"රේවතීට අපාය පාලකයන් දෙදෙනෙක් ඇගේ අකුසල කර්මවල විපාක පහදා දී සැමියාගේ කුසල් විපාක ඇයට පෙන්වා දෙනවා"

රේවතී නම් ප්‍රේතිය

ඛුද්දක නිකාය | පේතවත්ථු | 4.4. රේවතී පේත වත්ථු

එම්බා රේවතී, නුඹ පාපී කෙනෙක්. දන් නොදෙන කෙනෙක්. තිට අපායෙහි දොර විවෘත වුනා. දැන් ඉතින් නැගිටපන්. දුගතියෙහි ඉපදුනාම නිරා දුකින් පෙළි පෙළී නිරි සතුන් තීව ඇදගෙන යන්නේ නම් තැනකටද එතැනට අපි තීව අරගෙන යනවා.
 
ඒ යක්ෂයෝ දෙන්නාම යම දූතයෝ. ඇස් ගෙඩි ලේ පාටයි. ඔවුන් රේවතීට එහෙම කියල වෙන වෙනම රේවතීගේ අත්වලින් අල්ලා ගත්තා. තව්තිසා දිව්‍ය ලෝකයේ දිව්‍ය පිරිස ළඟට ගියා.
 
හිරුරැස් වගේ සිත් කළුයි. ප්‍රභාස්වරයි. සුන්දරයි. රත්තරන් දැලෙන් නිර්මිතයි. සූරිය රැස් වගේ බබලන දිව්‍ය ජනයා පිරුණු මේ විමානය කාගෙද? සුවඳ සඳුන් තැවැරූ සිරුරු ඇති දිව්‍ය අප්සරාවන් නිසා ඒ විමානයේ ඇතුළතත් පිටතත් ලස්සන වෙනවා. හිරු මඬලේ එළියට සමාන එළියක් ඒ විමානෙන් විහිදෙනවා. දෙව්ලොව ඉපදිලා මේ විමානයට ඇවිදින් සතුටු වෙන කෙනා කවුද?
 
බරණැස් නුවර උපාසකයෙක් හිටියා. එයා ගේ නම නන්දිය. ලෝභකමක් නෑ. දානපති කෙනෙක්. ඉල්ලන්න සුදුසු කෙනෙක්. මේ දිව්‍ය ජනයා පිරුණු හිරු රැස් වගේ බබලන විමානය අන්න එයා ගෙ. සුවඳ සඳූන් තැවැරූ සිරුරු ඇති දිව්‍ය අප්සරාවන් නිසා ඒ විමානයේ ඇතුළතත් පිටතත් ලස්සන වෙනවා.
 
හිරු මඬලේ එළියට සමාන එළියක් ඒ විමානෙන් විහිදෙනවා. දෙව්ලොව ඉපදිලා මේ විමානයට ඇවිදින් සතුටු වෙන කෙනා එයා තමයි.
 
හා! මං තමයි ඒ නන්දිය ගේ බිරිඳ. ඒ සියලු පවුල්වලටම ඉසුරුමත් ගෘහණිය වුනේ මමයි. මං දැන් ඒ මගේ ස්වාමියාගේ විමානයේ තමයි ඉන්න කැමති. නිරය නම් මං දකින්නවත් පතන්නෙ නෑ. එම්බා, පාපී තැනැත්තිය, අර තියෙන්නෙ තිගේ නිරයයි.
 
තී මනුස්ස ලෝකෙදී කිසි පිනක් කළේ නෑ. මසුරු අය, අනුන්ව කුපිත කරවන අය, පවිටු ජිවිත ඇති අය දෙවියන් එක්ක එකතු වෙලා ඉන්ට වාසනාව ලබන්නෙ නෑ.
 
මොනවද මේ? අසූචි, මුත්‍රා මහා ජරාව නේ පෙනෙන්නෙ. මොකක්ද මේ ගඳ? මේ හමා ගෙන එන අසූචි ගඳ මොකක්ද?
 
එම්බා රේවතී, මේක තමයි සංසවක කියන නිරය. මේක හරි ජඹුරයි. මිනිසුන් සියයකට වඩා ජඹුරයි. යම් තැනක අවුරුදු දාහක් තී පැහෙනවාද, මේ එතැන තමයි.
 
ඇයි? මං කයෙන් වචනයෙන් මනසින් නරක දේවල් කරල තියෙනවාද? සියයක් පුරුෂයන්ගේ ජඹුර ඇති සංසවක නිරයේ පැහෙන්ට මං කළ වරද මොකක්ද?
 
ශ්‍රමණයන් වහන්සේලා, බ්‍රාහ්මණයන්, තව අනෙකුත් යාචකයන් වගේ උදවියට තී බොරුවෙන් වංචා කළා. ඒ පාපය රැස් කළේ තී නෙව. එම්බා රේවතී, ඒ නිසයි තිට මේ සියක් පුරුෂයන් ගැඹුරු ඇති සංසවක නිරය ලැබුනේ. දැන් ඉතින් දහසක් අවුරුදු තී මෙහි පැහේවි. එහෙ අත් කපල දානවා. පාදත් කපලා දානවා. කණුත් කපල දානවා. නාසාත් කපල දානවා. ඒ වගේම කපුටන් රංචු ගැහිලා තුඩෙන් විද විද මස් කනවා.
 
අනේ මාවත් ආපසු මනුස්ස ලෝකෙට අරගෙන යන්න. මං වැඩි වැඩියෙන් පින් කරනවා. දන් දෙනවා. චරිතවත් වෙනවා. සිල් රකිනවා. ඉඳුරන් දමනය කර ගන්නවා. යමක් කරල සැපවත් වෙනවා නම් පසුතැවෙන්නෙ නැත්නම්, අන්න ඒ පින් කරනවා.
 
තී ඉස්සර ප්‍රමාද වුනා. දැන් ඉතින් වැළපියං. තමන් කරපු දේවල්වලට අනුව තමයි විපාක විඳින්න ලැබෙන්නෙ. දිව්‍ය ලෝකයෙන් මනුස්ස ලෝකයට ගිහින් මං ඔය කරුණ ගැන අසද්දී කවුරු නම් උත්තර දේවිද? දඬු මුඟුරු අත් හළ සිල්වතුන්ට දන් දෙන්ට ඕන. වස්ත්‍ර පූජා කරන්ට ඕන. සෙනසුන් දෙන්ට ඕන. දන් පැන් පූජා කරන්ට ඕන. ඔය මසුරු උදවිය කිපෙන උදවිය පවිටු ගති ඇති උදවිය දෙව්ලොව යන්නෙ නෑ කියල කවුරු නම් කියාවිද?
 
ඒකාන්තයෙන්ම මං මේ ලෝකෙන් චුත වෙලා මනුස්ස ලෝකේ උපදිනවා. එතකොට මං අනුන් විසින් මගෙන් ඉල්ලන්ට සුදුසු කෙනෙක් වෙනවා. සිල්වත් වෙනවා. දන් දෙනවා. චරිතවත් වෙනවා. සිල්වත්ව ඉන්ද්‍රිය දමනයෙන් යුක්ත වෙනවා. වැඩියෙන් පින් කරනවා. දුෂ්කර මං මාවත්වල ඒදඬු පාලම් හදනවා. ගස්වැල් රෝපණය කරනවා. පිංතාලි හදනවා. පැන් පොකුණු හදනවා.
 
සතුටු සිතින්මයි මං ඒවා කරන්නෙ. එතකොට මං තුදුස්වක පසළොස්වක අටවක පටිහාරිය පක්ෂයේ පෝයවල්වල මං අටසිල් සමාදන් වෙනවා. මං හොඳට උපෝසථය රකිනවා. හැමදාම සිල්වත්ව සංවර වෙනවා. දන් දෙන්න පමා වෙන්නෙ නෑ. දැන් මං පින්වල විපාක ඇස් දෙකෙන්ම දැක්කා.
 
ඔය විදිහට රේවතී නන් දොඩවන්න පටන් ගත්තා. හොඳටම තැති අරගෙන බියෙන් සැලෙන්න වුනා. එතකොට යමපල්ලන් රේවතී ගේ දෙපයින් අල්ලා යටිකුරු කළා. ඝෝර වූ සංසවක නිරයට හෙළුවා.
 
මං ඉස්සර හරිම මසුරුයි. ශ්‍රමණ බ්‍රාහ්මණයින්ට මං හරියට බැණවදිනවා. බොරු කිය කියා ස්වාමියාව රවටනවා. දැන් මං මේ භයානක වූ සංසවක නිරයට වැටිල පැහෙනවා.

"අකමැත්තෙන් දන් දීමේ ප්‍රතිඵලය ගැන භික්ෂුවක් ප්‍රේතයෙකුට පහදා දෙනවා."

උක් දඬු ප්‍රේතයා

ඛුද්දක නිකාය | පේතවත්ථු | 4.5. උච්ඡු පේත වත්ථු

ස්වාමීනි, මට මහා විශාල උක්වනයක් පහළ වෙලා තියෙනවා. මේක නම් ලොකු පුණ්‍ය ඵලයක්. ඒ වුනාට දැන් ඒක මගේ පාවිච්චියට ලැබෙන්නෙ නෑ. මේ මොන වගේ කර්මයක විපාකයක්ද කියල පැවසුව මැනැව.

උක් ගසක් කන්ට ඕන කියල මං යම්කිසි උත්සාහයක් ගන්නවා තමයි. මං එහෙම අනුභව කරන්ට ඕන කියල උත්සාහ කරද්දි ඇතිවෙන්නෙ මහන්සියක්මයි. උක් කොළවලට මාව කැපෙනවා. එතකොට මගේ ශරීර ශක්තිය නැතුව යනවා. දුකට පත්වෙනවා. මං වැළපෙනවා. මේ විපාකය මට ලැබුනේ මොන කර්මයක් නිසාද? මං හොඳටම වෙහෙසට පත්වෙලා බිම ඇඳගෙන වැටෙනවා. තද අව්වෙන් රත් වුණු පොළොවේ මාළුවෙක් වගේ දඟලනවා. මං වැළපෙන කොට ඇස්වලින් කඳුළු ගලාගෙන යනවා.

ස්වාමීනි, මේ විපාකය මට ලැබුනේ මොන කර්මයක් නිසාද කියල පැවසුව මැනැව. මං පුදුමාකාර බඩගින්නකින් ඉන්නෙ. මට කලන්තෙයි. පිපාසයි. අධික පිපාසයෙන් දුක් විඳින මං මිහිරි සැපක් නම් විඳල නෑ. ස්වාමීනි, මං ඔය කාරණය ගැනයි අහන්නෙ. මට මේ උක් රසය පාවිච්චි කරන්ට ලබාගන්නෙ කොහොමද?

ඔය ඇත්තා පෙර ජාතියකදී මිනිස් ලෝකෙ ඉන්න කාලේ තමන් ගෙ අතින් පව් කෙරිල තියෙනවා. මං දැන් ඔබට ඒ විස්තරය කියන්නම්. ඔබ ඒක අහලා මෙන්න විදිහට දැනගන්න ඕන.

ඔය ඇත්තා උක් දණ්ඩක් හප හපා ගියා. එතකොට ඔබේ පිටිපස්සෙන් තව පුරුෂයෙක් ඔබත් එක්කම ආවා. ඒ තැනැත්තා උක්රසය ලබාගන්ට බොහෝම කැමති වෙලා ඔබට කතා කළා. එතකොට ඔබ ඔහුට කිසිම දෙයක් නොකියා හිටියා. ඔබ මොකවත් නොකියා ඉන්න කොට ඔහු ඔබෙන් උක් දණ්ඩක් ඉල්ලා හිටියා. ‘ආර්ය පුත්‍රය, උක් දණ්ඩක් දෙනු මැනැව’ කියල. ඔබ එතකොට පිටිපස්සෙන්මයි ඔහුට උක් දණ්ඩ දුන්නේ. අන්න ඒ කර්මයේ විපාකය තමයි මේ.

දැන් ඉතින් ප්‍රේතය, ඔබත් පිටුපසින් හැරිල උක් දණ්ඩ ගන්න ඕන. එහෙම අරගෙන ඇතිතාක් කන එකයි තියෙන්නෙ. එතකොට ඒකෙන් ඔබට සතුටක් ඇති වේවි. තුටුපහටු වෙලා ඔදවැඩුණු සිතිස් ප්‍රමුදිතව ඉන්ට පුළුවන් වේවි.

ඒ ප්‍රේතයා, ගිහින් පිටිපස්ස හැරිල උක් දඬු ගත්තා. අරගෙන ඇති පදමට කෑවා. ඒකෙන් ඔහුට සතුටක් ඇති වුනා. තුටුපහටු වුනා. ඔදවැඩුණු සිතින් ප්‍රමුදිතව ඉන්ට පුළුවන් වුනා. .

"පන්චකාම සැපයට අධික ඇලී ගිජුව සිටීමේ ප්‍රථිඵල මොනවාද?"

කුමාර ප්‍රේතයා

ඛුද්දක නිකාය | පේතවත්ථු | 4.6. කුමාර පේත වත්ථු

හිමාල පර්වතය පැත්තේ සැවත කියල නුවරක් තියෙනවා. එහේ රාජ පුත්‍ර වූ කුමාරවරු දෙදෙනෙක් හිටියා කියල මං අහල තියෙනවා. ඔවුන් කාමසම්පත්වලම ප්‍රමාද වුනා. කාමාස්වාදයම විඳිමින් සතුටු වුනා. ඒ ජීවිතයේදී ලැබුණු සැපයට ගිජු වෙලා ගියා. අනාගත ජීවිතවලත් හොඳින් සිටින්න ඕන කියන කරුණ දැක්කෙ නෑ. ඔවුන් මිනිස් ලොවින් චුත වුනා. පරලොවදී පෙරේත ලෝකයට ගියා.
 
ඔවුන් ඒ කලින් ජිවිතයේදී තමන් විසින් කරගත්තු පාප කර්ම නිසා නොපෙනෙන ශරීර ඇතිව ඉඳගෙන මේ නුවර ආසන්නයේම මේ විදිහට කෑගසන්න වුනා.
 
අයියෝ! අපිට දන් දෙන්න ඕනෑ තරම් වස්තුව තිබුනා. දන් පැන් පිළිගන්ට සුදුසු බොහෝ ආර්යන් වහන්සේලා වැඩ සිටියා. අපිට සැප ලබාදෙන සුළු පිනක්වත් කරගන්ට බැරි වුනා. අපි යම්කිසි කර්මයක් නිසා ඒ රාජකුලයෙන් චුත වෙලා මේ බඩගින්නෙන් පිපාසයෙන් පීඩා විඳ විඳ ඉන්න පෙරේත ලෝකේ ඉපදුනා. ආයෙ ඉතින් මීටත් වඩා පවක් තියෙනවාද? අපි මනුස්ස ලෝකෙදි හිටියෙ හාම්පුතාල වෙලා. නමුත් පෙරේත ලෝකෙදි අපි හාම්පුතාල නොවෙයි. උසස් මනුස්ස ආත්මයෙන් චුත වෙලා හීන වූ පෙරේතයෝ වෙලා බඩගින්නෙන් පිපාසයෙන් ඇවිද ඇවිද යනවා. සැප සම්පත්වලින් මත්වෙලා හිටපු නිසයි මේ ආදීනය හටගත්තෙ.
 
මේක තේරුම් ගත්ත මනුස්සයා සැප සම්පත්වලින් හිතට ගන්න එක දුරු කරන්න ඕන. එතකොට දෙව්ලොවට යනවා. කය බිඳී මැරුණට පස්සේ ඒ නුවණැති කෙනා දෙව්ලොව උපදිනවා.

"නපුරු භික්ෂූන් ඇසුරු කළ විට කුමක් සිදුවේද?"

අසූචි කන ප්‍රේතයා

ඛුද්දක නිකාය | පේතවත්ථු | 4.8. ගූථඛාදක පේත වත්ථු

අසුචිවලෙන් ගොඩට ඇවිදින් දීන විදිහට ඉන්න ඔබ කවුද? මොන වගේ පාපකර්මයක්ද ඔබ කළේ? මං කොහොමද සැකක් නැතුව ඔබව විශ්වාස කරන්නෙ?
 
අනේ ස්වාමීනි, මං පෙරේතයෙක්. දුකට පත්වෙලයි ඉන්නෙ. පෙරේත ලෝකෙ ඉපදිලයි ඉන්නෙ. පව්කම් කරල පෙරේත ලෝකෙට ඇවිල්ලයි ඉන්නෙ.
 
ඔබ විසින් කයෙන් වචනයෙන් මනසින් මොන වගේ පවක්ද කරගත්තෙ? මොන වගේ කර්මයක විපාකයක් නිසාද මේ වගේ දුකකට පත් වුනේ?
 
ගේ ගෙදර ආවාසයේ භික්ෂුවක් හිටියා. හරිම ඊර්ෂ්‍යයි. දායක පවුල්වලට මසුරුයි. මගේ ගෙදර ගැනමයි හිත බැසගෙන තියෙන්නෙ. කැදරයි. සිල්වතුන්ට ගරහනවා. මං ඇහුවේ ඒ භික්ෂුවගේ වචන. ඉතින් මං සිල්වත් භික්ෂුන් වහන්සේලාට නින්දා අපහාස කළා. අන්න ඒ කර්මයේ විපාකයෙන් තමයි එහෙන් චුත වෙලා පෙරේත ලෝකෙට ආවේ.
 
මිතුරෙකුගේ වේශයෙන් ඔබත් එක්ක කුලුපග වෙලා හිටපු ඒ මිතුරු නොවන භික්ෂුවක් ඇද්ද, ඒ අඥාන පුද්ගලයා කය බිඳුනට පස්සෙ පරලොව ගියේ මොන වගේ උපතකටද?
 
ඒ පව් කරපු ශ්‍රමණ පෙරේතයාගේ ඔළුව උඩ තමයි මං ඉන්නෙ. ඒ තැනැත්තා දැන් පෙරේත ලෝකයේ ජීවත් වෙන්නේ මගේ ගෝලයෙක් හැටියටයි. ස්වාමීනි, මගේ භෝජනය මේකයි. අනෙක් උදවිය වැසිකිළි කරද්දි ඒ අසූචි මං කනවා. මං වැසිකිළි කරද්දි මගේ අසුචි තමයි ඒ ශ්‍රමණ පෙරේතයා කන්නෙ.

"පසේ බුදුරජාණන් වහන්සේ නමකට දරුණු වුන කුමාරයෙකුට මොකද වුණේ?"

රාජ පුත්‍රයා

ඛුද්දක නිකාය | පේතවත්ථු | 4.7. රාජපුත්ත පේත වත්ථු

පෙර කරපු කර්මයෙන්මයි මේ සැප විපාක ලැබෙන්නෙ. නමුත් මේ සිත්කලු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශවලට ඔහුගේ සිත යට වෙනවා. ස්වල්ප නොවන නැටුම්, ගැයුම්, කම්සුව, කෙළිසෙල්ලම්වලින් සතුටු වෙවී ඉඳල උයන්වල විනෝද වෙවී ඉඳල රජගහ නුවරට ඇතුළු වෙනවා.

එතකොට ඔහු සුනෙත්ත නම් වූ පසේබුදු සෘෂිවරයාණන්ව දැක්කා. උන්වහන්සේ දමනය වෙලා ඉන්නෙ. ඒ සිත සමාහිතයි. අල්පේච්ඡයි. වරදට ලැජ්ජයි. පාත්‍රයට ලැබුණු දෙයකින් සතුටු වෙනවා. ඉතින් ඔහු ඇතා පිටින් බැස්සා. ‘ස්වාමීනි, පිණ්ඩපාතේ ලැබුනාද?’ කියල ඇහුවා. උන්වහන්සේගේ පාත්‍ර අතට ගත් ඒ රජ කුමාරයා, තද බිම් ප්‍රදේශයක පාත්‍රය පොළොවෙ ගැහුවා. හිනා වෙවී ඉවත් වෙලා ගියා. ‘ඒයි භික්ෂුව, මං කිතව රජ්ජුරුවන්ගෙ පුතා. තමුසෙ මට මොනව කරන්ටද?’

ඒ දරුණු පාප කර්මයේ විපාකත් ඒ විදිහටම කටුකයි. ඊට පස්සෙ ඒ රාජ පුත්‍රයා නිරයේ ගිහිල්ලා කොයි විදිහටද දුක් වේදනා වින්ඳේ?

පව්කම් කරපු ඔහු නිරයේ ඉපදිලා දුක් විඳපු අවුරුදු ගණන මෙහෙමයි. අසූහාරදාහක් අවුරුදු ගණන හයෙන් වැඩි කරල ගත්තු අවුරුදු නහුත ගණනක් ඔහු බොහෝම දුක් වින්ඳා. ඒ අඥාන පුද්ගලයාව උඩු අතට නිරයේ පැහුනා.

යටිකුරු අතටත් නිරයේ පැහුනා. වම් ඇලයෙන් ඉඳගෙනත් නිරයේ පැහුනා. දකුණු ඇලයෙන් ඉඳගෙනත් නිරයේ පැහුනා. උඩු අතට පාද ඇතිව ඉඳගෙනත් නිරයේ පැහුනා. බොහෝ කාලයක් නිරයේ පැහුනා. අවුරුදු දහස් ගණන්, ගොඩාක් අවුරුදු ගණන්, අවුරුදු නහුත ගණන් ඒ පව් කරපු අඥානයා ඒ නිරයේ අතිශයින්ම බලවත් දුකට පත්වුනා.

කේන්ති යන උදවිය කෙරෙහි කිසි දවසක නොකිපෙන, යහපත් ගතිපැවතුම් තියෙන ඒ මුනිවරයාණන් හට කරදර කරලා පව්කම් කරලා තමයි ඔය ආකාරයේ කටුක දුක් දොම්නස් විඳින්නෙ. ඒ පුද්ගලයා බොහෝ අවුරුදු ගණනක් බොහෝ දුක් විඳ විඳ ඉඳල එයින් චුත වුනා. ඊට පස්සෙ පිපාසයෙන් බඩගින්නෙන් වේදනා විඳින පෙරේතයෙක් වුනා.

සැප සම්පත්වලින් මත්වෙලා හිටපු නිසයි මේ ආදීනව හටගත්තෙ. මේක තේරුම් ගත්ත මනුස්සයා සැප සම්පත්වලින් හිතට ගන්න එක දුරු කරන්න ඕන. නිහතමානී බව ඇති කරගන්න ඕන. යම් කෙනෙක් බුදුවරයන් වහන්සේලා කෙරෙහි ගෞරවයෙන් යුක්ත නම් ඒ කෙනාට මේ ජීවිතයේදීම ප්‍රශංසා ලැබෙනවා. ඒ ප්‍රඥාවන්ත කෙනා කය බිඳී මරණින් මතු දෙව්ලොව උපදිනවා.

"ප්‍රේතයෙක් නපුරු භික්ෂුවක් ඇසුරු කිරීමේ ප්‍රතිඵල විස්තර කරයි."

අසූචි කන ප්‍රේතිය

ඛුද්දක නිකාය | පේතවත්ථු | 4.9. ගූථඛාදකපේතී පේත වත්ථු

අසුචිවලෙන් ගොඩට ඇවිදින් දීන විදිහට ඉන්න ඔබ කවුද? මොන වගේ පාපකර්මයක්ද ඔබ කළේ? මං කොහොමද සැකක් නැතුව ඔබව විශ්වාස කරන්නෙ?
 
අනේ ස්වාමීනි, මං පෙරේතියක්. දුකට පත්වෙලයි ඉන්නෙ. පෙරේත ලෝකෙ ඉපදිලයි ඉන්නෙ. පව්කම් කරල පෙරේත ලෝකෙට ඇවිල්ලයි ඉන්නෙ.
 
ඔබ විසින් කයෙන් වචනයෙන් මනසින් මොන වගේ පවක්ද කරගත්තෙ? මොන වගේ කර්මයක විපාකයක් නිසාද මේ වගේ දුකකට පත් වුනේ?
 
මගේ ගෙදර ආවාසයේ භික්ෂුවක් හිටියා. හරිම ඊර්ෂ්‍යයි. දායක පවුල්වලට මසුරුයි. මගේ ගෙදර ගැනමයි හිත බැසගෙන තියෙන්නෙ. කැදරයි. සිල්වතුන්ට ගරහනවා. මං ඇහුවේ ඒ භික්ෂුව ගේ වචන. ඉතින් මං සිල්වත් භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කළා. අන්න ඒ කර්මයේ විපාකයෙන් තමයි එහෙන් චුත වෙලා පෙරේත ලෝකෙට ආවේ.
 
මිතුරෙකුගේ වේශයෙන් ඔබත් එක්ක කුලුපග වෙලා හිටපු ඒ මිතුරු නොවන භික්ෂුවක් ඇද්ද, ඒ අඥාන පුද්ගලයා කය බිඳුනට පස්සෙ පරලොව ගියේ මොන වගේ උපතකටද?
 
ඒ පව් කරපු ශ්‍රමණ පෙරේතයාගේ ඔළුව උඩ තමයි මං ඉන්නෙ. ඒ තැනැත්තා දැන් පෙරේත ලෝකයේ ජීවත් වෙන්නේ මගේ ගෝලයෙක් හැටියටයි. ස්වාමීනි, මගේ භෝජනය මේකයි. අනෙක් උදවිය වැසිකිළි කරද්දි ඒ අසූචි මං කනවා. මං වැසිකිළි කරද්දි මගේ අසුචි තමයි ඒ ශ්‍රමණ පෙරේතයා කන්නෙ.

"මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මනුෂ්‍ය ලෝකයේ මසුරුකම නිසා දුක් විඳින ප්‍රේතයන් සමඟ කතා කරයි."

විශාල ප්‍රේත සමූහයක්

ඛුද්දක නිකාය | පේතවත්ථු | 4.10. ගණ පේත වත්ථු

ඔයාලගේ ඇඟේ නුල් පොටක් නෑ. හරිම විරූපියි. කෙට්ටුයි. නහරවැල් පෑදිලා තියෙනවා. ඉලඇට ඉලිප්පිලා තියෙනවා. කෙට්ටු සිරුරක්. මෙතැන ඉන්න ඔය පිරිස කවුද?
 
අනේ ස්වාමීනි, අපි මේ දුකේ වැටිල ඉන්නෙ. අපි යමලෝකෙ උපන් පෙරේතයෝ. අපගේ අතින් පව්කම් කෙරිල තමයි මනුස්ස ලෝකෙන් පෙරේත ලෝකෙට ගියේ.
 
ඔයාලා විසින් කයෙන් වචනයෙන් මනසින් මොන වගේ පවක්ද කර ගත්තෙ? මොන වගේ කර්මයක විපාකයක් නිසාද මිනිස් ලෝකෙන් පෙරේත ලෝකෙට ආවෙ?
 
ශ්‍රමණබ්‍රාහ්මණ ආදී පින්තොටවල් වළක්වලා නොතිබෙද්දිත් අපි ඔවුන්ට දන් නොදීපු නිසා අඩමසක් තිස්සේ පිපාසයෙන් ඇවිද ඇවිද යනවා. දන්පැන්වලට දෙන්න දේවල් තිබෙද්දිත් තමන්ට පිහිට වෙන පින්කම් අපි කරගත්තෙ නෑ. අපට හරියට පිපාසෙ හැදෙනවා. එතකොට අපි නදියට යනවා. අපට නදිය පෙනෙන්නෙ වතුර සිඳී ගිය වැලිතලාවක් වගේ. රස්නේ වැඩි නිසා අපි ගස් සෙවණට යනවා. එතකොට ඒ අව්ව ගහ යටට එනවා.
 
හුළඟ හමන කොට මහා ගිනි රස්නෙකින් ඒ හුළඟ හමන්නෙ අපිව පුච්චගෙනයි. අනේ ස්වාමීනි, අපට මේ දුක ලැබෙන්ට සුදුසුයි. අපි ඔයිටත් වඩා පව් කරල තියෙනවා. අපි බඩගින්දර උහුලගන්න බැරිව ආහාර ටිකක් කන්ට ආසාවෙන් බොහෝ යොදුන් ගණන් දුර යනවා. අපිට ලැබෙන්නෙ නෑ. අන්තිමේදි නවතිනවා. අයියෝ! අපේ මේ පින් නැතිකමමයි.
 
අපි කෑම් බීම් නැතිකම නිසා ම පීඩා විඳිනවා. සිහිසන් නැතිව ඉන්නෙ. බිරාන්ත වෙලා අපිව බිම ඇඳගෙන වැටෙනවා. උඩු අතටත් වැටෙනවා. යටිකුරුවත් වැටෙනවා. ඒ ගිය ගිය තැන පීඩාව නිසාම බිම ඇඳගෙන වැටෙනවා. එතකොට අපි වේදනාවෙන් ඔළුවට පපුවටත් ගහ ගන්නවා. අයියෝ! අපේ මේ පින් නැතිකමමයි. ස්වාමීනි, මේ විඳින දුකටත් එයිටත් වඩා පව්කාර දුක් විඳින්ටත් අපි සුදුසුයි.
 
දානමානවලට දෙන්ට තරම් අපට වස්තුව තිබිලත් තමන්ට පිහිටක් ලැබෙන පින් කර ගත්තෙ නෑ. ඒ අපි මේ පෙරේත ලෝකෙන් චුත වෙලා ආයෙමත් මනුස්ස ජීවිතයක් ලැබුවට පස්සෙ සම්මාදම් ඉල්ලන අයගේ අදහස් තේරුම් ගන්නවා. සිල්වත් වෙනවා. බොහෝ කුසල් රැස් කරනවා.

"අයහපත් භයානක අපාය සහිත දුගතියෙන් බේරිමට කළ යුතු දේ ගැන, පින්කම් කිරීම ගැන ස්ත්‍රියක් සහ ප්‍රේතයෙක් සාකච්ඡා කරයි."

පාඨලීපුත්තයේ කාන්තාව

ඛුද්දක නිකාය | පේතවත්ථු | 4.11. පාටලීපුත්ත පේත වත්ථු

දැන් ඔබ නිරිසතුන්ව දැකල තියෙනවා. තිරිසන් අපායත් දැකල තියෙනවා. පෙරේතයන්, අසුරයන් දැකල තියෙනවා. ඒ වගේම දෙවියන්, මිනිසුන් දැකල තියෙනවා. තම තමන්ගෙ කර්ම විපාක තමන්ම දැකල තියෙනවා. මං දැන් ඔබ කවුරුත් නොදුටු පාටලීපුත්‍ර නගරයටයි එක්කරගෙන යන්නෙ. එහෙ ගිහිල්ලා පින්දහම් කරන්න.
 
පින්වත් යක්ෂය, ඔබ මගේ යහපත් කැමැති කෙනෙක්. පින්වත් දෙවිය, ඔබ මට හිත කැමති කෙනෙක්. මං ඔබේ වචනය කරනවා. ඔබ මගේ ආචාර්යවරයා වෙන්න. මං නිරිසතුන්ව දැකල තියෙනවා. තිරිසන් අපායත් දැකල තියෙනවා. පෙරේතයන්, අසුරයන් දැකල තියෙනවා. ඒ වගේම දෙවියන්, මිනිසුන් දැකල තියෙනවා. තම තමන්ගෙ කර්ම විපාක තමන්ම දැකල තියෙනවා. මං බොහෝම පින් කරගන්න ඕන.