ඛුද්දක නිකාය | විමානවත්ථු

තිලදක්ඛිණා විමානය

පින්වත් දෙව්දුව, ඔබ ඔය සුන්දර රූපෙන් බැබලෙමින් ඉන්නේ හැම දිශාවක්ම බබුළුවන ඕසධී තාරුකාවක් වගේ.ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුනේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුනේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුනේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව, මිනිස් ලෝකෙ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා.

මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුනා. මොන වගේ පින්කම්වලින්ද මේ සැප ලැබුනේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ.

ඒ අතීත ජීවිතයේදී මං මනුස්ස ලෝකයේ මනුස්ස දුවක් වෙලා හිටියා. ඉතින් මට බුදුරජාණන් වහන්සේව දැකගන්නට ලැබුනා. උන්වහන්සේ කැළඹිලා නෑ. අතිශයින්ම ප්‍රසන්නයි. කෙලෙසුන්ගෙන් තොරයි. දන් පැන් ලැබීමට සුදුසු වූ බුදුරජාණන් වහන්සේ ගැන මං පැහැදීමෙන්මයි හිටියේ. දානෙට පූජා කරගන්න මොකවත් තිබුනේ නැතිවුණත් අකමැත්තෙන් නමුත් මං මේ දෑතින් තල දෝතක් පූජා කළා.

ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුනේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුනේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුනේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස, මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලී ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා.