ගාථා තුන බැගින් වදාළ කොටස
සාමා තෙරණියගේ ගාථා
මං මහණ වෙලා අවුරුදු විසි පහක්ම ගෙවුණා. මෙච්චර කාලයකට මගේ හිත තුළ සමාධි මාත්‍රයක් ඇතිවුණේ නෑ.
සිත දමනය කරගන්නට බැරිව, සමාධියක් ලබාගන්ට බැරිව බුදු සමිඳුන්ගේ අවවාද සිහි කර කර මං ගොඩක් සංවේග වුණා.
බොහෝ දුක් සහිත මේ ජීවිතය නිසාමයි මං අප්‍රමාදයේ ඇලුණේ. තණ්හාව ක්ෂය වුණා. නිවන අවබෝධ කළා. බුද්ධ ශාසනය සම්පූර්ණ කරගත්තා. මං තණ්හාව නැති කරලා අදට දවස් හතයි.
උත්තමා තෙරණියගේ ගාථා
මටත් චිත්ත සමාධියක් ලබාගන්ට බැරිවුණා. සිත දමනය කරගන්ට බැරිවුණා. එතකොට මං දවසට හතර පස් වතාවක් ආරාමයෙන් පිටත් වෙලා ගියා.
මං ශ්‍රද්ධාව පිහිටුවා ගෙන හිටියා එක්තරා භික්ෂුණියක් ගැන. මං ඒ භික්ෂුණිය ළඟට ගියා. ඇය මට ස්කන්ධ, ධාතු ආයතන ගැන ධර්මය දේශනා කළා.
ඈ මට අනුශාසනා කරපු විදිහටම, ඇගේ ධර්මානුශාසනාව හොඳට අසාගෙන ඉන්න කොට මගේ හිතට සැපයක් ඇතිවුණා. මං එක පළඟින් දවස් හතක්ම හිටියා. මේ අවිද්‍යා අන්ධකාර කෙලෙස් කඳ පළල දාල, අටවෙනි දවසෙ තමයි කකුල් දිග ඇරියේ.
උත්තමා තෙරණියගේ ගාථා
බුදු සමිඳාණන් තමයි අමා නිවනට පමුණුවන මේ සප්ත බොජ්ඣංග ධර්මයන් වදාළේ. මං ඒවා ඔක්කොම ඒ විදිහටම අනුගමනය කළා.
මං කැමති විදිහට ශූන්‍යතා සමාපත්ති, අනිමිත්ත සමාපත්ති ලබාගත්තා. දැන් මං බුදු සමිඳුන්ගේ හදවතින් උපන් දියණියක්. මං හැම තිස්සෙම නිවනට ඇලිලයි ඉන්නෙ.
දිව්‍ය මානුෂික, හැම කාමයක්ම මුලින්ම නසල දැම්මා. ඉපදෙන සංසාරය ගෙවල දැම්මා. දැන් ඉතින් ආයෙමත් භවයක් නෑ.
දන්තිකා තෙරණියගේ ගාථා
මං දවල් කාලෙ ගිජුකුළු පර්වතේ ගත කරල, නික්මිලා යනකොට ගඟෙන් ගොඩට ආපු ඇතෙක් ගං තෙරේ ඉන්නවා දැක්කා.
හෙණ්ඩුවක් අතට ගත්තු මිනිහෙක් ඒ ඇතාට කිව්ව පය දික්කරන්ට කියලා. ඇතා කකුල් දික්කලා. අර මිනිහා එතනින් තමයි ඇතාගෙ පිට උඩට නැග ගත්තේ.
මේ ඇතා ඉස්සර දමනය වෙච්ච එකෙක් නොවේ. මිනිස්සු තමයි ඇතාව දමනය කරල ගත්තේ. ඉතින් මං බලාගෙන හිටිය මිනිසුන් විසින් දමනය කරපු ඒ ඇතා දිහා. ඒක මං හිතට ගත්තා. මාත් වනාන්තරේට ගිහිල්ල සිත දමනය කරල සමාධිමත් කළා.
උබ්බරී තෙරණියගේ ගාථා
උබ්බිරී, දැන් ඔයා හඬ හඬා ඉන්නවා මේ වනයට ඇවිදින් ‘මගේ දුවේ, ජීවා’ කිය කියා. ඔයා දන්නවද අසූහාර දාහක් ජනතාව මේ සොහොනේ පුච්චල තියෙනවා. ඒ ඔක්කොටම තිබුණේ ‘ජීවා’ කියන නම තමයි. ඉතින් ඔයා හඬන්නේ ඒ ගොල්ලන්ගෙන් කවුරු ගැනද?
එතකොටම මගේ හදවතේ වේදනා ගෙනත් දීපු කාටවත් නොපෙනෙන දරු දුක නම් වූ යම් ශෝක හුලක් තිබුණද ඒ ශෝක හුළ ඉවත් කරගත්තා.
අද මං ඉන්නෙ ඒ ශෝක හුල උදුරල දාලා, තෘෂ්ණාව නැතිකරල දාලා නිවිල ගිහින්. බුදු සමිඳුන් වත්, සද්ධර්මයත් ආර්ය සඟරුවනත් මං සරණ කරගත්තා.
සුක්කා තෙරණියගේ ගාථා
සුක්කා භික්ෂුණිය දේශනා කරන්නේ බුදු සමිඳුන් වදාළ ශ්‍රී සද්ධර්මයයි. ඉතින් ඒ ධර්මය අහන්ට මේ මිනිස්සු එන්නෙ නැත්නම්, මේ රජගහනුවර මිනිස්සු ඉන්නෙ මත්පැන් බීලා වෙරිවෙලා නිදාගෙන ඉන්න උදවිය වගේ.
බුද්ධිමත් උදවිය නම් මේ ධර්මය අත්හරින්නෙ නෑ. මේ ධර්මය ස්වභාවයෙන්ම රසවත්. ගුණධර්ම නමැති රසවත් ඕජාවෙන් යුක්තයි. මේ සද්ධර්මය අහන්ට ඕන කාන්තාරයක වැසි ජලය පානය කරන කෙනෙක් වගෙයි.
සුක්කා භික්ෂුණිය ඉන්නෙ, කුසල් දහම්වලින් යුක්තවයි. වීතරාගීවයි. සමාහිත සිතිනුයි. සේනා සහිත මාරයාව ඈ පරාජය කළා. දැන් මේ දරාගෙන ඉන්නෙ අන්තිම සිරුරයි.
සේලා තෙරණියගේ ගාථා
(මාරයා) මේ ලෝකෙ නිවන කියල දෙයක් නෑ. ඒ නිසා ඔයා මොකද මේ හුදෙකලාවේ විවේකෙන් ඉන්නෙ? ගිහින් කාම සම්පත් අනුභව කරන්න. පස්සෙ ඒ ගැන ඔයා දුක්වෙන්න නම් එපා!
(ඒයි, මාරය) මේ කාමයන් කියන්නෙ විස පොවාපු ආයුධ වගේ දෙයක්. පංච උපාදානස්කන්ධ කියන්නෙ මස් වැදලි වගේ දෙයක්. ඔබ ඒ කැමැතියි කියල කියපු දේ මට නම් අරතියක්මයි.
ඒ හැමදෙයක් ගැනම තිබුණ ආශාව නැති කරල දැම්මා. අවිද්‍යා අන්ධකාර කෙලෙස් කඳ පලා දැම්මා. මාරය, එහෙනම් මං ගැන දැනගන්න. මාරය, ඔය කාරණයෙන් නැසී ගියේ ඔබයි.
සෝමා තෙරණියගේ ගාථා
(මාරයා) ඔය අරහත්වය කියන්නෙ අවබෝධයට ඉතා දුෂ්කර දෙයක්. බුදුවරුන්, සෘෂිවරුන් වගේ උදවියයි ඒක අවබෝධ කරන්නෙ. මේ ඇඟිලි දෙකේ නුවණ තියෙන ගැහැණියකට පුළුවන්ද එවැනි දෙයක් අවබෝධ කරගන්ට?
(ඒයි, මාරය) සිත සමාධිමත් නම් අපේ ගෑණුකම ගැන මොකක් කරන්ටද? මේ ධර්මයත් හොඳට විදර්ශනා කරල නුවණ දියුණු කරගත්තහම ඔය ගෑණුකම මොකක් කරන්ටද?
හැමදෙයක් ගැනම ආශාව නැති කරල දැම්මා. අවිද්‍යා අඳුරු කෙලෙස් කඳ පළා දැම්මා. මාරය, ඔන්න ඔය විදිහටයි ඔබ මේ ගැන දැනගන්ට ඕන. මාරය, ඔය කරුණෙන් නැසී ගියේ ඔබයි.
ගාථා හතර සහ පහ බැගින් වදාළ කොටස
භද්දකාපිලානි තෙරණියගේ ගාථා
මහා කාශ්‍යප ශ්‍රාවකයන් වහන්සේ බුදු සමිඳුන්ගේ දායාදයක්. බුදු සමිඳුන්ගේ පුත්‍රරත්නයක්. සමාහිත සිත් ඇති උන්වහන්සේ පෙර ගත කළ ජීවිත ගැනත්, ස්වර්ගය ගැනත්, අපාය ගැනත් දිවැසින් දකිනවා.
උන්වහන්සේ ඉපදීම ක්ෂය වෙලා අරහත්වයට පත්වෙලා ඉන්නෙ. ත්‍රිවිද්‍යාව ලබාගෙන ඉන්නෙ. උන්වහන්සේ සැබෑවට බ්‍රාහ්මණයෙක්.
භද්දාකාපිලානිත් ඒ වගේමයි. ත්‍රිවිද්‍යාව ලබාගෙන ඉන්නෙ. සේනා සහිත මාරයාව පරදවල ඉන්නෙ. දැන් ඈ දරාගෙන ඉන්නෙ අන්තිම සිරුරයි.
අපි දෙන්නම මහණ වුණේ සංසාරෙ ආදීනව දැකලයි. අපි දෙන්නම දමනයට පත්වුණා. අරහත්වයට පත්වුණා. සිසිල් වුණා. නිවුණා.
එක්තරා තෙරණියකගේ ගාථා
මං මහණ වෙලා අවුරුදු විසිපහක් ගෙවිල ගියා. මට ඇසුරු ගසන මොහොතක වෙලාවක් වත් සමාධිගත සිතක් ලබා ගන්ට බැරිවුණා.
චිත්ත සමාධියක් ලබාගන්ට බැරිව, කාම රාගයෙන් තෙමිල ගිය සිතින්, මං හිටියේ. ඉතින් මං දෑත හිසේ බැඳගෙන හඬ හඬා ආරාමය ඇතුළට ගියේ.
මං පැහැදිලා හිටිය එක භික්ෂුණියක් ගැන. අන්තිමේදී මං ඈ ළඟට ගියා. ඉතින් ඒ භික්ෂුණිය මට ස්කන්ධ ධාතු ආයතන ගැන ධර්මය දේශනා කළා.
ඒ භික්ෂුණිය කියාපු ධර්මය මං හිතට ගත්තා. එකත්පස්ව වාඩිවුණා. මං පුබ්බේ නිවාස ඤාණය සිහිකරන්ට දන්නවා. දිවැසත් පිරිසිදු කරගත්තා.
අනුන්ගේ සිත් දකින ඤාණයත් තියෙනවා. දිව්‍ය කනත් පිරිසිදු කරගත්ත. ඉර්ධි ප්‍රාතිහාර්ය පාන්ටත් පුළුවන්. ආශ්‍රවයන් ක්ෂය කරල අරහත්වයටත් පත්වුණා. මං මේ අභිඤ්ඤා ඔක්කොම ලැබුවා. බුද්ධ ශාසනය සම්පූර්ණ කරගත්තා.
විමලා තෙරණියගේ ගාථා
මං ඉස්සර හරි ලස්සනයි. හරිම හැඩයි. හැම සැප සම්පතක්ම තිබුණා. මං ඒවයින් මුසපත් වුණා. යෞවන මදයෙන් මත්වුණා. හරි ම අහංකාරකමින් හිටියේ. අනිත් කාන්තාවන්ව පහත් කරල හිතුවේ.
ඉතින් මං ඒ දවස්වල ලස්සනට ඇඳල මේ ශරීරය සරස ගන්නවා. මෝඩ ජනතාවගේ වර්ණනාවන්ට ගැලෙපන විදිහට ඇඳගෙන ‘වේසා ගෙයි’ දොරකඩට වෙලා ඉන්නවා. මුවන් අල්ලන්ට උගුල් අටවන වැද්දෙක් වගේ.
මං ඒ කාලෙ ඇඳුම් ඇන්දෙ රහස් තැන් පිටට පෙනෙන විදිහට. මෝඩ ජනතාව මගේ ළඟට නිකම්ම ඇදිල ආවා. මං උස් හඬින් හිනා වෙවී විවිධ මායාවල් කළා.
එහෙත් අද මං, හිස මුඩු කරගෙන, දෙපට සිවුරු දරාගෙන පිණ්ඩපාතෙ කරගෙන ජීවත් වෙනවා. ගස් යට කල් ගෙවනවා, ධ්‍යාන භාවනා කරනවා. මට සමාධිමත් සිතක් තියෙනවා.
දිව්‍ය මානුෂික හැම බන්ධනයක්ම මං නැතිකරල දැම්මා. හැම ආශ්‍රවයන්ම ගෙවල දැම්මා. සිසිල් වුණා. නිවුණා.
සීහා තෙරණියගේ ගාථා
ඉස්සර මං හිතුවේ වැරදි විදිහටමයි. කාමාශාවෙන් මේ සිත හරියට පීඩා වින්දා. ඉතින් මං හිටියෙ හිත දමනය කරගන්ට බැරිව. හිත හරියට විසිරිලා තිබුණා.
මං මේ අරමුණු සුභ වශයෙන් පිළිගත්තු නිසාමයි කෙලෙස් පීඩා ඇතිවුණේ. රාග සිතේ වසඟයට ගිය නිසාමයි චිත්ත සමාධියක් ලබාගන්ට බැරිවුණේ.
මං ඒ දවස්වල හරිම කෙට්ටුයි. ඇඟපත විරූපී වෙලා, අවලස්සන වෙලා තිබුණේ. අවුරුදු හතක්ම මං මේ විදිහට දුක් වින්දා. කෙලෙස් නිසා දුක් විඳපු මට ගෙවී ගිය රෑ දවල් කිසි වෙලාවක පැවිදි සැපයක් (සමාධියක්) ලබාගන්ට බැරි වුණා.
අන්තිමේදී මං කඹයක් අරගෙන වනාන්තරේ ඇතුළට ගියා. මේ පහත් ගිහි ජීවිතේට බැසගන්නවට වඩා බෙල්ල වැලලා ගෙන මැරෙන එක මට උතුම්.
තොණ්ඩුව හොඳට සකස් කරල ඒ කඹය ගහේ අත්තක බැන්දා. ඒ තොණ්ඩුව බෙල්ලට දා ගත්තා. එතකොට මගේ සිත හැම කෙලෙස්වලින්ම නිදහස් වුණා.
සුන්දරීනන්දා තෙරණියගේ ගාථා
පින්වත් නන්දා, රෝග හටගන්න, අපිරිසිදු, කුණු ගඳ හමන, මේ ශරීරය දිහා නුවණින් බලන්න. හිත හොඳට එකඟ කරගෙන අසුභ භාවනාව වඩන්න.
මේ ශරීරයත් මළ කුණක් වගේ තමයි. මළ කුණත් මේ ශරීරය වගේ තමයි. මළ කුණේ තියෙන දේවල්මයි මේ ශරීරයේත් තියෙන්නෙ. දුගඳයි. කුණු වැගිරෙනවා. ඒ වුණාට මෝඩ ජනතාව සතුටින් වැළඳ ගන්නෙත් මේ ශරීරයමයි.
රෑ දවල් දෙකේම මේ ශරීරය ගැන ඔය විදිහට අසුභ වශයෙන් නුවණින් විමසන්න පටන් ගත්ත. මං තුළ ම ඇති වුණු ප්‍රඥාවෙන් මේකෙ ඇත්ත තත්වය දැකගන්ට පුළුවන් වුණා.
ඔය විදියට අප්‍රමාදී ව නුවණින් විමසන කොට, ‘තමා’ කියා ගන්නා මේ කයත්, ‘අනුන්’ කියා ගන්නා ඒ කයත් සත්‍ය වශයෙන් ම මොකක්ද කියල අවබෝධ කරගත්ත.
මං එතකොට අවබෝධයෙන් ම යි කලකිරුණේ. මං තුළ ම විරාගයට පත්වුණා. අප්‍රමාදී ව හැම කෙලෙසුන්ගෙන් ම නිදහස් වුණා. උපශාන්ත බවට පත් වුණා. නිවුණා.
නන්දුත්තරා තෙරණියගේ ගාථා
ඉස්සර මං වන්දනා කළේ ගිනි දෙවියන්ට, සඳ දෙවියන්ට, හිරු දෙවියන්ට. ගංඟාවල තියෙන පුණ්‍ය තීර්ථවලට ගිහින් වතුරට බැහැල පව් සේදුවා.
නොයෙකුත් ව්‍රත සමාදන් වුණා. හිසේ භාගයක් මුඩු කරගත්තා. බිම නිදාගත්තා. කිසි ම දෙයක් රෑට කෑවෙ නෑ
ඒ කාලෙ ඒ විදියට ගත කරල ආයෙමත් ගෙදර එනවා. හොඳට වතුර නා ගන්නවා. ඇඟපත උලා පිරිසිදු කරනවා. ඊට පස්සෙ ලස්සනට හැඳ පැළඳ ගෙන හැඩ වෙනවා. කාමරාගයෙන් මුසපත් වෙලා මේ සිරුර සනසවනවා.
එහෙත් දැන් මං, බුදු සසුන ගැන ගොඩක් පැහැදුණා. මං මහණ වුණා. මේ ශරීරයේ සත්‍ය තත්වය පේනකොට කාමාශාව නැත්තට ම නැති වෙලා ගියා.
සියළු භවයන් මුළුමණින් ම නැති කරල දැම්මා. කැමැති දේවල්, පතන දේවල් දැන් මං තුළ නෑ. හැම කෙලෙස්වලින් ම වෙන් වෙලා චිත්ත ශාන්තියට පත්වුණා.
මිත්තාකාළී තෙරණියගේ ගාථා
මං ගිහි ගෙය අත්හැරල මහණ වුණේ ශ්‍රද්ධාවෙන් ම යි. මහණ වුණාට පස්සෙ ලාභ සත්කාරවලට මං රැවටුණා. මං ඒවා ම සොය සොයා ඇවිදගෙන ගියා.
ඇත්තෙන් ම කරල තියෙන්නෙ වටිනා අර්ථය අතහැරලා ලාමක දෙයක් සොයා ගෙන ගිය එක. මාර්ග ඵල අවබෝධයක් ගැන මට කිසි ම තේරුමක් තිබුණෙ නෑ.
මං කුටියෙ ඉන්නකොට මගේ හිතේ බලවත් සංවේගයක් ඇති වුණා. ‘තණ්හාවට වසඟ වෙච්ච නිසා නේ ද මං මේ නො මගක බැසගත්තෙ!’95. මට ජීවත් වෙන්ට තියෙන්නෙ සුළු කාලයයි. ඊට පස්සෙ ජරාවෙන් ලෙඩ රෝගවලින් මාව යටපත් වෙනවා. අන්තිමේ දී ජරාජීර්ණ වෙලා මේ කය බිඳිල යනවා. මට දැන් ප්‍රමාද වෙන්ට කාලයක් නෑ.
පංච උපාදානස්කන්ධ සකස්වෙන හැටි නැතිවෙන හැටි සැබෑ තත්වය මං නුවණින් විමසන්ට පටන් ගත්තා. එතකොට මං කෙලෙස්වලින් නිදහස් වෙලා නිවනට පත්වුණා. බුදු සසුන සම්පූර්ණ කරගත්තා.
සකුලා තෙරණියගේ ගාථා
මං ගෙදර ඉන්න දවස්වල භික්ෂූන් වහන්සේ නමක ගෙන් සද්ධර්මය අසා දැනගන්ට ලැබුණා. ඒ ධර්මය අහල තමයි මං මේ නිකෙලෙස් වූ අමරණීය වූ නිවන දැකගත්තේ.
ඉතින් මං පුතාවත් අත්හැරියා. දුවත් අත්හැරියා. දේපල වස්තුවත් අත්හැරියා. හිස මුඩු කරගෙන බුද්ධ ශාසනේ මහණ වුණා.
ඉස්සෙල්ලා ම මං නිවන් මග පුරුදු කළේ සික්ඛමානාවක් වශයෙන් ඉන්න කොටයි. ඊට පස්සෙ රාග ද්වේෂ දෙකත් එක්ක තියෙන කෙලෙසුත් නැති කරගත්ත.
ඊට පස්සෙ මං උපසම්පදාලාභී භික්ෂුණියක් වුණා. පෙර ගත කළ ජීවිත දැනගත්තා. නිර්මල සිත් ඇති සත්පුරුෂයින් විසින් ලැබගත්ත දිවැස් නුවණත් ලබාගත්තා.
හේතූන් නිසා හටගත් මේ සිඳී බිඳී යන සංස්කාර අනාත්ම වශයෙන් දැකගත්තා. සියලු ආශ්‍රවයන් ප්‍රහාණය කරගත්තා. සිසිල් වුණා. නිවුණා.
සෝණා තෙරණියගේ ගාථා
මේ ඇඟක් නිසා ම දරුවන් දහදෙනෙක් ම වදන්ට සිද්ධ වුණා. ඒ නිසා ම යි මං දුර්වල වෙලා ගියේ. අන්තිමේ දී මං භික්ෂුණියක් ළඟට ගියා.
ඒ භික්ෂුණිය මට ස්කන්ධ, ධාතු, ආයතන ගැන ධර්ම දේශනා කළා. දැන් ධර්මය අසා ගෙන මං හිතට ගත්තා. හිස මුඩු කර ගෙන මහණ වුණා.
ඉතින් මං සික්ඛමානාවක් වශයෙන් ඉන්න කාලෙ ම යි දිවැස් නුවණ පිරිසිදු කර ගත්තේ. මං මීට කලින් ජීවත් වුණ තැන් දැනගත්තෙ පුබ්බේනිවාස ඤාණයෙන්.
මං හිත එකඟ කරගෙන විදර්ශනා වැඩුවා. අරහත්වයට පත්වුණා. උපාදාන රහිත ව නිවුණා.
පංච උපාදානස්කන්ධයන් මං පිරිසිඳ දැකගත්ත නිසා, දැන් ඒවා තියෙන්නෙ මුල් නැතිව. ඒයි, ලාමක ජරාව, තිට නින්දා වේවා! දැන් ඉතින් මට නම් ආයෙමත් පුනර්භවයක් නෑ.
භද්දාකුණ්ඩලකේසා තෙරණියගේ ගාථා
මං ඉස්සර ගත කළේ පුදුම ජීවිතයක්. තල් ඇටවලින් ඔළුවෙ කෙස් ඉදිරුවා. දත් මැද්දෙ නෑ. එක රෙද්දක් විතරක් ඇඳගෙන ජීවත් වුණේ. ඒ කාලේ මං හරි දේ දැක්කෙ වැරදි දේ හැටියට. වැරදි දේ දැක්කෙ හරි දේ හැටියට
එදා දවල් කාලෙන් පස්සෙ ගිජුකුළු පර්වතෙන් පහළට වඩින, භික්ෂු සංඝයා පිරිවරා ගත්ත බුදුරජාණන් වහන්සේ ව දැකගන්ට ලැබුණා.
මං බුදු සමිඳුන් ඉදිරියට ගියා. බිම දණ නමා ගෙන ඇඳිලි බැඳ ගෙන වන්දනා කළා. ‘පින්වත් භද්දා, මෙහාට එන්න’ කියලා උන්වහන්සේ මට වදාළා. ඒක තමයි උපසම්පදාව.
මං ඉස්සර ඇවිද ගෙන ගියේ අංග, මගධ, වජ්ජි, කාසි, කෝසල, ජනපදවල. දැනුත් මං එහි ඇවිදිනවා. දැන් යන්නෙ ණය රහිත ව යි. රහත් භික්ෂුණියක් හැටියට පිණ්ඩපාතෙ වළඳන්ට අරගෙන දැන් පනස් අවුරුද්දක් වෙනවා.
මේ ප්‍රඥාවන්ත උපාසක මහත්තයා ඇත්තෙන් ම ගොඩාක් පිං රැස් කරගත්තා. සියළු කෙලෙස්වලින් නිදහස් වුණ භද්දා භික්ෂුණියට යි ඔය සිවුර පූජා කරගත්තේ.
පටාචාරා තෙරණියගේ ගාථා
මේ මිනිස්සු නගුල්වලින් කුඹුරු හාලා, කුඹුරේ බීජ වපුරලා, අඹු දරුවන්වත් පෝෂණය කරගෙන ධනය හම්බ කරගන්නවා.
ඉතින්, සිල්වත් ජීවිතයකුත් ගෙවා ගෙන බුද්ධ ශාසනයක හැසිරෙන, කම්මැලිකමක් උඩඟුකමක් නැති මං නිවන් අවබෝධ නොකර ඉන්නෙ කොහොම ද?
මං පා සෝද ගන්ට වතුර වක්කළා. ඒ පා සෝදපු වතුර ටික උස් තැනකින් පහත් තැනකට ගලාගෙන යනවා මං දැක්කා.
ඒ ගැනත් මං හොඳට හිත එකඟ කරගත්තා. ශ්‍රේෂ්ඨ අශ්වයෙක් දමනය වුණා වගේ. ඊට පස්සෙ මං පහනත් අරගෙන කුටිය ඇතුළට ගියා.
පහන් එළියෙන් ඇඳ සොයා ගත්තා. ඇඳේ වාඩි වුණා. පහන නිවන්ට හිතාගෙන පහන් තිරේ පහළට ඇද්දා. අන්න ඒ වගේ පහනක් නිවිල යන විදිහටම මගේ හිත කෙලෙස්වලින් නිදහස් වුණා.
තිහක් පමණ තෙරණිවරුන්ගේ ගාථා
මිනිස්සු මෝල් ගස්වලින් ධ්‍යාන වර්ග කොටනවා. අඹු දරුවන්වත් පෝෂණය කර ගෙන ධනයත් උපයා ගන්නවා.
යම් දෙයක් කළාට පස්සෙ තැවෙන්නෙ නැත්නම්, අන්න ඒ බුද්ධානුශාසනාව තමයි කරන්ට ඕන. ඉක්මනට ම පා සෝද ගන්න. නිදහස් තැනක වාඩි වෙන්න. චිත්ත සමාධියක් ඇති කරගන්න. බුදු සසුන සම්පූර්ණ කරගන්න.
පටාචාරාව තමයි ඒ භික්ෂුණීන්ට අනුශාසනා කළේ. ඒ භික්ෂුණීන් පිරිසත් ඉතා හොඳට එය අහගත්තා. පා සෝද ගත්තා. හුදෙකලා තැනක වාඩි වුණා. චිත්ත සමාධිය ඇති කරගත්තා. බුද්ධ ශාසනය සම්පූර්ණ කරගත්තා.
රෑ පළමු යාමයේ කලින් ගත කළ ජීවිත ගැන දැනගත්තා. මධ්‍යම යාමයේ දිවැස් නුවණ පිරිසිදු කරගත්තා. පාන්දර වෙනකොට ‘අවිද්‍යාව’ නම් වූ අන්ධකාර කෙලෙස් කඳ බිඳල දැම්මා.
“අපි ඔබ තුමිය ගේ අනුශාසනාව අනුව වැඩ කරගත්තා” කියල ඒ භික්ෂුණී පිරිස පටාචාරාවගේ දෙපා වැන්දා. සුරාසුර යුද්ධෙන් ජයගත්තට පස්සෙ තව්තිසා දෙවියෝ ශක්‍රයාට සලකනවා වගේ, අපිත් ඔබතුමිය පෙරටු කරගෙන ඉන්නවා. ත්‍රිවිද්‍යාව ලබාගෙන කෙලෙස් රහිතව ඉන්නවා.
චන්දා තෙරණියගේ ගාථා
ඉස්සර මං ජීවිතය ගත කළේ ස්වාමියත් නැතිව, දූ දරුවනුත් නැතිව. මං ගොඩාක් දුක් වින්දා. නෑමිතුරන් ද නැති මට කන්ට අඳින්ට කිසි දෙයක් තිබුණේ නෑ.
මං මැටි භාජනයකුත් අරගෙන, හැරමිටියකුත් අරගෙන ගෙයින් ගෙට හිඟා කකා ගියා. සීතලෙන්, අව්වෙන් පීඩා විඳ විඳා හත් අවුරුද්දක් ම ගෙවිලා ගියා.
දවසක් හොඳට කෑම බීම ලැබෙන පටාචාරා භික්ෂුණිය දැකගන්ට ලැබුණා. ඇය කරා ගිහින් මේ පැවිදි බව ඉල්ලා හිටියා.
ඒ පටාචාරා භික්ෂුණිය මට ගොඩක් අනුකම්පා කළා. මාව මහණ කළා. මට අවවාද කළා. මාව උතුම් අර්ථයෙහි යෙදවූවා.
ඇගේ වචනය අසාගත්ත මං ඒ අනුශාසනාව කළා. ඒ භික්ෂුණිය ගේ අවවාදය හිස් දෙයක් නොවේ. දැන් මාත් ත්‍රිවිද්‍යාලාභී නිකෙලෙස් කෙනෙක්.