ගාථා එක බැගින් වදාළ කොටස

එක්තරා තෙරණියකගේ ගාථාව

පින්වත් භික්ෂුණීන් වහන්ස, පාංශුකූල වස්ත්‍රයෙන් මසාගත්ත සිවුරු පොරවා ගත්තට පස්සෙ හරිම සැප සේ වාසය කරන්ට පුළුවන්. ඔබේ රාගයත් ප්‍රහාණය වෙලා සංසිඳිලා ගියේ භාජනේක මැල්ලුමක් රොස් වුණා වගෙයි.

මුත්තා තෙරණියගේ ගාථාව

පින්වත් මුත්තා, මාරයාගේ ග්‍රහණයෙන් ඔයත් ගැලවිලා යන්ට ඕන. රාහුගේ ග්‍රහණයෙන් පුන්සඳ මිදිල යනවා වගෙයි. කෙලෙස් වලින් නිදහස් වෙලා ගිය සිතින් ණයක් නැතිවයි පිණ්ඩපාතෙ වළඳන්න ඕන.

පුණ්ණා තෙරණියගේ ගාථාව

පින්වත් පුණ්ණා, පසළොස්වක පොහෝ දවසේ සඳක් වගේ උතුම් ගුණධර්මවලින් ජීවිතේ පුරවා ගන්ට ඕන. ප්‍රඥාව සම්පූර්ණ කරගෙන මේ අවිද්‍යා අන්ධකාරය පලා දමන්න.

තිස්සා තෙරණියගේ ගාථාව

පින්වත් තිස්සා. සීල, සමාධි, ප්‍රඥාවේ හික්මෙන්න. මේ දුර්ලභ අවස්ථාව මග හැරගන්ට නම් එපා! සියලු බන්ධයන් ගෙන් නිදහස් වෙන්න. නිකලෙස් කෙනෙක් හැටියට ලෝකේ ජීවත් වෙන්න.

(වෙනත්) තිස්සා තෙරණියගේ ගාථාව

පින්වත් තිස්සා, ධර්මයේම හැසිරෙන්න. මේ දුර්ලභ අවස්ථාව මග හැරගන්ට නම් එපා! මේ උතුම් අවස්ථාව මග හැරගත් උදවිය නිරයේ වැටිල දුක් විඳිනවා.

ධීරා තෙරණියගේ ගාථාව

පින්වත් ධීරා, දුක් නැතිවීම වන ‘නිවන’ යි ස්පර්ශ කළ යුත්තේ. අකුසල සඤ්ඤා සංසිඳීම සැපයක්. ඒ නිසා මේ කෙලෙස්වලින් නිදහස් වූ අනුත්තර නිවනම ලබාගන්න.

වීරා තෙරණියගේ ගාථාව

පින්වත් භික්ෂුණිය වීරා, ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රියයන් මහත් වීරියෙන් යුක්තව දියුණු කරගන්න. ධර්මයේම හැසිරෙන්න. සේනා සහිත මාරයාව පරාජය කරලා අවසන් සිරුර විතරක් දරාගන්න.

මිත්තා තෙරණියගේ ගාථාව

පින්වත් මිත්තා, ශ්‍රද්ධාවෙන් මහණ වෙච්ච ඔයා කල්‍යාණ මිත්‍රයන්ගේ ආශ්‍රයට කැමති වන්න. උතුම් අරහත්වය උදෙසාම කුසල් දහම් වඩන්න.

භද්‍රා තෙරණියගේ ගාථාව

පින්වත් භද්‍රා, ශ්‍රද්ධාවෙන්මයි ඔයත් මහණ වුණේ. ඉතින් ඔයත් ඒ භද්‍ර වූ සුන්දර වූ ධර්මයේ ඇලී වසන්න. උතුම් අරහත්වය උදෙසා මේ කුසල් නම් බෝධිපාක්ෂික ධර්මයන් වඩන්න.

උපසමා තෙරණියගේ ගාථාව

පින්වත් උපසමා, මේ මාරයාගේ රාජධානියෙන් මිදෙන්ට අතිශයින්ම දුෂ්කරයි. කොහොම හරි සසර සැඩ පහරින් එතෙර වෙන්න. සේනා සහිත මාරයාව පරදවා දාන්න. අවසන් සිරුරක් දරන කෙනෙක් වෙන්න.

(වෙනත්) මුත්තා තෙරණියගේ ගාථාව

මං හැම දෙයකින්ම මිදිච්ච එකමයි හොඳ. මං තුන් කුදෙනුත් මිදුණා. ඒ කියන්නෙ, වංගෙඩියෙනුත් මිදුණා, මෝල් ගහෙනුත් මිදුණා. ස්වාමියාගෙනුත් මිදුණා. ඉපදෙන මැරෙන ලෝකයෙනුත් මිදුණා. මේ භව රැහැන වූ තෘෂ්ණාවෙනුත් මිදුණා.

ධම්මදින්නා තෙරණියගේ ගාථාව

නිවන් දකින්ටමයි හිතේ ආසාව ඇතිවුණේ. වෙන දේකට වසඟ වුණේ නෑ. මනසින් නිවන ස්පර්ශ කරගත්තා. කාමයන් පිළිබඳ සිත බැඳී නැති ජීවිතය ඇති කෙනාට ‘උඩුගං බලා යන්නී’ කියලයි කියන්නෙ.

විසාඛා තෙරණියගේ ගාථාව

යමක් කළාට පස්සෙ ඒ ගැන නොතැවී ඉන්ට නම් අන්න ඒ බුද්ධානුශාසනාවයි කරන්ට ඕන. වහා පා සෝදාගෙන එකත්පස්ව හිඳගන්න.

සුමනා තෙරණියගේ ගාථාව

මේ සතර මහා ධාතූන්ගේ පැවැත්ම දුකක් වශයෙන් අවබෝධ වුණාට පස්සෙ ආයෙත් ඉපදෙන සංසාරයට නම් එන්න එපා. භවය ගැන තියෙන ආශාව නැති කරගෙන උපශාන්ත සිතින් කල් ගෙවන්න.

උත්තරා තෙරණියගේ ගාථාව

මං කයෙන් සංවර වුණා. වචනයෙනුත් සංවර වුණා. සිතිනුත් සංවර වුණා. තණ්හාව මුලින්ම උදුරල දැම්මා. සිසිල් වුණා. නිවිල ගියා.

වයසට ගොස් පැවිදි වූ සුමනා තෙරණියගේ ගාථාව

පින්වත් වැඩිමහළු තැනැත්තිය, පාංශුකූල රෙදිවලින් මසා ගත්ත සිවුරු පෙරවා ගෙන සුවසේ සැතපෙන්න. ඔබගේ රාගය සංසිඳිල තියෙන්නෙ. එනිසා සිහිල් වෙලා නිවී යන්න.

ධම්මා තෙරණියගේ ගාථාව

මං හිටියේ ගොඩක් දුර්වල වෙලා. හැරමිටියෙ එල්ලී ගෙන පිණ්ඩපාතෙ වඩින කොට මගේ අත් පා වෙවුලනවා. ඉතින් මාව එතැනම බිම වැටුණා. ඒ වෙලාවෙ මේ ශරීරයේ ආදීනව හොඳට ප්‍රකට වුණා. මගේ සිත කෙලෙසුන්ගෙන් නිදහස් වුණා.

සංඝා තෙරණියගේ ගාථාව

මං ප්‍රියමනාප දූදරුවන් අත්හැරියා. හරක බාන අත්හැරියා. ගිහි ගෙදර අත්හැරියා. මහණ වුණා. අන්තිමේදී රාග ද්වේෂත් අත්හැරියා. අවිද්‍යාවත් නැති කළා. තෘෂ්ණාව මුලින්ම උදුරල දැම්මා. උපශාන්ත වුණා. නිවුණ කෙනෙක් වුණා.

ගාථා දෙක බැගින් වදාළ කොටස

අභිරූපනන්දා තෙරණියගේ ගාථා

පින්වත් නන්දා, නිතර ලෙඩ දුකින් පෙළෙන, කුණු වෙලා යන මේ පිළිකුල් ශරීරය දෙස නුවණින්ම බලන්න. සිත හොඳට එකඟ කරගෙන අසුභ භාවනාව වඩන්න.

කෙලෙස් සටහන් නැති විදර්ශනාව වඩන්න. හිතේ තියෙන මානය මුලින්ම උදුරලා දාන්න. අවබෝධයෙන්ම මානය නැති කරලා උපශාන්තව ජීවත් වෙන්න.

ජෙන්තා තෙරණියගේ ගාථා

බුදු සමිඳාණන් තමයි අමා නිවනට පමුණුවන මාර්ගය වන මේ බොජ්ඣංග ධර්ම හත වදාළේ. ඉතින් මාත් ඒ ධර්ම ඔක්කොම දියුණු කරගත්තා.

මාත් ධර්මය තුළින් ඒ භාග්‍යවතුන් වහන්සේව දැකගත්තා. මේ තමයි මගේ අන්තිම ශරීරය. ඉපදෙන සංසාරෙ ගෙවිල ගියා. දැන් ඉතින් ආයෙත් භවයක් නෑ.

සුමංගලමාතා තෙරණියගේ ගාථා

හැමදේකින්ම මිදුණු ඔයා, හැමදේකින්ම මිදුණු ඔයා, මෝල් ගහෙනුත් නිදහස් වුණ එක තමයි හොඳ. මගේ සැමියා කිසිම ලැජ්ජාවක් නැති මිනිහෙක්. මං ඒ මිනිහගෙ කුඩේටවත් කැමති නෑ. මං බත් උයපු හැළියෙනුත් පිළුණු ගඳ ආවේ.

‘චිටි චිටි’ සද්දයෙන් මං මේ රාග ද්වේෂත් නැති කරල දැම්මා. මං දැන් ගහක් සෙවණට ගියාම, හප්පා! තියෙන සැපයක්! මං හරිම සැප සේ ධ්‍යාන වඩනවා.

අඩ්ඪකාසී තෙරණියගේ ගාථා

‘කාසි’ ජනපදයට ලැබෙන බදු ආදායම වගේම ආදායමක් ඉස්සර මට ලැබුණා. ඒ පුංචි නගරෙ හිටි මිනිස්සු ඒ ආදායමේ අගය මැනලා ඒකෙන් බාගයක වටිනාකම තක්සේරු කරලා මාව ‘අභිචාරිකා’ තනතුරේ තිබ්බා.

එහෙත් මං දැන් අවබෝධයෙන්මයි රූපය ගැන කලකිරිල ඉන්නෙ. ඒ නිසාමයි විරාගයට පත්වෙලා ඉන්නෙ. නැවත නැවත සැරිසරන ඉපිද ඉපිද යන මේ සංසාරෙට නම් මං ආයෙත් දුවන්නෙ නෑ. මං ත්‍රිවිද්‍යාව ලබාගත්තා. බුදු සසුන සම්පූර්ණ කරගත්තා.

චිත්තා තෙරණියගේ ගාථා

මං ගොඩක් කෙට්ටුයි. ලෙඩ වෙලා, දුර්වල වෙලා ඉන්නෙ. ඒත් මං හැරමිටියේ එල්ලී ගෙන ගිජුකුළු පර්වතේට නැග ගත්තා.

පාත්තරේ මුනින් නවල පැත්තකින් තිබ්බා. දෙපට සිවුරත් පැත්තකින් තිබ්බා. ගල් පර්වතයේ මත වාඩිවුණා. මේ ජීවිතේ තුළ තිබ්බ අවිද්‍යාව නම් වූ කළුවර කෙලෙස් කඳ නැති කරලා දැම්මා.

මෙත්තිකා තෙරණියගේ ගාථා

මං ගොඩාක් දුකට පත්වෙලා හිටියේ. දුර්වල වෙලා හිටියේ. තරුණ කාලෙ ගෙවිල ගිහින් හිටියේ. ඒ වුණත් මං හැරමිටියෙ එල්ලී ගෙන ගිජුකුළු පර්වතයට නැග ගත්තා.

පාත්තරේ මුනින් නවල පැත්තකින් තිබ්බා. දෙපට සිවුරත් පැත්තකින් තිබ්බා. ගල් පර්වතේ මත වාඩිවුණා. එතනදී තමයි මගේ සිත ආශ්‍රවයන්ගෙන් නිදහස් වුණේ. මාත් ත්‍රිවිද්‍යාව ලබාගත්තා. බුදු සසුන සම්පූර්ණ කරගත්තා.

මෙත්තා තෙරණියගේ ගාථා

මං ඉස්සර ප්‍රාර්ථනා කළේ දිව්‍ය ලෝකෙක උපදින්ටයි. සතර පෝයටම අටසිල් උපෝසථය සමාදන් වෙලා සිල් රැක්කා.

එහෙත් දැන් මං, එක වරුවයි වළඳන්නෙ. හිස මුඩුකරගෙන පාත්තර, සිවුරු ඇතිවයි ඉන්නෙ. හදවතේ තිබුණු ඔක්කොම කෙලෙස් නැතිකරලා දැම්මා. දැන් මං දිව්‍ය ලෝකෙ පතන්නෙ නෑ.

අභයමාතා තෙරණියගේ ගාථා

පින්වත් අම්මේ, මේ යටි පතුලෙන් උඩත්, කෙස් රොදින් යටත් අතර පවතින මේ කුණුවෙලා යන පිළිකුල් ශරීරය දිහා නුවණින්ම බලන්න.

(තම පුතා වූ අභය තෙරුන්ගේ ඒ අවවාදය අනුව) මං ඒ විදිහටම ජීවිතේ දිහා බැලුවා. හැම රාගයක්ම නැති කරලා දැම්මා. කෙලෙස් දාහය මුලින්ම නැති කරලා දැම්මා. දැන් මං සිහිල් වුණ කෙනෙක්. නිවිල ගිය කෙනෙක්.

අභයා තෙරණියගේ ගාථා

පින්වත් අභයා, පෘථග්ජන උදවිය ඇලී වාසය කරන මේ ශරීරය බිඳිලා යන එකක්. මම මේ කාරණය අවබෝධ කරගෙන ඉතා හොඳ සිහියෙන්ම කිසි බලාපොරොත්තුවක් නැතිව අත් හැරලා දානවා.

බොහෝ දුක් කම්කටොලු ඇති මේ ජීවිතය තුළ මං ඇලුණේ ධර්මයේ අප්‍රමාදී වීමටයි. තණ්හාව නැතිවෙලා ගියා. මම නිවනට පත්වුණා. බුද්ධ ශාසනය සම්පූර්ණ කරගත්තා.

සාමා තෙරණියගේ ගාථා

ඉස්සර මට චිත්ත සමාධියක් තිබුණෙම නෑ. සිත කොහෙත්ම දමනය කරන්නට බැරි වුණා. මම දවසට හතර පස් වතාවක් ආරාමෙන් නික්මිලා ගියා.

ඒත් මං මේ වතාවේදී අටවෙනි රාත්‍රිය ගෙවෙන කොට තණ්හාව මුලින්ම නැති කරලා දැම්මා. මං මේ දුක් සහිත ජීවිතය නිසාමයි අප්‍රමාදයේ ඇලී වාසය කළේ. තණ්හාව ක්ෂය වුණා. නිවන අවබෝධ කළා. බුද්ධ ශාසනය සම්පූර්ණ කරගත්තා.