ගාථා හය බැගින් වදාළ කොටස
පන්සියයක් පමණ තෙරණිවරුන්ගේ ගාථා
මේ ලෝකෙට ආවේ කොහින් ද කියල දන්නෙත් නෑ. මේ ලෝකෙන් යන්නෙ කොහේට ද කියල දන්නෙත් නෑ. එහෙම ආගිය මගක් දන්නෙ නැතිව කොහේ ඉඳන් ආපු කෙනෙක් ගැන ද ‘මගේ පුතා’ කිය කියා හඬන්නෙ?
මේ ලෝකෙට ආපු හැටි දන්නෙත් නැති, මේ ලෝකෙන් යන හැටි දන්නෙත් නැති මේ සංසාර ගමන ගැන, යම් කෙනෙක් දැනගත්තොත් එයා ශෝක කරන්නෙ නෑ. මේක සත්වයන්ගේ ස්වභාවයක් කියල අවබෝධ කරගන්නවා.
ආයාචනා නොකරමයි මෙලොවට ආවේ. අනුමත නොකරද්දිමයි මෙලොවින් යන්නෙත්. කොහේ හරි ලෝකෙක ඉඳල මෙහෙ ඇවිදිල්ල ටික දවසක් ගෙවල වෙන ලෝකෙකට යනවා. ආයෙමත් එතනින් චුත වෙලා තව ලෝකෙකට යනවා.
මැරුණ එක්කෙනා මෙහෙදි මිනිස් ස්වරූපයෙන් සැරසිල යන්ට ගියා. ආවේ යම් ආකාරයකින් ද ඒ ආකාරයෙන් ම යන්ට ගියා. ඉතින් මේ ගැන අඬන්න දෙයක් තියෙනවා ද?
මං හිටියෙ දරු දුක නිසා හටගත්තු මහා වේදනාවකින්. ඒ භික්ෂුණිය මගේ හදවතේ තිබුණ දකින්ට අසීරු ඒ දරු දුක නමැති ශෝක හුල උදුරා දැම්මා.
අද මං ඉන්නෙ ඒ ශෝක හුල උදුරල දාලා. නිවිල ගිහින්. තණ්හාව නැති කරගෙන. මං බුදු සමිඳාණන්, සිරි සදහම්, ආර්ය සඟරුවන යන මේ තිසරණයට ම පැමිණියා.
වාසෙට්ඨි තෙරණියගේ ගාථා
මට පුතා මළ දුක ඉවසන්ට බැරිව ගියා. මට පිස්සු හැදුණා. සිහි නැතිව ගියා. ඇඟේ වස්ත්‍ර පවා නැතිව ගියා. කොණ්ඩෙ කඩා ගෙන, පාරක් පාරක් ගානෙ ඇවිද ගෙන යන්ට යි මට සිද්ධ වුණේ.
කහල ගොඩවල් ගානෙ, අමු සොහොන් පිටි ගානෙ, රථ ගාල් ගානෙ තුන් අවුරුද්දක් මුළුල්ලේ ඇවිද ඇවිද ගියා. බඩගින්නෙන් පිපාසෙන් දුක් වින්ඳා.
බුදුරජාණන් වහන්සේ මිථිලා නගරයට වඩින අයුරු මටත් දැකගන්ට ලැබුණා. නොදැමුණු සත්වයන් දමනය කරන, කිසි ම අයුරකින් බියක් නොමැති සම්බුදු සමිඳාණන්ව දැකගන්ට ලැබුණා.
උන්වහන්සේව දකින කොට මට ප්‍රකෘති සිහිය ආවා. මං ළඟට ගිහින් වන්දනා කළා. ඒ ගෞතම බුදු සමිඳාණන් මං ගැන අනුකම්පා කළා. මට දහම් දෙසුවා.
ඒ ශ්‍රී සද්ධර්මය අදහල මං බුද්ධ ශාසනේ මහණ වුණා. ශාස්තෘන් වහන්සේ ගේ වචනය අනුව ජීවිතේ ගත කරපු මං ඒ අමා නිවන් සුව සාක්ෂාත් කළා.
සියලු දුක් දොම්නස් නැත්තට ම නැති වෙලා ගියා. ශෝකයෙන් හටගන්න ඒ අරමුණු සියල්ල ම මං පිරිසිඳ දැක්කා.
ඛේමා තෙරණියගේ ගාථා
ප්‍රිය ඛේමා, ඔයා තවමත් තරුණයි. ලස්සනයි. මාත් යොවුන් තරුණයෙක්. එන්න, අපි මියුරු සංගීත රසය ලබමින් කාම සැපයේ ඇලී වාසය කරමු.
(ඒයි මාරය) නිතර රෝග හටගන්න, වහා බිඳිල යන, මේ කුණු ශරීරය ගැන මං පිළිකුලෙන් ඉන්නෙ. ලැජ්ජාවෙන් ඉන්නෙ. කාම තණ්හාවේ මුල් පවා නැති කරලයි මං ඉන්නෙ.
කාමයන් කියන්නෙ විස පොවපු ආයුධ වගේ දෙයක්. පංච උපාදානස්කන්ධ කියන්නෙ මස් වැදලි වගේ දෙයක්. ඔබ ඔය කාමරතිය කියන දේ මට දැන් අරතියක්.
හැම දෙයක් ගැන ම ඇති තණ්හාව නැති කරල දැම්මා. ‘අවිද්‍යාව’ නම් අන්ධකාර කෙලෙස් කඳ බිඳල දැම්මා. මාරය, අන්න ඒ විදිහටයි මේ ගැන දැනගන්ට ඕන. මාරය, මේ කරුණෙන් නැසුණේ ඔබයි.
මෝඩ ජනතාව නැකත්වලට වැඳ වැඳ, වනාන්තරේ ගිනි දෙවියන් ව පුදාගෙන සත්‍ය තත්වය නොදැක පිරිසිදු බව සොයමින් ඉන්නවා.
නමුත් මං වන්දනා කරන්නෙ පුරුෂෝත්තම බුදු සමිඳාණන්ටයි. මං ශාස්තෘ ශාසනය අනුගමනය කරන, සියලු දුකින් නිදහස් වුණ කෙනෙක්.
සුජාතා තෙරණියගේ ගාථා
මං එදා ලස්සනට හැඳ පැළඳගෙන හිටියේ. මල් මාලාවන් ගෙන් සරසගෙන හිටියේ. සඳුන් කල්ක තවරාගෙන සියළු ආභරණවලින් සැරසිලා දාසියන් පිරිවරා ගෙන හිටියේ.
ගොඩාක් කෑම බීම ජාතිත්, කැවිලි පෙවිලි වර්ගත් අරගෙන මං උයන් කෙලියට ගියේ.
උයනට ගිහින් කාල බීල ප්‍රීති වෙලා, ආපහු ගෙදර එනකොට සාකේත නුවර අඤ්ජන වනේ විහාරය බලන්ටත් ගියා.
එතන බුදු සමිඳාණන් වැඩහිටියේ තුන් ලෝකෙම එළිය කරන පහනක් වගේ. මං උන්වහන්සේ ළඟට ගිහින් වන්දනා කළා. සදහම් ඇස් ඇති මුනිඳුන් මං කෙරෙහි අනුකම්පාවෙන් මට දහම් දෙසුවා.
උන්වහන්සේ මහා ඉසිවරයෙක්. ඒ බුදු සමිඳුන්ගේ ධර්මය අහල මං චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත්තා. මට ඒ ආසනයේ දී ම ඒ විරාගී ධර්මය වන අමා නිවන සාක්ෂාත් කරන්ට ලැබුණා.
මේ විදිහට සද්ධර්මය දැනගෙනමයි මං බුද්ධ ශාසනේ මහණ වුණේ. මාත් ත්‍රිවිද්‍යාව ලබාගත්තා. බුදු සසුන කියන්නෙ හිස් දෙයක් නම් නොවේ.
අනුපමා තෙරණියගේ ගාථා
මං ඉපදුනේ ගොඩාක් සැප සම්පත් තියෙන ධනවත්, උසස් පවුලක. මං මේඝ සිටුතුමාගේ දුව. මං ඒ කාලෙ හරි ම ලස්සනයි.
රාජ කුමාරයන්, සිටු කුමාරයන් මට ගොඩාක් කැමති වුණා. “අනුපමා දුව මට පාවා දෙන්න” කියල අපේ පියාට දූතයන් පවා එව්වා.
ඔබේ අනුපමා දුව තරාදියේ එක පැත්තක තියල, අනිත් පැත්තේ ඒ බරට ධනය ලබාගෙන නම් දෙන්නෙ, අපි ඊට වඩා අට ගුණයක් රන් මැණික් දෙනවා.
නමුත් මුළු ලෝකෙට ම ජ්‍යෙෂ්ඨ වූ අනුත්තර වූ බුදු සමිඳුන්ව මං දැකගත්තා. උන්වහන්සේ ගේ සිරිපා කමල් වන්දනා කළා. එකත්පස්ව හිඳ ගත්තා.
ගෞතම බුදු සමිඳුන් මං ගැන අනුකම්පාවෙන් මට ධර්මය දේශනා කළා. මං ඒ ආසනයේදීම අනාගාමී ඵලයට පත් වුණා.
ඊට පස්සෙ මං කෙස් මුඩු කර ගෙන, සසුන්ගත වුණා. තෘෂ්ණාව නැති කරල දාලා අදට දින හතක් වෙනවා.
මහා ප්‍රජාපතී ගෝතමී තෙරණියගේ ගාථා
සියලු සත්වයන්ට වඩා උතුම් වූ බුද්ධ වීරයන් වහන්ස. ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා! මාවත් මේ අනෙක් බොහෝ ජනතාවත් සංසාරෙන් එතෙර කොට වදාළේ ඔබ වහන්සේමයි.
මං මේ දුක පිරිසිඳ දැකගත්තා. දුක හදන හේතුව වන තණ්හාව නැති කරල දැම්මා. ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරගත්තා. දුක් නැතිවීම වන නිවනත් සාක්ෂාත් කළා.
ජීවිතේ යථාර්ථය නොදැක, පිහිටක් නැතිව සංසාරෙ ඇවිද ගෙන යද්දි, මං අම්මා වුණා. තව වාරෙක මං පුතා වුණා. තව වාරෙක මං තාත්තා වුණා. තව වාරෙක මං සහෝදරයා වුණා. තවත් වාරෙක මං ආච්චි වුණා.
මං ධර්මය තුළින් භාග්‍යවතුන් වහන්සේව දැකගත්තා. මං මේ දරාගෙන ඉන්නෙ අන්තිම සිරුරයි. ඉපදෙන සංසාරෙ ගෙවිල ගියා. ආයෙත් නම් මට පුනර්භවයක් නෑ.
පටන් ගත්ත වීරියෙන්ම සිටින, දිවි දෙවෙනි කොට ධර්මයේ හැසිරුන, නිතර ම දැඩි වීර්ය පරාක්‍රමයෙන් යුක්ත, සමගි සම්පන්න ශ්‍රාවක සංඝයාව දැකගන්න. බුද්ධ වන්දනාව කියන්නෙ ඒක.
මහාමායා බිසොවුන් වහන්සේ ගෞතම බුදු සමිඳුන්ව මේ ලෝකෙට බිහි කෙරුවේ බොහෝ දෙනාගේ යහපත පිණිස මයි. ඒ නිසාමයි රෝග-මරණවලින් පෙළෙන මේ සත්වයන්ගේ දුක් දුරු වෙලා ගියේ.
ගුත්තා තෙරණියගේ ගාථා
පින්වත් ගුත්තා, ඔයා මහණ වුණේ ප්‍රිය මනාප දරුවොත් අත්හැරලා, වස්තුවත් අත්හැරලා උතුම් අර්ථයක් ඇතුවයි. ඉතින් ඒ අනුවම කටයුතු කරන්ට ඕන. හිතට විතරක් රැවටෙන්ට එපා!
මේ සත්වයන් රැවටෙන්නෙ හිතටමයි. ඊට පස්සෙ මාරයාගේ අරමුණුවලට ඇලිල වාසය කරනවා. ඔවුන්ට සත්‍ය තත්වය පෙනෙන්නෙ නෑ. අන්තිමේදී සිද්ධ වෙන්නෙ නොයෙක් ජීවිතවල ඉපිද ඉපිද සංසාරෙ ඇවිදින්ට විතරයි.
කාමාශාව, තරහ, සක්කාය දිට්ඨිය, සීලබ්බත පරාමාස, විචිකිච්ඡා යන මේ පහ,
මේ සංයෝජන පහ ප්‍රහාණය කරගත්තට පස්සෙ ඒ භික්ෂුණිය මේ කාමභවයට උපතක් කරා එන්නෙ නෑ
රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියන මේ සංයෝජන පහත් නැති කරගෙන සියලු දුක් අවසන් කරන්න
ඉපදෙන සංසාරෙ ගෙවල දාල, පුනර්භවය පිරිසිඳ අවබෝධ කරගෙන, මේ ජීවිතයේදීම තණ්හාව නැති කරගෙන උපශාන්තව හැසිරෙන්න.
විජයා තෙරණියගේ ගාථා
මට චිත්ත සමාධියක් තිබුණෙ ම නෑ. සිතේ දමනයක් තිබුණෙ ම නෑ. මං හතර පස් වතාවක් ආරාමයෙන් නික්මිලා ගියා.
අන්තිමේ දී මං ඛේමා භික්ෂුණිය ළඟට ගියා. මං හොඳට ධර්ම කරුණු විමසා දැනගත්තා. ඇය මට ධාතු-ආයතන ගැන ධර්ම දේශනා කළා.
උතුම් නිවන කරා යන, ඒ චතුරාර්ය සත්‍ය ධර්මය, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ඣංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය ත් දේශනා කළා.
එතුමියගෙන් බුද්ධ වචනය අහගත්ත මං ඒ අනුශාසනාවේ විදිහටම කටයුතු කළා. රෑ පළමු යාමයේ දී පුබ්බේ නිවාස ඤාණය ලබාගත්තා.
රෑ මධ්‍යම යාමයේ දී දිවැස් නුවණ පිරිසිදු කරගත්ත. රැය පහන් වෙන කොට අවිද්‍යාව නම් වූ අන්ධකාර කෙලෙස් කඳ බිඳල දැම්මා.
මං එතකොට ප්‍රීතියත් සැපයත් කය පුරා ම පතුරුවා ගෙනයි හිටියෙ. අවිද්‍යා අන්ධකාරය බිඳල දාපු මං හත්වෙනි දවසේ තමයි කකුල් දිග හැරියේ.
ගාථා හත බැගින් වදාළ කොටස
උත්තරා තෙරණියගේ ගාථා
මිනිසුන් මෝල් ගස්වලින් ධාන්‍ය වර්ග කොටනවා. තමන්ගේ අඹු දරුවනුත් පෝෂණය කර ගෙන ධනයත් හම්බ කර ගන්නවා.
යමක් කළාට පස්සෙ තැවෙන්නෙ නැත්නම්, අන්න ඒ බුද්ධානුශාසනාව තමයි කරන්ට ඕන. ඉක්මනට පා සෝදගන්න. හුදෙකලා තැනකින් වාඩි වෙන්න.
හොඳින් හිත එකඟ කරගෙන, හිත පිහිටුවා ගෙන, මේ සංස්කාරයන් අනාත්ම වශයෙන් නුවණින් දකින්න. ආත්ම වශයෙන් නොවේ.
එතුමියගේ වචනය හිතට ගත්තා. ඒ පටාචාරාවගේ අනුශාසනාවේ පිහිටියා. පා සෝදා ගත්ත. හුදෙකලා තැනක වාඩි වුණා.
රෑ පළමු යාමයේ පුබ්බේ නිවාස ඤාණය ලබාගත්තා. රෑ මධ්‍යම යාමයේ දිවැස් නුවණ පිරිසිදු කරගත්තා.
රැය පහන් වෙන කොට අවිද්‍යාව නම් වූ අන්ධකාර කෙලෙස් කඳ බිඳල දැම්මා. මං එදා උදේ නැගිට්ටේ ත්‍රිවිද්‍යාව ලබාගෙන. ඔබතුමියගේ අනුශාසනාව මං කළා.
සුරාසුර යුද්ධෙ ජය ගත්තට පස්සෙ තව්තිසා දෙවියෝ ශක්‍ර දෙවියන්ට නමස්කාර කරනවා වගේ, මමත් ඉන්නෙ ඔබතුමිය පෙරටු කරගෙනයි. මං දැන් ත්‍රිවිද්‍යා ලාභී නිකෙලෙස් කෙනෙක්.
චාලා තෙරණියගේ ගාථා
ඒ භික්ෂුණිය ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රියයන් දියුණු කරගෙන ඉන්නෙ, හොඳට සිහිය පිහිටුවා ගෙන ඉන්නෙ. සංස්කාරයන් සංසිඳීමේ සැපය පිහිටුවා ගෙන ඉන්නෙ. සංස්කාරයන් සංසිඳීමේ සැපය වූ ශාන්ත නිවන සාක්ෂාත් කරල ඉන්නෙ.
(මාරයා) ඔයා ඔය හිස මුඩු කරගත්තෙ කවුරු වෙනුවෙන් ද? ශ්‍රමණියක් වගෙයි පෙනෙන්නෙ. ඇයි තාපසියක් වෙන්ට අකැමැති? මෝහයෙන් මුලා වෙලා නේද ඔය යන්නෙ?
(ඒයි මාරය) තාපසවරු ඉන්නෙ බුදු සසුනෙන් බැහැරවයි. ඒගොල්ලො ඉන්නෙ නොයෙක් මතවාදවල එල්ලිලා. ඔවුන්ට මේ ධර්මය පෙනෙන්නෙ නෑ. ඔවුන් මේ ධර්මය දකින්ට දක්ෂත් නෑ.
නමුත් ශාක්‍ය වංශයේ ඉපදුණු අසහාය මුනිවරයෙක් තමා බුදු සමිඳුන් කියල කියන්නෙ. ඔය සියලුම දෘෂ්ටීන් ඉක්මවා යන ධර්මය උන්වහන්සේ මට කියල දීල තියෙන්නෙ.
ඒ ධර්මය තමයි දුක, දුකේ හටගැනීම, ඒ දුක ඉක්මවා යාම, ඒ දුක් සංසිඳෙන මාර්ගය.
උන්වහන්සේගේ උතුම් වචනය අසා දැනගෙනයි බුදු සසුනට ඇලී වාසය කළේ. මාත් ත්‍රිවිද්‍යාව ලබාගත්තා. බුදු සසුන සම්පූර්ණ කරගත්තා.
හැම දෙයක් ගැනම තිබුණු ආශාව නැති කරල දැම්මා. මෝහාන්ධකාරය බිඳල දැම්මා. මාරය, ඔය විදිහටයි මේ ගැන ඔබ දැනගන්ට ඕන. මාරය, ඔය කරුණේ දී නැසුණේ ඔබයි.
උපචාලා තෙරණියගේ ගාථා
ඒ භික්ෂුණී හොඳ සිහිය පිහිටුවා ගෙන ඉන්නෙ. දහම් ඇස් තියෙනවා. ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රියයන් දියුණු කරලයි ඉන්නෙ. සත්පුරුෂයන්ගේ ආශ්‍රය නිසා ඈත් ශාන්ත නිවන සාක්ෂාත් කළා.
(මාරයා) ඇයි ඔයා ඉපදෙන්ට අකැමැති? ඉපදුණාම නේද මේ කාම සම්පත් අනුභව කරන්ට පුළුවන්. කාම සම්පත්වලට ඇලී ඒවා අනුභව කරන්න. පස්සෙ දුක් වෙන්ට එපා!
(ඒයි මාරය) ඉපදෙන කෙනාටයි මරණය තියෙන්නෙ. අත්පා කැඩී බිඳී යාම තියෙන්නෙ. නොයෙක් වද බන්ධන තියෙන්නෙ. කෙලෙස් උපදින්නෙ. ඉපදෙන කෙනා තමයි දුකට පත්වෙන්නෙ.
ශාක්‍ය වංශයේ ඉපදුණු අපරාජිත බුදු සමිඳුන් වැඩ ඉන්නවා. උන්වහන්සේ තමයි මේ ඉපදීම ඉක්මයන මේ ශ්‍රී සද්ධර්මය කියල දුන්නෙ.
දුක, දුකේ හටගැනීම, ඒ දුක් ඉක්මවා යාම, ඒ දුක් සංසිඳුවන මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි ඒ ධර්මය.
උන්වහන්සේගෙන් මං ඒ උතුම් වචන ගැන දැනගත්ත. බුදු සසුනේ ඇලී වාසය කළා. මාත් ත්‍රිවිද්‍යාව ලබාගත්තා. බුදු සසුන සම්පූර්ණ කරගත්තා.
හැම දෙයක් ගැන ම තියෙන තණ්හාව නැති කරල දැම්මා. මෝහාන්ධකාරය බිඳල දැම්මා. මාරය, ඔන්න ඔය විදිහටයි ඒ ගැන දැනගන්ට ඕන. මාරය, මේ කරුණේදී නැසුණේ ඔබයි.
ගාථා අට බැගින් වදාළ කොටස
සිසූපචාලා තෙරණියගේ ගාථා
ඒ භික්ෂුණිය හරිම සිල්වත්. ඉඳුරන් සංවර කරගෙන ඉන්නෙ. ස්වභාවයෙන්ම මිහිරි වූ නිවන් රස ඇය සාක්ෂාත් කළා.
(මාරයා) තව්තිසා, යාමය, තුසිතය, නිම්මාණරතී, පරනිම්මිත වසවත්තී ආදී දිව්‍ය ලෝකවල දෙවිවරු ඉන්නවා. ඔයා ඉස්සර හිටියෙත් ඒ ලෝකවල නෙ. ඉතින් ඔයාට පුළුවන් නෙ ඒ ලෝකවල හිත පිහිටුවාගන්න.
(ඒයි මාරය) තව්තිසා, යාම, තුසිත, නිම්මාණරතී, පරනිම්මිත වසවත්ති ආදී ලෝකවල ඉන්න දෙවිවරු,
කලින් කලට භවයෙන් භවයට යන්නෙ මේ පංච උපාදානස්කන්ධයම පෙරටු කරගෙනයි. ඔවුන්ට පංච උපාදානස්කන්ධය ඉක්මවා යන්ට බෑ. ඔවුන් ගමන් කරන්නේ ඉපදෙන මැරෙන සංසාරේ.
හැම ලෝකයක් ම කෙලෙස්වලින් ගිනි ඇවිලෙනවා. හැම ලෝකයක් ම කෙලෙස්වලින් ගිනි ඇවිලි ඇවිලි තමයි තියෙන්නෙ. හැම ලෝකයක් වටේ ම විහිදෙන්නෙ කෙලෙස් ගිනි දැල්. හැම ලෝකයක් ම කම්පා වෙන්නෙ කෙලෙස් වලින්.
එහෙත් බුදු සමිඳුන් අකම්පිතයි. අසහාය කෙනෙක්. උන්වන්සේව ඇසුරු කරන්නෙ පෘථග්ජන නොවන සත්පුරුෂයින් විසිනුයි. උන්වහන්සේ තමයි ධර්මය දේශනා කළේ. මගේ මනසේ නිතර පවතින්නෙ ඒ ධර්මයයි.
උන්වහන්සේගෙන් උතුම් වචන අසා දැනගත්තා. මං බුදු සසුනෙ ඇලී වාසය කළා. ත්‍රිවිද්‍යාව ලබා ගත්තා. බුදු සසුන සම්පූර්ණ කරගත්ත.
හැමදෙයක් ගැන ම ඇති තණ්හාව නැති කරල දැම්මා. මෝහාන්ධකාරය බිඳල දැම්මා. මාරය, ඔන්න ඔය විදිහටයි ඔය කරුණ දැනගන්ට ඕන. මාරය, ඔය කරුණේ දී නැසුණේ ඔබයි.