ගාථා විස්ස බැගින් වදාළ කොටස

අම්බපාලි තෙරණියගේ ගාථා

ඉස්සර මගේ කොණ්ඩෙ කළු පාටයි. බඹරුන් ගෙ පාට වගේ. කැරලි ගැහිල උඩට හැරිල තිබුණා. ඒ වුණාට දැන් ජරාවට පත්වෙලා ගිහින්, හණ වැහැරි වගෙයි. සත්‍යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

ඉස්සර මං කොණ්ඩෙට සුවඳ මල් ගහනවා. එතකොට කොණ්ඩෙ සුවඳ කරඬුවක් වගෙයි. ඒ වුණාට දැන් ජරාවෙන් යට වෙලා ගිහින්. හා ලොම් වගේ ගඳ ගහනවා. සත්‍යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

ලස්සනට පිළිවෙළකට මල් වවපු මිදුලක් වගේ මං පනාවෙන් ලස්සනට කොණ්ඩෙ පීරනවා. අවුල් දිග හැරල රත්තරන් කොණ්ඩ කටු ගහල ලස්සනට සකස් කරනවා. නමුත් දැන් ජරාව නිසා ඒ කෙස් ගැලවිලා ගිහින් තැනින් තැන ඉතුරු වෙලා තියෙන්නෙ. සත්‍යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

කළු කෙස් වැටි ලස්සනට ගොතල, රත්තරන් ආභරණවලින් සරසපුවාම හරිම ලස්සනයි. නමුත් දැන් ජරාව විසින් ඒ කෙස් ගලවල දාල තියෙන්නෙ. සත්‍යවාදී වූ බුදු සමිඳුන්ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

ඉස්සර මගේ ඇහි බැම හරි ම ලස්සනයි. දක්ෂ චිත්‍ර ශිල්පියෙක් ලස්සනට ඇඳපු රේඛාවක් වගෙයි. නමුත් දැන් ජරාවට පත්වෙලා. රැලි දෙකක් වගේ නලලේ එල්ලා වැටෙනවා. සත්‍යවාදී වූ බුදු සමිඳුන්ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

ඉස්සර මගේ ඇස් දෙක ලොකුයි, දිගයි. නිල් මැණික් දෙකක් වගේ බැබලුණා. නමුත් දැන් ජරාව විසින් ඒ ඇස් දෙක විරූපී කරල තියෙන්නෙ. සත්‍යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

ඉස්සර මගේ නහය සිනිඳුවට ඉස්සිලා තිබුණා. ඒ නහයට මගේ මූණ ගොඩක් ලස්සන වුණා. නමුත් දැන් ජරාව විසින් ඒක හකුළුවල දාලා තියෙන්නෙ. සත්‍යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

මගේ මේ කන්පෙති ඉස්සර හරිම ලස්සනයි. ලස්සනට හදාපු රත්තරන් වළලු වගේ. නමුත් දැන් ජරාවට පත්වෙලා රැලි ගැහිල එල්ලා වැටෙනවා. සත්‍යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

ඉස්සර මගේ දත් සුදට සුදේ කොඳ කැකුළු වගේ ලස්සනට තිබුණා. නමුත් දැන් ජරාවට පත්වෙලා කැඩිල ගිහිල්ල කහ පාට වෙලා තියෙන්නෙ. සත්‍යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ

ඉස්සර මගේ කටහඬ හරි ම මිහිරි යි. වනාන්තරේ රුක් ගොමු අතරින් මිහිරට නාද කරන කෝකිලාවක් වගෙයි. නමුත් දැන් ජරාවට පත්වෙලා දැන් මගේ කටහඬ තැනින් තැන පැකිලෙනවා. සත්‍යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

ඉස්සර මගේ බෙල්ල, ලස්සනට ඔප දමාපු රත්තරන් බෙල්ලක් වගෙයි. නමුත් දැන් ජරාවට පත්වෙලා. ඒ ලස්සන නැතිවෙලා ගිහින්, බෙල්ල නැමිල තියෙන්නෙ. සත්‍යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

ඉස්සර මගේ අත් දෙක රත්තරන් වලින් කරපු දෙයක් වගේ. නමුත් දැන් ජරාවට පත්වෙලා, පළොල් ගහක අතු දෙකක් වගෙයි. සත්‍යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

ඉස්සර මගේ අත්වල ඇඟිලි, රත්තරන්වලින් කරපු රූපයක් වගෙයි. රන් වළලු, මුදු දාල ලස්සන වැඩිවෙලා තිබුණා. නමුත් දැන් ඒ ඇඟිලි ජරාවට පත්වෙලා, පේන්නෙ මුල් ගොඩක් වගෙයි. සත්‍යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

ඉස්සර මගේ පියයුරු දෙක එකට එකතු වෙලා උඩට හැරිල ලස්සනට තිබුණා. නමුත් දැන් ජරාවට පත්වෙලා, වතුර හිඳිච්ච පෙරහන්කඩේ වගේ එල්ලා වැටෙනවා. සත්‍යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

ඉස්සර මගේ ශරීරය හොඳට මැදල ඔපදාපු රත්තරන් රූපයක් වගෙයි. නමුත් දැන් ජරාවට පත්වෙලා, ඇඟ පුරාම රැළි එල්ලා වැටෙනවා. සත්‍යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

ඉස්සර මගේ කළවා දෙක ලස්සන ඇතෙකුගේ හොඬවැල වගෙයි. නමුත් දැන් ජරාවට පත්වෙලා, උණ බට දෙකක් වගෙයි. සත්‍යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ. 

ඉස්සර මගේ කෙණ්ඩා දෙක රන් නූපුරවලින් සරසල හරිම ලස්සනයි. නමුත් දැන් ජරාවට පත්වෙලා, තලපිති දෙකක් වගෙයි. සත්‍යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

ඉස්සර මගේ දෙපා තිබුනෙ සිනිඳු පුළුන් පුරවල තියෙනවා වගෙයි. නමුත් දැන් ජරාවට පත්වෙලා. යටිපතුල් පැලිල රැළි ගැහිල තියෙන්නෙ. සත්‍යවාදී බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

ඔන්න ඕක තමයි මේ ශරීරයේ ඇත්ත තත්වය. ජරාවෙන් දෙදරලා යනවා. බොහෝ දුකට වාසස්ථානයයි. දැන් මේ ශරීරය පිළිසකර කරගන්ට බැරි තරමට කඩා වැටෙන්ට ළං වුන දිරාපු ගෙයක් වගෙයි. සත්‍යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

රෝහිණී තෙරණියගේ ගාථා

පින්වත් දුවේ, ඔයා ශ්‍රමණයන් ගැන කිය කියා ම යි නින්දට යන්නෙ. ශ්‍රමණයන් ගැන කිය කියා ම යි අවදිවන්නෙත්. ශ්‍රමණයන් ගේ ගුණ ම යි කියන්නෙ. මොකද ඔයාටත් ශ්‍රමණියක් වෙන්ට හිතුණ ද?

ඔයා ශ්‍රමණයන්ට ම යි බොහෝ දානමාන දෙන්නෙ. රෝහිණී දුවේ, මං ඔයාගෙන් අහන්නෙ මේක යි. ඔයාට ශ්‍රමණයන් ව ඔය තරම් ප්‍රිය වුණේ ඇයි?

ඒගොල්ලො වැඩක් පලක් කරන්ටත් කම්මැලියි. අලසයි. අනුන් දීපු දේකින් තමයි ජීවත් වෙන්නෙ. අනුන්ගේ දෙයක් ම යි බලාගෙන ඉන්නෙ. හොඳ දේවල් ම යි කැමැති. ඉතින් එහෙම තියෙද්දි ඔයාට මේ ශ්‍රමණයන්ව ඔය තරම් ප්‍රිය වුණේ ඇයි?

තාත්තෙ, ඔයා ශ්‍රමණයන් ගැන මගෙන් ඇහැව්වෙ ගොඩක් කාලෙකින්. මං දැන් ඔයාට කියන්නම්, ඒ ශ්‍රමණයන් ගේ ප්‍රඥාව ත්, සීලය ත්, වීරිය ත් ගැන.

ඒ ශ්‍රමණයන් හරි ම කැමැති යි නිවන් අවබෝධ කරගන්ට. කම්මැලි නෑ. ලෝකෙ තියෙන ශ්‍රේෂ්ඨ ම වැඩේ තමයි කරන්නෙ. ඒ තමයි රාග ද්වේෂ දුරු කරන එක. අන්න ඒ නිසයි මං ශ්‍රමණයන්ට කැමැති.

පිරිසිදු ජීවිත ගතකරනවා. ඒ ශ්‍රමණයින් ලෝභ, ද්වේෂ, මෝහ දුරු කරනවා. ඒ ගොල්ලො අරහත්වය ම ලබාගෙන හැම පවක් ම නැති කරල දානවා. අන්න ඒ නිස යි මං ශ්‍රමණයන්ට කැමැති.

පිරිසිදු දේවල්මයි උන්වහන්සේල කරන්නෙ. පිරිසිදු වචන ම යි කතා කරන්නෙ. පිරිසිදු දේවල් ම යි සිතන්නෙ. අන්න ඒ නිස යි මං ශ්‍රමණයන්ට කැමැති.

ඒ ශ්‍රමණයන් ආධ්‍යාත්මික වශයෙනුත් පිරිසිදු යි. බාහිර වශයෙනු ත් පිරිසිදුයි. නිර්මල සක්මුතු වගේ. කුසල් දහම් වලින් පිරිල ඉන්නෙ. අන්න ඒ නිස යි මං ශ්‍රමණයන්ට කැමති.

ඒ ශ්‍රමණයන් බුදු සමිඳුන්ගේ ධර්මය ගොඩාක් අහල තියෙනවා. ඒ ධර්මය මතක තියාගෙන ඉන්නවා. ධාර්මික ජීවිතයෙන් ම උසස් තත්වයට පත්වෙල ඉන්නෙ. ඒ නිසයි මං ශ්‍රමණයන්ට කැමැති.

ඒ ශ්‍රමණයන් බුදු සමිඳුන්ගේ ධර්මය ගොඩාක් අහල තියෙනව. ඒ ධර්මය මතක තියාගෙන ඉන්නවා. ධාර්මික ජීවිතෙන් ම උසස් තත්වයට පත්වෙලා ඉන්නෙ. සමාහිත සිතින්, හොඳ සිහියෙන් ඉන්නෙ. අන්න ඒ නිස යි මං ශ්‍රමණයන්ට කැමැති.

ඈත සේනාසනවලයි වැඩ ඉන්නෙ. හොඳ සිහි නුවණින් කල් ගෙවන්නෙ. නුවණ පාවිච්චි කරල යි කතා කරන්නෙ. හරි ම නිහතමානි යි. දුකේ අවසානය වූ අමා නිවන ගැන දැනගෙන යි ඉන්නෙ. අන්න ඒ නිසයි මං ශ්‍රමණයන්ට කැමැති.

ඒ ශ්‍රමණයන් ගමකින් තවත් ගමකට වඩිනකොට කිසි ම දෙයක් අපේක්ෂා කරන්නෙ නෑ. ආපසු හැරිල බලන්නෙ නෑ. අපේක්ෂා රහිත ව ම අත්හැරල යනවා. අන්න ඒ නිසයි මං ශ්‍රමණයන්ට කැමැති.

ඒ ශ්‍රමණයන් තමන් ගෙ දේවල් පෙට්ටගම්වල දාන්නෙ නෑ. හැලි වළංවල දාන්නෙ නෑ. මලුවල හංගන්නෙ නෑ. කාගෙ හරි ගෙදරක ඉදෙන බත් චුට්ටක් විතරයි සොයා ගෙන යන්නෙ. අන්න ඒ නිසයි මං ශ්‍රමණයන්ට කැමැති.

ඒ ශ්‍රමණයන් මිල මුදල් පිළිගන්නෙ නෑ. රන් රිදී පිළිගන්නෙ නෑ. ඒ වෙලාවට ලැබෙන දේකින් ජීවත් වෙනවා. අන්න ඒ නිස යි මං ශ්‍රමණයන්ට කැමැති.

ඒ ශ්‍රමණයන් නොයෙක් කුලවලින් ඇවිත්, නොයෙක් පළාත්වලින් ඇවිත් මහණ වෙලා ඉන්නෙ. නමුත් ඒ කිසි භේදයක් නැතිව එකිනෙකාට මෛත්‍රියෙන් ම යි වාසය කරන්නෙ. අන්න ඒ නිස යි මං ශ්‍රමණයන්ට කැමැති.

පින්වත් රෝහිණී දුවේ, ඔයා ගෙ හිතේ ලොකු ශ්‍රද්ධාවකුත්, ලොකු ගෞරවයකුත් තියෙනවා, ඒ බුදු සමිඳුන් ගැනත්, සද්ධර්මය ගැනත්, ආර්ය ශ්‍රාවක සංඝරත්නය ගැනත්, ඇත්තෙන් ම ඔයා අපේ පවුලෙ උපන්නෙ අපේ වාසනාවට.

ඇත්තෙන් ම ඔයා හඳුනාගෙන තියෙන්නෙ අනුත්තර පින්කෙත ගැන. ඒ ශ්‍රමණයන් වහන්සේලා අපේ දානෙ පිළිගන්නවා නම්, අපට ඒ දානයෙන් මහත් ඵල මහානිශංස ලැබෙනවා.

තාත්තේ, ඉතින් ඔය ත් දුකට බය නම්, දුකට අකැමැති නම්, ඔය ත් අකම්පිත සිත් ඇති බුදු සමිඳුන් ව ත්, සද්ධර්මය ත්, ආර්ය සංඝරත්නය ත් සරණ යන්න. සිල් සමාදන් වෙන්න. ඒක ඔයාට ගොඩාක් යහපත පිණිස හේතු වෙනවා.

ඔව් දුව, මාත් අකම්පිත සිත් ඇති බුදු සමිඳුන් ව ත්, සද්ධර්මය ත්, ආර්ය ශ්‍රාවක සංඝරත්නය ත් සරණ යනවා. මාත් සිල් සමාදන් වෙනවා. ඒක මට ගොඩාක් යහපත පිණිස පවතීවි.

මං බ්‍රාහ්මණ කුලේ උපන් නිසා මට කිව්වෙ බ්‍රහ්මබන්ධු කියල. නමුත් මං ඇත්තට ම බ්‍රාහ්මණයෙක් වුණේ දැනුයි. මාත් ත්‍රිවිද්‍යාව ලබාගත්තා. යහපතට පත් වුණා. ධර්මයේ මුදුනට පැමිණුනා. පව් සෝදල දැම්මා.

චාපා තෙරණියගේ ගාථා

(උපක:) එයා ඉස්සර තවුස් පිරිකර අතට ගත්ත කෙනෙක්. නමුත් දැන් එයා මුව වැද්දෙක්. ආශාව නිසා කාම මඩ ගොහොරුවෙන් මිදිල එතෙරට යා ගන්ට එයාට බැරි වුණා.

චාපා හිතා ගෙන ඉන්නෙ මං තාම ත් ඈට ඇලිල ඉන්නෙ කියලා. ඈ පුතා ව නළවන්ට පටන් ගත්තා. ඒ වුණාට චාපා ගැන මතේ හිතේ තියෙන බන්ධනය නැති කරගෙන මං ආයෙමත් මහණ වෙනවා.

(චාපා:) මහා වීරියවන්තයාණනි, මං ගැන කේන්ති ගන්ට එපා. මහා මුනිඳුනි, මං ගැන කේන්ති ගන්ට එපා. ක්‍රෝධයට යට වෙන කෙනෙකුට පිරිසිදු බවක් ඇති වෙන්නෙ නෑ. තපසක් කොයින් ද?

(උපක:) මං මේ ‘නාලා’ ගමත් දාල යනවා. මේ ‘නාලා’ ගමේ නවතින්නෙ කවුද? ධාර්මික ව ජීවත් වෙච්ච ශ්‍රමණයින් වත් අල්ලල බැඳ ගත්තෙ මේ ස්ත්‍රී රූපෙ තමයි.

(චාපා:) කලූ, මෙහාට එන්න. නවතින්න. කලින් වගේ ම කාම සම්පත් අනුභව කරන්ට. මාත්, මගේ නෑදෑයො ත් ඔයාට වසඟ වෙලා ඉන්නෙ.

(උපක:) චාපා, ඔයා මට ඔය කියන කථාවලින් හතරෙන් පංගුවක් කිව්වොත්, ඔයාට ඇලුන මිනිහෙකුට නම් මහා ලොකු දෙයක් වගේ තියේවි.

(චාපා:) කලූ, කන්දක් මුදුනක යොවුන් කිණිහිරි මල් ගහක් තියෙනවා. ඒ මල් ගහේ ලස්සනට මල් පිපිල තියෙන්නෙ. ඒ වගේ ම ලස්සනට මල් පිපිච්ච දෙළුම් ගහක් තියෙනවා. දූපතක් මැද්දෙ තියෙනවා ලස්සනට මල් පිපී ගිය පළොල් ගහක්.

රන් හඳුන් ගාපු ශරීරයක් තියෙන, උතුම් කසීසළු පොරවන, ලස්සන රූපයක් තියෙන මාව අත්හැරල දාන්ට පුළුවන් වෙන්නෙ කාටද?

(උපක:) ලිහිණි වැද්දා කැමති වුණා ලිහිණියෙක් හිර කරල තියාගන්ට. නමුත් ඔයා ගෙ ඔය රූපෙන් මාව නම් බැඳල තියා ගන්ට බෑ.

(චාපා:) කලූ, මගේ මේ පුතා මට ලැබුණෙත් ඔයා නිසා. ඉතින් පුතෙක් ඉන්න මාව අත්හැරල දාල යන්ට හිතන්නෙ කවුද?

(උපක:) නුවණ තියෙන මිනිස්සු දරුවන් ව අත්හැරල දානවා. ඒ වගේ ම තමන් ගේ නැදෑයන් ව ත්, දේපළ වස්තුව ත් අත්හැරල දානවා. මහා හස්ථිරාජයෙක් දම්වැල් කඩාගෙන යනව වගේ ගිහි බන්ධන කඩාගෙන ගිහින් මහණ වෙනවා.

(චාපා:) එහෙම ද? එහෙනම් මං දැන් පොල්ලකින් ගහල හරි, පිහියකින් ඇනල හරි මේ පුතා ව මරල දානවා. පොළොවේ ගහල හරි මරල දානවා. එතකොට පුතා ගැන ශෝකෙන් ඉන්න ඔයාට ඔය ගමන යන්ට ලැබෙන්නෙ නෑ.

(උපක:) ඒයි ලාමක ගෑණියේ. ඔහොම නොවෙයි, පුතා ව හිවල්ලුන්ට කන්ට දුන්න ත්, බල්ලන්ට කන්ට දුන්න ත්, මට කමක් නෑ. පුතෙක් හින්ද ආයෙමත් මාව මේ ගෙදර නවත්ත ගන්ට බැරි බව දැනගනින්.

(චාපා:) කලූ, මගේ ස්වාමීනි, හා හොඳයි. එහෙනම් කියන්න, දැන් ඔයා කොහිද යන්නෙ? කොයි ගමට ද? කොයි නියම් ගමට ද? කොයි නගරෙට ද? කොයි රාජධානියට ද?

(උපක:) ඉස්සර අපි ශ්‍රමණයන් නොවීම ශ්‍රමණයන් කියල හිතාගෙන හිටියා. ඉතින් පිරිස් පිරිවරාගෙන ගමින් ගමට, නගරයෙන් නගරෙට, රාජධානියෙන් රාජධානියට ඇවිද ගෙන ගියා.

නමුත් අන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නේරංජරා ගංගා තීරයේ, හැම දුක් අවසන් කරන ධර්මය දේශනා කරනව. මං මේ වතාවෙ යන්නෙ උන්වහන්සේ ළඟට යි. උන්වහන්සේ තමයි මගේ ශාස්තෘන් වහන්සේ.

(චාපා:) අනේ! එහෙනම් ලෝකනාථ වූ අනුත්තර වූ මුනිඳුන්ට මාත් වන්දනා කරන බව කියන්ට. උන්වහන්සේ ව පැදකුණු කරල ඒ පින මටත් ලබාදෙන්ට.

(උපක:) ඔව්! ඔයා කියන විදියට ම ඒ පින ලබාගන්ට පුළුවන්. ලෝකනාථ වූ අනුත්තර වූ මුනිඳුන්ට ඔයාගේ වැඳීම ගැන මං කියන්නම්. උන්වහන්සේව පැදකුණු කරල ඒ පින මං ඔයාට ලබා දෙන්නම්.

ඊට පසු කලූ (උපක) නේරංජරා ගංතෙර දක්වා ම ගියා. එයාට එහෙදි දැක ගන්ට ලැබුණා අමා දහම් දෙසන බුදු සමිඳාණන්ව.

ඒ දහම් නම්, දුක, දුකේ හටගැනීම, දුක ඉක්මවා යාම, දුක සංසිඳුවන ආර්ය අෂ්ටාංගික මාර්ගය.

එයා බුදු සමිඳුන්ගේ සිරි පතුල් වැඳ පුදාගත්ත. උන්වහන්සේ වටේ පැදකුණු කරගෙන ලබා ගත්තු පින් චාපාට අනුමෝදන් කළා. බුද්ධ ශාසනයේ මහණ වුණා. ත්‍රිවිද්‍යාව ලබා ගත්තා. බුදු සසුන සම්පූර්ණ කරගත්තා.

සුන්දරී තෙරණියගේ ගාථා

පින්වතී, ඔයා ඉස්සර ගත කළ ජීවිතවල දී මැරීගිය දරුවන් කමින් තමයි ජීවත් වුණේ. ඔයා ඒ කාලෙ රෑ දවල් දෙකේ ම ගොඩාක් තැවි තැවී තමයි හිටියෙ.

වාසෙට්ඨි බ්‍රාහ්මණිය, ඔයා ඒ සිය ගණනින් ඔක්කොම දරුවන් කාල, අද තැවෙන්නෙ නැති දැඩි සිතකින් ඉන්නෙ ඇයි?

බ්‍රාහ්මණය, අතීතෙ මං විතරක් නොවේ ඔයත් කාල තියෙනවා සිය ගණන් දරුවන්ව ත්, නෑදෑයන්ව ත්.

දැන් මං ඒ ඉපදෙන මැරෙන ලෝකයෙන් නිදහස් වෙලා නිවන අවබෝධ කරගෙන ඉන්නෙ. ඒ නිසා මං ශෝක කරන්නෙ නෑ. අඬන්නෙ නෑ. තැවි තැවී ඉන්නෙ නෑ.

වාසෙට්ඨි, හරි ම අද්භූත දෙයක් ඔයා ඔය කියන්නෙ. ඔයා කාගෙ ධර්මයක් අවබෝධ කරගෙන ද ඔය තරම් ස්ථාවරයක ඉඳන් කතා කරන්නෙ?

බ්‍රාහ්මණය, ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ, එතකොට වැඩසිටියේ මිථිලා නගරයේ. සියලු සත්වයන්ගේ දුක් දොම්නස් නැති කරන්ටයි උන්වහන්සේ දහම් දෙසන්නෙ.

බ්‍රාහ්මණය, ඒ අරහත් වූ සම්බුදු සමිඳුන්ගේ නිකෙලෙස් සද්ධර්මය මටත් අහන්ට ලැබුණා. ඒ සද්ධර්මය අවබෝධ කරගැනීමෙන් තමයි මගේ දරු දුක නැති වුණේ.

එහෙනම් මාත් යනවා මිථිලා නගරෙට. අනේ, ඒ භාග්‍යවතුන් වහන්සේ මාවත් සියලු දුකින් මුදවා ගන්නා සේක් නම් කොයිතරම් හොඳ ද? ඒ බ්‍රාහ්මණයත් හැම දුකින් නිදහස් වුණා. නිකෙලෙස් බුදු සමිඳුන්ව දැකගත්තා.

සියලු දුකින් එතෙර වුන බුදු සමිඳුන් එයාටත් සද්ධර්මය දේශනා කළා. දුකත්, දුකේ හටගැනීමත්, දුකේ ඉක්ම යාමත්, ඒ දුක් සංසිඳුවන මාර්ගය වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයත් කියල දුන්නා.

එයා සද්ධර්මය අවබෝධ කරගත්ත. මහණ වෙන්ට කැමැත්තක් ඇති වුණා. ඒ සුජාත බ්‍රාහ්මණයා තුන් රැයක් ඇතුළත ත්‍රිවිද්‍යාව ලබාගත්තා.

පින්වත් රියැදුර, මෙහෙ එන්න. දැන් ඔයා ගෙදර යන්න. මේ රථය බැමිණියට දෙන්න. මං සනීපෙන් ඉන්න බව කියන්න. දැන් ඒ සුජාත බ්‍රාහ්මණයා මහණ වෙලා ඉන්නෙ. තුන් රැයක් ඇතුළත එයා ත්‍රිවිද්‍යාව ලබාගත්තා කියල කියන්න.

එතකොට ඒ රියැදුරා රථයත්, කහවණු දාහකුත් අරගෙන ගිහින් බැමිණියට දුන්නා. බ්‍රාහ්මණයාගේ නීරෝගී කම ගැනත් කිව්ව. දැන් සුජාත බ්‍රාහ්මණයා තුන් රැයක් ඇතුළත ත්‍රිවිද්‍යාව ස්පර්ශ කළ බවත් කිව්වා.

පින්වත් රියැදුර, අපේ බ්‍රාහ්මණතුමා ත්‍රිවිද්‍යාව ලබාගත් බව දැනගන්ට ලැබුණ නිසා මේ අශ්ව රථයත්, කහවණු දාහත් පිං පඬුරක් හැටියට මං දැන් ඔයාට ම දෙනවා.

පින්වත් බ්‍රාහ්මණිය, මේ අශ්ව රථයත් කහවණු දාහත් ඔබතුමිය තියාගන්න. මාත් ඒ උත්තම ප්‍රඥා ඇති බුදු සමිඳුන් ළඟ මහණ වෙන්ට යනවා.

(මව් බැමිණිය) දුවේ, සුන්දරී, ඔයාගෙ තාත්තා, මේ ඇත්තු, අශ්වයො, හරකබාන, මුතු මැණික්, ගේ දොර සම්පත් ඔක්කොම අත්හැරල මහණ වුණා. දැන් මේ ඔක්කොම සම්පත් ඔයා අනුභව කරන්න. අපේ පවුලේ දායාදය අයිති ඔයාට නෙ.

(අම්මේ) මගේ තාත්තා පුත්‍ර ශෝකයෙන් ගොඩාක් දුක් වින්දා. අන්තිමේ දී මේ ඇත්තු, අශ්වයෝ, හරකබාන, මුතු මැණික් මේ සුන්දර ගිහි සම්පත් ඔක්කොම අත්හැරල දාල මහණ වුණා. සහෝදර ශෝකෙන් දුක් විඳින මාත් මහණ වෙනවා.

දුවේ සුන්දරී, ඔයා ත් බලාපොරොත්තුව ඉන්නෙ උතුම් මහණ ජීවිතේ නම්, ඔයා ගේ ඒ නෙක්ඛම්ම සංකල්පය ඉෂ්ට වේවා! ගෙයක් ගානෙ ඇවිද ගෙන ගිහින් තමයි පිණ්ඩපාතෙ කරගන්ට තියෙන්නෙ. පාංශුකූල සිවුරු තමයි පොරව ගන්ට තියෙන්නෙ. මේවා ලබාගෙන නිකෙලෙස් ජීවිතයක් ඇති කර ගන්න.

ආර්යාවනි, එතකොට මං තවමත් සික්ඛමානාවක්. (උපසම්පදාව පුහුණු වන සාමණේරියක්) මං දිවැස් නුවණ පිරිසිදු කරගත්තා. ඉස්සර මං ගත කළ ජීවිතේ ගැන දැනගන්න පුබ්බේනිවාස ඤාණය ලබාගත්තා.

භික්ෂුණී සංඝයා ව ශෝභමාන කරන, කල්‍යාණ මිතුරිය වන ආර්යාවෙනි, මං ඔබතුමිය නිසයි ත්‍රිවිද්‍යාව ලබාගත්තේ. බුදු සසුන සම්පූර්ණ කරගත්තේ.

ආර්යාවෙනි, මටත් අවසර දෙන්ට, මං කැමතියි සැවැත් නුවරට යන්ට. ශ්‍රේෂ්ඨ වූ බුදු සමිඳාණන් ඉදිරියේ සිංහනාද කරන්ට මාත් කැමැතියි.

සුන්දරී, එහෙනම් ඔයා, ඒ රත්තරන් පාටින් බබලන ශාස්තෘන් වහන්සේ ව බැහැදකින්න. නොදැමුණු උදවිය දමනය කරන, කිසි ලෙසකිනුත් බිය නැති ඒ බුදු සමිඳුන්ව දැකගන්න.

සුන්දරී, ඔයත්, හැම දුකින් ම මිදුණු, කෙලෙස් රහිත වූ වීතරාගී වූ, කිසිම දෙයක් සමඟ එක් නොවූ සදහම් මග වඩා අවසන් කළ, කෙලෙස් රහිත බුදු සමිඳුන්ව දැක බලාගන්න.

මහා වීරයන් වහන්ස, මං බරණැසින් පිටත් වෙලා ඔබවහන්සේව බැහැ දකින්ට ආවේ. මං ඔබවහන්සේගේ ශ්‍රාවිකාවක් වූ සුන්දරී. මං ඔබවහන්සේගේ සිරි පා කමල් වන්දනා කරන්නම්.

බ්‍රාහ්මණ මුනිඳාණනි, ඔබවහන්සේ බුද්ධ වන සේක. ශාස්තෘ වන සේක. මම ත් ඔබ වහන්සේ ගේ හදවතින් ඉපදුණේ. ඒ නිවන් මගින් ඉපදුණේ. නිවන් මග සම්පූර්ණ කරගෙන, නිකෙලෙස් වූ දියණියක්.

සොඳුරු තැනැත්තී, ඔබගේ ඔය පැමිණීම ඉතා යහපත්. අයහපත් පැමිණීමක් නම් නොවේ. දමනයට පත්වෙච්ච ශ්‍රාවිකාවන් ඔය විදිහම තමයි. වීතරාගී ව කිසිවක් හා එක් වෙන්නෙ නැතිව, නිවන් මග සම්පූර්ණ කරගෙන, නිකෙලෙස් සිතින් ශාස්තෘන් වහන්සේ ගේ පා යුග වඳින්ට එනවා.

රන්කරුවෙකුගේ දියණිය වන සුභා තෙරණියගේ ගාථා

එතකොට මං හොඳ කරුණ වයසෙ හිටියෙ. සුදු ඇඳුමක් ඇඳගෙන බුදු සමිඳුන්ගෙන් සද්ධර්මය අසාගන්ට මාත් ගියා. එතැන දී අප්‍රමාදී ව සිහිනුවණ යොමු කරන කොට මට ආර්ය සත්‍ය අවබෝධය ඇති වුණා.

එතැන ඉඳල මට කාමයන් ගැන ඇතිවුණේ අරතියක් මයි. පංච උපාදානස්කන්ධ ගැන නන්දිරාගය පැවතීම මං දැක්කේ භයජනක දෙයක් හැටියටයි. ඉතින් මං මහණ වෙන්ට කැමැති වුණා.

අන්තිමේ දී නැදෑයන් ව ත්, දැසි දස්සන් ව ත්, කම්කරුවන් ව ත්, සරුසාර කුඹුරු වතුපිටි ත්, සිත්කළු, සිත් පුබුදුවන සැප සම්පත් ඔක්කොම අත්හැරියා.

මේ විදියට මං ගොඩක් සැප සම්පත් අත්හැරියා. ඉතා පැහැදිලි ව නිවන් මග පෙන්වා දෙන මේ ශාසනය තුළ මං මහණ වුණේ ශ්‍රද්ධාවෙන් ම යි. ඒ නිසා මට ආයෙමත් රන් රිදී වැඩ කිරීම සුදුසු නෑ. මං පතමින් ඉන්නෙ නිවන ම යි.

රන් රිදී බඩු අත් හැරියට පස්සෙ, එයා ආයෙත් ඒවා අරගත්තොත් ඒක එයාට වන ලොකු අත්වැරැද්දක්. ආර්ය සත්‍යාවබෝධයට රන් රිදී උපකාර වෙන්නෙ නෑ. සැනසීමට හේතු වන්නෙ නෑ. අනික, ඒ දෙය ශ්‍රමණයන්ට ගැළපෙන්නෙත් නෑ. ඒක ආර්ය ධනයකුත් නොවේ.

එයින් කර දෙන්නෙ ලෝභකම ඉපදවීම විතරයි. අහංකාර කම ඉපදවීම විතරයි. ඊට පස්සෙ මුළා වෙනවා. කෙලෙස් වැඩෙනවා. සැක සංකා වැඩෙනවා. ගොඩක් කරදර ඇති වෙනවා. ස්ථිරසාර දෙයක් එතන ඇත්තෙ නෑ.

මිනිස්සු ඕවට ඇලෙනවා. ප්‍රමාද වෙනවා. සිත් කිලුටු කරගන්නවා. එකිනෙකාට විරුද්ධ ව නැගී සිටිනවා. බොහෝ කෝලහල ඇති කරගන්නවා.

ඔය කාමයන්ට බැහැගෙන ඉන්න උදවිය ළඟ දකින්ට තියෙන්නෙ, නොයෙක් වද බන්ධන විතරයි. නොයෙක් කෙලෙස්, හැඬීම් වැලපීම් විතරයි. නොයෙක් කරදර විතරයි.

ඉතින් ඔයාල මගේ නැදෑයන් වෙලා ඉඳගෙන ත්, මගේ හතුරු පිරිසක් වගේ මාව කාමයට ම යොදවන්ට හදන්නෙ ඇයි?

රන් කහවණුවලින් ආශ්‍රවයන් ක්ෂය වෙන්නෙ නෑ. කාමයන් තමයි සැනසීමට විරුද්ධ සතුරො, වධකයෝ. මිතුරෝ නම් නොවේ. ශෝක හුල් හිත්වලට බඳින්නෙ මේ කාමයන් තමයි.

ඉතින් ඔයාල මගේ නෑදෑයන් වෙලා ඉඳගෙන ත්, මගේ හතුරු පිරිසක් වගේ මාව මේ කාමයට ම යොදවන්ට හදන්නෙ ඇයි? තේරුම් ගන්න මාව. මං හිස මුඩු කරපු, දෙපට සිවුරක් පොරව ගෙන ඉන්න, මහණ වෙච්ච කෙනෙක්.

ජීවත් වෙන්නෙ ගෙයක් ගානෙ පිණ්ඩපාතෙ කරගෙන. පොරවන්නෙ පාංශුකූල චීවර. ඉතින් මට ගැලපෙන්නෙ ඒ වගේ පැවිදි පිරිකර විතර යි.

මහා ඉසිරු දිව්‍ය මානුෂික හැම කාමයක් ම අත්හැරල දානව. උන්වහන්සේලා ඉන්නෙ නිවන කියන ක්ෂේම භූමියේ. විමුක්තියට පත්වුණ සිත් ඇතිව. අචල සැපයට පත්වෙලා ඉන්නෙ.

කාමයන් සමඟ මගේ කිසි ම ගණුදෙනුවක් නෑ. මට ඔය කාමයන් තුළ කිසි ම ආරක්ෂාවක් පෙනෙන්නෙ නෑ. කාමයන් කියන්නෙ මිතුරන් පිරිසක් නොවේ. වධකයෝ. ගිනිකඳු වගේ දුක් තියෙන්නෙ.

මේ කාමයන් කියන්නෙ බියක් ම යි. කරදරයක් ම යි. පීඩාවක් ම යි. මහා වධයක් ම යි. අපිරිසිදු දෙයක් ම යි. විෂම දෙයක් ම යි. මුළා කරවන දෙයක් ම යි. ජනතාව රවටන ලොකු ම දොරටුව යි.

මේ කාමයන් කියන්නෙ භයානක උවදුරක්. භයානක සර්පයෙකු ගෙ ඔළුව පැත්ත වගේ. අන්ධබාල පෘථග්ජන සත්වයන් මේ කාමයන් පිළිගන්නෙ හරි ම ආශාවෙන්.

කාම මඩ ගොහොරුවේ ඇලිල ඉන්න මේ බොහෝ සත්වයන් අවිද්‍යා සහගත ව යි ඉන්නෙ. මේ ඉපදෙන මැරෙන ලෝකෙ අවසානයක් ඔවුන්ට කවදාවත් දැකගන්ට ලැබෙන්නෙ නෑ.

මිනිස්සු ඔය කාමයන් නිසා බැසගෙන ඉන්නෙ දුගතියට වැටෙන පාරවල්වල. තම තමන්ට බොහෝ රෝග උපදවා දෙන කාමයන් තුළ ම යි ඔවුන් බැසගෙන ඉන්නෙ.

මේ කාමය විසින් බිහි කරන්නෙ හතුරන් ව යි. දුක් තැවුල් ඇති කරවනවා. සිත කිලුටු කරවනවා. ලෝකයා පිනවන එක ම අරමුණ බවට පත් කරවනවා. කෙලෙසුන්ට බන්දනවා. මරණයට ත් බැඳෙනවා.

මේ කාමයන් විසින් පිස්සු හදවනවා. උතුවෙන් දොඩවන්ට සලස්වනවා. සිත් කළඹවා දමනවා. සත්වයන් කෙලෙසා දමනවා. මාරයා විසින් අටවපු උගුලක් වගෙයි.

මේ කාමයන් තුළ අනන්ත ආදීනව තියෙනවා. බොහෝ දුක් තියෙනවා. බොහෝ විස තියෙනවා. ආශ්වාදය හැටියට තියෙන්නෙ චුට්ටයි. නමුත් ගොඩාක් රාගය ඇති කරවනවා. කුසල් දහම් වියළවා දානවා.

මේ කාමයන් නිසා හටගන්න මහා දුක් ගොඩ පේනකොට කාමයන්ගෙ පැත්තට නම් ආපසු හැරිල යන්නෙ නෑ. මං හැමදාම නිවනේම ඇලිලයි වාසය කරන්නෙ.

මං කැමැති අරහත්වයටයි. කාමාශාව මං අත්හැරියා. සියලු බන්ධනයන් නැති කරල මං අප්‍රමාදීවයි ඉන්නෙ.

මහා ඉසිවරුත් සසරින් එතෙරට වැඩියේ ඒ මාර්ගයෙන් ම යි. ඉතින් මාත් ශෝක නැති කෙලෙස් නැති, බියක් නැති, සෘජු මාර්ගය වන ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමයි ගමන් කරන්නෙ.

ධර්මයේ සිත පිහිටුවා ගෙන ඉන්න මේ සුභා දිහා, රන්කරුවාගේ දුව දිහා බලන්න. ඇය ඉන්නෙ තණ්හාවෙන් තොරව. අරහත්වය ලබාගෙන ඉන්නෙ. ඇය ගස් සෙවණේ භාවනා කරනවා.

මං මහණ වෙලා අදට දවස් අටයි. ශ්‍රද්ධාවන්ත වූ, සද්ධර්මය නිසා සුන්දර වූ, උප්පලවණ්ණා භික්ෂුණිය තමයි හික්මෙව්වෙ. මාරයා ව බැහැර කරල මාත් ත්‍රිවිද්‍යාව ලබාගත්තා.

මේ සුභා භික්ෂුණිය දොස් රහිතයි. ණය රහිතයි. වඩන ලද ශ්‍රද්ධා ආදී ඉඳුරන් ගෙන් යුක්තයි. සියලු බැඳීම්වලින් නිදහස් නිවන් මග සම්පූර්ණ කරගෙන ඉන්නෙ. හරිම නිදහස්.

දෙව්ලොව අධිපති ශක්‍රයා දෙව් පිරිස පිරිවරා ගෙන ඉර්ධියෙන් ඇවිදින් සුභා නමැති රන්කරුවාගේ දියණියටයි ඒ වඳින්නෙ.