලිකතරේ පලතුරු නෑ. අලවර්ග නෑ. ගින්දරට ඕන කරන දෙයක් නෑ. කෑම් බීම් කොහෙන් ලැබෙන්ටද? මෙහි තිබෙන්නේ රත් වෙලා ගිය දරුණු රළු පසුයි වැලියි විතරයි.
 
මෙහි තිබෙන්නෙ රළු පසක්. රත්වෙච්ච කබලක් වගේ. සැපක් නෑ. පරලොව නරකයක් වගේ. බොහෝකල් ඉඳල පිශාචයන්ටයි වාසස්ථාන වෙලා තියෙන්නෙ. මේ ප්‍රදේශය සෘෂිවරුන්ගේ සාපලත් භූමියක් වගේ. ඉතින් ඔබ මොන වගේ දෙයක් නිසා මොන වගේ දෙයක් කැමති වෙලාද විමසන්නෙ නැතුව හිතුවක්කාර විදිහට මේ ප්‍රදේශයට ආවෙ? ලෝභය නිසාද? භය නිසාද? නැත්නම් මංමුළා වීමක් නිසාද?
 
පින්වත් දිව්‍ය පුත්‍රය, අපි අංගමගධ කියන රටවල්වල ඉන්න ගැල්කරුවෝ. අපි මේ බොහෝ බඩුමුට්ටු පුරවාගෙන සින්ධුසෝවීර දේශයට යන්නෙ. මිල මුදල් උපයාගන්න අදහසින් තමයි අපි මේ ගැල් ගමන යන්නෙ. දවල් කාලෙ පිපාසය උහුල ගන්න බැරුව ගොනුන්ටයි මිනිසුන්ටයි පහසු තැනක් හොයාගෙනයි අපි ආවේ. ඉතින් අපි ගොනුන් කෙරෙහි කරුණාවෙන් වේගයෙන් පිටත් වෙලා ආවා. රෑ වැරදි පාරේ ගමන් කලේ සුදුසු කාලේ බලල නොවෙයි. අපේ ගමන යන්න බැරි වුනා. පාර වැරදුනා. අන්ධයන් වගේ ආකූල වුනා.
 
මේ වනයේ හොඳටම මංමුලා වුනා. දුර්ග මංමාවත් ඇති මේ වැලිකතර මැද්දෙ මුලා වූ සිත් ඇතිවයි අපි ඉන්නෙ. දිසාව සොයා ගන්න බෑ. පින්වත් දිව්‍ය පුත්‍රය, මේ වගේ දෙයක් අපි කලින් දැකලා නෑ. ඔබත් මේ විමානයත් හරිම ශ්‍රේෂ්ඨයි. මෙතැන් පටන් අපිට ජීවිතය ලැබුනා කියල මෙය දැක්කට පස්සෙ අපි සතුටු සිතින් ඔද වැඩිලයි ඉන්නෙ.
 
මිනිසුනේ, මුහුදෙන් එතෙරත් මේ වගේ වැලි කතරෙත් වේවැල් බැඳ යන මාර්ගවලත් කණු සිටුවල යන මාර්ගවලත් ගංගා පර්වත ආදී දුර්ගම ස්ථානවලත් මිල මුදල් හම්බ කිරීමට ඔබ බොහෝ දිශාවල යනවා. වෙන රජවරුන්ගේ රාජධානිවලට යන ඔබ විවිධ රටවල මිනිසුන්ගෙන් මොන වගේ දේවල්ද අහන්නෙ? මොන වගේ දේවල්ද ඔබ දකින්නෙ? දරුවෙනි, ඒ අසිරිමත් තොරතුරු ගැන අපි අහන්න කැමතියි.
 
දිව්‍ය කුමාරය, මීට වඩා අතිශයින්ම අසිරිමත් වූ සැපයක් ගැන නම් අපි අහලත් නෑ. දැකලත් නෑ, මේ හැම දෙයක්ම මිනිස් සැපත ඉක්මවා ගිහින් තියෙනවා. මේ උතුම් වර්ණය දැකලා අපි තෘප්තිමත් වෙන්නෙ නෑ. ආකාසයේ පැන් පොකුණු තියෙනවා. බොහෝ මල් තියෙනවා. බොහෝ සුදු නෙළුම් තියෙනවා. නිතරම පලතුරු පිරිණු ගස් තියෙනවා. අතිශයින්ම සුවඳවත් වෙලා දිව්‍ය සුවඳ වහනය වෙනවා. වෛරෝඩි මැණිකෙන් කරපු උස් කණු තියෙනවා. පබළුවලින් කළ සැරසිලි තියෙනවා. මැසිරිගලින්, පද්මරාග මැණික් වලින් කරපු කණු තියෙනවා.
 
මේ හැම එකක්ම බබලනවා. දහස් ගණන් කණු තියෙනවා. ඒව සමාන කරන්න කිසිවක් නෑ. ඒ මුදුනේ තමයි ඔබේ ලස්සන විමානය තියෙන්නෙ. රන්වන් වේදිකාවන් තියෙනවා. රන්පට තියෙනවා. ඒ රන්පටින් ලස්සනට සරසලා තියෙනවා.
මේ විමානය හරි මටසිළුටුයි. දඹ රන් පැහැයෙන් බබලනවා. ප්‍රාසාදයට නගින්න ලස්සන පඩිපෙළවල් තියෙනවා. ඉතා ලස්සනට, ස්ථිරව, සියුම්ව, පිළිවෙලකට හැදිල තියෙනවා.
 
මේ විමානය අතිශයින්ම දැකුම්කළු සිත් අලවන එකක්. මේ රුවන් විමානය ඇතුළේ බොහෝ කෑම් බීම් තියෙනවා. දිව්‍ය අප්සරාවන් පිරිවරාගෙන ඉන්නවා. මිහිඟු බෙර පනා බෙර තුර්ය නාද ආදියෙන් සොඳුරු ඝෝෂා නැගෙනවා. පිළිගැනීමේ ස්තූති ගීතිකා ගැයෙනවා. ඒ ඔබ දිව්‍ය අප්සරාවන් පිරිවරා ගෙන සතුටු වෙනවා. මනෝරම්‍ය වූ මේ උතුම් දිව්‍ය විමානයෙහි තිබෙන සැප සම්පත් ගැන නම් සිතල ඉවර කරන්න බෑ. වෙසමුණි රජ්ජුරුවන්ගේ නලිනී ප්‍රාසාදය වගේ.
 
ඔබ දෙවියෙක්වත්ද? එහෙම නැත්නම් යකෙක්වත්ද? එහෙමත් නැත්නම් ශක්‍රදෙවියවත්ද? මනුෂ්‍යයෙක්වත්ද? පින්වත් දිව්‍ය පුත්‍රය, මේ ගැල් ගෙනියන වෙළෙන්දන් තමයි ඔය කරුණ අහන්නෙ. ඇත්තෙන්ම කවුද ඔබ?
 
පින්වත් වෙළෙන්දනි, මගේ නම සේරිස්සක. මං යක්ෂයෙක්. මං තමයි මේ කාන්තාර සහිත වැලි කතර ආරක්ෂා කරන්නෙ. මේ ප්‍රදේශය මම පාලනය කරනවා. වෙසමුණි රජ්ජුරුවන්ගෙ වචනයට අනුව තමයි පාලනය කරන්නෙ.
 
පින්වත් දිව්‍ය පුත්‍රය, ඔබේ ඔය සම්පත් හේතු ප්‍රත්‍ය රහිතව පහළ වෙලාද? ක්‍රමක්‍රමයෙන් පරිණාමයට පත්වෙලාද? තමන් විසින් නිපදවාගෙනද? දෙවිවරු දීලද? මේ ගැල් ගෙනියන වෙළෙන්දන් තමයි ඔය කරුණ අහන්නෙ. මෙතරම් මනෝරම්‍ය වූ සැපසම්පත් ඔබට ලැබුනේ කොහොමද?
 
පින්වත් වෙළෙන්ඳනි, මගේ මේ සම්පත් හේතුප්‍රත්‍ය රහිතව පහළ වෙලාත් නොවෙයි. ක්‍රමක්‍රමයෙන් පරිණාමයට පත්වෙලාත් නොවෙයි. තමන් විසින් නිපදවාගෙනත් නොවෙයි. දෙවිවරු දීලත් නොවෙයි. තමන් විසින් කරගත්තු අලාමක පුණ්‍ය කර්ම නිසායි මෙතරම් මනෝරම්‍ය වූ සැපසම්පත් මට ලැබුනේ.
 
පින්වත් දිව්‍ය පුත්‍රය, ඔබ සමාදන් වුන ව්‍රතය මොකක්ද? ඔබේ බඹසර ජීවිතය මොකක්ද? මොන වගේ දෙයක් පුරුදු කරලද මෙම විපාකය ලැබුනෙ? මේ ගැල් ගෙනියන වෙළෙන්දන් තමයි ඔය කරුණ අහන්නෙ. මෙතරම් මනෝරම්‍ය වූ සැපසම්පත් ඔබට ලැබුනේ කොහොමද?
 
ඒ කාලෙ මං කොසොල් ජනපදයේමයි රජ කළේ. මං ප්‍රසිද්ධ වුනේ පායාසී යන නමින්. මං පින්පව්වල විපාක නැත යන දෘෂ්ටියේ හිටියා. මං ලෝභ කෙනෙක් වෙලා හිටියා. පාපී කෙනෙක් වෙලා මරණින් මතු කිසිවක් නැත යන උච්ඡේදවාදියෙක් වෙලා හිටියෙ. කුමාරකස්සප නමින් ශ්‍රමණයන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ බහුශ්‍රැතයි. විචිත්‍ර ධර්ම කථිකයි. උදාරයි. උන්වහන්සේ මට ධර්ම කථාව වදාළා. එදා තමයි මගේ දෘෂ්ටිහුල් ටික ඉවත් වුනේ. ඉතින් මං උන්වහන්සේගේ ධර්ම කතාව අහලා උපාසකයෙක් බවට පත් වුනා.
 
සතුන් මැරීමෙන් වෙන් වුනා. ලෝකයෙහි නුදුන් දෙය ගැනීම අත්හැරියා. මත්පැන් බිව්වෙ නෑ. බොරු කිව්වෙ නෑ. තම බිරිඳගෙන් විතරක් සතුටු වුනා. ඒක තමයි මගේ ව්‍රතය. ඒකම තමයි මගේ බඹසර. ඒක හොඳට පුරුදු කරල තමයි මේ පුණ්‍ය විපාකය ලැබුනේ. තමන් විසින් කරගත්තු අලාමක පුණ්‍ය කර්ම නිසායි මේ දිව්‍ය විමානය මට ලැබුනේ. ප්‍රඥාවන්ත මිනිසුන් කියල තියෙන්නෙ නම් ඇත්තක්මයි. ඒ පණ්ඩිතයන්ගේ වචන වෙනස් වෙන්නෙ නම් නෑ. පින්කර ගත්තු කෙනා යම් ම තැනක යනවා නම් ඒ ගිය ගිය තැන තමන් කැමති සැපසම්පත් ලබල සතුටු වෙනවා. අකුසල් කළ පුද්ගලයා යම් ම තැනක යනවා නම් ඒ ගිය ගිය තැන සෝකවැළපීම් ලැබෙනවා. වද වේදනා ලැබෙනවා. බන්ධන ලැබෙනවා. අයහපත ලැබෙනවා. කවදාවත් අපා දුකෙන් නිදහස් වෙන්නෙ නෑ.
 
ඒ මොහොතේ ඒ දිව්‍ය පිරිස තුළ කැළඹුණු ස්වභාවයක් ඇති වුනා. මං මුළා වුන ස්වභාවයක් ඇති වුනා.
 
දිව්‍ය කුමාරය, මේ පරිවාර දෙවියන්ගේත් ඔබගේත් දොම්නස් ගතියක් ඇතිවුනේ මක් නිසාද?
 
පින්වත් දරුවෙනි, මේ තියෙන්නෙ මහරිරුක් වනයක්. මේ වනයෙන් දිව්‍ය සුගන්ධය හමනවා. දිවා රෑ දෙකේම අන්ධකාරය නැති කරල ආලෝකය ලබා දෙමින් මේ විමානෙට ඒ සුගන්ධය හමනවා. අවුරුදු සියයකට වතාවක් මේ මහරී රුක්වලින් එක එක මල් පෙත්ත ගානේ ගැලවිලා වැටෙනවා. එතකොට තමයි දැන ගන්නෙ මං මේ දිව්‍ය ලෝකෙට ඇවිල්ල මිනිස් ආයුෂවලින් සියක් වසරක් ඉක්ම ගියා කියල. මං මේ විමානයේ ඉන්නෙ අවුරුදු පන්සියයක් විතරයි. මං ඒක දන්නවා. ආයුෂත්, පිනත් එතකොට පිරිහිලා යනවා. අන්න ඒ ගැනයි මගේ හිතේ ගොඩාක් ශෝකය තියෙන්නෙ.
 
පින්වත් දිව්‍ය පුත්‍රය, මේ වගේ කිසිදෙයකට සමාන කරන්න බැරි බොහෝකල් පවතින විමානයක් ලැබිල ඔබ මොනවට නම් ශෝක වෙනවද? යම් කෙනෙකුට ආයුෂත් අඩු නම් පිනත් අඩු නම් අන්න එබඳු කෙනෙක් නම් ශෝක කළාට කමක් නෑ.
 
පින්වත් දරුවනි, මා කෙරෙහි යහපත් හැඟීමෙන්මයි නුඹලා ප්‍රිය වචනවලින් මට මේ අවවාද කළේ. මාත් නුඹලාව ආරක්ෂා කරනවා. යම් තැනකට යන්න කැමති නම් සුවසේම එතැනට යන්න පුළුවනි.
 
අපි බලාපොරොත්තු වන්නෙ මිල මුදල් ටිකක් යහමින් හම්බ කරගන්ට සින්ධුසෝවීර භූමියට යන්නයි. අපි පොරොන්දු වුන විදිහට තෑගිභෝග සම්පූර්ණ කරල සේරිස්සක නමින් ලොකු පූජාවක් කරනවා.
 
ඔය සේරිස්සක පූජාවල් කරන්ට යන්න එපා! දැන් ඔය කියන යමක් ඇද්ද ඒ හැමදෙයක්ම ඒ විදිහට සිද්ධ වේවි. පව් කම් අත්හරින්න. ධර්මානුකුලව ජීවත් වීමට අධිෂ්ඨාන කර ගන්න. මේ වෙළඳ පිරිස අතරේ එක්තරා උපාසකයෙක් ඉන්නවා. ඔහු බහුශ්‍රැතයි. සිල්වත්. ශ්‍රද්ධාවන්තයි. ත්‍යාගසම්පන්නයි. සුපේශල කෙනෙක්. විචක්ෂණ බුද්ධියක් තියෙනවා. ප්‍රීතිමත් සිතින් ඉන්න නුවණ තියෙන උපාසකයෙක්.
 
ඔහු දැන දැන බොරු කියන කෙනෙක් නොවෙයි. සතුන් මැරීමට හිතන කෙනෙක් නොවෙයි. සමගි සම්පන්න වුන අය වෙන් කිරීමට කේලාම් කියන කෙනෙක් නොවෙයි. නුවණින් යුක්තව කතා කරනවා. යහපත් දේ කතා කරනවා. වැඩිහිටියන්ට ගරුසරු කරනවා. කීකරුයි. විනීතයි. පව් නොකරන කෙනෙක්. අධිසීලය තුළ පිරිසිදු වුන කෙනෙක්. ඔහු මව්පියන්වත් ධාර්මිකව පෝෂණය කරනවා. ආර්ය පැවතුම්වලින් යුක්තයි. මං හිතන්නෙ ඔහු මව්පියන්ට උපස්ථාන කරන්න ඕන නිසා තමයි භෝග සම්පත් සොයන්නෙ. තමන් උදෙසා නම් නොවෙයි. මව්පියන්ගේ ඇවෑමෙන් පස්සෙ ඔහු නිවන අවබෝධ කරගැනීම පිණිස සාසන බ්‍රහ්මචාරියාවේ හැසිරේවි.
 
ඔහු සෘජුයි. අවංකයි. ශටකපට නෑ. මායා නෑ. පිටින් හොඳ පෙන්නා ගෙන වෙන් දෙයක් හිතේ තියාගෙන කතා බස් කරන්නෙ නෑ. ඒ විදිහේ යහපත් දේ කරමින් සිටින ධර්මයෙහි පිහිටි කෙනෙක් දුකක් ලබන්නෙ කොහොමද? ඒ උපාසක පින්වතා සිටපු නිසා තමයි මං නුඹලා ඉදිරියෙහි පහළ වුනේ. ඒ නිසා වෙළෙන්ඳනි, ධර්මයයි දකින්න ඕන.
 
ඒ උපාසක පින්වතා නැතුව නුඹලා මේ ගමන ආවා නම් ආකූල වෙච්ච අන්ධයන් වගේ මේ මරු කතරේ අනුන්ගේ කරදරවලට බඳුන් වෙලා නුඹලා ඉක්මනින්ම විනාශ වෙනවා. ඒකාන්තයෙන්ම සත්පුරුෂයන්ගේ ඇසුර සැපයක්මයි.
 
පින්වත් දේවපුත්‍රය, කවුද එයා? මොන වගේ වැඩක් ද කරන්නෙ? ඔහුට කතා කරන නම මොකක්ද? ඔහුගේ ගෝත්‍රය මොකක්ද? අපි කැමතියි ඒව දැකගන්ට. ඒක එහෙමමයි. ඔබ යම් කෙනෙක් ගැන අනුකම්පාවෙන් නම් මෙහි පහළ වුනේ ඔබ යමෙකුට ප්‍රියයි නම්, එයාගේ පැමිණීම ලාභයක්මයි.
 
ඔතැන කෙනෙක් ඉන්නවා. එයා කරණවෑමියෙක් (බාබර් කෙනෙක්). එයාගේ නම සම්භව. එයා තමයි කොස්සෙන් පනාවෙන් ජීවත් වෙන උපාසකතුමා. එයාව හඳුනගන්න. එයා කම්කරුවෙක්. එයා බොහෝම තැන්පත් කෙනෙක්. එයාව පහත් කොට හිතන්න එපා!
 
පින්වත් දිව්‍ය පුත්‍රය, අපි දන්නවා ඔබ කා ගැනද කීවෙ කියල. නමුත් එයා ඔය ආකාර කෙනෙක් කියල අපි දැනගෙන හිටියෙ නෑ. පින්වත් දිව්‍ය පුත්‍රය, අපි ඔබේ උදාර වූ වචනය අහල ඒ තැනැත්තාව පුදන්න කැමතියි.
 
ඔය තවලමෙහි බාලමහලු ඒ වගේම මධ්‍යම වයස ඇති යම්කිසි ලෝභී මිනිසුන් ඉන්නවා නම් ඔවුන් සියල්ලෝම මේ විමානයට නගිත්වා! පින්වල විපාක හොඳින් බලත්වා!
 
එතකොට සියලු දෙනාම ‘මං තමයි ඉස්සර වෙලා යන්නෙ’ කියල එතැන හිටපු අර කරණවෑමියා පෙරටු කර ගත්ත. හැමෝම ශක්‍ර දෙවියන්ගේ තව්තිසා භවනයට නගිනවා වගේ ඒ විමානයට නැගගත්තා.
ඉතින් ඒ සියලු දෙනාම ‘මං තමයි ඉස්සර වෙන්නෙ’ කියල ඉතා උනන්දුවෙන් තෙරුවන් සරණ ගිය උපාසකවරු බවට පත් වුනා. සතුන් මැරීමෙන් වෙන් වුනා. ලෝකයේ සොරකමෙන් වෙන් වුනා.
 
ඊට පස්සෙ මත් පැන් බිව්වෙත් නෑ. බොරු කිව්වෙත් නෑ. තමන් ගේ බිරිඳගෙන් පමණයි සතුටු වුනේ. ඔවුන් හැමෝම ‘මං තමයි ඉස්සර වෙන්නෙ’ කියල ඉතා උනන්දුවෙන් තෙරුවන් සරණ ගිය උපාසකවරු බවට පත්වුන ඒ තවලම සතුටින් අනුමෝදන් වුනා. දිව්‍ය ඉර්ධියෙන් නැවත නැවතත් අනුමෝදන් වුනා. මිලමුදල් යහමින් හම්බ කරන්ට ආස ඇති ඔවුන් සින්ධුසෝවීර භූමියට ගියා. ගිහින් හිතා ගත් පරිද්දෙන්ම වෙළඳ ගනුදෙනු පරිපූර්ණ කර ගත්ත.
 
කිසි කරදරයක් නැතුව ආපසු පාටලීපුත්‍ර නගරයට ආවා. ඔවුන් කරදරයක් නැතුව සුවසේම තමන්ගේ නිවෙස්වලට ගියා. අඹුදරුවන් සමග සතුටු වුනා. ආනන්දයට පත් වුනා. සතුටු සිත් ඇති වුනා. වඩ වඩාත් සතුටු වුනා. සේරිස්සක කියල මහා උත්සවයකුත් කළා. ඔවුන් සේරිස්සක කියල පිරිවෙනකුත් හැදුවා. ඔන්න ඔය විදිහටයි සත්පුරුෂයන්ගේ ඇසුර ලැබුනහම මහා යහපතක් වෙනවා. දහම් ගුණ ඇති උතුමන්ගේ ඇසුර ලැබුනහම මහා යහපතක් වෙනවා. එකම උපාසක පින්වතෙක් නිසා සියලු සත්වයන්ටම සැප සැළසුනා.

"ප්‍රේතයෙක්, වැරදි දෘෂ්ඨීන්ගේ අනතුරු සහ තෙරුවන් සරණ යාමේ වැදගත්කම ගැන රජෙකුට උපදෙස් දෙයි"

නන්දක ප්‍රේතයා

ඛුද්දක නිකාය | පේතවත්ථු | 4.3. නන්දක පේත වත්ථු

සුරට්ඨ කියල ජනපදයක් තිබුනා. එයට අධිපති වූ පිංගලක කියල රජෙක් හිටියා. ඔහු මෞර්ය රජ්ජුරුවන්ට උපස්ථාන කරන්ට ගිහින් ආපහු සුරට්ඨ ජනපදයට ආවා. ඒ ගිනි මද්දහන වෙලාවේ රජතුමා සිත්කළු භූමියකට පැමිණියා. ඒක ප්‍රේතයෙක් විසින් මවපු මාර්ගයක්. හරි රමණීය දැකුම්කළු මාවතක්. ඔහු ඒ මාවත දැක්කා. රියැදුරා අමතලා මෙහෙම ඇහුවා. ‘රියැදුර’ මේ මාර්ගය හරි අපූරුයි නෙව. කිසි භයක් නෑ. සුවසේ යන්න පුළුවන්. උවදුරු නෑ. මේ මාර්ගයෙන්ම යන්න. මේ මාර්ගයෙන් අපි යනකොට අපිට සුරට්ඨ ජනපදය ළඟටම යන්න පුළුවනි.’

සුරට්ඨ අධිපති රජතුමා සිවුරඟ සේනාවත් සමග ඒ මාවතෙන් ගියා. එතකොට බියෙන් තැති ගත් එක්තරා පුරුෂයෙක් රජ්ජුරුවන්ට මෙහෙම කිව්වා.

රජතුමනි, මේ බියජනක වූ ලොමුඩැහැ ගන්වන නපුරු මාවතකට යි අපි වැටුනේ. ඉස්සරහට යන පාර නම් පේනවා තමයි. ඒ වුනාට පිටිපස්සෙන් ඒ පාර පේන්නෙ නෑ. අපි නපුරු මාර්ගයකටයි වැටිල ඉන්නෙ. පෙරේතයින්ගෙ සමීපයටයි අපි වැටිල ඉන්නෙ. පෙරේතයින්ගෙ අමනුස්ස ගඳ හමනවා. මහා දරුණු විලාප ඇහෙනවා.

සුරට්ඨ රජ්ජුරුවෝ සංවේගයට පත් වුණා. රියැදුරාට මෙහෙම කිව්වා. ‘මේ බියජනක වූ ලොමුඩැහැ ගන්වන නපුරු මාවතකටයි අපි වැටුනේ. ඉස්සරහට යන පාර නම් පේනවා තමයි. ඒ වුනාට පිටිපස්සෙන් ඒ පාර පේන්නෙ නෑ.’ අපි නපුරු මාර්ගයකටයි වැටිල ඉන්නෙ. පෙරේතයින්ගෙ සමීපයටයි අපි වැටිල ඉන්නෙ. පෙරේතයින්ගෙ අමනුස්ස ගඳ හමනවා. මහා දරුණු විලාප ඇහෙනවා. එතකොට ඔහු ඇතාගේ පිට උඩ නැඟලා හතර දිසාව හොඳට බැලුවා. බලද්දී රමණීය නුග රුකක් දැක්කා. සිත්කළු සෙවණ තියෙනවා. නිල් වළාකුලක් වගේ. වළාකුලේ පැහැයෙන් යුක්තයි.

රජතුමා රියැදුරා ඇමතුවා. ‘අර මහ විසාලෙට පෙනෙන නිල් වළාකුලක් වගේ පෙනෙන වළාකුලක පැහැය ගත්තු දේ මොකක්ද?’ මහරජතුමනි, ඒක නුග රුකක්. හොඳ සිත්කළු සෙවණ තියෙනවා. නිල් වළාකුලක් වගේ. වළාකුලක පැහැයෙන් යුක්තයි. එතකොට සුරට්ඨ රජතුමා ඒ නිල් වළාකුලක් වගේ පෙනුන, වළාකුලක පැහැ සටහන් ගත්තු ඒ මහා විශාල නුගරුක ළඟට ගියා.

රජතුමා ඇතාගෙ පිටෙන් බැස්සා. නුග රුක ළඟට ගියා. ඇමැතියන් සහිතව පිරිවර සේනාව සහිතව නුග රුක් සෙවණේ වාඩිවුනා. එතැන පුරවපු පැන් භාජනයක් තිබුනා. මිහිරි කැවුම් තිබුනා. රජතුමා මේව දැක්කා. සියලු ආභරණවලින් සැරසුණු දෙවියෙක් වගේ කෙනෙක් ආවා. ඇවිදින් සුරට්ඨ රජතුමාට මෙහෙම කිව්වා.

මහරජතුමනි, ඔබට යහපත් පැමිණීමක් වේවා! ඔබේ මේ ගමන නපුරු පැමිණීමක් නොවෙයි. රජතුමනි, පැන් පානය කළ මැනව. කැවුම් වැළඳුව මැනැව. 

ඇමැතියන් සහිත වූ පිරිවර සේනා සහිත වූ සුරට්ඨ රජතුමා පැන් වැළඳුවා. කැවුමුත් අනුභව කළා. මෙහෙම කිව්වා.

ඔබ දෙවියෙක්ද? ගාන්ධර්වයෙක්ද? එහෙමත් නැත්නම් පුරින්දද වූ ශක්‍රයාද? අපි මේ ඒ ගැන නොදැනයි අහන්නෙ. ඔබ කවුරු කියලද අපි දැනගන්න ඕන?

මහරජ, මං දෙවියෙක් නොවෙයි. මං ගාන්ධර්වයෙකුත් නොවෙයි. පුරින්දද නම් වූ ශක්‍රයාත් නොවෙයි. මං පෙරේතයෙක්. සුරට්ඨ දේශයේ ඉඳලයි මෙහේ ආවේ.

ඔබ ඉස්සර සුරට්ඨ දේශයේ ඉන්න කොට මොන විදිහේ සිල්වතෙක්ද? මොන විදිහේ යහපත් ගතිගුණ ඇතිව හිටියාද? මොන වගේ උතුම් ජීවිතයකින්ද ඔබට මේ වගේ ආනුභාවයක් ලැබුනේ?

සතුරන් දමනය කරන, රට දියුණු කරන මහරජතුමනි, ඇමතිවරුත්, සේනාපිරිසත්, පුරෝහිත බ්‍රාහ්මණයාත් මෙය අසනු මැනැව.

දේවයනි, මං සුරට්ඨ දේශයෙන් ආපු පවිටු සිත් ඇති කෙනෙක්. මිත්‍යා දෘෂ්ටික කෙනෙක්. දුස්සීල කෙනෙක්. කෑදරයෙක්. අනුන්ට නින්දා අපහාස කරන කෙනෙක්. දන් දෙන උදවිය ගේ පින්කම් කරන උදවියගේ ඒ බොහෝ දෙනාගේ පින්කම් මං වැළැක්වූවා. අනුන් දෙන දානයටත් මං අනතුරු කරන කෙනෙක් වුනා.

(මෙතැන් පටන් සඳහන් වන්නේ දස වස්ථුක මිත්‍යා දෘෂ්ඨිය ගැනයී) දන් දීමෙන් ලැබෙන විපාකයක් නෑ. සිල් රැකීමෙන් ලැබෙන ඵලයකුත් නෑ. ගුරුවරු කියල කොටසක් නෑ. දමනය නොවී ඉන්න අය කවුරුන්ව නම් දමනය කරන්ටද? හැම සත්වයෙක්ම එකිනෙකාට සමානයි. වැඩිහිටියන්ට මොනවට සළකනවාද? බලයක් වීරියක් කියල දෙයක් නෑ. නැඟී සිටීමේ පුරුෂ ධෛර්යය කියල එකක් මොකටද? දානයෙන් ලැබෙන ඵලයක් නම් නෑ. වෛර කරපු උදවියට පින්වලින් පිරිසිදු වෙන්ට පුළුවන්ද? මේ සත්වයා ලැබිය යුතු යම් සැපක් දුකක් ලබනවා නම් සොබාදහමේ පරිණාම නියතියෙනුයි හටගන්නෙ.මව් කියල විශේෂ කෙනෙක් නෑ. පියා කියල විශේෂ කෙනෙක් නෑ. සහෝදරයෝ නෑ. මෙයින් තොර වෙන ලෝකයකුත් නෑ. දන් දීමෙන් වැඩක් නෑ. ඇප උපස්ථාන කිරීමෙන් වැඩක් නෑ. යහපත් ලෙස තැන්පත් කරනවයි කියන පිනක් දකින්ට නෑ.

යම් කෙනෙක් තව පුරුෂයෙකුව මරණවා නම් තව කෙනෙකුගේ හිස ගසා දමනවා නම් ඒ කවුරුවත් තව කෙනෙක්ව නසන්නෙ නෑ. ඒක සත් ආකාර වූ ධාතු ඇති මේ ශරීරයේ සිදුරු අතරින් ආයුධයක් ගියා විතරයි.මේ ජීවාත්මය කියන්නෙ සිඳින්ට බිඳින්ට පුළුවන් දෙයක් නොවෙයි. මේ ජීවාත්මය අටපට්ටම් වුන වටකුරු පන්දුවක් වගේ දෙයක්. යොදුන් පන්සියයක උස තියෙනවා. කවුරු නම් ඒ ජීවාත්මය වනසන්න සුදුසු වෙයිද? මේක නූල් බෝලයක් වගේ එකක්. මේක විසි කළ විට ලෙහි ලෙහී යනකල් විතරයි යන්නෙ. මේ ජීවාත්මයත් එහෙම දෙයක් තමයි. මේක ලෙහි ලෙහී යනකල් විතරයි යන්නෙ. ඒක මේ වගේ දෙයක්. ඔන්න කෙනෙක් ගමකින් පිටත් වෙලා වෙන ගමකට යනවා. අන්න ඒ වගේ තමයි. ඒ ජීවාත්මය වෙනත් කයකට මාරු වෙලා යනවා.

ඒක මේ වගේ දෙයක්. ඔන්න කෙනෙක් ගෙදරකින් පිටත් වෙලා වෙන ගෙදරකට යනවා. අන්න ඒ වගේ තමයි. ඒ ජීවාත්මය වෙනත් කයකට මාරු වෙලා යනවා. යමෙක් අනුවණයෙක් වුනත් පණ්ඩිතයෙක් වුනත් ඒ අය කවුරුත් මහාකල්ප අසූහතර ලක්ෂයක් සංසාරය ගෙවල ඉවර වුනාට පස්සෙයි මේ දුක් අවසන් වෙලා යන්නෙ. මේ සත්වයන්ගේ සැපදුක් ද්‍රෝණයකින් හරි කුල්ලකින් හරි මැනපු දෙයක් වගෙයි තියෙන්නෙ. ඕවා ඔක්කොම දැනගන්නෙ අවබෝධ කරපු අය විතරයි. අනෙක් සියලු දෙනාම බලවත්ව මුලාවෙලයි ඉන්නෙ.

මං ඉස්සර ඔන්න ඔය වගේ මිත්‍යා දෘෂ්ටියක් දරපු කෙනෙක්. බලවත්ව මුලා වෙලා මෝහයෙන් වැහිලයි හිටියේ. දුස්සීල වෙලා හිටියේ. කෑදර වෙලා හිටියේ. අනුන්ට නින්දා අපහාස කර කර හිටියේ.

තව හය මාසයක් යන්ට කලින් මගේ මරණය සිද්ධ වෙනවා. එතකොට ඒකාන්තයෙන්ම කටුක වූ භයානක දුක් ඇති නිරයටයි මං වැටෙන්නෙ. ඒ නිරයේ කොන් හතරක් තියෙනවා. දොරවලුත් හතරක් තියෙනවා. ඒව කොටස් වශයෙන් ගානට බෙදලයි තියෙන්නෙ. වටේටම තියෙන්නෙ යකඩ පවුරක්. වහල තියෙන්නෙත් යකඩ පියනකින්. ඒ අවීචි මහානරකාදියේ ඇවිලෙන ගිනිදැල් හරිම සැරයි. ඒ යකඩ භූමියේ හැම තිස්සේම යොදුන් සියයක් පුරාවට ගිනිදැල් පැතිරිලා තියෙනවා. මහරජතුමනි, ඒ නිරයේ අවුරුදු ලක්ෂයක් පැහිල ගෙවුණාම එකපාරටම මහා ශබ්දයක් ඇහෙනවා. එහි විඳවන්න තියෙන ආයුෂ ප්‍රමාණය අවුරුදු කෝටි ලක්ෂයක් වෙනවා. ඔය එහෙ තියෙන ආයුෂ ප්‍රමාණයයි.

යම් කෙනෙක් කෝටි ලක්ෂයක් අවුරුදු නිරයේ පැහිල දුක් විඳිනවා නම් ඒ ඔක්කොම අය මිත්‍යා දෘෂ්ටික උදවිය. දුස්සීල උදවිය. ආර්යයන් වහන්සේලාට නින්දා අපහාස කරපු උදවියයි. මං ඒ මහා නිරයේ දීර්ඝ කාලයක් තිස්සේ දුක් විඳින්ටයි නියම වෙලා තියෙන්නෙ. මං කරගත්තු පව්වල විපාක තමයි. ඒ නිසා මං බලවත් ශෝකයකින් ඉන්නෙ.

සතුරන් දමනය කරන රට දියුණු කරන මහරජතුමනි, මෙය අසනු මැනැව. ඔබට යහපතක්ම වේවා. මහරජතුමනි, මට උත්තරා කියල දුවක් ඉන්නවා. ඈ පින්කම් කරනවා. නිති පන්සිල් රකිනවා. පොහොයට උපෝසථ සිල් රකිනවා. සීලසංවරයෙන් යුක්තයි. දැන් පැන් බෙදනවා. මිහිරි වචන කියනවා. මසුරු නෑ. ඈ සිල්පද කඩා ගන්නෙ නැතුව හික්මෙනවා. අනික් පවුල්වලටත් මොලොක් කෙනෙක්.

ඒ වගේම ඈ ශ්‍රීමත් ශාක්‍ය මුනීන්ද්‍ර වූ සම්බුදු රජාණන් වහන්සේ ගේ උපාසිකාවක්.සිල්වත් භික්ෂුන් වහන්සේ නමක් ගමට පිණ්ඩපාතේ වැඩියා. නෙත් සඟල බිමට යොමාගෙන, හොඳ සිහියෙන් යුතුව, ඉඳුරන් රැකගෙන සංවරවයි වැඩියේ. ගෙපිළිවෙලින් පිඬු සිඟා වඩිද්දී ඒ නිවසටත් වැඩියා.

මහරජතුමනි, ඔබට යහපතක් වේවා! උත්තරා අර භික්ෂුන් වහන්සේව දැක්කා. ඕ පුරවපු පැන් බඳුනකුයි, මිහිරි කැවුමුත් ඒ භික්ෂුවට පූජා කළා. ‘ස්වාමීනි, මගේ පියාණන් කලුරිය කළා. ඔහුට මේ පින පැමිණේවා’ කියල කිව්වා. ඒ පින් දීපු මොහොතේම මට ඒ පුණ්‍ය විපාකය ලැබුනා. වෙසමුණි රජ්ජුරුවො වගේ මං කැමති කැමති විදිහට සැප අනුභව කරනවා. සතුරන් දමනය කරන රට දියුණු කරන මහරජතුමනි, මෙය අසනු මැනැව. දෙවියන් සහිත ලෝකයාට අග්‍රවෙන්නේ බුදුරජාණන් වහන්සේ කියල යි කියෙන්නෙ.

රජතුමනි, අඹුදරුවන් සමගම ඔබ ඒ බුදුරජාණන් වහන්සේව සරණ යන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්මයි ඒ අමා නිවන ස්පර්ශ කරන්නෙ. රජතුමනි, අඹුදරුවන් සමගම ඔබ ඒ ශ්‍රී සද්ධර්මය සරණ යන්න. ආර්ය මාර්ගයෙහි ගමන් කරන හතර දෙනෙක් ඉන්නවා. ඵලයෙහි පිහිටලා ඉන්න හතර දෙනෙක් ඉන්නවා. මේ තමයි සෘජු සිත් ඇති, ප්‍රඥාවන්ත, සීලවන්ත, සමාහිත සිත් ඇති ආර්ය සංඝරත්නය. රජතුමනි, අඹුදරුවන් සමගම ඔබ ඒ ආර්ය සංඝරත්නය සරණ යන්න. ඉක්මනින්ම සතුන් මැරිමෙන් වළකින්න. ලෝකයෙහි සොරකම් කිරීම දුරු කරන්න. මත්පැන් බොන්න එපා. බොරු කියන්නත් එපා. තම බිරිඳ සමගින් පමණක් සතුටු වෙන්න.

පින්වත් යක්ෂය, ඔබ මගේ යහපත කැමැති කෙනෙක්. පින්වත් දෙවිය, ඔබ මට හිත කැමති කෙනෙක්. මං ඔබේ වචනය කරනවා. ඔබ මගේ ආචාර්යවරයා වෙන්න. මං බුදුරජාණන් වහන්සේව සරණ යනවා. අනුත්තර වූ ශ්‍රී සද්ධර්මයත්, නරෝත්තමයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයත් මං සරණ යනවා. ඉක්මනින්ම සතුන් මැරීමෙන් වළකිනවා. ලෝකයෙහි සොරකම් කිරීම දුරු කරනවා. මත්පැන් බොන්නෙ නෑ. බොරු කියන්නෙත් නෑ. තම බිරිඳ සමගින් පමණක් සතුටු වෙනවා.

මං බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි සිත් අලවා ගෙන ඉන්නෙ. මහා වාතයක් හමාගෙන ඇවිදින් බොල් වී ගහගෙන යනවා වගේ, වේගවත් සැඩ පහරක් තිබෙන ගංගාවේ තණ රොඩු ගහගෙන යනවා වගේ මං ඔය පවිටු මිත්‍ය දෘෂ්ටි වමනෙ කරල දානවා.

මෙහෙම කියපු සුරට්ඨ රජතුමා, ඒ පාපී ආකල්පවලින් වැළකුනා. භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කළා. රථයට නැගලා පෙරදිග දිසාවට ගියා.