ඛුද්දක නිකාය | විමානවත්ථු
පළමු පතිබ්බතා විමානය
මේ විමානය හරිම ලස්සනයි. ලස්සන මල් පිරිලා ඉතිරිලා තියෙනවා. විචිත්‍ර රූප සෝභා ඇති දෙවිවරුන් දිව්‍යාංගනාවන් නිතරම ගැවසෙනවා. කොස්වාලිහිණියන්, දිව්‍ය වූ මොණරුන්, දිව්‍ය හංසයන් පිරිලා ඉන්නවා. කෝකිලයන්ගේ මධුර වූ හඬ හැමතැනම පැතිරෙනවා. පින්වත් දෙව්දුව, ඔබ මහානුභාව සම්පන්නයි. එක එක විදිහේ ස්වරූප ඇති ඉර්ධි ප්‍රාතිහාර්යය දක්වනවා. ඔබව වටකර සිටින ඒ දිව්‍ය අප්සරාවන් නටනවා. ගී ගයනවා. සතුටු කරවනවා. මහානුභාව ඇති පින්වත් දෙව්දුව, ඔබ ඉර්ධිමත් කෙනෙක්. මිනිස් ලෝකෙ ඉන්න කාලෙ මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා.”
මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුනා. මොන වගේ පින්කම්වලින්ද මේ සැප ලැබුනේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ.
මං අතීත ජීවිතයේදී මිනිස් ලෝකයේ මනුස්ස දුවක් වෙලා හිටියා. මං කවදාවත් වෙනත් පුරුෂයෙකුට ඇලුම් කළේ නෑ. පතිව්‍රතාව රැකගත්තා. අම්මා කෙනෙක් දරුවෙකුව රකිනවා වගේ මං මගේ ස්වාමියාව රැකගත්තා. මට කේන්ති ගිය වෙලාවන් තිබුනා. නමුත් මං නපුරු වචනයක් කිව්වේ නෑ. මං ඇත්තමයි කතා කළේ. බොරු කීම දුරුකරලයි හිටියේ. දන් දෙන්න මං හරි කැමැතියි. අනුන්ට සංග්‍රහ කරන ගතිය මා තුළ පිහිටලාම තිබුනා. දන් පැන් පූජා කරන්නේ සිත පහදවා ගෙනමයි. බොහෝම පිළිවෙලට මං මහා දන් දීලා තියෙනවා.
ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුනේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුනේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුනේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස, මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලී ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා.