සුමේධා රහත් තෙරණින් වහන්සේ

1. කෝණාගමන බුදුරජාණන් වහන්සේ අභිනවයෙන් කරවන ලද සඞ්ඝාරමයෙකැ වැඩවසන සමයෙහි යෙහෙළි වූ ධනඤ්ජානී යැ, ඛෙමා යැ, මා (සුමෙධා) යැ යන අපි තිදෙන ඒ බුදුරදුනට විහාරයක් කරවා දුනුම් හ.

2. (එ පිනෙන්) දසවරැ සියවරැ දහස්වරැ දසදහස්වරැ දෙවියන් කෙරෙහි උපනුම්හ. මිනිසත්බව්හි උපන්වාර කියනු කිම.

3. දෙවියන් කෙරෙහි උපන් කලැ මහත් සෘද්ධි ඇති වූම්හ. මිනිසුන් කෙරෙහි (උපන් කලැ) කවර කථා යැ. මම් සක්විති රජක්හුගේ ස්ත්‍රීරත්නය වූ මෙහෙසි වූමු.

4. ධනඤ්ජානී යැ, ඛෙමා යැ, මා යැ යන අපි තිදෙන මෙලොව්හි රැස්කළ කුසල් ඇත්තමෝ මහත් ඉසුරුමත් කුලඟන වූමු.

5. සියල් අඟින් පිරිපුන් අරමක් මොනොවට කරවා බුදු පාමොක් සඟනට පවරා දී ප්‍රමුදිත වූම්හ.

6. (මම) යම් යම් තෙනෙකට උපත් විසින් යෙම් ද, එ කුසල් බෙලෙන් දෙවියන් අතරැ අගතැන් පැමිණියමු. මිනිසුන් අතරැ දු එසේ මැ යි.

7. මේ (භද්‍ර) කල්පයෙහි බ්‍රාහ්මණවංශික මහායශස් ඇති ගෝත්‍ර විසින් කාශ්‍යප නම් වූ දේශකයන් අතරැ ශ්‍රෙෂ්ඨ වූ බුදුරජාණන් කෙනෙක් පහළ වූ සේක.

8. එකලැ බරණැස් පුරවරයෙහි මහර්ෂී බුදුරදුනට උපස්ථායක වූ නරෙශ්වර කිකී නම් කසීරජෙක් වූයේ යැ.

9. ඒ රජුට සත් දූ කෙනෙක් වූහු. සුවසේ වැඩුණු ඒ රාජකන්‍යාවෝ බුදුවටන්හි නිරත වූහ. උහු තුමූ බඹසර සැරුහු.

10. මම් ඔවුනට සහාය වැ සිල්හි මොනොවට පිහිටියා සකසා දන් දී ගිහිගෙහි ම (රැඳී) වත් සපුරාලීමි.

11. ඒ කුශලකර්‍මහේතුයෙන් ද, චේතනාප්‍රණිධි හේතුයෙන් ද මම මිනිස්කය හැරපියා (උත්පත්ති වශයෙන්) තව්තිසා දෙව්ලොවට පැමිණියෙමු.

12. මම එයින් සැවැ යාමදෙව්ලොයට ගියමු, එයින් සැවැ තුෂිතයට ගියමු, එයින් සැවැ නිර්‍මාණරතියට ද, එයින් සැවැ වශවර්තිපුරයට ද ගියමු.

13. පින්කම්හි මොනො‍වට පිහිටි මම් යම් යම් තෙනෙකැ උපන්මු ද, ඒ ඒ තෙනැ (දෙව්) රජුනට මෙහෙසිබව කළමු.

14. එයින් ච්‍යුත වූවා මිනිසත්බව්හි සක්විතිරජුනට ද, පෙදෙස් රජුනට ද මෙහෙසිබව කළමු.

15. (මෙසෙයින්) දෙවියන් කෙරෙහි දු මිනිසුන් කෙරෙහි දු සැපත් වළඳා සියලු තන්හි සුවපත් වැ නොයෙක් ජාතිවලැ (උපත් විසින්) හැසුරුණමු.

16. (යථොක්ත දෙව්මිනිස් සැපත් ලැබීමට) ඒ විහිර දානය හේතු වියැ, එය ප්‍රභවය වියැ, එය මුල් වියැ, එය මැ බුදුසසුන්හි නිධ්‍යාන ක්‍ෂාන්තිය වියැ, එය ප්‍රථම සමාගමය වියැ, එය දම්හි ඇලුණ සුමෙධාවගේ නිර්වාණපදප්‍රාප්තිය වී.

17. මා විසින් කෙලෙස්හු දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. බැඳුම් සිඳ සරණ ඇත්රැජිනක සෙයින් ආස්‍රව රහිත වැ වාස කෙරෙමි.

18. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ හමියෙහි මට ඒකාන්තයෙන් යහපතක් වූයේ යැ. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්ත (පිළිවෙළින් පැමිණි) යහ. බුදුසසුන් කොට නිමවන ලදි.

19. මේ සිව්පිළිසිඹියාවෝ ද, අෂ්ටවිමොක්‍ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද පසක් කරන ලදහ. බුදුසසුන් කොට නිමවන ලදි.

මේඛලාදායිකා රහත් තෙරණින් වහන්සේ

20. සිද්ධාර්ත්ථ භගවත්හට ස්තූප කරන්නෝ වූහ. ශාස්තෘහු පිණිස (කරනු ලබන) නවකම් සඳහා මා විසින් මේඛලාවක් දෙන ලදි.

21. මහසෑ (නවහම්) නිමි කල්හි දු මම් යළි මෙවුලක් දුනුමු. ලෝකනාථ වූ මුනිඳුන්හට සියදිවියෙන් (දිව් හිම් කොට) ප්‍රසන්න වූවා වෙමි.

22. මෙයින් සූඅනුවන කප්හි, එකලැ යම් මෙවුලක් දුන්නෙම් ද, (එ හෙතුයෙන්) දුගතිය නො මැ දනිමි. මෙ වූකලී සෑයක් කරවීමේ විපාක යි.

23. මා විසින් කෙලෙස්හු දවන ලද … අනාස්‍රව වැ වෙසෙමි.

24. මාහට එකැතින් යහපතෙක් වියැ … බුදුසසුන් කරන ලද.

25. සිව්පිළිසිඹියා ද … බුදුසසුන් කරන ලදි.

මණ්ඩපදායිකා රහත් තෙරණින් වහන්සේ

26. කෝණාගමන බුදුරදුන්හට මා විසින් මණ්ඩපයක් කරවන ලදි. ලෝකබන්‍ධු වූ භාග්‍යවතුන්හට නිරන්තරයෙන් සිවුරු ද දුන්මු.

27. යම් යම් දනව්වකට යන්නෙම් ද, නියම්ගම්-රජදහනකට යන්නෙම් ද එ හැමතන්හි පුදනලද වෙමි. මේ වූකලි පින්කම්හි ඵල යි.

28. මා විසින් කෙලෙස්හු දවන ලදහ … ආස්‍රව රහිත වැ වාස කෙරෙමි.

29. ඒකාන්තයෙන් මා හට ස්‍වාගතයෙක් වී යැ … බුදුසසුන් කරන ලද.

30. සිවු පිළිසිඹියාවෝ ද … බුදුසසුන් කරන ලදි.

සඞ්කමනත්ථා රහත් තෙරණින් වහන්සේ

31. ලෝකජ්‍යෙෂ්ඨ වූ තාදී (අකම්ප්‍ය) ගුණයුක්ත, ප්‍රාණීන් (සසරකතරින්) එතෙරැ කරවන විදර්ශී භාග්‍යවතුන් වහන්සේ වීථීයට පිළිපන්නවුන් හමියෙහි …

32. මම් ගෙන් නික්මැ යටිහුරු වැ වැඳ වැටුණමු. ලෝකනාථයන් වහන්සේ අනුකම්පා කරන සේක් මාගේ ශීර්‍ෂාන්ත (කෙහෙ) ඇක්මැවූ සේක.

33. (මා) හිස ඇක්මැ ලෝකස්වාමි වූ බුදුරජාණන් වහන්සේ වැඩිසේකි. මම් ඒ චිත්ත ප්‍රසාදහේතුයෙන් උත්පත්ති වශයෙන් තුෂිත දෙව්ලොවට (උපත් විසින්) පැමිණියමු.

34. මා විසින් කෙලෙස්හු දවන ලදහ … ආස්‍රව රහිත වැ වාස කෙරෙමි.

35. ඒකාන්තයෙන් මට ස්‍වාගතයෙක් වියැ … බුදුසසුන් දරන ලද යැ.

36. සිවුපිළිසිඹියා ද … බුදුසසුන් කරන ලද්දේ යි.

නළමාලිකා රහත් තෙරණින් වහන්සේ

37. එක්කලෙක මම චන්‍ද්‍රභාගා නදී තීරයෙහි කිඳුරියක් වූමු. ස්‍වයම්භූ වූ අපරාජිත වූ විරජ වූ (සිද්ධාර්ථ) බුදුරදුන් දුටුමු.

38. පහන් සිතැති (එහෙයින් මැ) සොම්නස් වූ උපන් ප්‍රීති ඇති මම් බදැදිලි වැ නළමාලාවක් (හුණ මල්දමක්) ගෙණ (එයින්) සම්බුදුරදුන් ගරුබුහුමනින් යුතු වැ පිදුමු.‍‍

39. එ කුශලකර්‍මහේතුයෙන් ද චේතනාප්‍රණිධි හේතුයෙන් ද කිඳුරු සිරුර හැරපියා (උපත් විසින්) දේවගතියට ගියමු.

40. (එහි) සතිසක් දෙව්රජුනට මෙහෙසිබව කරවූයෙමි. (පසුව) දස සක්විති රජුනට ද මෙහෙසි වූමු. (මෙ අත්බව්හි) මා සිත සංවේගයට පමුණුවා බුදුසසුන්හි පැවැදි වූවා වෙමි.

41. මෙයින් සූඅනුවනකප්හි යම් පුෂ්ප පූජාවක් කරන ලද ද, (එ පිනෙන්) දුගතිය නො මැ දනිමි, මේ පුෂ්පපූජායෙහි විපාක යි.

42. මා විසින් කෙලෙස්හු දවන ලදහ, සියලු භවයෝ නසන ලදහ, සියලු ආස්‍රවයෝ ක්‍ෂීණයහ, දැන් (මට) පුනර්භවයෙක් නැති.

43. මා විසින් කෙලෙස්හු දවන ලදහ … සියලු භවයෝ නසන ලදහ.

44. මට ඒකාන්තයෙන් යහපතෙක් මැ වියැ … බුදුසසුන් කරන ලද.

45. සිවුපිළිසිඹියා ද … බුදුසසුන් කරන ලදි.

ඒකපිණ්ඩදායිකා රහත් තෙරණින් වහන්සේ

46. බන්‍ධුමතී නගරයෙහි බන්‍ධුමත් නම් රජෙක් වියැ. මම් ඒ රජහට භාර්‍ය්‍යා වූමු, නිරතුරු ඉඳුරන් පිනවා වාස කළමු.

47. එකලැ මම් රහසිගත වැ හිඳ මෙසේ සිතුමු: “(පරලොව) රැගෙන යායුතු, මා විසින් කළ කුශලකර්‍මයෙක් නැත.

48. මහත් බිහිසුනු තැවීම් ඇති කටුක වූ භයානක ස්වභාව ඇති අතිශයින් දරුණු වූ නිරයට ඒකාන්තයෙන් යමු, තෙල කරුණෙහි ලා මට සැකයෙක් නැති.”

49. රජු කරා එළඹැ මම් මෙ වදන් කීමු: “රජතුමනි, මා හට එක් මහණ කෙ‍නකුන් දෙනු මැනැවැ, (මම ඔවුන්) වළඳ වමු” යි.

50. මහරජ මාහට භාවිතෙන්‍ද්‍රිය මහණ කෙනකුන් දුන්නේ යැ. ඔබ පාත්‍රය ගෙන උතුම් බොජුනෙන් (එය) පුරවා ලීමු.

51. මම උතුම් බොජුනෙන් (පාත්‍රය) පුරවා සුවඳ විලවුන් ද දුනුමු දහසක් අගනා පිළිසඟළෙකින් (සිරුර) වැස්වූමු.

52. මාගේ තෙල අරමුණ දිවිහිමියෙන් සිහි කෙරෙමි, මම එහි (එ මහණුන් කෙරෙහි) සිත පහදවා උපත් විසින් තව්තිසාවට ගියමු.

53. තිසක් දෙව්රජුනට මෙහෙසිබව කරවූයෙම්, මනසින් පැතූ ද සිතැඟි සේ මට නිපැයෙයි.

54. විසි සක්විතිරජුනට මෙහෙසි වූමු, මම තමා මැ රැස්කළ පින් ඇති වැ (සුගති) භවයන්හි (උපත් විසින්) හැසුරණමු.

55. මම සියලු භවබන්ධනයෙන් මුක්ත වෙමි, මාහට උපාදානයෝ පහවැ ගියහ, සියලු ආස්‍රවයෝ ක්‍ෂිණයහ, දැන් මට පුනර්භවයෙක් නැති.

56. මෙයින් එකානුවන කප්හි එකලැ යම් දනක් දුනුම් ද, (එතැන් පටන්) දුගතිය නො දනිමි, මෙ පිණ්ඩදානයාගේ විපාක යි.

57. – 59. මා විසින් කෙලෙස් දවන ලද … බුදුසසුන් කරන ලදි.

කටච්ඡුභික්‍ඛාදායිකා රහත් තෙරණින් වහන්සේ

60. පිඬු පිණිස හැසිරෙන ශාස්තෘ වූ තිස්ස නම් බුදුරජාණන් වහන්සේට මම් කෙණෙසි අහරක් සපයා ගෙන දුනුමු.

61. ශාස්තෘ වූ ලෝකාග්‍රනායක තිස්ස සම්බුදුරජාණන් වහන්සේ (එ අහර) පිළිගෙන වීථියෙහි වැඩසිටිසේක් මට අනුමෝදනා කළ සේක.

62. “(තෝ) කෙණෙසි අහරක් දී තව්තිසායෙහි උපදනෙහි. (එහි) සතිස් දෙව්රජුනට මෙහෙසිබව කරන්නෙහි.

63. පනසක් සක්විත්තනට ද මෙහෙසිබව කරන්නෙහි, මනසින් පැතූතාක් සියල්ල හැම කල්හි ලබන්නෙහි.

64. සැපත් වළඳ කොට පළිබොධ රහිත වැ පැවිදිවන්නෙහි, සියලු ආස්‍රව (පහාන පරිඤ්ඤා විසින්) පිරිසිඳ දැන අනාස්‍රව වැ පිරිනිවෙන්නෙහි” යි.

65. ලෝකාග්‍රනායක ධීර වූ සම්බුදුරජාණන් වහන්සේ මෙය වදාරා අහසට (වදනා) හංසරාජයක්හු සෙයින් නභොගර්හයට පැන නැංග සේකි.

66. මා විසින් උතුම් දනක් දෙනලද යැ, යාගසම්පත් මොනොවට යාග විසින් කරන ලදයැ, කෙණෙසි අහරක් දී මම් අචල වූ නිවනට පැමිණායෙම් වෙමි.

67. මෙ කපින් ‍දෙයානූවන කප්හි (උපන් මම) එකලැ යම් දනක් දුනුම් ද, (ඒ හේතුයෙන්) දුගතිය නො දන්මි. මේ වූකලී භික්‍ෂාදානයෙහි විපාක යි.

68. – 70. මා විසින් කෙලෙස් දවන ලද … බුදුසසුන් කොට නිමවන ලදී.

සත්තුප්පලමාලිකා රහත් තෙරණින් වහන්සේ

71. අරුණවතී නගරයෙහි අරුණවත් නම් රජෙක් වියැ. මම එරජහට භාර්‍ය්‍යා වූමු. ඉඳුරන් පිනවීමෙහි ලා (රජු) මෙහෙයවා ලූමු.

72. එකල්හි දෙව්සුවඳවහන උපුල්මල්දම් සතක් ගෙන උතුම් පහා මතුයෙහි හිඳ මෙසේ සිතුමු.

73. “මෙ මල්දම් (මා) හිසෙහි පළඳවාලීමෙන් මට කවර නම් වැඩෙක් ද? (මෙය) බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ ඥාන (ශීර්‍ෂ) යෙහි අභිරෝපණය කරන ලද්දේ වඩා ලා මට උතුම් වෙයි.

74. යම් විටෙකැ සම්බුදුරජාණන් වහන්සේ වඩනා සේක් ද, එවිටැ (ඒ සිඛී) මහාමුනීන්ද්‍රයන් වහන්සේ පුදන්නෙමි” යි මම් සම්බුදුරදුන් බුහුමන් සහිත වැ අපේක්‍ෂා කෙරෙමින් දොර වෙතැ හුන්නමු.

75. දිලිසෙන පර්‍වතකූටයක් සෙයින්, කේශර සිංහරාජයකු සෙයින් ජිනෙන්ද්‍රයන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයා සහිත වැ වීථීයෙහි වැඩම කළසේක.

76. බුදුරැස් දැක හර්ෂ (සතුටු) වූයෙම්, සංවිග්නමනස් ඇතියෙම් දොර හැරපියා බුද්ධශ්‍රෙෂ්ඨයන් වහන්සේ පිදුමු.

77. සත් උපුල්මල් අහස්කුසැ විසිරිණ. ඒ උපුල්හු සෙවෙණියක් කෙරෙමින් බුදුරදුන් මතුයෙහි ධරා සිටුනාහ.

78. ඔදවැඩි සිතැති සුමනස් වූ ප්‍රීතිමත් වූ කෘතාඤ්ජලී වූ මම් ඔබ කෙරෙහි සිත් පහදවා තව්තිසා දෙව්ලොව උපනුමු.

79. මා මුදුන්හි මහනෙල් සියනක් ධරත්. (මම්) දෙව්සුවඳ වහන කෙරෙමි. මෙ වනාහි සත් උපුලක් පිදීමේ විපාක යි.

80. කිසිවිටෙකැ නෑ සමූහයා විසින් ගෙන යනු ලබන මට යම් පමණ පිරිස් වේ ද, (එ පිරිස්) එකල්හි මට මහනෙල් ධරනු ලැබෙයි.

81. සැත්තෑවක් දෙව්රජුනට මෙහෙසිබව කරවූමු. (මෙසේ) සියලු තන්හි ඉසුරු වැ කුදුමහත් බෙවෙහි හැසිරෙමි.

82. තෙසැටක් සක්විතිරජුනට මෙහෙසිබව කරවූමු. සියල්ලෝ මා අනු වැ වැටෙති, (මම්) හැදහියයුතු වදන් ඇතිවූමු.

83. මාගේ පැහැය උපුලක පැහැය මෙන් වෙයි. (උපුල්) සුවඳ (මගේ කයින්) හමා යෙයි. දුර්වර්ණ බවක් නො දනිමි. මේ බුද්ධ පූජායෙහි විපාක යි.

84. සෘද්ධිපාදයන්හි නිපුණ වෙමි. බොධ්‍යඞ්ගභාවනායෙහි ඇලුනෙම් අභිඥාපාරයට පැමිණියෙම් (ද) වෙමි. මේ වූකලී බුද්ධපූජායෙහි විපාක යි.

85. සතිපට්ඨානයෙහි දක්‍ෂ වෙමි. සමාධි-ධ්‍යාන ගෝචර කොට ඇත්තෙමි. සම්‍යක්ප්‍රධන්හි පුන පුනා යෙදුණමු. මේ වනාහි බුද්ධ පූජායෙහි ඵල යි.

86. මාගේ වීර්‍ය්‍ය (යෝගක්‍ෂෙමසංඛ්‍යාත නිවනට පමුණුවන) ධුරවාහක (ගැල අදනා) ගවයා යි, (මාගේ) සියලු ආස්‍රවයෝ ගෙවී ගියහ, දැන් (මට) පුනර්භවයෙක් නැති.

87. මෙයින් එක්තිස්වන කප්හි යම් කුශල කර්‍මයක් කළමු ද, (එ හේතුයෙන්) දුගතිය නො දන්මි, මේ වූකලී පුෂ්පදානයාගේ ඵල යි.

88. – 90. මා විසින් කෙලෙස්හු දවන ලදහ … බුදුසසුන් කරන ලදි.

පඤ්චදීපිකා රහත් තෙරණින් වහන්සේ

91. එකල්හි මම් හංසවතී නගරයෙහි හැසිරෙන්නක් වූමු. කුසල් කැමති වැ අරමින් අරැමැ හැසුරුණමු.

92. (එක්) කළුවර පොහෝ දිනෙකැ උතුම් බෝරුක දුටුමු. එහි සිත් පහදවා මම් බෝමුල්හි හුන්මු.

93. එකල්හි බුහුමන් සිත් එළවා හිස් මුදුන්හි ඇඳිලි බැඳ සොම්නස් ලැබ මෙසේ සිතුවෙමු.

94. “ඉදින් (පියුමතුරා) බුදුහු අපමණ ගුණ ඇතිසේක් නම් අසම වූ අප්‍රතිපුද්ගල සේක් නම් මට පෙළහර දක්වන සේක්වා! මේ බෝරුක බබළාවා!” යි.

95. මාගේ ආවර්ජනාව හා සමග එකෙණෙහි බෝරුක දිලුණේ ය. සියල්ල රන්මුවා මෙන් විය. සියලු දිශාවෝ බැබළුණාහ.

96. මම් ඒ බෝමුල්හි සත්රෑදාවලක් හුන්නමු. සත්වැනි දවස පැමිණි කල්හි මම් දීප පූජාවක් කළමු.

97. ආසනය පිරිවරා ප්‍රදීප පසෙක් දිලුණේ ය. එදවස හිරු උදාවන තාක් මාගේ ප්‍රදීපයෝ දිලුණාහ.

98. එ පුණ්‍යකර්‍ම හේතුයෙන් ද, චේතනාප්‍රණිධි හේතුයෙන් ද, මම් මිනිස්කය හැර පියා තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියමු.

99. එහි මට මොනොවට කරන ලද විමනෙක් වියැ. සැටයොදුන් උස් වූ තිස්යොදුන් පුළුල් වූ එ විමන “පඤ්චදීපි” යි කියනු ලැබෙයි.

100. දෙව්විමන යම් තාක් ප්‍රදීපාලෝකයෙන් දිලියේ ද (එ තාක්) අසංඛ්‍යසංඛ්‍යාත ප්‍රදීපයෝ හාත්පස දිලියෙන්නාහ.

101. ඉදින් (මම) පරාම්මුඛ වැ හිඳ දක්නට රිසියුම් නම් උඩ ද යට ද සරසැ ද (වූ) සියල්ල මසැසින් දකිමි.

102. සුගත දුර්ගතයන් දක්නට යම් පමණින් රිසියුම් ද රුක්හි වේවයි පවුහි වේවයි එහිලා ආවරණයක් නැති,

103. අසූවක් දෙව්රජුනට මෙහෙසිබව කරවීමි. සියක් ගණන් සක්විත්තනට ද මෙහෙසිබව කරවූයෙමි.

104. දෙවි අත්බව යැ, යළි මිනිසත් බව යැ යන යම් යම් අත්බවකට (උපත් විසින්) එළැඹෙම් ද, මා පිරිවරා සියදහසක් ගණන් පහන්හු දිලියෙත්.

105. දෙව්ලොවින් සැව (මනුලොවැ) මවුකුස්හි උපන්මි, මවුකුසට ගියා වූ ම මාගේ ඇස් (පිය) නිමිලනය නො වෙයි.

106. (මම) පුණ්‍යකර්‍මසමන්වාගත යෙමි, (එහෙයින්) සියක් දහසක් පහන්හු තිඹිරි ගෙහි දිලියෙන්නාහ. මේ දීපදානයාගේ ප්‍රතිඵල යි.

107. පශ්චිමභවය පැමිණි කල්හි මනස කෙලෙසුන්ගෙන් මුදවා ලීමි. ජරාමරණ නැති සිහිල්බව වූ නිවන මම් ස්පර්‍ශ කළමු.

108. ජාතියෙන් සත්හැවිරිදි වූ මම් රහත්බවට පැමිණියමු, ගෞතම ගෝත්‍ර ඇති බුදුහු ගුණ සලකා (මා) උපසපන් කළහ.

109. මණ්ඩපයෙහි වේවයි, රුක්මුල්හි වේවයි, පහයෙහි වේවයි, ගුහායෙහි වේවයි, ශුන්‍යාගාරයෙහි වේවයි ධ්‍යාන කරන මාහට ප්‍රදීප පසෙක් දිලියෙන්නේ ය.

110. මට දිවැස විශුද්ධ වියැ, මම් සමාධියෙහි නිපුණ වීමි. අභිඥාපාරයට පැමිණියෙම් වෙමි. මෙ වූකලී පඤ්චප්‍රදීපදානයාගේ ප්‍රතිඵල යි.

111. චක්‍ෂුර්මත් මහාවීරයන් වහන්ස, සියලු බ්‍රහ්මචර්‍ය්‍යවාස වැස නිම වූ කෘතකෘත්‍ය වූ අනාස්‍රව වූ පඤ්චදීපා මෙහෙණ (ඔබ) පා වඳියි.

112. මෙයින් සුවහස්වන කප්හි, එකලැ යම් ප්‍රදීපදානයක් ප්‍රදානය කළමු ද, (එ හේතුයෙන්) දුර්ගතිය නො මැ දනිමි, මෙ වනාහි පඤ්චප්‍රදීපදානයාගේ ප්‍රතිඵල යි.

113. – 115. මා විසින් ක්ලෙශයෝ දවන ලදහ … බුද්ධශාසනය කරන ලදි.

උදකදායිකා රහත් තෙරණින් වහන්සේ

116. බන්‍ධුමතී නගරයෙහි (පෙරැ මම්) දිය අදනා කළදැස්සක් වූමු. දිය ඇදීමෙන් ජීවත් වෙමි, එයින් දරුවනුදු පෝෂණය කෙරෙමි.

117. අනුත්තර වූ පුණ්‍යක්‍ෂෙත්‍රයෙහි මාහට දේයධර්‍මයෙක් (පුදනට නිසි දැයෙක්) නැත. (එ හෙයින්) නහන කොටුව වෙත එළැඹැ මම් දිය එළවා තැබූයෙමි.

118. එ කුශලකර්‍මයෙන් මම (උපත් විසින්) තව්තිසා දෙව්ලොවට ගියමු. එහි මා හට දිය ඇදීමේ පිනෙන් නිර්මිත වූ මොනොවට කළ විමනෙක් විය.

119. එකල්හි මම දහසක් අප්සරාවනට අග්‍ර වූමු. හැම කල්හි දස කරුණෙකින් ඒ සියල්ලන් අභිභවා සිටිමි.

120. පනසක් දෙව්රජුනට මෙහෙසිබව කරවූයෙමි. විසිසක්විති රජුනට ද මෙහෙසිබව කරවූයෙමි.

121. දෙවිබව යැ, යළි මිනිසත්බව යැ යන භවද්වයයෙහි සැරි සරමි, දුගතිය නො ම දනිමි. උදකදානයාගේ මේ විපාක යි.

122. පවු අග්හි වේවයි, රුක් අග්හි වේවයි, අහස්හි වේවයි, පොළොව්හි වේවයි යම් විටෙකැ දිය රිසියෙම් ද, (එවිටැ) මම් වහා (දිය) ලබමි.

123. වැසි නොවටනා දිශායෙක් (මට) නැත. තැවීමෙක් කැකෑරුණු බවෙක් දු නැති. මාගේ අදහස් දැන (මෙන්) මහාමේඝය වෙසෙසින් වස්නේ යි.

124. යම් විටෙකැ මම් වැසි රිසි වන්නෙම් නම් එවිටැ නෑ සමූහයා විසින් ගෙන යනු ලබන මට මහවැසි වසී.

125. මාගේ සිරුරෙහි උණුසුමෙක් වේවයි, දාහයෙක් වේවයි නැත, මාගේ කයෙහි රජස් ද නැති. මේ වූකලී උදකදනයාගේ විපාක යි.

126. අද (මම) විශුද්ධ මනස් ඇති වෙමි, පහ වැ ගිය කෙලෙස්මල ඇති වෙමි, සියලු ආස්‍රව ගෙවී ගියේ යැ, දැන් පුනර්භවයෙක් නැති.

127. මෙයින් එකානූවන කප්හි, එකලැ යම් පුණ්‍යකර්‍මයක් කළමු ද, (එ හේතුයෙන්) දුගතිය නො දනිමි. මේ උදකදානයාගේ විපාක යි.

128. – 130. මා විසින් ක්ලේශයෝ දවන ලදහ … බුද්ධශාසනය කරන ලද්දේ යි.

ඒකුපොසථිකා රහත් තෙරණින් වහන්සේ

131. බන්ධුමතී නුවරැ බන්ධුමත් නමැති රජෙක් වියැ. හේ පුණුපොහෝ දිනැ පෙහෙවස් විසී.

132. එසමයෙහි මම එනුවරැ කළදැස්සක් වූමු. (පෙහෙවස් වසන) රජු සහිත සෙනඟ දැක මම මෙසේ සිතූමු:

133. “රජ ද රජය හැරපියා පෙහෙවස් විසී යැ. එකැතින් ඒ ක්‍රියාව ඵල සහිත යැ. ජනසමූහයා ප්‍රමුදිත වූයේ වෙයි ” යනු යි.

134. (මම් දු) දුගී බව ද දිළිඳුබව ද නුවණින් මෙනෙහි කොට සිත පහදවා පෙහෙවස් වුසූමු.

135. මම (විපස්සී) සම්බුදුසසුනෙහි පෙහෙවස් වැස ඒ කුශල කර්‍මයෙන් තව්තිසා දෙව්ලොව උපන්මු.

136. එහි මට විමනෙක් මැනැවින් කරනලද වෙයි. (එ විමන) යොදුනක් උස් යැ, මනාකුළුගෙවලින් යුතු යැ, (හැඳපුටු ඈ) සෙනසුනෙන් සැරහුණේ ද වේ.

137. සියදහසක් අප්සරාවෝ සැම කල්හි මට උවටැන් කෙරෙති. (මම) සැමදා සෙසු දෙවියන් ඉක්මවා අගිශයින් බබළමි.

138. සූසැටක් දෙව්රජුනට මෙහෙසි වූමු. තෙසැටක් සක්විති රජුනට ද මෙහෙසි වූවා වෙමි.

139. මම රන්වන් සිවිපැහැ ඇති වැ භවයන්හි හැසිරෙමි. සියලු තන්හි උතුම් වෙමි. මේ වූකලි පෙහෙවස් විසීමේ විපාක යැ.

140. හස්තියාන – අශ්වයාන – රථයාන – සිවිගෙවල් යන තෙල සියල්ල ලබමි. මේ වනාහි පෙහෙවස් විසීමේ විපාක යැ.

141. මම රන්මුවා වූ ද, රිදීමුවා වූ ද, පිළිමිණිමුවා වූ ද, රත්මිණිමුවා වූ ද (උපභොග පරිභොග වස්තු) සියල්ල පිළිලබමි.

142. තිහිරිපිළි යැ, එළුලොම්පිළි යැ, කොමු පිළි යැ, කපු පිළි යැ (අන්‍ය වූත්) මහාර්හ වස්ත්‍ර දැයි යන සියල්ල පිළිලබමි.

143. ආහාර පාන හා කෑයුතු දෑ ද, වස්ත්‍ර හා ශයනාසන ද යන තෙල සියල්ල ලබමි. මේ පෙහෙවස් විසීමේ විපාක යි.

144. මහඟු සුවඳ ද, මල්දම් ද, වත්සුණු හා විලවුන් ද යන තෙල සියල්ල ලබමි. මේ පෙහෙවස් විසීමේ විපාක යි.

145. කුළුගෙවල් යැ, මහපහා යැ, මණ්ඩප යැ, සඳලු සහිත ගේ යැ, ගුහා යැ යන තෙල සියල්ල ලබමි. මේ පෙහෙවස් විසීමේ විපාක යි.

146. උපතින් සත්හැවිරිදි වූ මම බුදුසසුන්හි පැවිදි වූමු. (පැවිද්දෙන්) අඩමසක් නො පැමිණි කල්හි රහත්බවට පැමිණියා වෙමි.

147. මා විසින් කෙලෙස්හු දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. සියලු ආස්‍රවයෝ ක්‍ෂීණ වූහ. දැන් (මට) පුනර්භවයෙක් නැති.

148. මෙයින් එක්අනූවන කප්හි යම් කුශලකර්‍මයක් කළමු ද, (ඒ හේතුයෙන්) දුගතිය නො හඳුනමි. මේ පෙහෙවස් විසීමේ ඵල යි.

149. බුදුරදුන් වෙතැ එළැඹීම මට ස්වාගත (-යහපත්) වියැ, ත්‍රිවිද්‍යා අනුප්‍රාප්ත යැ, බුදුසසුන් කරන ලද යැ.

150. මේ සිවුපිළිසඹියා ද, අෂ්ටවිමෝක්‍ෂ ද, ෂඩ් අභිඥා ද මා විසින් පසක් කරන ලද යැ. බුදුසසුන් කරන ලදී.